ලූක්
21 යේසුස් වටපිට බලද්දී ඔහු දැක්කා පොහොසත් අය මුදල් බඳුන්වලට එයාලාගේ පරිත්‍යාග දානවා.+ 2 ඔය අතරේ දුප්පත් වැන්දඹුවක් ඇවිත් හරිම සුළු වටිනාකමක් තියෙන පොඩි කාසි දෙකක්* මුදල් බඳුනට දැම්මා.+ 3 ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ මේ දුප්පත් වැන්දඹුව දාපු සල්ලි අනිත් හැමෝම දාපු සල්ලිවලට වඩා ගොඩක් වටිනවා.+ 4 මොකද ඒ හැමෝම පරිත්‍යාග කළේ එයාලට වැඩිපුර තිබුණ දේ. ඒත් මේ වැන්දඹුව දැම්මේ එයාට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබුණ දේ. එයාට තිබුණ ඔක්කොම එයා දැම්මා.”+
5 පස්සේ වෙලාවක සමහරු දේවමාලිගාව ගැනත් ඒක වටිනා ගල්වලින් සහ දෙවියන්ට කැප කරපු දේවලින් ලස්සන කරලා තියෙන විදිහ ගැනත් කතා කරන්න පටන්ගත්තා.+ 6 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලට පේන මේ හැම දේම දවසක නැති වෙනවා. ගලක් උඩ තව ගලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ හැම ගලක්ම බිමට ඇදලා දානවා.”+ 7 එයාලා ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ගුරුතුමනි, ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. ඒ දේවල් සිද්ධ වෙන කාලය ළං වෙලා කියලා දැනගන්න තියෙන ලකුණ මොකක්ද?”+ 8 ඔහු මෙහෙම කිව්වා. “කාටවත් ඔයාලව රවට්ටන්න ඉඩ දෙන්න එපා.+ මොකද හුඟදෙනෙක් ඇවිත් මගේ නම පාවිච්චි කරලා ‘මම ක්‍රිස්තුස්’ කියලත් ‘නියමිත කාලය ළං වෙලා’ කියලත් කියයි. එයාලා පස්සේ යන්න එපා.+ 9 ඒ වගේම යුද්ධ ගැනත් නොසන්සුන්කාරී දේවල්* ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් බය වෙන්න එපා. මොකද ඒ දේවල් මුලින්ම සිද්ධ වෙන්න ඕනේ. ඒත් අවසානය ඒ එක්කම එන්නේ නැහැ.”+
10 ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “ජාතියක් ජාතියකට විරුද්ධවත්+ රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත්+ සටන් කරයි. 11 දරුණු භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම හැම තැනකම වගේ වසංගත සහ කෑම හිඟකම් ඇති වෙයි.+ මිනිස්සු හුඟක් බය හිතෙන දේවල් දකියි. අහසේ* පුදුම හිතෙන ලකුණුත් දකින්න ලැබෙයි.
12 “ඒත් ඒ හැම දෙයක්ම වෙන්න කලින් මිනිස්සු ඔයාලට පීඩා කරයි.+ එයාලා ඔයාලව අල්ලලා සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දෙයි. ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට ඔයාලව අරන් යයි.+ 13 ඒකෙන් ඔයාලට සාක්ෂි දරන්න අවස්ථාවක් ලැබෙයි. 14 ඉතින් ඔයාලා නිදොස් කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා කලින්ම හිතහිත ඉන්න එපා. එහෙම කරන්නේ නැහැ කියලා හිතින් අධිෂ්ඨාන කරගන්න.+ 15 මොකද ඒ අවස්ථාවේදී කියන්න ඕනෙ මොනවාද කියලා මං ඔයාලට කියලා දෙනවා. ඔයාලට ඕනෙ කරන ප්‍රඥාවත් මං දෙනවා. ඒ නිසා විරුද්ධකාරයන් හැමෝම එකතු වෙලා ඔයාලට විරුද්ධ වුණත් ඔයාලා එක්ක වාද කරලා දිනන්න එයාලට බැරි වෙනවා.+ 16 ඒ වගේම දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන් සහ යාළුවන් වුණත් ඔයාලව විරුද්ධකාරයන් අතට භාර දෙයි.* ඒ නිසා ඔයාලාගෙන් සමහර අයව මරලා දායි.+ 17 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ 18 ඒත් ඔයාලාගේ එක කෙස්ගහකටවත් හානියක් වෙන්නේ නැහැ.+ 19 දිගටම විඳදරාගෙන විශ්වාසවන්තව හිටියොත් ඔයාලාගේ ජීවිත ගැලවෙයි.+
20 “සේනාවන් ඇවිත් යෙරුසලම වටේට කඳවුරු බැඳගෙන ඉන්නවා+ දකිද්දී යෙරුසලමේ විනාශය ළං වෙලා කියලා තේරුම්ගන්න.+ 21 එහෙම වෙද්දී යුදයේ ඉන්න අය කඳුවලට පලා යන්න ඕනේ.+ යෙරුසලමේ ඉන්න අය එහෙන් පිට වෙලා යන්න ඕනේ. ගම්බද පළාත්වල ඉන්න අය නුවරට ඇතුල් නොවී ඉන්න ඕනේ. 22 මොකද ඒ දවස්වලදී දෙවියන් ඔහුගේ විනිශ්චය ගේනවා. එහෙම වෙන්නේ ලියලා තියෙන හැම දෙයක්ම ඉටු වෙන්න ඕනෙ නිසයි. 23 ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් ඒක කොච්චර අමාරු කාලයක් වෙයිද!+ මොකද දේශයේ ජීවත් වෙන අයට දරාගන්න අමාරු දුක් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දවස්වලදී දෙවියන් ඔහුගේ සෙනඟට දඬුවම් කරනවා. 24 මිනිස්සු එයාලව කඩුවෙන් මරලා දායි. හැම ජාතියකම අය එයාලව වහලුන් විදිහට අරන් යයි.+ ජාතීන් වෙනුවෙන් නියම කරලා තියෙන කාලය ඉවර වෙන කල් වෙනත් ජාතීන් යෙරුසලම පාගගෙන ඉඳියි.+
25 “ඒ වගේම ඉර, හඳ සහ තාරකාවල ලකුණු දකින්න ලැබෙයි.+ මුහුද කැලඹිලා ඒකෙන් ලොකු ඝෝෂාවක් ඇති වෙන නිසා මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ජාතීන් ලොකු බයකුත් වේදනාවකුත් අද්දකියි. 26 අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි. ඒ නිසා ලෝකයට සිද්ධ වෙන්න යන දේවල් ගැන හිතහිත මිනිස්සු කලන්තේ දාන තරමටම බය වෙයි. 27 එතකොට මනුෂ්‍ය පුත්‍රයා+ ලොකු බලයක් සහ තේජසක් ඇතුව වලාකුළක එන විදිහ මිනිස්සු දකියි.+ 28 ඒත් ඒ දේවල් සිද්ධ වෙන්න පටන්ගත්තාම හිතට ධෛර්යය අරගෙන ඔයාලාගේ හිස ඔසවලා නැඟිටින්න. මොකද ඔයාලාගේ ගැලවීම ළඟයි.”
29 යේසුස් ඊළඟට එයාලට මේ උදාහරණය කිව්වා. “අත්තික්කා ගහ ගැනත් අනිත් ගස් ගැනත් හිතන්න.+ 30 ඒ ගස්වල දලු දාද්දී ඔයාලා දන්නවා ගිම්හානය ළඟයි කියලා. 31 ඒ වගේ, මේ දේවල් වෙනවා දකිද්දී දෙවියන්ගේ රාජ්‍යය ළඟයි කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්. 32 ඇත්තටම මම ඔයාලට කියන්නේ ඒ හැම දෙයක්ම වෙන කල් මේ පරම්පරාව කොහොමටවත් නැති වෙලා යන්නේ නැහැ.+ 33 අහසයි, පොළොවයි නැති වෙලා යයි. ඒත් මගේ වචන කවදාවත් නැති වෙලා යන්නේ නැහැ.+
34 “ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. එහෙම කළේ නැත්නම් අධික විදිහට කන බොන නිසා,+ එදිනෙදා ජීවිතයේ ඇති වෙන කරදර නිසා+ ඔයාලාගේ හිත් බර වෙන්න පුළුවන්. එතකොට හදිස්සියේම ඔයාලා හිතන්නේ නැති වෙලාවක ඒ දවස එයි. 35 කෙනෙක් හදිස්සියේ උගුලකට*+ අහු වෙනවා වගේ හිතන්නේ නැති වෙලාවක ඔයාලට ඒ දවසට මුහුණ දෙන්න වෙයි. මොකද පොළොවේ ඉන්න හැමෝටම අනිවාර්යයෙන්ම ඒ දවසට මුහුණ දෙන්න වෙනවා. 36 ඉතින් අවදියෙන් ඉන්න.+ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඒ හැම දේකින්ම බේරිලා මනුෂ්‍ය පුත්‍රයා ඉස්සරහා පෙනී ඉන්න+ ඔයාලට උදව් කරන්න කියලා නිතරම දෙවියන්ට කන්නලව් කරන්න.”+
37 යේසුස් දවස පුරාම දේවමාලිගාවේ ඉගැන්නුවා. රෑට ඔහු ඔලීව කන්ද විදිහට හඳුන්වපු කන්දට ගිහින් එහේ තිබුණ තැනක නවාතැන් ගත්තා. 38 සෙනඟ හැමදාම උදේ ඔහු උගන්වන දේවල් අහන්න දේවමාලිගාවට ආවා.