දෙවිගේ මාළිගාව ‘කෙරෙහි ඔබේ හෘදය යොමු කරන්න!’
‘මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට පෙන්වන සියල්ල කෙරෙහි ඔබේ හෘදය යොමු කරන්න. ඔබ දකින සියල්ල ඉශ්රායෙල් වංශයට දන්වන්න.’—එසකියෙල් 40:4.
1. පොදු යුගයට පෙර 593දී, දෙවිගේ තෝරාගත් ජනයා සිටියේ කිනම් තත්වයකද?
අවුරුද්ද පො.යු.පෙ. 593. ඒ ඉශ්රායෙල්වරුන්ගේ වහල්භාවයේ 14වන අවුරුද්දයි. බබිලෝනියේ වෙසෙන යුදෙව්වන්ට, තම සදාදර මව්බිම දුර ඈතක තියෙන බව අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති. බොහෝදෙනෙක් යෙරුසලම අන්තිම වතාවට දකිද්දී ඒක තිබුණේ, ගින්නෙන් වැහිල, බලවත් පවුරු කුඩුපට්ටම් වෙලා, අභිමානවත් ගොඩනැඟිලි නටබුන් වෙලයි. යෙහෝවාගේ මාළිගාව—ඒ කියන්නේ, වරක් නුවරේ රාජකීය තේජස වූ, මුළු පොළොවේම නිර්මල නමස්කාරය සඳහා එකම මධ්‍යස්ථානය, සුන්බුන් ගොඩක් වෙලයි තිබුණේ. මේ වන විට, ඉශ්රායෙල්වරුන්ගේ වහල්භාවයට තවත් බොහෝ කාලයක් ඉතිරිව තිබුණා. පොරොන්දු වූ ගැළවීම ලබන්න තව අවුරුදු 56ක්ම තිබුණා.—යෙරෙමියා 29:10.
2. යෙරුසලමේ දේවමාළිගාව පිළිබඳ මතකයන් එසකියෙල්ව දුකට පත් කරන්නේ මන්ද?
2 දෙවිගේ මාළිගාව කිලෝමීටර සිය ගණනක් එපිටින් නටබුන් ගොඩේ වැතිරී තිබූ අතර, වන සතුන් ගැවසෙන පාළු තැනක්ව තිබුණා. ඒ ගැන හිතන එක විශ්වාසවන්ත එසකියෙල් අනාගතවක්තෲව දුකට පත් කරන්න ඇති. (යෙරෙමියා 9:11) ඔහුගේම පියා වූ බූසී, එහි පූජකයෙක් හැටියට සේවය කළා. (එසකියෙල් 1:3) එසකියෙල් ඒ වරප්රසාදයම භුක්ති විඳින්න යුතුව තිබුණත්, පො.යු.පෙ. 617දී ඔහු තරුණව සිටියදී යෙරුසලමේ වංශාධිපතීන් සමඟ වහල්භාවයට ගෙන ගියා. මේ වන විට පනස්වන වියේ පමණ පසු වන තමා කිසිදාක නැවත යෙරුසලම දකින්නේවත්, දේවමාළිගාව නැවත ගොඩනැඟීමේ කොටස්කාරයෙක් වෙන්න ජීවත් වෙන්නේවත් නැති බව ඇතැම්විට එසකියෙල්ට දැනෙන්න ඇති. එසේ නම්, ශ්‍රේෂ්ඨ දේවමාළිගාවක දර්ශනයක් ලැබීම එසකියෙල් කොතරම් අගය කරන්න ඇද්ද කියා සිතේ මවාගන්න!
3. (අ) දේවමාළිගාව පිළිබඳ එසකියෙල්ගේ දර්ශනයේ අරමුණ කුමක් වීද? (ආ) දර්ශනයේ ප්‍රධාන අංග හතර මොනවාද?
3 මේ දීර්ඝ දර්ශනය එසකියෙල්ගේ පොතේ පරිච්ඡේද නවයක් පුරවන අතර, වහල්භාවයේ සිටින යූදා වැසියන්ට ඇදහිල්ල-ශක්තිමත් කරන පොරොන්දුවක් සැපයුවා. නිර්මල නමස්කාරය නැවත පිහිටුවන්න යනවා! එතැන් සිට සියවස් ගණනාවකට පසු අපේ කාලයේදී පවා, මේ දර්ශනය යෙහෝවාට ප්‍රේමකරන්නන් සඳහා දිරිගැන්වීමේ උල්පතක් වී තිබෙනවා. ඒ කෙසේද? ඉශ්රායෙල් වහලුන්ට එසකියෙල්ගේ අනාවැකිමය දර්ශනයෙන් අර්ථවත් වූ දෙය අපි මුලින්ම පරීක්ෂා කර බලමු. ඊට ප්‍රධාන අංග හතරක් ඇතුළත්, ඒවා නම්: දේවමාළිගාව, පූජක තන්ත්රය, අධිපතියා සහ දේශයයි.
නැවත පිහිටෙවූ දේවමාළිගාව
4. දර්ශනයේ ආරම්භයේදී, එසකියෙල්ව ගෙන යන්නේ කොහේටද? ඔහු එහිදී දකින්නේ මොනවාද? එමෙන්ම, ඔහුට මඟ පෙන්වන්නේ කවුද?
4 මුලින්ම, එසකියෙල්ව “ඉතා උස්වූ කන්දක්” මතට පමුණුවනවා. කන්ද උඩ දකුණට වෙන්න පවුරු ඇති නුවරක් මෙන් වූ ඉතා විශාල දේවමාළිගාවක් තිබෙනවා. “පිත්තලවල පෙනීම වැනි පෙනීමක්” ඇති දේවදූතයෙක් අනාගතවක්තෘවරයාව ගොඩනැඟිලි භූමිය වටේ කදිම සංචාරයක ගෙනියනවා. (එසකියෙල් 40:2, 3) දර්ශනය ක්‍රියාත්මක වෙමින් පවතින අතරේ, දේවමාළිගාවේ එකිනෙකට ගැළපෙන දොරටු තුන සහ ඊට සම්බන්ධ මුර-ගෙවල්, පිට මළුව, ඇතුල් මළුව, කෑම කාමර, පූජාසනය, ශුද්ධ සහ අතිශුද්ධස්ථාන මැදිරි සහිත දේවමාළිගා ශුද්ධස්ථානය, දේවදූතයා විසින් බොහෝම පරෙස්සමින් මනින බව එසකියෙල් නිරීක්ෂණය කරනවා.
5. (අ) යෙහෝවා එසකියෙල්ට දෙන්නේ කිනම් සහතිකයක්ද? (ආ) දේවමාළිගාවෙන් ඉවත් කළ යුතු වූ ඔවුන්ගේ “රජවරුන්ගේ මළකඳන්” වූයේ මොනවාද? එමෙන්ම එසේ කිරීම වැදගත් වූයේ මන්ද?
5 ඊට පස්සේ, යෙහෝවාම දර්ශනය තුළ පෙනී සිටිනවා. ඔහු දේවමාළිගාවට ඇතුල් වී තමා එහි ස්ථිරවම වාසය කරන්න යන බව එසකියෙල්ට සහතික කරනවා. එහෙත්, තමාගේ ගෘහය පවිත්‍ර කරන්න කියා යෙහෝවා කියා සිටිනවා. ඔහු මෙසේ කියනවා: “දැන් ඔව්හු තමුන්ගේ වේශ්‍යාකම්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන්ද මා වෙතින් පහකරත්වා, එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි.” (එසකියෙල් 43:2-4, 7, 9) ඔවුන්ගේ “රජවරුන්ගේ [මේ] මළකඳන්” පෙනෙන විදිහට යොමු දක්වන්නේ රූපවලටයි. යෙරුසලමේ සිටි කැරලිකාර පාලකයන් සහ මිනිසුන් දෙවිගේ මාළිගාව රූපවලින් දූෂ්‍ය කර තිබුණා. ප්‍රතිඵලයක් හැටියට, රූපවලින් තමන්ට රජවරු සාදාගෙන තිබුණා. (ආමොස් 5:26 සසඳන්න.) මේවා සැබෑ දෙවිවරු හෝ රජවරු වෙනවා වෙනුවට, පණ නැති ජරා ගොඩවල් හැටියටයි යෙහෝවාගේ ඇස් හමුවේ තිබුණේ. ඒවා ඉවත් කළ යුතුමයි.—ලෙවී කථාව 26:30; යෙරෙමියා 16:18.
6. දේවමාළිගාව මැනීමෙන් ඇඟවූයේ කුමක්ද?
6 දර්ශනයේ මේ කොටසේ අරමුණ වූයේ කුමක්ද? එය, දෙවිගේ මාළිගාවෙහි නිර්මල නමස්කාරය මුළුමනින්ම නැවත පිහිටුවීම පිළිබඳව සහතිකයක් වහලුන්ට සැපයුවා. තවදුරටත් දේවමාළිගාව මැනීම මගින් දර්ශනය සම්පූර්ණයෙන්ම ඉටු වන බවට දිව්‍ය සහතිකයක් ලබා දුන්නා. (සසඳන්න යෙරෙමියා 31:39, 40; සෙකරියා 2:2-8.) පිළිම නමස්කාරයට සම්බන්ධ සෑම අංශුමාත්‍රයක්ම ඉවත් කරන්න යනවා. යෙහෝවා යළිත් වරක් ඔහුගේ ගෘහයට ආශීර්වාද කරන්න යනවා.
පූජක තන්ත්රය සහ අධිපතියා
7. ලෙවීවරුන් සහ පූජකයන් සම්බන්ධයෙන් කිනම් තොරතුරු දී තිබේද?
7 පූජක තන්ත්රයත් පිරිසිදු නැත්නම් පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියකට යටත් වෙන්න නියමිතව තිබුණා. ලෙවීවරුන් පිළිම නමස්කාරයට ඉඩහැරීම සම්බන්ධයෙන් තරවටු ලබන්න නියමිතව සිටි අතර, පූජක ශාදොක්ගේ පුත්‍රයන් පවිත්‍රව සිටීම සම්බන්ධයෙන් ප්‍රශංසාව සහ විපාක ලබන්නත් නියමිතව සිටියා.a එහෙත්, දෙගොල්ලන්ටම දෙවිගේ නැවත පිහිටෙවූ ගෘහයේ සේවා තනතුරු ලබාගැනීමට ඉඩ ප්‍රස්තා තිබෙනවා. ඒක රඳාපවතින්න යන්නේ ඔවුන් එක් එක්කෙනාගේ විශ්වාසවන්තකම මත බවට කිසිම සැකයක් නැහැ. ඊට අමතරව, යෙහෝවා මෙසේ නියෝග කළා: “ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.” (එසකියෙල් 44:10-16, 23) මෙසේ, දෙවිගේ ගෘහයේ ක්‍රියාශීලී සේවය සඳහා පූජක තන්ත්රය නැවත පිහිටුවන්න නියමිතව තිබූ අතර, පූජකයන්ගේ විශ්වාසවන්ත විඳදරාගැනීමට විපාක ලැබෙන්න යනවා.
8. (අ) පුරාණ ඉශ්රායෙලයේ අධිපතීන් යනු කවුරුන්ද? (ආ) එසකියෙල්ගේ දර්ශනයේ සිටි අධිපතියා නිර්මල නමස්කාරය සම්බන්ධයෙන් ක්‍රියාශීලීව සිටියේ කිනම් ආකාරයෙන්ද?
8 දර්ශනයෙහි, කෙනෙකුව “අධිපතියා” ලෙසත් හඳුන්වා තිබෙනවා. මෝසෙස්ගේ දවස්වල සිටම ජාතියෙහි අධිපතීන් ඉඳලා තිබුණා. “අධිපතියා” සඳහා ඇති නසී යන හෙබ්‍රෙව් වචනය, පීතෘ නිවාසයක, ගෝත්‍රයක හෝ ජාතියක පවා හිසට යොමු දක්වන්න පුළුවන්. එසකියෙල්ගේ දර්ශනයේදී, ජනයාට හිංසා පීඩා කළ නිසා පංතියක් හැටියට ඉශ්රායෙල්හි පාලකයන්ට තරවටු කළ අතර, සාධාරණ සහ යුක්තිසහගත වෙන්න කියා ඔවුන්ට අවවාද කළා. අධිපතියා පූජක පංතියෙන් කෙනෙක් නොවුණත්, නිර්මල නමස්කාරය සම්බන්ධයෙන් ඔහු ප්රමුඛ ආකාරයකින් ක්‍රියාශීලීව සිටිනවා. ඔහු පූජක නොවන ගෝත්‍ර සමඟ පිට මළුවට ඇතුල් වී පිට වී යනවා; නැඟෙනහිර දොරටුවේ ශාලාවේ වාඩි වී, මිනිසුන්ට ඔප්පු කිරීම සඳහා අවශ්‍ය පූජා සපයනවා. (එසකියෙල් 44:2, 3; 45:8-12, 17) ආදර්ශවත් පාලකයන් සිටීම හේතුවෙන්, නැවත පිහිටුවන ලද ජාතිය ආශීර්වාද අද්දකින්න යන බවට එසකියෙල්ගේ දර්ශනය මගින් ජනයාට සහතිකයක් ලැබෙනවා. මෙම පාලකයන් ආත්මික කාරණා සම්බන්ධයෙන් මනා ආදර්ශයන් වන අතර, දෙවිගේ සෙනඟව සංවිධානය කිරීමේදී පූජක තන්ත්රයට සහය වෙනවා.
දේශය
9. (අ) දේශය බෙදීමට නියමිතව තිබුණේ කෙසේද? එහෙත්, උරුමයක් නොලබන්නේ කවුද? (ආ) ශුද්ධ වූ උපහාරය යනු කුමක්ද? එමෙන්ම, ඒ තුළ තිබුණේ කුමක්ද?
9 අවසාන වශයෙන්, ඉශ්රායෙල් දේශය පිළිබඳ සාරාංශයක් එසකියෙල්ගේ දර්ශනයට අයත් වෙනවා. ඒ ඒ ගෝත්‍රය සඳහා බිම් කට්ටි බෙදන්න නියමිතව තිබුණා. අධිපතියාටත් උරුමයක් ලැබෙනවා වුණත්, පූජකයන්ට ලැබෙන්නේ නැහැ. මොකද යෙහෝවා කිව්වේ, “ඔවුන්ගේ උරුමය මමය” කියායි. (එසකියෙල් 44:10, 28; ගණන් කථාව 18:20) දේශයේ අධිපතියාගේ බිම් කට්ටිය පිහිටන්න යන්නේ ශුද්ධ වූ උපහාරය වශයෙන් දුන් විශේෂ ප්‍රදේශයක් දෙපැත්තෙන් බව දර්ශනය පෙන්නුවා. උපහාරය වූ ශුද්ධ කොටස හරි හතරැස් බිම් කොටසක් වූ අතර, එය තීරු තුනකට බෙදා තිබුණා—ඉහළ බිම් කට්ටිය පසුතැවිලි වන ලෙවීවරුන්ටත්, මැද බිම් කට්ටිය පූජකයන්ටත්, පහළ බිම් කට්ටිය සහ සරුසාර භූමිය නුවර සඳහාත් වෙන් කෙරුණා. යෙහෝවාගේ මාළිගාව පිහිටන්න යන්නේ පූජකයන්ගේ බිම් තීරුවෙයි; ඒ කියන්නේ උපහාරය වූ හතරැස් කොටසේ හරි මැදයි.—එසකියෙල් 45:1-7.
10. වහල්භාවයේ සිටි ඇදහිලිවන්ත යූදා වැසියන්ට, දේශය බෙදීම පිළිබඳ අනාවැකිය තුළ තිබූ වැදගත්කම කුමක් වීද?
10 මේ සියල්ලම එම වහලුන්ගේ හදවත් කොතරම් දිරිගන්වන්න ඇද්ද! දේශයෙන් යම් උරුමයක් ලැබෙන බව සෑම පවුලකටම සහතික කළා. (මීකා 4:4 සසඳන්න.) නිර්මල නමස්කාරය, එහි උත්කර්ෂවත් මෙන්ම ප්‍රධාන තැන ගන්න නියමිතයි. එමෙන්ම එසකියෙල්ගේ දර්ශනයේදී, පූජකයන් මෙන්, අධිපතියාද ජනයා විසින් උපහාරය වශයෙන් සම්මාදම් කළ දේශයේ ජීවත් වන බව සලකන්න. (එසකියෙල් 45:16, NW) මේ අනුව, නැවත පිහිටෙවූ දේශයේ මූලිකත්වය ගැනීමට යෙහෝවා පත් කළ අයගේ වැඩයට දායක වෙන්න වගේම, ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කිරීම මගින් ඔවුන්ට සහයෝගය දක්වන්න ජනයාට නියම වී තිබුණා. සමස්තයක් හැටියට ගත්තාම, මේ දේශය සංවිධානාත්මකභාවයේ, සහයෝගීතාවේ සහ ආරක්ෂාවේ ආදර්ශයක් වුණා.
11, 12. (අ) නැවත පිහිටෙවූ තම මව්බිමට ආශීර්වාද කරන බව, යෙහෝවා තම සෙනඟට අනාවැකිමයව සහතික කරන්නේ කෙසේද? (ආ) ගං ඉවුරු දිගේ තිබූ ගස්වලින් සංකේතවත් කළේ කුමක්ද?
11 යෙහෝවා ඔවුන්ගේ දේශයට ආශීර්වාද කරාවිද? අනාවැකිය හද උණුසුම් කරවන දර්ශනයක් සමඟ මේ ප්‍රශ්නයට උත්තර දෙනවා. දේවමාළිගාවෙන් දියපාරක් නික්මෙනවා, ඒක දිගටම ගලන ගමන් පළල් වෙනවා. මළ මුහුදට වැටෙන්න ළං වෙද්දී ගංගාවක් බවට පත් වෙනවා. එතැනදී ඒක ජීවයෙන් තොර වූ වතුර පණගන්වනවා. එමගින් වෙරළ තීරයේ ධීවර කර්මාන්තය සමෘද්ධිමත් වෙනවා. පෝෂණය සහ සුවය දෙන, අවුරුද්ද පුරා ඵල දරන බොහෝ ගස් ගං ඉවුරු දිගේ තිබෙනවා.—එසකියෙල් 47:1-12.
12 වහලුන් බොහෝම ආශාවෙන් රැකගෙන සිටි නැවත පිහිටුවීම පිළිබඳ කලින් අනාවැකි, මේ පොරොන්දුව මගින් ප්රතිනාද වුණා වගේම තහවුරු වුණා. පාරාදීසමය තත්වයන් යටතේ නැවත පිහිටුවන ලද සහ යළි ජනාකීර්ණ වූ ඉශ්‍රායෙලයක් සම්බන්ධයෙන්, යෙහෝවාගේ ආනුභාවය ලත් අනාගතවක්තෲවරු එක් වතාවකට වඩා වැඩියෙන් විස්තර කර තිබුණා. මළ ප්‍රදේශ පණගැන්වීම නැවත නැවත මතු වන අනාවැකිමය තේමාවක් බවට පත් වුණා. (යෙසායා 35:1, 6, 7; 51:3; එසකියෙල් 36:35; 37:1-14) ඒ නිසා නැවත පිහිටුවන ලද දේවමාළිගාවෙන් ගලාබසින ගඟක් වගේ යෙහෝවාගේ ජීවන-දායක ආශීර්වාද ගලන බව බලාපොරොත්තු වෙන්න ජනයාට පුළුවන් වුණා. ප්‍රතිඵලයක් හැටියට, ආත්මිකව මැරුණු ජාතියක් ප්‍රකෘතිමත් වෙන්න යනවා. නැවත පිහිටුවන ලද ජනයා විශිෂ්ට ආත්මික මිනිසුන්ගෙන් ආශීර්වාද ලබන්න යනවා. ඒ කියන්නේ, දර්ශනයේ ගං ඉවුරු දිගේ තිබූ ගස් මෙන් ධර්මිෂ්ඨ සහ ශක්තිසම්පන්න, නටබුන් වූ දේශයක් යළි ගොඩනැඟීමේ මූලිකත්වය ගන්නාවූ මිනිසුන්ගෙනුයි. යෙසායාත් ‘ඉස්සර කාලයේ නටබුන් වූ තැන් හරිගස්සන්න’ යන ‘ධර්මිෂ්ඨකමේ විශාල ගස්’ ගැන ලියනු ලැබුවා.—යෙසායා 61:3, 4, NW.
දර්ශනය ඉටු වන්නේ කවදාද?
13. (අ) යෙහෝවා තමන්ගේ නැවත පිහිටෙවූ සෙනඟට ‘ධර්මිෂ්ඨකමේ විශාල ගස්වලින්’ ආශීර්වාද කළේ කිනම් අර්ථයෙන්ද? (ආ) මළ මුහුද පිළිබඳ අනාවැකිය ඉටු වුණේ කෙසේද?
13 යළිත් පැමිණෙන වහලුන්ගේ බලාපොරොත්තු කඩ වුණාද? කොහෙත්ම නැහැ! ප්‍රකෘතිමත් කරනු ලැබූ ඉතිරි කොටසක් පො.යු.පෙ. 537දී තම මව්බිම කරා යළි පැමිණියා. කාලය ගත වෙත්ම, ‘ධර්මිෂ්ඨකමේ විශාල ගස්’ මෙන් වූ, ලියන්නා වූ එස්රා, හග්ගයි සහ සෙකරියා යන අනාගතවක්තෲවරුන් සහ උත්තම පූජක යෝෂුවා වැනි අයගේ මඟ පෙන්වීම යටතේ දීර්ඝ කාලයක් පාළු වී තිබූ තැන් ගොඩනැඟුවා. උදාහරණයක් හැටියට, නෙහෙමියා සහ සෙරුබ්බාබෙල් වැනි අධිපතීන් දේශය සාධාරණ සහ යුක්තිසහගත ලෙස පාලනය කළා. යෙහෝවාගේ මාළිගාව නැවත පිහිටෙවූ අතර, ජීවනය සඳහා ඔහුගේ සැපයුම් වූ ඔහුගේ ගිවිසුමට අනුව ජීවත් වීමේ ආශීර්වාද, නැවතත් ගලන්න පටන්ගත්තා. (ද්විතීය කථාව 30:19; යෙසායා 48:17-20) එක ආශීර්වාදයක් වුණේ දැනුමයි. පූජක තන්ත්රයේ රාජකාරි යළිත් පිහිටෙව්වා, එමෙන්ම පූජකයෝ සෙනඟට ව්‍යවස්ථාව ඉගැන්වුවා. (මීකා 2:7) ප්‍රතිඵලයක් හැටියට, මළ මුහුද සුව වී ඵලදායී ධීවර කර්මාන්තය පණගැන්වීම සංකේත කළාක් මෙන්, ජනයා ආත්මිකව යළි ප්‍රකෘතිමත් වී යෙහෝවාගේ ඵලදායී සේවකයන් බවට පත් වුණා.
14. බබිලෝනියේ වහල්භාවයෙන් ආපසු ගිය යුදෙව්වන්ට සිදු වූ දෙයට වඩා, විශාල ඉටුවීමක් එසකියෙල්ගේ අනාවැකියට තියෙන්න යන්නේ මන්ද?
14 එසකියෙල්ගේ දර්ශනයේ එකම ඉටුවීම මේ සිදුවීම් විතරයිද? නැහැ; ඊට වඩා ශ්‍රේෂ්ඨ යමක් අඟවා තිබුණා. එසකියෙල් දුටු දේවමාළිගාව, විස්තර කර තිබෙන විදිහටම ගොඩනඟන්න බැරි බව සලකන්න. යුදෙව්වන් මෙම දර්ශනය බොහොම බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන සමහර අංග පදගතාර්ථයෙන්ම ඇතුළත් කළ බව ඇත්තයි.b කෙසේවෙතත්, සමස්තයක් හැටියට ගත් කල, දර්ශනයේ සඳහන් දේවමාළිගාව, කලින් දේවමාළිගාව පිහිටි ස්ථානය වන මොරියා කන්දේ පිහිටුවන්න බැරි තරමටම ලොකු වැඩියි. ඊට අමතරව, එසකියෙල්ගේ දේවමාළිගාව, නුවරෙහි පිහිටා නොතිබුණු අතර, එය පිහිටා තිබුණේ යම් දුරකින් පිහිටි වෙනම ඉඩම් කොටසකයි. හැබැයි දෙවන දේවමාළිගාව ගොඩනැඟුවේ කලින් එක තිබුණු තැනමයි; ඒ කියන්නේ යෙරුසලම් නුවරෙමයි. (එස්රා 1:1, 2) එමෙන්ම, යෙරුසලමේ දේවමාළිගාවෙන් කිසිම සැබෑ ගංගාවක් නික්මුණේ නැහැ. ඉතින්, පුරාණ ඉශ්රායෙල්වරු දුටුවේ එසකියෙල්ගේ අනාවැකියේ සුළු ඉටුවීමක් විතරයි. මේ දර්ශනයට මීට වඩා විශාල, ආත්මික ඉටුවීමක් තිබිය යුතුයි කියා එය අඟවනවා.
15. (අ) යෙහෝවාගේ ආත්මික දේවමාළිගාව ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ කවදාද? (ආ) මෙලොව මත ක්‍රිස්තුස්ගේ ජීවිත කාලය තුළ, එසකියෙල්ගේ දර්ශනය ඉටු වූයේ නැති බව අඟවන්නේ කුමක්ද?
15 පැහැදිලිවම, හෙබ්‍රෙව් පොතේ ප්‍රේරිත පාවුල් සවිස්තරව සාකච්ඡා කරන යෙහෝවාගේ මහත් ආත්මික දේවමාළිගාව තුළින්, එසකියෙල්ගේ දර්ශනයේ ප්‍රධාන ඉටුවීම අපි සලකා බැලිය යුතුයි. ඒ දේවමාළිගාව ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ, පො.යු. 29දී යේසුස් ක්‍රිස්තුස්ව උත්තම පූජකයා ලෙස ආලේප කළ විටයි. නමුත්, එසකියෙල්ගේ දර්ශනය යේසුස්ගේ දවසේදී ඉටු වුණාද? පෙනෙන විදිහට නැහැ. තම බව්තීස්මය, යාගික මරණය සහ ස්වර්ගය වන අතිශුද්ධස්ථානයට ඇතුල් වීම මාර්ගයෙන් උත්තම පූජකයා ලෙස යේසුස් ක්‍රිස්තුස් සමගි කිරීමේ දවසේ අනාවැකිමය අර්ථය ඉටු කළා. (හෙබ්‍රෙව් 9:24) කෙසේවෙතත්, එසකියෙල්ගේ දර්ශනයේ, උත්තම පූජකයා ගැන හෝ සමගි කිරීමේ දවස ගැන හෝ එකඳු සඳහනක්වත් නැතිවීම උනන්දුව දනවන කාරණයක්. ඒ අනුව, මේ දර්ශනය පො.යු. මුල් සියවසට යොමු දක්වනවා කියා සිතීම උගහටයි. එසේ නම්, එය අදාළ වෙන්නේ කුමන කාලපරිච්ඡේදයටද?
16. එසකියෙල්ගේ අනාවැකියේ පසුබිම, වෙනත් කිනම් අනාවැකියක් මතකයට නඟනවාද? එමෙන්ම, එසකියෙල්ගේ අනාවැකියේ ප්‍රධාන ඉටුවීම සිදු වන කාලය වටහාගැනීමට මෙය අපට උපකාර කරන්නේ කෙසේද?
16 උත්තරයක් සඳහා අපි නැවත දර්ශනය වෙතට යොමු වෙමු. එසකියෙල් මෙසේ ලිව්වා: ‘දෙවිගේ දර්ශනවලින් ඔහු ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් උඩ මා සිටෙව්වේය; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.’ (එසකියෙල් 40:2) මේ දර්ශනයේ පසුබිම වන “ඉතා උස්වූ කන්ද,” මීකා 4:1 කියන දෙය අපේ මතකයට ගෙනෙනවා: “[දවස්වල අවසාන භාගයේදී යෙහෝවාගේ, NW] ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.” මේ අනාවැකියේ ඉටුවීම සිදු වන්නේ කවදාද? මෙය ආරම්භ වන්නේ ජාතීන් ඒ වන විටත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අතරේ කියා මීකා 4:5 පෙන්වනවා. ඇත්තෙන්ම, ඒ “දවස්වල අවසාන භාගයේදී,” ඒ කියන්නේ අපේ කාලයේදීම එම නිර්මල නමස්කාරය උසස් කරන අතර, දෙවිගේ සේවකයන්ගේ ජීවිතවල නිසි ස්ථානයේ එය නැවත පිහිටුවා තිබෙනවා.
17. එසකියෙල්ගේ අනාවැකිමය දේවමාළිගාව පිරිසිදු කළේ කවදාද කියා තීරණය කිරීමට මලාකී 3:1-5 දක්වා ඇති අනාවැකිය අපට උපකාර කරන්නේ කෙසේද?
17 මේ නැවත පිහිටුවීම සිදු කිරීමට හැකි කරවූයේ කුමක්ද? එසකියෙල්ගේ දර්ශනයේ වඩාත් වැදගත්ම සිදුවීම නම්, යෙහෝවා තම දේවමාළිගාවට පැමිණ, තම ගෘහය පිළිම නමස්කාරයෙන් පවිත්‍ර කළ යුතුයි කියා තදින්ම කියා සිටීම බව මතක තියාගන්න. දෙවිගේ ආත්මික දේවමාළිගාව පවිත්‍ර කළේ කවදාද? “ගිවිසුමේ දූතයා” වන යේසුස් ක්‍රිස්තුස් සමඟ තමා “තමන් මාළිගාවට එන” කාලයක් ගැන මලාකී 3:1-5හි යෙහෝවා පුරෝකථනය කරනවා. අරමුණ? “[ඔහු] රන්කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය.” මේ පවිත්‍ර කිරීම පටන්ගත්තේ පළමුවන ලෝක යුද්ධ සමයේදීයි. ප්‍රතිඵලය? යෙහෝවා ඔහුගේ ගෘහයේ දිගටම වාසය කරමින්, 1919 සිට ඔහුගේ සෙනඟගේ ආත්මික දේශයට ආශීර්වාද කර තිබීමයි. (යෙසායා 66:8) එසේනම්, එසකියෙල්ගේ දේවමාළිගා අනාවැකිය අවසාන දවස් තුළ වැදගත් ඉටුවීමක් දකින බව අපට නිගමනය කරන්න පුළුවන්.
18. දේවමාළිගා දර්ශනයේ අවසාන ඉටුවීම සිදු වන්නේ කවදාද?
18 නැවත පිහිටුවීමේ අනිකුත් අනාවැකි මෙන්, එසකියෙල්ගේ දර්ශනයට තවත් ඉටුවීමක්, එනම් අවසාන එකක් තියෙන්න යන අතර, එය සිදු වන්නේ පාරාදීසයේදීයි. ඒ කාලයේදී විතරයි අවංක හදවත් ඇති මනුෂ්‍යවර්ගයා දෙවිගේ මාළිගා විධිවිධානයෙන් පූර්ණ ප්‍රයෝජන ලබන්න යන්නේ. ක්‍රිස්තුස් එවිට ඔහුගේ මිදීමේ මිල පූජාවේ වටිනාකම තම ස්වර්ගීක පූජකයන් 1,44,000දෙනා සමඟ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න යනවා. ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ සිටින සියලුම කීකරු මනුෂ්‍යවර්ගයාව පරිපූර්ණත්වය කරා පමුණුවන්න යනවා. (එළිදරව් 20:5, 6) කෙසේවෙතත්, එසකියෙල්ගේ දර්ශනය ඉටුවීමේ මූලික කාලය, පාරාදීසය වෙන්න බැහැ. ඇයි වෙන්න බැරි?
දර්ශනය අපගේම කාලයට යොමු දක්වයි
19, 20. දර්ශනයේ ප්‍රධාන ඉටුවීම පාරාදීසයේදී නොව, වර්තමානයේදී සිදු විය යුත්තේ මන්ද?
19 පිළිම නමස්කාරයෙන් සහ ආත්මික වේශ්‍යාකමෙන් පවිත්‍ර කළ යුතු දේවමාළිගාවක් එසකියෙල් දැක්කා. (එසකියෙල් 43:7-9) පැහැදිලිවම, මේක පාරාදීසයේදී යෙහෝවාට පුද කරන නමස්කාරයට අදාළ වෙන්න බැහැ. තවදුරටත්, දර්ශනයේ සිටින පූජකයන්ගෙන්, පොළොවේ සිටින ආලේප ලත් පූජක පංතිය මිසක, ස්වර්ගීය නැවත නැඟිටීමෙන් පසු හෝ දහස් අවුරුද්ද තුළදී සිටින ඔවුන්ව සංකේතවත් කරන්නේ නැහැ. ඒ ඇයි? පූජකයන්ව විස්තර කරන්නේ ඇතුළු මළුවේ සේවය කරමින් සිටින අය හැටියට බව සලකන්න. ක්‍රිස්තුස්ගේ උපපූජකයන් පොළොවේ සිටිද්දී, ඔවුන් සතුව තිබෙන විශිෂ්ට ආත්මික ස්ථාවරය මෙම මළුවෙන් සංකේතවත් කරන බව මුරටැඹෙහි මීට පෙර ලිපි පෙන්වා තිබෙනවා.c ඒ දර්ශනය, පූජකයන්ගේ අසම්පූර්ණත්වයත් කාවද්දන බවද නිරීක්ෂණය කරන්න. තමන්ගේම පාපවලට පූජා ඔප්පු කරන්න කියා ඔවුන්ට කියා තිබෙනවා. ආත්මිකව සහ සදාචාරමයව අපවිත්‍ර වීමේ අනතුර ගැන ඔවුන්ට අනතුරු අඟවා තිබෙනවා. ඉතින්, ප්‍රේරිත පාවුල් සඳහන් කළ නැවත නැඟිටුණු ආලේප ලත් අයව මේ අය විසින් සංකේතවත් කරන්නේ නැහැ. මන්ද ඔහු මෙසේ ලිව්වා: “හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය.” (1 කොරින්ති 15:52, ඇල අකුරු අපගේය; එසකියෙල් 44:21, 22, 25, 27) එසකියෙල්ගේ දර්ශනයේ සිටි පූජකයන්, ජනයා සමඟ කෙළින්ම මිශ්‍ර වී සේවය කළා. පූජක පංතිය සිටින්න යන්නේ ස්වර්ගයේ නිසා, පාරාදීසයේදී ඒ ආකාරයට වෙන්නේ නැහැ. ඒ නිසා, මේ ආලේප ලත් අය අදදින මේ පොළොව මතදී “මහත් සමූහය” සමඟ සමීපව වැඩ කරන ආකාරය ගැන මනා චිත්‍රයක් මේ දර්ශනය සපයනවා.—එළිදරව් 7:9; එසකියෙල් 42:14.
20 මේ ආකාරයට, දේවමාළිගාව පිළිබඳ එසකියෙල්ගේ දර්ශනය අදදින ඉටු වෙමින් පවතින ආත්මික පවිත්‍ර කිරීමක හොඳ බලපෑම් උලුප්පා දක්වනවා. නමුත් එයින් ඔබට අදහස් කරන්නේ කුමක්ද? මෙය නිකම්ම දේවධර්මයට අයත් යම් අවිනිශ්චිත ප්‍රහේලිකාවක් නෙවෙයි. එකම සැබෑ දෙවි වන යෙහෝවා සඳහා වූ ඔබේම දෛනික නමස්කාරයට අදාළ වන බොහෝ දේ මේ දර්ශනයට ඇතුළත්. එය එසේ වන්නේ කෙසේද කියා අපි ඊළඟ ලිපියෙන් බලමු.
[පාදසටහන්වල]
a එසකියෙල් පැමිණෙන්නෙත් ශාදොක්ගේ පූජක පවුලෙන් නිසා පෞද්ගලිකවම ඒක ඔහුගේ හද ස්පර්ශ කරන්න ඇති.
b නිදසුනක් වශයෙන්, එසකියෙල්ගේ දර්ශනයේ තිබූ දෙය හා සමානවම, පූජාසනය, දේවමාළිගාවේ දෙපියන් දොරටු සහ කෑම පිසින ප්‍රදේශ නැවත පිහිටෙවූ දේවමාළිගාවෙහි ගොඩනඟා තිබූ බව ඉපැරණි මිෂ්නාහි සඳහන් කරනවා.
c වර්ෂ 1996 ජූලි 1 මුරටැඹ 16වන පිටුව; 1972 දෙසැම්බර් 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 718වන පිටුව බලන්න.
ඔබට මතකද?
◻ එසකියෙල්ගේ දර්ශනයේ දේවමාළිගාව සහ පූජක තන්ත්රය පිළිබඳ මුල් ඉටුවීම කුමක් වීද?
◻ එසකියෙල්ගේ දර්ශනයේ බිම් කට්ටි සම්බන්ධයෙන් මුල් ඉටුවීමක් තිබුණේ කෙසේද?
◻ පුරාණ ඉශ්රායෙලය නැවත පිහිටුවීමේදී, ඇදහිලිවන්ත අධිපතීන් ලෙස සහ ‘ධර්මිෂ්ඨකමේ විශාල ගස්’ ලෙස ක්‍රියා කළේ කවුරුන්ද?
◻ එසකියෙල්ගේ දේවමාළිගා දර්ශනයේ ප්‍රධාන ඉටුවීම අවසාන දවස්වලදී ඉටු විය යුත්තේ මන්ද?