හයවන පරිච්ඡේදය
අතිවිශාල ගසේ අභිරහස හෙළි කිරීම
1. නෙබුකද්නෙශර් රජුට සිදු වූයේ කුමක්ද? එමනිසා කිනම් ප්‍රශ්න මතු වේද?
පාලකයෙකු බවට පත්වීම සඳහා යෙහෝවා නෙබුකද්නෙශර් රජට ඉඩහැරියා. බබිලෝනියේ රජ වශයෙන්, ඔහුට ඉමහත් ධන සම්භාරයක්ද, ප්‍රණීත ආහාර බහුලවද, අතිවිශාල මාළිගාවක්ද තිබුණා. ඔව්, ද්‍රව්‍යමය අතින් තමන් කැමති සැම දෙයකින්ම ඔහු වට වී සිටියා. එහෙත් හදිස්සියේම ඔහු නින්දාවට ලක් වුණා. සිහි විකල් වීම හේතුවෙන්, නෙබුකද්නෙශර් මෘගයෙක් මෙන් ක්‍රියා කළා! රජ වාසලෙන් සහ මාළිගාවෙන් පන්නනු ලැබ, එළිමහනේ වසමින් ගවයෙක් මෙන් තණ උලා කෑවා. මේ විපතට හේතු වූයේ කුමක්ද? එය අපේ සැලකිල්ලට බඳුන් විය යුත්තේ ඇයි?—සසඳන්න යෝබ් 12:17-19; දේශනාකාරයා 6:1, 2.
රජු මහෝත්තමයාව වර්ණනා කරයි
2, 3. නෙබුකද්නෙශර් කැමති වූයේ තම යටත් වැසියන් කුමක් දැනගන්නවාටද? එමෙන්ම, ඔහු මහෝත්තම දෙවිව සැලකුවේ කෙසේද?
2 එම සම්පූර්ණ මානසික ඇද වැටීමෙන් සුව වී ටික කලකට පසු, සිදු වූ දෙය දන්වමින් නෙබුකද්නෙශර් තම රාජ්‍යය පුරා කැපීපෙනෙන වාර්තාවක් යැව්වා. මේ සිදුවීම් පිළිබඳ නිරවද්‍ය වාර්තාවක් තබාගැනීමට යෙහෝවා අනාගතවක්තෘ දානියෙල්ට ආනුභාවය දුන්නා. එය පටන්ගන්නේ මේ වදන් සමඟින්: ‘නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසය කරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වග නම්: නුඹලාට සමාදානය වැඩි වේවා. මහෝත්තම දෙවි මා උදෙසා කළ ලකුණු සහ ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්නව සිටිමි. ඔහුගේ ලකුණු කොපමණ මහත්ද! ඔහුගේ ආශ්චර්යයෝ කොපමණ බලවත්ද! ඔහුගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, ඔහුගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය.’—දානියෙල් 4:1-3.
3 බයිබල් වාර්තාවේ සඳහන් කර තිබෙන ලෝකයෙන් වැඩි කොටසක් පුරා නෙබුකද්නෙශර්ගේ අධිරාජ්‍යය පැතිර තිබූ නිසා, ඔහුගේ යටත් වැසියන් ‘මුළු පොළොව පුරාම වාසය කළා.’ “[ඔහුගේ] රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය” කියා දානියෙල්ගේ දෙවි ගැන රජු පැවසුවා. එම වචන බබිලෝනීය අධිරාජ්‍යය පුරා යෙහෝවාව මොනතරම් මහිමවත් කළාද! තවදුරටත්, දෙවිගේ රාජ්‍යය සදාතනික, එනම් ‘සදාකාලේටම පවතින’ එකක් බව නෙබුකද්නෙශර්ට පෙන්වා දෙනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි.—දානියෙල් 2:45.
4. නෙබුකද්නෙශර් සම්බන්ධයෙන් යෙහෝවාගේ “ලකුණු සහ ආශ්චර්යයන්” ඇරඹුණේ කෙසේද?
4 ‘මහෝත්තම දෙවි’ කළ “ලකුණු සහ ආශ්චර්යයන්” මොනවාද? රජුගේ පෞද්ගලික අද්දැකීම විස්තර කෙරෙන වචනවලින් මෙය ඇරඹෙනවා. “නෙබුකද්නෙශර් වන මම මාගේ නිවසෙහි සුවසේද මගේ මාළිගාවෙහි සැපතින්ද සිටියදී, මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය.” (දානියෙල් 4:4, 5) තමාව කැලඹූ සිහිනය සම්බන්ධව බබිලෝනියේ රජු කළේ කුමක්ද?
5. නෙබුකද්නෙශර් දානියෙල්ව සැලකුවේ කෙසේද? එමෙන්ම ඒ ඇයි?
5 බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට හඬ ගැසූ නෙබුකද්නෙශර් සිහිනය ඔවුන්ට පැවසුවා. එහෙත් ඔවුන් අතරමං වූ හැටි! එහි අර්ථය දැක්වීමට ඔවුන්ට කොහෙත්ම හැකි වූයේ නැහැ. වාර්තාව මෙසේ පැහැදිලි කරනවා: “අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි.” (දානියෙල් 4:6-8) දානියෙල්ගේ රජ වාසල් නාමය බේල්ටෙෂශර් වූ අතර, “මාගේ දෙවියන්” කියා හැඳින්වූ බොරු දෙවියා, බෙල් හෝ නෙබෝ හෝ මාර්ඩුක් හෝ වෙන්න ඇති. නෙබුකද්නෙශර් බොහෝ දෙවිවරුන් ඇදහූ කෙනෙක් වූ නිසා, ඔහු දානියෙල්ව සැලකුවේ “ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය” ඇත්තෙකු ලෙසයි. එමෙන්ම, බබිලෝනියේ සිටි සියලුම ශාස්ත්රවන්තයන්ගේ අධිපති තනතුර දානියෙල් හෙබවූ නිසා, රජු ඔහුව “මායාකාරයන්ගේ ප්‍රධානියා” ලෙස හැඳින්වූවා. (දානියෙල් 2:48; 4:9; සසඳන්න දානියෙල් 1:20.) ඇත්තෙන්ම, ඇදහිලිවන්ත දානියෙල් කිසිදාක යෙහෝවාගේ නමස්කාරය අහක දමමින් මායා බන්ධන වැඩවල යෙදුණේ නැහැ.—ලෙවී කථාව 19:26; ද්විතීය කථාව 18:10-12.
දැවැන්ත ගසක්
6, 7. නෙබුකද්නෙශර් තම සිහිනෙන් දුටු දෙය ඔබ විස්තර කරන්නේ කෙසේද?
6 බබිලෝනියේ රජු දුටු බිය උපදවන සිහිනය කුමක්ද? නෙබුකද්නෙශර් මෙසේ කියයි: “මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන මෙසේය—බොහෝ උස ඇති ගහක් පොළොව මැද තිබෙනවා දුටිමි. ඒ ගස වැඩී, ශක්තිමත්ව තිබුණේය, ඒකේ උස අහස දක්වා විය, ඒක මුළු පොළොවේ කෙළවරට පෙනුණේය. එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය, එය තුළ සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මෘගයන්ට සෙවණ තිබුණේය. ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ ලැග්ගෝය, සියලු සත්වයන්ට එයින් කෑම ලැබුණේය.” (දානියෙල් 4:10-12) ලෙබනන්හි වැවුණු මහා දේවදාර ගස්වලට ආශාවක් දැක්වූ නෙබුකද්නෙශර්, ඒවා බැලීමට ගිය අතර, ලී සඳහා ඉන් සමහරක් බබිලෝනියට ගෙනා බව වාර්තා වෙනවා. එහෙත්, ඔහු සිහිනෙන් දුටු ගස මෙන් එකක් කිසිදා දැක තිබුණේ නැහැ. එය ප්‍රධාන ස්ථානයක, එනම් “පොළොව මැද” තිබුණා. එය මුළු පොළොවටම දිස් වන අයුරින් තිබූ අතර, ඵල බහුල නිසා සියලුම ජීවීන් සඳහා ආහාර සැපයුවා.
7 සිහිනය එතැනින් නතර වූයේ නැහැ. නෙබුකද්නෙශර් මෙසේ කිව්වා: “මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය. ඔහු මොරගා කෑගසමින්: ගහ කපාදමන්න. ඒකේ අතුත් කපාදමා, ඒකේ කොළ සොලවාදමා, ඒකේ ඵල විසුරුවන්න. මෘගයෝ ඒක යටින්ද පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා. එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල [තඹ, NW] බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහුගේ කොටස මෘගයන් සමග පොළොවේ තණකොළ අතරේ වේවා.”—දානියෙල් 4:13-15.
8. ‘රැකවලා’ කවරෙකු වීද?
8 බබිලෝනියේ වැසියන් යහපත් සහ නපුරු ආත්ම ජීවීන් පිළිබඳ ඔවුන්ටම ආවේණික ආගමික සංකල්ප දැරුවා. එහෙත්, මේ ‘රැකවලා’ නැතහොත්, ස්වර්ගයෙන් ආ මුරකරුවා කවරෙකු වීද? ඔහු “ශුද්ධවූ” කෙනෙක් හැටියට හඳුන්වා ඇති අතර, ඔහු දෙවිව නියෝජනය කළ ධර්මිෂ්ඨ දේවදූතයෙක් වූවා. (ගීතාවලිය 103:20, 21 සසඳන්න.) නෙබුකද්නෙශර්ට වද දුන් ප්රශ්නය ගැන සිතන්න! මේ ගස කපා දමන්නේ ඇයි? යකඩ සහ තඹ බැමි දමා මුලේ කඳට වැඩෙන්න ඉඩ නොදීමෙන් ඇති ඵලේ කුමක්ද? නිකම්ම ගහේ කොටයක් ඉතිරි කිරීමේ ඇති ඵලේ කුමක්ද?
9. රැකවලා කී දෙයෙහි හරය කුමක්ද? එමෙන්ම, කිනම් ප්‍රශ්න පැනනඟීද?
9 රැකවලාගේ ඉතිරි වචන ඇසූ නෙබුකද්නෙශර් තුෂ්ණීම්භූත වෙන්න ඇති. “ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි [මහෝත්තමයා] බලය පවත්වා, තමන් කැමති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේය.” (දානියෙල් 4:16, 17) ස්පන්දනය වන මිනිස් හදවතක් ගසක මුලේ කඳට නැහැ. එසේ නම්, ගසක මුලේ කඳට මෘගයෙකුගේ සිතක් දෙන්නේ කෙසේද? “කාලවල් සත” කුමක්ද? “මනුෂ්‍යයන්ගේ රාජ්‍ය” පාලනයට මේ සියල්ලම සම්බන්ධ වන්නේ කෙසේද? මේවා දැනගන්න නෙබුකද්නෙශර්ට අවශ්‍ය වූ බව නිසැකයි.
රජුට අශුභාරංචියක්
10. (අ) බයිබලයට අනුව, ගස්වලින් සංකේතවත් කළ හැක්කේ කුමක්ද? (ආ) අතිවිශාල ගසෙන් නියෝජනය කරන්නේ කුමක්ද?
10 සිහිනය ඇසූ දානියෙල් ටික මොහොතකට පුදුමයටත් පසුව භයටත් පත් වුණා. එය තේරුම් කරන්නැයි නෙබුකද්නෙශර් උදක්ම ඉල්ලා සිටි විට, ප්‍රොපේතවරයා මෙසේ කිව්වා: “මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා. රජ්ජුරුවෙනි, ඔබ දුටුවාවූ වැඩී ශක්තිමත් . . . වූ ගස නම්, මහත්ව බලවත්ව සිටින ඔබමය. ඔබගේ මහත්කමද වැඩී තිබේ. එය අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළොවේ කෙළවර දක්වාත් ඇත්තේය.” (දානියෙල් 4:18-22) බයිබලයේ සඳහන් ගස මගින් පුද්ගලයන්ව, පාලකයන්ව සහ රාජ්‍යයන් සංකේතවත් කළ හැකියි. (ගීතාවලිය 1:3; යෙරෙමියා 17:7, 8; එසකියෙල් 31වන පරිච්ඡේදය) නෙබුකද්නෙශර් සිහිනෙන් දුටු විශාල ගස මෙන්, ලෝක අධිරාජ්‍යයේ හිස හැටියට ඔහු, “මහත්ව බලවත්ව” සිටියා. එහෙත්, “පොළොවේ කෙළවර දක්වා” යයි කියද්දී, මුළු මිනිස් සංහතියම ඇතුළත් රාජ්‍යයක් මහත් ගසෙන් නියෝජනය වෙනවා. එමනිසා, එයින් නියෝජනය කරන්නේ විශේෂයෙන් පොළොවට සම්බන්ධ යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යයයි.—දානියෙල් 4:17.
11. ඔහු තම තත්වයෙන් නීචකර ලෙස පහත වැටීමක් අද්දකින බව රජුගේ සිහිනය පෙන්වූයේ කෙසේද?
11 තත්වයෙන් නීචකර පහත වැටීමක් නෙබුකද්නෙශර්ට නියමව තිබුණා. එයට යොමු දක්වමින් දානියෙල් මෙසේ කිව්වා. “ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස කථාකොට: ගහ කපාදමා විනාශකරන්න; එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල [තඹ, NW] බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහු කාලවල් සතක් පසුකරන තුරු ඔහුගේ කොටස වනයේ මෘගයන් සමග වේවායි කියනවා රජු දුටු බැවින්, රජ්ජුරුවෙනි, අර්ථය මෙසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පැමිණී තිබෙන [මහෝත්තමයාගේ] නියමයද මෙසේය.” (දානියෙල් 4:23, 24) එම පණිවිඩය මේ බලවත් රජුට පැවසීමට ධෛර්යය අවශ්‍ය වූ බව නිසැකයි.
12. නෙබුකද්නෙශර්ට අත්වීමට තිබූ ඉරණම කුමක් වීද?
12 නෙබුකද්නෙශර්ට සිදු වෙන්න යන්නේ කුමක්ද? දානියෙල් මෙසේ පවසද්දී, ඔහු දක්වන ප්‍රතිචාරය ගැන සිතාගන්න. “ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමග වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි [මහෝත්තමයා] බලය පවත්වා, කැමති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු ඔබ කාලවල් සතක් පසු කරනවා ඇත.” (දානියෙල් 4:25) පෙනෙන විදිහට, නෙබුකද්නෙශර්ගේ රාජ සභාවේ නිලධාරීන් ඔහුව ‘මනුෂ්‍යයන් වෙතින් පන්නාවි.’ එහෙත්, අනුකම්පිත ගොපල්ලන් හෝ එඬේරුන් ඔහුව බලාගනීවිද? නැහැ. මන්ද, නෙබුකද්නෙශර් තෘණ කමින් “වනයේ මෘගයන් සමග” වසන්න යන බවට දෙවි නියෝග කළා.
13. ලෝක පාලකයා හැටියට නෙබුකද්නෙශර්ගේ තත්වයට සිදු වන්න යන දේ ගැන, සිහිනයෙන් දුටු ගස පෙන්වූයේ කුමක්ද?
13 ගස කපා දැමුවා සේම, නෙබුකද්නෙශර්ව ලෝක පාලනතන්ත්‍රයෙන් වීසි වෙන්න යනවා. එහෙත්, යම් කාලයකට පමණයි. දානියෙල් මෙසේ පැහැදිලි කළා. “ගසේ මුල්වල කොටස ඉතිරිකරන්ට අණකළ බැවින්, ස්වර්ගය විසින් බලය පවත්වන බව ඔබ දැනගත් පසු, ඔබගේ රාජ්‍යය ඔබට ස්ථිරවන්නේය.” (දානියෙල් 4:26) නෙබුකද්නෙශර් දුටු සිහිනයේ කපා බිම හෙළූ ගසේ, මුලේ කඳ හෝ මුලට සම්බන්ධ කොටය ඉතිරි කළ අතර, එය නොවැඩෙන සේ ඊට බැම්මක් පවා දැමුවා. සමානාකාරයෙන්, බබිලෝනියේ රජුගේ “මුලේ කඳ” පැවතියත්, “කාලවල් සතක්” පසු වන තුරු එය වැඩෙන්න දෙන්න යන්නේ නැහැ. ලෝක පාලකයා හැටියට ඔහුගේ තනතුර, බැමි දැමූ ගසක මුලට සම්බන්ධ කොටය හා සමාන වෙනවා. බබිලෝනියේ රජුගේ අසහාය බලය වෙන කිසිවෙකුට නොලැබෙන්න යෙහෝවා වගබලා ගත්තා. කෙසේවෙතත්, එවිල්-මෙරොදක් නම් ඔහුගේ පුත්, නෙබුකද්නෙශර් වෙනුවට පාලනය කරන්න ඇති.
14. දානියෙල් නෙබුකද්නෙශර්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ කුමක් කිරීමටද?
14 නෙබුකද්නෙශර් ගැන පුරෝකථනය කර තිබූ දෙය සැලකිල්ලට ගෙන ධෛර්යසම්පන්නව දානියෙල් උදක්ම ඉල්ලා සිටියේ මෙසේයි: “එබැවින් රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවන.” (දානියෙල් 4:27) නෙබුකද්නෙශර් තම පීඩාකාරි සහ උඩඟු අපරාධකාර මාර්ගයෙන් ඉවත් වූවා නම්, සමහරවිට ඔහුට අත් වන ඉරණම වෙනස් වීමට ඉඩ තිබුණා. ඊට සියවස් දෙකකට කලින්, අෂූර්හි අගනුවර වූ නිනිවය විනාශ කිරීමට යෙහෝවා තීරණය කළත්, එහි රජු සහ යටත් වැසියන් පසුතැවිලි වූ නිසා ඔහු එසේ කළේ නැති බවද සැලකිල්ලට ගන්න. (යෝනා 3:4, 10; ලූක් 11:32) උඩඟු නෙබුකද්නෙශර් ගැන කුමක් කිව හැකිද? ඔහු තම මාර්ග වෙනස් කරගනියිද?
සිහිනයේ මුල් ඉටුවීම
15. (අ) නෙබුකද්නෙශර් දිගටම පෙන්වූයේ කිනම් ආකල්පයක්ද? (ආ) නෙබුකද්නෙශර්ගේ ක්රියාකාරිත්වයන් ගැන සෙල් ලිපිවල හෙළි කර ඇත්තේ මොනවාද?
15 නෙබුකද්නෙශර් දිගටම උඩඟුව සිටියා. ගස පිළිබඳ සිහිනය දැක මාස 12කට පසුව මාළිගාවේ සඳලු තලයේ සක්මන් කරමින් ඔහු මෙසේ පුරසාරම් දෙඩුවා: “මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේද”? (දානියෙල් 4:28-30) නිම්රොද් බබිලෝනියේ (බාබෙල්හි) ප්රාරම්භකයා වූ නමුත්, ඊට තේජශ්‍රීය එක් කළේ නෙබුකද්නෙශර්. (උත්පත්ති 10:8-10) කීලාකාර සෙල් ලිපියක ඔහු මෙසේ පුරසාරම් දොඩනවා: “එසල්ජිලා හා එසීඩා යළි පිහිටෙවූ, නැබොපොලසාර්ගේ පුත් බබිලෝනියේ රජ වූ නෙබුකද්රෙශර් මම වෙමි. . . . එසල්ජිලාහි හා බබිලෝනියේ පවුරු ශක්තිමත් කළ මා, මාගේ රාජ්‍යයේ නාමය සදාකාලයටම පිහිටෙව්වෙමි.” (පුරාවිද්‍යාව සහ බයිබලය, [ඉංග්‍රීසියෙන්], ජෝජ් ඒ. බාටන් විසින්, 1949, 478-9 පිටු) ඔහු අලුත්වැඩියා කළ හෝ යළි ගොඩනැඟූ දේවාල 20ක් පමණ ගැන තවත් සෙල් ලිපියක සඳහන් වෙනවා. ලෝක විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ කියනවා: “නෙබුකද්නෙශර්ගේ පාලනය යටතේ, බබිලෝනිය පුරාණ ලෝකයේ තිබූ ඉතාම තේජවත් නුවරක් බවට පත් විය. ඔහුගේ යුධ කටයුතු ගැන ඔහුගේ වාර්තාවල සඳහන් වන්නේ සුළු වශයෙන් වුවත්, ඔහුගේ ඉදි කිරීමේ ව්‍යාපෘති සහ බබිලෝනියේ දෙවිවරුන්ට දැක් වූ සැලකිල්ල ගැන ඒවායෙහි ලියා තිබුණා. පුරාණ ලෝකයේ තිබූ පුදුම හතෙන් එකක් වූ බබිලෝනියේ එල්ලෙන උයන සමහරවිට නෙබුකද්නෙශර් විසින් සෑදුවා විය හැකියි.”
16. නෙබුකද්නෙශර් නින්දාවට පත්වීමට තිබුණේ කෙසේද?
16 පුරසාරම් දෙඩුවත්, උඩඟු නෙබුකද්නෙශර් නින්දාවට ලක් වුණා. දේවානුභාවය ලත් වාර්තාව මෙසේ කියනවා: “ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍යය නුඹෙන් පහවිය. නුඹ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, නුඹේ වාසය වනයේ මෘගයන් සමග වන්නේය; ගවයන්ට මෙන් නුඹට තෘණ කවනු ලබන්නේය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි [මහෝත්තමයා] බලය පවත්වා, තමන් කැමති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියනලද්දේය.”—දානියෙල් 4:31, 32.
17. උඩඟු නෙබුකද්නෙශර්ට කුමක් සිදු වීද? එමෙන්ම, ඉක්මනින්ම ඔහු කිනම් තත්වයකට ඇද වැටුණාද?
17 නෙබුකද්නෙශර්ගේ කල්පනා ශක්තිය විගස නැති වී ගියා. මනුෂ්‍යයන් වෙතින් පන්නනු ලැබූ අතර, ඔහු ‘ගවයන් මෙන්’ තෘණ කෑවා. වනයේ මෘගයන් සමඟ සිටියදී, පාරාදීසයක් බඳු තැනක තණ මත ඉඳගෙන දවස්පතාම සිහිල් සුළං වැදි වැදී ඔහේ සිටින්න නොහැකි වූ බව නිසැකයි. බබිලෝනියේ නටබුන් පිහිටා ඇති වර්තමාන ඉරාකයේ, ග්‍රීෂ්ම මාසවල සෙල්සියස් අංශක 50 සිට ශීත කාලයේදී වතුර මිදෙන මට්ටම දක්වා උෂ්ණත්ව අන්තරයක් පවතිනවා. අව්වට වැස්සට නිරාවරණය වී කිසි කෙනෙකුගේ සැලකිල්ලක් නොලැබුණු නෙබුකද්නෙශර්ගේ දිගට වැවුණු මෙන්ම නොපීරීම නිසා ගැටගැසුණු හිසකේ රාජාලියෙකුගේ පිහාටු මෙන් වූ අතර, අත් පාවල නොකැපූ නියපොතු කුරුල්ලෙකුගේ නිය මෙන් වුණා. මේ උඩඟු ලෝක පාලකයා විඳි නින්දාවක මහත!
18. කාලවල් සත තුළදී, බබිලෝනියේ සිංහාසනය සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද?
18 නෙබුකද්නෙශර් දුටු සිහිනයේදී, අතිවිශාල ගස කපා බිම හෙළා, කාලවල් සතක් යන තුරු වැඩෙන්නේ නැති වන ලෙස ඊට බැම්මක් දැමුවා. ඒ හා සමානව, යෙහෝවා නෙබුකද්නෙශර්ව උමතු වීමට සැලැස්සූ විට, ඔහුව ‘රාජාසනයෙන් පහත් කරනු ලැබුවා.’ (දානියෙල් 5:20) ප්‍රතිඵලයක් හැටියට, රජුගේ හෘදය ගවයෙකුගේ හෘදයක් බවට හැරුණු බව කිව හැකියි. එහෙත්, කාලවල් සත අවසන් වන තුරු, දෙවි නෙබුකද්නෙශර්ගේ සිංහාසනය රැකගත්තා. පෙනෙන විදිහට, ආණ්ඩුවේ තාවකාලික පාලකයා ලෙස එවිල්-මෙරොදක් පාලනය කළ අතර, දානියෙල් “මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද” ලෙස සේවය කළා. ඔහුගේ හෙබ්‍රෙව් මිතුරන් තිදෙනා එම පළාතට සම්බන්ධ පාලන කටයුතුවල දිගටම යෙදුණා. (දානියෙල් 1:11-19; 2:48, 49; 3:30) “මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි [මහෝත්තමයා] බලය පවත්වා, කැමති කෙනෙකුට ඒක දෙන බව” තේරුම්ගත් රජෙක් හැටියට නෙබුකද්නෙශර් යළි සිංහාසනාරූඪ වන තෙක්, වහලුන් හතරදෙනා බලා සිටියා.
නෙබුකද්නෙශර්—පියවි සිහියට පැමිණ
19. යෙහෝවා නෙබුකද්නෙශර්ට පියවි සිහිය ලබා දුන් විට, රජු තේරුම්ගත්තේ කුමක්ද?
19 කාලවල් සත අවසානයේදී යෙහෝවා නෙබුකද්නෙශර්ව පියවි සිහියට පැමිණෙව්වා. ඉන්පසු, මහෝත්තම දෙවිව පිළිගනිමින් රජු මෙසේ කිව්වා: ‘ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාට ප්‍රශංසා කොට, සදාකාලේටම ජීවත් වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනැත්තා වර්ණනා කොට ගෞරව දුනිමි. පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. ඔහු ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමති ලෙස කරන්නේය. ඔහු අත නවත්වන්නවත්, ඔබ කුමක් කරන්නේදැයි ඔහුට කියන්ටවත් පුළුවන් වූ කිසිවෙක් නැත.’ (දානියෙල් 4:34, 35) ඔව්, මහෝත්තමයා ඇත්තෙන්ම, මනුෂ්‍යවර්ගයාගේ රාජ්‍යවල පරමාධිපතියා බව නෙබුකද්නෙශර් පිළිගත්තා.
20, 21. (අ) ගසේ මුලේ කඳට දැමූ ලෝහ බැමි ඉවත් කිරීම සහ නෙබුකද්නෙශර්ට සිදු වූ දෙය අතර ඇත්තේ කිනම් සමාන්තරයක්ද? (ආ) නෙබුකද්නෙශර් පිළිගත්තේ කුමක්ද? එමෙන්ම, මෙය ඔහුව දෙවිගේ නමස්කාරකයෙක් බවට පත් කළාද?
20 නෙබුකද්නෙශර් නැවත තම රජකමට පත් වූ විට, එය හරියට සිහිනයෙන් දුටු ගසේ මුලේ කඳට දමා තිබූ ලෝහ බැමි ඉවත් කළා හා සමාන වුණා. තමාගේ පියවි සිහියට පැමිණීම ගැන ඔහු මෙසේ පැවසුවා: “ඒ කාලයේදී මාගේ සිහිය නැවත මට පැමිණියේය; මාගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ මහිමතාව ඓශ්වර්යයත් මට නැවත පැමිණියේය; මාගේ මන්ත්‍රීහුද මාගේ උත්තමයෝද මා ළඟට ආවෝය; මම වනාහි මාගේ රාජ්‍යයෙහි පිහිටුවනු ලැබීමි, මාගේ උතුම්කමත් බොහෝසෙයින්ම මට ලැබුණේය.” (දානියෙල් 4:36) රාජ සභාවේ නිලධාරීන් සිහි විකල් වූ රජුව හෙළා දැක තිබුණා නම්, දැන් ඔවුන් රජු වෙත ‘පැමිණෙන්නේ’ ඔහුට සම්පූර්ණයෙන් යටත්ව, ඔහුගේ අනුග්‍රහය දිනාගැනීම සඳහා මහත් උනන්දුවකින්.
21 මහෝත්තම දෙවි දැක්වූයේ මොනතරම් පුදුමාකාර ‘ලකුණු සහ ආශ්චර්යයන්ද!’ යළි පිහිටුවනු ලැබූ බබිලෝනීය රජු මෙසේ කීම ගැන අප පුදුම විය යුතු නැහැ: ‘දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද ඔහුගේ සියලුම ක්‍රියාවල් සැබෑය. ඔහුගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්න ඔහුට පුළුවන.’ (දානියෙල් 4:2, 37) කෙසේවෙතත්, එවැනි පිළිගැනීමක් නෙබුකද්නෙශර්ව යෙහෝවාගේ අන්‍යජාතික නමස්කාරකයෙක් බවට පත් කළේ නැහැ.
බාහිර සාක්ෂි තිබේද?
22. නෙබුකද්නෙශර්ගේ උමතුව, සමහරුන් සමාන කර ඇත්තේ කුමන රෝගී තත්වයටද? එහෙත්, ඔහුගේ පහත වැටුණු තත්වයට හේතුව ගැන අප තේරුම්ගත යුත්තේ කුමක්ද?
22 නෙබුකද්නෙශර්ගේ උමතුව වෘකමානත්වය (ලයිකැන්ත්රපි) කියා සමහරු දක්වනවා. එක් වෛද්‍ය ශබ්දකෝෂයක් මෙසේ කියයි: “වෘකමානත්වය . . . [ලයිʹකොස්], ලුපුස්, වෘකයා; [ඇන්ʹත්‍රො·පොස්], හෝමෝ, මිනිසා. තමන් සතෙකු බවට පත් වී ඇතැයි විශ්වාස කර, උන්ගේ ශබ්ද සහ චර්යා රටා අනුගමනය කරන මිනිසුන්ට ඇති රෝගය මෙනමින් හඳුන්වනවා. තමුන් වෘකයෙක්, බල්ලෙක් හෝ පූසෙක් බවට වෙනස් වී තිබෙන බව මේ අය බොහෝවිට සිතනවා. සමහර අවස්ථාවලදී, නෙබුකද්නෙශර්ගේ තත්වයේදී මෙන් ගවයෙක් බවට පත් වෙනවායයි සිතනවා.” (ඩික්ස්යෝනෙ ඩේ ස්යාන්ස් මේඩිකාල්, පා’ ඌන් සෝසියේටේ ඩ මේඩ්සැන් ඒ ඩ ෂිර්වෙර්ජියෙං, 1818, පැරීසිය, 29වන කාණ්ඩය, 246වන පිටුව) වෘකමානත්වයේ රෝග ලක්ෂණ නෙබුකද්නෙශර්ගේ උමතු ස්වභාවයට සමානයි. කෙසේවෙතත්, ඔහුගේ මානසික රෝගය දිව්‍ය ආඥාවක ප්‍රතිඵලය වූ නිසා, හඳුනාගත් අක්රමිකතාවක්දැයි නිශ්චිතව සොයාගැනීමට නොහැකියි.
23. නෙබුකද්නෙශර්ගේ සිහි විකල් වීම ගැන දක්වා ඇති ලෞකික සාක්ෂි මොනවාද?
23 විශාරද ජෝන් ඊ. ගෝල්ඩිංගේ, නෙබුකද්නෙශර්ගේ උමතුව සහ සුවය පිළිබඳ සමානකම් සමහරක් දක්වනවා. උදාහරණයක් හැටියට ඔහු මෙසේ සඳහන් කරනවා: “පෙනෙන විදිහට, නෙබුකද්නෙශර්ට තිබූ මානසික අක්රමිකතාව සහ සමහරවිට බබිලෝනිය නොසලකා එය හැර යෑම ගැන කැඩී ගිය කීලාකාර සෙල් ලිපියක යොමු දක්වනවා.” ගෝල්ඩිංගේ විසින් “බබිලෝනීය යෝබ්” යන ලිපියට යොමු දක්වමින් කියා සිටින්නේ, “දෙවිගෙන් දඬුවම් ලැබීම, අසනීප, නින්දාව, බියකරු සිහිනයේ තේරුම සොයා බැලීම, ගසක් මෙන් හෙළනු ලැබීම, පිටත දැමීම, තණකොළ කෑම, තේරුම්ගැනීම අහිමි වීම, ගවයෙකු මෙන් වීම, මාර්ඩුක් වෙතින් පැමිණි වර්ෂාවට නිරාවරණය වීම, නියපොතු කැඩී යෑම, හිසකේ වැවීම, ගැට ගසා තැබීම සහ සුවය ලැබීමෙන් පසු දෙවිට ප්‍රශංසා කිරීම යනාදියට [එය] සාක්ෂි සපයන” බවයි.
අපට බලපාන කාල හත
24. (අ) සිහිනයෙන් දුටු අතිවිශාල ගසෙන් නියෝජනය වන්නේ කුමක්ද? (ආ) කාලවල් සතකට නවතා දැමුවේ කුමක්ද? එමෙන්ම, එය සිදු වූයේ කෙසේද?
24 අතිවිශාල ගසෙන් නියෝජනය කළ පරිදි, නෙබුකද්නෙශර් සංකේතවත් කළේ ලෝක පාලනතන්ත්රයයි. එහෙත්, මේ ගස බබිලෝනියේ රජුට වඩා අතිමහත් පාලනතන්ත්රයක් සහ පරමාධිපත්‍යයක් සංකේතවත් කරන බව මතක තබාගන්න. එය ‘ස්වර්ගීය රජු’ වූ යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යය, විශේෂයෙන්ම පොළොව සම්බන්ධයෙන් ඔහුගේ පරමාධිපත්‍යය සංකේතවත් කරනවා. බබිලෝනිය අතින් යෙරුසලම විනාශ වීමට පෙර, එහි තිබූ ‘යෙහෝවාගේ සිංහාසනයේ’ වාඩි වී සිටි දාවිත් සහ ඔහුගේ උරුමක්කාරයන්ගේ රාජ්‍යය, පොළොව සම්බන්ධයෙන් දෙවිගේ පරමාධිපත්‍යය නියෝජනය කළා. (1 ලේකම් 29:23) පොදු යුගයට පෙර 607දී, යෙරුසලම විනාශ කරන්න දෙවි නෙබුකද්නෙශර්ව පාවිච්චි කළ විට, ඔහු එවන් පරමාධිපත්‍යයක් හෙළා දමා, ඊට බැමි දැමුවා. පොළොව සම්බන්ධයෙන් දාවිත්ගේ පෙළපතෙන් පැමිණෙන දිව්‍ය පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම කාලවල් සතකට නවතා දැමුවා. මේ කාලවල් සත කොපමණ කාලයක්ද? ඒවා ඇරඹුණේ කවදාද? එමෙන්ම ඒවා අවසන් වූයේ කුමක් සමඟින්ද?
25, 26. (අ) නෙබුකද්නෙශර් සම්බන්ධයෙන් ගත් කල, “කාලවල් සත” කොපමණ දීර්ඝ වීද? එමෙන්ම, එසේ කියන්නේ ඇයි? (ආ) ප්‍රධාන ඉටුවීමේදී, “කාලවල් සත” ඇරඹුණේ කවදාද? කෙසේද?
25 නෙබුකද්නෙශර් උමතුව සිටි කාලය තුළදී, “ඔහුගේ ඉසකේ රාජාලීන්ගේ පිහාටුමෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද [වැඩුණා].” (දානියෙල් 4:33) මේ සඳහා දවස් හතක් හෝ සති හතකට වඩා ගත වුණා. විවිධ පරිවර්තනවල “කාලවල් සත” ලෙස දක්වා ඇති අතර, විකල්ප වශයෙන් “නියම කරන ලද (නිශ්චිත) කාලවල්” හෝ “කාලපරිච්ඡේද” ලෙස දක්වා තිබෙනවා. (දානියෙල් 4:16, 23, 25, 32) පුරාණ ග්‍රීක් (සෙප්ටූඅජින්ට්) පරිවර්තනයෙහි අමතර සටහනක “අවුරුදු හතක්” යයි ලියා තිබෙනවා. පළමු සියවසේ හෙබ්‍රෙව් ඉතිහාසඥ ජොසීෆස් විසින්, “කාලවල් සත,” “අවුරුදු සතක්” ලෙස සලකා තිබෙනවා. (යුදෙව්වන්ගේ පුරාණ සිරිත් විරිත් [ඉංග්‍රීසියෙන්] නම් දහවන පොතේ දහවන පරිච්ඡේදයේ, හයවන ඡේදය) එමෙන්ම සමහර හෙබ්‍රෙව් විශාරදයන් මේ “කාලවල්,” “අවුරුදු” ලෙස දක්වා තිබෙනවා. අමෙරිකානු පරිවර්තනයක්, වත්මන් ඉංග්‍රීසි අනුවාදය සහ ජේම්ස් මොෆට්ගේ පරිවර්තනය දක්වා ඇත්තේ “අවුරුදු හතක්” කියායි.
26 පැහැදිලිවම, නෙබුකද්නෙශර්ගේ ‘කාලවල් සතට’ චන්ද්‍ර වර්ෂ හතක් අයත් වෙනවා. චන්ද්‍ර වර්ෂයකට සාමාන්‍යයෙන් දවස් 360ක් හෝ දින 30 චන්ද්‍ර මාස 12ක් අයත් වෙනවා.a (සසඳන්න එළිදරව් 12:6, 14.) ඉතින්, රජුගේ “කාලවල් සත” හෝ අවුරුදු හත වනාහි 360 හතෙන් වැඩි කිරීමක් හෙවත් දවස් 2,520ක් වෙනවා. එහෙත්, ඔහුගේ සිහිනයේ ප්‍රධාන ඉටුවීම ගැන කිව හැක්කේ කුමක්ද? අනාවැකිමය “කාලවල් සත” දවස් 2,520කට වඩා බොහෝ කාලයක් පැවතුණා. මෙය යේසුස්ගේ මේ වචනවලින් ඇඟවුණා: “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල් සම්පූර්ණවනතෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.” (ලූක් 21:24) පොදු යුගයට පෙර 607දී, යෙරුසලම විනාශ කර යූදාහි පැවති දෙවිගේ නියෝජිත රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවනු ලැබූ විට, එම ‘මඩිනු ලැබීම’ ඇරඹුණා. මඩිනු ලැබීම අවසන් වන්නේ කවදාද? සංකේතවත් යෙරුසලම වන දෙවිගේ රාජ්‍යය තුළින් පොළොව කෙරෙහි දිව්‍ය පරමාධිපත්‍යය නැවතත් ක්‍රියාත්මක කරන, “සියලු දේ නැවත පිහිටුවන්නාවූ [කාලයේදීයි].”—ක්‍රියා 3:21.
27. පොදු යුගයට පෙර 607දී ආරම්භ වූ “කාලවල් සත,” ඊට දින 2,520කට පසුව අවසන් වූයේ නැතැයි ඔබ කියන්නේ මන්ද?
27 පොදු යුගයට පෙර 607 යෙරුසලමේ විනාශයේ සිට දින 2,520ක් ගණන් කළොත්, ශුද්ධ ලියවිලිමය සුවිශේෂත්වයක් නැති පො.යු.පෙ. 600වන අවුරුද්දටයි එය වැටෙන්නේ. පොදු යුගයට පෙර 537දී, නිදහස ලැබූ යුදෙව්වන් යුදයට ගිය විට පවා, යෙහෝවාගේ පරමාධිපත්‍යය පොළොව මත ක්‍රියාත්මක වූයේ නැහැ. එය එසේ නොවුණේ, දාවිත්ගේ සිංහාසනයේ උරුමක්කාරයා වූ සෙරුබ්බාබෙල්ව යූදාහි පර්සියානු දිශාවේ රජ ලෙස නොව ආණ්ඩුකාරයා ලෙස පමණක් පත් කිරීම නිසායි.
28. (අ) අනාවැකිමය ‘කාලවල් සතේ’ දින 2,520ට කිනම් නීතිය අදාළ කළ යුතුද? (ආ) අනාවැකිමය “කාලවල් සත” කොපමණ දීර්ඝ වීද? එමෙන්ම, එහි ආරම්භය සහ අවසානය සලකුණු කරන්නේ කිනම් දිනද?
28 “කාලවල් සත” අනාවැකිමය නිසා, අප දවස් 2,520ට, “අවුරුද්දකට දවසක් බැගින්” යන බයිබල් නීතිය අදාළ කළ යුතුයි. බබිලෝනිය විසින් යෙරුසලම අල්ලාගැනීම පිළිබඳ අනාවැකියකදී මේ නීතිය ක්‍රියාත්මක කළා. (එසකියෙල් 4:6, 7; සසඳන්න ගණන් කථාව 14:34.) මේ අනුව, දෙවිගේ රාජ්‍යයේ බලපෑමක් නැතුව, අන්‍ය ජාතීන් විසින් භූමික ආධිපත්‍යයේ “කාලවල් සත,” අවුරුදු 2,520ක් පුරා විහිදුණා. එය ආරම්භ වූයේ, පො.යු.පෙ. 607 හත්වන චන්ද්‍ර මාසයේදී (තිෂ්රි 15) යූදාහි සහ යෙරුසලමේ පාළු කිරීමත් සමඟයි. (2 රාජාවලිය 25:8, 9, 25, 26) එතැන් සිට පො.යු.පෙ. එක දක්වා අවුරුදු 606යි. එතැන් සිට පො.යු. 1914 දක්වා ඊළඟ අවුරුදු 1,914 දිවෙනවා. මේ අනුව, “කාලවල් සත” හෙවත් අවුරුදු 2,520 පො.යු. 1914 තිෂ්රි 15 නැතහොත් ඔක්තෝබර් 4/5දී අවසන් වුණා.
29. “මනුෂ්‍යයන්ගෙන් [නීචයා]” කවුද? එමෙන්ම, ඔහුට රාජ්‍ය බලය දීමට යෙහෝවා කළේ කුමක්ද?
29 එම වර්ෂයේදී, “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල් සම්පූර්ණ” වූ අතර, “මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු,” එනම් තම විරුද්ධවාදීන් විසින් පහත් ලෙස සලකා වද කණුවේ පවා ඇණ ගැසූ යේසුස් ක්‍රිස්තුස්ට දෙවි රාජ්‍ය බලය දුන්නා. (දානියෙල් 4:17) මෙසියානු රජුව සිංහාසනාරූඪ කිරීමට, යෙහෝවා තමන්ගේම පරමාධිපත්‍යය නමැති “මුලේ කඳට” දමා තිබූ යකඩ සහ තඹ බැමි බුරුල් කළා. මෙලෙස, දාවිත්ගේ ශ්‍රේෂ්ඨතම උරුමක්කාරයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ස්වර්ගීය රාජ්‍යය තුළින් පොළොව කෙරෙහි දිව්‍ය පරමාධිපත්‍යය ප්‍රකාශ කිරීමක් හැටියට රාජකීය “අංකුරයක්” ලියලන්න මහෝත්තම දෙවි ඉඩහැරියා. (යෙසායා 11:1, 2; යෝබ් 14:7-9; එසකියෙල් 21:27) මේ සන්තෝෂවත් ප්‍රතිඵලය ගැන සහ අතිවිශාල ගසේ අභිරහස හෙළි කිරීම ගැන අප යෙහෝවාට කොතරම් ස්තුතිපූර්වක වෙනවාද!
[පාදසටහන්වල]
a චන්ද්‍ර වර්ෂයක් සාමාන්‍ය සූර්ය වර්ෂයකට වඩා දින 11කින් කෙටියි. සූර්ය සහ චන්ද්‍ර දින දර්ශන පිළියෙළ කිරීම සඳහා, දින 29ක 13වන මාසයක්, අවුරුදු 19ක කාලයක් තුළ හත්වරක් වැටෙන සේ සමහර අවුරුදුවලට ඇතුළත් කළා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• නෙබුකද්නෙශර් සිහිනයෙන් දුටු අතිවිශාල ගස සංකේතවත් කළේ කුමක්ද?
• නෙබුකද්නෙශර් සිහිනයෙන් දුටු ගසේ මුල් ඉටුවීමේදී, ඔහුට සිදු වූයේ කුමක්ද?
• නෙබුකද්නෙශර්ගේ සිහිනයේ ඉටුවීමෙන් පසුව, ඔහු පිළිගත්තේ කුමක්ද?
• අනාවැකිමය සිහිනයේ දුටු ගසේ ප්‍රධාන ඉටුවීමේදී, “කාලවල් සත” කොපමණ දිගු වීද? එමෙන්ම, එය ඇරඹුණේ සහ අවසන් වූයේ කවදාද?
[83වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[91වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]