පාඨකයන්ගෙන් ප්‍රශ්න
යෙහෝවාගේ ජනයා අවංක වෙන්න වෑයම් කරන අතර ඔවුන් එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇතුව සිටිද්දීත්, ඔවුන් අතර ව්‍යාපාර කටයුතු සිදු වන විට, ලිඛිත ගිවිසුමක් සිදු කිරීම වැදගත්යයි ඔවුන්ට හැඟෙන්නේ ඇයි?
ඔවුන් එසේ කරනවා නම්, එය ශුද්ධ ලියවිල්ලට එකඟයි, ප්‍රායෝගිකයි, එමෙන්ම ප්‍රේමනීයයි. එහෙම වෙන්නේ කොහොමද? හොඳයි, අපි ව්‍යාපාර ගිවිසුම්වලට අයත් එම අංග සලකා බලමු.
ගිවිසුමෙන් දෙවි හා බැඳුණු ජනයා වන ඉශ්‍රායෙලිතයන් සමඟ ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳ ලිඛිත වාර්තාවක් බයිබලයෙහි ඇතුළත්ව තිබෙනවා. සැබෑ නමස්කාරකයන් හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු එහි අඩංගුයි. අපට පරීක්ෂා කර බැලිය හැකි වාර්තාවක් උත්පත්ති 23වන පරිච්ඡේදයෙහි තිබෙනවා. තම ප්‍රියාදර සාරා මියගිය විට, සොහොන්පොළක් ලබාගැනීමට ආබ්‍රහම්ට වුවමනා වුණා. හෙබ්‍රොන් අසල ජීවත් වූ කානාන් ජාතිකයන් සමඟ කටයුතු කිරීමට ඔහු පටන්ගත්තා. ඔහුට ලබාගැනීමට ඕනෑ වූ බිම් කොටස සඳහා ඔහු නිශ්චිත මුදල් ප්‍රමාණයක් දීමට කැමති වූ බව 7-9 දක්වා පදවල පෙන්වා තිබෙනවා. නුවර දොරටුවේ සිටි අයට ඇසෙන පරිදි මෙම ඉදිරිපත් කිරීම ප්‍රසිද්ධියේ කළ බව 10වන පදයෙන් සනාථ වෙනවා. එම බිම් කොටස ආබ්‍රහම්ට දීමට අයිතිකරු කැමැත්ත පළ කළ නමුත්, 13වන පදයට අනුව, තමා එම බිම් කොටස මිලේට ගත් යමක් හැටියට පමණක් පිළිගන්නා බව ආබ්‍රහම් කියා සිටියා. ඒ වගේම, “හෙත්ගේ පුත්‍රයන් ඉදිරියෙහි, ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි” එය ස්ථිර කරගනිමින්, යෝජනා කළ පරිදි මේ සියල්ල සිදු වූ බව 17, 18 සහ 20වන ඡේදවල පැහැදිලි කර තිබෙනවා.
එනමුත්, එවන් ව්‍යාපාර ගනුදෙනුවක් කළ දෙදෙනාම සැබෑ නමස්කාරකයන් වූවා නම්, තත්වය වෙනස් වනු ඇද්ද? යෙරෙමියා 32වන පරිච්ඡේදයෙහි උත්තරයක් සපයනවා. යෙරෙමියා තම ඥාති සහෝදරයාගෙන් ඉඩමක් මිලේට ගන්න සිටි බව 6වන පදයේ සිට අපට දැකගන්න පුළුවන්. සාධාරණ මිලක් දීමට එකඟ වූ බව 9වන පදයෙහි පෙන්වා තිබෙනවා. දහයේ සිට 12වන පදය දක්වා දැන් කියවන්න: “මම [යෙරෙමියා] ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන, මිල ඔහුට තරාදියෙන් කිරාදුනිමි. මම ව්‍යවස්ථාව සහ සිරිත ලෙස මුද්‍රාකර තිබුණු විකුණුම්-ඔප්පුවත් නොවසා තිබුණු එකත් රැගෙන, මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ඉදිරියේදීද හිරගෙයි මළුවේ හිඳගන උන්නාවූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම්-ඔප්පුව මාසේයාගේ පුත්‍රයා වන නේරියාගේ පුත්‍රවූ බාරුක්ට දුනිමි.”
ඔව්, යෙරෙමියා සෙසු නමස්කාරකයෙකු, ඥාතියෙකු සමඟ පවා ගනුදෙනු කරමින් සිටියත්, ඔහු යම් සාධාරණ නීතික පිළිවෙතක් අනුගමනය කළා. ලිඛිත ඔප්පු දෙකක් පිළියෙළ කරනු ලැබුවා—එකක්, පහසුවෙන් තොරතුරු ලබාගත හැකි වන පරිදි විවෘතව තැබූ එකක්; අනික, විවෘතව තැබූ එක ගැන යම් සැකයක් මතු වුණොත්, අමතර සාක්ෂි සැපයීම සඳහා මුද්‍රා කර තැබූ එකක්. දහතුන්වන පදය කියන පරිදි, මේ සම්පූර්ණ ගනුදෙනුව “ඔවුන් ඉදිරියේදී” කරනු ලැබුවා. ඉතින් මෙය ප්‍රසිද්ධ, සාක්ෂියක් වන, නීතිමය ව්‍යාපාරික ගනුදෙනුවක් වුණා. එසේනම්, සැබෑ නමස්කාරකයන් එවන් පැහැදිලි, ලිඛිත ආකාරයකින් කාරණා හසුරුවන්නේ ශුද්ධ ලියවිලිමය පදනමක් ඇතුවයි.
එයට ප්‍රායෝගික පැත්තක්ද තිබෙනවා. “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන[වා]” යන කියමනේ සැබෑකම අපි දන්නවා. (දේශනාකාරයා 9:11) ඊට කැප වූ සහ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ද ඇතුළත්. යාකොබ් 4:13, 14 කාරණය පැහැදිලි කරන්නේ මෙහෙමයි: “මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත.” එබැවින්, යමක් මිලේට ගැනීමට, යම් වැඩක් හෝ සේවයක් කිරීමට හෝ වෙනත් කෙනෙක් වෙනුවෙන් යම් දෙයක් නිපදවීමට අපි යම් වැඩපිළිවෙළක් අරඹනවා විය හැකියි. නමුත් හෙට, ඊළඟ මාසයේ හෝ ඊළඟ අවුරුද්දේ කුමක් වේවිද? අපට නැත්නම් අනික් තැනැත්තාට යම් අනතුරක් සිදු වුණොත් කුමක් වේවිද? එයින් පෙනී යන්නේ, පොරොන්දු වූ පරිදි ඉටු කරන්න නොහැකි වන බවයි. අපට වැඩය හෝ සේවය ඉටු කරන්න බැරි නම්, නැතහොත් අනික් පුද්ගලයාට ගෙවීම් කරන්න හෝ ගිවිසුමේ තමාට හිමි කොටස ඉටු කරන්න බැරි තරම් අමාරු බව සොයාගනී නම් මොකක්ද තත්වය? ලිඛිත ගිවිසුමක් නැත්නම්, සැබෑ ගැටලු පැනනැඟිය හැකියි—සරල ලිඛිත ගිවිසුමක් කර තිබුණා නම් එවන් ගැටලු වළකාගැනීමට හෝ ඒවා නිරාකරණය කරගැනීමට තිබුණා.
තවදුරටත්, ජීවිතයේ පැති බොහොමයක අවිනිශ්චිතභාවය නිසා, අපේ (නැත්නම් අනික් තැනැත්තාගේ) ව්‍යාපාර ගනුදෙනු වෙනත් කෙනෙක්ට පවා භාරගැනීමට හෝ බේරීමට සිදු විය හැකිය යන කාරණයත් අප අමතක නොකළ යුතුයි. “නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්” බව 14වන පදයෙහි යාකොබ් තවදුරටත් පැවසුවා. අපි අනපේක්ෂිත වෙලාවක මියයන්න ඉඩ තිබීම යථාර්ථවාදියි. හදිස්සියේම එක් පැත්තකට යම් අනපේක්ෂිත දෙයක් සිදු වුණොත්, ලිඛිත ගිවිසුමක් හෝ එකඟ වීමක්, ඇත්තෙන්ම වෙනත් අයට කාරණා දිගටම හැසිරවීම සඳහා මාර්ගය උදා කළ හැකියි.
යම් ආකාරයකින්, මෙය තුන්වන පැත්තටද මඟ පාදයි—ලිඛිත ගිවිසුම්වලින් ප්‍රේමය පිළිබිඹු වෙයි. ඇත්තෙන්ම, ගිවිසුමකට ඇතුළත් වූ දෙදෙනාගෙන් එක් කෙනෙක් මියගියොත් නැතහොත් බෙලහීන කරවන අනතුරකට භාජන වුණොත්, තමාගේ යුතුකම් නැතහොත් මූල්‍යමය වගකීම් පිළිබඳව ලිඛිත වාර්තාවක් සකස් කර තිබුණා නම්, එය ක්‍රිස්තියානියෙකුගේ පැත්තෙන් කරන ප්‍රේමනීය දෙයක් වේවි. එමෙන්ම ඉන් අවිශ්වාසය පිළිබිඹු වනවා වෙනුවට, අප එම සහෝදරයා සමඟ කටයුතු කරද්දී, ඔහු කිරීමට බැඳී සිටින දෙය නැතහොත් ඔහුට ලැබිය යුතු දේ පැහැදිලිව සඳහන් කරන ලිඛිත ගිවිසුමක් පිළියෙළ කිරීම, ඔහු කෙරෙහි දක්වන ප්‍රේමයේ විදහාපෙන්වීමක් වෙයි. අසම්පූර්ණ වූ දෙදෙනාගෙන් එක් කෙනෙකුට යම් කාරණා හෝ වගකීම් අමතක වුණා නම්, අමනාපය ඇතිවීමට තිබෙන ඕනෑම හේතුවක්, මෙම ප්‍රේමනීය පියවර නිසා අඩු වේවි. ඇරත් අප අතුරින් අසම්පූර්ණ නොවන්නේ කවුද? අමතක වීමට හෝ තොරතුරු නැතහොත් චේතනා වරදවා වටහාගැනීමට නැඹුරු නොවන්නේ කවුද?—මතෙව් 16:5.
අපේ සහෝදරයාට, අපේ පවුලට සහ පොදුවේ සභාවට ප්‍රේමය පිළිබිඹු කරන විදිහේ ලිඛිත ව්‍යාපාර ගිවිසුම් ඇති කිරීමේ වෙනත් විධි තිබෙනවා. නමුත් ප්‍රේමයේ විදහාපෙන්වීමක් වනවාට අමතරව, ප්‍රමාණවත් තොරතුරුවලින් යුත් එවන් ලිඛිත වාර්තා ප්‍රායෝගිකයි එමෙන්ම ශුද්ධ ලියවිල්ලට එකඟයි.