යෙහෝවාගේ ගෘහයේ වඩාත් උතුම් තේජස
‘මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල යෙහෝවා කියන්නේය.’—හග්ගයි 2:7.
1. ශුද්ධාත්මය ඇදහිල්ලට හා ක්‍රියාවලට සම්බන්ධ වන්නේ කොහොමද?
ගෙයින් ගෙට දේශනා කරද්දී, යෙහෝවාගේ සාක්ෂිකාරියක් පෙන්තකොස්ත ස්ත්‍රියක හමු වූවාය; එම ස්ත්‍රිය මෙසේ අදහස් දැක්වූවාය: ‘ශුද්ධාත්මය තියෙන්නේ අපිට; හැබැයි ඔයගොල්ලන් තමයි වැඩේ කරන්නේ.’ ශුද්ධාත්මය තිබෙන පුද්ගලයෙකු, නිරායාසයෙන්ම දෙවිඳුන්ගේ වැඩය කිරීමට පෙලඹෙන බව ඇයට උපායශීලීව පැහැදිලි කරන ලදි. යාකොබ් 2:17 මෙසේ ප්‍රකාශ කරයි: “ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරීලාය.” යෙහෝවාගේ ආත්මයේ උපකාරය ඇතුව, ඔහුගේ සාක්ෂිකරුවෝ ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගෙන ඇති අතර, ඔවුන්ට ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමට නියම කිරීමෙන්, ඔහු ‘තම ගෘහය තේජසින් පුරවා’ ඇත. මූලිකව එසේ කර තිබෙන්නේ, ‘රාජ්‍යයේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලෙහි ප්‍රකාශ කරනු ලැබීමෙන්ය.’ මෙම වැඩය ගැන යෙහෝවා සෑහීමට පත් වන විට, “අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.
2. (අ) යෙහෝවාගේ වැඩයෙහි නිරත වීමෙන් අපට කුමන ආශීර්වාද අත් වේවිද? (ආ) යම් “ප්‍රමාද” වීමක් දැනුණත්, ඒ ගැන අප සන්තෝෂ විය යුත්තේ ඇයි?
2 යේසුගේ ඉහත වදන්වලින් අප නිගමනය කරන්නේ, අපේ වර්තමාන වැඩය, අපට භාර දී තිබෙන “සන්තෝෂවත් දෙවිඳුන්ගේ තේජවත්වූ ශුභාරංචිය” අනුන්ට දේශනා කිරීම මත යොමු විය යුතු බවය. (1 තිමෝති 1:11, NW) අප යෙහෝවාගේ සේවයෙහි වඩ වඩා සන්තෝෂයෙන් නියැලෙන තරමටම, අන්තිමයද වඩාත් ශීඝ්‍රයෙන් පැමිණෙන බව පෙනේ. හබක්කුක් 2:2, 3හි අපට යෙහෝවාගේ මෙම වදන් කියවිය හැක: “දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” ඔව්, “දර්ශනය” “ප්‍රමාදවෙතත්” සැබෑ වනවාට සැකයක් නැත. දැන් අප යේසුගේ රාජ්‍ය පාලනයෙහි 83වන අවුරුද්දේ පසු වන බැවින්, අප ප්‍රමාද වීමේ කාලපරිච්ඡේදයක සිටිනවා කියා ඇතමෙකු සිතිය හැක. එහෙත්, අන්තිමය තවමත් පැමිණ නැති එක ගැන අප සතුටු විය යුතු නැද්ද? එක්දහස් නවසිය අනූගණන්වල මෙම දශකය තුළදී, නැඟෙනහිර යුරෝපයේ, අප්‍රිකාවේ හා වෙනත් රටවල ඇතැම් ප්‍රදේශවල, ශුභාරංචිය දේශනා කිරීම පිට පනවා තිබූ තහනම් “ආශ්චර්යවත්” ආකාරයකින් මෙන් ඉවත් කර තිබේ. පෙනෙන ‘ප්‍රමාදය’ හේතුවෙන්, තවත් බොහෝ “බැටළුවන්” සංඛ්‍යාවකට මෑතකදී විවෘත වූ මෙම ප්‍රදේශවලින් එක්කාසු වීමට කාලය ලබා දෙනවා ඇත.—යොහන් 10:16.
3. “මේ පරම්පරාව” පිළිබඳ අපේ අලුත් වූ අවබෝධය, දෙවිඳුන්ගේ වැඩයෙහි හදිසිතාවකින් නිරත වීමට අපව පෙලඹවිය යුත්තේ ඇයි?
3 “එය පසු නොබැස පැමිණෙනවාම” ඇතැයි ප්‍රොපේතවරයා පවසයි. “මේ සියල්ල සිදුවන තුරු” වර්තමාන දුෂ්ට පරම්පරාව පහව නොයන බව යේසු පැවසීය. (මතෙව් 24:34) අපේ දේශනා වැඩය හදිසි එකක් නොවන බව, ඔහුගේ වදන් සම්බන්ධයෙන් අපට තිබෙන අලුත් අවබෝධයෙන් අදහස් කරනවාද?a අවට සිද්ධීන්වලින් පෙනීයන්නේ කාලය ඉතා හදිසි බවයි! අපේ වර්තමාන පරම්පරාව ඉතිහාසයේ වෙන කිසිදාක දැක නැති දුෂ්ට මෙන්ම දූෂිත තත්වයක ගිලෙමින් සිටී. (ක්‍රියා 2:40, සසඳන්න.) අප අපේ වැඩය හදිසිතාවකින් කළ යුතුයි. (2 තිමෝති 4:2, NW) මහත් පීඩාව පැමිණෙන අවස්ථාව ගැන සඳහන් කරන හැම අනාවැකියක්ම පෙන්නුම් කරන්නේ, එය හදිස්සියෙන්, ක්ෂණිකව, රහසින්—හරියටම සොරෙකු වාගේ පැමිණෙන බවයි. (1 තෙසලෝනික 5:1-4; එළිදරව් 3:3; 16:15) “එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.” (මතෙව් 24:44) මනුෂ්‍යවර්ගයාගේ මෙම අභක්තික පරම්පරාව විනාශයේ අද්දර සිටින මෙම අවස්ථාවේදී, සිත වෙනතකට යොමු කරන ලෞකික දේවල “මඩේ පෙරළීමට” යෑමෙන්, සදාකාල ජීවනය නමැති අපේ අනර්ඝ බලාපොරොත්තුව පසෙක තබාගැනීමට අපට කිසිසේත් ඕනෑ නැති බවට සැකයක් නැත.—2 පේතෘස් 2:22; 3:10; ලූක් 21:32-36.
4. “නියම වේලාවට” දෙන “කෑම” සැපයුම වැඩි කිරීමට කුමන තත්වය පැනනැඟී තිබේද; එමෙන්ම මෙම අවශ්‍යතාව පිරිමසා තිබෙන්නේ කෙසේද?
4 මනුෂ්‍යවර්ගයා “දේවල පිළිවෙළේ සමාප්තියට” [NW] පා තැබූ විට, යේසුගේ අනාවැකිය සැබෑ කරමින්, 1914දී “ගාවිනාවල පටන්ගැන්ම[ක්]” පැවතිණ. මේ දක්වා, දුක් ගාවිනා, විපත්තිදායක සිදුවීම් හා නොපනත්කම දෙගුණ තෙගුණ වී ඇත. (මතෙව් 24: 3-8, 12) ඒත් සමඟම, ස්වාමි වූ ක්‍රිස්තුස්ගේ ගෘහය සඳහා “නියම වේලාවට [ආත්මික] කෑම දෙන්ට” යෙහෝවා, ආලේප ලත් විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය පත් කර ඇත. (මතෙව් 24:45-47) ස්වර්ගයේ පිහිටා ඇති තම සිහසුනේ සිට, මෙම මෙසියානු රජ, පොළොව පුරා පුදුමසහගත ආත්මික පෝෂණය ලබා දීමේ වැඩසටහනක් මෙහෙයවමින් සිටී.
බහුල වූ “කෑම කොටස”
5. “කෑම” සඳහා අවශ්‍ය මූලික දෙයට කුමන අවධානයක් දෙනු ලබනවාද?
5 “කෑම කොටස” පිළියෙළ කරන ආකාරය සලකා බලන්න. (ලූක් 12:42) ක්‍රිස්තියානි කෑම වට්ටෝරුවේ මූලික අංගය දේවවචනය වන බයිබලයයි. බයිබලය බලපෑමෙන් යුක්තව ඉගැන්වීම සඳහා, පහසුවෙන් කියවිය හැකි, නිවැරදි පරිවර්තනයක් මූලික අවශ්‍යතාවකි. විශේෂයෙන් 1950 පටන් නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද ක්‍රිස්ටියන් ග්‍රීක් ස්ක්‍රිප්චර්ස් යන බයිබල් පරිවර්තනය ඉංග්‍රීසි බසින් මුදාහරිනු ලැබූ විට, ගෙවී ගොස් ඇති අවුරුදු ගණනාව පුරා මෙම අවශ්‍යතාව ප්‍රගතිශීලීව පිරිමසා ඇත. වර්ෂ 1961 වන විට, මුළු බයිබලයම නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් හැටියට ලබාගත හැකි වූ අතර, ඉක්මනින් වෙනත් මූලික භාෂාවලිනුත් සංස්කරණ ලබාගත හැකි විය. එක්දහස් නවසිය අනූහයේ සේවා වර්ෂය තුළදී මුදාහරිනු ලැබූ වෙළුම් 3, මුළු භාෂා ගණන 27 දක්වා ඉහළ නංවන අතර, ඉන් භාෂා 14කින් මුළු බයිබලයම තිබේ. බයිබලය මෙන්ම බයිබල් ආධාරක පොත් පත් සම්බන්ධයෙන් කරන මේ වැඩය හැසිරවීමට, රටවල් 77ක සිටින කැප වූ ක්‍රිස්තියානීහු 1,174ක් පරිවර්තන කටයුතුවල දැන් පූර්ණ-කාලීනව වැඩ කරති.
6. බයිබල් ප්‍රකාශන සඳහා තිබෙන ඉල්ලුම සමඟ සමිතිය කටයුතු කර ඇත්තේ කෙසේද?
6 මෙම පරිවර්තන සේනාවේ වැඩයට අත හිත දෙමින්, වොච් ටවර් සමිතියේ මුද්‍රණ කටයුතු කරන ශාඛා කාර්යාල 24, පෙරට වඩා පොත් පත් තොගයක් නිපදවමින් සිට ඇත. ඒ අරමුණින්, ප්‍රධාන ශාඛා කාර්යාලවල අධි-වේගී රෝටරි මුද්‍රණ යන්ත්‍ර දිගටම ඉදි කරනු ලැබේ. මුරටැඹ හා පිබිදෙව්! සඟරා නිෂ්පාදනය මසින් මසට වැඩි වී ඇත; පිටපත් 94,38,92,500ක මුළු එකතුවක් මුද්‍රණය කරනු ලැබූ අතර, වර්ෂය සඳහා වර්ධන වේගය සියයට 13.4ක් විය. එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ, ෆින්ලන්තයේ, ජර්මනියේ, ඉතාලියේ, ජපානයේ, කොරියාවේ හා මෙක්සිකෝවේ පමණක් බයිබල් හා ඝන කවර ඇති පොත් නිෂ්පාදනයේ මුළු එකතුව, 1995 සිට 1996දී පිටපත් 7,67,60,098ක් දක්වා සියයට 40කින් වැඩි වී ඇත. පොත් පත් නිෂ්පාදනයේ සමස්ත වැඩිවීමට වෙනත් ශාඛාවන්ද සෑහෙන දුරට දායක වී ඇත.
7. යෙසායා 54:2ට දැන් වඩාත් හදිසිතාවක් තිබෙන්නේ කොහොමද?
7 එක්දහස් නවසිය අනූගණන්වල නැඟෙනහිර යුරෝපයේ හා අප්‍රිකාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මත පනවා තිබූ තහනම් ඉවත් කිරීම මෙම වැඩිවීමට බෙහෙවින් බලපා ඇත. මෙම ප්‍රදේශවල ආත්මික ආහාර සඳහා තිබෙන සාගින්න ඉමහත්ය. එබැවින් මෙම ප්‍රකාශය වඩ වඩා හදිසිතාවකින් ප්රතිනාද දෙයි: “නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න. ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න.”—යෙසායා 54:2.
8. මූල්‍යමය ආධාර සැපයීමට කුමන ත්‍යාගශීලී ප්‍රතිචාරයක් උපකාරවත් වෙනවාද?
8 මෙසේ සමිතියේ ශාඛා කාර්යාල 104න් බොහොමයක පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබේ. අලුතින් විවෘත වී ඇති ප්‍රදේශ බොහොමයක තිබෙන දැඩි ආර්ථික ප්‍රශ්න නිසා, මෙම ව්‍යාප්තිය සඳහා වැය වන මුදලින් වැඩි කොටසක් පියවනු ලබන්නේ, ලෝක ව්‍යාප්ත වැඩය සඳහා වඩාත් ධනවත් රටවලින් ලැබෙන සම්මාදම්වලිනි. නික්මයාම 35:21හි ස්වභාවයට එකඟව සභාවන් හා පුද්ගලයන් මුළු හෘදයෙන්ම ප්‍රතිචාරය දැක්වීම සන්තෝෂයට කරුණකි: “තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමීන්වහන්සේට [යෙහෝවාට, NW] පඬුරු ගෙනාවෝය.” මෙම ත්‍යාගශීලී දීමෙහි සහභාගි වී ඇති සියල්ලන්ට ස්තුති දීමට අපි මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු.—2 කොරින්ති 9:11.
9. අදදින රෝම 10:13, 18 ඉටු වන්නේ කෙසේද?
9 වර්ෂ 1996 තුළදී, වොච් ටවර් සමිතියේ ප්‍රකාශන දස දෙසින් යෙහෝවාගේ නාමයත් අරමුණුත් සැබවින්ම මහිමවත් කර ඇත. තත්වය හරියටම ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළාක් මෙනි. යෝවෙල්ගේ අනාවැකිය හා 19වන ගීතිකාව උපුටා දක්වමින්, ඔහු මෙසේ ලීවේය: “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන [යෙහෝවාගේ නාමයෙන් අයදින, NW] කවුරු නුමුත් ගළවනු ලබන්නේය. නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.” (රෝම 10:13, 18) යෙහෝවා යන අනර්ඝ නාමය මෙසේ මහිමවත් කිරීමෙන්, ඔහුගේ නමස්කාර ගෘහය තේජසින් පිරවීමට ඔහුගේ සෙනඟ වැදගත් කාර්ය කොටසක් ඉටු කර තිබේ. කෙසේවෙතත්, 1996දී මෙම ප්‍රකාශය සුවිශේෂ ආකාරයකින් පතළ වී තිබෙන්නේ කෙසේද? දහඅටේ සිට 21 දක්වා පිටුවල තිබෙන වගුව කරුණාකර පිරික්සා බලන්න.
ලොව පුරා අස්වැන්න නෙළීම
10. දහඅටේ සිට 21වන පිටු දක්වා තිබෙන වගුවේ ලුහුඬින් දක්වා ඇති පරිදි, යෙහෝවාගේ සෙනඟගේ ක්‍රියාකාරකම්වලින් ඔබේ අවධානයට යොමු වුණේ කුමන කැපීපෙනෙන අංග ලක්ෂණද?
10 “ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න.” ලූක් 10:2හි සඳහන් යේසුගේ මෙම වදන් කිසිදාකට වඩා බලපෑමෙන් යුක්තය. ඔබ එම ඉල්ලීමට ප්‍රතිචාරය දක්වනවාද? ලොව පුරා දශලක්ෂ ගණන් ඊට ප්‍රතිචාරය දක්වති. වර්ෂ 1996 තුළදී ක්ෂේත්‍ර සේවය වාර්තා කළ රාජ්‍ය ප්‍රචාරකයන්, 54,13,769ක නව ඉහළ යෑමකින් මෙය සනාථ වේ. එපමණක්ද නොව, අලුත් සහෝදර සහෝදරියෝ 3,66,579දෙනෙක් බව්තීස්ම වූහ. ‘යෙහෝවාගේ නමස්කාර ගෘහය තේජසින් පිරවීමෙහි’ දැන් සහභාගි වන “සියලු ජාතීන් ආශාවෙන” මෙම “දේ” සඳහා අපේ අගය මොනතරම්ද!—හග්ගයි 2:7.
11. ප්‍රීතියෙන් ඉපිල යෑමට අප සියලුදෙනාටම හේතුවක් ඇත්තේ ඇයි?
11 අලුතින් විවෘත වූ ක්ෂේත්රවල පුළුල් වීම සම්බන්ධයෙන් ලැබෙන වාර්තා ඇත්තෙන්ම පුදුමසහගත ඒවාය. එවැනි වර්ධනයක් භුක්තිවිඳින අය ගැන අපි ඊර්ෂ්‍යා වන්නෙමුද? එසේ නොව, අපි ඔවුන් සමඟ ප්‍රීති සන්තෝෂ වන්නෙමු. හැම රටකටම තිබුණේ කුඩා ආරම්භයක්. හග්ගයිගේ සමකාලීනයෙකු වූ ප්‍රොපේත සෙකරියා මෙසේ ලීවේය: “කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද?” (සෙකරියා 4:10) සාක්ෂිදැරීමේ වැඩය හොඳින් පිහිටා තිබෙන රටවල රාජ්‍ය ප්‍රචාරකයන් දශලක්ෂ ගණනාවක් සිටීම ගැනත්, බලප්‍රදේශය නිතරම, ඇතැම් විශාල නගර සතිපතා පවා පියවීම ගැනත්, අපි ඉතා සන්තෝෂ වන්නෙමු. කලින් වාසිදායක තත්වයක් නොතිබූ ප්‍රදේශවලට යෙහෝවා ගැළවීමේ ප්‍රස්තාව දැන් විවෘත කරද්දී, එය අපහට අලස වීමට හේතුවක්ද? කිසිසේත් නැත! “කෙත නම් ලෝකය” කියා යේසු පැවසුවේය. (මතෙව් 13:38) මුල් ගෝලයන් යුදෙව් දේවල පිළිවෙළේ සමාප්තිය අවට කාලයේදී සම්පූර්ණ සාක්ෂියක් දැරුවා වාගේම, සම්පූර්ණ සාක්ෂියක් දිගටම දැරිය යුතුය.—ක්‍රියා 2:40; 10:42; 20:24; 28:23.
දිගටම ඉදිරියට යමින්
12. “කෙළින් ඉස්සරහට” යෑම සඳහා අපට තිබෙන පෙලඹවීම කුමක්ද? (“‘පොළොවේ කෙළවරින්’ අස්වනු නෙළීම” යන කොටුවද බලන්න.)
12 ඔව්, අප යෙහෝවාගේ දේවදූතමය ස්වර්ගික රථය සමඟ එකම වේගයෙන් “කෙළින් ඉස්සරහට” යා යුතුය. (එසකියෙල් 1:12) අපට මේ අවස්ථාවේදී පේතෘස්ගේ වචන සිහි වේ: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.” (2 පේතෘස් 3:9) ආර්ථික ලෙස දිළිඳු රටවල සිටින අපේ සහෝදරයන්ගේ ආදර්ශවත් ජ්වලිතය අපට දිරිගැන්වීමක් වෙත්වා! අර්මගෙදොන්හි පැමිණීම ප්‍රමාද වෙතැයි පෙනුණත්, මෙම රටවල මෙන්ම හොඳින් වැඩ කර තිබෙන ප්‍රදේශවල පවා සියදහස් ගණනක් එක්කාසු කිරීමට අවස්ථාව උදා කර ඇත. “ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, . . . ළංව ඉතා ඉක්මනට එන්නේය.” මෙහි යථාර්ථය කිසිසේත් අමතක නොකරන්න. (ශෙපනියා 1:14) අවසාන වරට සම්පූර්ණ සාක්ෂියක් දීම සඳහා අපත් යුහුසුලු විය යුතුයි!
13, 14. (අ) වර්ෂ 1996දී ප්‍රකාශන බෙදාහැරීම ගැන කුමක් කියන්න පුළුවන්ද? (ආ) හැම අවුරුද්දකදීම සභාවන්ට කුමන විශේෂ සැලසුම් ඇති කළ හැකිද; සහභාගි වීමට ඔබ සැලසුම් කරන්නේ කොහොමද?
13 සේවය පිළිබඳ වගුවේ සෑම තොරතුරක්ම අඩංගු වී නැතත්, පසුගිය අවුරුද්ද තුළදී, බයිබල්, පොත් හා සඟරා බෙදාහැරීමෙහි කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබී ඇත. නිදසුනක් වශයෙන්, ලොව පුරා බෙදාහැරියා වූ සඟරා ප්‍රමාණය සියයට 19කින් වැඩි විය; බෙදාහරින ලද පිටපත් සංඛ්‍යාව 54,36,67,923ක් විය. සාර්ථකව වීථිවල, උද්‍යානවල, බස් නැවතුම්පොළවල, ව්‍යාපාර ස්ථානවල දේශනා කිරීමට අපේ සඟරා මහෝපකාරි වේ. රාජ්‍ය දේශනාව හොඳින් අසා ඇති ප්‍රදේශවල විවිධ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයන් අපේ සඟරාවල ගුණයෙන් ආකර්ෂණය වී, බයිබල් පාඩම් පිළිගන්නා බව වාර්තාවලින් ඇඟවේ.
14 හැම වසරක් පාසාම අප්‍රියෙල් මාසයේදී, සභාවෝ සාමාන්‍යයෙන් විශේෂ සඟරා සේවයක් සැලසුම් කරති; එවිට ගෙයින් ගෙට හා ප්‍රසිද්ධ ස්ථානවල දවසක් පුරා බෙදාහැරීමේ ප්රයත්නයක් දියත් කරනු ලැබේ. වර්ෂ 1997 අප්‍රියෙල් මාසයේදී ඔබේ සභාව මීට සහභාගි වනු ඇද්ද? අප්‍රියෙල් මාසය සඳහා කැපීපෙනෙන මුරටැඹ හා පිබිදෙව්! කලාප පිළියෙළ කර ඇති අතර, ඒවා ලොව පුරා සමගාමීව ඉදිරිපත් කිරීම සිත්ගන්නා දෙයක් වන බවට සැකයක් නැත! සයිප්‍රස් දූපතේ සභාවන් “රාජ්‍ය පණිවිඩය සමඟින් හැකි තරම් පුද්ගලයන් කරා එළඹෙන්න” යන උද්යෝග පාඨය යොදාගනිමින්, ඉන්පසුව හැම මාසයකම පවා එලෙස සඟරා සේවය සැලසුම් කිරීමෙන්, අවුරුද්දට සඟරා 2,75,359ක් බෙදාහැර අලුත් වාර්තාවක් තැබීය; මෙය සියයට 54ක වර්ධනයක් විය.
හග්ගයිගේ අවසන් පණිවිඩ
15. (අ) යෙහෝවා හග්ගයි තුළින් තවත් පණිවිඩ එව්වේ ඇයි? (ආ) හග්ගයිගේ තුන්වන පණිවිඩය අපට ඉදිරිපත් කළ යුත්තේ කුමන පාඩමද?
15 හග්ගයි තම දෙවන පණිවිඩය ඉදිරිපත් කිරීමෙන් දවස් 63කට පසු, තුන්වන ප්‍රකාශයක් කිරීමට යෙහෝවා ඔහුව යැවීය: අදදින අප මෙම ප්‍රකාශය හෘදයට ගැනීම යහපති. යුදෙව්වන් ඒ අවස්ථාවේදී දේවමාළිගාවේ අත්තිවාරම දමමින් සිටියාක් මෙන් හග්ගයි කතා කළේය. කෙසේවෙතත් ඔවුන් එසේ කර තිබුණේ ඊට අවුරුදු 17කට පෙරය. නැවතත් පවිත්‍ර කිරීමක් කිරීමේ අවශ්‍යතාව යෙහෝවා දුටුවේය. පූජකයන් හා ජනයා නොසැලකිලිමත්ව කටයුතු කර තිබූ බැවින්, ඔවුහු යෙහෝවාගේ ඇස් හමුවෙහි අපවිත්‍ර වූහ. යෙහෝවාගේ ජනයාගෙන් සමහරෙකු අදදින අලස වී, ලෝකයේ ලිහිල් මෙන්ම ද්‍රව්‍යවාදී මාර්ගවලට පවා හවුල් වෙමින් සිටිනවා විය හැකිද? “අද [මේ] දවසේ පටන්” යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙන දීම කෙරෙහි අප සියලුදෙනාම අපේ හදවත් යොමු කිරීම හදිසි කාරණයක් වන අතරම, “අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි” යන ඔහුගේ පොරොන්දුව ගැන අපට නිසැක විය හැක.—හග්ගයි 2:10-19; හෙබ්‍රෙව් 6:11, 12.
16. අත ළංව තිබෙන්නේ කුමන ‘සෙලවීමද;’ එමෙන්ම කුමන ප්‍රතිඵලයක් ඇතුවද?
16 ඒ දවසේදීම, ‘සේනාවල යෙහෝවාගේ’ වචනය හග්ගයි වෙත සිව්වන හා අවසාන වරට පැමිණියේය. ‘ජාතීන් සෙලවීමට’ ඇතුළත් වන්නේ කුමක්ද කියා දන්වමින්, ඔහු මෙසේ පැවසීය: “මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.” (හග්ගයි 2:6, 21, 22) මෙසේ යෙහෝවා අර්මගෙදොන්හිදී පොළොව සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරන විට, මෙම ‘සෙලවීම’ එහි උච්චාවස්ථාව කරා ළඟා වනවා ඇත. නව ලෝක සමාජයේ අඩිතාලම සැකසීම සඳහා, ඒ වන විට “සියලු ජාතීන් ආශාවෙන දේ” එක්රැස් වී සිටිනු ඇත. ප්‍රීතිවීම සඳහාත් යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහාත් මොනතරම් හේතු ඇද්ද!—හග්ගයි 2:7; එළිදරව් 19:6, 7; 21:1-4.
17. යේසුව “පේරස්මුද්දක්” හැටියට පිහිටුවා ඇත්තේ කෙසේද?
17 තම අනාවැකිය නිම කරමින්, හග්ගයි මෙසේ ලියයි: “සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කථාකොට: . . . සෙරුබ්බාබෙල්, මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස්මුද්දක් කොට තබාගන්නෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක. මක්නිසාද නුඹ තෝරාගතිමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” (හග්ගයි 2:23) යේසුස් ක්‍රිස්තුස් දැන් යෙහෝවාගේ ප්‍රතිරූපක මෙසියානු රජු හා උත්තම පූජක ලෙස පෙනී සිටින අතර, භූමික යෙරුසලමේ ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් හා උත්තම පූජක යෝෂුවා වෙන වෙනම හෙබවූ නිලතල, ඔහු ස්වර්ගයේ එකට හොබවමින් සිටී. යෙහෝවාගේ දකුණතේ නිල පේරස්මුද්දක් හා සමානව, “දෙවියන් වහන්සේගේ පොරොන්දු” බොහොමය සැබෑ කරවමින් යෙහෝවාගේ මෙවලම වශයෙන්, “එසේය” බවට පත්ව සිටින්නේ යේසුය. (2 කොරින්ති 1:20; එපීස 3:10, 11; එළිදරව් 19:10) බයිබලයේ තිබෙන සම්පූර්ණ අනාවැකිමය පණිවිඩය අවධානය යොමු කරන්නේ, යෙහෝවා විසින් රජු හා පූජක මිදුම්කරු වශයෙන් ක්‍රිස්තුස්ව සපයා දීම මතය.—යොහන් 18:37; 1 පේතෘස් 1:18, 19.
18. ‘සේනාවල යෙහෝවාගේ’ අන්තිම ‘කියමන’ නැවුම්බවක් ගෙන දෙන අන්දමකින් ඉටු වන්නේ කෙසේද?
18 යෙහෝවාගේ කාන්තියෙන් බැබළෙන ආත්මික දේවමාළිගාවේ වැඩිම තේජස දැකගත හැකි වන්නේ අපේ කාලයේ බවට සහතිකය! එමෙන්ම, යෙහෝවා සාතන්ගේ මුළුමහත් පිළිවෙළම ඉවත් කළායින් පසු, නොපමාව හග්ගයි 2:9ට තවත් ප්‍රීතිදායක ඉටුවීමක් තිබේවි: “මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” ඇත්තෙන්ම සමාදානය! යෙහෝවාගේ ‘පේරස්මුද්දෙන්,’ එනම් සමාදානයේ කුමාරයා වන යේසුස් ක්‍රිස්තුස් තුළින් සහතික කරනු ලබන කල්පවතින විශ්වනීය සමාදානයකි එය. යේසු ගැන මෙසේ ලියා තිබේ: “ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] ජ්වලිතය මෙය ඉෂ්ටකරන්නේය.” (යෙසායා 9:6, 7) යෙහෝවාගේ නමස්කාර ගෘහයේ තේජස සදහටම ඔහුගේ විශ්වනීය පරමාධිපත්‍යය යටතේ තිබෙන සාමදායී රාජ්‍යය පුරා පිළිබිඹු වෙනවා ඇත. එම ගෘහයෙහි සදහටම වාසය කිරීම අපේ කොටස වෙත්වා!—ගීතාවලිය 27:4; 65:4; 84:10.
[පාදසටහන]
a වර්ෂ 1995 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ “‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී” හා “අවදිව සිටීමට කාලයක්” යන ලිපි බලන්න.
ඔබට පහදා දිය හැකිද?
◻ අදදින, යෙහෝවාගේ ගෘහය ‘තේජසින් පිරී යන්නේ’ කෙසේද?
◻ ශුභාරංචිය දේශනා කිරීම දැන් මෙතරම් හදිසි යමක් වන්නේ මන්ද?
◻ වර්ෂ 1996 සේවා වර්ෂ වාර්තාව හදිසියෙන් දේශනා කිරීම සඳහා දෙන පෙලඹීම කුමක්ද?
◻ ක්‍රිස්තුස්, යෙහෝවාගේ “පේරස්මුද්ද” හැටියට සේවය කරන්නේ කෙසේද?
[15වන පිටුවේ කොටුව]
“පොළොවේ කෙළවරින්” අස්වනු නෙළීම
යෙසායා 43:6හි අපට යෙහෝවාගේ මෙම ආඥාව කියවිය හැක: ‘නවත්වා නොගන්න; දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද ගෙනෙන්න.’ අදදින නැඟෙනහිර යුරෝපයේදී මෙම ශුද්ධ ලියවිලි පාඨයට අතිවිශේෂ ඉටුවීමක් තිබේ. නිදසුනක් හැටියට, කලින් කොමියුනිස්ට් රටක් වූ මොල්ඩෝවා ගන්න. එහි සමහර ගම්වල ජනගහනයෙන් අඩක්ම දැන් සාක්ෂිකරුවෝය. දේශනා කිරීම සඳහා ප්‍රදේශ සොයමින් බොහෝ දුර ගමන් කිරීමට සිදු වුවත්, ඔවුහු එම වෑයම දරති. මෙම සභාවල සිටින ප්‍රචාරකයන් බොහෝදෙනෙක්, 1950ගණන්වල මුල්භාගයේදී සයිබීරියාවට පිටුවහල් කළ දෙමාපියන්ගේ දරුවෝය. දැන්, ඔවුන්ගේ පවුල් අස්වනු නෙළීමේ වැඩයේ පෙරමුණෙහි සිටිති. සිටින ප්‍රචාරකයන් 12,565දෙනාගෙන් 1,917ක්ම පසුගිය අවුරුද්දේදී බව්තීස්ම ලැබූහ. ප්‍රචාරකයන් 150ක් බැගින් සිටින සභාවන් 43ක් තිබෙන අතර, අලුත් සේවා වර්ෂයේදී චාරිකා ගණන හතරේ සිට අට දක්වා වැඩි වී ඇත.
ඇල්බේනියාවේ ව්‍යාප්තියත් පුදුමයට හේතුවකි. එහිදී අවුරුදු 50ක් පමණ පුරා සාක්ෂිකරුවෝ අතළොස්සක් ඉතා කෲර වූ ඒකාධිපති ආණ්ඩුවක් යටතේ විඳදරාගෙන සිටියෝය. ඉන් කිහිපදෙනෙක්ම ඝාතනය කරනු ලැබූහ. යේසුගේ මෙම පොරොන්දුව සිහියට නැඟේ: “නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; . . . මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.” (එළිදරව් 2:10; එමෙන්ම යොහන් 5:28, 29; 11:24, 25ද බලන්න.) දැන් ඇල්බේනියාවේ අපට දැකගත හැක්කේ කුමක්ද? සැබවින්ම යෙසායා 60:22හි තිබෙන “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය” යන යෙහෝවාගේ පොරොන්දුවේ කැපීපෙනෙන ඉටුවීමක් බවට සහතිකය! වර්ෂ 1990දී ඇල්බේනියාවේ සේවය වාර්තා කළේ එක ප්‍රචාරකයෙකු පමණි. කෙසේවෙතත්, ඉතාලියෙන් හා වෙනත් රටවලින් තවත් “මෙහෙකරුවෝ,” “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . ඔවුන් බව්තීස්මකරන්න” යන යේසුගේ ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වූහ. (මතෙව් 28:19; ලූක් 10:2) වර්ෂ 1996දී යේසුගේ මරණය සිහි කිරීමට අවස්ථාව පැමිණි විට, ප්‍රචාරකයන් 773දෙනෙක් ක්ෂේත්රයේ ක්‍රියාශීලීව සිටි අතර, ඔවුහු තම සිහි කිරීමේ රැස්වීම්වලට පුද්ගලයන් 6,523දෙනෙකු එක්රැස් කළෝය; මෙම සංඛ්‍යාව ප්‍රචාරකයන් මෙන් අට ගුණයකටත් වඩා වැඩියි! පිටිසර ප්‍රදේශවල පුදුමසහගත සංඛ්‍යාවක් පැමිණි බවට වාර්තා විය. කූකස් හා ඩීව්යේකෙ නගරවල ප්‍රචාරකයන් නොසිටියත්, එම නගරවල පිළිවෙළින් 192ක් සහ 230ක් පැමිණියහ. එක ප්‍රචාරකයෙකු පමණක් සිටින කෲය නගරයෙහි 212දෙනෙක් පැමිණියහ. කොර්චහි සිටින ප්‍රචාරකයන් 30දෙනා 300දෙනෙකුට වැඩි පිරිසක් සඳහා පහසුකම් කුලියට ගත්හ. එම සංඛ්‍යාවෙන් ශ්‍රවණාගාරය පිරුණාට පසු, තවත් ඉඩ කඩ නොතිබූ නිසා තව 200දෙනෙකුට ආපසු හැරී යෑමට සිදු විය. සැබවින්ම අස්වනු නෙළීම සඳහා සූදානම් කෙතක්!
රුමේනියාවෙන් මෙම වාර්තාව ලැබී තිබේ: “අපි ගෙයින් ගෙට සේවය කරන කොට, තමා යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් කියා සිටි පුද්ගලයෙක් අපිට හමු වුණ අතර, ඔහු හිටියේ අපි දන්නා තරමින් සාක්ෂිකරුවන් නොහිටිය කුඩා නගරයක. ඔහු හැර තවත් 15දෙනෙක් අවුරුදු කිහිපයක් පුරා බ්‍රහස්පතින්දා හා ඉරිදා රැස්වීම් පවත්වමින්, ගෙයින් ගෙට දේශනා කිරීම ආරම්භ කර තිබූ බව ඔහු අපිට කිව්වා. ඊළඟ දවසේ අපි එම නගරයට ගියා. අපි එන තුරු කාමර දෙකක, පිරිමි, ගැහැනු, දරු දැරියෝ 15දෙනෙක් බලාගෙන හිටියා; ඔවුන් අපෙන් පොත් 20ක් හා අලුත්ම සඟරා 20ක් ලබාගත්තා. බයිබල් පාඩම් පවත්වන විදිහ අපි ඔවුන්ට පෙන්නුම් කර දුන්නා. අපි එකට ගී ගැයුවා; ඔවුන්ගේ වඩාත් හදිසි ප්‍රශ්නවලට උත්තර දුන්නා. කණ්ඩායමෙහි පෙරමුණ අරං කටයුතු කළ එක්කෙනා මෙහෙම පිළිගත්තා: ‘දවස් කිහිපයකට ඉස්සෙල්ලා මම කඳුළින් යෙහෝවාට යාච්ඤා කළේ එඬේරෙක් එවන්න කියලා; මගේ යාච්ඤාවට පිළිතුරු ලැබිලයි තියෙන්නේ.’ අපි හිටියේ හරි සන්තෝෂයෙන්; එමෙන්ම අපි යන්න යන විට, කොහොම හරි අන්තිමේදී තමාගේ පියාව හොයාගත් අනාථ දරුවෙක් වගේ ඔහු මෙහෙම කිව්වා: ‘අනේ අපිව අමතක කරන්න එපා. ආයෙත් අපිව බලන්න එන්න!’ අපි එහෙම කළා; දැන් එම නගරයේ බයිබල් පාඩම් හතක් පවත්වනු ලබනවා. අලුත් ප්‍රදේශ බොහොමයක, බයිබල් පොත් පත් දීමෙන් වැඩය පුදුමසහගත විදිහට ආරම්භ වෙනවා; මෙම පොත් පත් ගොඩක් අගය කරනු ලබන අතර, ඒවා මෙම වැඩය දිව්‍යමය මූලාශ්‍රයකින් පැමිණෙන බව පෙන්නුම් කරනවා.”
[18-21වන පිටුවේ වගුව]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1996 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[16, 17වන පිටුවේ පින්තූර]
“සියලු ජාතීන් ආශාවෙන දේ” මුහුදේ දිවයින්වලින් (1), දකුණු අමෙරිකාවෙන් (2), අප්‍රිකාවෙන් (3), ආසියාවෙන් (4), උතුරු අමෙරිකාවෙන් (5), යුරෝපයෙන් (6), එක්කාසු කරනු ලැබේ