අටවෙනි පරිච්ඡේදය
ඔබත් යෙරෙමියා මෙන් ජීවිතය රැකගන්නවාද?
1, 2. ඡේදයේ සඳහන් වන උදාහරණ දෙකෙන් පැහැදිලි වන්නේ කුමක්ද?
තමන් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටද නැත්නම් වෙනත් දෙවිවරුන්ටද යන තේරීම කරන ලෙස යොෂුවා ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ, “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ” කියා ඔහු පැවසුවා. (යොෂු. 24:15) ඉන් පැහැදිලි වන්නේ තමන් මෙන් තම පවුලේ අයත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියි යන නිසැකකම යොෂුවාට තිබූ බවයි. ඉන් සියවස් ගණනාවකට පසු එනම් යෙරුසලමේ විනාශය ළංව තිබූ කාලයේදී යෙරෙමියා ශෙදකියා රජුට පැවසුවේ බැබිලෝනිවරුන්ට යටත්ව සිටියොත් “ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් ජීවිත රැකෙනු ඇත” කියායි. (යෙරෙ. 38:17) නමුත් ශෙදකියා රජු ඊට කීකරු නොවූ නිසා ඔහුටත් ඔහුගේ පවුලේ සියලුදෙනාටත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වුණා. ඔහුගේ ඇස් ඉදිරියේම ඔහුගේ දරුවන්ව මරා දැමුවා. ඉන්පසු ඔහුව අන්ධ කර වහලෙකු ලෙස බැබිලෝනියට ගෙන ගියා.—යෙරෙ. 38:18-23; 39:6, 7.
2 එම උදාහරණ දෙකෙන්ම පැහැදිලි වන්නේ යම් කෙනෙකු කරන දෙයක් ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ අයගෙත් යහපතට හෝ අයහපතට බලපාන බවයි. විවාහය, දරුවන් හදා වඩා ගැනීම හා පවුලේ සාමාජිකයන්ට හිමි වගකීම් සම්බන්ධයෙන් අපට මඟ පෙන්වීම් ලැබෙන්නේ ඒ නිසයි. එම මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් පැමිණීමට නියමිත විනාශයේදී අපටත් අපේ පවුලේ අයටත් ජීවිත රැකගැනීමට හැකි වෙයි.—1 කොරි. 7:36-39; 1 තිමෝ. 5:8.
අසාමාන්‍ය ආඥාවක්
3, 4. යෙරෙමියා ගත කළ ජීවිතය එදා සිටි යුදෙව්වන් ගත කළ ජීවිතයට වඩා වෙනස් වුණේ කෙසේද? එය ඔහුට ප්‍රයෝජනවත් වුණේ කෙසේද?
3 යෙරුසලමට සිදු වූ විනාශයේදී බොහෝදෙනෙකුට ඔවුන්ගේ ජීවිත අහිමි වුණත් යෙරෙමියාට තම ජීවිතය රැකගැනීමට හැකි වුණා. (යෙරෙ. 21:9; 40:1-4) යෙරෙමියා විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. මන්ද විවාහ නොවන්න කියාත් දරුදැරියන් හදා වඩා නොගන්න කියාත් යුදෙව්වන් එදිනෙදා ජීවිතයේ කළ දේවලට හවුල් නොවන්න කියාත් දෙවි ඔහුට අණ කර තිබුණා.—යෙරෙමියා 16:1-4 කියවන්න.
4 විවාහ වී දරුවන් හදා වඩා ගැනීම ඒ කාලයේ සිටි යුදෙව්වන් සැලකුවේ ඉතා වැදගත් දෙයක් ලෙසයි.a තමන්ට හිමි වූ ඉඩකඩම් පවුලේ උරුමයක් ලෙස දිගටම තබාගැනීමට එමගින් ඔවුන්ට හැකි වුණා. (ද්වි. 7:14) එසේනම් විවාහ වී දරුවන් හදා වඩා නොගන්න කියා දෙවි යෙරෙමියාට පැවසුවේ ඇයි? ළඟ ළඟම විනාශයක් පැමිණීමට නියමිතව තිබීම ඊට හේතුවයි. එම ආඥාවට අමතරව මළ ගෙවල්වලට නොයන්න කියාත් ශෝක වන අයව සනසවන්න එපා කියාත් ඔවුන් සමඟ ආහාර භුක්ති නොවිඳින්න කියාත් දෙවි ඔහුට ආඥා කළා. විවාහ උත්සව වැනි සතුටුදායක අවස්ථාවලට හවුල් නොවන්න කියාත් දෙවි ඔහුට පැවසුවා. මන්ද යෙරුසලමේ විනාශයත් සමඟ ඒ සියල්ල අවසන් වීමට නියමිතව තිබුණා. (යෙරෙ. 7:33; 16:5-9) එම ආඥාවලට එකඟව ජීවත් වීමෙන් පැමිණීමට නියමිත විනාශය කොතරම් භයානකද යන කාරණය පෙන්වීමට යෙරෙමියාට හැකි වුණා. දෙවි පැවසූ ලෙස ඒ විනාශය පැමිණියා. මාස 18ක් පුරා බැබිලෝනිවරුන් යෙරුසලම වටලා සිටි නිසා ඒ කාලයේදී දරුණු සාගතයක් ඇති වුණා. එය කොතරම් දරුණු වුණාද කියනවා නම් සමහර මව්වරු තම දරුවන්ව මරාගෙන කෑවා. ඒ විතරක් නොවෙයි, තමන් ආදරය කළ අය මිය ගොස් ඔවුන්ගේ ශරීර කුණු වී යන ආකාරය බලා සිටීමට යුදෙව්වන්ට සිදු වුණා. (යෙරෙමියා 14:16 කියවන්න; විලා. 2:20) නමුත් යෙරෙමියා විවාහ වී නොසිටි නිසා තම බිරිඳ හෝ දරුවන් අහිමි වීමේ වේදනාව අද්දැකීමට ඔහුට සිදු වුණේ නැහැ.
5. යෙරෙමියා 16:5-9 දක්වා සඳහන් දෙය අපට වැදගත් වන්නේ කෙසේද?
5 යෙරෙමියා 16:5-9 දක්වා සඳහන් වන ආඥා අද දින අපටත් අදාළද? නැහැ. ‘ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සනසවන්න’ කියාත් “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න” කියාත් අපට උනන්දු කර තිබෙනවා. (2 කොරි. 1:4; රෝම 12:15) යේසුස්ද විවාහ උත්සවවලට සහභාගි වී අන් අය සමඟ සතුටු වුණා. නමුත් අප මේ වැදගත් දෙය අමතක නොකළ යුතුයි. එනම් එදා යෙරෙමියා මෙන් අද දින අප ජීවත් වන්නෙත් විනාශයක් අද්දර බවයි. අපටත් ඉදිරියේදී යම් දුෂ්කරතාවන්ට හා අගහිඟකම්වලට මුහුණ දීමට සිදු විය හැකියි. දිගටම විශ්වාසවන්තව සිටීම සඳහා ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට සූදානමින් සිටිය යුතුයි යන කාරණය යේසුස්ද කාවැද්දුවා. පළමුවෙනි සියවසේ සිටි යුදෙව් ක්‍රිස්තියානීන්ද ඒ දේ කළා. ඔවුන් යූදා දේශය අත්හැර වෙනත් තැන්වලට පලා ගියා. එම තොරතුරුවලින් පැහැදිලි වන්නේ එදා දෙවි යෙරෙමියාට දුන් එවැනි ආඥා අපට කෙළින්ම අදාළ නොවුණත් අපත් විනාශයක් අද්දර සිටින නිසා තනිකඩව සිටීම, විවාහ වීම හා දරුවන් හදා වඩා ගැනීම යන තීරණ ගැන බැරෑරුම්ව කල්පනා කර බැලීම ඉතා වැදගත් බවයි.—මතෙව් 24:17, 18 කියවන්න.
6. දෙවි යෙරෙමියාට දුන් ආඥාව සලකා බැලීම ප්‍රයෝජනවත් වන්නේ කාටද?
6 අප අතරේ සිටින සමහරදෙනෙක් විවාහ නොවී තනිකඩව සිටිනවා. තවත් සමහරක් අය විවාහ වී සිටියත් දරුවන් හදා වඩා ගන්නේ නැහැ. “විවාහ නොවන්න” කියාත් ‘දරුවන් හදා වඩා නොගන්න’ කියාත් දෙවි යෙරෙමියාට දුන් ආඥාවෙන් එවැනි අයට ඉගෙනගත හැක්කේ මොනවාද? විවාහ වී දරුවන් සිටින අයටත් එම ආඥාවෙන් යමක් ඉගෙනගත හැකිද?
7. ‘දරුවන් හදා වඩා නොගන්න’ කියා දෙවි යෙරෙමියාට දුන් ආඥාව සලකා බැලීම වැදගත් වන්නේ ඇයි?
7 ‘දරුවන් හදා වඩා නොගන්න’ කියා දෙවි යෙරෙමියාට දුන් ආඥාව ගැන අපි ටිකක් සලකා බලමු. එවැනි ආඥාවක් යේසුස් තම අනුගාමිකයන්ට දුන්නේ නැහැ. නමුත් යෙරුසලමේ විනාශය ගැන සඳහන් කළ විට ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් ඒ කාලයේදී (එනම් ක්‍රි.ව. 66-70) මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වන බව යේසුස් පැවසුවා. (මතෙ. 24:19) එදා යුදෙව්වන් අද්දුටුවාටත් වඩා දරුණු, පීඩාකාරී කාලයක් ඉදිරියේදී පැමිණෙනවා. ඒ නිසා තමන් දරුවන් හදා වඩා ගන්නවාද නැද්ද යන කාරණය ගැන විවාහ වී සිටින අය හොඳින් කල්පනා කර බැලීම ඉතා වැදගත්. අප ජීවත් වන මේ අනතුරු සහිත කාලය එන්න එන්නම දරුණු අතට හැරෙන බව එදිනෙදා සිදු වන දේවලින් අපට පැහැදිලියි. දෙවිට විශ්වාසවන්තව සිටීමට තම දරුවන්ව පුහුණු කිරීම මේ කාලයේ ඉතා අසීරු බව බොහෝ දෙමාපියන්ද පිළිගන්නා දෙයක්. ඒ අනුව දරුවන් හදා වඩා ගැනීම යුවළකගේ පෞද්ගලික තීරණයක් වුණත් යෙරෙමියාට එවැනි ආඥාවක් දීමට හේතුව ගැන සිතා බැලීම ප්‍රයෝජනවත්.
දෙවි යෙරෙමියාට දුන් අසාමාන්‍ය ආඥාව කුමක්ද? එය සලකා බැලීම වැදගත් වන්නේ ඇයි?
තනිකඩව සිටි යෙරෙමියාගෙන් උගත හැකි දේ
8. දෙවිගේ අනුමැතිය දිනාගැනීමට විවාහ වීම අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි කියා පැවසිය හැක්කේ ඇයි?
8 විවාහ නොවන්න කියා යෙරෙමියාට පැවසීමෙන් දෙවි අදහස් කළේ ඔහුගේ සියලුම සේවකයන් විවාහ නොවී සිටිය යුතු බව නොවෙයි. විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියි. ඔහු එසේ කළේ මිනිසුන්ගෙන් මේ පොළොව පුරවා ඔවුන්ට සන්තෝෂයෙන් ජීවත් වීම සඳහායි. (හිතෝ. 5:18) කෙසේවෙතත් යෙරෙමියාට අමතරව තනිකඩව සිටි තවත් අය දෙවිගේ සේවකයන් අතරේ සිටියා. තම සහකරු හෝ සහකාරිය අහිමි වූ අයද යම් දෝෂයක් නිසා විවාහ නොවී සිටි අයද ඔවුන් අතරේ සිටියා.b යෙරෙමියා මෙන් අද දින සිටින සමහරක් ක්‍රිස්තියානීන්ද විවාහ නොවී සිටීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ද එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි.
9. අවිවාහක කෙනෙක් ගැඹුරින් සලකා බැලිය යුතු උපදෙස කුමක්ද?
9 අවිවාහකයෙක් වූ යේසුස් පැවසුවේ ඔහුගේ සමහරක් අනුගාමිකයන්ට විවාහ නොවී සිටීමේ දීමනාව තිබෙන බවයි. එම දීමනාව තිබෙන අයට විවාහ නොවී සිටින්න කියා ඔහු උනන්දු කළා. (මතෙව් 19:11, 12 කියවන්න.) ඒ නිසා දෙවිට වැඩි සේවයක් කිරීම සඳහා තනිකඩව සිටීමට තීරණය කර තිබෙන අයව සමච්චලයට ලක් කරනවා වෙනුවට ඔවුන්ව අගය කරන්න. සමහරදෙනෙක් යම් කාලයකට තනිකඩව සිටින්නේ ‘ස්වාමීන්ගේ අනුගාමිකයන්’අතරින් ඔවුන්ට ගැළපෙන සහකරුවෙකුව හෝ සහකාරියකව සොයාගැනීමට නොහැකි නිසයි. (1 කොරි. 7:39) එවැනි අයව අගය කිරීම කොතරම් වටිනවාද! තවත් සමහරදෙනෙක් තම සහකරු හෝ සහකාරිය අහිමි වීම නිසා තනිකඩව සිටිනවා.c කුමන හේතුවක් නිසා කෙනෙකු තනිකඩව සිටියත් යෙහෝවා දෙවි හා යේසුස් තනිකඩව සිටින අය ගැන සැලකිලිමත් බව එවැනි අය අමතක නොකළ යුතුයි.—යෙරෙ. 22:3; 1 කොරින්ති 7:8, 9 කියවන්න.
10, 11. (අ) තනිකඩව සිටියත් සතුටින් සිටීමට යෙරෙමියාට උපකාරවත් වුණේ මොනවාද? (ආ) තනිකඩ අයට අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි බව පැහැදිලි වන අද්දැකීම් මොනවාද?
10 තනිකඩව සිටි යෙරෙමියා, තම ජීවිතයේ වටිනාම කෙනා ලෙස සැලකුවේ යෙහෝවා දෙවිවයි. දෙවිගේ වදන් ඇසීමෙන් ඔහු ඉමහත් සතුටක් ලැබූ බව බයිබලයේ සඳහන් වෙනවා. එමගින් අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය ශක්තිය හා දිරිගැන්වීම ඔහුට ලැබුණා. එමෙන්ම තනිකඩව සිටීමට ඔහු ගෙන තිබූ අධිෂ්ඨානය සැහැල්ලුවට ලක් කළ අයව ආශ්‍රය කිරීමෙන්ද ඔහු වැළකුණා. එවැනි අයව ආශ්‍රය කරනවාට වඩා ‘තනිව’ සිටීමට ඔහු කැමති වුණා.—යෙරෙමියා 15:17 කියවන්න.
11 යෙරෙමියාගේ කදිම ආදර්ශය අනුගමනය කරන තනිකඩ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් අප අතරේ සිටිනවා. දෙවිගේ සේවයේ වැඩිපුර හවුල් වීමෙන් එවැනි අය ලබන්නේ ඉමහත් තෘප්තියක්. උදාහරණයකට චීන භාෂාව කතා කරන සභාවක පුරෝගාමියෙකු ලෙස සේවය කරන සහෝදරියක් පවසන මේ දෙය සලකා බලන්න. “දෙවි ගැන ගොඩක් අයට කියලා දෙන්න මට අවස්ථාව ලැබෙන නිසා මම හැම දවසක්ම ගත කරන්නේ හරිම සතුටෙන්. පුරෝගාමි සේවයේදී මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මට එච්චර පාළුවක්, තනිකමක් දැනෙන්නේ නැහැ. මම ගත කරන්නේ හරිම තෘප්තිමත් ජීවිතයක්.” අවුරුදු 38ක් වයසැති, පුරෝගාමි සේවයේ නියැලෙන සහෝදරියක්ද මෙවැනි දෙයක් පැවසුවා. “අපි මොන තත්වයේ හිටියත් අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ඒ දේවල් අගය කළොත් දිගටම සතුටින් ඉන්න පුළුවන්.” දකුණු යුරෝපයේ සිටින තවත් තනිකඩ සහෝදරියක් මෙසේ පැවසුවා. “මගේ ජීවිතයේ මම හිතපු සමහර දේවල් ඒ විදිහටම සිද්ධ වුණේ නැහැ. ඒ වුණත් අද මම ඉන්නේ සතුටින්. ඒ සතුට දිගටම තියාගන්න මම උත්සාහ කරනවා.”
12, 13. (අ) විවාහ වීම හා තනිකඩව සිටීම සම්බන්ධයෙන් අප තේරුම්ගත යුත්තේ කුමන සත්‍යයද? (ආ) පාවුල්ගේ ජීවිතයෙන් හා ඔහු දුන් උපදෙස්වලින් තනිකඩව සිටීම සම්බන්ධයෙන් හෙළි වන්නේ කුමක්ද?
12 ‘මගේ ජීවිතයේ මම හිතපු සමහර දේවල් ඒ විදිහටම සිද්ධ වුණේ නැහැ’ කියා යෙරෙමියාටත් හැඟෙන්න ඇද්ද? ඔහුට එසේ හැඟුණාද නැද්ද කියා අපි හරියටම දන්නේ නැහැ. ඒ කෙසේවෙතත් විවාහ වී දරුවන් හදා වඩා ගන්නා අය ගත කරන්නෙත් ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයේම ජීවිතයක් නොවන බව යෙරෙමියා තේරුම්ගන්න ඇති. ස්පාඤ්ඤයේ පුරෝගාමියෙකු ලෙස සේවය කරන එක් සහෝදරියක් මෙසේ පැවසුවා. “විවාහ වෙලා සතුටින් ඉන්න අයවත් දුකෙන් ඉන්න අයවත් මම දන්නවා. ඒ නිසා මට සතුටින් ඉන්න පුළුවන් මම විවාහ වුණොත් විතරයි කියන මතය වැරදියි කියලා මම තේරුම්ගත්තා.” තනිකඩව සිටියත් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් බව යෙරෙමියාගේ අද්දැකීමෙන් පමණක් නොව තව බොහෝදෙනෙකුගේ අද්දැකීම්වලින් පැහැදිලියි. පාවුල්ද තනිකඩව සිටියත් සතුටින් සිටි බව ඔහු පැවසූ මේ වදන්වලින් ඔප්පු වෙනවා. “මා දැන් අවිවාහක අයටත් වැන්දඹුවන්ටත් කියන්නේ, මා සිටින ආකාරයට දිගටම සිටීම ඔවුන්ට හොඳ බවය.” (1 කොරි. 7:8) ඔහු අවිවාහකව සිටි කෙනෙකුද නැත්නම් බිරිඳ අහිමි වූ කෙනෙකුද කියා අප හරියටම දන්නේ නැහැ. කෙසේවෙතත් ඔහු මිෂනාරිවරයෙකු ලෙස සේවය කළ කාලයේ නම් ඔහු සිටියේ තනිකඩවයි. (1 කොරි. 9:5) ඒ නිසා ‘සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කිරීමට’ ඔහුට හැකි වුණා. තනිකඩව සිටීම පාවුල්ට ප්‍රයෝජනවත් වූ බවට කිසිම සැකයක් නැහැ.—1 කොරි. 7:35.
13 දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් පැවසුවේ, “විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වේ” කියායි. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. ‘කෙනෙක් විවාහ නොවී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිය හැක. තමා ගත් තීරණයට ස්ථිරව ඇලී සිටීමෙන් ඔහුට යහපතක් සිදු වේ. කෙනෙක් විවාහ වුණත් එයින් ඔහුට යහපතක් සිදු වේ. නමුත් විවාහ නොවී සිටින තැනැත්තාට ඊටත් වඩා යහපතක් සිදු වේ.’ (1 කොරි. 7:28, 37, 38) ඇත්තෙන්ම තනිකඩව සිටින කෙනෙකුට දෙවිට වැඩි සේවයක් කිරීමට අවස්ථාව තිබෙන නිසා එවැනි කෙනෙකුට තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි. කෙනෙකුට දෙවිගේ අනුමැතිය ලබාගත හැක්කේ ඔහු විවාහ වී සිටිනවාද නැද්ද යන්න මත නොවෙයි. දෙවිට කීකරු වීම මතයි. ශෙදකියා රජු විවාහ වී සිටියත් ඔහු දෙවිට අකීකරු වූ නිසා යෙරුසලමට පැමිණි විනාශයෙන් තම දිවි ගලවාගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. නමුත් තනිකඩව සිටි යෙරෙමියා දෙවිට කීකරු වූ නිසා තම දිවි ගලවාගත්තා.
තනිකඩව සිටි යෙරෙමියාගෙන් ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද?
අන් අයව දිරිගන්වමින් ඔබත් දිරිගැන්වීමක් ලබන්න
14. අකිලාගෙන් හා ප්රිසිලාගෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?
14 යෙරෙමියාගේ කාලයේ මෙන්ම පාවුල්ගේ කාලයේ සිටි බොහෝදෙනෙක්ද විවාහ වී දරුවන් හදා වඩා ගත්තා. එවැනි අයට පවුලේ වගකීම් තිබූ නිසා පාවුල් මෙන් විවිධ රටවලට ගොස් සේවය කිරීමට හැකි වුණේ නැහැ. නමුත් ඔවුන් ජීවත් වූ ප්රදේශවලම සිට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය වෙනුවෙන් ඔවුන්ට කිරීමට බොහෝ දේ තිබුණා. තනිකඩව සිටි සහෝදර සහෝදරියන්ට ශක්තියක් වීම ඒ අතරින් එකක්. උදාහරණයකට අකිලා හා ප්‍රිසිලා පාවුල්ට ශක්තියක් වූ ආකාරය සලකා බලන්න. පාවුල් කොරින්තියට පැමිණි විට ඔවුන් ඔහුව තම නිවසට සාදරයෙන් පිළිගෙන ඔවුන් කරමින් සිටි රැකියාවට ඔහුවත් හවුල් කරගත්තා. ඒ කාලය අතරතුර ඔවුන් එකට ආහාර ගන්න ඇති. කතාබහ කරමින් කාලය ගත කරන්න ඇති. ඒ සියල්ලෙන් පාවුල් මහත් දිරිගැන්වීමක් ලබන්න ඇති. යෙරෙමියාටත් අන් අයගෙන් එවැනි දිරිගැන්වීමක් ලැබුණාද? දෙවිට සේවය කිරීම සඳහා ඔහු තනිකඩව සිටියා කීමෙන් ඔහු අන් අයගෙන් වෙන්ව තාපස ජීවිතයක් ගත කළා කියා අදහස් වන්නේ නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටි බාරුක්, ඒබෙද්-මෙලෙක් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරමින් ඔහු මහත් දිරිගැන්වීමක් ලැබූ බව නිසැකයි.—රෝම 16:3; ක්‍රියා 18:1-3 කියවන්න.
15. තනිකඩ අයට ශක්තියක් වීමට විවාහකයන්ට හැක්කේ කෙසේද?
15 අද දින සිටින විවාහකයන්ටත් තනිකඩව සිටින අයට මහත් ශක්තියක් විය හැකියි. එවැනි දිරිගැන්වීම් ඔවුන්ට බොහෝ සෙයින් වටිනවා. එක් තනිකඩ සහෝදරියක් මෙසේ පැවසුවා. “මම සත්‍යයට ආවේ හැම දෙයක්ම අත්හැරලා. ඒ නිසා මට මගේම කියලා දැන් ඉන්නේ සභාවේ අය විතරයි. ඒ අයගේ ආදරය, සැලකිල්ල මට හුඟක් වටිනවා. මම හැමදාම දෙවිට යාච්ඤා කරලා ඉල්ලන්නේ මං වගේ තනිකඩ අයට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙන්න කියලයි. අපෙන් සමහරදෙනෙකුට විවාහ වෙන්න ලොකු ආශාවක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපිට අනික් අයගේ උපකාර අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. අපිට ඕනෑම වෙලාවක උදව් කරන්න යෙහෝවා දෙවි ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් සමහර වෙලාවට සහෝදර සහෝදරියන් එක්ක කතාබහ කරලා දිරිගැන්වීම් ලබන්න අපි කැමතියි. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ අපිට කැමැත්තෙන් සවන් දෙනවා නම් ඒක අපිට ලොකු ශක්තියක්.” දහස් ගණනක් තනිකඩ අය වයස් භේදයකින් තොරව සභාවේ සිටින සෙසු සහෝදර සහෝදරියන්ව කිට්ටුවෙන් ආශ්‍රය කිරීමෙන් ඒ දිරිගැන්වීම හා ශක්තිය ලබා තිබෙනවා.
16. ඔබේ සභාවේ සිටින තනිකඩ අයව දිරිගැන්වීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද?
16 තනිකඩ අයට ශක්තියක් වීමට ඔබට කළ හැක්කේ මොනවාද කියා පවුලක් ලෙස ඔබ කල්පනා කර තිබෙනවාද? පවුලක් හැටියට ඔබ කරන සමහරක් දේවලට ඔවුන්වත් හවුල් කරගැනීමට ඔබට පුළුවන්ද? උදාහරණයකට ඇතැම් දිනවලදී ඔබේ පවුලේ නමස්කාරයට සහභාගි වෙන්න කියා ඔවුන්ටත් ආරාධනා කළ හැකියි. නැත්නම් කෑම වේලක් සඳහා ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔවුන් සමඟ එක්ව දේවසේවයේ යෑමට සැලසුම් යෙදිය හැකියි. ඔබටත් ඔබේ පවුලේ අයටත් නමස්කාර මධ්‍යස්ථානයේ යම් වැඩක් පැවරී තිබෙනවා නම් ඒ සඳහා තනිකඩ කෙනෙකුවත් හවුල් කරගැනීමට ඔබට පුළුවන්. නැත්නම් සාප්පු සවාරි යන අවස්ථාවකදී ඔවුන්වත් රැගෙන යා හැකියි. තවත් සමහරක් පවුල් සමුළු සඳහා යන විට හෝ විනෝද ගමන් යන විට පුරෝගාමි සේවයේ නියැලෙන අවිවාහක කෙනෙකුව නැත්නම් සහකරු හෝ සහකාරිය අහිමි වූ කෙනෙකුව ඔවුන් සමඟ රැගෙන යනවා. එසේ කිරීමෙන් තනිකඩ කෙනා පමණක් නොව පවුලේ අයත් මහත් දිරිගැන්වීමක් ලබා තිබෙනවා.
17-19. (අ) මහලු වයසේ හෝ අසනීපයෙන් පෙළෙන දෙමාපියන්ව බලාගැනීමේ වගකීම ඉටු කිරීමේදී පවුලේ සෑම සාමාජිකයෙකුම සාධාරණ විය යුත්තේ ඇයි? (ආ) යේසුස්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?
17 ඇතැම් තනිකඩ අයට තම මහලු දෙමාපියන්ව රැකබලා ගැනීමේ වගකීම තනිව කරට ගැනීමට සිදු වී තිබෙනවා. සමහරවිට ඔවුන්ට එම වගකීම පැවරී තිබෙන්නේ ඔවුන්ගේ පවුලේ තවත් සහෝදර සහෝදරියන් නැති නිසාම නොවෙයි. ඔවුන්ට එසේ කිරීමට සිදු වී තිබෙන්නේ තනිකඩව සිටින ඔවුන්, එම වගකීම ඉටු කළ යුතුයි කියා පවුලේ අනිකුත් අය සිතන නිසා විය හැකියි. යේසුස්ගේ කාලයේ සිටි උසස් තනතුරු දැරූ යුදෙව්වන්ද ඉතා කපටි ලෙස දෙමාපියන්ව රැකබලා ගැනීමේ වගකීම පැහැරහැරියා. ඔවුන් පවසා සිටියේ ඔවුන් විසින්ම පිහිටුවාගත් ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම දෙමාපියන්ව රැකබලා ගන්න කියා දෙවි දී තිබූ ආඥාවට වඩා වැදගත් බවයි. (මාක් 7:9-13) ඒ ආකල්පය වැරදියි.—1 තිමෝ. 5:3-8.
18 ජපානයේ සිටින එක් තනිකඩ සහෝදරියක් පැවසූ මේ දේ සලකා බලන්න. “මම මගේ මහලු දෙමාපියන්ව බලාගන්න නිසා විවාහ වෙන්න කැමති වුණත් මට විවාහ වෙන්න විදිහක් නැහැ. මහලු දෙමාපියන්ව බලාගන්න එක කොච්චර අමාරුද කියලත් මං වගේ තනිකඩ අය කොයි තරම් දුෂ්කරතා අද්දකිනවාද කියලත් යෙහෝවා දෙවි තේරුම්ගන්න බව මට විශ්වාසයි.” සමහරවිට එම සහෝදරියට ඇගේ පවුලේ විවාහක සහෝදර සහෝදරියන් සිටිනවා ඇති. ඔවුන් ඇගේ අදහස් විමසන්නේ නැතුව දෙමාපියන් බලාගැනීමේ වගකීම ඇය මත පටවා තිබෙනවා විය හැකියි. ඔබ එවැනි තත්වයකට මුහුණ දී සිටින කෙනෙක් නම් අධෛර්යය වෙන්න එපා. යෙරෙමියාගේ සහෝදරයන්ද ඔහුට අසාධාරණ අයුරින් සැලකූ බව මතක තබාගන්න.—යෙරෙමියා 12:6 කියවන්න.
19 යෙහෝවා දෙවි තනිකඩ අයගේ හැඟීම් තේරුම්ගන්නවා. ඔවුන් ජීවිතයේ නොයෙකුත් අසීරුතාවන්ට මුහුණ දෙන විට දෙවි කිසිවිටකත් ඔවුන්ව තනි කරන්නේ නැහැ. (ගීතා. 103:11-14) කෙසේවෙතත් මහලු වයසේ හෝ අසනීපයෙන් පෙළෙන දෙමාපියන් සිටින දරුවන් මතක තබාගත යුතු වැදගත් කාරණයක් තිබෙනවා. එය නම් තම දෙමාපියන්ව රැකබලා ගැනීමේ වගකීම පවුලේ අවිවාහකව සිටින කෙනාට පමණක් සීමා වී තිබෙන වගකීමක් නොවන බවයි. එය සියලුම දරුවන්ට පැවරෙන වගකීමක්. තම පවුල රැකබලා ගැනීමේ වගකීම තිබෙන නිසා දෙමාපියන්ව බලාගැනීමේ වගකීමෙන් තමන් නිදහස් කියා විවාහ වී සිටින අය නොසිතිය යුතුයි. කෙනෙක් විවාහ වුණත් දෙමාපියන් සමඟ තිබෙන බැඳීම වෙනස් වන්නේවත් ඔවුන්ව රැකබලා ගැනීමට දෙවි දී තිබෙන වගකීමෙන් නිදහස් වන්නේවත් නැහැ. තම මවව රැකබලා ගැනීමේ වගකීම යේසුස්ද බැරෑරුම් දෙයක් ලෙස සැලකුවා. මිය යන්න සුළු වේලාවකට පෙර ඔහු ඒ සඳහා යම් සැලසුම් යෙදුවේ ඒ නිසයි. (යොහ. 19:25-27) මහලු වයසේ හෝ අසනීපයෙන් පෙළෙන දෙමාපියන්ව බලාගැනීමේ වගකීම පවුලේ එක් එක් දරුවා ඉටු කළ යුත්තේ කෙසේද කියා නීති මාලාවක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. එම වගකීමේ වැඩි කොටසක් පැවරෙන්නේ තනිකඩ අයට කියාත් එහි සඳහන් වන්නේ නැහැ. දෙමාපියන් රැකබලා ගැනීමේ වගකීම ඉටු කිරීමේදී පවුලේ සෑම සාමාජිකයෙකුම යේසුස්ව ආදර්ශයට ගැනීම වැදගත්. ඒ නිසා එම වගකීම ඉටු කරන ආකාරය ගැන පවුලේ සියලුම සාමාජිකයන් එක්ව සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතුයි. එලෙස යම් තීරණ ගැනීමේදී සාධාරණ වන්න.
20. තනිකඩ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කිරීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
20 යෙරෙමියා මෙවැනි දෙයක් පැවසුවා. “‘යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න’ කියා එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් ඉදිරියේදී උගන්වන්නේ නැත. මන්ද . . . සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත.” (යෙරෙ. 31:34) යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනන අයව ආශ්‍රය කිරීමේ මහඟු ප්‍රස්තාව අපට දැන් පවා තිබෙනවා. අප එසේ ආශ්‍රය කරන අය අතරට තනිකඩ සහෝදර සහෝදරියන්ද ඇතුළත්. අපේ ආශාව විය යුත්තේ පැමිණෙන විනාශයෙන් ඔවුන්ද තම ජීවිත බේරාගන්නවාටයි. ඒ නිසා එවැනි සහෝදර සහෝදරියන්ව අපි දිරිගන්වමු.
තනිකඩ අයව දිරිගැන්වීමටත් ඔවුන්ගෙන් දිරිගැන්වීමක් ලැබීමටත් ඔබට කළ හැකි දේවල් මොනවාද?
a යුදෙව්වන් විවාහය කොතරම් වැදගත් දෙයක් ලෙස සැලකුවාද කියනවා නම් විවාහ නොවී තනිකඩව සිටි පුරුෂයෙකුව විස්තර කිරීමට මුල් හෙබ්‍රෙව් භාෂාවේ නිශ්චිත වචනයක් තිබුණේ නැහැ.
b දෙවිගේ සෙනඟ අතරේ සිටි නපුංසකයන් සම්බන්ධයෙන් යෙසායා අනාවැකි පැවසුවා. නපුංසකයන්ට නමස්කාරය හා සම්බන්ධ දේවල හවුල් වීමට අන් අයට මෙන් නිදහස නොතිබුණත් දෙවිට කීකරුව ජීවත් වීමෙන් “දූපුතුන්ටත් වඩා වටිනා දෙයක්” ලැබෙන බව ඔහු පැවසුවා. දෙවිගේ ගෘහය තුළ “කිසිදා නොමැකෙන නමක්” ඔවුන්ට ලැබෙන බවත් ඔහු පැවසුවා.—යෙසා. 56:4, 5.
c තවත් සමහරදෙනෙක් තනිකඩව සිටින්නේ දෙවිට නමස්කාර නොකරන සහකරු හෝ සහකාරිය ඔවුන්ගෙන් වෙන් වී හෝ දික්කසාද වී තිබෙන නිසයි.