නවවන පරිච්ඡේදය
ලෝකය කවුරු පාලනය කරාවිද?
1-3. බේල්ෂශර්ගේ පාලනයේ මුල් අවුරුද්දේදී දානියෙල් දුටු සිහිනය සහ දර්ශන විස්තර කරන්න.
දානියෙල්ගේ සිත් ඇදගන්නා අනාවැකිය බබිලෝනියේ රජු වූ බේල්ෂශර්ගේ පාලනයේ මුල් අවුරුද්ද වෙත දැන් අපව ගෙන යයි. දානියෙල් බොහෝ කාලයක් පුරා බබිලෝනියේ වහල්භාවයේ සිටියත්, යෙහෝවාට වූ තම අඛණ්ඩතාව ඔහු කිසිදාක වෙනස් කළේ නැහැ. දැන් වයස අවුරුදු 70 ගණන්වල සිටින ඇදහිලිවන්ත අනාගතවක්තෘවරයා “තමාගේ යහනේදී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වගයක්ද” දකිනවා. එම දර්ශන ඔහුව මොනතරම් කලඹවනවාද!—දානියෙල් 7:1, 15.
2 “මෙසේ දුටිමි” යයි දානියෙල් කියනවා. “ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය. එකිනෙකාට වෙනස්වූ මහා මෘගයන් සතරදෙනෙක් මුහුදෙන් නැගී ආවෝය.” මොනතරම් කැපීපෙනෙන මෘගයන්ද! පළමුවැන්නා පියාපත් ඇති සිංහයෙක්, දෙවැන්නා වලසෙක් වගේ. ඊළඟට, නැඟී එන්නේ පියාපත් සතරක් සහ හිස් සතරක් ඇති දිවියෙක්! අසාමාන්‍ය ලෙස ශක්තිමත් සතරවන මෘගයාට විශාල යකඩ දත් සහ අං දසයක් තිබෙනවා. උගේ අං දසය අතරෙන් “කුඩා” අඟක් නික්මෙන අතර, එයට “මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩඟු ලෙස කථාකරන මුඛයක්ද” තිබෙනවා.—දානියෙල් 7:2-8.
3 දානියෙල්ගේ දර්ශනය මීළඟට ස්වර්ගය වෙත යොමු වෙනවා. පුරාතන තැනැත්තා ස්වර්ගීය විනිශ්චයාසනයේ විනිශ්චයකරු ලෙස තේජවත්ව හිඳගෙන සිටිනවා. ‘දහසක් වර දහස්දෙනෙක් ඔහුට සේවය කරයි; දසදහසක් වර දසදහස්දෙනෙක්ද ඔහු ඉදිරියේ සිටියි.’ මෘගයන්ව දැඩි ලෙස විනිශ්චය කර, ඔහු ඔවුන්ගෙන් පාලනය අහක් කර හතරවන මෘගයාව විනාශ කර දමයි. “ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද” කෙරෙහි සදහටම පාලනය කිරීමේ බලය, “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන [කෙනෙකුට]” භාර දෙනු ලබනවා.—දානියෙල් 7:9-14.
4. (අ) විශ්වාසදායක තොරතුරු ලබාගැනීමට දානියෙල් හැරුණේ කා වෙතටද? (ආ) දානියෙල් එම රාත්රියේදී ඇසූ දුටු දේ අපට වැදගත් වන්නේ මන්ද?
4 “දානියෙල් වන මා තුළ මාගේ ආත්මය දුක්වුණේය. මාගේ හිසේ දර්ශනවලින් මම කැලඹුණෙමි” කියා ඔහු පවසනවා. එමනිසා ඔහු දේවදූතයෙකුගෙන් “ඒ සියල්ල සම්බන්ධ විශ්වාසදායක තොරතුරු [NW]” ඉල්ලා සිටියා. ඇත්තෙන්ම, දේවදූතයා ඔහුට ‘කාරණාවල නියම තේරුම දැන්නුවා [NW].’ (දානියෙල් 7:15-28) එම රාත්රියේදී දානියෙල් ඇසූ දුටු දේ අපේ ඉමහත් උනන්දුවට දායක වෙනවා. මන්ද සියලු “ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද” කෙරෙහි පාලනය කිරීමට “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන [කෙනෙකුට]” පාලනය භාර දෙන, අපේ කාලය දක්වා දිවෙන අනාගත ලෝක සිදුවීම් එයින් පෙන්නුම් කරන නිසයි. දෙවිගේ වචනයෙත් ආත්මයෙත් උපකාරයෙන්, මේ අනාගතික දර්ශනවල අර්ථය තේරුම්ගන්න අපටත් පුළුවන්.a
මුහුදෙන් නැඟී එන මෘගයන් සතරදෙනෙක්
5. සුළඟෙන් කැලඹුණු මුහුදෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
5 “මහා මෘගයන් සතරදෙනෙක් මුහුදෙන් නැගී” ආ බව දානියෙල් කියනවා. (දානියෙල් 7:3) සුළඟෙන් කැලඹුණු මුහුදෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? අවුරුදු ගණනාවකට පසු, “මුහුදෙන්” මතු වුණු හිස් සතක් ඇති, වන මෘගයෙක්ව ප්‍රේරිත යොහන් දැක්කා. එම මුහුද “මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද,” එනම්, දෙවිගෙන් ඈත් වූ මුළු මහත් මනුෂ්‍යවර්ගයාම නියෝජනය කළා. එසේ නම්, මුහුද, දෙවිගෙන් ඈත් වූ මුළු මනුෂ්‍යවර්ගයා සඳහා උචිත සංකේතයක්.—එළිදරව් 13:1, 2; 17:15; යෙසායා 57:20.
6. මෘගයන් සතරදෙනාගෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
6 “ඒ මහා මෘගයන් සතරදෙනා නම් රජවරු සතර දෙනෙක්ය. ඔව්හු පොළොවෙන් නැගිට එන්නෝය” කියා දේවදූතයා පැවසුවා. (දානියෙල් 7:17) පැහැදිලිවම, දානියෙල් දුටු මෘගයන් සතරදෙනා “රජවරු සතර දෙනෙක්” බව දේවදූතයා හඳුන්වා දුන්නා. මේ අනුව, මේ මෘගයන් ලෝක බලයන් නියෝජනය කරනවා. එහෙත් කිනම් ඒවාද?
7. (අ) මෘගයන් සතරදෙනා පිළිබඳ දානියෙල්ගේ සිහින-දර්ශනය ගැන සහ අතිවිශාල රූපය පිළිබඳ නෙබුකද්නෙශර්ගේ දර්ශනය ගැන සමහර බයිබල් ටීකාකරුවන් කියන්නේ කුමක්ද? (ආ) රූපයේ ලෝහ වර්ග හතරෙන් නියෝජනය කරන්නේ කුමක්ද?
7 බයිබල් ටීකාකරුවන් මෘගයන් සතරදෙනා පිළිබඳ දානියෙල්ගේ සිහින-දර්ශනය, නෙබුකද්නෙශර්ගේ අතිවිශාල රූපය පිළිබඳ සිහිනය සමඟ පොදුවේ සම්බන්ධ කර දක්වනවා. උදාහරණයක් වශයෙන්, බයිබල් ටීකාකරුවන්ගේ විවරණය (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කරනවා: “[දානියෙල්] හත්වන පරිච්ඡේදය දෙවන පරිච්ඡේදය සමඟ සමාන්තරව දිවෙනවා.” වයික්ලිෆ් බයිබල් විවරණය (ඉංග්‍රීසියෙන්) මෙසේ කියනවා: “[දානියෙල්] හත්වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ [දානියෙල්] දෙවන පරිච්ඡේදයේ සඳහන් . . . අනුප්‍රාප්තික අන්‍යජාතික අධිරාජ්‍යයන් පිළිබඳවයි යන්න පොදුවේ පිළිගැනුණු දෙයක්.” නෙබුකද්නෙශර්ගේ සිහිනයේ දුටු ලෝහ වර්ග හතර මගින් නියෝජනය කළ ලෝක බලයන් නම්, බබිලෝනීය අධිරාජ්‍යය (රන් හිස), මේද-පර්සියාව (රිදී ළය සහ අත්), ග්‍රීසිය (තඹ බඩ සහ කළවා) සහ රෝම අධිරාජ්‍යයයි (යකඩ කෙණ්ඩා).b (දානියෙල් 2:32, 33) දානියෙල් දුටු මහා මෘගයන් සතරදෙනාට මේ රාජ්‍යයන් සමාන වන්නේ කෙසේද කියා අපි බලමු.
සිංහයෙකු මෙන් රෞද්‍රයි, රාජාලියෙකු මෙන් වේගවත්
8. (අ) දානියෙල් පළමුවන මෘගයාව විස්තර කළේ කෙසේද? (ආ) පළමුවන මෘගයා නියෝජනය කළ අධිරාජ්‍යය කුමක්ද? එමෙන්ම, එය සිංහයෙක් මෙන් ක්‍රියා කළේ කෙසේද?
8 දානියෙල් දකින මෘගයන් මොනතරම් අසාමාන්‍යයද! එකෙකුව විස්තර කරමින් ඔහු මෙසේ කියනවා: “පළමුවෙනියා සිංහයෙකු මෙන්ය, ඌට රාජාලි පියාපත් තිබුණේය. මා බලාසිටින අතර උගේ පියාපත් උදුරාදමා, ඌ පොළොවෙන් ඔසවා, මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් සිටවනු ලැබීය, මනුෂ්‍ය සිතක්ද ඌට දෙනලද්දේය.” (දානියෙල් 7:4) මේ මෘගයා අතිවිශාල රූපයේ රන් හිසෙන් නියෝජනය කළ පාලනතන්ත්‍රයම, එනම් බබිලෝනීය ලෝක බලය සංකේතවත් කළා (පො.යු.පෙ. 607-539). ගොදුරු සොයන “සිංහයෙක්” මෙන්, බබිලෝනිය දෙවිගේ සෙනඟ ඇතුළු ජාතීන්ව රෞද්‍ර ලෙස ගිල දැමුවා. (යෙරෙමියා 4:5-7; 50:17) රාජාලියෙකුගේ පියාපත් ඇතුව, මේ ‘සිංහයා’ ජයගැනීමේ අටියෙන් ආක්‍රමණශීලී ලෙස වේගයෙන් ඉදිරියට ඇදුණා.—විලාප ගී 4:19; හබක්කුක් 1:6-8.
9. සිංහයා බඳු මෘගයා කිනම් වෙනස්කම් අද්දැක්කාද? එමෙන්ම, මේවා ඌට බලපෑවේ කෙසේද?
9 කාලයාගේ ඇවෑමෙන් මේ අද්විතීය සිංහයාගේ පියාපත් ‘උදුරා දමනු’ ලැබුවා. බේල්ෂශර් රජුගේ පාලනය අවසානය කරා ළඟා වෙනවාත් සමඟම, ජාතීන්ට එරෙහිව බබිලෝනිය දිගින් දිගටම අත් කරගත් ජයග්රහණයන් සහ සිංහයෙකුගේ බඳු ආධිපත්‍යය අහිමි වී ගියා. දෙපා ඇති මිනිසෙකුගේ වේගයට එය සමාන වුණා. “මනුෂ්‍ය සිතක්” ලැබීමත් සමඟම එය දුර්වල වුණා. “සිංහයෙකුගේ සිත” අහිමි වීමත් සමඟම “කැලෑවේ මෘගයන් අතරෙහි” රජා ලෙස හැසිරෙන්න බබිලෝනියට තවදුරටත් නොහැකි වුණා. (සසඳන්න 2 සාමුවෙල් 17:10; මීකා 5:8.) තවත් මහා මෘගයෙක් බබිලෝනිය ජයගත්තා.
වලසෙකු මෙන් කෑදර
10. ‘වලසාගෙන්’ නියෝජනය කළ පාලක පෙළපත කුමක්ද?
10 දානියෙල් මෙසේ කියනවා: “තව මෘගයෙක් වන දෙවෙනියා වලසෙකුට සමානය, ඌ එක ඇළයකින් කෙළින්වී උන්නේය, ඉළඇට තුනක්ද උගේ කටෙහි උගේ දත් අතරේ තිබුණේය. නැගිට බොහෝ මස් කවයි ඌට කියනලද්දේය.” (දානියෙල් 7:5) ‘වලසාගෙන්’ සංකේතවත් කළ රජු වූයේ, අතිවිශාල රූපයේ රිදී ළයෙන් සහ අත්වලින් නියෝජනය කළ රජුමයි. එනම්, මේදිය දාරියුස් සහ මහා කෝරෙෂ්ගෙන් පටන්ගෙන, IIIවන දාරියුස්ගෙන් අවසන් වූ මේද-පර්සියානු පාලක පෙළපතයි (පො.යු.පෙ. 539-331).
11. සංකේතාත්මක වලසා එක ඇලයකින් කෙළින් වී සිටීමෙන් සහ උගේ කටේ ඉළ ඇට තුනක් තිබීමෙන් ඇඟවූයේ කුමක්ද?
11 වලසා “එක ඇළයකින් කෙළින්වී” සිටීමෙන් සමහරවිට සංකේතවත් කළේ, ජාතීන්ව ආක්‍රමණය කරන්නත්, යටත් කරගන්නත්, එසේ කිරීම මගින් ලෝක බලය පවත්වාගන්නත් සූදානම් වීම වෙන්න පුළුවන්. එසේ නැතහොත්, මෙසේ එක ඇලයකින් කෙළින් වී සිටීම, එකම මේදිය රජ වූ දාරියුස්ව අභිභවා පර්සියානු පාලක පෙළපතේ නැඟී සිටීම අදහස් කළා වෙන්න පුළුවන්. උගේ කටේ තිබූ ඉළ ඇට තුනෙන්, ඌ යටත් කළ ප්‍රදේශ ව්‍යාප්ත වූ දිශා තුන ඇඟෙව්වා වෙන්න පුළුවන්. මේද-පර්සියානු ‘වලසා’ පො.යු.පෙ. 539දී බබිලෝනිය අත් පත් කරගැනීම සඳහා උතුරු දිශාවට ගියා. ඉන්පසු, ඌ සුළු ආසියාව හරහා බටහිරින් වූ ත්‍රේස් වෙත ගියා. අවසානයේදී, මිසරය ජයගැනීමට ‘වලසා’ දකුණු දෙසට ගමන් කළා. ඇතැම් අවස්ථාවලදී, අංක තුන තියුණුභාවය සංකේතවත් කරන නිසා, ඉළ ඇට තුන මගින් සංකේතවත් වලසාගේ ජයගැනීමට වූ කෑදරකම අවධාරණය කළා විය හැකියි.
12. සංකේතවත් වලසා “නැගිට බොහෝ මස් කව” යන ආඥාවට කීකරු වීමේ ප්‍රතිඵලය කුමක් වීද?
12 “නැගිට බොහෝ මස් කව” යන කියමනට ප්‍රතිචාරයක් වශයෙන්, ‘වලසා’ ජාතීන්ට හිංසා කළා. දිව්‍ය කැමැත්තට එකඟව බබිලෝනිය ගිල දැමීම හේතුවෙන්, මේද-පර්සියාව යෙහෝවාගේ සෙනඟට වටිනා සේවයක් පිරිනැමීමට හැකි තත්වයක සිටියා. ඔවුන් එසේ කළා! (149වන පිටුවේ “සාධාරණ අධිරාජ්‍යයෙක්” යන්න බලන්න.) මහා කෝරෙෂ්, Iවන දාරියුස් (මහා දාරියුස්) සහ Iවන අර්තක්ෂස්තා යන අය මාර්ගයෙන් මේද-පර්සියාව බබිලෝනියේ සිටි යුදෙව් වහලුන්ව නිදහස් කළ අතර, යෙහෝවාගේ දේවමාළිගාව යළි ගොඩනඟන්නත්, යෙරුසලමෙහි තාප්ප අලුත්වැඩියා කරන්නත් උපකාර කළා. අවසානයේදී, මේද-පර්සියාව රටවල් 127ක් පාලනය කළ අතර, එස්තර් බිසවගේ ස්වාමිපුරුෂයා වූ අහෂ්වේරොෂ් (Iවන තක්ෂස්තා) ‘ඉන්දියාව පටන් කුෂ් [ඉතියෝපියාව, NW] දක්වා රජකම් කළා.’ (එස්තර් 1:1) කෙසේවෙතත්, තවත් මෘගයෙක් දියඹෙන් මතු වෙන්න ආසන්නව සිටියා.
පියාපත් ඇති දිවියෙකු මෙන් ශීඝ්රවත්!
13. (අ) තුන්වන මෘගයාගෙන් සංකේතවත් කළේ කුමක්ද? (ආ) තුන්වන මෘගයාගේ වේගය සහ අත් කරගත් බලප්‍රදේශ ගැන කුමක් කිව හැකිද?
13 තුන්වන මෘගයා “කොටියෙකු [දිවියෙකු, NW] මෙන්ය, පක්ෂී පියාපත් සතරක් උගේ පිටේ තිබුණේය; ඒ මෘගයාට හිස් සතරකුත් තිබුණේය; ආණ්ඩු බලයද ඌට දෙනලද්දේය.” (දානියෙල් 7:6) නෙබුකද්නෙශර්ගේ සිහිනයෙන් දුටු රූපයේ තඹ බඩ සහ කළවා පෙදෙසෙන් සංකේතවත් කළ කලින් සඳහන් කළ මෘගයා මෙන්, මේ පියාපත් සතරක්ද හිස් සතරක්ද ඇති දිවියාගෙන් සංකේතවත් කළේ මහා ඇලෙක්සැන්ඩර්ගෙන් ඇරඹූ මැසිඩෝනීය හෝ ග්‍රීක පාලක පෙළපතයි. ඇලෙක්සැන්ඩර් කඩිසර මෙන්ම වේගවත් දිවියෙකු මෙන් සුළු ආසියාව පුරාත්, දකුණින් මිසරයටත්, ඉන්දියාවේ බටහිර මායිම දක්වාත් ගමන් කළා. (හබක්කුක් 1:8 සසඳන්න.) ඔහුගේ අධිරාජ්‍යයට මැසිඩෝනියාව, ග්‍රීසිය සහ පර්සියානු අධිරාජ්‍යයද අයත්ව තිබූ නිසා, ‘වලසාගේ’ අධිරාජ්‍යයට වඩා එය විශාල වුණා.—153වන පිටුවේ ඇති “තරුණ රජෙක් ලොව ජයගනියි” යන කොටස බලන්න.
14. ‘දිවියා’ හිස් සතරක් ඇති එකෙක් වූයේ කෙසේද?
14 පොදු යුගයට පෙර 323දී, ඇලෙක්සැන්ඩර් මියගියාට පසුව ‘දිවියාට’ හිස් සතරක් ලැබුණා. ඔහුගේ සේනාධිපතීන් සතරදෙනෙක් අවසානයේදී ඔහුගේ අධිරාජ්‍යයේ විවිධ කොටස්වල අනුප්රාප්තිකයන් බවට පත් වුණා. සෙල්යුකස් මෙසපොතේමියාව සහ සිරියාව අල්ලාගත්තා. ටොලමි මිසරය සහ පලස්තීනය යටත් කරගත්තා. ලිසිමැකස් සුළු ආසියාව සහ ත්‍රේස් පාලනය කළා. කැසැන්ඩර් මැසිඩෝනියාව සහ ග්‍රීසිය අත් කරගත්තා. (162වන පිටුවේ ඇති “විශාල රාජ්‍යයක් බෙදෙයි” යන කොටස බලන්න.) ඊළඟට අලුත් තර්ජනයක් මතු වුණා.
හාත්පසින්ම වෙනස් භයානක මෘගයෙක්
15. (අ) සතරවන මෘගයාව විස්තර කරන්න. (ආ) සතරවන මෘගයාගෙන් සංකේතවත් කළේ කුමක්ද? එමෙන්ම, ඌ උගේ ගමන් මඟෙහි ඇති සියල්ල කා දමා පොඩි කර දැමුවේ කෙසේද?
15 දානියෙල් සතරවන මෘගයාව මෙසේ විස්තර කරනවා: “ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.” (දානියෙල් 7:7) මේ භයානක මෘගයා රෝමයේ දේශපාලනික සහ හමුදා බලය ලෙස ඇරඹුණා. එය ක්‍රමානුකූලව ග්‍රීක අධිරාජ්‍යයේ හෙලනික කොට්ඨාස හතරම අත් පත් කරගත් අතර, පො.යු.පෙ. 30 පමණ වන විට, බයිබල් අනාවැකිවල සඳහන් ඊළඟ ලෝක බලය ලෙස රෝමය මතු වුණා. හමුදා බලය මගින් තම ගමන් මඟෙහි ඇති සියල්ල යටපත් කරගෙන, බ්‍රිතාන්‍ය දූපත්වල සිට යුරෝපයේ වැඩි කොටසකුත් මධ්‍යධරණි මුහුද අවටත්, බබිලෝනිය පසු කර පර්සියානු බොක්ක දක්වාත් විශාල ප්‍රදේශයක් යටත් කරගැනීම දක්වා රෝම අධිරාජ්‍යය වර්ධනය වුණා.
16. සතරවන මෘගයා ගැන දේවදූතයා දුන්නේ කිනම් තොරතුරුද?
16 මේ “ඉතාමත් භයානකවූ” මෘගයා ගැන දැනගැනීමට තිබූ ආශාව නිසා, දේවදූතයා මෙසේ පැහැදිලි කරද්දී දානියෙල් ඉතා ඕනෑකමින් ඇහුම්කන් දුන්නා: “[උගේ] අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.” (දානියෙල් 7:19, 20, 24) මේ ‘අං දසයෙන්’ නැත්නම් ‘රජවරු දසදෙනාගෙන්’ නියෝජනය කරන්නේ කුමක්ද?
17. සතරවන මෘගයාගේ ‘අං දසයෙන්’ නියෝජනය කළේ කුමක්ද?
17 රෝමය ඉතා සමෘද්ධිමත් වුවත්, පාලක පංතියේ සල්ලාල ජීවිත ක්‍රමය නිසා, වේගයෙන් පරිහානියට ලක් වී, එහි හමුදා බලය හීන වී ගියා. කාලයාගේ ඇවෑමෙන් රෝම හමුදා බලයේ බිඳ වැටීම පැහැදිලිව පෙනෙන්න පටන්ගත්තා. ප්‍රබල අධිරාජ්‍යය අන්තිමට බොහෝ රාජ්‍යයන්වලට කැඩී ගියා. බයිබලය අංක දහය සම්පූර්ණත්වය ඇඟවීමට යොදාගන්නා නිසා, සතරවන මෘගයාගේ ‘අං දසයෙන්’ නියෝජනය කරන්නේ, රෝමය බිඳී යෑමෙන් ඇති වූ සියලුම රාජ්‍යයනුයි.—සසඳන්න ද්විතීය කථාව 4:13; ලූක් 15:8; 19:13, 16, 17.
18. රෝමය තම අවසාන අධිරාජ්‍යයාගේ ඇවෑමෙන් පසුව පවා යුරෝපය කෙරෙහි තම ආධිපත්‍යය දිගටම පවත්වාගෙන ගියේ කෙසේද?
18 කෙසේවෙතත්, පො.යු. 476දී රෝමයේ අවසාන අධිරාජ්‍යයාව පහ කිරීමත් සමඟම රෝම ලෝක අධිරාජ්‍යය අවසන් වූයේ නැහැ. සියවස් ගණනාවක් පුරා, රෝමයේ පාප්වරුන් යුරෝපය පුරා දේශපාලනික සහ විශේෂයෙන්ම ආගමික ආධිපත්‍යය පවත්වාගෙන ගියා. වැඩවසම් ක්‍රමය මගින් එය සිදු කළ අතර, මෙසේ යුරෝපයේ සිටි බොහෝ වැසියන් වංශාධිපතියෙකුටත් පසුව රජෙකුටත් යටත් වුණා. එමෙන්ම සියලුම රජවරු පාප්ගේ ආධිපත්‍යය පිළිගත්තා. මෙසේ, පාප්වරුන්ගේ රෝමය, ශුද්ධ රෝම අධිරාජ්‍යයේ මධ්‍යස්ථානය ලෙස තබාගෙන ඉතිහාසයේ දිගු කලක් පුරා, අඳුරු යුගය ලෙස හඳුන්වා ඇති සමයේදී ලෝක කටයුතු පාලනය කළා.
19. එක් ඉතිහාසඥයෙකුට අනුව, රෝමය පෙර පැවති රාජ්‍යයන්ට වඩා වෙනස් වූයේ කෙසේද?
19 සතරවන මෘගයා ‘අනිත් සියලුම රාජ්‍යයන්ට වඩා වෙනස්’ කියා පිළිගත නොහැක්කේ කාටද? (දානියෙල් 7:7, 19, 23) මේ සම්බන්ධයෙන්, ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් මෙසේ ලිව්වා: “ශිෂ්ටසම්පන්න ලොවෙහි මෙතෙක් පැවත තිබූ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයන්ට වඩා . . . මෙම අලුත් රෝම බලය අංග කිහිපයකදීම වෙනස් ස්වරූපයක් දැරුවා. . . . ලෝකයේ ග්‍රීක් ජාතිකයන් සියල්ලන්ම පාහේ එයට යටත්ව සිටි අතර, එහි ජනගහනය, වෙනත් කිසිදු අධිරාජ්‍යයකට වඩා හැමිටික සහ සෙමිටික බලපෑමෙන් අඩු වුණා . . . පෙනෙන විදිහට, එය ඉතිහාසයට නව මුහුණුවරක් ලබා දුන්නා. . . . රෝම අධිරාජ්‍යය වනාහි සැලසුම් නොකළ, නූතන වර්ධනය වීමක්; රෝම ජනයා නොදැනුවත්වම පාහේ, මහා පරිමාණයේ පරිපාලන අත්හදා බැලීමකට සම්බන්ධ වුණා.” එනමුත්, සතරවන මෘගයාගේ වර්ධනය එතැනින් නිම වූයේ නැහැ.
කුඩා අඟක් මතු වෙයි
20. සතරවන මෘගයාගේ හිසෙන් මතු වූ කුඩා අඟ ගැන දේවදූතයා කීවේ කුමක්ද?
20 දානියෙල් මෙසේ කියනවා: “ඒ අං දෙස මා බලාසිටිද්දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේය, ඒක ඉදිරියෙහි පළමු අංවලින් තුනක් උදුරාදමනු ලැබීය.” (දානියෙල් 7:8) මේ අලුත් අඟ ගැන දේවදූතයා දානියෙල්ට මෙහෙම කියනවා: “ඔවුන්ට [රජවරු දසදෙනාට] පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.” (දානියෙල් 7:24) මේ රජු කවුද? ඔහු නැඟිටුණේ කවදාද? ඔහු පහත් කළ රජුන් තිදෙනා කවුද?
21. බ්‍රිතාන්‍යය, සතරවන මෘගයාගේ සංකේතාත්මක කුඩා අඟ බවට පත් වූයේ කෙසේද?
21 මතු දැක්වෙන සිද්ධීන් සලකා බලන්න. පොදු යුගයට පෙර 55දී, රෝම සේනාධිපති ජූලියස් සීසර් බ්රිටැනියාව ආක්‍රමණය කළද, එහි ස්ථිර ජනාවාස ඇති කිරීමට ඔහු අසමත් වුණා. පොදු යුගයේ 43දී, ක්ලෝඩියස් අධිරාජ්‍යයා දකුණු බ්‍රිතාන්‍යය වඩාත් ස්ථිර ආකාරයකින් යටත් කරගන්න පටන්ගත්තා. ඉන්පසු, පො.යු. 122දී, රෝම අධිරාජ්‍යයේ උතුරු මායිම සලකුණු කරමින්, හේඩ්රියන් අධිරාජ්‍යයා, ටයින් ගඟේ සිට සොල්වේ මෝය දක්වා ප්රාකාරයක් තනන්න පටන්ගත්තා. පස්වන සියවසේ මුල් භාගයේදී, රෝම බලඇණි එම දූපත හැර ගියා. එක් ඉතිහාසඥයෙක් පැහැදිලි කරන ආකාරයට “දහසයවන සියවසේදී, එංගලන්තය සාමාන්‍ය බලයක්ව පැවතුණා. නෙදර්ලන්තයත් සමඟ සසඳද්දී, එතරම්ම ධනයක් එයට තිබුණේ නැහැ. එහි ජනගහනය ප්‍රංශයට වඩා බොහෝ අඩු වුණා. එහි (නාවික ඇතුළු) යුධ බලය ස්පාඤ්ඤයට වඩා පහත් මට්ටමක තිබුණා.” සතරවන මෘගයාගේ සංකේතාත්මක කුඩා අඟ ලෙස මතු වූ බ්‍රිතාන්‍යය, පෙනෙන විදිහට, එවකට වැදගත් රාජ්‍යයක් වුණේ නැහැ. එහෙත්, වෙනසක් සිදුවීමට නියමිතව තිබුණා.
22. (අ) සතරවන මෘගයාගෙන් මතු වූ “කුඩා” අඟෙන් පරාජයට පත් අනිත් අං තුන කවරේද? (ආ) ඉන්පසු, බ්‍රිතාන්‍යය කුමක් ලෙස මතු වුණාද?
22 වර්ෂ 1588දී, ස්පාඤ්ඤයේ IIවන පිලිප් රජු, බ්‍රිතාන්‍යයට එරෙහිව ස්පාඤ්ඤ ආමඩා යුධ නැව් දියත් කළා. මිනිසුන් 24,000කට වඩා සමන්විත යුධ නැව් 130කින් යුත් මෙම බලඇණිය ඉංග්‍රීසි ඕඩය දිගේ යාත්‍රා කළත්, ප්‍රතිඵලය වූයේ, බ්‍රිතාන්‍ය නාවික හමුදාව අතින් අන්ත පරාජයකට ලක්ව, විරුද්ධ දෙසින් හැමූ සුළඟේ සහ දරුණු අත්ලන්තික් චණ්ඩ මාරුතයේ ගොදුරු බවට පත්වීමයි. මේ සිදුවීම, “නාවික ශ්‍රේෂ්ඨත්වය ස්පාඤ්ඤය අතින් බ්‍රිතාන්‍යය තීරණාත්මක ලෙස අත් කරගන්න” හේතු වුණා කියා එක් ඉතිහාසඥයෙක් පැවසුවා. දහහත්වන සියවසේදී, ඕලන්දය ලොවේ විශාලතම වෙළඳ නැව් සමූහය තැනුවා. කෙසේවෙතත්, විදේශීය යටත් විජිත වැඩි වූ නිසා, බ්‍රිතාන්‍යය එම රාජ්‍යයටද ඉහළින් වැජඹුණා. දහඅටවන සියවස තුළදී, බ්‍රිතාන්‍යයත් ප්රංශයත් එකිනෙකාට විරුද්ධව උතුරු අමෙරිකාවේදීත් ඉන්දියාවේදීත් යුද්ධ කළා. එය 1763දී කළ පැරිස්හි ගිවිසුමට මඟ පෑදුවා. ලේඛක විලියම් බී. විල්කොක්ස් කීවේ, මේ ගිවිසුම “යුරෝපයෙන් එහා ලෝකය කෙරෙහිත් වූ ඉතා ප්‍රබල යුරෝපීය බලය හැටියට බ්‍රිතාන්‍යයේ අලුත් තත්වය හඳුන්වා දුන්නා” කියායි. පොදු යුගයේ 1815දී, ප්‍රංශයේ නැපෝලියන්ව අන්ත පරාජයට පත් කිරීම බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යය තහවුරු කළා. මෙසේ බ්‍රිතාන්‍යය විසින් ‘පහත් කර දැමූ රජවරුන් තුන්දෙනා’ වූයේ, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ප්රංශයයි. (දානියෙල් 7:24) ප්‍රතිඵලයක් හැටියට, බ්‍රිතාන්‍යය, ලෝකයේ යටත් විජිත විශාල ප්‍රමාණයක හිමිකරු මෙන්ම වාණිජ බලය ලෙස මතු වුණා. ඔව්, “කුඩා” අඟ වැඩී ලෝක බලයක් වුණා!
23. සංකේතාත්මක කුඩා අඟ “මුළු පොළොව නාස්ති” කළේ කිනම් ආකාරයටද?
23 සතරවන මෘගයා නැත්නම් සතරවන රාජ්‍යය “මුළු පොළොව නාස්ති” කරන බව දේවදූතයා දානියෙල්ට කිව්වා. (දානියෙල් 7:23) කලින් බ්‍රිටැනියා ලෙස හැඳින්වූ රෝම පළාත සම්බන්ධයෙන් එය සැබෑවක් වුණා. එය අන්තිමට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බවට පත් වී, ‘මුළු පොළොවම නාස්ති කළා.’ වතාවක්, මේ අධිරාජ්‍යය පොළොවෙන් හතරෙන් පංගුවක්ද ලෝක ජනගහනයෙන් හතරෙන් පංගුවක්ද අයිති කරගත්තා.
24. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වෙනස සම්බන්ධයෙන් ඉතිහාසඥයෙක් කීවේ කුමක්ද?
24 කලින් පැවති ලෝක බලයන්ට වඩා රෝම අධිරාජ්‍යය වෙනස් වූවාක් මෙන්ම, “කුඩා” අඟෙන් නියෝජනය වූ රජ “පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය.” (දානියෙල් 7:24) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගැන ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් මෙසේ සඳහන් කරනවා: “එවැනි අධිරාජ්‍යයක් මීට පෙර තිබුණේ නැහැ. එක්සත් බ්‍රිතාන්‍ය රාජ්‍යයන්හි ‘රජෙකුව පත් කිරීම’ එම ක්රමයේ මූලිකම දෙය වුණා . . . සමස්තයක් හැටියට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පිළිබඳ සංකල්පය කිසිම පරිපාලන ආයතනයක් හෝ කිසිම බුද්ධියක් මගින් ග්‍රහණය කරගෙන තිබුණේ නැහැ. එය වර්ධනය වූ ආකාරය සහ දේවල් ඈඳාගත් ආකාරය ගත් කල, මීට පෙර අධිරාජ්‍යයක් කියා හැඳින්වූ කිසිම එකකට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටයි එය සිදු වුණේ.”
25. (අ) නවීනතම වර්ධනය ගැන සලකා බලද්දී, සංකේතාත්මක කුඩා අඟ මගින් සෑදී ඇත්තේ කුමක්ද? (ආ) “කුඩා” අඟට “මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩඟුලෙස කථාකරන මුඛයක්ද තිබුණේ” කිනම් අර්ථයෙන්ද?
25 “කුඩා” අඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සීමා වුණේ නැහැ. වර්ෂ 1783දී, අමෙරිකාවේ තිබූ තම යටත් විජිත 13ට බ්‍රිතාන්‍යය නිදහස දුන්නා. අවසානයේදී, අමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයේ මිත්‍ර පාක්ෂිකයා බවට පත් වූ අතර, එය ලෝකයේ සිටින ප්‍රබලම ජාතිය ලෙස IIවන ලෝක යුද්ධයෙන් අනතුරුව මතු වුණා. එය තවමත් බ්‍රිතාන්‍ය සමඟ ශක්තිමත් සබඳතා පවත්වනවා. ප්‍රතිඵලයක් වශයෙන් මතු වන එංගලන්ත-අමෙරිකානු ද්විත්ව ලෝක බලයෙන් ‘ඇස් ඇති අඟ’ සෑදෙනවා. ඇත්තෙන්ම, මේ ලෝක බලය විමසිලිමත්, කපටි අවස්ථාවාදී එකක්! එය ‘උඩඟු ලෙස කතා කරනවා.’ ලෝකයෙන් වැඩි කොටසක් වෙනුවෙන් ප්‍රතිපත්ති පාලනය කරමින්, එය වෙනුවෙන් කතාකරන්නා නොහොත් “බොරු අනාගතවක්තෘ” වී තිබෙනවා.—දානියෙල් 7:8, 11, 20; එළිදරව් 16:13; 19:20.
දෙවිටත් ඔහුගේ ශුද්ධවන්තයන්ටත් කුඩා අඟ විරුද්ධ වෙයි
26. යෙහෝවාත් ඔහුගේ සේවකයනුත් සම්බන්ධයෙන් සංකේතාත්මක අඟ කරන කියන දේ පිළිබඳව දේවදූතයා පුරෝකථනය කළේ කුමක්ද?
26 දානියෙල් තම දර්ශනය දිගටම විස්තර කරනවා: “ඒ අඟ ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධකර ඔවුන්ගෙන් ජයගන්න බව දුටුවෙමි.” (දානියෙල් 7:22) මේ “අඟ” හෝ රජු ගැන දෙවිගේ දූතයා මෙසේ පුරෝකථනය කළා: “ඔහු [මහෝත්තමයාට] විරුද්ධව කාරණා කියන්නේය, [මහෝත්තමයාගේ] ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.” (දානියෙල් 7:25) අනාවැකියේ මේ කොටස ඉෂ්ට වූයේ කෙසේද? එමෙන්ම කවදාද?
27. (අ) “කුඩා” අඟ මගින් හිංසා පීඩාවලට ලක් වූ “ශුද්ධවන්තයන්” කවුද? (ආ) සංකේතාත්මක අඟ “කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට” සිතුවේ කෙසේද?
27 එංගලන්ත-අමෙරිකානු ලෝක බලය වන “කුඩා” අඟ පීඩා කළ “ශුද්ධවන්තයන්” වූයේ, පොළොව මත සිටින යේසුස්ගේ ආත්මයෙන්-ආලේප කරන ලද අනුගාමිකයනුයි. (රෝම 1:3, 4; 1 පේතෘස් 2:9) වර්ෂ 1914දී “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” නිමාව දකින බව, Iවන ලෝක යුද්ධයට කලින් වසර ගණනාව පුරා මේ ආලේප ලත් අයගේ ඉතිරි කොටස ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවූවා. (ලූක් 21:24) “ශුද්ධවන්තයන්ට” නොකඩවා අඩන්තේට්ටම් කළ නිසා, “කුඩා” අඟ මේ අනතුරු ඇඟවීම නොසලකා හැර තිබූ බව, එම වසරේදී යුද්ධය හටගත් විට පැහැදිලි වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලෝක ව්‍යාප්තව රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ යුතුයි කියන යෙහෝවාගේ අවශ්‍යතාව (හෝ “නීතිය”) ක්‍රියාත්මක කිරීමේදී, එංගලන්ත-අමෙරිකානු ලෝක බලය ඊටද එරෙහි වුණා. (මතෙව් 24:14) මෙසේ, “කුඩා” අඟ “කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට” තැත් කළා.
28. ‘කාලය, කාලවල් සහ කාල භාගය’ කොපමණ දිගද?
28 “කාලයකටද කාලවලටද කාල භාගයකටද” යන අනාවැකිමය කාලපරිච්ඡේදයකට යෙහෝවාගේ දූතයා යොමු දක්වනවා. එය කොපමණ කාලයක්ද? බයිබල් අර්ථ දක්වන්නන් මේ කියමන, කාලයක, කාල දෙකක සහ කාල භාගයක එකතුවක් හැටියට එනම්, කාලවල් තුනහමාරක් අඟවන බවට එකඟ වෙනවා. නෙබුකද්නෙශර් උමතුව සිටි “කාලවල් සත” අවුරුදු සතකට සමාන නිසා, කාලවල් තුනහමාරක් අවුරුදු තුනහමාරකට සමානයි.c (දානියෙල් 4:16, 25) අමෙරිකානු පරිවර්තනයක්හි (ඉංග්‍රීසියෙන්) කියවීමට තිබෙන්නේ මෙසේයි: “ඔවුන්ව අවුරුද්දකටද අවුරුදු දෙකකටද අවුරුදු භාගයකටද ඔහු අතට භාර දෙනු ලබන්නේය.” ජේම්ස් මොෆට්ගේ අනුවාදය කියන්නේ, “අවුරුදු තුනකටද අවුරුදු භාගයකටද” කියායි. එම කාලපරිච්ඡේදයම ගැන එළිදරව් 11:2-7හි සඳහන් වන අතර, එය කියන්නේ දෙවිගේ සාක්ෂිකරුවන් ගෝණි රෙදි ඇඳගෙන මාස 42ක් නැතහොත් දින 1,260ක් දේශනා කළ පසු ඔවුන්ව මරා දමනු ලබන බවයි. මේ කාලපරිච්ඡේදය පටන්ගත්තේ සහ අවසන් වූයේ කවදාද?
29. අනාවැකිමය අවුරුදු තුනහමාර ඇරඹුණේ කෙසේද? කවදාද?
29 ආලේප ලත් ක්‍රිස්තියානීන්ට Iවන ලෝක මහා යුද්ධය පරීක්ෂණාත්මක කාලයක් වුණා. වර්ෂ 1914 අවසන් වන විට, ඔවුන් පීඩා බලාපොරොත්තු වෙමින් සිටියා. ඇත්තෙන්ම, වර්ෂ 1915 සඳහා තෝරාගෙන තිබූ වාර්ෂික පදය වූයේ, යේසුස් තම ගෝලයන්ගෙන් ඇසූ මෙම ප්රශ්නයයි: ‘මගේ කුසලානෙන් බොන්න නුඹලාට පුළුවන්ද?’ එය පදනම්ව තිබුණේ ජේම්ස් රජුගේ අනුවාදයේ මතෙව් 20:22 මතයි. මෙසේ, වර්ෂ 1914 දෙසැම්බර් මුලදී, එම කුඩා සාක්ෂිකාර කණ්ඩායම ‘ගෝණිරෙදි ඇඳගෙන’ දේශනා කළා.
30. පළමුවන ලෝක මහා යුද්ධ සමයේදී, එංගලන්ත-අමෙරිකානු ලෝක බලය, ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අඩන්තේට්ටම් කළේ කෙසේද?
30 යුද්ධයේ උණුසුම වැඩි වෙත්ම, ආලේප ලත් ක්‍රිස්තියානීන් විරුද්ධවාදිකම් රාශියකට මුහුණ දුන්නා. සමහරෙකුව සිරගත කළා. එංගලන්තයේ ෆ්රෑන්ක් ප්ලැට් සහ කැනඩාවේ රොබට් ක්ලෙග් වැනි අයට කෲර අධිකාරීන් විසින් දරුණු ලෙස වද හිංසා කළා. අලුතෙන් ප්‍රකාශයට පත් කළ අභිරහසේ නිමාව (ඉංග්‍රීසියෙන්) යන තේමාවෙන් යුතු වූ ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) යන පොත් කාණ්ඩයේ හත්වැන්නද, බයිබල් ශිෂ්‍යයන්ගේ මාසිකය (ඉංග්‍රීසියෙන්) යන තේමාවෙන් යුත් පත්‍රිකාද, කැනඩාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය විසින් 1918 පෙබරවාරි 12වනදා තහනම් කළා. ඊළඟ මාසයේදී, එ.ජ. අධිකරණ දෙපාර්තමේන්තුව විසින් හත්වන කාණ්ඩය බෙදාහැරීම නීති විරෝධී බවට ප්‍රකාශ කළා. ප්‍රතිඵලය? පොත් දඩයම් කරමින් ගෙයක් ගෙයක් පාසා ගිය අතර, ඒවා රාජසන්තක කර, යෙහෝවාගේ නමස්කාරකයන්ව අත්අඩංගුවට ගනු ලැබුවා!
31. ‘කාලයද, කාලවල්ද කාල භාගයද’ අවසන් වූයේ කෙසේද? කවදාද?
31 දෙවිගේ ආලේප ලත් අයට අඩන්තේට්ටම් කිරීම උච්චාවස්ථාවට පැමිණියේ 1918 ජූනි 21වනදායි. ඒ, මුරටැඹ බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපති වූ ජේ. එෆ්. රදෆඩ් සහ එහි ප්‍රධාන සාමාජිකයන්ව බොරු චෝදනා මත දිගු කාලයකට සිරගත කරනු ලැබීමත් සමඟයි. “කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට” සිතමින්, “කුඩා” අඟ සංවිධානාත්මක දේශනා වැඩය සාර්ථක ලෙස මරා දැමුවා. (එළිදරව් 11:7) මෙසේ, පුරෝකථනය කරන ලද ‘කාලය, කාලවල් සහ කාල භාගය,’ 1918 ජූනි මාසයේදී අවසන් වුණා.
32. “ශුද්ධවන්තයන්,” “කුඩා” අඟ අතින් විනාශ වූයේ නැහැයි කියා ඔබ කියන්නේ මන්ද?
32 එහෙත්, “කුඩා” අඟ සිදු කළ අඩන්තේට්ටම් නිසා, “ශුද්ධවන්තයන්” විනාශ වී ගියේ නැහැ. එළිදරව් පොතේ පුරෝකථනය කර ඇති ආකාරයට, ආලේප ලත් ක්‍රිස්තියානීන් ටික කලකට අක්‍රියාශීලී වූවාට පසු, යළි ප්‍රාණවත් සහ ක්‍රියාශීලී වුණා. (එළිදරව් 11:11-13) වර්ෂ 1919 මාර්තු 26වනදා, මුරටැඹ බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපති සහ ඔහුගේ ආශ්‍රිතයන්ව සිරෙන් නිදහස් කළ අතර, පසුව ඔවුන්ට විරුද්ධව නඟා තිබූ බොරු චෝදනාවලින්ද නිදහස් කරනු ලැබුවා. ඒ සමඟම, ඉදිරි ක්‍රියාකාරකම් සඳහා ආලේප ලත් ඉතිරි කොටස කටයුතු යළි සංවිධානය කරන්න පටන්ගත්තා. කෙසේවෙතත්, “කුඩා” අඟ සඳහා තිබුණේ කුමන ඉරණමක්ද?
පුරාතන තැනැත්තා විනිශ්චයාසනය මත හිඳ ගනියි
33. (අ) පුරාතන තැනැත්තා කවුද? (ආ) ස්වර්ගීය විනිශ්චයකාර සභාවේ ‘දිගහැරිය පොත්’ කවරේද?
33 මෘගයන් සතරදෙනාව විස්තර කළාට පසුව, දානියෙල් තම නෙත් සතරවන මෘගයාගේ සිට ස්වර්ගීය දර්ශනයක් වෙත යොමු කරනවා. පුරාතන තැනැත්තා විනිශ්චයකරුවා ලෙස තමන්ගේ ඉතා දීප්තිමත් සිංහාසනයෙහි වාඩි වී සිටිනවා ඔහු දකිනවා. පුරාතන තැනැත්තා යෙහෝවා දෙවිම මිස වෙන කිසිවෙක් නෙවෙයි. (ගීතාවලිය 90:2) ස්වර්ගීය විනිශ්චයකාර සභාව හිඳගැනීමත් සමඟ ‘පොත්ද දිගහරින’ බව දානියෙල් දකිනවා. (දානියෙල් 7:9, 10) යෙහෝවාගේ පැවැත්ම කෙළවරක් නැති අතීතයකට ඇදී යන නිසා පොතක ලියල තියෙනවා වගේ මිනිස් ඉතිහාසයේ සියලුම දේවල් ඔහු දන්නවා. ඔහු සංකේතවත් මෘගයන් සතරදෙනාවම නිරීක්ෂණය කර ඇති අතර, තමන්ගේ පෞද්ගලික දැනුම මත ඔවුන්ව විනිශ්චය කරන්න ඔහුට හැකියි.
34, 35. “කුඩා” අඟට සහ අනිත් මෘග බලයන්ට කුමක් සිදු වේද?
34 දානියෙල් තවදුරටත් මෙසේ කියනවා: “ඒ අඟ කථාකරන උඩඟු වචනවල ශබ්දය නිසා බලාසිටියෙමි; මා බලාසිටින අතර මෘගයා මරනු ලැබ, උගේ ශරීරය නාස්තිකර, ඌ ඇවිළෙන ගින්නෙහි දමනලද්දේය. අනික් මෘගයන්ගේ ආණ්ඩු බලය උන්ගෙන් පහකරනලද්දේය. එහෙත් උන්ගේ ජීවිතවල ප්‍රමාණය කාලයකටත් අවස්ථාවකටත් දීර්ඝකරනලද්දේය.” (දානියෙල් 7:11, 12) දේවදූතයා දානියෙල්ට මෙසේ කියනවා: “එහෙත් විනිශ්චයකාර සභාව හිඳගන්නවා ඇත, එවිට ඔවුන් ඔහුගේ ආණ්ඩුව නාස්තිකිරීමටත් ඒක තීන්දුවටම නැතිකරදැමීමටත් ඒක පහකරනවා ඇත.”—දානියෙල් 7:26.
35 ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවා වන යෙහෝවා දෙවිගේ නියෝගය පරිදි, දෙවිට නින්දා කළ සහ ඔහුගේ “ශුද්ධවන්තයන්ට” අඩන්තේට්ටම් කළ අඟ, මුල් ක්‍රිස්තියානීන්ට පීඩා කළ රෝම අධිරාජ්‍යය අත්දුටු ඉරණමම අද්දකින්න යනවා. එහි පාලන බලයවත්, රෝම අධිරාජ්‍යයෙන් මතු වූ පහත් අං වැනි ‘රජවරුන්වත්’ තවදුරටත් පවතින්න යන්නේ නැහැ. කෙසේවෙතත්, කලින් පැවති මෘග බලයන්ගෙන් මතු වූ පාලන බලයන් ගැන කුමක් කිව හැකිද? පුරෝකථනය කළ ආකාරයට ඔවුන්ගේ ආයුෂ “කාලයකටත් අවස්ථාවකටත්” දික් කරනු ලැබුවා. ඔවුන්ගේ ප්‍රදේශ අපේ දවස දක්වා ජනාවාස වී තිබෙනවා. උදාහරණයක් හැටියට, ඉරාකය පිහිටා ඇත්තේ පුරාණ බබිලෝනිය තිබූ ප්රදේශවලයි. පර්සියාව (ඉරානය) සහ ග්‍රීසිය තවමත් පවතිනවා. මේ ලෝක බලයන්ගේ කුඩා කොටස් එක්සත් ජාතීන්ගේ කොටසක් බවට පත්ව තිබෙනවා. අවසාන ලෝක බලයේ සමූලඝාතනයත් සමඟ මේ රාජ්‍යයනුත් විනාශ වෙනවා. ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී’ සියලුම මිනිස් ආණ්ඩු වනසා දමනවා. (එළිදරව් 16:14, 16) එවිට ලෝකය පාලනය කරන්න යන්නේ කවුද?
කල්පවතින පාලනය අත ළඟය!
36, 37. (අ) “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” කියා යොමු දක්වන්නේ කාටද? එමෙන්ම, ඔහු ස්වර්ගීය විනිශ්චයකාර සභාවට පැමිණෙන්නේ කවදාද? කිනම් අරමුණක් සඳහාද? (ආ) පොදු යුගයේ 1914දී පිහිටෙව්වේ කුමක්ද?
36 ‘මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනැත්තා වෙතට පැමිණියේය, ඒ තැනැත්තා ඉදිරියට ඔහු පමුණුවනු ලැබුවේය’ කියා දානියෙල් පුදුමයෙන් පවසනවා. (දානියෙල් 7:13) පොළොවේ සිටියදී, මනුෂ්‍යවර්ගයා සමඟ ඇති තම සම්බන්ධය ඇඟවීමට යේසුස් ක්‍රිස්තුස් තමාව “මනුෂ්‍ය පුත්‍රයා” ලෙස හැඳින්වුවා. (මතෙව් 16:13; 25:31) සැන්හීඩ්‍රින් හෙවත් යුදෙව් මන්ත්‍රණ සභාවට යේසුස් මෙසේ කිව්වා: “මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුය.” (මතෙව් 26:64) මේ අනුව, දානියෙල්ගේ දර්ශනයෙහි, මිනිස් ඇසට නොපෙනෙන ලෙස, යෙහෝවා දෙවි වෙතට ළං වන්නේ, නැවත නැඟිටුවනු ලැබ තේජවත්භාවයට පත් කළ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්ය. මෙය සිදු වූයේ කවදාද?
37 දෙවි දාවිත් රජු සමඟ කළාක් මෙන් යේසුස් ක්‍රිස්තුස් සමඟත් රාජ්‍යයක් සඳහා ගිවිසුමක් පිහිටෙව්වා. (2 සාමුවෙල් 7:11-16; ලූක් 22:28-30) පොදු යුගයේ 1914දී, “අන්‍යජාතීන්ගේ නියම කරන ලද කාලවල්” අවසන් වූ විට, දාවිත්ගේ රාජකීය උරුමක්කාරයා හැටියට යුක්තිසහගත ලෙස යේසුස් ක්‍රිස්තුස්ට රාජ්‍ය පාලනය ලබාගැනීමට මං උදා වුණා. දානියෙල්ගේ අනාවැකිමය වාර්තාවෙහි මෙසේ කියවන්න තිබෙනවා: ‘සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද ඔහුට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද ඔහුට දෙන ලද්දේය. ඔහුගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, ඔහුගේ රාජ්‍යයද නැති නොවන්නේය.’ (දානියෙල් 7:14) මෙසේ, 1914දී, මෙසියානු රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටුවනු ලැබුවා. කෙසේවෙතත්, පාලන බලය වෙනත් අයටද දෙනු ලැබුවා.
38, 39. ලෝකය කෙරෙහි සදාකාලික පාලන බලය ලබන්න යන්නේ කවුද?
38 ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලබන’ බව දේවදූතයා කිව්වා. (දානියෙල් 7:18, 22, 27) ප්‍රධාන ශුද්ධ තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්ය. (ක්‍රියා 3:14; 4:27, 30) පාලනය කිරීමේ හවුල් වන අනිත් “ශුද්ධවන්තයන්” නම්, ක්‍රිස්තුස් සමඟ රාජ්‍ය උරුමක්කාරයන් වන ආත්මයෙන්-ආලේප කරන ලද ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් 1,44,000දෙනායි. (රෝම 1:3, 4; 8:17; 2 තෙසලෝනික 1:5; 1 පේතෘස් 2:9) ස්වර්ගීය සියොන් කන්දෙහි ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීම සඳහා, ඔවුන්ව අමරණීය අදෘශ්‍යමාන ජීවීන් හැටියට මළවුන්ගෙන් නැවත නැඟිටුවනු ලබනවා. (එළිදරව් 2:10; 14:1; 20:6) මේ අනුව, ක්‍රිස්තුස් යේසුස් සහ නැවත නැඟිටුවන ලද ආලේප ලත් ක්‍රිස්තියානීන් මිනිස් ලොව පාලනය කරන්න යනවා.
39 මනුෂ්‍ය පුත්‍රයාගේ සහ නැවත නැඟිටුවන ලද අනිත් ‘ශුද්ධවන්තයන්ගේ’ පාලනය ගැන දෙවිගේ දූතයා මෙහෙම කියනවා: ‘මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාගේ ශුද්ධවන්තයන් වන සෙනඟට දෙනවා ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, සියලුම ආණ්ඩුද ඔහුට සේවය කර කීකරු වෙනවා ඇත.’ (දානියෙල් 7:27) කීකරු මනුෂ්‍යවර්ගයා එම රාජ්‍යය යටතේ මොනතරම් ආශීර්වාද අද්දකින්න යනවාද!
40. දානියෙල්ගේ සිහිනයට සහ දර්ශනවලට අවධානය යොමු කිරීමෙන් ප්‍රයෝජන ලබන්න අපට හැක්කේ කෙසේද?
40 තමන්ට දෙවි දුන් දර්ශනයේ සියලුම පුදුමාකාර ඉටුවීම් ගැන දානියෙල් දැන සිටියේ නැහැ. ඔහු මෙහෙම කිව්වා: “කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝසෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස්විය. නුමුත් කාරණය මාගේ සිතේ [හෘදයෙහි, NW] තබාගන උන්නෙමි.” (දානියෙල් 7:28) කෙසේවෙතත්, අප ජීවත් වන්නේ දානියෙල් දුටු දෙයෙහි ඉටුවීම තේරුම්ගත හැකි කාලයකයි. මේ අනාවැකියට අවධානය යොමු කිරීම, අපේ ඇදහිල්ල ශක්තිමත් කරන අතර, යෙහෝවාගේ මෙසියානු රජු ලෝකය පාලනය කරන බවට වූ අපේ ස්ථිර විශ්වාසය තවත් වැඩි කරවනවා.
[පාදසටහන්වල]
a පැහැදිලිකම සඳහා සහ නැවත නැවත කීම වළක්වාගැනීම සඳහා, දානියෙල් 7:1-14 දක්වා වාර්තා කර ඇති දර්ශන පදයෙන් පදයට සලකා බලන විට, දානියෙල් 7:15-28හි සඳහන් දර්ශනවල තෝරා දීම ඊට සම්බන්ධ කර දක්වමු.
b මේ පොතේ හතරවන පරිච්ඡේදය බලන්න.
c මේ පොතේ හයවන පරිච්ඡේදය බලන්න.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• ‘මුහුදෙන් නැඟී ආ මහා මෘගයන්ගෙන්’ සංකේතවත් කරන්නේ කුමක්ද?
• “කුඩා” අඟෙන් නියෝජනය කරන්නේ කුමක්ද?
• පළමුවන ලෝක මහා යුද්ධ සමයේදී සංකේතාත්මක කුඩා අඟ “ශුද්ධවන්තයන්ට” අඩන්තේට්ටම් කළේ කෙසේද?
• සංකේතාත්මක කුඩා අඟට සහ අනිත් මෘග බලයන්ට කුමක් සිදු වේද?
• දානියෙල්ගේ සිහිනයට සහ ‘මහා මෘගයන් සතරදෙනා’ පිළිබඳ දර්ශනවලට අවධානය යොමු කිරීමෙන් ඔබ ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
[149-152වන පිටුවේ කොටුව⁄පින්තූර]
සාධාරණ අධිරාජ්‍යයෙක්
ඔහු සාධාරණ, ආදර්ශවත් අධිරාජ්‍යයෙක් කියා පො.යු.පෙ. පස්වන සියවසේ සිටි ග්‍රීක් ලේඛකයෙක් සිහිපත් කරනවා. බයිබලය ඔහුව හඳුන්වන්නේ, දෙවිගේ “අභිෂේකලත් තැනැත්තා” සහ “නැගෙනහිරින්” එන “ගිජු පක්ෂියෙක්” ලෙසයි. (යෙසායා 45:1; 46:11) මේ කතා කළේ, පර්සියාවේ මහා කෝරෙෂ් අධිරාජ්‍යයා ගැනයි.
කෝරෙෂ් කීර්තිය වෙත පියනැඟීම ඇරඹුවේ, පො.යු.පෙ. 560/559දී පමණය. එය සිදු වූයේ පුරාණ පර්සියානු නුවරක් හෝ දිස්ත්‍රික්කයක් වූ අන්ෂාන්හි කිරුළ, තම පියා වූ Iවන කැම්බිසස්ගෙන් පසුව හිමිවීමත් සමඟයි. අන්ෂාන් එවකට පැවතුණේ, මේදිය රජු වූ අධීෂ්වර අස්ටයජීස් යටතේයි. මේදිය පාලනයට විරුද්ධව එල්ල කළ රාජකීය කැරැල්ලේදී, අස්ටයජීස්ගේ හමුදාව තම පැත්ත ගත් නිසා කෝරෙෂ් ඉක්මන් ජයක් ලැබුවා. ඉන්පසුව, කෝරෙෂ් මේදීයයන්ගේ පක්ෂපාතීත්වය ලැබුවා. පසුව, මේදිය සහ පර්සියාව එක්සත්ව ඔහුගේ පාලකත්වය යටතේ එකට යුද්ධ කළා. මෙසේ, කාලයාගේ ඇවෑමෙන් ඒජියන් මුහුදේ සිට ඉන්දු ගංගාව දක්වා ව්‍යාප්ත වූ මේද-පර්සියානු අධිරාජ්‍යය බිහි වුණා.—සිතියම බලන්න.
ලිදියන්හි රජු වූ ක්‍රෝසස් මේදියාවේ බටහිර කොටස දක්වා තම පාලනය ව්‍යාප්ත කරමින් සිටියා. ගැටලු ඇති කළ මෙම කොටස තම අණසකට යටත් කරගන්න කෝරෙෂ් මේදිය සහ පර්සියානු මිත්‍ර හමුදා සමඟ එකතු වී කටයුතු කළා. කෝරෙෂ් සුළු ආසියාවේ ලිදියානු අධිරාජ්‍යයේ නැඟෙනහිර මායිම වෙත ගොස් ක්රෝසස්ව පරාජය කර ඔහුගේ අගනුවර වූ සාර්ඩිස් අල්ලාගත්තා. කෝරෙෂ් අයෝනියානු නුවරවල් සහ මුළු සුළු ආසියාවත් මේද-පර්සියානු අධිරාජ්‍යයට යටත් කරගත්තා. එසේ කිරීමෙන්, ඔහු බබිලෝනියේ මෙන්ම එහි රජ වූ නැබොනීඩස්ගේ ප්‍රධාන සතුරා බවට පත් වුණා.
කෝරෙෂ් ඉන්පසුව, බලවත් බබිලෝනියට විරුද්ධව මුහුණට මුහුණලා සටන් කිරීමට සූදානම් වුණා. ඒ මොහොතේ පටන් ඔහු බයිබල් අනාවැකි ඉටු කිරීමට දායක වුණා. යෙහෝවා අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් සියවස් දෙකකට ආසන්න කාලයකට පෙර, බබිලෝනිය පරාජය කර, වහල්භාවයෙන් යුදෙව්වන්ව නිදහස් කරන පාලකයා කෝරෙෂ් බව නමින්ම සඳහන් කළා. එසේ කළ හැකි වූයේ, ශුද්ධ ලියවිලිවල කෝරෙෂ්, යෙහෝවාගේ “අභිෂේකලත් තැනැත්තා” ලෙස කලින්ම පත් කළ නිසායි.—යෙසායා 44:26-28.
පොදු යුගයට පෙර 539දී, කෝරෙෂ් බබිලෝනියට විරුද්ධව පැමිණි විට, ඔහු භයානක වැඩකට අත ගැසුවා. බලකොටුවේ විශාල තාප්පය වටා යුප්‍රටීස් ගංගාවෙන් සෑදී ඇති පළල්, ගැඹුරු දිය අගල නිසා නුවර පරාජය කළ නොහැකි බවක් පෙනෙන්න තිබුණා. බබිලෝනිය හරහා යුප්‍රටීස් ගඟ ගලන තැන ගං ඉවුර දිගේ තඹ ගේට්ටු සහිත කන්දක් බඳු පවුරක් තිබුණා. කෝරෙෂ් බබිලෝනිය පරාජය කරන්න යන්නේ කෙසේද?
සියවසකට පමණ කලින්, “නියඟයක් ඇගේ ජලයන් පිට” පැමිණ “ඒවා හිඳීයනවා” කියා යෙහෝවා පුරෝකථනය කළා. (යෙරෙමියා 50:38) අනාවැකිය සැබෑ කරවමින්, කෝරෙෂ් බබිලෝනියට කිලෝමීටර කිහිපයක් උතුරින් යුප්‍රටීස් ගඟේ වතුර වෙනතකට හැරෙව්වා. ඉන්පසු ඔහුගේ හමුදාව ගංපතුල හරහා මඩේ එරෙමින් තාප්පය වෙත යන බෑවුම දිගේ නඟිමින් නුවරට පහසුවෙන්ම ඇතුල් වුණා. ඊට හේතුව වූයේ තඹ ගේට්ටු ඔහේ ඇර තිබීමයි. “ගිජු පක්ෂියෙක්” වේගයෙන් ඇවිත් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්, “නැගෙනහිරින්” පැමිණි මේ පාලකයා එක රැයකින් බබිලෝනිය අල්ලාගත්තා!
කෝරෙෂ්ගේ ජයග්‍රහණය බබිලෝනියේ සිටි යුදෙව්වන්ට, බොහෝ කලක් පුරා ඔවුන් බලා සිටි නිදහසත්, ඔවුන්ගේ වාස භූමියේ වසර 70ක පාළුවීමේ අවසානයත් අදහස් කළා. යෙරුසලමට නැවත යන්න සහ දේවමාළිගාව යළි ගොඩනඟන්න අවසර දෙමින් කෝරෙෂ් ප්‍රකාශයක් නිකුත් කරද්දී, ඔවුන් මොනතරම් ප්‍රීතියෙන් ඉපිළ යන්න ඇද්ද! නෙබුකද්නෙශර් විසින් බබිලෝනියට ගෙන ආ වටිනා දේවමාළිගා භාණ්ඩ ඔවුන්ට යළි ලබා දුන් අතර, ලෙබනන්හි සිට දැව ආනයනය කරන්න මෙන්ම ගොඩනැඟීමේ වියදම් දරන්න රාජකීය භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබාගන්න කෝරෙෂ් රාජකීය අවසරය දුන්නා.—එස්රා 1:1-11; 6:3-5.
තමන් අල්ලාගත් ජනයා සමඟ කෝරෙෂ් සාමාන්‍යයෙන් මානුෂික සහ සාධාරණ ප්‍රමිතියක් අනුගමනය කළා. එවන් හැසිරීමකට එක් හේතුවක් විය හැක්කේ, ඔහු ඇදහූ ආගමයි. පෙනෙන විදිහට, කෝරෙෂ් පර්සියානු අනාගතවක්තෘවරයෙක් වූ සෝරවස්ටර්ගේ ඉගැන්වීම් පිළිගත් අතර, සියලුම යහපත් දේවල් මැවූ දෙවියන්යයි පිළිගත් අහුරා මස්ඩාවට නමස්කාර කළා. සෝරවස්ට්රියානු සම්ප්රදාය (ඉංග්‍රීසියෙන්) යන තම පොතේ, ෆරාං මේර් මෙසේ ලියනවා: “සෝරවස්ටර් දෙවිව හැඳින්වූයේ සදාචාර පූර්ණත්වයක් කියායි. අහුරා මස්ඩා පළි නොගන්න, සාධාරණ දෙවිකෙනෙක් නිසා ඔහුට භය නොවිය යුතු බවත් ප්‍රේම කළ යුතු බවත් ඔහු ජනයාට කිව්වා.” සදාචාරමය සහ සාධාරණ දෙවිකෙනෙක් කෙරෙහි විශ්වාස කිරීම කෝරෙෂ්ගේ ආචාර ධර්මවලට බලපා තිබුණා විය හැකි අතර, මහත්මා ගතියක් සහ සාධාරණ ගතියක් පිළිබිඹු කරන්න එය රුකුලක් වන්න ඇති.
කෙසේවෙතත්, රජුට බබිලෝනියේ දේශගුණය නම් ඇල්ලුවේ නැහැ. උෂ්ණාධික ග්‍රීෂ්මය ඔහුට දරාගන්නම බැරි වුණා. එබැවින්, බබිලෝනීය රාජධානිය පාවිච්චි කළේ, ඔහුගේ ශීත මාළිගාව ලෙස පමණයි. එමෙන්ම, එය රාජකීය නුවරක් මෙන්ම ආගමික සහ සංස්කෘතික කේන්ද්රස්ථානයක්වද පැවතුණා. ඇත්තෙන්ම, බබිලෝනිය අල්ලාගත්තාට පසුව, කෝරෙෂ් ඉක්මනින්ම මුහුදු මට්ටමේ සිට මීටර 1,900ක් පමණ ඉහළට වෙන්න, අල්වාන්ඩ් කඳු පාමුල පිහිටි අක්මෙතාහි තම ග්‍රීෂ්ම මාළිගාවට ගියා. එහි ශීත ඍතුවත් ග්‍රීෂ්ම ඍතුවත් සමබරව පැවතියේ ඔහු කැමති ආකාරයටමයි. කෝරෙෂ් අක්මෙතාහි සිට කිලෝමීටර 650ක් පමණ දුරින් ගිනිකොන දෙසට වෙන්න පිහිටි තම මුල් අගනුවර වූ පසාර්ගඩිහිද (පර්සෙපොලිසය කිට්ටුව) දර්ශනීය මාළිගාවක් තැනුවා. එය ඔහුගේ විවේක ස්ථානය හැටියට පාවිච්චි වුණා.
මෙසේ කෝරෙෂ් නිර්භීත ජයග්‍රාහකයෙක් ලෙසත්, සාධාරණ අධිරාජ්‍යයෙක් ලෙසත් නමක් දිනාගත්තා. පොදු යුගයට පෙර 530දී, යුධ මෙහෙයුමක යෙදී සිටියදී සිදු වූ ඔහුගේ මරණයත් සමඟම ඔහුගේ තිස් අවුරුදු පාලනයද අවසන් වුණා. ඔහුගේ පුත්‍ර IIවන කැම්බිසස් ඔහු වෙනුවට පර්සියානු කිරුළ හිමි කරගත්තා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• පර්සියානු කෝරෙෂ් යෙහෝවාගේ “අභිෂේකලත් තැනැත්තා” බව ඔප්පු වූයේ කෙසේද?
• යෙහෝවාගේ සෙනඟ වෙනුවෙන් කෝරෙෂ් කිනම් වටිනා සේවයක් කළාද?
• කෝරෙෂ් තමා අල්ලාගත් සෙනඟට සැලකුවේ කෙසේද?
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
මේද-පර්සියානු අධිරාජ්‍යය
මැසිඩෝනියාව
මෙම්ෆිස්
මිසරය
ඉතියෝපියාව
යෙරුසලම
බබිලෝනිය
අක්මෙතා
සූසා
පර්සෙපොලිසය
ඉන්දියාව
[පින්තූරය]
පසාර්ගඩිහි පිහිටා තිබෙන කෝරෙෂ්ගේ සොහොන
[පින්තූරය]
කෝරෙෂ්ව චිත්‍රයට නඟා ඇති පසාර්ගඩිහි පිහිටි කැටයම
[153-161වන පිටුවේ කොටුව⁄පින්තූර]
තරුණ රජෙක් ලොව ජයගනියි
අවුරුදු 2,300කට පමණ පෙර, රන්වන් කෙස් ඇති වයස විසි ගණන්වල පසු වූ හමුදා සේනාධිපතියෙක් මධ්‍යධරණි මුහුදු වෙරළේ සිටගෙන සිටියා. කිලෝමීටරයක් පමණ එහායින් තිබෙන දූපත්-නුවරක් වෙත ඔහුගේ නෙත් එක එල්ලේ යොමු වී තිබුණා. ඇතුල් වීමට ඉඩ නොදීම හේතුවෙන් කෝපාවිෂ්ටව සිටි සේනාධිපතියා නුවර ජයගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව සිටියා. ඔහුගේ ආක්‍රමණ සැලැස්ම? තෙත් බිම හරහා යෑමට හැකි වන ලෙස ගල් දමා දියමංකඩක් තනා, නුවරට විරුද්ධව ඔහුගේ හමුදාව කැඳවීමයි. එම දියමංකඩ තැනීමේ කටයුතු ඒ වන විටත් අරඹා තිබුණා.
එහෙත්, පර්සියානු අධිරාජ්‍යයේ මහා රජුගෙන් ලැබුණු පණිවිඩයක් නිසා තරුණ සේනාධිපතියාගේ වැඩය ඇණ හිටියා. සමාදාන වීම සඳහා පර්සියානු පාලකයා අසාමාන්‍ය යෝජනාවක් ඉදිරිපත් කළා. රන් තලෙන්ත 10,000ක්ද (වර්තමාන වටිනාකමේ හැටියට ඩොලර් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක්), රාජ කුමාරිකාවක් විවාහ කර දීමද, පර්සියානු අධිරාජ්‍යයේ සම්පූර්ණ බටහිර කොටස හිමි කර දීමද ඊට අයත් වුණා. මේ සෑම දෙයක්ම ඉදිරිපත් කළේ, සේනාධිපතියා විසින් අල්ලාගනු ලැබූ රජ පවුල නිදහස් කරගැනීමටයි.
පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට වූ තීරණය තම අතැතිව සිටි සෙන්පතියා වූයේ මැසිඩෝනියාවේ IIIවන ඇලෙක්සැන්ඩර්. ඔහු එය පිළිගත යුතුද? “එය පුරාණ ලෝකයේ තීරණාත්මක අවස්ථාවක් වුණා” කියා ඉතිහාසඥ උල්රිහ් විලන් පවසනවා. “ඇත්තෙන්ම, ඔහුගේ තීරණයේ ප්‍රතිවිපාක මධ්‍යම යුගයේ සිට අපේ කාලයටත්, පෙර අපර දෙදිගටත් බලපානවා.” ඇලෙක්සැන්ඩර්ගේ පිළිතුර සලකා බැලීමට කලින්, මේ තීරණාත්මක අවස්ථාවට මඟ පෑදුවේ කුමක්ද කියා අප සලකා බලමු.
ජයග්‍රාහකයෙක් බිහි වූ සැටි
ඇලෙක්සැන්ඩර් උපත ලැබුවේ, පො.යු.පෙ. 356දී මැසිඩෝනියාවේ පෙලාහිදීයි. ඔහුගේ පියා IIවන පිලිප් රජු වූ අතර, මව ඔලිම්පියස් නම් වුණා. මැසිඩෝනියාවේ රජවරුන් පැවතෙන්නේ ග්‍රීක් දෙවි වූ සියුස්ගේ පුතෙක් වූ හර්කියුලීස්ගෙන් බව ඇය ඇලෙක්සැන්ඩර්ට කියා දුන්නා. ඔලිම්පියස්ට අනුව ඇලෙක්සැන්ඩර්ගේ මුතුන්මිත්තා හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ වීරයා වූ ඇකිලීස්. ජයගැනීම සහ රාජකීය තේජස ලබාගැනීම සඳහා තම දෙමාපියන් විසින් අඹනු ලැබූ තරුණ ඇලෙක්සැන්ඩර් අනිත් හඹායෑම් ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔලිම්පික් තරඟයේ දිවීමේ ඉසව්වට සහභාගි වෙනවාද කියා ඇසූ විට, රජවරු තමන් සමඟ දුවන්න එනවා නම් තමන් එසේ කරන බව ඔහු ඇඟෙව්වා. ඔහුගේ අභිලාෂය වූයේ තම පියා කළාට වඩා මහත් දේවල් කිරීම හා ඉටු කරගැනීම් තුළින් තේජස ලබාගැනීමයි.
වයස අවුරුදු 13දී, ඇලෙක්සැන්ඩර් ග්‍රීක් දාර්ශනික ඇරිස්ටෝටල්ගෙන් ඉගෙනගත්තා. මෙසේ ඔහු දර්ශනවාදය, වෛද්‍ය විද්‍යාව සහ විද්‍යාව කෙරෙහි උනන්දුවක් වර්ධනය කරගත්තා. ඇරිස්ටෝටල්ගේ දර්ශනවාදී ඉගැන්වීම් කොතෙක් දුරට ඇලෙක්සැන්ඩර් සිතූ ආකාරය කෙරෙහි බලපෑවද යන්න විවාදයට තුඩු දෙන්නක්. “බොහෝ කාරණාවලදී ඔවුන් එකට පෑහුණේ නැහැයි කියා සිතන එකේ වරදක් නැහැ” කියා විසිවන සියවසේ දාර්ශනිකයෙක් වූ බ’ට්‍රන්ඩ් රසල් කියා සිටියා. “ඇරිස්ටෝටල්ගේ දේශපාලනික අදහස් උදහස් යොමු වී තිබුණේ, පිරිහෙමින් තිබූ ග්‍රීක නගරබද ආණ්ඩු ක්‍රමය කෙරෙහියි.” කුඩා නගරබද ආණ්ඩු ක්‍රමය පිළිබඳ සංකල්පය, විශාල මධ්‍යගත අධිරාජ්‍යයක් පිහිටුවීමට ආශාවෙන් සිටි අභිලාෂකාමී කුමරෙකු විසින් රිස්සුවේ නැති වෙන්න ඉඩ තිබුණා. ජයග්‍රාහකයන් සහ පරාජිතයන් සහයෝගයෙන් එකට අත්වැල් බැඳගන්නා අධිරාජ්‍යයක් ගැන ඇලෙක්සැන්ඩර් සිහින මවමින් සිටි නිසා, ග්‍රීක් නොවන්නන්ව වහලුන් ලෙස සැලකීම සම්බන්ධ ඇරස්ටොටලියානු උපදේශය ගැන ඔහු තුළ එතරම් පැහැදීමක් තිබුණේ නැතුවා විය යුතුයි.
කෙසේවෙතත්, ඇරිස්ටෝටල් කියවීම සහ ඉගෙනගැනීම පිළිබඳව ආශාවක් ඇලෙක්සැන්ඩර් තුළ ජනිත කළ බවට සැකයක් ඇත්තේම නැති තරම්. ඇලෙක්සැන්ඩර් ඔහුගේ ජීවිත කාලය පුරාම කියවීමට මහත් රුචියක් දැක්වූ අතර, හෝමර්ගේ ලියවිලි කෙරෙහි විශේෂ ඇලුම්කමක් දැක්වූවා. ඔහු ඉලියඩ්හි ඇති කාව්‍ය පේළි 15,693ම කට පාඩම් කර තිබූ බව කියැවෙනවා.
පොදු යුගයට පෙර 340දී, තම පියා වෙනුවට මැසිඩෝනියාව පාලනය කිරීමට 16 හැවිරිදි කුමරු පෙලා වෙත යෑමත් සමඟම ඇරිස්ටෝටල් දුන් අධ්‍යාපනය හදිසියේම ඇණ හිටියා. ඔටුනු පළන් කුමරා ඉක්මනින්ම තම යුධ වික්‍රමයන් ඇරඹුවා. පිලිප්ගේ සතුටට හේතු වෙමින්, ඔහු ඉක්මනින් ත්රේස්හි කැරලිකාර මිඩි ගෝත්රිකයන්ව යටපත් කර, කුණාටුවක් සේ පහර දී ඔවුන්ගේ අග නගරය අල්ලාගෙන එය ඇලෙක්සැන්ඩෲපලස් කියා තමාගේ නමින් කැප කළා.
දිගින් දිගටම ජයගනිමින්
පොදු යුගයට පෙර 336දී සිදු වූ පිලිප්ගේ ඝාතනය හේතුවෙන්, විසි හැවිරිදි ඇලෙක්සැන්ඩර්ට මැසිඩෝනියානු සිහසුන හිමි වුණා. පොදු යුගයට පෙර 334 ග්‍රීෂ්මයේදී, යුධ ව්‍යාපාරයක් සඳහා කුඩා මුත් ශූර පාබළ හේවායන් 30,000ක්ද 5,000ක අශ්වාරෝහක බලඇණියක්ද ඇතුව ඇලෙක්සැන්ඩර් හෙලස්පොන්ටය (දැන් ඩාඩනල්ස්) හරහා ආසියාවට ඇතුල් වුණා. ඔහුගේ හමුදාව සමඟ ඉන්ජිනේරුවන්, මිනින්දෝරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් සිටියා.
සුළු ආසියාවේ (දැන් තුර්කිය) වයඹ කොනේ පිහිටි ග්රැනිකස් ගඟ අසලදී, පර්සියානුවන්ට එරෙහිව ඇලෙක්සැන්ඩර් තම මුල් යුද්ධය ජයගත්තා. ශීත ඍතුවේදී, ඔහු සුළු ආසියාවේ බටහිර කොටස ජයගත්තා. ඊළඟ ශරත් ඍතුවේදී, සුළු ආසියාවේ ගිනිකොනෙහි ඉසස්හිදී, පර්සියානුවන් සමඟ දෙවන තීරණාත්මක යුද්ධය සිදු වුණා. මහා පර්සියානු රජ වූ IIIවන දාරියුස් ලක්ෂ පහක පමණ හමුදාවක් සමඟ ඇලෙක්සැන්ඩර්ව මුණගැසීමට පැමිණියා. ඕනෑවට වඩා විශ්වාසයෙන් සිටි දාරියුස් තම මව, බිරිඳ සහ පවුලේ අනිත් සාමාජිකයන්වද එහි ගෙන ආවේ, සිතාගෙන සිටි විශිෂ්ට ජයග්‍රහණය ඔවුන්ගේම ඇස්වලින් දැකබලා ගැනීම සඳහායි. එහෙත්, මැසිඩෝනියානුවන්ගේ හදිසි සහ බලගතු ආක්‍රමණයට පර්සියානුවන් සූදානම්ව සිටියේ නැහැ. ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව විසින් පර්සියානු හමුදාව මුළුමනින්ම පරාජය කළ අතර, තම පවුලේ අයව අතහැර දාරියුස් පලා ගියා.
ඇලෙක්සැන්ඩර් පලා යන පර්සියානුවන්ව ලුහුබඳිනවා වෙනුවට, බලවත් පර්සියානු නාවික මධ්‍යස්ථාන ජයගනිමින් මධ්‍යධරණි වෙරළ දිගේ දකුණු දෙසට ගමන් කළා. එහෙත් තීර් දූපත ආක්‍රමණයට විරුද්ධව නැඟී සිටියා. කෙසේ හෝ ජයගැනීමේ අදිටනින් ඇලෙක්සැන්ඩර් එය වැටලූ අතර, ඒ සඳහා මාස හතක් ගත වුණා. දාරියුස් ඉහත සඳහන් කළ යෝජනාව කළේ, මේ වැටලීම අතරතුරේදීයි. මෙම යෝජනාව, ඇලෙක්සැන්ඩර්ගේ විශ්වාසවන්ත උපදේශකයා වූ පාර්මිනියෝගේ කොතරම් සිත්ගත්තාද කිවහොත් ඔහු මෙසේ කියා ඇති බව වාර්තා කර තිබෙනවා: ‘මම ඇලෙක්සැන්ඩර් වුණා නම්, මම එය පිළිගනිමි.’ එහෙත්, තරුණ සේනාධිපතියා ඇනුම් පදයක් ලෙස කියා ඇත්තේ, ‘මම පාර්මිනියෝ වුණා නම්, මමත් පිළිගනිමි’ කියායි. සම්මුතියකට පැමිණීම ප්‍රතික්ෂේප කරමින්, ඇලෙක්සැන්ඩර් දිගටම වැටලීම කරගෙන ගිය අතර, පො.යු.පෙ. 332 ජූලි මාසයේදී, මුහුදේ සිටි ඒ උඩඟු ස්වාමිදුවව බිඳ හෙළුවා.
ඇලෙක්සැන්ඩර්ට නතු වූ යෙරුසලම ඉතිරි කර, ගාසා ජයගනිමින් ඔහු දකුණු දෙසට ඇදුණා. පර්සියානු පාලනයෙන් වෙහෙසට පත්ව සිටි මිසරය ඔහුව ගැළවුම්කරුවෙක් ලෙස පිළිගත්තා. මිසරයේ පූජකයන්ව සතුටට පත් කරමින්, මෙම්ෆිස්හිදී ඔහු ඒපිස් නමැති වස්සාට පූජාවක් ඔප්පු කළා. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාව යන නගරය පිහිටෙවූ අතර, පසු කාලයේදී එය අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැටියට ඇතන්ස් හා කරට කර සිටියා. එම නාමය තවමත් පවතිනවා.
ඉන්පසු, ඇලෙක්සැන්ඩර් ඊසාන දිගට හැරුණු අතර, පලස්තීනය හරහා ටයිග්‍රීස් ගඟ දෙසට ගමන් කළා. පොදු යුගයට පෙර 331දී, දිරාපත් වෙමින් තිබූ නිනිවයේ නටබුන්වලින් වැඩි ඈතක නොවූ ගෝගමේලාහිදී ඔහු පර්සියානුවන් සමඟ තුන්වන මහා සටන කළා. මෙහිදී, ඇලෙක්සැන්ඩර්ගේ 47,000ක හමුදාව විසින් යළි සංවිධානය වූ 2,50,000ක පර්සියානු හමුදාවක් පරාජය කළා! දාරියුස් පලා ගිය අතර, පසුව ඔහුගේම සෙනඟ අතින් මරුමුවට පත් වුණා.
ජයග්‍රහණයේ ප්‍රමෝදයෙන් ඇලෙක්සැන්ඩර් දකුණු දෙසට යමින් පර්සියාවේ ශීත මාළිගාව තිබූ බබිලෝනිය අල්ලාගත්තා. දැවැන්ත පර්සියානු භාණ්ඩාගාරය අල්ලාගෙන තක්ෂස්තාගේ සුවිසල් මාළිගාව විනාශ කරමින්, සූසා සහ පර්සෙපොලිස් යන නගරද අල්ලාගත්තා. අවසානයේදී, අක්මෙතා නගරය ඇලෙක්සැන්ඩර් අතට පත් වුණා. වර්තමාන පකිස්තානයේ පිහිටා ඇති ඉන්දු ගංගාව දක්වා නැඟෙනහිර දෙසට ගමන් කරමින්, මේ වේගවත් ජයග්‍රහකයා පර්සියානු අධිරාජ්‍යයේ ඉතිරියද යටත් කරගත්තා.
ඉන්දු ගඟ හරහා යෑමත් සමඟම, පර්සියානු දිස්ත්‍රික්කයේ තක්ෂිලා මායිමේදී, දරුණු විරුද්ධවාදී ඉන්දියානු අධිරාජයා වූ පෝරස්ව ඇලෙක්සැන්ඩර්ට මුණගැසුණා. ඔහුට විරුද්ධව පො.යු.පෙ. 326 ජූනි මාසයේදී, ඇලෙක්සැන්ඩර් තම හතරවන සහ අවසාන මහා යුද්ධයේ යෙදුණා. පෝරස්ට 35,000ක හමුදාවක් සහ ඇතුන් 200ක් සිටි අතර, එය මැසිඩෝනියානු අසුන්ව මහත් භයට පත් කළා. යුද්ධය ඉතා බිහිසුණු මෙන්ම ලේ තැවරුණු එකක් වුණත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව අන්තිමේදී දිනුවා. පෝරස් යටත් වී මිත්‍ර පාක්ෂිකයෙක් වුණා.
මැසිඩෝනියානු හමුදාව ආසියාවට පැමිණ වසර අටකටත් වඩා ගත වී තිබූ අතර, වෙහෙසට පත්ව සිටි හමුදාවට නැවත නිවෙස්වලට යෑමට මහත් ඕනෑකමක් තිබුණා. පෝරස් සමඟ කළ බිහිසුණු සටනින් විඩාවට පත්ව සිටි නිසා, ඔවුන්ට තම නිවෙස් බලා යෑමට අවශ්‍ය වුණා. මුලින්ම ඊට අකමැති වුණත්, පසුව ඇලෙක්සැන්ඩර් ඔවුන්ගේ කැමැත්තට එකඟ වුණා. ග්‍රීසිය ඇත්තෙන්ම ලෝක බලය බවට පත් වුණා. ජයගත් දේශවල ග්‍රීක යටත් විජිත පිහිටෙවූ අතර, රාජ්‍යය පුරාම ග්‍රීක් භාෂාව සහ සංස්කෘතිය පැතුරුණා.
පළිහ පිටුපස සිටි මිනිසා
ජයග්‍රාහී වසර ගණනාව පුරා මැසිඩෝනියානු හමුදාව එක් කර තබාගත් මැලියම වූයේ, ඇලෙක්සැන්ඩර්ගේ පෞද්ගලිකත්වයයි. සටන්වලින් පසු, ඇලෙක්සැන්ඩර් පුරුද්දක් හැටියට තුවාලවූවන්ව බලන්න ගියා, හානි සිදුවූවන්ව පරීක්ෂා කළා, හේවායන්ගේ වික්‍රමාන්විත ක්‍රියා ප්‍රශංසාවට ලක් කළා, ඔවුන්ගේ නිපුණත්වයේ හැටියට මුදලින් තෑගි කළා. යුද්ධයෙන් මරුමුවට පත්වූවන් වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් ගෞරවනීය භූමදානයන් සැලසුම් කළා. මියගිය අයගේ දෙමාපියන් සහ දරුවන්ව බදු බරින් සහ විවිධ සේවාවන්වලින් නිදහස් කළා. යුද්ධවලින් පසු වෙනසකට, තරඟ සහ සටන් පොර පැවැත්වූවා. එක් අවස්ථාවකදී, මෑතකදී විවාහ වූ හේවායන්ට මැසිඩෝනියේ සිටින ඔවුන්ගේ භාර්යාවන් සමඟ ශීත නිවාඩුව ගත කිරීමට හැකි වන පරිද්දෙන් කලකට නිවාඩු ගැනීමට අවසර දුන්නා. එවන් ක්‍රියාවන් හේතුවෙන් තම මිනිසුන්ගේ ලෙන්ගතුකම සහ ප්‍රශංසාව දිනාගැනීමට ඔහුට හැකි වුණා.
ඇලෙක්සැන්ඩර් බැක්ට්‍රියානු කුමාරිකාව වූ රොක්සානාව විවාහ කරගැනීම සම්බන්ධයෙන් ග්‍රීක් ජීවන චරිත පිළිබඳ කර්තෘ ප්ලූටාර්ක් මෙහෙම ලියනවා: “එය ඇත්තෙන්ම ප්‍රේම සම්බන්ධයක්. එහෙත්, ඒ අතරම ඔහුගේ අභිප්‍රාය ඉටු කරගැනීමටද එය ඉවහල් වුණා. පරාජය වූ ජනයා අතරෙන්ම ඔහුට භාර්යාවක් සොයාගැනීම ගැන ඔවුන් මහත් සේ සතුටට පත් වුණා. ඔහු ඉතා සන්සුන් පුද්ගලයන්ගෙන් කෙනෙක්. දැඩි ආදරය ඉදිරියේ සන්සුන්කම ඉක්මවා ගියත්, ඇයව නීත්‍යනුකූල සහ ගෞරවාන්විත ආකාරයකට ලබාගන්නා තුරු ඇය සමඟ ලිංගික සබඳතා නොපැවැත්වීම හේතුවෙන් ජනයාගේ වැඩි ලෙන්ගතුකමට ඔහු ලක් වුණා.”
ඇලෙක්සැන්ඩර් අනිත් අයගේ විවාහයන්ටද ගරු කළා. දාරියුස් රජගේ බිසව තමන් යටතේ සිටියත් ඇයට ගරුත්වයෙන් සලකන බවට ඔහු වගබලා ගත්තා. ඒ හා සමානව, මැසිඩෝනියානු හේවායන් දෙදෙනෙක් අමුත්තන්ගේ භාර්යාවන් දෙදෙනෙකුට අතවර කළා කියා ආරංචි වූ විට, ඔවුන් වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ව මරා දමන ලෙස ඔහු අණ කළා.
තම මවු වූ ඔලිම්පියස් හා සමානව ඇලෙක්සැන්ඩර්ද ඉතාමත් භක්තිමත් කෙනෙක් වුණා. ඔහු යුද්ධවලට පෙර සහ පසු පුද පූජා පැවැත්වූවා. එමෙන්ම, සමහර නිමිතිවල විශේෂත්වයන් සම්බන්ධයෙන් තම දිවැස් ඇත්තන්ගෙන් අසා දැනගත්තා. ඔහු ලිබ්යාහි අම්මොන්ගෙන් පේනද ඇසුවා. බබිලෝනියේදී, විශේෂයෙන්ම බබිලෝනීය දෙවි වූ බෙල්ට (මාර්ඩුක්) පුද පූජා කරන ආකාරය ගැන කල්දීයයන්ගෙන් අසා දැනගත්තා.
තම ආහාර සම්බන්ධයෙන් සමබර වුණත්, පසු කාලයේදී මුද්‍රිකපානයට ගිජුකමක් දැක්වූවා. පානය කරන සෑම මුද්‍රිකපාන කුසලානක් පාසාම තමාගේ වීර වික්‍රමයන් ගැන දිගින් දිගටම ආත්ම-වර්ණනාවේ යෙදුණා. ඇලෙක්සැන්ඩර් කළාවූ පහත්ම වැඩවලින් එකක් වූයේ බීමත්කමින් ඇති වූ දබරයකදී ඔහුගේ මිතුරා වූ ක්ලීටස්ව මරා දැමීමයි. එහෙත්, ඇලෙක්සැන්ඩර් තමාව කොතරම් දෝෂාරෝපණයට ලක් කරගත්තාද කිවහොත්, කෑම බීම නොකා දවස් තුනක් පුරා ඇඳට වී සිටියා. අවසානයේදී, ඔහුගේ මිතුරන් ආහාර ගැනීමට ඔහුව කැමති කරවාගත්තා.
කාලයාගේ ඇවෑමෙන් තේජස සඳහා ඇලෙක්සැන්ඩර්ගේ ගිජුකම ඔහුට වෙනත් අනිසි ගතිලක්ෂණ ලබා දුන්නා. ඔහු බොරු චෝදනා ඉක්මනින්ම පිළිගෙන, ඒවාට දැඩි දඬුවම් නියම කරන්න පටන්ගත්තා. උදාහරණයක් හැටියට, ෆිලෝටස් තමාගේ ජීවිතය නසන්ට කුමන්ත්‍රණය කළායයි කළ ඇඟවීමක් පිළිගත් ඇලෙක්සැන්ඩර්, ඔහුවත් ඔහුගේ පියා වූ කලක් තමාගේ විශ්වාසවන්ත උපදේශකයාව සිටි පාර්මිනියෝවත් මරා දැමීමට සැලැස්සුවා.
ඇලෙක්සැන්ඩර්ගේ පරාජය
යළි බබිලෝනියට පැමිණ වැඩි කල් යන්න මත්තෙන්, ඇලෙක්සැන්ඩර් මැලේරියා උණේ ගොදුරක් බවට පත් වූ අතර, යළි සුවය ලැබුවේම නැහැ. පොදු යුගයට පෙර 323 ජූනි 13වනදා, අවුරුදු 32යි මාස 8ක් තරම් කෙටි කාලයක් ජීවත් වී ඇලෙක්සැන්ඩර් වඩාත්ම දරුණු සතුරා වන මරණයට යටත් වුණා.
එය සිදු වුණේ හරියටම ඉන්දියාවේ සිටි ගුරුන් සමහරෙක් කිවූ ආකාරයටමයි: “අහෝ, ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෙනි, සෑම මිනිසෙක්ම උරුම කරගන්නේ අප සිටගෙන සිටින ඉඩ ප්‍රමාණය පමණයි. කඩිසරකමින් පිරී සිටීම හා අනුකම්පාවක් නැතිකම හැරෙන්න, ඔබත් අනිත් අයත් අතර ඇති වෙනසක් නැහැ. ඔබ ඔබේ නිවසෙන් බොහෝ ඈතට යමින්, පොළොවේ ඔබ මොබ ගොස් ඔබව කරදරයටත් අනුන්ව හිංසාවටත් පත් කරනවා. එහෙත්, වැඩි කල් නොගොස් ඔබ මැරේවි. එවිට ඔබ උරුම කරගන්නේ ඔබේ දේහයට ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් විතරයි.”
ඔබ වටහාගත්තේ කුමක්ද?
• මහා ඇලෙක්සැන්ඩර්ගේ පසුබිම කුමක්ද?
• මැසිඩෝනියාවේ සිහසුන හිමි වූ වහාම, ඇලෙක්සැන්ඩර් දියත් කළේ කුමන යුධ ව්‍යාපාරයද?
• ඇලෙක්සැන්ඩර්ගේ ජයග්රහණයන් සමහරක් විස්තර කරන්න.
• ඇලෙක්සැන්ඩර්ගේ පෞද්ගලිකත්වය ගැන කිව හැක්කේ කුමක්ද?
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඇලෙක්සැන්ඩර්ගේ විජයග්රහණයන්
මැසිඩෝනියාව
මිසරය
බබිලෝනිය
ඉන්දු ගඟ
[පින්තූරය]
ඇලෙක්සැන්ඩර්
[පින්තූරය]
ඇරිස්ටෝටල් සහ ඔහුගේ ගෝල ඇලෙක්සැන්ඩර්
[මුළු පිටුවේම පින්තූරය]
[පින්තූරය]
මහා ඇලෙක්සැන්ඩර්ව චිත්‍රයට නඟා ඇතැයි කියැවෙන පදක්කම
[162, 163වන පිටුවේ කොටුව⁄පින්තූර]
විශාල රාජ්‍යයක් බෙදෙයි
මහා ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍යය කැඩී බිඳී බෙදී යෑමක් ගැන බයිබලය පුරෝකථනය කරමින් එය ලැබෙන්නේ ‘ඔහුගෙන් පැවතෙන්නෙකුට නොවේ’ කියා පැවසුවා. (දානියෙල් 11:3, 4) මෙසේ, පො.යු.පෙ. 323දී සිදු වූ ඇලෙක්සැන්ඩර්ගේ හදිසි මරණයෙන් පසු ගෙවුණු වසර 14ක් ඇතුළත, ඔහුගේ නීත්‍යනුකූල පුත්‍රයා වූ IVවන ඇලෙක්සැන්ඩර්වත් නීත්‍යනුකූල නොවූ පුත්‍රයා වූ හිරාක්ලීස්වත් ඝාතනය කරනු ලැබුවා.
පොදු යුගයට පෙර 301 වන විට, ඇලෙක්සැන්ඩර්ගේ සේනාධිපතීන් සතරදෙනෙක් තම සෙන්පති විසින් පිහිටෙවූ විශාල අධිරාජ්‍යය කෙරෙහි බලය තමන් අතට ගත්තා. සේනාධිපති කැසැන්ඩර් මැසිඩෝනියාවේත් ග්‍රීසියේත් බලය අතට ගත්තා. සේනාධිපති ලිසිමැකස් සුළු ආසියාව සහ ත්‍රේස් අත් කරගත්තා. පළවන සෙල්යුකස් නයිකේටර්ට මෙසපොතේමියාව සහ සිරියාව ලැබුණා. ටොලමි ලාගුස් හෙවත් Iවන ටොලමි මිසරය සහ පලස්තීනය පාලනය කළා. මෙසේ, ඇලෙක්සැන්ඩර්ගේ එක විශාල රාජ්‍යයෙන් හෙලනික නොහොත් ග්‍රීක රාජ්‍යයන් සතරක් මතු වුණා.
මේ හෙලනික රාජ්‍යයන් සතරෙන් අඩුම කාලයක් පැවතුණේ කැසැන්ඩර්ගේ පාලනයයි. කැසැන්ඩර් බලයට පැමිණ ටික කාලයකට පසුව, ඔහුගේ පිරිමි පරපුර නැති වී ගිය අතර, පො.යු.පෙ. 285දී, ලිසිමැකස් ග්‍රීක අධිරාජ්‍යයේ යුරෝපීය කොටසට උරුමකම් කිව්වා. සිව් වසරකට පසුව Iවන සෙල්යුකස් නයිකේටර් සමඟ කළ යුද්ධයකදී ලිසිමැකස් මියගියේ, ආසියාවේ විශාල කොටසක බලය සෙල්යුකස්ට හිමි කර දෙමිනුයි. සෙල්යුකස් සිරියාවේ සෙල්යුසිඩ් රජ පෙළපතේ පළමුවැන්නා වුණා. ඔහු සිරියාවේ අන්තියෝකිය පිහිටුවා, එය ඔහුගේ අලුත් අගනුවර බවට පත් කළා. පොදු යුගයට පෙර 281දී, සෙල්යුකස්ව ඝාතනය කළත්, ඔහු පිහිටෙවූ රාජවංශය, පො.යු.පෙ. 64දී රෝම සේනාධිපති පොම්පෙයි විසින් සිරියාව රෝමයේ පළාතක් බවට පත් කරන තුරු පැවතුණා.
ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යයේ කොටස් සතරෙන් වැඩිම කලක් පැවතුණේ ටොලමික රාජ්‍යයයි. පළමුවන ටොලමි, පො.යු.පෙ. 305දී, තමන්ට රජ පදවිය ආරූඪ කරගත්තා. එසේ ඔහු මිසරයේ මුල්ම මැසිඩෝනීය රජ එනම් ඵාරාවෝ බවට පත් වුණා. ඇලෙක්සැන්ඩ්‍රියාව තමන්ගේ අගනුවර කරගනිමින් ඔහු වහාම නාගරික සංවර්ධන වැඩසටහනක් ඇරඹුවා. ඔහුගේ ශ්‍රේෂ්ඨ ගොඩනැඟිලි ව්‍යාපෘතියක් වූයේ, ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලයයි. මේ මහා ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා ටොලමි ග්‍රීසියෙන්, ඇතන්ස්හි විසූ ප්‍රසිද්ධ විශාරදයෙක් වූ දිමෙට්රිඕස් ෆාලිඅරෙෆ්ස්ව කැඳෙව්වා. වාර්තා වන අන්දමට, පො.යු. පළමුවන සියවස වන විට, මේ පුස්තකාලයේ අකුළන පොත් දසලක්ෂයක් පමණ තිබුණා. පොදු යුගයට පෙර 30දී, රෝමය විසින් පරාජය කරන තුරු ටොලමික රාජවංශය මිසරයේ දිගටම පාලනය කරමින් සිටියා. ඉන්පසු, ග්‍රීසිය වෙනුවට රෝමය ප්‍රබල ලෝක අධිරාජ්‍යය බවට පත් වුණා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• ඇලෙක්සැන්ඩර්ගේ විශාල අධිරාජ්‍යය බෙදුණේ කෙසේද?
• සෙල්යුසිඩ් රජ පෙළපත විසින් සිරියාව පාලනය කිරීම පැවතුණේ කවදා දක්වාද?
• මිසරයේ ටොලමික රාජ්‍යය නිමාවකට පැමිණියේ කවදාද?
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය බෙදී ගිය හැටි
කැසැන්ඩර්
ලිසිමැකස්
Iවන ටොලමි
Iවන සෙල්යුකස්
[පින්තූර]
Iවන ටොලමි
Iවන සෙල්යුකස්
[139වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
දානියෙල්ගේ අනාවැකියේ ලෝක බලවතුන්
අතිවිශාල රූපය (දානියෙල් 2:31-45)
මුහුදෙන් නැඟී ආ මෘගයන් සතරදෙනා (දානියෙල් 7:3-8, 17, 25)
බබිලෝනියාව පො.යු.පෙ. 607 සිට
මේද-පර්සියාව පො.යු.පෙ. 539 සිට
ග්‍රීසිය පො.යු.පෙ. 331 සිට
රෝමය පො.යු.පෙ. 30 සිට
එංගලන්ත-අමෙරිකානු ලෝක බලය පො.යු. 1763 සිට
අන්තිම කාලයේ පවතින දේශපාලනිකව බෙදුණු ලෝකය
[128වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[147වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]