දහහතරවන පරිච්ඡේදය
රජුන් දෙදෙනාගේ අනන්‍යතාව මාරු වෙයි
1, 2. (අ) රෝම ඉල්ලීමට හිස නමන්න IVවන ඇන්ටියෝකස්ට මඟ පෑදුවේ කුමක්ද? (ආ) සිරියාව රෝමයේ පළාතක් බවට පත් වූයේ කවදාද?
සිරියාවේ අධිරාජ්‍යයා වන IVවන ඇන්ටියෝකස් මිසරය යටත් කරගෙන එහි රජු ලෙස ඔටුනු පළඳියි. මිසරයේ VIවන ටොලමි රජුගේ ඉල්ලීම පිට, රෝමය තානාපති කායස් පොපිලියස් ලයිනාස්ව මිසරයට එවයි. ඔහු පැමිණෙන්නේ, IVවන ඇන්ටියෝකස් මිසරයෙන් තම රජකම ඉවත් කරගෙන, රටෙන් පිට විය යුතුය යන රෝමානු සෙනෙට් සභා නියෝගය සහ අතිවිශාල නාවික බලඇණියක්ද සමඟයි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපනගරයක් වන ඉලූසස්හිදී, සිරියාවේ රජු සහ රෝම තානාපතිවරයා මුහුණට මුහුණලා සිටියි. හතරවන ඇන්ටියෝකස් තම උපදේශකයන් සමඟ සාකච්ඡා කිරීමට කාලය ඉල්ලයි. එහෙත් ලයිනාස්, රජු වටා රවුමක් ඇඳ, එයින් පිටට පය තබන්න කලින් උත්තරය දෙන ලෙස රජුට කියා සිටියි. නින්දාවට පත් වූ IVවන ඇන්ටියෝකස් රෝමානු අණට එකඟ වන අතර, පො.යු.පෙ. 168දී, සිරියාව බලා පිටත් වෙයි. මෙසේ, උතුරු දිශාවේ සිරියානු රජු සහ දකුණු දිශාවේ මිසරයේ රජ අතර පැවති හැලහැප්පීම් නිමාවකට පත් වෙයි.
2 මැද පෙරදිග කටයුතු සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් දරමින් රෝමය සිරියාවේ කටයුතු මෙහෙයවීමේ දිගටම නිරත වෙනවා. මේ නිසා, පො.යු.පෙ. 163දී, IVවන ඇන්ටියෝකස් මියගියාට පසුව සෙල්යුසිඩ් රාජවංශයේ අනිත් රජවරුන් සිරියාව පාලනය කළද, “උතුරු දිශාවේ රජ” යන නිලය ඔවුන් විසින් හොබවන්නේ නැහැ. (දානියෙල් 11:15) අවසානයේදී, එනම්, පො.යු.පෙ. 64දී, සිරියාව රෝමයේ පළාතක් බවට පත් වෙනවා.
3. රෝමය මිසරය කෙරෙහි ආධිපත්‍යය හෙබවූයේ කෙසේද? කවදාද?
3 හතරවන ඇන්ටියෝකස්ගේ මරණයෙන් අවුරුදු 130කට ටිකක් වැඩි කාලයක් යන තුරු, මිසරයේ ටොලමික රාජවංශය “දකුණු දිශාවේ රජු” යන නිලය අල්ලාගෙන සිටිනවා. (දානියෙල් 11:14) පොදු යුගයට පෙර 31දී, ඇක්ටියම්හි පැවති යුද්ධයේදී, රෝම පාලක ඔක්ටේවියන්, අවසාන ටොලමික රැජින වන VIIවන ක්ලියොපැට්රාගේ සහ ඇගේ රෝමානු පෙම්වතා වන මාර්ක් ඇන්ටනිගේ සංයුක්ත හමුදාව පරාජයට පත් කරනවා. ඊළඟ අවුරුද්දේදී, ක්ලියොපැට්රා සියදිවි නසාගැනීමත් සමඟම, මිසරයත් රෝමයේ පළාතක් බවට පත්ව, තවදුරටත් දකුණු දිශාවේ රජ යන කාර්යභාරය රඟ දැක්වීමෙන් ඉවත් වෙනවා. පොදු යුගයට පෙර 30 වන විට, රෝමය, සිරියාව සහ මිසරය යන රාජ්‍යයන් දෙක කෙරෙහිම අධිපතිකම් කරමින් සිටියා. උතුරු දිශාවේ රජු සහ දකුණු දිශාවේ රජ යන නිලයන් භාරගැනීම සඳහා වෙනත් පාලන ක්‍රම අප විසින් අපේක්ෂා කළ යුතුද?
අලුත් රජෙක් “ආදායම් අයකරන්නෙකු” යවයි
4. උතුරු දිශාවේ රජුගේ අනන්‍යතාව ආරූඪ කරගැනීම සඳහා තවත් පාලන තන්ත්රයක පැමිණීම අප අපේක්ෂා කළ යුත්තේ මන්ද?
4 පොදු යුගයේ 33 වසන්තයේදී, යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට මෙසේ කිව්වා: “අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද . . . එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා.” (මතෙව් 24:15, 16) දානියෙල් 11:31 උපුටා දක්වමින්, ‘පාළු කිරීම සිදු කරන අනාගත පිළිකුළක්’ ගැන යේසුස් තම අනුගාමිකයන්ට අනතුරු ඇඟෙව්වා. උතුරු දිශාවේ රජු සම්බන්ධ මෙම අනාවැකිය දෙනු ලැබුවේ එම කාර්යභාරය දැරූ අවසන් රජු වූ IVවන ඇන්ටියෝකස්ගේ මරණයෙන් අවුරුදු 195කට පමණ පසුවයි. එසේ නම්, නිසැකවම, උතුරු දිශාවේ රජුගේ අනන්‍යතාව ආරූඪ කරගැනීම සඳහා තවත් පාලන තන්ත්රයක් පැමිණිය යුතුයි. ඒ කවුරුන් විය හැකිද?
5. වතාවක් IVවන ඇන්ටියෝකස් දැරූ උතුරු දිශාවේ රජු යන පදවිය ගැනීමට නැඟී සිටියේ කවුද?
5 යෙහෝවා දෙවිගේ දූතයා මෙසේ පුරෝකථනය කළා: “ඔහුගේ [IVවන ඇන්ටියෝකස්ගේ] ස්ථානයෙහි රාජ්‍යයේ අලංකාර දේශයෙහි [තේජවත් රාජ්‍යය හරහා, NW] ආදායම් අයකරන්නෙකු ඇවිදින්ට සලස්වන කෙනෙක් නැගිට, කෝපයවත් යුද්ධයවත් නැතුව ස්වල්ප දවසකින් විනාශවන්නේය.” (දානියෙල් 11:20) මේ ආකාරයට ‘නැඟී සිටින’ තැනැත්තා, රෝමයේ පළමුවන අධිරාජ්‍යයා වූ ඔගස්ටස් සීසර් ලෙස හැඳින්වූ ඔක්ටේවියන් බව ඔප්පු වුණා.—248වන පිටුවේ ඇති “එක්කෙනෙකුට ගරු කරයි, අනිකාව නීච කොට සලකයි” යන කොටස බලන්න.
6. (අ) ‘ආදායම් අයකරන්නෙක්ට තේජවත් රාජ්‍යය’ හරහා ගමන් කරන්න සැලැස්වූයේ කවදාද? එමෙන්ම, මෙහි වැදගත්කම වූයේ කුමක්ද? (ආ) ඔගස්ටස් මියගියේ, “කෝපයවත් යුද්ධයවත් නැතුව” යයි කිව හැක්කේ මන්ද? (ඇ) උතුරු දිශාවේ රජුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කිනම් වෙනසක් සිදු වීද?
6 ‘අලංකාර දේශය’ වන රෝම පළාතක් වූ යුදය ඔගස්ටස්ගේ ‘තේජවත් රාජ්‍යයට’ අයත් වුණා. (දානියෙල් 11:16) පොදු යුගයට පෙර 2දී, සමහරවිට, බදු අය කිරීම හෝ අනිවාර්ය හමුදා සේවයට බඳවාගැනීම වැනි අරමුණු සඳහා, සිටින්නාවූ ජන සංඛ්‍යාව දැනගැනීමට ජනයාව ලියාපදිංචි කිරීම නැතහොත් සංගණනයක් කිරීම සඳහා අණ කරමින්, ඔගස්ටස් ‘ආදායම් අයකරන්නෙකුව’ යැව්වා. මේ ආඥාව නිසා, යෝසෙප් සහ මරියාට බෙත්ලෙහෙමට යෑමට සිදු වුණා. ප්‍රතිඵලයක් හැටියට, පුරෝකථනය කළ ස්ථානයේදීම, යේසුස්ගේ උපත සිදු වුණා. (මීකා 5:2; මතෙව් 2:1-12) පොදු යුගයේ 14 අගෝස්තු මාසයේදී, “ස්වල්ප දවසකින්,” නැතහොත් ලියාපදිංචි කිරීමට අණ කර වැඩි කල් යන්න මත්තෙන් “කෝපය” නිසා, එනම් ඝාතකයෙකුගේ අතින්වත් “යුද්ධය” නිසාවත් නොව, නමුත් ලෙඩවීම හේතුවෙන් වයස අවුරුදු 76ක්ව සිටි ඔගස්ටස් මියගියා. උතුරු දිශාවේ රජු ඇත්තෙන්ම තම අනන්‍යතාව වෙනස් කරගෙනයි තිබුණේ! මේ වන විට, මෙම රජුව රෝම අධිරාජ්‍යයේ අධිරාජ්යවරුන්ගෙන් නියෝජනය වෙන්න පටන්ගත්තා.
‘නීචයා නැඟිටියි’
7, 8. (අ) උතුරු දිශාවේ රජු හැටියට ඔගස්ටස්ගේ තැනට නැඟී සිටියේ කවුද? (ආ) “රජකමේ ගෞරවය” අකමැත්තෙන් හෝ ඔගස්ටස් සීසර්ගේ අනුප්‍රාප්තිකයා අතට පත් වූයේ මන්ද?
7 අනාවැකිය දිගටම ගෙන යමින් දේවදූතයා මෙසේ කියනවා: “ඔහුගේ [ඔගස්ටස්ගේ] ස්ථානයෙහි නීචයෙක් නැගිටින්නේය; ඔහුට රජකමේ ගෞරවය නුදුන් නුමුත් ඔහු හදිසියෙන් පැමිණ, ඉච්චාවලින් රාජ්‍යය ලබාගන්නේය. ජලගැල්මක් සමාන සේනාවෝ ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතුව ඔහු ඉදිරියෙන් දියපහරකින් මෙන් බිඳීයන්නෝය.”—දානියෙල් 11:21, 22.
8 ‘නීචයා’ වූයේ, ඔගස්ටස්ගේ තුන්වන භාර්යාව වූ ලිවියාගේ පුත් ටයිබීරියස් සීසර්. (248වන පිටුවේ “එක්කෙනෙකුට ගරු කරයි, අනිකාව නීච කොට සලකයි” යන්න බලන්න.) ඔගස්ටස් ඔහුගේ මෙම සුළු පුත්‍රයාට ද්වේෂ කළෙත්, ඔහු මීළඟ සීසර් බවට පත් වෙනවාට අකමැති වුණෙත්, ටයිබීරියස්ගේ නරක ගතිගුණ නිසායි. “රජකමේ ගෞරවය” අකමැත්තෙන් ඔහු අතට පත් වූයේ, අපේක්ෂිත අනිකුත් අනුප්රාප්තිකයන් මියගියාට පසුවයි. පොදු යුගයේ 4දී ඔගස්ටස්, ටයිබීරියස්ව හදා වඩා ගන්න ගත් අතර, කිරුළට උරුමක්කාරයා බවට පත් කළා. ඔගස්ටස්ගේ මරණයෙන් පසු, නීචයා වූ 54 හැවිරිදි ටයිබීරියස්, රෝමයේ අධිරාජ්‍යයා හැටියටත්, උතුරු දිශාවේ රජ හැටියටත් බලය භාරගනිමින් ‘නැඟී සිටියා.’
9. ටයිබීරියස් ‘ඉච්චාවලින් රාජ්‍යය ලබාගත්තේ’ කෙසේද?
9 නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) “ටයිබීරියස්” ගැන මෙසේ කියනවා: “ඔහු සෙනෙට් සභාව සමඟ කපටි ලෙස වැඩ කළ අතර, [ඔගස්ටස් මියගොස්] මාසයක් ගත වන තුරුම තමාව අධිරාජ්‍යයා ලෙස නම් කිරීමට එයට ඉඩ දුන්නේ නැහැ.” රෝම අධිරාජ්‍යය පාලනය කිරීමේ බර දැරීමට ඔගස්ටස් හැර වෙන කිසිවෙකු සමත් නැති බව ඔහු සෙනෙට් සභාවට කියා සිටි අතර, එම අධිකාරය තනි පුද්ගලයෙකුට නොව මිනිසුන් කණ්ඩායමකට පැවරීම මගින් ජනරජය යළි පිහිටුවන ලෙස ඔහු සෙනෙට් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියා. “ඔහු කියූ දෙය පිළිගන්නවා වෙනුවට, අන්තිමේදී ඔහු බලය පිළිගන්නා තුරු සෙනෙට් සභාව ඔහුට ගරු සැලකිලි දැක්වූ බව” ඉතිහාසඥ විල් ඩ්‍යුරන්ට් ලිව්වා. ඔහු තවදුරටත් මෙසේ එකතු කළා: “දෙපැත්තම දක්ෂ ලෙස කපටි උපාය රඟ දැක්වුවා. ටයිබීරියස්ට අවශ්‍ය වුණේ රාජධානිය පාලනය කරන්නයි. අවශ්‍යතාවක් නොතිබුණා නම්, එය මඟහැරීමට ඔහු මොනයම් හෝ ක්‍රමයක් සොයාගන්නවා; අනික් අතට සෙනෙට් සභාව ඔහුට භය වුණත්, ඔහුට වෛර කළත්, සිද්ධාන්තික ස්වාධීන සභාවක් මත පදනම් වූ ඉපැරණි ජනරජවලට සමාන ජනරජයක් යළි පිහිටුවීමට ඔවුන් මැළි වුණා.” මෙසේ, ටයිබීරියස් ‘ඉච්චාවලින් රාජ්‍යය ලබාගත්තා.’
10. ‘ජලගැල්මක් සමාන සේනාවන් බිඳ දැමුවේ’ කෙසේද?
10 “ජලගැල්මක් සමාන සේනාවෝ” හෙවත්, අවට රාජ්‍යයන්වල යුධ හමුදා ගැන දේවදූතයා කිව්වේ ඔවුන් ‘දියපහරකින් මෙන් බිඳී යනවා’ කියායි. ටයිබීරියස් උතුරු දිශාවේ රජු බවට පත් වූ අවස්ථාවේ, රයින් ගඟ අවට ප්‍රදේශයේ රෝම බලඇණියේ අණ දෙන සෙන්පතියාව සිටියේ ඔහුගේ ඥාති සහෝදර ජර්මැනිකස් සීසර්. පොදු යුගයේ 15දී, ජර්මැනිකස් තම හමුදාව ජර්මානු වීරයා වූ අර්මිනියස්ට විරුද්ධව යම් සාර්ථකත්වයක් ඇතුව මෙහෙයෙව්වා. කෙසේවෙතත්, මහත් පාඩු විඳිමින් අත් කරගත්තේ ජයග්රහණයන් සීමිත ප්‍රමාණයක් පමණයි. ඉන්පසුව, ටයිබීරියස් ජර්මනිය සමඟ කරන යුද්ධ නැවැත්වුවා. ඒ වෙනුවට, සිවිල් යුද්ධයට අනුබල දෙමින් ජර්මානු ගෝත්‍ර එක්සත් වීම වැළැක්වීම සඳහා ඔහු කටයුතු කළා. ආරක්ෂිත විදෙස් ප්‍රතිපත්තියක් මෙන්ම දේශ සීමාවන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ටයිබීරියස් සාමාන්‍යයෙන් කැමැත්තක් දැක්වුවා. මේ ක්‍රියාමාර්ගය යන්තම් සාර්ථක වුණා. මේ ආකාරයට, ‘ජලගැල්මක් සමාන සේනාවන්ව’ පාලනය කළ අතර, ඒවා ‘බිඳ’ දැමුවා.
11. ‘ගිවිසුමේ අධිපතියාව බිඳී’ ගියේ කෙසේද?
11 පොළොවේ සියලු ජාතීන්ට ආශීර්වාද ලැබීම සඳහා දෙවි ආබ්‍රහම් සමඟ ඇති කරගත් ‘ගිවිසුමේ අධිපතියාද බිඳී’ ගියා. එම ගිවිසුමේ ආබ්‍රහම්ට පොරොන්දු වූ වංශය වූයේ යේසුස් ක්‍රිස්තුස්. (උත්පත්ති 22:18; ගලාති 3:16) පොදු යුගයේ 33 නීසාන් 14වනදා, යේසුස් යෙරුසලමේ රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ගේ මන්දිරයේ ඔහු ඉදිරියේ සිටගෙන සිටියා. යුදෙව් පූජකයන් යේසුස් අධිරාජ්‍යයාට ද්‍රෝහි වූ බවට චෝදනා කළා. එහෙත්, යේසුස් පිලාත්ට මෙසේ කිව්වා: “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. . . . මාගේ රාජ්‍යය මෙලොවින් නොවේ.” රෝම ආණ්ඩුකාරයා විසින් නිර්දෝෂී යේසුස්ව නිදහස් නොකරන පිණිස, යුදෙව්වන් මෙසේ මොර ගැසුවා: “ඔබ මොහු නිදහස්කර හැරියොත්, කායිසර්ගේ මිත්‍රයෙක් නොවේය. තමාම රජෙකු කරගන්න කවුරු නුමුත් කායිසර්ට විරුද්ධව කථාකෙරේ.” යේසුස්ට මරණ දඬුවම දෙන්න කියා කීමෙන් පසුව ඔවුන් කියා සිටියේ “කායිසර් මිස අපට රජෙක් නැත” කියායි. සීසර්ට විරුද්ධව පැමිණෙන ඕනෑම අපහාසයක් ඇතුළත් කිරීම සඳහා ටයිබීරියස් විසින් පුළුල් කළ, “රාජශ්‍රීයට අවමන් කිරීම” පිළිබඳ ව්‍යවස්ථාවට අනුව, යේසුස්ව ‘බිඳින්න’ නැතහොත් වද කණුවක ඇණගසන්න පිලාත් භාර දුන්නා.—යොහන් 18:36; 19:12-16; මාර්ක් 15:14-20.
‘යෝජනා යොදන’ කෲර ඒකාධිපතියෙක්
12. (අ) ටයිබීරියස් සමඟ මිත්‍රත්වයක් පැවැත්වූයේ කවුද? (ආ) ටයිබීරියස් “ස්වල්ප සෙනගක් කරණකොටගෙන බලවත්” වූයේ කෙසේද?
12 තවදුරටත්, ටයිබීරියස් ගැන අනාවැකි පවසමින්, දේවදූතයා මෙසේ කියනවා: “ඔහු සමග බැඳුණායින් පසු ඔහු වංචාවෙන් ක්‍රියාකොට, ගොස් ස්වල්ප සෙනගක් කරණකොටගෙන බලවත්වන්නේය.” (දානියෙල් 11:23) රෝමානු සෙනෙට් සභාවේ සාමාජිකයන් ටයිබීරියස් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ‘බැඳී සිටි’ අතර, ඔහු නිල වශයෙන් ඔවුන් මත රඳා සිටියා. එහෙත්, ඔහු ප්රයෝගකාරි වූ අතර, ඇත්තෙන්ම ඔහු “ස්වල්ප සෙනගක් කරණකොටගෙන බලවත්” වුණා. ස්වල්ප සෙනඟ වූයේ, රෝම පවුරු අසල රැකවල් කරමින් සිටි රෝමානු ප්රේටෝරියන් මුර කණ්ඩායමයි. එම මුර කණ්ඩායම නුදුරින් සිටීම, සෙනෙට් සභාව භයට පත් කළ අතර, තම ආධිපත්‍යයට විරුද්ධව මහජන කැරලි ගැසීම් මර්දනය කරන්නද එය ටයිබීරියස්ට උපකාර වුණා. මෙසේ, 10,000ක පමණ මුරකරුවන් සංඛ්‍යාවක් මාර්ගයෙන් ටයිබීරියස් බලවත් වුණා.
13. තම පියවරුන්ට වඩා ටයිබීරියස් ඉදිරියෙන් සිටියේ කිනම් ආකාරයෙන්ද?
13 දේවදූතයා අනාවැකිමය ආකාරයට මෙසේ එකතු කරනවා: “ඔහු හදිසියෙන් දේශයේ සාරවත් තැන්වලට පැමිණ, තමාගේ පියවරුන්වත් තමාගේ පියවරුන්ගේ පියවරුන්වත් නොකළ දේ කරන්නේය; ඔහු කොල්ලයත් උදුරා ගත් දේත් සම්පතුත් ඔවුන්ට බෙදාදෙන්නේය. කාලයක් යන තුරු බළකොටුවලට විරුද්ධව තමාගේ යෝජනාද යොදන්නේය.” (දානියෙල් 11:24) ටයිබීරියස් අනුන්ව මහත් සේ සැක කළ අතර, ඔහුගේ පාලන කාලය තුළ ඔහුගේ නියෝගය පරිදි ඝාතන රැසක් සිදු වුණා. එසේ වූයේ වැඩි වශයෙන් ප්රේටෝරියන් මුර කණ්ඩායමේ අණ දෙන්නා වූ සිජේනස්ගේ බලපෑම නිසායි. ටයිබීරියස්ගේ පාලන කාලයේ අග භාගය භීෂණයෙන් පිරී තිබුණා. අවසානයේදී, සිජේනස්වද සැකයට භාජන වී මරා දමනු ලැබුවා. මිනිසුන් කෙරෙහි කෲර ඒකාධිපති පාලනයක් කිරීම සම්බන්ධයෙන් ගත් කල, ටයිබීරියස් තම පියවරුන්ට වඩා දරුණු වුණා.
14. (අ) රෝමයේ පළාත් පුරා ටයිබීරියස් “කොල්ලයත් උදුරා ගත් දේත් සම්පතුත්” බෙදාහැරියේ කෙසේද? (ආ) ටයිබීරියස් මැරෙන අවස්ථාවේදී ඔහුව සලකනු ලැබුවේ කෙලෙසද?
14 කෙසේවෙතත්, ටයිබීරියස් රෝම පළාත් පුරා “කොල්ලයත් උදුරා ගත් දේත් සම්පතුත්” බෙදාහැරියා. ඔහුගේ මරණය සිදු වන විට, සියලුම යටත් වැසියන් සමෘද්ධිමත්ව සිටියා. බදු බර අඩු වූ අතර, දුෂ්කරතා ඇති ප්‍රදේශවල සිටින අය කෙරෙහි ත්‍යාගශීලී වීමේ නැඹුරුවාවක් ඔහු දැක්වූවා. හේවායන් හෝ නිලධාරීන් කටයුතු මෙහෙයවද්දී, යමෙකුව පීඩනයට හෝ වංචාවට භාජන කළා නම්, ඔවුන්ව රාජකීය උදහසට ලක් වෙන්න ඉඩ තිබුණා. බලය දිගටම තදින් අල්ලාගෙන සිටීම මහජන ආරක්ෂාවටත්, වඩා දියුණු කළ සන්නිවේදන ක්‍රමය වාණිජ්යයටත් උපකාරයක් වුණා. රෝමය තුළත් ඉන් පිටතත්, පරිපාලන කටයුතු සාධාරණ ආකාරයකට ක්‍රියාත්මක කරන බවට ටයිබීරියස් වගබලා ගත්තා. සමාජීය මෙන්ම සදාචාරමය නීති සංග්‍රහයන් තවත් දියුණු කළේ, ඔගස්ටස් සීසර් පිහිටෙවූ ප්‍රතිසංස්කරණයන් තවත් ඉදිරියට ගෙනයෑම මාර්ගයෙනුයි. කෙසේවෙතත්, ටයිබීරියස් කොතරම් ‘යෝජනා යෙදුවාද’ කිවහොත්, රෝම ඉතිහාසඥ ටැසිටස් ඔහුව විස්තර කළේ වංචාකාරයෙක්, වෙස් මුහුණු පළඳින්න රුසියෙක් හැටියටයි. පොදු යුගයේ 37 මාර්තු මාසයේදී ටයිබීරියස් මියයන විට, ඔහුව සලකනු ලැබුවේ කෲර ඒකාධිපතියෙක් ලෙසයි.
15. මුල් සියවසේ අග භාගය සහ දෙවන සියවසේ මුල් භාගය වන විට, රෝමයේ තත්වය කුමක් වීද?
15 උතුරු දිශාවේ රජුගේ චරිතයට පණ පෙවූ ටයිබීරියස්ගේ අනුප්රාප්තිකයන් අතර, ගායස් සීසර් (කැලිග්යූලා), Iවන ක්ලෝඩියස්, නීරෝ, වෙස්පේසියන්, ටයිටස්, ඩොමිෂියන්, නර්වා, ට්රේජන් සහ හේඩ්රියන් යන අය සිටියා. නව බ්‍රිටැනිකා විශ්වකෝෂය මෙසේ කියනවා: “ඔගස්ටස්ගේ අනුප්රාප්තිකයන් ඔහුගේ පරිපාලන ප්‍රතිපත්ති සහ ගොඩනැඟිලි වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කළා. කෙසේවෙතත් ඔවුන් නිර්මාණාත්මකභාවයෙන් අඩු, ආටෝපයෙන් පිරි ව්‍යාපෘතිවලයි නිරත වුණේ.” එම ආශ්‍රේය ග්රන්ථයම මෙසේ දක්වා සිටිනවා: “මුල් සියවසේ අග භාගය සහ දෙවන සියවසේ මුල් භාගය වන විට, රෝමයෙහි ඓශ්වර්යය සහ ජනගහනය උච්චාවස්ථාවටම නැඟුණා.” මේ කාලයේදී, රාජකීය මායිම් සම්බන්ධයෙන් රෝමයට යම් යම් ගැටලු තිබුණත්, එය දකුණු දිශාවේ රජ සමඟ කරන බවට පුරෝකථනය කළ මුල්ම හැලහැප්පීම පො.යු. තුන්වන සියවස වන තුරු සිදු වූයේ නැහැ.
දකුණු දිශාවේ රජට එරෙහිව හෘදය පොලඹවාගනියි
16, 17. (අ) දානියෙල් 11:25හි යොමු දක්වා ඇති උතුරු දිශාවේ රජුගේ කාර්යය භාරගත්තේ කවුද? (ආ) දකුණු දිශාවේ රජගේ තත්වය රඳවාගත්තේ කවුද? එමෙන්ම, මෙය සිදු වූයේ කෙසේද?
16 දෙවිගේ දූතයා අනාවැකිය දිගටම ප්‍රකාශ කරමින් මෙසේ කියනවා: “ඔහු [උතුරු දිශාවේ රජු] දකුණු දිශාවේ රජුට විරුද්ධව මහත් සේනාවක් ඇතුව, තමාගේ බලයත් වීර්යයත් [හෘදයත්, NW] පොලඹවාගන්නේය; දකුණු දිශාවේ රජද ඉතා මහත්වූ බලවත්වූ සේනාවක් ඇතුව යුද්ධයට නැගිටින්නේය. නුමුත් ඔහුට [උතුරු දිශාවේ රජුට] හිටින්ට බැරිවන්නේය, මක්නිසාද ඔව්හු ඔහුට විරුද්ධව උපා යොදන්නෝය. එසේය, ඔහුගේ භෝජනයෙන් කන අය ඔහු නැතිකරන්නෝය, ඔහුගේ යුද්ධ සේනාව විසිරයනවා ඇත. බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටෙනවාද ඇත.”—දානියෙල් 11:25, 26.
17 ඔක්ටේවියන් මිසරය රෝම පළාතක් බවට පත් කර අවුරුදු 300ක් පමණ ගත වූවාට පසුව, රෝම අධිරාජ්‍යයා වූ ඕරීලියන් උතුරු දිශාවේ රජුගේ පදවිය ආරූඪ කරගත්තා. මේ අතර, රෝම යටත් විජිතයක් වූ පැල්මයිරාවේ, සෙප්ටිමියා ස’නෝබියා රැජින දකුණු දිශාවේ රජගේ තත්වය රඳවාගෙන සිටියා.a (252වන පිටුවේ ඇති “ස’නෝබියා—පැල්මයිරාවේ රණශූර රැජින” යන්න බලන්න.) රෝමය වෙනුවෙන් ආරක්ෂා කරනවායයි බොරු කියා පො.යු. 269දී, පැල්මයිරාවේ හමුදාව මිසරය යටත් කරගත්තා. පැල්මයිරාව, නැඟෙනහිර දෙසින් පිහිටි ප්‍රධානම නගරය කරන්නත්, රෝමයේ නැඟෙනහිර පළාත් පාලනය කරන්නත් ස’නෝබියාට ඕනෑ කළා. ඇගේ අභිලාෂය ගැන ඉව වැටුණු ඕරීලියන්, ස’නෝබියාට එරෙහිව ‘තමාගේ බලයත් හෘදයත් පොලඹවාගන්න’ පටන්ගත්තා.
18. උතුරු දිශාවේ රජු වූ ඕරීලියන් අධිරාජ්‍යයා සහ දකුණු දිශාවේ රජ වූ ස’නෝබියා රැජින අතරේ සිදු වූ අරගලයේ ප්‍රතිඵලය කුමක් වීද?
18 දකුණු දිශාවේ රජු වූ ස’නෝබියාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලැබූ ඇගේ සේනාධිපතීන් දෙදෙනා වූ සොබඩාස් සහ සබ්බයි යටතේ “ඉතා මහත්වූ බලවත්වූ සේනාවක් ඇතුව” උතුරු දිශාවේ රජුට විරුද්ධව යුද්ධ කිරීමට දකුණු දිශාවේ රජ ‘තමාව පොලඹවාගත්තා.’ එහෙත්, ඕරීලියන් මිසරය ජයගත් අතර, ඉන්පසු සුළු ආසියාව සහ සිරියාවට එරෙහිව ක්ෂණිකව හමුදා කටයුතු දියත් කළා. ස’නෝබියා එමෙසාහිදී (දැන් හෝම්ස්) පරාජය වූ අතර, ඒ සමඟම ඇය පැල්මයිරාව වෙත පලාගියා. ඕරීලියන් එම නගරය වැටලූ විට, ස’නෝබියා වික්‍රමාන්විත ලෙස එය රැකගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණා. ඇයත් ඇගේ පුත්‍රයාත් පර්සියාව දෙසට පලාගියත්, රෝමවරුන් ඔවුන්ව යුප්‍රටීස් ගඟ ළඟදී අල්ලාගත්තා. පොදු යුගයේ 272දී, පැල්මයිරාවේ වැසියන් තම නගරය භාර කළා. ඕරීලියන් ස’නෝබියාගේ ජීවිතය ඉතිරි කළ අතර, තම ජයග්‍රහණය නිමිත්තෙන් පො.යු. 274දී, රෝමය පුරා ගමන් කළ පෙරහැරේ ප්‍රධාන අංගය වශයෙන් ඇයව ප්‍රදර්ශනය කළා. ඇය ඇගේ ජීවිතාන්තය දක්වාම රෝමයේ ගෞරවයට පාත්‍ර වූ කාන්තාවක් ලෙස කල් ගෙව්වා.
19. ‘ඔහුට විරුද්ධව උපා යෙදූ නිසා’ ඕරීලියන් වැටුණේ කෙසේද?
19 ‘ඔවුන් ඔහුට විරුද්ධව උපා යෙදූ නිසා’ ඕරීලියන්ට ‘සිටින්න බැරි වුණා.’ පොදු යුගයේ 275දී, ඔහු පර්සියාවට එරෙහිව සටන් ව්‍යාපාරයක් දියත් කළා. සුළු ආසියාවට පැනගැනීමට අවස්ථාවක් එන තුරු ත්රේස්හි සමුද්‍රසන්ධිය අසල සිටින විට, ‘ඔහුගේ භෝජනයෙන් කෑ’ අය ඔහුට විරුද්ධව උපා යොදා ඔහුව ‘නැති කළා.’ ඔහුගේ ලේකම් වූ ඊරෝස් කළ වංචාවලට දඬුවම් දීමටයි ඔහු සිටියේ. කෙසේවෙතත්, ඊරෝස් මරණයට නියම වූ හමුදා නිලධාරීන්ගේ නාම ලැයිස්තුවක් හොරෙන් සාදා එම නිලධාරීන්ට පෙන්නුවා. එය දුටු නිලධාරීන් ඕරීලියන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කොට, ඔහුව මරා දැමුවා.
20. උතුරු දිශාවේ රජුගේ “යුද්ධ සේනාව විසිර” ගියේ කෙසේද?
20 අධිරාජ්‍යයා වූ ඕරීලියන්ගේ මරණයත් සමඟම උතුරු දිශාවේ රජුගේ වැඩ කොටස නිම වූයේ නැහැ. ඔහුට පසුව, වෙනත් රෝම පාලකයන් පැමිණියා. කාලයකට, බටහිරටත් නැඟෙනහිරටත් අධිරාජ්‍යයෙක් සිටියා. මේ මිනිසුන් යටතේ උතුරු දිශාවේ රජුගේ “යුද්ධ සේනාව විසිර”b ගිය අතර, බොහෝදෙනෙක් ‘මැරුම් කා වැටුණේ,’ උතුරු දෙසින් පැමිණි ජර්මානු ගෝත්‍රවල ආක්‍රමණ නිසායි. ජර්මනියේ විසූ මෙම ජර්මානු ම්ලේච්ඡයන්, පො.යු. හතරවන සියවසේදී රෝම දේශ සීමා බිඳගෙන, දිගට හරහට රෝමය ආක්‍රමණය කළා. පොදු යුගයේ 476දී, ජර්මානු නායක ඕඩවේසර්, රෝමය පාලනය කරමින් සිටි අවසාන අධිරාජ්යයාවත් පහ කර දැමුවා. හයවන සියවසේ ආරම්භය වන විට, රෝම අධිරාජ්‍යයේ බටහිර පැත්ත දෙදරා තිබූ අතර, ජර්මානු රජවරු බ්රිටැනියාව, ගෝල්, ඉතාලිය, උතුරු අප්‍රිකාව සහ ස්පාඤ්ඤය පාලනය කළා. අධිරාජ්‍යයේ නැඟෙනහිර පැත්ත 15වන සියවස දක්වා පැවතුණා.
ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයක් බෙදෙයි
21, 22. පොදු යුගයේ හතරවන සියවසේදී, කොන්ස්ටන්ටයින් සිදු කළ වෙනස්කම් මොනවාද?
21 සියවස් ගණනාවක් පුරා ඇදුණු රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම ගැන අනවශ්‍ය තොරතුරු දෙනවා වෙනුවට, යෙහෝවාගේ දූතයා උතුරු දිශාවේ රජු සහ දකුණු දිශාවේ රජ කරන තවත් වීර වික්‍රමයන් ගැන පුරෝකථනය කරනවා. කෙසේවෙතත්, රෝම අධිරාජ්‍යය විකාශනය වූ සමහර ආකාරයන් කෙටියෙන් පුනරීක්ෂණය කිරීම, පසු කාලයේ සිටි ප්රතිවිරෝධී රජුන් දෙදෙනා හඳුනාගැනීමට අපට උපකාර කරන්න යනවා.
22 හතරවන සියවසේදී, රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානීන්ට රාජ්‍යය අනුග්‍රහය ලබා දුන්නා. පොදු යුගයේ 325දී, සුළු ආසියාවේ, නයිසියාහි කතෝලික මන්ත්‍රණ සභාව කැඳවූ අතර, පෞද්ගලිකවම එහි මුලසුනද දැරුවා. පසුව, කොන්ස්ටන්ටයින් රාජකීය වාසස්ථානය රෝමයේ සිට බයිසැන්ටියම හෙවත් කොන්ස්ටැන්ටිනෝපල් නගරයට ගෙන ගියේ එය තම නව අගනුවර බවට පත් කරගනිමින්. රෝම අධිරාජ්‍යය, පො.යු. 395 ජනවාරි 17වනදා, අධිරාජ්‍යයා වූ Iවන තියඩෝෂස්ගේ මරණය දක්වා තනි අධිරාජ්‍යයෙකු යටතේ දිගටම පැවතුණා.
23. (අ) තියඩෝෂස්ගේ මරණයෙන් පසු රෝම අධිරාජ්‍යයේ සිදු වූ බෙදීම කුමක්ද? (ආ) නැඟෙනහිර අධිරාජ්‍යය අවසානයකට පත් වුණේ කවදාද? (ඇ) වර්ෂ 1517 වන විට, මිසරය පාලනය කළේ කවුද?
23 තියඩෝෂස්ගේ මරණයෙන් පසු, රෝම අධිරාජ්‍යය ඔහුගේ පුත්‍රයන් අතරේ බෙදුණා. හ’නෝරියස් බටහිර කොටස ලැබූ අතර, ආකේඩියස් අගනුවර වූ කොන්ස්ටැන්ටිනෝපලය ඇතුළු නැඟෙනහිර කොටස ලබාගත්තා. බ්රිටැනියාව, ගෝල්, ඉතාලිය, ස්පාඤ්ඤය සහ උතුරු අප්‍රිකාව, බටහිර කොට්ඨාසයේ පළාත් අතර වුණා. නැඟෙනහිර කොට්ඨාසයේ පළාත් වූයේ, මැසිඩෝනියාව, ත්‍රේස්, සුළු ආසියාව, සිරියාව සහ මිසරයයි. පොදු යුගයේ 642දී, මිසරයේ අගනුවර වූ ඇලෙක්සැන්ඩ්‍රියාව සැරසන්වරුන් (අරාබි ජාතිකයන්) අතට පත් වූ අතර, මිසරය කේලෆ්වරුන්ට අයත් පළාතක් බවට පත් වුණා. වර්ෂ 1449 ජනවාරි මාසයේදී, XIවන කොන්ස්ටන්ටයින් නැඟෙනහිර රාජ්‍යයේ අවසාන අධිරාජ්‍යයා බවට පත් වුණා. තුර්කි ඔටොමන්වරුන් 1453 මැයි 29දා, IIවන මෙමට් සුල්තාන්වරයා යටතේ නැඟෙනහිර රෝම අධිරාජ්‍යයට අවසානයක් ගෙනෙමින් කොන්ස්ටැන්ටිනෝපලය ජයගත්තා. වර්ෂ 1517දී, මිසරය තුර්කි පළාතක් බවට පත් වුණා. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන්, දකුණු දිශාවේ ඉපැරණි රජුගේ මේ දේශය, බටහිර ප්‍රදේශයෙන් පැමිණෙන තවත් අධිරාජ්‍යයක් යටතට පත්වීමට නියමිතව තිබුණා.
24, 25. (අ) සමහර ඉතිහාසඥයන්ට අනුව, ශුද්ධ රෝම අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් කළේ කුමක්ද? (ආ) ශුද්ධ රෝම අධිරාජ්‍යයේ “අධිරාජ්‍යයා” යන පදවියට සිදු වූයේ කුමක්ද?
24 රෝම අධිරාජ්‍යයේ බටහිර පක්ෂය, රෝමයේ කතෝලික බිෂොප් තනතුර ඇති කළා. ඒ අතුරින්, පාප්ට හිමි අධිකාරය පො.යු. පස්වන සියවසේදී තරයේ ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් Iවන ලියෝ පාප් නම් දැරුවා. කාලයාගේ ඇවෑමෙන්, බටහිර කොටසේ සිටි අධිරාජ්යවරුන්ට ඔටුනු පැළඳවීම, පාප් උඩඟු ලෙස තමන්ටම පවරාගත්තා. මෙය සිදු වූයේ, රෝම අධිරාජ්‍යයේ නව බටහිර කොටසේ අධිරාජ්‍යයා වූ ෆ්රැන්ක් ජාතික චාල්ස් රජුව (ෂාලමේන්) IIIවන ලියෝ පාප් පො.යු. 800 නත්තල්දා, රෝමයේදී ඔටුනු පැළඳවීමත් සමඟමයි. මේ ඔටුනු පැළඳවීම, රෝමයේ අධිරාජ්‍යයත්වය යළි පණගැන්වූ අතර, සමහර ඉතිහාසඥයන්ට අනුව, එය ශුද්ධ රෝම අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් කළා. එතැන් සිට නැඟෙනහිර අධිරාජ්‍යයත්, බටහිරට වෙන්න ශුද්ධ රෝම අධිරාජ්‍යයත් පවතින්න පටන්ගත් අතර, මේ දෙගොල්ලන්ම ක්‍රිස්තියානීන්යයි කියාගත්තා.
25 කාලය ගෙවී යද්දී, ෂාලමේන්ගේ අනුප්රාප්තිකයන්, තමන් කමකට නැති පාලකයන් බව ඔප්පු කළා. කාලයක් අධිරාජ්‍යයාගේ තනතුර හිස්ව තිබුණා. මේ අතර, ජර්මානු රජ වූ Iවන ඔටෝ, උතුරු සහ මධ්‍යම ඉතාලියේ වැඩි ප්‍රදේශයක පාලන බලය අත් කරගෙන සිටියා. තමා ඉතාලියේ රජු බව ඔහු ප්‍රකාශයට පත් කළා. පොදු යුගයේ 962 පෙබරවාරි 2වනදා, XIIවන ජුවාම් පාප් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා ලෙස Iවන ඔටෝව ඔටුනු පැළඳුවා. එහි අගනුවර තිබුණේ ජර්මනියේයි. අධිරාජ්‍යවරුන් මෙන්ම, යටත් වැසියන් බොහෝදෙනෙක්ද ජර්මානුවන් වුණා. සියවස් පහකට පසුව ඔස්ට්‍රියානු හැප්ස්බර්ග් පෙළපත “අධිරාජ්‍යයා” යන පදවිය ලබාගත් අතර, ශුද්ධ රෝම අධිරාජ්‍යය පැවති ඉතුරු කාලයෙන් වැඩි හරියක එම තනතුර හෙබවුවා.
රජුන් දෙදෙනාව නැවතත් පැහැදිලිව පෙනේ
26. (අ) ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අවසානය ගැන කිව හැක්කේ කුමක්ද? (ආ) උතුරු දිශාවේ රජු ලෙස මතු වූයේ කවුද?
26 පළවන නැපෝලියන් 1805දී, ජර්මනියේදී ලැබූ ජයග්‍රහණවලින් පසු, ශුද්ධ රෝම අධිරාජ්‍යයට මාරක පහරක් එල්ල කළේ, එහි පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි. කිරුළ රැකගැනීමට නොහැකි වූ නිසා, IIවන ෆ්‍රැන්සිස් අධිරාජ්‍යයා, 1806 අගෝස්තු 6වනදා, රෝමානු රාජකීය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, ඔස්ට්‍රියාවේ අධිරාජ්‍යයා ලෙස තම ජාතික ආණ්ඩුව වෙත ආපසු ගියා. රෝමානු කතෝලික පාප් වූ Iවන ලියෝ සහ ජර්මානු රජෙක් වූ ෂාලමේන්, ශුද්ධ රෝම අධිරාජ්‍යය පිහිටුවා අවුරුදු 1,006කට පසුව එය අවසානයකට පත් වුණා. රෝමය 1870දී, වතිකානුවෙන් ස්වාධීන ඉතාලි රාජ්‍යයේ අගනුවර බවට පත් වුණා. ඊළඟ වර්ෂයේදී, සීසර් නැතහොත් කයිසර් ලෙසින් හඳුන්වාගත් Iවන විල්හෙල්ම්ගෙන් ජර්මානු අධිරාජ්‍යයක් ඇරඹුණා. මෙසේ, නවීන දින උතුරු දිශාවේ රජු වන ජර්මනිය ලෝක දසුනට අවතීර්ණ වුණා.
27. (අ) ඊජිප්තුව බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ලබන ජාතියක් බවට පත් වූයේ කෙසේද? (ආ) දකුණු දිශාවේ රජගේ තත්වයට පැමිණියේ කවුද?
27 එහෙත්, නවීන දින දකුණු දිශාවේ රජගේ අනන්‍යතාව කුමක්ද? බ්‍රිතාන්‍යය අධිරාජ්‍යමය බලය අත් කරගත්තේ, 17වන සියවසේදී බව ඉතිහාසය පෙන්වනවා. බ්‍රිතාන්‍යයේ වෙළඳ මාර්ග කඩාකප්පල් කිරීමේ අටියෙන්, Iවන නැපෝලියන් 1798දී, මිසරය ජයගත්තා. ඒ සමඟම යුද්ධය ඇරඹුණු අතර, බ්‍රිතාන්‍යය-ඔටොමන් මිත්‍ර සන්ධානය ප්‍රංශ ජාතිකයන්ව අරගලයේ ආරම්භයේදීම දකුණු දිශාවේ රජ බවට ඔප්පු වූ මිසරයෙන් එළවා දැම්මා. ඊළඟ සියවස්වලදී, මිසරයේ බ්‍රිතාන්‍යය බලපෑම වැඩි වෙන්න පටන්ගත්තා. වර්ෂ 1882න් පසු, මිසරය ඇත්තෙන්ම බ්‍රිතාන්‍යය යටතේ පැවති දේශයක් වුණා. වර්ෂ 1914දී, Iවන ලෝක මහා සංග්‍රාමය ඇරඹෙද්දී, ඊජිප්තුව තුර්කියට අයිතිව තිබූ අතර, ක’ඩීව්වරයෙක් නැතහොත් ප්රතිරාජයෙක් මගින් පාලනය වුණා. කෙසේවෙතත්, යුද්ධයේදී තුර්කිය ජර්මනියේ පැත්ත ගත්තාට පසුව, බ්‍රිතාන්‍යය ක’ඩීව්වරයාව එම ධුරයෙන් පහ කර, ඊජිප්තුව බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබන ජාතියක් බවට ප්‍රකාශ කළා. ක්‍රමානුකූලව කිට්ටු සබඳතා පවත්වමින්, බ්‍රිතාන්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය එංගලන්ත-අමෙරිකානු ලෝක බලය බවට පත් වුණා. ඔවුන් එක්ව, දකුණු දිශාවේ රජගේ තත්වයට පැමිණියා.
[පාදසටහන්වල]
a “උතුරු දිශාවේ රජු” සහ “දකුණු දිශාවේ රජ” යන නිලයන් පදවි නාම වන නිසා, රජෙක්, රැජිනක් හෝ ජාතීන් කණ්ඩායමක් ඇතුළු, ඕනෑම පාලන ක්‍රමයක් හැඳින්වීමට ඒවා යොමු දැක්විය හැකියි.
b The Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව (ඉංග්‍රීසියෙන්) යන්නෙහි දානියෙල් 11:26හි පාදසටහන බලන්න.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• උතුරු දිශාවේ රජු ලෙස නැඟී සිටි මුල්ම රෝමානු අධිරාජ්‍යයා කවුද? එමෙන්ම, ඔහු ‘ආදායම් අයකරන්නෙකුව’ යැව්වේ කවදාද?
• ඔගස්ටස්ට පසුව, උතුරු දිශාවේ රජුගේ තත්වය අත් කරගත්තේ කවුද? එමෙන්ම, ‘ගිවිසුමේ අධිපතියාව බිඳී ගියේ’ කෙසේද?
• උතුරු දිශාවේ රජු වූ ඕරීලියන් අධිරාජ්‍යයා සහ දකුණු දිශාවේ රජ වූ ස’නෝබියා රැජින අතරේ සිදු වූ අරගලයේ ප්‍රතිඵලය කුමක් වීද?
• රෝම අධිරාජ්‍යයට සිදු වූයේ කුමක්ද? එමෙන්ම දහ-නවවන සියවසේ අවසානය වෙද්දී, රජුන් දෙදෙනාගේ තත්වයන් දැරුවේ කිනම් බලයන් විසින්ද?
[248-251වන පිටුවේ කොටුව⁄පින්තූරය]
එක්කෙනෙකුට ගරු කරයි, අනිකාව නීච කොට සලකයි
එක් අයෙක් ආරවුලින් පිරි ජනරජයක් ලෝක අධිරාජ්‍යයක් බවට පෙරළයි. අනික් තැනැත්තා අවුරුදු 23ක කාලයක් තුළ එහි ධනය විසි ගුණයකින් වැඩි කරයි. එක් අයෙක් මැරෙන විට ගෞරවය ලැබුවත්, අනික් තැනැත්තා මැරෙන විට නීච කොට සලකයි. රෝමයේ මේ අධිරාජ්‍යයන් දෙදෙනාගේ පාලන කාලය යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය පැවති කාලය පුරා දිවයයි. ඔවුන් කවුරුන් වීද? එක් අයෙක් ගෞරවය ලබද්දී, අනික් තැනැත්තාට එය නොලැබුණේ මන්ද?
ඔහු “ගඩොල් රෝමය කිරිගරුඬින් සරසා සමුගනී”
පොදු යුගයට පෙර 44දී, ජූලියස් සීසර්ව මරා දැමූ විට, ඔහුගේ සහෝදරීගේ මුනුපුරා වූ ගායස් ඔක්ටේවියන්ට වයස අවුරුදු 18ක් වූවා පමණයි. ජූලියස් සීසර්ගේ හදාගත් පුත්‍රයා මෙන්ම ප්‍රධාන පෞද්ගලික උරුමක්කාරයා හැටියට තරුණ ඔක්ටේවියන් තම උරුමය ලබාගැනීමට රෝමයට පැමිණියා. එහිදී, ඔහු දරුණු විරුද්ධවාදියෙක් වූ සීසර්ගේ ප්‍රධාන ලුතිනන්වරයා මෙන්ම රජකම ලැබීමේ අපේක්ෂාවෙන් සිටි ප්‍රධාන තැනැත්තා වූ මාර්ක් ඇන්ටනි හා මුහුණට මුහුණලා සිටියා. දේශපාලන කුමන්ත්‍රණ සහ බල අරගලය එතැන් සිට අවුරුදු 13ක් පුරා පැවතුණා.
ඔක්ටේවියන් රෝමයේ අවිවාදී පාලකයා බවට පත් වූයේ, (පො.යු.පෙ. 31දී) මිසරයේ රැජින වූ ක්ලියොපැට්රා සහ ඇගේ පෙම්වතා වූ මාර්ක් ඇන්ටනිගේ සංයුක්ත හමුදා පරාජය කිරීමෙන් පසුවයි. ඊළඟ අවුරුද්දේදී, ඇන්ටනි සහ ක්ලියොපැට්රා දිවි නසාගත් විට, ඔක්ටේවියන් මිසරයත් තමාට ඈඳාගත්තා. මෙසේ, ග්‍රීක අධිරාජ්‍යයේ අවසාන ලාංඡනයද ඉවත් කළ අතර, රෝමය ලෝක අධිරාජ්‍යය බවට පත් වුණා.
හිතුමතේට පාලනය කිරීම නිසා ජූලියස් සීසර්ව ඝාතනයට ලක් වූ බව ඔක්ටේවියන්ගේ මතකයේ තිබූ නිසා, එම වරද නැවත නොකරන්න ඔක්ටේවියන් වගබලා ගත්තා. ජනරජයකට පක්ෂව තිබූ රෝම හැඟීම්වලට එරෙහිව නොගොස්, ඔහු තම ඒකාධිපති පාලනය ජනරජයක පාලනය නමැති ව්‍යාජ වේශයෙන් ගෙන ගියා. ඔහු “රජ” සහ “ඒකාධිපති” යන තනතුරු පවා ප්‍රතික්ෂේප කළා. තවත් පියවරක් ඔබ්බට යමින්, සියලුම පළාත්වල බලය සෙනෙට් සභාවට පිරිනමන්න යන බවත්, ඔහුගේ තනතුරුවලින් ඉවත් වෙන්න යන බවත් ඔහු කියා සිටියා. මේ උපාය සාර්ථක වුණා. ඔක්ටේවියන්ට ඔහුගේ තනතුරේ රැඳී සිටින්න කියාත්, සමහර පළාත් දිගටම පාලනය කරන්න කියාත් කෘතඥපූර්වක සෙනෙට් සභාව ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටියා.
ඊට අමතරව, පො.යු.පෙ. 27, ජනවාරි 16වනදා, සෙනෙට් සභාව ඔක්ටේවියන්ට “ඔගස්ටස්” යන නාමය පිරිනැමුවා. එහි අර්ථය නම්, “උත්කෘෂ්ට, පරිශුද්ධ වූ” යන්නයි. ඔක්ටේවියන් එම තනතුරු පිළිගත්තා පමණක් නොවෙයි, අගෝස්තු යනුවෙන් ඔහුගේ නමින් මාසයක් නම් කළ අතර, ජූලියස් සීසර් වෙනුවෙන් නම් කළ මාසය වන ජූලි මාසයේ දින ගණනට සමාන කරගැනීම සඳහා පෙබරවාරි මාසයෙන් දිනයක්ද ඊට ඈඳාගත්තා. මෙසේ, ඔක්ටේවියන් රෝමයේ පළමුවන අධිරාජ්‍යයා බවට පත් වූ අතර, එතැන් සිට ඔගස්ටස් සීසර් නැතහොත් “උත්කෘෂ්ට තැනැත්තා” ලෙස හැඳින්වුවා. පසු කාලයේදී, “පොන්ටිෆෙක්ස් මැක්සිමස්” (උත්තම පූජක) යන තනතුරද තමාට ආරූඪ කරගත්තා. ඉන්පසු, යේසුස් උපන් අවුරුද්ද වූ, පො.යු.පෙ. 2දී, පේටර් පාට්රියායි හෙවත් “සිය රටේ පියා” යන තනතුර සෙනෙට් සභාව ඔහුට දුන්නා.
එම අවුරුද්දේදීම, “මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. . . . සියල්ලෝ ලියවෙන්ට තම තමුන්ගේ නුවරවලට ගියෝය.” (ලූක් 2:1-3) මේ නියෝගයේ ප්‍රතිඵලයක් හැටියට, බයිබල් අනාවැකි ඉටු කරමින් යේසුස් බෙත්ලෙහෙමේදී ඉපදුණා.—දානියෙල් 11:20; මීකා 5:2.
ඔගස්ටස් යටතේ වූ ආණ්ඩුව, යම් අවංකකමක් මෙන්ම ස්ථාවර ව්‍යවහාර මුදලක් තිබූ ආණ්ඩුවක් බවට ප්‍රසිද්ධ වුණා. ඔගස්ටස් කාර්යක්ෂම තැපැල් ක්‍රමයක් පිහිටෙවූ අතර, පාරවල් සහ පාලම් ගොඩනැඟුවා. ඔහු හමුදාව ප්‍රතිසංවිධානය කළා. ස්ථිර නාවික හමුදාවක් සකස් කළා. ප්රේටෝරියන් මුරකරුවන් නමින් උසස් රාජකීය මුර කණ්ඩායමක් පිහිටෙව්වා. (පිලිප්පි 1:13, NW) ඔහුගේ අනුග්‍රහය යටතේ වර්ජල් සහ හොරස් වැනි ලේඛකයන් වැජඹුණා. එමෙන්ම, මූර්ති ශිල්පීන් සම්භාව්‍ය කලාව ලෙස දැන් හඳුන්වන අලංකාර කලා නිර්මාණ බිහි කළා. ජූලියස් සීසර්ට අවසන් කිරීමට නොහැකි වූ ගොඩනැඟිලි ඔගස්ටස් සම්පූර්ණ කළ අතර, බොහෝ දේවාල අලුත්වැඩියා කළා. ඔහු හඳුන්වා දුන් පැක්ස් රොමානා (“රෝම සාමය”) අවුරුදු 200කට වඩා වැඩි කාලයක් පුරා පැවතුණා. පොදු යුගයේ 14, අගෝස්තු 19වනදා, වයස අවුරුදු 76දී ඔගස්ටස් මියගිය අතර, පසුව දේවත්වයෙන් සැලකුවා.
තමා ‘ගඩොල් රෝමය කිරිගරුඬින් සරසා සමුගන්නා’ බවට ඔගස්ටස් උදම් ඇනුවා. කලින් ජනරජයේ ආරවුලින් පිරි දවස්වලට නැවත රෝමය නොයන පිණිස, මීළඟ අධිරාජ්‍යයාව සූදානම් කිරීමට ඔහුට ඕනෑ කළා. එහෙත්, අනුප්‍රාප්තිකයෙක් සම්බන්ධයෙන් ඔහුට තිබුණේ සුළු තේරීමක් පමණයි. ඔහුගේ ඥාති පුත්‍රයා, මුනුපුරන් දෙදෙනා, බෑනා කෙනෙක් සහ සුළු පුත්‍රයෙක් යන සියලුදෙනාම මියගියේ, අවසානයේදී ටයිබීරියස් නම් වූ ඔහුගේ සුළු පුත්‍රයාට පමණක් ඒ තැන ගැනීමට ඉඩ තබායි.
‘නීචයා’
ඔගස්ටස්ගේ මරණයෙන් මාසයකටත් වඩා අඩු කාලයකදී, රෝම සෙනෙට් සභාව 54 හැවිරිදි ටයිබීරියස්ව අධිරාජ්‍යයා ලෙස නම් කළා. ටයිබීරියස් පො.යු. 37 මාර්තු මාසයේදී තම මරණය තෙක් පාලනය කළා. මේ අනුව, යේසුස්ගේ ප්‍රසිද්ධ දේවසේවා කාලය පුරා රෝම අධිරාජ්‍යයා වූයේ ඔහුයි.
අධිරාජ්‍යයෙක් හැටියට, ටයිබීරියස් සුචරිතවත් මෙන්ම දුෂ්චරිතවත්ද වුණා. සුඛෝපභෝගී දේවල් සඳහා මුදල් වියදම් කිරීමට පසුබට වීම ඔහුගේ සුචරිතවත් ක්‍රියා අතර වුණා. ප්‍රතිඵලයක් හැටියට, අධිරාජ්‍යය සමෘද්ධිමත් වූ අතර, විපත් සහ දුෂ්කර කාලවලින් ගොඩ ඒම සඳහා අවශ්‍ය අරමුදල් ඔහුට තිබුණා. තවත් හොඳ ගුණාංගයක් වූයේ, ටයිබීරියස් තමාව නිකම්ම මිනිසෙක් ලෙස සැලකීමයි. බොහෝ ගරු නම්බු නාම ඔහු ප්‍රතික්ෂේප කළ අතර, අධිරාජ්‍යය වන්දනාව තමන් ලබනවා වෙනුවට කෙළින්ම ඔගස්ටස්ට යොමු කළා. ඔහු ඔගස්ටස් සහ ජූලියස් සීසර් ඔවුනොවුන් වෙනුවෙන් කරගත්තාක් මෙන් අවුරුද්දෙන් මාසයක් තමන්ගේ නමින් පිහිටුවාගත්තේවත්, ඒ ආකාරයට තමන්ට ගෞරව කරන්න අනුන්ට ඉඩ දුන්නේවත් නැහැ.
කෙසේවෙතත්, ටයිබීරියස්ගේ දුෂ්චරිතය සුචරිතය ඉක්මවා ගියා. අනිත් අය සමඟ කටයුතු කිරීමේදී, ඔහු කුහක වූ අතර, අන් අයව අතිශයින්ම සැක කළා. ඔහුගේ පාලන සමය තුළදී, ඝාතන කිරීම සඳහා අණ දීම් ගහනව පැවති අතර, ගොදුරු අතර ඔහුගේ පැරණි මිතුරන් බොහෝදෙනෙක් සිටි බවට සැලකෙනවා. ද්‍රෝහි ක්‍රියාවලට අමතරව, පාලකයන්ට විරුද්ධව අපහාස වචන ප්‍රකාශ කිරීම පවා ඇතුළත් කරමින් ලේස් මැජස්ටි (රාජශ්‍රීයට අවමන් කිරීම) ව්‍යවස්ථාව තවත් පුළුල් කළා. මේ ව්‍යවස්ථාවෙන් ධෛර්යය ලැබූ යුදෙව්වන් යේසුස්ව මරන්න රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ව පීඩනයට ලක් කළා.—යොහන් 19:12-16.
ටයිබීරියස්, නගරයේ උතුරු පවුරුවල ශක්තිමත් හමුදා බැරැක්ක සාදමින් රෝමයට ළඟින්ම ප්රේටෝරියන් මුරකාවල් රැස් කළා. මුරකරුවන් අසල සිටීම රෝම සෙනෙට් සභාව භයට පත් කළ අතර, එය ඔහුගේ බලයට තර්ජනයක් වූ රෝම සෙනෙට් මණ්ඩලය බියගැන්වූ අතර, ජනයාගේ ඕනෑම නොහික්මුණුකමක් මර්දනය කළා. ටයිබීරියස් ඔත්තු සැපයීමේ ක්‍රමයට දිරි දුන් අතර, ඔහුගේ පාලනයේ අවසන් කාලය භීෂණ සමයක් වුණා.
ටයිබීරියස් මැරුණු වකවානුවේදී, ඔහුව සැලකුවේ කෲර ඒකාධිපතියෙක් ලෙසයි. ඔහු මැරුණු විට රෝමය සතුටු වූ අතර, ඔහුව දේවත්වයෙන් සැලකීම සෙනෙට් සභාව ප්‍රතික්ෂේප කළා. මේවා සහ තවත් හේතූන් නිසා, “උතුරු දිශාවේ රජ” හැටියට “නීචයෙක් නැගිටින්නේය” යන අනාවැකිය ටයිබීරියස් තුළින් ඉටු වූ අයුරු අපි දකිනවා.—දානියෙල් 11:15, 21.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• ඔක්ටේවියන් රෝමයේ මුල් අධිරාජ්‍යයා බවට පත් වූයේ කෙසේද?
• ඔගස්ටස්ගේ ආණ්ඩුව මගින් අත් කරගත් දේවල් ගැන කුමක් කිව හැකිද?
• ටයිබීරියස්ගේ සුචරිත සහ දුෂ්චරිත ක්‍රියා මොනවාද?
• “නීචයෙක්” පිළිබඳ අනාවැකියේ ඉටුවීම ටයිබීරියස් තුළින් දකින්නේ කෙසේද?
[පින්තූරය]
ටයිබීරියස්
[252-255වන පිටුවේ කොටුව⁄පින්තූර]
ස’නෝබියා—පැල්මයිරාවේ රණශූර රැජින
“ඇගේ සම රන්වන් පැහැතිය . . . දත් දෙපළ මුතු කැට මෙන්ය. ඇගේ විශාල, කළුවන් දෙනෙත් මාණික්‍යයන් මෙන් දීප්තිමත්ව බැබළුණු අතර, ඒවායේ තියුණුබව අඩු කළේ, ඊට මුසුව තිබූ මන බඳන ප්රියකරුබවයි. ඇගේ කටහඬ ප්‍රබල මෙන්ම සුමිහිරියි. පුරුෂයෙකු බඳු ඇගේ තේරුම්ගැනීමේ හැකියාව ශක්තිමත් කළේ මෙන්ම අලංකාර කළේ ඈ සතු වූ අධ්‍යාපනයයි. ලතින් මෙන්ම, ග්‍රීක්, සිරියානු සහ මිසර භාෂාවලද ඇය එක හා සමානව නිපුණව සිටියාය.” ඉතිහාසඥ එඩ්වඩ් ගිබන් එලෙස පැසසුමට ලක් කළේ, පැල්මයිරාව නම් සිරියානු නගරයෙහි රණශූර රැජිනව සිටි ස’නෝබියාවයි.
ස’නෝබියාගේ පුරුෂයා වූයේ, පැල්මයිරාවේ වංශාධිපතියෙක්ව සිටි ඕඩිනේතස්. පොදු යුගයේ 258දී, ඔහුව රෝමයේ කොන්සල් ධුරයට උසස් කරනු ලැබුවා. මෙසේ කළේ, ඔහු රෝම අධිරාජ්‍යය වෙනුවෙන් පර්සියාවට විරුද්ධව සාර්ථක යුධ ව්‍යාපාරයක යෙදුණු නිසායි. අවුරුදු දෙකකට පසුව, පර්සියාවේ Iවන ෂාපූර්ට එරෙහිව ලැබූ ජයග්‍රහණය නිමිත්තෙන් රෝම අධිරාජ්‍යයා වූ ගැලීනස්, කොරෙක්ටෝ ටෝට්යුස් ඕරියෙන්ටිස් (පෙරදිග ලෝකයටම ආණ්ඩුකාරයා) යන පදවිය ඕඩිනේතස්ට පිරිනැමුවා. කාලයාගේ ඇවෑමෙන්, “රජවරුන්ගේ රජ” යන පදවි නාමය ඕඩිනේතස් තමාටම ආරූඪ කරගත්තා. ඕඩිනේතස්ගේ මේ සාර්ථකත්වයන්ට, ස’නෝබියාගේ දූරදර්ශීබව සහ ධෛර්යය විශාල වශයෙන් හේතු වෙන්න ඇති.
අධිරාජ්‍යයක් පිහිටුවීමට ස’නෝබියාගේ අදිටන
ඕඩිනේතස්ගේ පාලනයේ උච්චාවස්ථාව වූ පො.යු. 267දී, ඕඩිනේතස්වද ඔහුගේ ඔටුන්න හිමි පුත්‍රයාවද ඝාතනය කරනු ලැබුවා. ස’නෝබියාගේ පුත්‍රයා ඒ වෙද්දී ළාබාල වයසක සිටි නිසා ඇය තම පුරුෂයාගේ ස්ථානය හිමි කරගත්තා. රූපසම්පන්න මෙන්ම අභිලාෂකාමී වූ ඇය, පාලනය කිරීම සම්බන්ධයෙන් දක්ෂතාවක් පෙන්වූ අතර, තම පුරුෂයා සමඟ යුධ ව්‍යාපාරවල යෙදීමට හුරු පුරුදු වී සිටියා. එමෙන්ම, භාෂා කිහිපයක්ම කතා කිරීමේ හැකියාවද ඇයට තිබූ අතර, තම යටත් වැසියන්ගේ ගෞරවය සහ සහයෝගය දිගටම පවත්වාගැනීමටද ඇය සමත් වුණා. ස’නෝබියා ඉගෙනගැනීමට මහත් ආශාවක් දැක්වූ අතර, බොහෝ දැන උගත් පුද්ගලයන්ගෙන් තමාවම වට කරගෙන සිටියා. දාර්ශනිකයෙක් සහ කථිකාචාර්යවරයෙක්ව සිටි කැසියස් ලොන්ජීනස් ඇගේ උපදේශකයෙක් ලෙස ක්‍රියා කළ අතර ඔහු, “ජීවමාන පුස්තකාලයක් සහ ඇවිදින කෞතුකාගාරයක්” ලෙස නම් දැරුවා. පැල්මයිරාව සහ එහි අධිරාජ්‍යය—රෝමයට එදිරිව ස’නෝබියාගේ කැරැල්ල (ඉංග්‍රීසියෙන්) නම් පොතේ කර්තෘ වූ රිචඩ් ස්ටෝන්මන් මෙසේ සඳහන් කරනවා: “ඕඩිනේතස්ගේ මරණයෙන් පසුව ගත වූ මුල් අවුරුදු පහ ඇතුළත . . . ස’නෝබියා පෙරදිග ලෝකයේ මහේශිකාව ලෙස වූ ඇගේ තත්වය, තම ජනයාගේ සිත්වල තහවුරු කර තිබුණා.”
ස’නෝබියා තම පුරුෂයා සමඟ එක්ව බල හීන තත්වයකට පත් කළ පර්සියාව ඇගේ රාජධානියේ එක් පැත්තකින්ද බිඳ වැටෙමින් පැවති රෝමය අනික් පැත්තෙන්ද තිබුණා. රෝම අධිරාජ්‍යය තුළ එදා පැවති තත්වය සම්බන්ධයෙන් ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් මෙසේ පවසනවා: “තුන්වන ශතවර්ෂය තුළදී . . . රෝමයේ නැඟෙනහිර සහ බටහිර දේශ සීමාවල ඉතා දරුණු සිද්ධීන් සිදු වූ අතර, රෝමය තුළ අනුප්රාප්තිකයන් ගැන මතභේද මෙන්ම, සිවිල් යුද්ධවලින් පිරි නව යුගයක් බිහි වුණා. (හිමිකම් ව්‍යාජ ලෙස මවා පෙන්වූ අයට අමතරව) අධිරාජ්‍යවරුන් විසිදෙදෙනෙක් පාලනය කර නොපෙනී ගියා.” නමුත් ඊට වෙනස්ව, සිරියානු මහේශිකාව ඇගේ රාජධානිය තුළ ස්ථිර ලෙස ස්ථාපිතව සිටි ස්වාධීන රැජිනක්ව සිටියා. “අධිරාජ්‍යයන් දෙකක් [පර්සියාව සහ රෝමය] අතර බල තුලනයට හේතු වෙමින්, ඒ දෙකම කෙරෙහි සෑහෙන බලපෑමක් කළ හැකි තුන්වන එකක් බිහි කිරීමට ඇගේ ඉලක්කය වී තිබුණා” කියා ස්ටෝන්මන් නිරීක්ෂණය කරනවා.
පොදු යුගයේ 269දී මිසරයේ, ව්‍යාජ හිමිකම් මවා පෙන්වූ පුද්ගලයෙක් රෝම පාලනයට විරුද්ධව නැඟී සිටියා. මෙය තම බලය වැඩි කරගැනීම සඳහා ස’නෝබියාට ප්‍රස්තාවක් ලබා දුන්නා. ස’නෝබියාගේ හමුදා පිරිස විගස මිසරයට ඇතුල් වී කැරලිකාරයාව සම්පූර්ණයෙන්ම මර්දනය කළ අතර, ප්‍රදේශයම තම ග්‍රහණයට හසු කරගත්තා. තමා මිසරයේ රැජිනයයි ප්‍රකාශ කරමින් ඇගේ නමින් කාසිද සෑදුවා. ඇගේ රාජධානියේ සීමා මෙලෙස නයිල් ගඟ පටන් යුප්‍රටීස් ගඟ දක්වා ව්‍යාප්ත වුණා. ‘දකුණු දිශාවේ රජුගේ’ තත්වය ස’නෝබියාට හිමි වුණේ, ඇගේ ජීවිතයේ මෙම සන්ධිස්ථානයේදීයි.—දානියෙල් 11:25, 26.
ස’නෝබියාගේ අගනුවර
ස’නෝබියා, තම අගනුවර වූ පැල්මයිරාව කොතරම් ශක්තිමත් කළාද අලංකාරවත් කළාද කිව්වොත් එය රෝම ලෝකයේ වඩාත්ම විශාල නුවරවල් අතරෙහිලා ගණන් ගනු ලැබුවා. දළ වශයෙන් ගත් කල එහි ජනගහනය 1,50,000 ඉක්මවා ගියා. කිලෝමීටර් 21ක වට ප්‍රමාණයකින් යුත් එහි පවුර ඇතුළත, තේජාන්විත වූ ප්‍රසිද්ධ ගොඩනැඟිලි, දේවාල, උයන්, කුලුනු, ස්මාරක යනාදියෙන් පිරුණු නගරයක් පිහිටා තිබුණා. මීටර් 15කට වඩා උස් වූ කොරින්තීය වර්ගයේ කුලුනු 1,500කින් පමණ සෑදුණු ද්වාරමණ්ඩප එහි ප්‍රධාන මාර්ගය ඔස්සේ දක්නට තිබුණා. රණවිරුවන්ගේ සහ නගරයට යම් පරිත්‍යාගයන් කර තිබූ ධනවතුන්ගේ ප්‍රතිමා මෙන්ම උඩුකය රූප නගරය පුරාම ඉදි කෙරුණා. පොදු යුගයේ 271දී, ස’නෝබියා ඇගේ මෙන්ම ඇගේ මියගිය පුරුෂයාගේ ප්‍රතිමා ඉදි කළා.
සූර්ය මාළිගාව, පැල්මයිරාවේ අලංකාරතම ගොඩනැඟිලිවලින් එකක් වූ අතර, කිසිම සැකයක් නැතුව එය නගරයේ ආගමික කාරණාවලදී ප්‍රධාන තැනක් ගන්න ඇති. තවද සූර්ය දෙවිට සම්බන්ධ දෙවියෙකුට හෝ දේවතාවියකට ස’නෝබියාත් නමස්කාර කරන්න ඇති. කෙසේවෙතත් තුන්වන ශතවර්ෂයේ, සිරියාවේ ආගම් බොහෝමයක් පැවතුණා. ස’නෝබියාගේ රාජධානිය තුළ නාමික ක්‍රිස්තියානීන්, යුදෙව්වරුන් සහ හිරුට මෙන්ම සඳුට නමස්කාර කළ අයද සිටියා. ඇගේ ප්‍රදේශයේ පැවතුණු විවිධාකාර නමස්කාර ක්‍රම සම්බන්ධයෙන් ඇය දැරූ ආකල්පය කුමක්ද? ස්ටෝන්මන් නම් කර්තෘවරයා මෙසේ නිරීක්ෂණය කරනවා: “තම ජනයා යෝග්‍ය සේ සලකන කිසිම සිරිතක් ප්‍රඥාවන්ත පාලකයෙක් විසින් නොසලකා හරින්නේ නැහැ. . . . පැල්මයිරාවට පක්ෂව දෙවිවරුන් . . . එක්රැස් වී සිටියා කියා විශ්වාස කළා.” පෙනෙන ආකාරයට ස’නෝබියා ආගමික නිදහසට ඉඩහැරියා.
තම සිත් ඇදගන්නා පෞද්ගලිකත්වය මගින් ස’නෝබියාට බොහෝදෙනෙකුගේ සිත් දිනාගැනීමට හැකි වුණා. වඩාත් වැදගත් දෙය වූයේ, දානියෙල්ගේ අනාවැකියේ පුරෝකථනය කළ දේශපාලනික අධිරාජ්‍යය නියෝජනය කරමින් ඇය ඉටු කළ කාර්යභාරයයි. කෙසේවෙතත්, ඇගේ පාලනය අවුරුදු පහකට වඩා පැවතුණේ නැහැ. රෝම අධිරාජයා වූ ඕරීලියන් පො.යු. 272දී, ස’නෝබියාව පරාජය කළා. පසුව, නැවත ගොඩනැඟීමට නොහැකි වන පරිද්දෙන් පැල්මයිරාව විනාශ කළා. ස’නෝබියාගේ ජීවිතයට හානි පැමිණෙව්වේ නැහැ. ඇය රෝමානු සෙනෙට් සභාවේ සාමාජිකයෙක් හා විවාහ වූ බව කියැවෙන අතර, ජීවිතාන්තය දක්වාම එහි කල් ගෙවූ බව සිතාගත හැකියි.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• ස’නෝබියාගේ පෞද්ගලිකත්වය විස්තර කර ඇත්තේ කෙසේද?
• ස’නෝබියාගේ වීර ක්‍රියා සමහරක් සඳහන් කරන්න.
• ආගම සම්බන්ධයෙන් ස’නෝබියාගේ ආකල්පය කුමක් වීද?
[පින්තූරය]
ස’නෝබියා රැජින තම සෙබළුන්ව අමතමින්
[246වන පිටුවේ වගුව⁄පින්තූර]
දානියෙල් 11:20-26 දක්වා සඳහන් රජවරුන්
උතුරු දිශාවේ දකුණු දිශාවේ
රජු රජ
දානියෙල් 11:20 ඔගස්ටස්
දානියෙල් 11:21-24 ටයිබීරියස්
දානියෙල් 11:25, 26 ඕරීලියන් ස’නෝබියා රැජින
රෝම අධිරාජ්‍යයේ ජර්මානු බ්‍රිතාන්‍යය,
පුරෝකථනය කළ අධිරාජ්‍යය පසුව
බිඳී යෑම එංගලන්ත-අමෙරිකානු
මඟ පෑදුවේ ලෝක බලය
සකස් කිරීමකටයි
[පින්තූරය]
ටයිබීරියස්
[පින්තූරය]
ඕරීලියන්
[පින්තූරය]
ෂාලමේන්ගේ කුඩා ප්‍රතිමාව
[පින්තූරය]
ඔගස්ටස්
[පින්තූරය]
17වන සියවසට අයත් බ්‍රිතාන්‍ය යුධ නැව
[230වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[233වන පිටුවේ පින්තූරය]
ඔගස්ටස්
[234වන පිටුවේ පින්තූරය]
ටයිබීරියස්
[235වන පිටුවේ පින්තූරය]
ඔගස්ටස්ගේ ආඥාව නිසා, යෝසෙප් සහ මරියාට බෙත්ලෙහෙමට යෑමට සිදු වුණා
[237වන පිටුවේ පින්තූරය]
පුරෝකථනය කළ ලෙස මරණය මගින් යේසුස්ව “බිඳී” ගියා
[245වන පිටුවේ පින්තූර]
1. ෂාලමේන් 2. Iවන නැපෝලියන් 3. Iවන විල්හෙල්ම් 4. Iවන ලෝක මහා සංග්‍රාමයේදී, ජර්මානු භටයෝ