හත්වෙනි පරිච්ඡේදය
“විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි”
1. ඔබ ආශාවෙන් බලා සිටින්නේ පාරාදීස පොළොවේදී කුමන ආශීර්වාදය භුක්ති විඳීමටද?
පාරාදීස පොළොවේ ජීවිතය ගැන සිතන විට ඔබේ මනසට නැඟෙන්නේ මොනවාද? පෝෂ්‍යදායි ආහාර පාන භුක්ති විඳිමින් කිසිම ලෙඩක් දුකක් නැතුව අපේම නිවෙස්වල සුරක්ෂිතව ජීවත් විය හැකි කාලයක් ඔබේ මනසට නැඟෙනවාද? අනාගතයේ අප අද්දකින එම ආශීර්වාද ගැන කල්පනා කරන විට අපට මොන තරම් සතුටක් දැනෙනවාද! නමුත් අප දැනුත් ඉතා වටිනා ආශීර්වාදයක් අද්දකිමින් සිටින බව අමතක නොකළ යුතුයි. එය නම් යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ලැබී තිබෙන අවස්ථාවයි. ජීවිතයේ ඕනෑම අභියෝගයකට හොඳින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය අපට තිබෙන්නෙත් දැන් පවා සන්තෝෂය අද්දැකීමට අපට හැකි වී තිබෙන්නෙත් ඒ වටිනා ආශීර්වාදය නිසයි. ඒ ආශීර්වාදය නැත්නම් අනාගතය ගැන අපට තිබෙන බලාපොරොත්තුවත් බොඳ වී යයි.
2, 3. යෙරෙමියා මාර්ගයෙන් දෙවි දුන් පොරොන්දුව අපට වැදගත් වන්නේ ඇයි?
2 යෙහෝවා දෙවි කැමති ඔහුගේ සේවකයන් සතුටින් සිටිනවාටයි. බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී නැවත පැමිණෙන යුදෙව්වන් ගැන යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ මෙම අනාවැකියෙන් එය පැහැදිලි වෙනවා. “ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.” (යෙරෙමියා 30:18, 19; 31:4, 12-14 කියවන්න.) ඔහු ඔවුන්ට මෙවැනි පොරොන්දුවක්ද දුන්නා. “විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි. මලානිකව සිටින්නන්ව මම නැවතත් පුබුදුවන්නෙමි.” (යෙරෙ. 31:25) ඒ පොරොන්දුව අපට වැදගත් වන්නේ ඇයි?
3 දෙවි අප සියලුදෙනාවත් ප්‍රාණවත් කරයි කියන සහතිකය එම පොරොන්දුවෙන් අපට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, අධෛර්යයට පත් වුණත් අපේ සතුට දිගටම පවත්වාගැනීමට නම් අප කළ යුත්තේ මොනවාද කියාත් අධෛර්යයට පත්ව සිටින අයව ප්‍රාණවත් කිරීමට අපට හැක්කේ කෙසේද කියාත් යෙරෙමියා වාර්තා කර තිබෙන තොරතුරු සලකා බැලීමෙන් ඉගෙනගත හැකියි.
4. යෙරෙමියාට හැඟුණු ආකාරය සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
4 විඩාවට පත්ව සිටින්නන්ව ප්‍රාණවත් කරන බවට දෙවි දුන් පොරොන්දුව යෙරෙමියාටත් මහත් සැනසීමක් වුණා. යෙරෙමියාද ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙකු වූ’ නිසා යම් දුෂ්කරතා හමුවේ ඔහුත් අධෛර්යයට පත් වුණා. (යාකො. 5:17) යෙරෙමියා එලෙස අධෛර්යයට පත් වූ සමහරක් හේතු අප දැන් සලකා බලන විට ඔබ එම දේවලට මුහුණ දුන්නා නම් ඔබට කෙසේ හැඟෙයිද කියා ටිකක් සිතා බලන්න. ඔබ අධෛර්යයට පත් වන්නේ මොන වගේ දේවල් නිසාද කියාත් කල්පනා කර බලන්න.—රෝම 15:4.
5. අධෛර්යයට පත් වීමට යෙරෙමියාට කුමක් බලපාන්න ඇද්ද?
5 යෙරෙමියා අධෛර්යයට පත් වීමට එක් හේතුවක් වන්න ඇත්තේ ඔහුගේ උපන් ගමේ සිටි මිනිසුන් ක්‍රියා කළ ආකාරයයි. ඔහු හැදී වැඩුණේ යෙරුසලමට ඊසාන දිගින් පිහිටි ලෙවීවරුන්ට අයත් අනාතොත් නගරයෙයි. ඒ නගරයේ සිටි අය යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩ හෙළාදකිමින් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ නාමයෙන් අනාවැකි කියන්න එපා. එසේ කළොත් ඔබට අපේ අතින් මැරුම් කන්න සිදු වෙනවා.” (යෙරෙ. 1:1; 11:21) තමන්ට සහයෝගය දෙයි කියා බලාපොරොත්තු විය හැකි දන්නා හඳුනන අය ඇතුළු නෑදෑ හිතමිතුරන් එසේ පවසද්දී යෙරෙමියාට කෙසේ හැඟෙන්න ඇද්ද කියා ටිකක් සිතන්න. යේසුස් පවා පැවසුවේ, ‘අනාගතවක්තෘවරයෙකුට තමාගේම රටේදී කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ’ කියායි.—යොහ. 4:44.
6. දෙවි යෙරෙමියාට පැවසූ දේ විරුද්ධවාදිකම් එල්ල වන විට ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
6 තමන් දන්නා හඳුනන අයගෙන් හා නෑදෑ හිතමිතුරන්ගෙන් විරුද්ධවාදිකම් පැමිණියත් දෙවි ඔහුට දුන් සහතිකය ඔහුට මහත් දිරිගැන්වීමක් වුණා. දෙවි පැවසුවේ අනාතොත්හි වැසියන්ට ‘තමා අනිවාර්යයෙන්ම දඬුවම් කරන’ බවයි. තමා අද්දකිමින් සිටි පීඩා දෙවි දකින බවත් ඒ සම්බන්ධයෙන් දෙවි යම් පියවර ගන්නා බවත් එයින් යෙරෙමියාට සහතිකයක් ලැබුණා. (යෙරෙමියා 11:22, 23 කියවන්න.) අසල්වාසීන්ගෙන්, පාසැලේ හෝ රැකියා ස්ථානයේ සිටින අයගෙන් නැත්නම් පවුලේම අයගෙන් ඔබටත් විරුද්ධවාදිකම් එල්ල වන විට ඒ සියල්ල දෙවි දකින බවත් ඒ සම්බන්ධයෙන් දෙවි පියවර ගන්නා බවත් අමතක කරන්න එපා. (ගීතා. 11:4; 66:7) ඔබ දිගටම බයිබල් ප්‍රතිපත්තිවලට ‘ඇලී සිටිමින්’ දෙවි ඉදිරියේ හරි දේ කළොත් ඔබට පීඩා කළ සමහරදෙනෙක් පසුතැවිලි වී දෙවි වෙතට හැරෙන්න ඉඩ තිබෙනවා. එවිට පැමිණීමට නියමිත විනාශයෙන් ගැලවීමට ඔවුන්ටත් හැකි වෙයි.—1 තිමෝ. 4:16.
තම සෙනඟ සතුටින් සිටිනවාට දෙවි කැමති බව යෙරෙමියා පොතෙන් පැහැදිලි වන්නේ කෙසේද? දෙවි දුන් පොරොන්දුව යෙරෙමියාට ශක්තියක් වුණේ කෙසේද?
අධෛර්යයට පත් කරන දේවල්
7, 8. යෙරෙමියාට කුමනාකාරයේ දේවලට මුහුණ දීමට සිදු වුණාද? එය ඔහුට බලපෑවේ කෙසේද?
7 තම උපන් ගමේ සිටි අයගෙන් එල්ල වූ මරණ තර්ජනවලට අමතරව වධ හිංසාවලට මුහුණ දීමටත් යෙරෙමියාට සිදු වුණා. එක් අවස්ථාවකදී පෂ්හූර්a නම් පූජකයා ‘ඔහුට පහර දී ඔහුව දඬුකඳේ ගැසුවා.’ (යෙරෙ. 20:1, 2) ඇතැම් අය පවසන්නේ පෂ්හූර් ඒ අවස්ථාවේ යෙරෙමියාට පහරවල් 40ක් ගසන්න ඇති බවයි. (ද්වි. 25:3) දඬුකඳේ ගසා සිටි යෙරෙමියාට ඒ අවට සිටි මිනිසුන් බැණවදිමින් නින්දා අපහාස කරන්න ඇති. සමහරවිට ඔහුට කෙළ ගසන්නත් ඇති. ඒ විතරක් නොවෙයි, මුළු රැයක්ම ඔහුට දඬුකඳේ සිටින්න සිදු වුණා. එතරම් වේලාවක් ඉතා අපහසු ඉරියව්වකින් සිටි යෙරෙමියා මොන තරම් වේදනාවක් අද්දකින්න ඇද්ද!
8 එවැනි වධ හිංසාවලට මුහුණ දීමට සිදු වූ නිසා යෙරෙමියා අධෛර්යයට පත් වුණා. ඔහු දෙවිට පැවසුවේ, “මම දවස පුරාම සමච්චලයට ලක් වුණෙමි” කියායි. (යෙරෙ. 20:3-7) ඔහු කොතරම් අධෛර්යයට පත් වුණාද කියනවා නම් දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීම නතර කරන්න පවා ඔහු සිතුවා. නමුත් යෙහෝවා දෙවි ඔහුට ප්‍රකාශ කරන්න කියා පැවසූ දේවල් ඔහුගේ සිතට තදින්ම කාවැදී තිබූ නිසා ඔහුට එය කිරීමට හැකි වුණේ නැහැ. ඔහු පැවසුවේ, “එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය” කියායි. ඒ නිසා ඔහු දෙවිගේ පණිවිඩ දිගටම ප්‍රකාශ කළා.—යෙරෙමියා 20:8, 9 කියවන්න.
9. යෙරෙමියාගේ ආදර්ශය අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
9 සමහරවිට අපත් අසල්වාසීන්ගේ, නෑදෑයන්ගේ, පාසැලේ හෝ රැකියා ස්ථානයේ අයගේ නින්දා අපහාසවලට ලක් වෙනවා. ඇතැම්විට ඔවුන් අපට වධ හිංසා කිරීමට පවා ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී අප අධෛර්යයට පත් විය හැකියි. යෙරෙමියාට සිදු වුණෙත් ඒ දේමයි. නමුත් ඔහු දිගටම අධෛර්යයට පත් වී දුකින් සිටියේ නැහැ. දෙවිගේ උපකාරය ඇතුව ඔහු ශක්තිමත් වී සතුටින් සේවය කළා. ඔහු අපට තැබුවේ ඉතා කදිම ආදර්ශයක්!—2 කොරි. 4:16-18.
10. යෙරෙමියාගේ හැඟීම් සම්බන්ධයෙන් හෙළි වන්නේ කුමක්ද?
10 යෙරෙමියා තවත් අභියෝගයකට මුහුණ දුන්නා. එය නම් ඔහුගේ හැඟීම් විගස වෙනස් වීමයි. සමහර අවස්ථාවලදී ඔහු සතුටින් සිටියා. නමුත් ඊළඟ මොහොතේ ඔහු අධෛර්යයට පත්ව දුකින් සිටියා. උදාහරණයකට පෂ්හූර් නම් පූජකයා අතින් බේරුණු පසු ඔහු මහත් සතුටින් තම ජීවිතය ‘දුෂ්ටයන්ගේ අතින් ගලවාගැනීම’ ගැන දෙවිට ප්‍රශංසා කළා. (යෙරෙමියා 20:12, 13 කියවන්න.) දෙවි යම් කරදරයකින් ඔබවත් බේරාගත්තා කියා ඔබට දැනුණු අවස්ථාවකදී නැත්නම් ඔබ සතුටුදායක දෙයක් අද්දුටු අවස්ථාවකදී ඔබත් මහත් සතුටින් දෙවිට ප්‍රශංසා කර ඇති.—ක්‍රියා 16:25, 26.
11. අපේ හැඟීම් විගස වෙනස් වන අවස්ථාවලදී යෙරෙමියා සම්බන්ධයෙන් අප මතක තබාගත යුත්තේ කුමක්ද?
11 “යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න” කියා පවසමින් සතුටින් සිටි යෙරෙමියා, වැඩි වේලාවක් යන්න මත්තෙන් මහත් දුකට පත් වුණා. (යෙරෙමියා 20:14-16 කියවන්න.) ඔහු තම උපන් දවසට පවා ශාප කරමින් තමන් මෙලොවට බිහි වුණේ නැත්නම් මීට වඩා හොඳයි කියා සිතුවා. තම උපත ගැන පණිවිඩය ප්‍රකාශ කළ මිනිසාට සොදොම් හා ගොමෝරා යන නගරවල මිනිසුන්ට අත් වූ විනාශයම අත් විය යුතුයි කියාත් පැවසුවා. ඔහු ඒ දේවල් පවසන්න ඇත්තේ හඬමිනුයි. නමුත් ඔහු එම හැඟීම්වලින් ගොඩ ආ බව යෙරෙමියා පොතේ ඊළඟට වාර්තා කර තිබෙන දෙයින් පැහැදිලි වෙනවා. එහි සඳහන් වන්නේ බැබිලෝනිවරුන් යෙරුසලම යටත් කරගනියිද කියා දැනගැනීමට ශෙදකියා රජු පෂ්හූර් නම් අධිපතියාව යෙරෙමියා වෙතට යැවූ අවස්ථාවේදී ඔහු ඉතා නිර්භීතව දෙවිගේ පණිවිඩය ඔවුන්ට දැන්වූ බවයි. (යෙරෙ. 21:1-7) යෙරෙමියා අධෛර්යයට පත් වුණත් අනාගතවක්තෘවරයෙකු ලෙස ඔහු තම පැවරුම අත් නෑර ඉටු කළ බව පැහැදිලියි.
12, 13. අධෛර්යයට පත් වුණත් ඊට සාර්ථකව මුහුණ දීමට අපට හැක්කේ කෙසේද?
12 අද දින දෙවිගේ සමහර සේවකයන්ද විටක සතුටින් සිටියත් ඒ සතුට ඉක්මනින් නැති වී දුක්මුසු හැඟීම්වලින් පීඩා විඳිනවා. ඔවුන්ගේ හැඟීම් එසේ විගස වෙනස් වන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ සිදු වන හදිසි වෙනසක් නිසා හෝ මොළයේ රසායනික ක්‍රියාවලියේ යම් අසමතුලිතතාවක් නිසා විය හැකියි. එවැනි කෙනෙකු විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත්. (ලූක් 5:31) නමුත් අපෙන් බොහෝදෙනෙකුගේ හැඟීම් එලෙස වෙනස් වන්නේ එවැනි අසාමාන්‍ය හේතුවක් නිසා නොවෙයි. එදිනෙදා ජීවිතයේ අද්දකින ප්‍රශ්න ගැටලු හෝ ආදරය කළ කෙනෙකුගේ වියෝව ඊට හේතු විය හැකියි. එදිනෙදා ක්‍රියාකාරකම්වල යම් වෙනසක් සිදු කිරීමෙන් හෝ යම් විවේකයක් ගැනීමෙන් එවැනි හැඟීම් යම් දුරකට පාලනය කිරීමට අපට හැකි වෙයි. අප අධෛර්යයට පත්ව සිටින්නේ වියෝදුක නිසා නම් දුක තුනී වීමට කාලයට ඉඩහැරීමෙන් එවැනි හැඟීම්වලින් ගොඩ ඒමට හැකියි. කුමන හේතුවක් නිසා අප අධෛර්යයට පත්ව සිටියත් නොකඩවා රැස්වීම්වලට සහභාගි වීම හා ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හවුල් වීම ඉතා වැදගත්. යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් ප්‍රීතිය අද්දැකීමට නම් ඒ දේවල් කිරීම අත්‍යවශ්‍යයි.—මතෙ. 5:3; රෝම 12:10-12.
13 යෙරෙමියා අධෛර්යයට පත් වුණත් ඔහු දෙවිව අත්හැරියේවත් දෙවිට කළ සේවය නතර කළේවත් නැහැ. යුදෙව්වන් වෙනුවෙන් ඔහු බොහෝ යහපත් දේවල් කළත් ඔවුන් ඔහුට සැලකුවේ ඉතා නපුරු ලෙසයි. ඒ ගැන දුකක් ඇති වුණත් ඔහු තම හැඟීම් සියල්ල යෙහෝවා දෙවිට දන්වමින් විශ්වාසවන්තව දිගටම දෙවිට සේවය කළා. (යෙරෙ. 18:19, 20, 23) ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීම කොතරම් වටිනවාද!—විලා. 3:55-57.
අධෛර්යයට පත්ව සිටින අයව දිරිගන්වන විට යෙරෙමියා පොතෙන් ඉගෙනගත් කුමන තොරතුරු ඔබ අදාළ කරගැනීමට අදිටන් කරගෙන සිටිනවාද?
විඩාවට පත්ව සිටින්නන්ව ඔබ ප්‍රාණවත් කරනවාද?
14. යෙරෙමියාට අවශ්‍ය දිරිගැන්වීම ප්‍රධාන වශයෙන් ලැබුණේ කෙසේද?
14 යෙරෙමියාට දිරිගැන්වීමක් ලැබුණු ආකාරය හා “විඩාවට පත්ව සිටින්නන්ව” ඔහු ප්‍රාණවත් කළ ආකාරය සලකා බැලීමෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. (යෙරෙ. 31:25) යෙරෙමියාට අවශ්‍ය දිරිගැන්වීම ප්‍රධාන වශයෙන් ලැබුණේ යෙහෝවා දෙවිගෙනුයි. එක් අවස්ථාවක දෙවි ඔහුට මෙවැනි දෙයක් පැවසුවා. ‘අද මම ඔබව බලකොටුවක් මෙන් ශක්තිමත් කරන්නෙමි. ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත. මන්ද ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි. මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.’ (යෙරෙ. 1:18, 19) දෙවි ඒ වදන් ඔබට පැවසුවා කියා සිතන්න. ඉන් ඔබ කොතරම් දිරිගැන්වීමක් ලබයිද! එසේනම් යෙරෙමියා දෙවි ගැන මෙවැනි දෙයක් පැවසීම පුදුමයක් නොවෙයි. “මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි. විපත්ති කාලයේදී මට පලා ගොස් සැඟවී සිටිය හැක්කේ ඔබ ළඟයි.”—යෙරෙ. 16:19.
15, 16. දෙවි යෙරෙමියාව දිරිගැන්වූ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?
15 අධෛර්යයට පත්ව සිටින කෙනෙකුව දිරිගැන්විය හැකි ආකාරයක් දෙවි යෙරෙමියාට පැවසූ මේ දෙයින් අපට ඉගෙනගත හැකියි. දෙවි ඔහුට පැවසුවේ, “මම ඔබ සමඟ සිටිමි” කියායි. ඉන් පැහැදිලි වන්නේ අධෛර්යයට පත්ව සිටින කෙනෙකුව දිරිගැන්විය හැකි හොඳම ක්‍රමය වන්නේ එවැනි කෙනෙකු සමඟ කාලය ගත කිරීම බවයි. එවිට සුදුසු අවස්ථාවකදී ඔහුව දිරිගැන්වෙන ආකාරයෙන් යම් දේවල් පැවසීමට ඔබට හැකි වෙයි. ඒ සඳහා ඔබ බොහෝ දේ පැවසිය යුතු නැහැ. දිරිගන්වනසුලු වදන් කිහිපයක් පමණක් පැවසීම ප්‍රමාණවත්. වැදගත් වන්නේ ඔබ එම පුද්ගලයා ගැන අවංකවම සැලකිලිමත් වන බව දැනෙන්න සැලැස්වීමයි.—හිතෝපදේශ 25:11 කියවන්න.
16 එක් අවස්ථාවක යෙරෙමියා දෙවිගෙන් මෙවැනි ඉල්ලීමක් කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබේ මතකයෙන් මාව ඈත් නොකරන්න.’ ඉන්පසු ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ වදන් මට අසන්න ලැබුණු විට මම එය හොඳින් සිතට ගත්තෙමි. ඉන් මම ඉමහත් සතුටක් ලැබුවෙමි.” (යෙරෙ. 15:15, 16) යෙරෙමියා දෙවිගෙන් ඉල්ලා සිටි ලෙස දෙවි ඔහු ගැන සැලකිලිමත් බව දෙවිගේ වදන්වලට සවන් දීමෙන් යෙරෙමියා තේරුම්ගත්තා. ඒ හා සමානව අධෛර්යයට පත්ව සිටින ඔබේ සහෝදරයාට හෝ සහෝදරියට ඔබේ සැලකිල්ල බෙහෙවින් අවශ්‍ය විය හැකියි. ඔවුන්ව සැනසීම සඳහා ඔබ පවසන දේවල් දෙවි යෙරෙමියාට පැවසූ වදන් තරම්ම සිතට කාවදින වදන් නොවන්න පුළුවන්. ඒ නිසා ඔබ පවසන දේවලට බයිබලයේ සඳහන් වදන්ද ඇතුළත් කරන්න. ඊට සවන් දීමෙන් අධෛර්යයට පත්ව සිටින කෙනා මහත් දිරිගැන්වීමක් හා සහනයක් ලබන බව නිසැකයි.—යෙරෙමියා 17:7, 8 කියවන්න.
17. යෙරෙමියා ශෙදකියා රජුව හා යෝහානාන්ව දිරිගැන්වූ ආකාරයෙන් අපට ඉගෙනගත හැකි වැදගත් පාඩම කුමක්ද?
17 දෙවිගෙන් දිරිගැන්වීම් ලැබූ යෙරෙමියා, අන් අයවත් දිරිගැන්වූවා. ඔහු ශෙදකියා රජුව හා යෝහානාන්ව දිරිගැන්වූ ආකාරය සලකා බලන්න. බැබිලෝනිවරුන්ට කැමැත්තෙන්ම යටත් වූ යුදෙව්වන් අතින් තමන්ට යම් අනතුරක් සිදු වෙයි කියා භයක් දැනෙන බව ශෙදකියා රජ යෙරෙමියාට පැවසුවා. එවිට යෙරෙමියා, දිරිගන්වන අයුරින් රජුට කතා කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ යෙහෝවා දෙවිට කීකරු වන්න කියායි. එසේ කළොත් රජුට කිසි කරදරයක් නොවන බව ඔහු පැවසුවා. (යෙරෙ. 38:19, 20) හමුදාවේ ප්‍රධානියා වූ යෝහානාන්, යෙරුසලම විනාශ වූ පසු එහි ඉතුරු වූ යුදෙව්වන්ව ඊජිප්තුවට ගෙන යෑමට අදහස් කළ අතර ඔහු ඒ ගැන යෙරෙමියාගෙන් විමසුවා. ඔහුගේ අදහස්වලට සවන් දුන් පසු යෙරෙමියා දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කළා. ඉන්පසු යෙරෙමියා දෙවිගෙන් ලැබුණු දිරිගන්වනසුලු පණිවිඩය දන්වමින් කියා සිටියේ දේශයේම රැඳී සිටියොත් යහපතක් සිදු වන බවයි. (යෙරෙ. 42:1-12) ඒ සිද්ධීන් දෙකේදීම යෙරෙමියා යමක් පැවසීමට කලින් දිරිගැන්වීම අවශ්‍ය වූ පුද්ගලයාට සවන් දුන්නා. ඒ හා සමානව අපිත් අන් අයව දිරිගැන්වීමට නම් හොඳ සවන්දෙන්නන් විය යුතුයි. අධෛර්යයට පත්ව සිටින කෙනෙක් ඔහුගේ සිතේ තිබෙන වේදනාව හා ඔහුට දැනෙන භය ඔබට විවෘතව පවසන විට ඔහුට හොඳින් සවන් දෙන්න. ඉන්පසු සුදුසු අවස්ථාව පැමිණි විට ඔහුව දිරිගන්වන්න. අධෛර්යයට පත්ව සිටින පුද්ගලයාට පැවසිය යුත්තේ කුමක්ද කියා දෙවි යෙරෙමියාට දැන්වූ ලෙස ඔබට දන්වන්නේ නැහැ. නමුත් එවැනි කෙනෙකුට බයිබලයේ සඳහන් ප්‍රීතිමත් පොරොන්දු ගැන පවසන්න ඔබට හැකියි.—යෙරෙ. 31:7-14.
18, 19. රේකාබ්වරුන් හා ඒබෙද්-මෙලෙක් පිළිබඳ වාර්තාව සලකා බැලීමෙන් අන් අයව දිරිගැන්වීම සම්බන්ධයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?
18 එදා යෙරෙමියා ශෙදකියා රජුව හා යෝහානාන්ව දිරිගන්වමින් ඔවුන්ට ලබා දුන් මඟ පෙන්වීම් ඔවුන් පිළිගත්තේ නැහැ. ඒ හා සමාන ප්‍රතිචාරයක් ඔබටත් ලැබෙන්න පුළුවන්. නමුත් අධෛර්යයට පත් වන්න එපා. කිහිපදෙනෙක් හෝ ඔබ පවසන දිරිගන්වන වදන්වලට හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට ඉඩ තිබෙනවා. යෙරෙමියාගේ කාලයේ සිටි සමහරදෙනෙක්ද යෙරෙමියාට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. රේකාබ්වරුන්ද යෙරෙමියාගෙන් ලැබුණු දිරිගැන්වීම අගය කළ පිරිසක්. යෙරෙමියා ඔවුන්ව දිරිගැන්වූයේ කෙසේද කියා සලකා බලන්න. එක් අවස්ථාවකදී දෙවි ලබා දුන් මඟ පෙන්වීමකට අනුව යෙරෙමියා, ඔවුන්ව දෙවිගේ ගෘහයේ තිබූ කෑම කාමරයට ගෙන ගොස් වයින් පිළිගැන්වූවා. නමුත් ඔවුන්ගේ මුතුන්මිත්තෙක් වූ යෙහොනාදාබ් වයින් පානය නොකරන්න යන ආඥාව ඔවුන්ට දී තිබූ නිසා ඔවුන් වයින් පානය කිරීම ප්‍රතික්ෂේප කළා. (යෙරෙ. 35:3-10) කීකරුකම සම්බන්ධයෙන් ඔවුන් තැබූ කදිම ආදර්ශය යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කරන බව පවසමින් යෙරෙමියා ඔවුන්ව දිරිගැන්වූ අතර දෙවි ඔවුන්ට ලබා දුන් බලාපොරොත්තුව ගැනත් ඔවුන්ට පැවසුවා. (යෙරෙමියා 35:14, 17-19 කියවන්න.) අන් අයව දිරිගැන්විය හැකි තවත් ආකාරයක් ඉන් අපට ඉගෙනගත හැකියි. එය නම් අපත් අන් අය කරන යහපත් දේවල් අගය කළ යුතු බවයි.
19 ඒබෙද්-මෙලෙක්වත් යෙරෙමියා එලෙස දිරිගැන්වූවා. යූදාහි අධිපතීන් යෙරෙමියාව මඩින් පිරුණු ළිඳකට දැමූ අවස්ථාවේ ඒබෙද්-මෙලෙක් ඔවුන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක කරමින් යෙරෙමියාව බේරාගත්තා. බොහෝදුරට ඔහු එසේ කරන්න ඇත්තේ විරුද්ධවාදිකම් මැදයි. (යෙරෙ. 38:7-13) අධිපතීන්ට විරුද්ධව ක්‍රියා කළ නිසා තමන්ට කුමන දේවලට මුහුණ දෙන්න සිදු වෙයිද කියා ඔහු කල්පනා කරන්න ඇති. ඔහුට ඇති වූ එම හැඟීම්වලින් ඔහු කෙසේ හෝ ගොඩ එයි කියා සිතා යෙරෙමියා ඔහුට කිසිවක් නොකියා සිටියේ නැහැ. යෙහෝවා දෙවි ඔහු සම්බන්ධයෙන් පැවසූ පොරොන්දුව ඔහුට දන්වමින් ඔහු ඒබෙද්-මෙලෙක්ව දිරිගැන්වූවා.—යෙරෙ. 39:15-18.
20. බාල මහලු අපේ සියලු සහෝදර සහෝදරියන් වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද?
20 පාවුල් තෙසලෝනිකයේ සිටි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියේ, “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” කියායි. ඒ දේ කිරීමට යෙරෙමියා පොතේ තිබෙන තොරතුරු අපට උපකාරවත් වන බව අප මෙතෙක් සලකා බැලූ දේවලින් පැහැදිලියි. ඒවා අදාළ කරගැනීමෙන් “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව” සැමදා අද්දැකීමට අපට හැකි වෙයි.—1 තෙස. 5:11, 28.
අධෛර්යයට පත්ව සිටින අයව දිරිගන්වන විට යෙරෙමියා පොතෙන් ඉගෙනගත් කුමන තොරතුරු ඔබ අදාළ කරගැනීමට අදිටන් කරගෙන සිටිනවාද?
a පෂ්හූර් නම් පූජකයාට අමතරව පෂ්හූර් කියා අධිපතියෙක්ද සිටියා. යෙරෙමියාව ඝාතනය කිරීමට රජුගෙන් අවසර ඉල්ලුවේ ඔහුයි.—යෙරෙ. 38:1-5.