දහවෙනි පරිච්ඡේදය
ඔබ දිනපතා “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” පතනවාද?
1, 2. (අ) යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් ගැන පැවසිය හැක්කේ කුමක්ද? (ආ) ඔවුන් කළ යුතුව තිබුණේ කුමක්ද?
යුදෙව්වන් දෙවිගේ නීතිය කඩ කරමින් දෙවි දුන් මඟ පෙන්වීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නිසා යෙරෙමියා සිටියේ මහත් ශෝකයෙනුයි. ඔවුන්ගේ මුරණ්ඩුකමට ඔවුන් අනිවාර්යයෙන්ම දෙවි අතින් දඬුවම් ලබන බව යෙරෙමියා තේරුම්ගත් නිසා ඔහුගේ දුක තවත් වැඩි වුණා. (යෙරෙ. 6:19; 9:13) ඔහු හඬා වැලපෙමින් පැවසුවේ තම ඇස් දෙක කඳුළු උල්පතක් වුණා නම් තම හිස දිය පොකුණක් වුණා නම් හොඳයි කියායි.—යෙරෙ. 9:1-3; යෙරෙමියා 8:20, 21 කියවන්න.
2 තම සෙනඟට දෙවිගේ අනුමැතිය අහිමි වීම ගැන යෙරෙමියා දුකින් සිටියත් යුදෙව්වන් නම් ඒ ගැන දුක් වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. තමන් කරමින් සිටි දේවල් ගැන දෙවිට හැඟෙන ආකාරය තේරුම්ගැනීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. ආගමික නායකයන්ගෙන් ඔවුන්ට නිතරම අහන්න වුවමනා වුණේ, ‘ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ’ යන වදනුයි. (යෙරෙ. 5:31; 6:14) ඔවුන් ක්‍රියා කළේ රෝගයේ බරපතළකම සඟවා රෝගියාව සනසවන ආකාරයේ දේවල් පවසන වෛද්‍යවරයෙකු ළඟට යන අඥාන රෝගියෙකු හා සමානවයි. එදා සිටි යුදෙව්වන් කළ යුතුව තිබුණේ තමන් ගත කරන ජීවිතය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද කියා සිතා ජීවිතයේ බැරෑරුම් කාරණාවලදී මෙන්ම සුළු සුළු කාරණාවලදීද ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතීමයි.’—යෙරෙ. 2:6, 8.
3. යුදෙව්වන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට හැකි වූ එක් ආකාරයක් කුමක්ද?
3 කනගාටුදායක ලෙස යුදෙව්වන්ගෙන් බහුතරයක් එසේ කළේ නැහැ. නමුත් බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී නැවත යෙරුසලමට පැමිණෙන යුදෙව්වන් ‘තමා වෙතට හැරී තම මඟ පෙන්වීම් පතන’ බවත් ‘ඒ කාලයේදී ඔවුන්ගේ නමස්කාරය තමා පිළිගන්නා’ බවත් දෙවි පවසා තිබුණා. (යෙරෙමියා 29:13, 14 කියවන්න.) ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට පුළුවන් වුණේ කොහොමද? එය කළ හැකි පළමු ක්‍රමය වුණේ යාච්ඤාව මගින් දෙවිට කන්නලව් කිරීමයි. දාවිත්ද “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න. ඔබේ මාවතේ ගමන් කිරීමට මට උගන්වන්න” කියා දෙවිගෙන් ඉල්ලා සිටියා. (ගීතා. 25:4) ශෙදකියා රජු පාලනය කළ දහවෙනි අවුරුද්දේදී දෙවි යෙරෙමියා මාර්ගයෙන් මෙවැනි ඉල්ලීමක් කළා. “මට කතා කරන්න. එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඔබ කලින් නොදැන සිටි, ඔබට තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල් මම ඔබට දැන් පහදා දෙන්නෙමි.” (යෙරෙ. 33:3) ඒ ඉල්ලීමට එකඟව රජු හා කැරලිකාර සෙනඟ දෙවිට කන්නලව් කළා නම් ඔවුන් ‘කලින් තේරුම්ගෙන නොසිටි දේවල්’ එනම් යෙරුසලම පාළුවට යන බවත් අවුරුදු 70කට පසුව නැවත එම නගරය ගොඩනඟන බවත් දෙවි ඔවුන්ට පැහැදිලි කර දෙනවා.
4, 5. යුදෙව්වන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට හැකි වූ වෙනත් ක්‍රම මොනවාද?
4 යුදෙව්වන්ට දෙවිගේ මඟ පෙන්වීම් පැතිය හැකි දෙවෙනි ක්‍රමය වුණේ අතීතයේ දෙවි තම සෙනඟ සමඟ ක්‍රියා කර තිබෙන ආකාරය අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමයි. එසේ කිරීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කළ යුත්තේ මොනවාද කියාත් එය අහිමි වන්නේ කුමක් නිසාද කියාත් ඔවුන්ට දැනගැනීමට හැකි වෙනවා. එදා ඔවුන්ට අධ්‍යයනය කිරීමට දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියූ මෝසෙස්ගේ ලියවිලි හා වෙනත් ඉතිහාස වාර්තා මෙන්ම ඊශ්‍රායෙල්හි හා යූදාහි රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත් වාර්තා තිබුණා. යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් ඒවා කියවා ඒවා ගැන ගැඹුරින් කල්පනා කර දෙවිගේ අනාගතවක්තෘවරුන්ට සවන් දුන්නා නම් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ඔවුන්ට අවස්ථාව තිබුණා.
5 යුදෙව්වන්ට දෙවිගේ මඟ පෙන්වීම් පැතිය හැකි තුන්වෙනි ක්‍රමය වුණේ තමන් පෞද්ගලිකව අද්දුටු දේවල් හා අන් අයගේ අද්දැකීම් සලකා බලා ඒවායින් ඉගෙනගැනීමයි. කෙසේවෙතත් ඉගෙනගත යුතු සෑම කාරණයක්ම අද්දැකීමෙන්ම ඉගෙනගන්න අවශ්‍යයි කියා ඉන් අදහස් වන්නේ නැහැ. නමුත් ඔවුන් යම් දේවල් අද්දැක තිබුණා නම් ඒවායින් ඔවුන්ට පාඩම් ඉගෙනගැනීමට අවස්ථාව තිබුණා. එසේ කිරීමෙන් ඔවුන්ට දෙවි සිතන ආකාරය තේරුම්ගැනීමට හැකි වෙනවා. යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් ඒ දේ කළා නම් ඔවුන් ගත කරමින් සිටි ජීවිතය ගැන දෙවිට හැඟුණේ කෙසේද කියා අවබෝධ කරගැනීමට පුළුවන් වෙනවා.—හිතෝ. 17:10.
6. යෝබ් ගැන සලකා බැලීම ඔබට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
6 ඔබත් ජීවිතයේ විවිධ තීරණ ගන්නා විට ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවාද?’ ‘මම ඒ තරම්ම දෙවිගේ මඟ පෙන්වීම් පතන්නේ නැහැනේ’ කියා සමහරදෙනෙකුට සිතෙන්න පුළුවන්. ඔබටත් එසේ හැඟෙනවා නම් අධෛර්යය වන්න එපා. මන්ද දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ යෝබ්ද එක් අවස්ථාවක එසේ කිරීමට අපොහොසත් වුණා. ඔහු බොහෝ පීඩා හා කරදරවලට මුහුණ දී සිටි කාලයේදී තමාට සිදු වී තිබෙන දේ ගැන ඕනෑවට වඩා සිතූ නිසා දෙවි කාරණා දෙස බලන ආකාරය ඔහුගේ මනසින් ගිලිහී ගියා. ඇත්තටම එය ඕනෑම කෙනෙකු අතින් සිදු විය හැකියි. එලිහු යෝබ්ට උපදෙස් දුන් අවස්ථාවේ මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “‘මාව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දෙවි කොහේද [එනම් දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි]’ කියා එක් කෙනෙක්වත් අසන්නේ නැත.” (යෝබ් 35:10) දෙවි කාරණා දෙස බලන ආකාරය තේරුම්ගැනීමට යෝබ්ට උපකාර කිරීම සඳහා “දෙවිගේ විස්මිත ක්‍රියා වෙත ඔබේ සිත යොමු කරන්න” කියා එලිහු ඔහුට උනන්දු කළා. (යෝබ් 37:14) දෙවිගේ විස්මිත ක්‍රියා ගැන හා දෙවි මිනිසුන් සමඟ ක්‍රියා කර තිබෙන ආකාරය ගැන කල්පනා කිරීමෙන් පසු දෙවි කාරණා දෙස බලන ආකාරය තේරුම්ගැනීමට යෝබ්ට හැකි වුණා. ඒ නිසයි යෝබ් මෙවැනි දෙයක් පැවසුවේ. “මා කතා කළේ කිසි අවබෝධයක් නැතුවය. මට සිතාගත නොහැකි පුදුමසහගත දේවල් ගැන හරි දැනුමක් නොමැතිව මම කතා කළෙමි. මම කලින් ඔබ ගැන අසා තිබුණත් දැන් මාගේ ඇස් දෙකෙන්ම ඔබව දකින්නෙමි.”—යෝබ් 42:3, 5.
7. එකසිය පනස්හයවෙනි පිටුවේ ඇති පින්තූරයට අනුව අප ඊළඟට සලකා බලන්නේ දෙවිගේ මඟ පෙන්වීම් ලබාගත හැකි කුමන ආකාරය ගැනද?
7 යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැති වුණත් යෙරෙමියා නිතරම ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා.’ ඔහු යාච්ඤාව මගින්, අධ්‍යයනයෙන් හා අද්දැකීම් තුළින් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගත් ආකාර ගැන අපි සලකා බලමු. ඒ සම්බන්ධයෙන් ඔහුව ආදර්ශයට ගත හැකි ආකාර එවිට අපට තේරුම්ගත හැකියි.—1 ලේක. 28:9.
යෙරෙමියාගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන් කළ යුතුව තිබුණේ කුමක්ද? ඔවුන්ට ‘දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට’ හැකි වූ ආකාර මොනවාද?
ඔහු යාච්ඤා කර මඟ පෙන්වීම් පැතුවා
8. යෙරෙමියා දෙවිට යාච්ඤා කළේ කුමන අවස්ථාවලදීද?
8 යෙරෙමියා නිතරම යාච්ඤා කර දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා. සෙනඟ අසන්න අකමැති පණිවිඩ ප්‍රකාශ කරන්න සිදු වූ අවස්ථාවලදී ඔහු ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කළා. තම පැවරුම තවදුරටත් ඉටු කිරීමට නොහැකියි කියා හැඟුණු අවස්ථාවලදීත් සමහර දේවල් සිදු වන්නේ ඇයි කියා ඔහුට තේරුම්ගැනීමට අපහසු වූ අවස්ථාවලදීත් ඔහු දෙවිට යාච්ඤා කළා. ඒ සෑම අවස්ථාවකදීම දෙවි අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී ඔහුව ශක්තිමත් කළා. ඊට උදාහරණ කිහිපයක් සලකා බලමු.
9. (අ) යෙරෙමියා 15:15, 16හි සඳහන් වන ලෙස යෙරෙමියා දෙවිට දැන්වූයේ කුමන දේවල් ගැනද? දෙවි ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දුන්නේ කෙසේද? (ආ) යාච්ඤාව මගින් ඔබේ හැඟීම් දෙවිට දැන්වීම වැදගත් කියා ඔබ සිතන්නේ ඇයි?
9 විනිශ්චයන් ඇතුළත් පණිවිඩ ප්‍රකාශ කරන නිසා සෙනඟ තමාට ශාප කරනවා කියා යෙරෙමියාට හැඟුණා. ඒ අවස්ථාවේ ඔහු දෙවිට කළ යාච්ඤාව යෙරෙමියා 15:15, 16හි සඳහන් වෙනවා. (කියවන්න.) ඔහු තමාට දැනුණු දුක, කනස්සල්ල ගැන දෙවිට දැන්වූ අතර තමාව සිහි කරන ලෙස දෙවිගෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් දෙවිගේ වදන් අසන්න ලැබුණු විට තමා ඉන් ඉමහත් සතුටක් ලැබූ බවත් ඔහු එම යාච්ඤාවේ සඳහන් කළා. ඉන් පැහැදිලි වන්නේ තමාට හැඟුණු ආකාරය දන්වමින් යෙරෙමියා කළ යාච්ඤාවට පිළිතුරක් ලෙස දෙවි තම වදන් මගින් ඔහුව ශක්තිමත් කළ බවයි. දෙවිගේ නාමය දරමින් දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීමේ පැවරුම මොන තරම් වටිනා පැවරුමක්ද කියා තේරුම්ගැනීමට දෙවි ඔහුට එසේ උපකාර කළා.
10. යෙරෙමියා අධෛර්යයට පත්ව සිටි අවස්ථාවකදී දෙවි ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන්නේ කෙසේද?
10 පූජක පෂ්හූර් යෙරෙමියාට පහර දුන් අවස්ථාවේදී යෙරෙමියා කොතරම් අධෛර්යයට පත් වුණාද කියනවා නම් ඔහු දෙවිට පැවසුවේ තමා නැවත දෙවිගේ නාමයෙන් පණිවිඩ ප්‍රකාශ කරන්නේ නැහැ කියායි. එම හැඟීමෙන් ගොඩ ඒමට දෙවි ඔහුට උපකාර කළේ කෙසේද? (යෙරෙමියා 20:8, 9 කියවන්න.) දෙවි කෙළින්ම යෙරෙමියාට කතා කර අවශ්‍ය උපකාර ලබා දුන් බව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් එම හැඟීමෙන් ගොඩ ඒමට දෙවි ඒ වන විටත් ප්‍රකාශ කර තිබූ වදන් ඔහුට උපකාරවත් වුණා. දෙවිගේ වදන් තම හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් ඇටකටු තුළ දැල්වුණු බවත් දෙවිගේ පණිවිඩ ප්‍රකාශ නොකර සිටීමට තමාට නොහැකි බවත් යෙරෙමියා පැවසුවේ ඒ නිසයි. තමන්ට හැඟුණු ආකාරය අවංකව දෙවිට පැවසූ විට දෙවිගේ කැමැත්ත ගැන ඔහු ඒ වන විටත් දැන සිටි දේවල් ඔහුගේ මතකයට නැඟුණා. ඒ නිසා තමන්ගෙන් දෙවි බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට ඔහු තුළ මහත් පෙලඹීමක් ඇති වුණා.
11, 12. දුෂ්ටයන්ගේ සාර්ථකත්වය ගැන යෙරෙමියා ඇසූ ප්‍රශ්නයට දෙවිගෙන් පිළිතුරක් ලැබුණේ කෙසේද?
11 තවත් අවස්ථාවක දුෂ්ටයන්ගේ සාර්ථකත්වය දැක කලකිරුණු යෙරෙමියා, එසේ වීමට ඉඩහැර තිබෙන්නේ ඇයි කියා දෙවිගෙන් ඇසුවා. (යෙරෙමියා 12:1, 3 කියවන්න.) ඔහු එවැනි ප්‍රශ්නයක් ඇසුවේ දෙවි ධර්මිෂ්ඨව ක්‍රියා කරනවාද කියා ඔහු තුළ සැකයක් ඇති වූ නිසා නොවෙයි. නමුත් යුදෙව්වන් මෙතරම් වැරදි කරකර සාර්ථක වෙන්නේ කෙසේද කියා ඔහුට තේරුම්ගැනීමට නොහැකි වූ නිසයි. තම සිතට වධ දෙන දෙයක් ගැන යෙරෙමියා දෙවිගෙන් කෙළින්ම ඇසීමෙන් පැහැදිලි වන්නේ දරුවෙකු හා පියෙකු අතර තිබෙන කිට්ටු බැඳීමට සමාන බැඳීමක් යෙරෙමියාට දෙවි සමඟ තිබූ බවයි. ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණාද? ඔව්. දුෂ්ටයන්ව විනාශ කරන බවට දෙවි ඔහුට සහතික වුණා. (යෙරෙ. 12:14) ඒ පොරොන්දුව ඉටු වන ආකාරයත් යෙරෙමියා ඇස් දෙකෙන්ම දුටු නිසා දෙවි යුක්තිගරුක දෙවි කෙනෙකු බව ඔහුට තවත් තහවුරු වෙන්න ඇති. එහි ප්‍රතිඵලයක් ලෙස තම හැඟීම් යාච්ඤාවෙන් දෙවිට තව තවත් දන්වන්න යෙරෙමියා පෙලඹෙන්න ඇති.
12 මිනිසුන්ගේ ක්‍රියාවන් දෙවිගේ අවධානයට ලක් වන බවත් තම සේවකයන් කරන යාච්ඤාවලට දෙවි සවන් දෙන බවත් යෙරෙමියා තම අද්දැකීමෙන්ම තේරුම්ගත්තා. ශෙදකියා රජුගේ පාලනයේ අවසානභාගයේ බැබිලෝනිවරුන් යෙරුසලම වටලා සිටියදී යෙරෙමියා දෙවි ගැන මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.” (යෙරෙ. 32:19) දෙවි පැවසූ දේවල් ක්‍රමානුකූලව ඉටු වූ විට යෙරෙමියා පැවසූ එම වදන්වල සත්‍යතාව දෙවිගේ සේවකයන්ට තව තවත් තහවුරු වුණා.
13. දෙවි තම අරමුණ අනිවාර්යයෙන්ම ඉටු කරන බවට ඔබ තුළ නිසැකකමක් තිබෙන්නේ ඇයි?
13 දෙවි යුක්තිසහගතව හා ප්‍රඥාවන්තව තම අරමුණ ඉටු කරන බව අප සැක කරන්නේ නැහැ. නමුත් අප විවිධ අභියෝගවලට මුහුණ දෙන විට ‘ඇයි මේ දේවල් මට වෙන්නේ, ඇයි දෙවි මේවාට ඉඩහැරලා තියෙන්නේ’ කියා අපට හැඟෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී යෙරෙමියා මෙන් අපේ හැඟීම් දෙවිට දන්වන්න අපටත් හැකියි. එවිට දෙවි යෙරෙමියා තුළ තිබූ විශ්වාසය ශක්තිමත් කළ ලෙස දෙවි තම පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරන බවට අප තුළ තිබෙන විශ්වාසයත් තවත් ශක්තිමත් කරයි. සමහර දේවල් සිදු වීමට හේතුව අපට හරියට නොතේරුණත් යම් කාරණා දෙවි කෙසේ විසඳයිද කියා අප නොදැන සිටියත් අවසානයේදී දෙවිගේ අරමුණ ඉටු වන බවට අපට විශ්වාසයි කියා යාච්ඤාවෙන් දෙවිට පවසන්න අපට හැකියි. දෙවිට කළ නොහැකි දෙයක් නැති නිසා නියමිත කාලයේදී දෙවිගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. දෙවි තම අරමුණ ක්‍රමානුකූලව ඉටු කරන ආකාරය තේරුම්ගැනීමට අවශ්‍ය උපකාර ඉල්ලා දිගටම දෙවිට යාච්ඤා කරමු.—යෝබ් 36:5-7, 26.
යාච්ඤාව මාර්ගයෙන් දෙවිගේ මඟ පෙන්වීම් පැතූ යෙරෙමියාගේ ආදර්ශය සලකා බැලීම ඔබට දිරිගැන්වීමක් වුණේ කෙසේද?
අධ්‍යයනය තුළින් ඔහු මඟ පෙන්වීම් ලබාගත්තා
14. යෙරෙමියා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය ගැන ගැඹුරින් අධ්‍යයනය කළ බව අප දන්නේ කෙසේද?
14 දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට නම් ‘යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටීම’ කොතරම් වැදගත්ද කියා යෙරෙමියා වටහාගත්තා. (යෙරෙ. 9:24) ඒ නිසා ඔහු දේවල් ගැඹුරින් අධ්‍යයනය කළා. යෙරෙමියා ලියූ පළමුවෙනි හා දෙවෙනි රාජාවලිය යන පොත්වල, ‘සලමොන්ගේ ඉතිහාසය අඩංගු ලියවිල්ල,’ ‘ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ල’ හා ‘යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල’ ගැන සඳහන් කර තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ එම පොත් ලිවීමට කලින් ඔහු දෙවිගේ සෙනඟගේ ඉතිහාසය ගැන ගැඹුරින් අධ්‍යයනය කළ බවයි. (1 රාජා. 11:41; 14:19; 15:7) යෙරෙමියාගේ කාලය වන විට මෝසෙස්, යොෂුවා, සාමුවෙල්, දාවිත් හා සලමොන් වැනි අය ලියූ ලියවිලිද තිබූ නිසා ඔහු ඒවාත් අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඇති. ඔහුට කලින් සිටි අනාගතවක්තෘවරුන් පැවසූ දේවල් ගැනත් ඔහුගේ කාලයේ සිටි අනාගතවක්තෘවරුන් පැවසූ දේවල් ගැනත් ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. යෙරෙමියා එලෙස දේවල් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ප්‍රයෝජන ලැබුවේ කෙසේද? විවිධ සිදුවීම් හමුවේ දෙවි ක්‍රියා කර තිබෙන ආකාරයත් ඇතැම් අය කළ කී දේවල් ගැන දෙවිට හැඟුණු ආකාරයත් තේරුම්ගැනීමට ඔහුට හැකි වුණා. දෙවිව සතුටට පත් කළ හැක්කේ කෙසේද කියාත් එමගින් යෙරෙමියා තේරුම්ගන්න ඇති.
15. එලියා පැවසූ අනාවැකිය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් යෙරෙමියා ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
15 ඉතිහාසය ගැන අධ්‍යයනය කිරීමෙන් යෙරෙමියා ප්‍රයෝජන ලැබූ ආකාරය තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. සමාරියේ ආහබ් රජුගේ බිරිඳ වූ යෙසබෙල් ගැන ඔහු වාර්තා කර තිබෙනවා. යෙසබෙල් රැජිනගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේදී බල්ලෝ කා දමන බවට එලියා පවසා තිබූ අනාවැකිය ගැනත් එහි සඳහන් වෙනවා. (1 රාජා. 21:23) එලියා එම අනාවැකිය පවසා අවුරුදු 18කට විතර පසුව එය ඉටු වුණා. යෙසබෙල් රැජිනව ජනේලයෙන් පහතට තල්ලු කර දැමූ අතර යේහුගේ අශ්වයන් ඇයව පාගා දැමුවා. පසුව ඇගේ මළ සිරුර බල්ලන් ඇවිත් කා දැමුවා. ඒ සෑම තොරතුරක් ගැනද යෙරෙමියා තම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. (2 රාජා. 9:31-37) එලියා පැවසූ එම අනාවැකිය ගැනත් එය ඉටු වූ ආකාරය ගැනත් යෙරෙමියා ගැඹුරින් අධ්‍යයනය කළ විට දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය තවත් ශක්තිමත් වන්න ඇති. විඳදරාගනිමින් දිගටම අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමට එලෙස අධ්‍යයනය කිරීම ඔහුට මොන තරම් උපකාරයක් වන්න ඇද්ද!
16, 17. දැඩි විරුද්ධවාදිකම් මැද පවා දුෂ්ට රජවරුන්ට දිගටම දෙවිගේ පණිවිඩ පවසන්න යෙරෙමියාට උපකාරවත් වන්න ඇත්තේ කුමක්ද?
16 ඉතිහාස වාර්තා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ඔහු ප්‍රයෝජන ලැබූ තවත් ආකාරයක් සලකා බලන්න. දැඩි විරුද්ධවාදිකම් මැද පවා යෙහෝයාකිම්, ශෙදකියා වැනි දුෂ්ට රජවරුන්ට දිගටම දෙවිගේ පණිවිඩ පවසන්න ඔහුට හැකි වුණේ කුමක් නිසා කියාද ඔබ සිතන්නේ? මූලිකවම ඔහුට ඒ දේ කිරීමට හැකි වුණේ යෙහෝවා දෙවි ඔහුව යූදාහි රජවරුන් ඉදිරියේ ‘බලකොටුවක් මෙන්ද යකඩ කුලුනක් මෙන්ද තඹ පවුරක් මෙන්ද ශක්තිමත් කළ නිසයි.’ (යෙරෙ. 1:18, 19) නමුත් අතීතයේ ඊශ්‍රායෙල්හි හා යූදාහි සිටි රජවරුන් ගැන තොරතුරු සොයා බැලීමද ඒ සඳහා ඔහුට උපකාරවත් වන්න ඇති. උදාහරණයකට මනස්සේ රජු ‘යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ මළු දෙකෙහි ආකාශ වස්තූන්වලට නමස්කාර කිරීම සඳහා පූජාසන ගොඩනැඟූ’ බවත් ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළ බවත් නිර්දෝෂ මිනිසුන්ව නිරපරාදේ ඔහු මරා දැමූ බවත් යෙරෙමියා වාර්තා කර තිබෙනවා. (2 රාජා. 21:1-7, 16; යෙරෙමියා 15:4 කියවන්න.) නමුත් මනස්සේ රජු දෙවි ඉදිරියේ යටහත්පහත් වී දෙවිට කන්නලව් කළ විට දෙවි ඔහුව නැවත රජකමට පත් කළ බව යෙරෙමියා දැන සිටියා.—2 ලේකම් 33:12, 13 කියවන්න.
17 පසුතැවිලි වූ මනස්සේ රජුට යෙහෝවා දෙවි දයාව පෙන්වූ ආකාරය ගැන යෙරෙමියා තම වාර්තාවට ඇතුළත් නොකළත් ඔහු ඒ ගැන දැන සිටි බවට සැකයක් නැහැ. මන්ද මනස්සේ රජු මිය ගියේ යෙරෙමියා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමට අවුරුදු 15කට පමණ පෙරයි. මනස්සේ රජුට දෙවි දයාව පෙන්වූ ආකාරය ගැන දැන සිටීමෙන් ශෙදකියා වැනි නපුරු රජවරුන්ට පසුතැවිලි වී දෙවිගේ දයාව ලබාගැනීමට උත්සාහ කරන්න කියා ඉල්ලා සිටීමේ වැදගත්කම යෙරෙමියා අවබෝධ කරගන්න ඇති. ඒ නිසා අත් නෑර එවැනි දුෂ්ට රජවරුන්ට දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කරන්න යෙරෙමියා පෙලඹෙන්න ඇති. ඔබ යෙරෙමියා නම් ඔබටත් එවැනි පෙලඹීමක් ඇති වන්නේ නැද්ද?
අද්දැකීම් තුළින් ඔහු මඟ පෙන්වීම් ලබාගත්තා
18. උරියාහ් හා සම්බන්ධ සිද්ධියෙන් යෙරෙමියා ඉගෙනගන්න ඇත්තේ කුමක්ද? ඔබ එසේ පවසන්නේ ඇයි?
18 යෙරෙමියා ජීවත් වූ කාලයේ සිටි ඇතැම් අය ක්‍රියා කළ ආකාරයෙන්ද ඔහු බොහෝ දේ ඉගෙනගත්තා. උදාහරණයකට අනාගතවක්තෘ උරියාහ් හා සම්බන්ධ සිද්ධිය සලකා බලන්න. යෙහෝයාකිම් රජු පාලනය කළ කාලයේ උරියාහ් යෙරුසලමේ හා යූදාහි වැසියන්ට විරුද්ධව අනාවැකි පැවසුවා. ඒ අනාවැකි ගැන ආරංචි වී රජු ඔහුව මරන්න සෙවූ විට ඔහු ඊජිප්තුවට පලා ගියා. පසුව රජ මිනිසුන් කිහිපදෙනෙකුව ඊජිප්තුවට යවා ඔහුව අල්ලාගෙන ඇවිත් මරා දැමුවා. (යෙරෙ. 26:20-23) යෙරෙමියා එම සිද්ධියෙන් ඉගෙනගන්න ඇත්තේ කුමක්ද? දෙවි කෙරෙහි විශ්වාසය තබා නිර්භීතව ක්‍රියා කිරීමේ වැදගත්කම ඔහු එමගින් ඉගෙනගන්න ඇති. කොතරම් විරුද්ධවාදිකම් ආවත් ඔහු අත් නෑර පැමිණීමට නියමිත විනාශය ගැන යුදෙව්වන්ට අනතුරු ඇඟවීම් ලබා දීමෙන් එය පැහැදිලි වෙනවා. සමහර අවස්ථාවලදී අනතුරු ඇඟවීම් ලබා දීමට ඔහු දෙවිගේ ගෘහයට පවා ගියා. යෙරෙමියා එසේ නිර්භීතව දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කළ නිසා දෙවි ඔහුව අත්හැරියේ නැහැ. යෙරෙමියාගේ ජීවිතය අනතුරේ තිබූ එක් අවස්ථාවකදී ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම් මැදිහත් වී යෙරෙමියාගේ ජීවිතය බේරාගත්තේ සමහරවිට දෙවි ඔහුව ඒ සඳහා පෙලඹවූ නිසා විය හැකියි.—යෙරෙ. 26:24.
19. දෙවි නැවත නැවත අනාගතවක්තෘවරුන්ව තම සෙනඟ වෙතට යැවීමෙන් යෙරෙමියා තේරුම්ගත්තේ කුමක්ද?
19 තමන් ලැබූ අද්දැකීම්වලින්ද යෙරෙමියා බොහෝ දේ ඉගෙනගත්තා. යොෂියා රජුගේ කාලයේ සිට තමන් පැවසූ සියලු අනාවැකි ලියවිල්ලක සටහන් කරන්න කියා යෙහෝවා දෙවි එක් අවස්ථාවක යෙරෙමියාට පැවසුවා. දෙවි එවැනි දෙයක් කරන්න කියා යෙරෙමියාට පැවසුවේ එම අනාවැකි ගැන අසා තමන් ගිය වැරදි මාර්ගවලින් ඉවත් වී දෙවිගෙන් සමාව ලබාගැනීමට යුදෙව්වන්ට අවස්ථාව දීම සඳහායි. (යෙරෙමියා 36:1-3 කියවන්න.) එය තේරුම්ගෙන සිටි යෙරෙමියා, හිමිදිරි උදෑසන සිට දෙවිගේ පණිවිඩ සෙනඟට දැන්වූ අතර ඔවුන් කරමින් සිටි පිළිකුල්සහගත ක්‍රියා අත්හරින්න කියා මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. (යෙරෙ. 44:4) දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් තම සෙනඟට අනතුරු ඇඟවීම් ලබා දෙන්නේ ඔවුන් කෙරෙහි තිබෙන අනුකම්පාව නිසා බව සෙනඟ වෙතට නැවත නැවත ගොස් දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීමෙන් යෙරෙමියා තේරුම්ගත්තා. ඒ නිසා තමන්ද යුදෙව්වන්ට අනුකම්පා කළ යුතු බව ඔහු අවබෝධ කරගත්තා. (2 ලේක. 36:15) සෙනඟ කෙරෙහි දෙවි පෙන්වූ දයාව යෙරෙමියා කොතරම් අගය කළාද යන කාරණය යෙරුසලමේ විනාශයෙන් පසු ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ ඔබේ අතිමහත් ප්‍රේමය ඔබ අපට පෙන්වූ නිසාය. ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය. ඔබ සෑම උදෑසනකම ඔබේ දයාව පෙන්වන්නෙහිය.”—විලා. 3:22, 23.
ඉතිහාස වාර්තා අධ්‍යයනය කිරීමෙනුත් අන් අය හා තමන් ලැබූ අද්දැකීම් ගැන කල්පනා කිරීමෙනුත් යෙරෙමියා ප්‍රයෝජන ලැබුවේ කෙසේද? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
ඔබ දිනපතා ‘දෙවිගේ මඟ පෙන්වීම් පතනවාද?’
20. දෙවිගේ මඟ පෙන්වීම් පැතීමේදී යෙරෙමියාව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
20 ඔබ එදිනෙදා ජීවිතයේ විවිධ තීරණ ගන්නා විට ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවාද?’ (යෙරෙ. 2:6-8) යෙරෙමියා එසේ කළ බව අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලියි. එසේනම් අපිත් යෙරෙමියාව ආදර්ශයට ගනිමින් අපේ ජීවිතයේ විවිධ තීරණ ගන්නා විට දෙවිගේ මඟ පෙන්වීම් පැතීම කොතරම් වැදගත්ද!
21. නොකඩවා දේවසේවයේ යෑමට ඔබට යාච්ඤාව උපකාරවත් වන්නේ කෙසේද?
21 අප දෙවිගේ මඟ පෙන්වීම් පැතිය යුත්තේ ජීවිතයේ බැරෑරුම් තීරණ ගන්නා විටදී පමණක් නොවෙයි. උදාහරණයකට ඔබ දේවසේවයේ යෑමට සැලසුම් කර තිබෙනවා කියා සිතන්න. එදින ඔබ උදෑසන අවදි වූ විට අහස මදක් කළුවර වී තිබෙන බව දැක ‘අද නම් වහියි වගේ. ඒ හින්දා සේවයේ යන්න බැරි වෙයි’ කියා ඔබට සිතෙන්න පුළුවන්. නැත්නම් එදින සේවයේ යෑමට නියමිත ප්‍රදේශය නිතර නිතර යන ප්‍රදේශයක් කියා මතක් විය හැකියි. එම ප්‍රදේශයේ සිටින මිනිසුන් ශුභාරංචියට එතරම් උනන්දුවක් නොදැක්වූ බව හෝ ඇතැම් අය ඔබට බැණවැදුණු බව ඔබට මතක් වෙන්න පුළුවන්. එවැනි සිතුවිලි ඔබේ මනසට නැඟෙන විට ඔබ ඒ ගැන දෙවිට යාච්ඤාවෙන් දන්වනවාද? අප එසේ කරනවා නම් අප පවසන පණිවිඩය කොතරම් වටිනා පණිවිඩයක්ද කියාත් ඒ පණිවිඩය අන් අයට ප්‍රකාශ කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වන බවත් තේරුම්ගැනීමට දෙවි අපට උපකාර කරයි. (යෙරෙ. 15:16, 20) එදින ඔබ සේවය හවුල් වන විට යම් කෙනෙක් ඔබට නපුරු විදිහට බැණවැදුණොත් හෝ ඔබට තර්ජනය කළොත් ඒ අවස්ථාවේදී ඔබට ඇති වන හැඟීම් ගැනත් දෙවිට පවසන්න. ඔබ එසේ කළොත් කලබල නොවී ඒ අවස්ථාවට හොඳින් මුහුණ දෙන්නත් අධෛර්යය කරවන හැඟීම්වලින් යටපත් නොවී දිගටම දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන්නත් දෙවි තම බලය මාර්ගයෙන් ඔබට උපකාර කරයි.—ලූක් 12:11, 12.
22. සමහර යාච්ඤාවලට දෙවි සවන් නොදෙන්නේ ඇයි?
22 අප දෙවිට කරන යාච්ඤා සම්බන්ධයෙන් මතක තබාගත යුතු වැදගත් කාරණයක් තිබෙනවා. එනම් සමහර යාච්ඤාවලට දෙවි සවන් නොදෙන බවයි. (විලාප ගී 3:44 කියවන්න.) උදාහරණයකට කැරලිකාර යුදෙව්වන්ගේ යාච්ඤාවලට දෙවි සවන් දුන්නේ නැහැ. මන්ද ඔවුන් ‘නීතියට සවන් නොදී’ දිගින් දිගටම වැරදි කළා. (හිතෝ. 28:9) ඉන් පැහැදිලි වන්නේ කෙනෙක් කොතරම් යාච්ඤා කළත් ඔහු දෙවිගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරනවා නම් ඔහුගේ යාච්ඤාවලට දෙවි සවන් නොදෙන බවයි. එසේනම් දෙවිව අසතුටට පත් කරන අයුරින් ක්‍රියා නොකිරීමට උත්සාහ කිරීම කොතරම් වැදගත්ද!
23, 24. (අ) දෙවි සිතන ආකාරය තේරුම්ගැනීමට අප කළ යුතු තවත් වැදගත් දෙයක් කුමක්ද? (ආ) පෞද්ගලික අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද?
23 දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා යාච්ඤා කරනවාට අමතරව අප තව වැදගත් දෙයක් කළ යුතුයි. එනම් බයිබලය අධ්‍යයනය කිරීමයි. අද අපට සම්පූර්ණ බයිබලයම තිබෙන නිසා දෙවිගේ කැමැත්ත ගැන යෙරෙමියාට තිබුණාට වඩා පුළුල් අවබෝධයක් ලබාගැනීමට අපට අවස්ථාව තිබෙනවා. බයිබලයට ඇතුළත් කර තිබෙන ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය ගැන විස්තර අඩංගු පොත් ලිවීමට කලින් යෙරෙමියා ඉතිහාස වාර්තා හොඳින් සෝදිසි කර බැලූ බව ඔබට මතක ඇති. ඒ හා සමානව දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කිරීමට අපටත් හැකියි. අප එසේ කරනවා නම් ඉන් පැහැදිලි වන්නේ අපට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙන බවයි. දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති කෙනෙකු ‘දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසක් හා සමානයි.’—යෙරෙමියා 17:5-8 කියවන්න.
24 ඔබ බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන විට, දෙවි සතුටු වන්නේ ඔබ ජීවිතයේ මොන වගේ තීරණ ගන්නවාටද කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. ඔබේ ජීවිතයට අදාළ කරගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද කියාත් සොයා බලා ඒවා මතක තබාගන්න වෑයමක් දරන්න. ඉතිහාස වාර්තා, නීති, ප්‍රතිපත්ති, ප්‍රඥාවන්ත වදන් වැනි දේවල් කියවන විට ඒවා ඔබට අදාළ කරගත හැක්කේ කෙසේද කියාත් සිතන්න. ඔබ එසේ කරමින් දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ජීවිතයේ දුෂ්කරම අවස්ථාවලදී පවා ඊට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද කියා දෙවි බයිබලය මාර්ගයෙන් ඔබට පෙන්වා දෙයි. සමහරවිට ඔබ කලින් ‘තේරුම්ගෙන නොසිටි දෙයක්’ බයිබලය මාර්ගයෙන් දෙවි ඔබට තේරුම් කර දෙයි.—යෙරෙ. 33:3.
25, 26. පෞද්ගලිකව අද්දුටු දේවල් හා අන් අය අද්දැක තිබෙන දේවල් සලකා බැලීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
25 ඔබ පෞද්ගලිකව අද්දුටු දේවල් හා අන් අය අද්දැක තිබෙන දේවල් සලකා බැලීමෙන්ද ඔබට බොහෝ දේ ඉගෙනගත හැකියි. එසේ කරන විට ඔබ ඇත්තටම කරන්නේ දෙවි සිතන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කිරීමයි. අප කලින් සලකා බැලූ ලෙස යෙරෙමියා ඒ දේ කළා. උදාහරණයකට උරියාහ්ට සිදු වූ දෙයින් දෙවි කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම ඔහු ඉගෙනගත් අතර දෙවි තමාට පෙන්වන ප්‍රේමය ගැන කල්පනා කිරීමෙන් දෙවි කොතරම් දයාවන්ත දෙවි කෙනෙක්ද කියා ඔහු අවබෝධ කරගත්තා. දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරීමේ ප්‍රතිඵලයක් ලෙස ජීවිතයේ අමිහිරි දේවලට මුහුණ පා සිටින අය ගැන කල්පනා කර බැලීමෙන් දෙවිගේ මඟ පෙන්වීම් පැතීමේ වැදගත්කම අපට ඉගෙනගත හැකියි. (2 තිමෝ. 4:10) ඔබ දෙවිගේ ප්‍රේමය පෞද්ගලිකව අද්දැක තිබෙන ආකාර ගැන සිතා බැලීමෙන්ද දෙවි ඔබ කෙරෙහි කොතරම් සැලකිලිමත්ද කියාත් ඔබට තේරුම්ගත හැකියි. එවිට ඔබ කොතරම් අසරණ තත්වයකට පත් වුණත් දෙවි ඔබ ගැන සැලකිලිමත් නැහැ කියා ඔබ සිතන්නේ නැහැ.
26 අද දින දෙවි තම සේවකයන්ට මඟ පෙන්වීම් ලබා දී තිබෙන ආකාර ගැන සලකා බැලීමෙන් ඔහු ඔබ වෙනුවෙන්ද එසේ කරන බවට ස්ථිර විය හැකියි. ජපානයේ ජීවත් වන තරුණ සහෝදරියක් වන ආකිගේ අද්දැකීම සලකා බලන්න. යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස හැඳින්වීමට තරම් තමන් වටින කෙනෙක් නොවෙයි කියා ඇයට හැඟුණා. දිනක් ආකි චාරිකා සේවකගේ භාර්යාව සමඟ දේවසේවයේ හවුල් වෙමින් සිටියදී මෙසේ පැවසුවා. “මම හිතන්නේ මම කරන සේවය ගැන යෙහෝවා දෙවි සතුටු වෙන්නේ නැහැ කියලයි. දෙවි මාව ප්‍රතික්ෂේප කරයි කියලා මට හිතෙනවා.” එවිට චාරිකා සේවකගේ භාර්යාව ඇයව දිරිගන්වමින් ඇයට මෙසේ පැවසුවා. “මට නම් ඔයා ගැන එහෙම හැඟෙන්නේ නැහැ. මම ඔයාව දකින්නේ දෙවිට කැපවීමෙන් සේවය කරන සහෝදරියක් හැටියටයි.” ඇය පැවසූ එම වදන් ගැන ආකි කල්පනා කර බැලුවා. ඇත්තටම තමා කළ සේවය ගැන දෙවි සතුටු වන්නේ නැහැ කියා සිතීමට ආකිට කිසිම පදනමක් තිබුණේ නැහැ. පසුව ඇය දෙවිට යාච්ඤා කර “ඔබ කැමති ඕනෑම තැනකට මාව යවන්න. ඔබ මගෙන් බලාපොරොත්තු වන ඕනෑම දෙයක් කරන්න මම කැමතියි” කියා දෙවිට පැවසුවා. ඒ කාලයේදීම වගේ ඇය වෙනත් රටකට ගියා. එම රටේ ජපන් භාෂාව කතා කරන කුඩා කණ්ඩායමක් තිබූ අතර එම භාෂාව හොඳින් කතා කළ හැකි කෙනෙකුගේ උපකාරය ඔවුන්ට අවශ්‍යව තිබුණා. ආකි ඉපදී තිබුණේ එම රටේ නිසා එහි පදිංචි වී ඔවුන්ට උපකාර කිරීමට ඇයට පුළුවන් වුණා. එක් සහෝදරියකගේ දියණියක් ආකිට නතර වීම සඳහා ඇගේ නිවසේ කාමරයක්ද ලබා දුන්නා. “මේ හැම දෙයක්ම සිද්ධ වුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා මට ස්ථිරයි” කියා ආකි පැවසුවා.
27. අප කරන සෑම දෙයකදීම දෙවිගේ මඟ පෙන්වීම් පතන්න අප පෙලඹිය යුත්තේ ඇයි?
27 බයිබලය කියවන විට හෝ පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙන විට දෙවි තමන්ට මඟ පෙන්වන බව අප අතරේ සිටින බොහෝදෙනෙක් අද්දැක තිබෙනවා. සමහරවිට එය ඔබත් අද්දැක ඇති. දෙවි ඔබට මඟ පෙන්වන බව ඔබට දැනෙන විට දෙවි සමඟ තිබෙන බැඳීම තව තවත් ශක්තිමත් වන අතර මහත් ඕනෑකමින් නිතරම දෙවිට යාච්ඤා කරන්න ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවා. සෑම දිනකම ඔබ දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් යා යුතු හරි මඟ ඔහු ඔබට අනිවාර්යයෙන්ම පෙන්වා දෙයි.—යෙසා. 30:21.
ඔබට “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” ලබාගත හැක්කේ කෙසේද?