‘මා ගැන බලාසිටින්න’
“මා ගැන බලාසිටපල්ලායයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.”—ශෙපනියා 3:8.
1. අනාගතවක්තෘ ශෙපනියා විසින් දෙන ලද්දේ කවර අනතුරු ඇඟවීමක්ද, තවද අදදින ජීවත් වන ජනයාහට මෙය කුමන උනන්දුවක් ඇති කරයිද?
‘යෙහෝවඃවහන්සේගේ මහත් දවස ළංව තිබේ.’ පොදු යුගයට පෙර සත්වන සියවසේ මැදභාගයේදී අනාගතවක්තෘ ශෙපනියා විසින් මෙම අනතුරු අඟවන මොරගැසීම ප්‍රකාශ කරන ලදි. (ශෙපනියා 1:14) අවුරුදු 40ක් හෝ 50ක් ඇතුළත, යෙරුසලම කෙරෙහිද යෙහෝවඃවහන්සේගේ සෙනඟට හිංසා පීඩා පැමිණවීමෙන්, ස්වකීය පරමාධිපත්‍යයට එරෙහි වූ ජාතීන් කෙරෙහිද යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට සුදුසු දවස පැමිණි විට, මෙම අනාවැකිය ඉටු විය. විසිවන සියවසේ අවසානයේ ජීවත් වන ජනයාට මෙය උනන්දුවට හේතුවක් විය යුත්තේ මන්ද? යෙහෝවඃවහන්සේගේ අවසාන “මහත් දවස” ශීඝ්‍රයෙන් එළඹෙන කාලයක අපි ජීවත් වන්නෙමු. ශෙපනියාගේ කාලයට සමානව, යෙරුසලමට සමාන නවීන-දින ආයතනය වන ක්‍රිස්තියානි ලෝකයට සහ යෙහෝවඃවහන්සේගේ ජනයාට හිංසා පීඩා පමුණුවමින් ස්වකීය විශ්වනීය පරමාධිපත්‍යයට විරුද්ධව කටයුතු කරන සියලු ජාතීන්ට එරෙහිවද, යෙහෝවඃවහන්සේගේ “බලවත් උදහස” ඇවිලවීමට කාලය ආසන්නය.—ශෙපනියා 1:4, 6ආ; 2:4, 8, 12, 13; 3:8; 2 පේතෘස් 3:11අ, 12, 13.
ශෙපනියා—එඩිතර සාක්ෂිකරුවෙක්
2, 3. (අ) අප ශෙපනියා ගැන දන්නේ කුමක්ද, තවද ඔහු යෙහෝවඃවහන්සේගේ එඩිතර සාක්ෂිකරුවෙකු වූ බව කුමක් අඟවයිද? (ආ) ශෙපනියා අනාවැකි පළ කළ කාලය හා තැන නිශ්චය කරගැනීමට කවර කාරණා අපට උපකාර කරයිද?
2 අනාගතවක්තෘ ශෙපනියා ගැන දන්නේ මද වශයෙනි, ඔහුගේ නමේ (හෙබ්‍රෙව්, ට්සෙෆාන්·යාහ්ʹ) අර්ථය “යෙහෝවඃවහන්සේ සඟවා තබා ඇත (නිධාන කොට තබා ඇත)” යන්නයි. කෙසේවෙතත්, වෙනත් අනාගතවක්තෲන්ට වෙනස්ව, ශෙපනියා සිව්වන පරම්පරාව වන “හෙසකියා” දක්වා සිය පෙළපත සැපයීය. (ශෙපනියා 1:1; සසඳන්න යෙසායා 1:1; යෙරෙමියා 1:1; එසකියෙල් 1:3.) මෙය කෙතරම් පුදුමයක් සේ පෙනෙනවාද කිවහොත්, සිය නත්තා නොහොත් සීයාගේ සීයා විශ්වාසවන්ත හෙසකියා රජු බව ටීකාකරුවන් බොහෝදෙනෙක් හඳුන්වා දෙති. ඔහු එලෙස සම්බන්ධ වූයේ නම්, ශෙපනියා රාජකීය පෙළපතකින් පැමිණි අතර, මෙය යූදාහි අධිපතීන්ට විරුද්ධව ඔහු ප්‍රකාශ කළ දැඩි හෙළාදැකීම වඩාත් අර්ථවත් එකක් වීමට සලස්වන අතරම, ඔහු යෙහෝවඃවහන්සේගේ එඩිතර සාක්ෂිකරුවෙකු මෙන්ම අනාගතවක්තෘවරයෙකු බව ඉන් පෙනී යනවා ඇත. යෙරුසලමේ භූ ලක්ෂණ ගැනත් රජ වාසලේ සිදු වෙමින් තිබූ දේ ගැනත් ඔහුට තිබුණු හසළ දැනුමෙන් පෙනී යන්නේ, ඔහු යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ඇතැම්විට අගනුවරෙහිම ප්‍රකාශ කළ බවය.—ශෙපනියා 1:8-11, NW පාදසටහන් බලන්න.
3 ශෙපනියා යූදාහි සිවිල් “අධිපතීන්ටද” (රදළයන්, හෝ ගෝත්‍රික මුලාදෑනීන්) “රජුගේ පුත්‍රයන්ටද” විරුද්ධව දිව්‍ය විනිශ්චයන් ප්‍රකාශ කළත්, සිය විවේචනයේදී රජු ගැන කිසිවිටක සඳහන් නොකළ බව සැලකිල්ලට ගැනීම වටී.a (ශෙපනියා 1:8; 3:3) තරුණ යොෂියා රජ නිර්මල නමස්කාරය සඳහා නැඹුරුවාවක් ඒ වන විටත් දක්වා තිබුණු බව මින් ඇඟවුවත්, ශෙපනියා විසින් බලවත් ලෙස හෙළා දකින ලද තත්වයෙන් පැහැදිලි වන පරිදි, ඔහු සිය ආගමික ප්‍රතිසංස්කරණ ඒ වන විට අරඹා නොතිබූ බව ප්රත්යක්ෂය. පොදු යුගයට පෙර 659 සිට 629 දක්වා පාලනය කළ යොෂියාගේ පාලනයේ මුල් සමයේ ශෙපනියා යූදාහි අනාවැකි පළ කළ බව මේ සියල්ලෙන් ඇඟවේ. ඒ කාලයේදී යූදාහි පැවති රූප වන්දනාව, සාහසිකකම හා දූෂණය පිළිබඳ තරුණ යොෂියාගේ අවබෝධය ශෙපනියාගේ ක්‍රියාශීලී අනාවැකි පළ කිරීම මගින් තීව්ර වූ අතරම, රූප වන්දනාවට එරෙහිව තමා ගෙනගිය ව්‍යාපාරයට එය දිරි දුන් බවට කිසිදු සැකයක් නැත.—2 ලේකම් 34:1-3.
යෙහෝවඃවහන්සේගේ බලවත් උදහසට හේතු
4. යූදා හා යෙරුසලමට එරෙහිව යෙහෝවඃවහන්සේ ස්වකීය උදහස ප්‍රකාශ කළේ කවර වදන්වලින්ද?
4 යූදාහි මෙන්ම එහි අගනුවර වන යෙරුසලමේ නායකයන් හා වැසියන් කෙරෙහි උදහස ඇවිළීමට යෙහෝවඃවහන්සේට හොඳ හේතු තිබිණ. සිය අනාගතවක්තෘ ශෙපනියා තුළින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිඟුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමග කපුවන්ගේ නාමද, ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද, . . . මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.”—ශෙපනියා 1:4, 5, 6ආ.
5, 6. (අ) ශෙපනියාගේ කාලයේදී යූදාහි ආගමික තත්වය කුමක්වීද? (ආ) යූදාහි සිවිල් නායකයන් හා ඔවුන්ගේ යටත්වැසියන්ගේ තත්වය කුමක්වීද?
5 බාල් වන්දනාවේ පිළිකුල් සශ්‍රීකත්වයේ පිළිවෙත්වලින්ද, භූතමය ජ්‍යොතිඃ ශාස්ත්‍රයෙන්ද, මල්කාම් නමැති මිථ්‍යාදෘෂ්ටික දෙවියාට වන්දනාමාන කිරීමෙන්ද යූදා කෙලෙසී තිබිණ. ඇතමුන් යෝජනා කරන පරිදි, මල්කාම් මොලෙක්ට සමාන නම්, දරුවන් පූජා කිරීමේ පිළිකුල් වූ ක්‍රියාවද යූදාහි බොරු නමස්කාරයට ඇතුළත් විය. එවන් ආගමික පිළිවෙත් යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවෙහි පිළිකුල්සහගත යමක් විය. (1 රාජාවලිය 11:5, 7; 14:23, 24; 2 රාජාවලිය 17:16, 17) රූප නමස්කාරයෙහි යෙදුණු අය යෙහෝවඃවහන්සේගේ නමින් දිවුරුම් දුන් නිසා, ඔවුහු උන්වහන්සේගේ කෝපය තමුන් කෙරෙහි තව තවත් පමුණුවාගත්හ. එවන් ආගමික අපිරිසිදුකම තවදුරටත් ඉවසාගත නොහැකි වූ උන්වහන්සේ, මිථ්‍යාදෘෂ්ටික මෙන්ම ඇදහිල්ල අත්හළ පූජකයන් දෙපාර්ශ්වයම සිඳදමනු ඇත.
6 එපමණක්ද නොව, යූදාහි සිවිල් නායකයෝ දූෂිත අය වූහ. ඇගේ අධිපතීන් කෑදර ‘ගොරවන සිංහයන්ට’ සමාන වූ අතර, ඇගේ විනිශ්චයකාරයන් කෑදර ‘වෘකයන්’ හා සැසඳිය හැකි විය. (ශෙපනියා 3:3) ඔවුන් යටතේ සිටි අය “තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද [පිරවීමේ]” චෝදනාවට ලක් වූහ. (ශෙපනියා 1:9) ද්‍රව්‍යවාදය බහුලව දක්නට ලැබිණ. ධන සම්භාරයක් රැස් කරගැනීමට බොහෝදෙනෙක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටියහ.—ශෙපනියා 1:13.
යෙහෝවඃවහන්සේගේ දවස පිළිබඳ සැක
7. යෙරෙමියා අනාවැකි පළ කළේ ‘යෙහෝවඃවහන්සේගේ මහත් දවසට’ කොපමණ කලින්ද, තවද යුදෙව්වන් බොහෝදෙනෙකුගේ ආත්මික තත්වය කෙබඳුවීද?
7 අප දැනටමත් දැක තිබෙන පරිදි, ශෙපනියාගේ කාලයේ පැවති බෙහෙවින් අවාසනාවන්ත වූ ආගමික තත්වයෙන් අඟවනු ලබන්නේ, යොෂියා රජු පො.යු.පෙ. 648දී පමණ රූප වන්දනාවට එරෙහිව සිය ව්‍යාපාරය දියත් කිරීමට පෙර, ශෙපනියා සාක්ෂිකරුවෙකු හා අනාගතවක්තෘවරයෙකු ලෙස සිය කාර්යයෙහි නියැලුණු බවය. (2 ලේකම් 34:4, 5) එසේනම්, යූදා රාජ්‍යයට එරෙහිව ‘යෙහෝවඃවහන්සේගේ මහත් දවස’ පැමිණීමට යටත් පිරිසෙයින් අවුරුදු 40කට කලින්, ශෙපනියා අනාවැකි පළ කළා විය හැක. ඒ අතරතුර කාලයේදී, සැකයෙන් පිරුණු බොහෝ යුදෙව්වෝ, උදාසීන වෙමින් යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහි ‘පසුබට වූවෝය.’ “ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අය” ගැන ශෙපනියා කතා කරයි. (ශෙපනියා 1:6) දෙවියන්වහන්සේ ගැන තැකීමක් නොකර යූදාහි පුද්ගලයන් උදාසීන තත්වයක සිටි බව පැහැදිලිය.
8, 9. (අ) යෙහෝවඃවහන්සේ විසින් “තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ” “මනුෂ්‍යයන්,” සෝදිසි කරනු ලබන්නේ මන්ද? (ආ) යූදාහි වැසියන් මෙන්ම ඔවුන්ගේ සිවිල් හා ආගමික නායකයන් කෙරෙහි යෙහෝවඃවහන්සේ අවධානය යොමු කරනු ඇත්තේ කවර ආකාරවලින්ද?
8 යෙහෝවඃවහන්සේ තම ජනයා බවට ප්‍රකාශ කළ අයව සෝදිසි කර බැලීම සඳහා ස්වකීය අරමුණ දැනුම් දුන්සේක. උන්වහන්සේට නමස්කාර කළ බවට ප්‍රකාශ කර සිටි අය අතුරින්, මිනිස් කටයුතුවලට මැදිහත් වීමේ ස්වකීය හැකියාව හෝ අභිප්‍රාය පිළිබඳව තම හෘදවල සැක වර්ධනය වීමට ඉඩ දුන් අයව උන්වහන්සේ විසින් සෝදිසි කරනු ලබනවා ඇත. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.” (ශෙපනියා 1:12) “තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ . . . මනුෂ්‍යයන්” (වයින් සෑදීමට යොමු දැක්වීමකි) යන යෙදුමෙන් යොමු දක්වන්නේ, පීප්පයක පතුළේ තැන්පත් වී තිබෙන මණ්ඩි මෙන්, මිනිස්වර්ගයාගේ කටයුතුවලට තදාසන්න දිව්‍ය මැදිහත් වීමක් පිළිබඳ ඕනෑම ප්‍රකාශයක් මගින් කැළඹීමට අකමැති තැන්පත් වී සිටින අයටය.
9 යෙහෝවඃවහන්සේ යූදා මෙන්ම යෙරුසලමේ වැසියන් වෙතද, ස්වකීය නමස්කාරය මිථ්‍යාදෘෂ්ටික දේවල් සමඟ මිශ්‍ර කොට තිබූ ඔවුන්ගේ පූජකයන් වෙතද අවධානය යොමු කරනසේක. රාත්‍රියේ අන්ධකාරය නමැති වැස්මකින් මෙන් යෙරුසලමේ පවුරු තුළ ඔවුන්ට සුරක්ෂිතභාවයක් දැනුණේ නම්, ආරක්ෂාව සඳහා ඔවුන් ඇතුල් වී තිබුණු එම ආත්මික අන්ධකාරය විනිවිද යන්නාවූ දීප්තිමත් පහන් මගින් උන්වහන්සේ ඔවුන්ව සෝදිසි කරනසේක. පළමුව ගරුබිය දනවන විනිශ්චයේ ප්‍රකාශයන් මගින්ද, ඉන් අනතුරුව එම විනිශ්චයන් ක්‍රියාවට නැංවීම මගින්ද, ඔවුන් සිටි ආගමික උදාසීනකමින් උන්වහන්සේ ඔවුන්ව සොලවනසේක.
‘යෙහෝවඃවහන්සේගේ මහත් දවස ළංව තිබේ’
10. ශෙපනියා ‘යෙහෝවඃවහන්සේගේ මහත් දවස’ විස්තර කළේ කෙසේද?
10 ‘යෙහෝවඃවහන්සේගේ මහත් දවස ළඟය,’ කියා ප්‍රකාශ කිරීමට යෙහෝවඃවහන්සේ ශෙපනියාට ආනුභාවය දුන්සේක. “එය විගසින් ම පැමිණේ. සමිඳාණන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරි ය.” (ශෙපනියා 1:14, නව අනුවාදය) එම අනතුරු ඇඟවීමට අවනත වී නිර්මල නමස්කාරය වෙත ආපසු හැරීමට ප්‍රතික්ෂේප කළ සියලුදෙනා—පූජකයන්, අධිපතීන් හා ජනයා—සඳහා සහතිකවම ඉදිරියෙහි තිබුණේ අමිහිරි දවස්ය. විනිශ්චය ඉටු කිරීමේ එම දවස විස්තර කරමින්, එම අනාවැකිය තවදුරටත් මෙසේ පවසයි: “ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය, පවුරු ඇති නුවරවලටත් උස්වූ කොත්වලටත් විරුද්ධව හොරණෑ පිඹීමේද ඝෝෂාකිරීමේද දවසක්ය.”—ශෙපනියා 1:15, 16.
11, 12. (අ) යෙරුසලමට එරෙහිව ප්‍රකාශ කරන ලද්දේ කවර විනිශ්චය පණිවිඩයද? (ආ) ද්‍රව්‍යමය සමෘද්ධිය ආධාරයෙන් යුදෙව්වන් ගැළවෙනු ඇද්ද?
11 විගස ගෙවී යන දශක කිහිපයක් ඇතුළත, බබිලෝනීය සේනාවන් විසින් යෙරුසලම ආක්‍රමණය කරනු ඇත. යෙරුසලම ඉන් නොගැළවෙනු ඇත. එහි පදිංචිකාර හා ව්‍යාපාරික ප්‍රදේශ විනාශයට ලක් වනු ඇත. “එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ශබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්තේෂ්හි [යෙරුසලමේ කොටසක්] වැසියෙනි, කෑමොරගසාපල්ලා, මක්නිසාද කානාන්හි සියලු සෙනඟ නාස්තිවී ගියාය. මුදල් රැස්කරගත් සියල්ලෝ සිඳදමනු ලැබුවෝය.”—ශෙපනියා 1:10, 11, NW පාදසටහන.
12 යෙහෝවඃවහන්සේගේ දවස ළංව තිබෙන බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බොහෝ යුදෙව්වෝ, ලාභ උපදවන ව්‍යාපාරවල ඇලී ගැලී සිටියෝය. එහෙත් ස්වකීය විශ්වාසවන්ත අනාගතවක්තෘ ශෙපනියා කරණකොටගෙන යෙහෝවඃවහන්සේ පුරෝකථනය කළේ, “ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද” වන බවය. ඔවුන් නිෂ්පාදනය කළ මුද්‍රිකපානය බීමට ඔවුන්හට අවස්ථාව නොලැබෙන අතර, “ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට” නොහැකි වනු ඇත.—ශෙපනියා 1:13, 18.
වෙනත් ජාතීන්ව විනිශ්චය කෙරේ
13. මෝවබ්, අම්මොන් හා අෂූරියට එරෙහිව ශෙපනියා ප්‍රකාශ කළේ කුමන විනිශ්චය පණිවිඩයක්ද?
13 ස්වකීය අනාගතවක්තෘ ශෙපනියා කරණකොටගෙන, ස්වකීය සෙනඟට හිරිහැර කර තිබූ ජාතීන්ට විරුද්ධවද යෙහෝවඃවහන්සේ ස්වකීය උදහස ප්‍රකාශ කළසේක. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මාගේ සෙනගට නින්දාකළාවූ, ඔවුන්ගේ සීමාවට විරුද්ධව උඩඟුවුණාවූ මෝවබ්ගේ නින්දාකිරීමත් අම්මොන් පුත්‍රයන්ගේ අපහාස වචනත් ඇසීමි. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. . . . උන්වහන්සේ තමන් අත උතුරු දිගට විරුද්ධව දිඟුකර, අෂූර් විනාශකොට, නිනිවය කාන්තාරය මෙන් දියසීරා නැති පාළුවක් කරනවා ඇත.”—ශෙපනියා 2:8, 9, 13.
14. ඉශ්රායෙල්වරුන්ට හා ඔවුන්ගේ දෙවි වන යෙහෝවඃවහන්සේට එරෙහිව විදේශීය ජාතීන් ‘උදාරම්කම් පෙන්නූ’ බවට තිබෙන සාක්ෂි කවරේද?
14 මෝවබ් සහ අම්මොන් ඉශ්රායෙල්වරුන්ගේ ආදීකාලීන සතුරෝ වූහ. (විනිශ්චයකාරයන් 3:12-14 සසඳන්න.) පැරීසියේ ලූව්ර් කෞතුකාගාරයේ තිබෙන මෝවබ් සෙල් ලිපියෙහි, මෝවබ් ජාතික මෙෂා රජු විසින් කරන ලද පුරසාරම් දොඩන ප්‍රකාශයක් ඇතුළත් කර තිබේ. සිය දෙවි කෙමොෂ්ගේ උපකාරය ඇතුව ඉශ්රායෙල් නගර කිහිපයක් අල්ලාගැනීම ගැන ඔහු අහංකාරව විස්තර කරයි. (2 රාජාවලිය 1:1) අම්මෝනිවරුන් සිය දෙවි මල්කාම්ගේ නමින් ඉශ්රායෙල්හි ගාද් ප්‍රදේශ හිමි කරගැනීම ගැන, ශෙපනියාගේ සමකාලීනයෙක් වූ යෙරෙමියා කතා කළේය. (යෙරෙමියා 49:1) අෂූරිය ගැන සලකා බලද්දී, ශෙපනියාගේ කාලයට සියවසකට පමණ පෙර පස්වන ෂල්මනෙසෙර් රජු සමාරිය යටත් කරගෙන තිබිණ. (2 රාජාවලිය 17:1-6) වැඩි කලක් යන්ට මත්තෙන්, සෙනකෙරීබ් රජ යූදාට ප්‍රහාරයක් එල්ල කොට, එහි බලකොටු කිහිපයක්ම අල්ලා, යෙරුසලමට පවා තර්ජනයක් එල්ල කළේය. (යෙසායා 36:1, 2) යෙරුසලමේ යටත්වීම බලෙන් ඉල්ලා සිටිද්දී, අෂූරිය රජුගේ නියෝජිතයා ඇත්තවශයෙන්ම යෙහෝවඃවහන්සේට උදාරම්කම් පෙන්වීය.—යෙසායා 36:4-20.
15. යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට විරුද්ධව උදාරම්කම් පෙන්නූ ජාතීන්ගේ දෙවිවරුන්ට අවමන් කරනු ඇත්තේ කෙසේද?
15 මෝවබ්, අම්මොන් සහ අෂූරිය ඇතුළුව ඉශ්රායෙල්ට විරුද්ධව උදාරම්කම් පෙන්වූ ජාතීන් කිහිපයක් ගැන ගීතාවලිය 83හි සඳහන් වේ: “වරෙව්, ඉශ්රායෙල් යන නම මතු සිහි නොවන පිණිස, ජාතියක් නොවන ලෙස ඔවුන් සිඳ දමමුයයි” ඔවුහු පුරසාරම් දොඩමින් ප්‍රකාශ කළහ. (ගීතාවලිය 83:4) එම සියලු උඩඟු ජාතීන් හා ඔවුන්ගේ දෙවිවරුන්ව සේනාවල යෙහෝවඃවහන්සේ විසින් අවමානයට පත් කරනු ලබන බව අනාගතවක්තෘ ශෙපනියා එඩිතරව නිවේදනය කළේය. “මේක ඔවුන්ට පැමිණෙන්නේ ඔවුන් නින්දාකර, සේනාවල ස්වාමීන්වහන්සේගේ සෙනගට විරුද්ධව උඩඟුවී පෙන්නූ උදාරම්කම නිසාය. ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.”—ශෙපනියා 2:10, 11.
‘බලාසිටින්න’
16. (අ) යෙහෝවඃවහන්සේගේ දවස ළඟාවීම කවුරුන් සඳහා ප්‍රීතියට හේතුවක් වීද, ඒ මන්ද? (ආ) මෙම විශ්වාසවන්ත ඉතිරි කොටස වෙත යොමු වූයේ කවර පොලඹවනසුලු ආඥාවද?
16 යූදා මෙන්ම යෙරුසලමෙහි නායකයන් හා වැසියන් බොහෝදෙනෙකු අතර ආත්මික අලසබව, අවිශ්වාසය, රූප වන්දනාව, දූෂණය හා ද්‍රව්‍යවාදය පැතිර තිබූ අතර, පෙනෙන ප්‍රකාරයට ඇතැම් විශ්වාසවන්ත යුදෙව්වෝ ශෙපනියාගේ අනතුරු අඟවන අනාවැකිවලට සවන් දුන්හ. යූදාහි අධිපතීන්, විනිශ්චයකාරයන් හා පූජකයන් අතින් සිදු වූ පිළිකුල්සහගත ක්‍රියා ගැන ඔවුහු දුකට පත් වූහ. මෙම පක්ෂපාත අයට ශෙපනියාගේ ප්‍රකාශයන් සැනසීම ගෙන දුන්නේය. ශෝකයට හේතුවක් වනවා වෙනුවට, යෙහෝවඃවහන්සේගේ දවස ළඟාවීම ඔවුන්හට ප්‍රීතියට හේතුවක් විය, මන්දයත් එමගින් මෙවන් පිළිකුල්සහගත ක්‍රියා නතර කරනු ලබන බැවිනි. මේ විශ්වාසවන්ත ඉතිරි කොටස යෙහෝවඃවහන්සේගේ පොලඹවනසුලු මෙම ආඥාවට අවනත වූහ: “එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටපල්ලායයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය.”—ශෙපනියා 3:8.
17. ශෙපනියාගේ විනිශ්චයේ පණිවිඩ ජාතීන් කෙරෙහි ඉටුවීමට පටන්ගත්තේ කවදාද, කෙසේද?
17 එම අනතුරු ඇඟවීමට අවනත වූ අයට සිදු වූ දෙය පුදුමයට හේතුවක් නොවීය. ශෙපනියාගේ අනාවැකියේ ඉටුවීම දකින තාක් කල් බොහෝදෙනෙක් ජීවත් වූහ. බබිලෝනීවරුන්, මේදවරුන් හා උතුරුකරයෙන් පැමිණි සටන්කාමී සමූහයන්, ඇතැම්විට ස්කිතියන්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ හමුදාවක් විසින් නිනිවය, පො.යු.පෙ. 632දී අල්ලාගෙන විනාශයට පත් කරන ලදි. ඉතිහාසඥ විල් ඩ්යූරන්ට් මෙසේ විස්තර කරයි: “නැබොපොලාසර් යටතේ සේවය කළ බබිලෝනීවරුන්ගේ හමුදාවක්, සියැක්සරීස් යටතේ සේවය කළ මේදවරුන්ගේ හමුදාවක් සමඟද, කෝකැසස් ප්‍රදේශයෙන් ස්කිතියන්වරුන්ගේ හමුදාවක් සමඟද එකතු වී, පුදුමාකාර පහසුවකින් හා වේගයකින් උතුරුකරයේ බලකොටු අල්ලාගත්තෝය. . . . අෂූරිය, එක පහරකින් ඉතිහාසයෙන් අතුරුදහන් විය.” ශෙපනියා පුරෝකථනය කර තිබුණේ හරියටම ඒ දෙයයි.—ශෙපනියා 2:13-15.
18. (අ) යෙරුසලම පිට දිව්‍ය විනිශ්චය ඉටු කරන ලද්දේ කෙසේද, ඒ මන්ද? (ආ) මෝවබ් හා අම්මොන් සම්බන්ධයෙන් ශෙපනියාගේ අනාවැකිය ඉටු වූයේ කෙසේද?
18 යෙහෝවඃවහන්සේ ගැන බලාසිටි යුදෙව්වෝ බොහෝදෙනෙක්, යූදා හා යෙරුසලම කෙරෙහි උන්වහන්සේගේ විනිශ්චයන් ඉටු වූ අන්දම දකින තෙක් ජීවත් වූවෝය. යෙරුසලම පිළිබඳව ශෙපනියා මෙසේ පුරෝකථනය කර තිබිණ: “කැරළිකාරවූ, අපවිත්‍රවූ, පීඩාකරන්නාවූ නුවරට දුක්වේ! ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ දෙවියන්වහන්සේට ළංවුණේ නැත.” (ශෙපනියා 3:1, 2) ඇගේ නොඇදහිලිකාරකම නිසා, බබිලෝනීවරුන්ගේ වැටලීම්වලට දෙවරක් යටත් වූ යෙරුසලම, අන්තිමේදී අල්ලාගනු ලැබ පො.යු.පෙ. 607දී විනාශ කරනු ලැබීය. (2 ලේකම් 36:5, 6, 11-21) යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, මෝවබ් සහ අම්මොන් ගැන සලකා බලන කල, යෙරුසලමේ වැටීමෙන් පසු පස්වන අවුරුද්දේදී, බබිලෝනිවරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට, ඔවුන්ව පරාජය කළෝය. පුරෝකථනය කළ පරිදි, අවසානයේදී ඔවුහු අතුරුදහන් වී ගියෝය.
19, 20. (අ) යෙහෝවඃවහන්සේ ගැන බලාසිටි අයට උන්වහන්සේ විපාක දුන්නේ කෙසේද? (ආ) මේ සිදුවීම් අපට වැදගත් වන්නේ මන්ද, තවද මීළඟ ලිපියේ සැලකිල්ලට භාජන කරනු ලබන්නේ කුමක්ද?
19 ශෙපනියාගේ අනාවැකියේ මෙවන් හා වෙනත් තොරතුරු ඉටුවීම වූ කලි, යෙහෝවඃවහන්සේ ගැන බලාසිටි යුදෙව්වන් හා යුදෙව් නොවන අය සඳහා ඇදහිල්ල ශක්තිමත් කරවන අද්දැකීමක් විය. යූදා හා යෙරුසලමට සිදු වූ විනාශයෙන් බේරී ජීවත් වූ අය අතර, යෙරෙමියා, කූෂීය එබෙද්-මෙලෙක් හා රේකාබ්වරයෙකු වූ යෝනාදාබ්ගේ වංශය සිටියෝය. (යෙරෙමියා 35:18, 19; 39:11, 12, 16-18) දිගටම යෙහෝවඃවහන්සේ කෙරෙහි බලාසිටි, වහල්භාවයේ සිටි විශ්වාසවන්ත යුදෙව්වෝ මෙන්ම ඔවුන්ගේ පැවතෙන්නෝ, පො.යු.පෙ. 537දී බබිලෝනියෙන් මුදාහැර, නිර්මල නමස්කාරය යළි පිහිටුවීමට යූදා වෙත ආපසු ගමන් කළ සන්තෝෂයෙන් පිරුණු ඉතිරි කොටස අතර සිටියහ.—එස්රා 2:1; ශෙපනියා 3:14, 15, 20.
20 මේ සියල්ල අපේ කාලය සඳහා කුමක් අදහස් කරයිද? ක්‍රිස්තියානි ලෝකය තුළ සිදු වෙමින් පවතින පිළිකුල්සහගත දේවලට ශෙපනියාගේ දවසේ තත්වය බොහෝ ආකාරවලින් සමානකමක් දක්වයි. එපමණක්ද නොව, එවකට සිටි යුදෙව්වන්ගේ නානාවිධ ආකල්ප, අදදින සොයාගත හැකි, ඇතැම්විට යෙහෝවඃවහන්සේගේ ජනයා අතර පවා සොයාගත හැකි ආකල්පවලට සමානකමක් දක්වයි. මෙම කාරණා මීළඟ ලිපියෙහි සැලකිල්ලට භාජන කෙරේ.
[පාදසටහන]
a ඒ අවස්ථාවේදී, යොෂියාගේම පුත්‍රයන් ළා බාලව සිටි බැවින්, “රජුගේ පුත්‍රයන්” යන යෙදුම, රාජකීය කුමරුන් සෑමදෙනෙකුටම යොමු දක්වන බව පෙනී යයි.
පුනරීක්ෂණයක්
◻ ශෙපනියාගේ දවසේ යූදාහි ආගමික තත්වය කෙබඳුවීද?
◻ සිවිල් නායකයන් අතර පැවතියේ කවර තත්වයන්ද, තවද ජනයාගෙන් බොහෝදෙනෙකු අතර පැවති ආකල්පය කුමක්වීද?
◻ ජාතීන් යෙහෝවඃවහන්සේගේ ජනයාට එරෙහිව උදාරම්කම් පෙන්වූයේ කෙසේද?
◻ යූදා හා වෙනත් ජාතීන්ට ශෙපනියා ඉදිරිපත් කළේ කුමන අනතුරු ඇඟවීමද?
◻ යෙහෝවඃවහන්සේ ගැන බලාසිටි අය විපාක ලැබුවේ කෙසේද?
[9වන පිටුවේ පින්තූරය]
මෝවබ්හි මෙෂා රජු පුරාණ ඉශ්රායෙල්ට විරුද්ධව සරදම්ශීලී වචන කතා කළ බව මෝවබ් සෙල් ලිපිය සනාථ කරයි
[හිමිකම් විස්තර]
මෝවබ් සෙල් ලිපිය: Musée du Louvre, Paris
[10වන පිටුවේ පින්තූරය]
ශෙපනියාගේ අනාවැකිය සනාථ කරමින්, බබිලෝනීය වංශකථාව සඳහන් මෙම කීලාකාර පුවරුව, ඒකාබද්ධ හමුදා මගින් නිනිවය අද්දුටු විනාශය වාර්තා කරයි
[හිමිකම් විස්තර]
කීලාකාර පුවරුව: The British Museum යන්නෙහි අනුග්රහයෙනි