‘ගැළවෙන්නේ’ කවුද?
“යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ.”—ක්‍රියා 2:21, NW.
1. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවස ලෝක ඉතිහාසයේ සුවිශේෂ දවසක් වූයේ ඇයි?
පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවස ලෝක ඉතිහාසයේ සුවිශේෂ දවසක් වුණා. එයට හේතුව? ඒ දවසේදී අලුත් ජාතියක් උපත ලැබීමයි. මුලදී එය එතරම් විශාල ජාතියක් වුණේ නැහැ; යෙරුසලමේ උඩුමහල් කාමරයක එක්රැස් වී සිටි යේසුගේ ගෝලයන් 120දෙනා පමණයි එයට අයත් වුණේ. නමුත් එදා සිට පැවතුණු බොහෝ ජාතීන්ව අද අමතක වී ගොස් තිබුණත්, ඒ උඩුමහල් කාමරයේ උපත ලැබූ ජාතිය තවමත් අප සමඟ සිටිනවා. මනුෂ්‍යවර්ගයා ඉදිරියේ තම සාක්ෂිකාරයා වීමට දෙවි පත් කළ ජාතිය මෙම ජාතිය වන නිසා මේ කාරණය අපි සියලුදෙනාටම අතිශය වැදගත්කමකින් යුත් දෙයක් වෙනවා.
2. අලුත් ජාතියේ උපත සනිටුහන් කළේ කිනම් ආශ්චර්යවත් සිද්ධීන් මගින්ද?
2 මේ අලුත් ජාතියේ පැවැත්ම ආරම්භ වූ අවස්ථාවේදී යෝවෙල්ගේ අනාවැකිමය වදන්වල ඉටුවීමක් හැටියට වැදගත් සිදුවීම් සිදු වුණා. මේ සිදුවීම් ගැන ක්‍රියා 2:2-4 දක්වා අපට මෙසේ කියවීමට තිබෙනවා: “තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, [ආත්මය] ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.” ඒ ආකාරයට ඒ විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් 120දෙනා, පසු කලෙක ප්‍රේරිත පාවුල් ‘දෙවිගේ ඉශ්රායෙල්’ යනුවෙන් හැඳින්වූ අයගේ මුල්ම සාමාජිකයන්ගෙන් යුත් ආත්මික ජාතියක් බවට පත් වුණා.—ගලාති 6:16.
3. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී ඉටු වූයේ යෝවෙල්ගේ කිනම් අනාවැකියද?
3 මේ “තද හුළඟ” ගැන සොයා බලන්න සෙනඟ රැස් වූ අතර, යෝවෙල්ගේ එක් අනාවැකියක් ඉටු වෙමින් පවතින බව ප්‍රේරිත පේතෘස් ඔවුන්ට පැහැදිලි කළා. කුමන අනාවැකියද? හොඳයි, ඔහු පැවසූ දෙයට සවන් දෙන්න: “අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය, නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය. තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි. [යෙහෝවාගේ] මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය. [යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ, NW].” (ක්‍රියා 2:17-21) පේතෘස් උපුටා දැක්වූ වදන් යෝවෙල් 2:28-32හි සොයාගත හැකි අතර, ඒවායේ ඉටුවීමෙන් අදහස් කළේ යුදෙව් ජාතිය සඳහා තිබෙන කාලය ගෙවී යමින් තිබූ බවයි. ‘යෙහෝවාගේ මහත් වූ තේජවත් වූ දවස,’ එනම් නොඇදහිලිවන්ත ඉශ්‍රායෙල්ගෙන් ගණන්ගැනීමක් කරන කාලය ළංව තිබුණා. නමුත් බේරෙන්නේ එහෙම නැත්නම් ගැළවෙන්නේ කවුද? එමෙන්ම එයින් පෙරඡායාවක් කොට දැක්වූයේ කුමක්ද?
අනාවැකියේ ඉටුවීම් දෙකක්
4, 5. ළං වෙමින් තිබූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් පේතෘස් කිනම් උපදෙස් දුන්නාද? එමෙන්ම එම උපදෙස්වලට ඔහුගේ දවස් ඉක්මවා අදාළ වීමක් තිබුණේ ඇයි?
4 පොදු යුගයේ 33න් පසු අවුරුදුවල දෙවිගේ ආත්මික ඉශ්රායෙල් සමෘද්ධිමත් තත්වයක සිටියත් මාංසික ඉශ්රායෙල් ජාතිය එවැනි තත්වයක සිටියේ නැහැ. මාංසික ඉශ්රායෙල් පො.යු. 66දී රෝමය සමඟ යුද්ධයක පටලැවී සිටියා. පොදු යුගයේ 70දී ඉශ්රායෙල් සම්පූර්ණයෙන්ම වගේ පැවැත්මෙන් තුරන් වූ අතර, යෙරුසලම එහි දේවමාළිගාව සමඟ පුලුස්සා පොළොවට සමතලා කරනු ලැබුවා. ළං වෙමින් තිබූ ඒ ඛේදවාචකය සැලකිල්ලට ගනිමින් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් කදිම උපදෙස් දුන්නා. නැවතත් යෝවෙල් පොතෙන් උපුටා දක්වමින් ඔහු මෙසේ පැවසුවා: “යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ [NW].” යෙහෝවාගේ නම කියා හඬගැසීම සඳහා සෑම යුදෙව්වෙකුටම පෞද්ගලික තීරණයක් ගන්න සිදු වුණා. තවදුරටත් පේතෘස් දුන් මෙම උපදෙස්වලට අවනත වීම එයට අයත් වුණා: “නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන් බව්තීස්මය ලබන්න.” (ක්‍රියා 2:38) ජාතියක් හැටියට ඉශ්රායෙල් ප්‍රතික්ෂේප කර තිබූ යේසුව මෙසියස් වශයෙන් පිළිගන්න පේතෘස්ට සවන් දෙමින් සිටි අයට සිදු වුණා.
5 යෝවෙල්ගේ ඒ අනාවැකිමය වදන් පළමු සියවසේ සිටි මොළොක්ගුණැති අයට මහත් බලපෑමක් වුණා. කෙසේවෙතත්, 20වන සියවසේ සිදුවීම් මගින් පැහැදිලි වන්නාක් මෙන් යෝවෙල්ගේ අනාවැකියේ දෙවන ඉටුවීමක් සිදු වෙමින් පවතින නිසා අද ඒ වදන්වලට ඊටත් වඩා මහත් බලපෑමක් තිබෙනවා. ඒ කෙසේද කියා අපි බලමු.
6. වර්ෂ 1914 එළඹෙන විට දෙවිගේ ඉශ්‍රායෙල්ගේ අනන්‍යතාව පැහැදිලි වන්න පටන්ගත්තේ කෙසේද?
6 ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු දෙවිගේ ඉශ්රායෙල් බොරු ක්‍රිස්තියානි ධර්මයේ කිරිඳිවලින් වැසී යන්න පටන්ගත්තා. කෙසේවෙතත්, 1914දී ආරම්භ වූ අන්තිම කාලයේදී මේ ආත්මික ජාතියේ අනන්‍යතාව නැවතත් පැහැදිලි වෙන්න පටන්ගත්තා. මේ සෑම දෙයක්ම සිදු වුණේ තිරිඟු සහ කිරිඳි පිළිබඳ යේසුගේ උපමාවේ ඉටුවීමක් ලෙසයි. (මතෙව් 13:24-30, 36-43) වර්ෂ 1914 ළඟා වෙමින් තිබියදී, ආලේප ලත් ක්‍රිස්තියානීන් නිර්භීත ලෙස නොඇදහිලිවන්ත ක්‍රිස්තියානි ලෝකයේ බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් හා “ජාතීන්ගේ නියම කරන ලද කාලවල” අවසානය පැමිණෙමින් තිබූ බව දේශනා කරමින් තමන්ව ඇගෙන් වෙන් කරගන්න පටන්ගත්තා. (ලූක් 21:24, NW) නමුත් 1914දී ඇවිළුණු පළමු ලෝක මහා යුද්ධය මගින් ඔවුන් සූදානම් නොවී සිටි ප්‍රශ්න ඉස්මතු කළා. දැඩි පීඩනය යටතේ බොහෝදෙනෙක් මන්දගාමී වූ අතර, සමහරුන් තම ස්ථාවරය අත්හැරියා. වර්ෂ 1918 වන විට ඔවුන්ගේ දේශනා ක්‍රියාකාරකම් මුළුමනින්ම වාගේ ඇණහිට තිබුණා.
7. (අ) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ සිදු වූ සිද්ධීන්වලට සමාන කිනම් සිදුවීම් 1919දී සිදු වූවාද? (ආ) වර්ෂ 1919 පටන්, යෙහෝවාගේ සේවකයන් මත දෙවිගේ ආත්මය වැගිරවීමේ බලපෑම කුමක් වී තිබෙනවාද?
7 කෙසේවෙතත්, ඒ තත්වය වැඩි කාලයක් පැවතුණේ නැහැ. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනය මතකයට නැඟෙන ආකාරයකින් යෙහෝවා තම සෙනඟ මත 1919 පටන් ඔහුගේ ආත්මය වගුරුවන්න පටන්ගත්තා. වර්ෂ 1919දී අන්‍ය භාෂාවලින් කතා කිරීම හා තද හුළඟක් හැමීම සිදු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ප්රාතිහාර්යයන් සඳහා කාලය බොහෝ කලක සිට පහව ගොස් තිබුණු බව 1 කොරින්ති 13:8හි සඳහන් පාවුල්ගේ වචනවලින් අපි තේරුම්ගෙන තිබෙනවා. නමුත් 1919දී අ.එ.ජ. ඔහායෝ සීඩා පොයින්ට්හි පැවති සමුළුවකදී විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව නැවත ප්‍රාණවත් කර රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය යළි ආරම්භ කළ කාලයේදී දෙවිගේ ආත්මය පැහැදිලිව පෙනුණා. වර්ෂ 1922දී ඔවුන් නැවතත් සීඩා පොයින්ට්හි රැස් වූ අතර, “රජ සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” යනුවෙන් කළ ආයාචනය මගින් මහත් සේ උනන්දු කරනු ලැබුවා. පළමු සියවසේ මෙන් දෙවිගේ ආත්මය වැගිරවීමේ බලපෑම් සැලකිල්ලට ගන්න ලෝකයට බල කරනු ලැබුවා. කැප වූ ක්‍රිස්තියානීන්—පිරිමි සහ ගැහැනු, මහලු සහ තරුණ—සෑම කෙනෙක්ම “අනාගතවාක්‍ය” කියන්න, එනම්, “[දෙවිගේ] බලවත් ක්‍රියා” ප්‍රකාශ කරන්න පටන්ගත්තා. (ක්‍රියා 2:11) පේතෘස් මෙන් ඔවුන් මෘදු අයට මෙසේ අනුශාසනා කළා: “මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්න.” (ක්‍රියා 2:40) ප්‍රතිචාරය දක්වනසුලු අයට එය කළ හැකි වූයේ කෙසේද? යෝවෙල් 2:32හි සොයාගත හැකි යෝවෙල්ගේ මෙම වචනවලට කීකරු වීමෙන්: “යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ [NW].”
8. වර්ෂ 1919 සිට දෙවිගේ ඉශ්රායෙල් සඳහා දේවල් ප්රගතිශීලී ලෙස වර්ධනය වී තිබෙන්නේ කෙසේද?
8 ඒ මුල් අවුරුදුවල සිට දෙවිගේ ඉශ්‍රායෙල්ගේ කටයුතු ඉදිරියට ඇදී තිබෙනවා. ආලේප ලත් අයව මුද්‍රා කිරීම හොඳින් ඉදිරියට ඇදීගොස් තිබෙන බව පෙනෙන අතර, භූමික බලාපොරොත්තුව ඇතුව මොළොක්ගුණැති අයගෙන් යුත් මහත් සමූහයක් 1930 ගණන්වල සිට දර්ශන තලයෙහි පෙනී සිටිනවා. (එළිදරව් 7:3, 9) අපි ඊටත් වඩා භය දනවන යෙහෝවාගේ දවසට ළං වී සිටින බව යෝවෙල් 2:28, 29හි දෙවන ඉටුවීමෙන් පෙන්නුම් කරන නිසා සියලුදෙනාටම හදිසිතාවේ හැඟීමක් දැනෙනවා; ඒ දවසේදී ලොව පුරා පවතින ආගමික, දේශපාලනික සහ වාණිජ දේවල පිළිවෙළ විනාශ කරනු ලබනවා. ඔහු අපිව ගළවාගන්න යන බවට පූර්ණ ඇදහිල්ලෙන් යුතුව ‘යෙහෝවාගේ නම කියා හඬගසන්න’ අපිට සෑම හේතුවක්ම තිබෙනවා!
අපි යෙහෝවාගේ නම කියා හඬගසන්නේ කෙසේද?
9. යෙහෝවාගේ නම කියා හඬගැසීමට අයත් සමහර දේවල් මොනවාද?
9 යෙහෝවාගේ නම කියා හඬගැසීමේදී, එයට අයත් වන්නේ මොනවාද? ඒ ප්‍රශ්නයට උත්තර සැපයීමට යෝවෙල් 2:28, 29හි අවට පාඨ සම්බන්ධය අපට උපකාර කරනවා. උදාහරණයක් හැටියට, තමාට හඬගසන සෑම කෙනෙකුටම යෙහෝවා සවන් දෙන්නේ නැහැ. තවත් අනාගතවක්තෘවරයෙක් වන යෙසායා මාර්ගයෙන් යෙහෝවා ඉශ්රායෙල්ට මෙසේ පැවසුවා: “නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි.” තමන්ගේම ජාතියට සවන් දීම යෙහෝවා ප්‍රතික්ෂේප කළේ ඇයි? ඔහුම එය මෙසේ පැහැදිලි කරනවා: “නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.” (යෙසායා 1:15) ලේ වරද තිබෙන අයට හෝ පාපය පුරුද්දක් ලෙස කරමින් සිටින අයට යෙහෝවා සවන් දෙන්න යන්නේ නැහැ. ඒ නිසයි පසුතැවිලි වෙන්න කියා පේතෘස් පෙන්තකොස්ත දවසේදී යුදෙව්වන්ට පැවසුවේ. යෝවෙල්ද පසුතැවිලි වීම අවධාරණය කරන බව යෝවෙල් 2:28, 29හි පාඨ සම්බන්ධයෙන් අපට සොයාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට යෝවෙල් 2:12, 13හි අපට මෙසේ කියවීමට තිබෙනවා: ‘එහෙත් දැන්වත් නුඹලාගේ මුළු [හෘදයෙන්ද, NW] නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි යෙහෝවා කියන්නේය. එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ [හෘද, NW] ඉරාගෙන, නුඹලාගේ දෙවි වූ යෙහෝවා වෙතට හැරෙන්න. මක්නිසාද ඔහු දයාවන්ත වූ, අනුකම්පාවෙන් පූර්ණ වූ, ඉවසිලිවන්ත වූ, ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය.’ වර්ෂ 1919 පටන් ආලේප ලත් ක්‍රිස්තියානීන් මේ වචනවලට එකඟව ක්‍රියා කළා. ඔවුන් තමන්ගේ අසමත් වීම් ගැන පසුතැවිලි වී, නැවත කිසිදාක ස්ථාවරය අත් නොහැරීමට හෝ මන්දගාමී නොවීමට අධිෂ්ඨාන කරගත්තා. දෙවිගේ ආත්මය වගුරුවනු ලැබීම සඳහා එමගින් මාර්ගය විවෘත කළා. යෙහෝවාගේ නම කියා කරන හඬගැසීමට සවන් දෙනු ලැබීම සඳහා සෑම කෙනෙක්ම එම ක්‍රියාමාර්ගයම අනුගමනය කළ යුතුයි.
10. (අ) සැබෑ පසුතැවිල්ල කියන්නේ කුමක්ද? (ආ) යෙහෝවා සැබෑ පසුතැවිල්ලට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
10 සැබෑ පසුතැවිල්ල කියන්නේ නිකම්ම “මට සමාවෙන්න” කියන දෙයට වඩා වැඩි යමක් බව මතක තබාගන්න. තමන්ගේ හැඟීම්වල ප්‍රබලත්වය පෙන්වීමට ඉශ්රායෙල්වරුන් තමන්ගේ වස්ත්‍ර ඉරාගැනීමට පුරුදු වී සිටියා. නමුත් යෙහෝවා මෙසේ පවසනවා: ‘නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ හෘද ඉරාගන්න.’ සැබෑ පසුතැවිල්ල නික්මෙන්නේ හෘදයෙන්, අපේ ජීවයේ පත්ලෙන්මයි. යෙසායා 55:7හි අපට කියවීමට තිබෙන්නාක් මෙන් අපි වැරදි ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම හැරීම ඊට අයත් වෙනවා: “දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, [යෙහෝවා] වෙතට හැරී ඒවා.” යේසු කළාක් මෙන් පාපය ද්වේෂ කිරීම එයට අයත් වෙනවා. (හෙබ්‍රෙව් 1:9) ඉන් පසුව, මිදීමේ පූජාවේ පදනම මත යෙහෝවා අපට සමාව දෙන බවට අපි දැඩි විශ්වාසයක් ඇති කරගන්නවා; මන්ද යෙහෝවා “දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්.” ඔහු අපේ නමස්කාරය, අපේ ආත්මික ආහාර පූජාව සහ පාන පූජාව පිළිගන්න යනවා. අපි ඔහුගේ නම කියා හඬගසද්දී ඔහු සවන් දෙන්න යනවා.—යෝවෙල් 2:14.
11. සැබෑ නමස්කාරයට අපේ ජීවිතයේ හිමි විය යුත්තේ කිනම් ස්ථානයද?
11 “පළමුකොට [ඔහුගේ] රාජ්‍යයද [ඔහුගේ] ධර්මිෂ්ඨකමද සොයන්න” කියා යේසු කන්ද උඩ දේශනාවේදී පැවසූ විට මනසේ තබාගැනීම සඳහා තවත් යමක් අපට දුන්නා. (මතෙව් 6:33) අපේ හෘදය සාක්ෂිය සනසාගැනීම සඳහා යාන්තමින් කරන දෙයක් වගේ අපේ නමස්කාරය සුළුකොට නොසැලකිය යුතුයි. දෙවිට සේවය කිරීම අපේ ජීවිතයේ පළමු තැන ලැබීමට වටිනවා. මේ අනුව යෝවෙල් මගින් යෙහෝවා තවදුරටත් මෙසේ පවසනවා: “සියොන්හි හොරණෑව පිඹ, . . . සෙනග රැස්කර, ශුද්ධවූ සභාවක් පවත්වන්න, මහල්ලන් එකතුකර, ළමයින්ද කිරිදරුවන්ද එක්කාසුකරන්න. මනමාලයා තමාගේ ගෙයින්ද මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා.” (යෝවෙල් 2:15, 16) අලුත විවාහ වූ අය එකිනෙකා ගැන පමණක් අවධානය යොමු කරමින් සිත වෙනතකට යොමු කරගැනීම ස්වාභාවිකයි. නමුත් ඔවුන් සම්බන්ධයෙන් පවා යෙහෝවාට සේවය කිරීම මුල් තැනට පැමිණිය යුතුයි. අපේ දෙවිගේ නම කියා හඬගසමින් ඔහුට නමස්කාර කිරීමට වඩා ඉහළින් කිසිවක් නොතිබිය යුතුයි.
12. පසුගිය වසරේ සිහි කිරීමේ වාර්තාවෙන් වර්ධනය සඳහා තිබෙන කිනම් ඉඩ කඩ පෙන්නුම් කරනවාද?
12 මෙය මනසේ තබාගෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1997 සේවා වසරේ වාර්තාවෙන් හෙළි වන සංඛ්‍යා ලේඛන සලකා බලමු. පසුගිය වසරේදී රාජ්‍ය ප්‍රචාරකයන් 55,99,931ක උපරිමයක් සිටියා—ඇත්තෙන්ම ප්‍රශංසා කරන්නන්ගේ මහත් සමූහයක්! සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 1,43,22,226ක් වුණා—ප්‍රචාරකයන් ගණනට වඩා මිලියන අටහමාරක් පමණ වෙනවා. මවිතකර වර්ධනයකට තිබෙන ඉඩ කඩ එම සංඛ්‍යාවෙන් පෙනෙනවා. මේ මිලියන අටහමාරට අයත් අයගෙන් බොහෝදෙනෙක් උනන්දුව දක්වන පුද්ගලයන් හෝ බව්තීස්ම ලත් දෙමාපියන්ගේ දරුවන් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඒ වන විටත් බයිබලය පාඩම් කරමින් සිටියා. විශාල සංඛ්‍යාවක් රැස්වීමකට පැමිණි මුල්ම වතාව එයයි. ඔවුන්ව දැනහඳුනා ගැනීමට හා තවදුරටත් ප්‍රගතිය ලබන්න ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පැමිණීම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කදිම ප්‍රස්තාවක් ලබා දුන්නා. මීට අමතරව, සෑම වසරකම සිහි කිරීමට හා ඇතැම්විට වෙනත් රැස්වීම් කිහිපයකටත් පැමිණියත් එතනින් එහාට ප්‍රගතියක් නොලබන අයද සිටියා. ඇත්තෙන්ම, රැස්වීම්වලට පැමිණීමට එවැනි අයට සාදරයෙන් ඇරයුම් කරනවා. නමුත් යෝවෙල්ගේ අනාවැකිමය වදන් පරෙස්සමින් මෙනෙහි කිරීමටත් ඔවුන් යෙහෝවාගේ නම කියා හඬගසන විට යෙහෝවා සවන් දෙන බවට නිසැක වීම සඳහා ඔවුන් තවදුරටත් කිනම් පියවරවල් ගත යුතුද කියා සලකා බැලීමටත් අපි ඔවුන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
13. අපි දැනටමත් යෙහෝවාගේ නම කියා හඬගසමින් සිටිනවා නම්, අනිත් අය සම්බන්ධයෙන් අපට කිනම් වගකීමක් තිබෙනවාද?
13 දෙවිගේ නම කියා හඬගැසීමේදී ඊට අයත් වන තවත් අංගයක් ප්‍රේරිත පාවුල් අවධාරණය කළා. ඔහු රෝමවාසීන්ට ලියූ ලිපියේදී, යෝවෙල්ගේ මෙම අනාවැකිමය වදන් උපුටා දැක්වූවා: “යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ [NW].” අනතුරුව ඔහු මෙලෙස තර්කානුකූලව විමසුවා: “එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසූවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” (රෝම 10:13, 14) ඔව්, මේ දක්වා යෙහෝවාව දැනහඳුනා ගැනීමට පැමිණ නැති තවත් බොහෝදෙනෙක් ඔහුගේ නම කියා හඬගැසීම අවශ්‍යයි. ඔවුන්ට දේශනා කිරීම විතරක් නොවෙයි, නමුත් ඔවුන් වෙත ළඟා වී ඒ සඳහා අවශ්‍ය උපකාරය සැපයීමේ වගකීම දැනටමත් යෙහෝවාව දැනහඳුනාගෙන සිටින අයට තිබෙනවා.
ආත්මික පාරාදීසයක්
14, 15. යෙහෝවාගේ සෙනඟ ඔහුව සතුටු කරන ආකාරයෙන් ඔහුගේ නම කියා හඬගසන නිසා ඔවුන් පාරාදීසයක් බඳු කිනම් ආශීර්වාද භුක්ති විඳිනවාද?
14 ආලේප ලත් අය මෙන්ම මහත් සමූහයේ අය දේවල් දෙස බලන්නේ ඒ ආකාරයටයි; එහි ප්‍රතිඵලය යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කිරීමයි. ‘එකල යෙහෝවා තමන්ගේ දේශය ගැන ජ්වලිත වී, තමන්ගේ සෙනඟට අනුකම්පා කරන්නේය.’ (යෝවෙල් 2:18) වර්ෂ 1919දී, යෙහෝවා තම සෙනඟව යළි පිහිටුවා ආත්මික ක්‍රියාකාරකම්වලින් යුත් දේශයකට ඔවුන්ව ගෙනා විට ඔහු ඔවුන් කෙරෙහි ජ්වලිතයත් අනුකම්පාවත් පෙන්වූවා. ඇත්තෙන්ම එය ආත්මික පාරාදීසයක්; යෝවෙල්ගේ මෙම වදන්වලින් එය හොඳින් විස්තර කර තිබෙනවා: ‘එම්බා දේශය, භය නොවී, ප්‍රීති සන්තෝෂ වෙන්න; මක්නිසාද යෙහෝවා මහත් දේ කළේය. වනයේ මෘගයෙනි, භය නොවව්; මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම්වල තෘණ හටගනියි, ගස්ද ඵල දෙයි, අත්තික්කා ගසද මිදි වැලද ඒවායේ ස්වරසය දෙති. ඉතින් සියොන් පුත්‍රයෙනි, නුඹලාගේ දෙවි වූ යෙහෝවා කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙන්න. මක්නිසාද ඔහු නුඹලාට පළමුවන වර්ෂාව නිසි තරමට දුන්නේය, තද වැස්ස වන පළමුවන වර්ෂාවද පළමුවන මාසයේ අන්තිම වර්ෂාවද ඔහු නුඹලා උදෙසා වස්වනවා ඇත. එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.’—යෝවෙල් 2:21-24.
15 මොනතරම් ප්‍රියජනක චිත්‍රයක්ද! බහුල සත්ව රැළවල් සමඟ ඉශ්රායෙල්හි ජීවිතයේ මූලික අවශ්‍යතා තුන, එනම් ධාන්‍ය, ඔලීව් තෙල් සහ මිදියුෂවල බහුල සැපයුමක්. අපගේ දවසේදී, එම අනාවැකිමය වදන් ආත්මික ආකාරයකින් ඉටු වෙනවා. අපිට අවශ්‍ය සියලුම ආත්මික ආහාර යෙහෝවා අපට සපයනවා. දෙවි දානය කරන එම බහුලත්වය ගැන අපි සියලුදෙනාම සතුටු වන්නේ නැද්ද? ඇත්තෙන්ම, මලාකී පුරෝකථනය කළාක් මෙන් අපේ දෙවි ‘අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් අපිට ආශීර්වාදයක් වගුරුවා දී’ තිබෙනවා.—මලාකී 3:10.
දේවල පිළිවෙළක නිමාව
16. (අ) අපේ කාලය සඳහා යෙහෝවාගේ ආත්මය වැගිරවීමෙන් ඇඟවෙන්නේ කුමක්ද? (ආ) අනාගතය සඳහා තිබෙන්නේ කුමක්ද?
16 යෙහෝවාගේ ආත්මය වැගිරීම ගැන යෝවෙල් අනාවැකි පවසන්නේ දෙවිගේ සෙනඟගේ පාරාදීසමය තත්වය ගැන පුරෝකථනය කළායින් පසුවයි. පේතෘස් පෙන්තකොස්ත දවසේදී මේ අනාවැකිය උපුටා දැක්වූ විට, එය “අන්තිම දවස්වලදී” ඉටු වූ බව ඔහු පැවසුවා. (ක්‍රියා 2:17) යෙහෝවාගේ ආත්මය වැගිරවීමෙන් ඒ කාලයේදී අදහස් කළේ, යුදෙව් දේවල පිළිවෙළේ අන්තිම දවස් ආරම්භ වී තිබූ බවයි. විසිවන සියවසේදී දෙවිගේ ඉශ්රායෙල් මත දෙවිගේ ආත්මය වැගිරවීමෙන් අදහස් කරන්නේ, අප ජීවත් වෙමින් සිටින්නේ ලෝක ව්‍යාප්ත දේවල පිළිවෙළේ අන්තිම දවස්වල බවයි. මෙය සලකා බැලීමේදී අනාගතය සඳහා තිබෙන්නේ කුමක්ද? යෝවෙල්ගේ අනාවැකිය තවදුරටත් අපට මෙසේ පවසයි: “අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි. [යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.”—යෝවෙල් 2:30, 31.
17, 18. (අ) යෙරුසලම මත පැමිණියේ යෙහෝවාගේ කිනම් භය උපදවන දවසද? (ආ) යෙහෝවාගේ අනාගතික භය උපදවන දවසේ ස්ථිරත්වය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද?
17 පොදු යුගයේ 70දී යෙහෝවාගේ භය උපදවන දවසේ උච්චාවස්ථාව කරා සිද්ධීන් අනුකම්පා විරහිත ලෙස ඉදිරියට ගමන් කරද්දී, මේ අනාවැකිමය වදන් පො.යු. 66දී යූදාහි සැබෑ වෙන්න පටන්ගත්තා. එම කාලයේදී, යෙහෝවාගේ නාමය මහිමවත් නොකරන අය අතරේ සිටීම මොනතරම් භයානකද! අදදිනත්, මේ මුළු ලෝකයේ දේවල පිළිවෙළ යෙහෝවාගේ අතින් විනාශ වන විට, ඒ හා සමානම භයානක සිද්ධීන් ඉදිරියේදී සිදුවීමට තිබෙනවා. ඒත් බේරෙන්න පුළුවන්. අනාවැකිය තවදුරටත් මෙසේ පවසනවා: “තවද යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ. මක්නිසාද යෙහෝවා කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ යෙහෝවා කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.” (යෝවෙල් 2:32, NW) යෙහෝවාගේ නාමය දැනගෙන සිටීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇත්තෙන්ම කෘතඥපූර්වක වන අතර, තමන් ඔහුට හඬගසන විට ඔහු තමන්ව ගළවාගන්න යන බවට සම්පූර්ණ දැඩි විශ්වාසයක් ඔවුන්ට තිබෙනවා.
18 කෙසේවෙතත්, යෙහෝවාගේ මහත් වූ තේජවත් වූ දවස එහි පූර්ණ උදහසින් මේ ලෝකයට පහර දෙන විට සිදු වන්න යන්නේ කුමක්ද? එය අවසාන පාඩම් ලිපියේදී සාකච්ඡා කරන්න යනවා.
ඔබට මතකද?
◻ යෙහෝවා පළමු වතාවට තම සෙනඟ මත තමාගේ ආත්මය වැගුරුවේ කවදාද?
◻ යෙහෝවාගේ නම කියා හඬගැසීමට අයත් සමහර දේවල් මොනවාද?
◻ මාංසික ඉශ්රායෙල් මත යෙහෝවාගේ මහත් වූ තේජවත් වූ දවස පැමිණියේ කවදාද?
◻ අදදින තම නම කියා හඬගසන අයට යෙහෝවා ආශීර්වාද කරන්නේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී අලුත් ජාතියක් ඉපදුණා
[16, 17වන පිටුවේ පින්තූරය]
මේ සියවසේ මුල් භාගයේදී, යෝවෙල් 2:28, 29හි සඳහන් අනාවැකියේ ඉටුවීමකට අනුව යෙහෝවා නැවතත් තම සෙනඟ මත තම ආත්මය වැගුරුවා
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ නම කියා හඬගැසීමට ජනයාට උපකාර කළ යුතුයි