යෙහෝවඃවහන්සේගේ ගරුබිය-දනවන දවස ළඟය
“ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.”—මලාකී 3:16.
1, 2. මලාකී කලින්ම අනතුරු අඟවන්නේ කිනම් ගරුබිය-දනවන දවසක් ගැනද?
ගරුබිය-දනවනසුලුය! වර්ෂ 1945 අගෝස්තු 6දා උදාවෙත්ම, එක් මහත් නගරයක් සැණකින් සුනු විසිනු විය. අසූදාහක් පමණ මරුමුවට පත්වූවෝය! තවත් දස දහස් ගණනක් මාරාන්තික තුවාල ලැබූහ! ගිනි ඇවිළිණි! න්‍යෂ්ටික බෝම්බය එහි කාර්යභාරය ඉටු කොට තිබිණි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට එම ව්‍යසනය අතරේදී කුමක් සිදුවූයේද? හිරෝෂිමාහි සිටියේ එක් සාක්ෂිකරුවෙකු පමණි—ඒ, තම ක්‍රිස්තියානි අඛණ්ඩතාව නිසා, සිර ගෙයක ආරක්ෂිත බිත්තිවලට හිරවී සිටි කෙනෙකි. සිරගෙය කැබලි බවට පත්විණි, නමුත් අපගේ සහෝදරයාට කිසිදු හානියක් වූයේ නැත. ඔහු පැවසූ ලෙස, පරමාණු බෝම්බය ඔහුව සිරගෙදරින් පිටතට විසි කළේය—සමහරවිට පරමාණු බෝම්බය සිදු කළ එකම හොඳ දෙය මෙය වන්නට ඇත.
2 එම බෝම්බය කොතරම් භයානක ලෙස පුපුරා ගියත්, ඉදිරියෙහි තිබෙන “ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස” සමඟ සසඳන කල, එය නොසැලකිය හැකි තරම්ය. (මලාකී 4:5) එසේය, අතීතයේදීද ගරුබිය-දනවන දවස් තිබී ඇත, නමුත් යෙහෝවඃවහන්සේගේ මෙම දවස ඒවා සියල්ලම අභිබවා යනු ඇත.—මාර්ක් 13:19.
3. ජලගැල්මට මඟපාදමින් ‘මාංසමයවූ සියල්ලන්’ සහ නෝවාගේ පවුලේ අය අතර දැකිය හැකි වූ වෙනස කුමක්ද?
3 නෝවාගේ දවසේදී, “මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන” සිටි අතර, දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “[ඔවුන්] කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.” (උත්පත්ති 6:12, 13) මතෙව් 24:39හි වාර්තා වී ඇති පරිදි, “ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය” යයි යේසුස්වහන්සේ පැවසූසේක. එහෙත්, “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” වූ ඇදහිලිවන්ත නෝවා, තමන්ගේ දේව-භයැති පවුල සමඟ එම මහා ජලගැල්මෙන් බේරී ජීවත්වූයේය.—2 පේතෘස් 2:5.
4. සොදොම් සහ ගොමොරා මගින් සපයන ලද අනතුරු ඇඟවීමේ ආදර්ශය කුමක්ද?
4 යූද් 7හි මෙසේ විස්තර කෙරේ, “එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද . . . තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.” එම අභක්තික ජනයා විනාශ වූයේ, ඔවුන්ගේ පිළිකුල්සහගත අධම අශික්ෂිත ජීවන රටාව නිසාය. මේ නවීන ලෝකයේ ලිංගිකත්වයෙන් වටවූ ප්‍රජාවන්ට මෙය අනතුරු ඇඟවීමක් වේවා! කෙසේවෙතත්, එම ව්‍යසනයේදී දේව-භයැති ලොත් සහ ඔහුගේ දියණියන් බේරී ජීවත්වූවාක් මෙන්, ඉතා-ශීඝ්‍රයෙන් එළඹෙමින් තිබෙන මහත් පීඩාවේදී යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ද ආරක්ෂාව ලබනු ඇති බව සැලකිල්ලට ගන්න.—2 පේතෘස් 2:6-9.
5. යෙරුසලම මත ඉටු කරන ලද විනිශ්චයන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
5 වරෙක, “මුළු පොළොවට ප්‍රියකරු” වූ තේජාන්විත පුරවරය වූ යෙරුසලම පිසදැමීමට යෙහෝවඃවහන්සේ ආක්‍රමණශීලී හමුදාවන් යොදාගත් අවස්ථාවේ සපයන ලද අනතුරු ඇඟවීමේ ආදර්ශ ඊළඟට සලකා බලන්න. (ගීතාවලිය 48:2) මෙම ඛේදජනක සිදුවීම් පළමුවරට සිදුවුණේ, පො.යු.පෙ. 607දීය, තවද නැවත පො.යු. 70දීය. තවද, මීට හේතුව වූයේ, දෙවියන්වහන්සේගේයයි කියා සිටි ජනයා සැබෑ නමස්කාරය අත්හැරීමයි. යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත සේවකයන් බේරීම සන්තෝෂයට කාරණයක් විය. පොදු යුගයේ 70දී සිදුවූ ව්‍යසනය (පහළ පින්තූරයේ දක්වා ඇති පරිදි), “දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ” පීඩාවක් ලෙස විස්තර කොට තිබේ. එය ඇදහිල්ල අතහැර ගිය යුදෙව් පිළිවෙළ සහමුලින්ම ඉවත් කළ අතර, සහතිකවම ඒ අතින් බලන කල, එය ‘මතු සිදු නොවන්නේය.’ (මාර්ක් 13:19) එහෙත්, මෙම දිව්‍ය විනිශ්චය ඉෂ්ට කිරීම වනාහි, දේවල සකල ලෝක පිළිවෙළටම දැන් තර්ජනය කරන්නාවූ ‘මහත් පීඩාවේ’ හීන් සෙවනැල්ලක් පමණි.—එළිදරව් 7:14.
6. යෙහෝවඃවහන්සේ විපත්වලට අවසර දෙන්නේ මන්ද?
6 මෙතරම් මහත් ජීවිත ගණනක් අහිමි කරවන මෙම දරුණු ව්‍යසනවලට දෙවියන්වහන්සේ අවසර දෙන්නේ මන්ද? නෝවාගේ සිද්ධියේදී, එමෙන්ම සොදොම් සහ ගොමොරාවේ මෙන්ම යෙරුසලම සම්බන්ධ සිද්ධියේදී, යෙහෝවඃවහන්සේ විනිශ්චය ඉෂ්ට කරමින් සිටියේ, පොළොව මත තම මාර්ග දූෂ්‍ය කරගෙන සිටි, එමෙන්ම මෙම අලංකාර ග්‍රහයා දූෂණයෙන්ද, සදාචාර පිරිහීමෙන්ද කිළිටි කරගෙන තිබූ සහ සැබෑ නමස්කාරය අත්හැර හෙවත් ප්‍රතික්ෂේප කර තිබූවන් මතටය. අදත් අප සිටින්නේ, සකල ලෝකයම ගිලගනු ඇති මහත් විනිශ්චයක ඉෂ්ට කිරීමක් අද්දරය.—2 තෙසලෝනික 1:8, 10.
“අන්තිම දවස්වලදී”
7. (අ) ඉපැරණි දිව්‍ය විනිශ්චයන් අනාවැකිමය වූයේ කුමක් සම්බන්ධයෙන්ද? (ආ) ඉදිරියට තිබෙන තේජාන්විත අපේක්ෂාව කුමක්ද?
7 ඉපැරණි කාලවල වූ එම විනාශයන්, 2 පේතෘස් 3:3-13හි විස්තර කොට ඇති ගරුබිය-දනවන මහත් පීඩාවේ අනාවැකිමය යමක් වූයේය. ප්‍රේරිතවරයා මෙසේ කියයි: “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: . . . සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගනිල්ලා.” පසුව, නෝවාගේ දවස් ගැන කතා කරමින්, පේතෘස් මෙසේ ලියයි: “එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශ[විය]. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.” සියලු පීඩාවලට වඩා අතිමහත් වූ පීඩාවෙන් පසු, බොහෝ කලක් තිස්සේ බලාසිටිනු ලැබූ මෙසියස්වහන්සේගේ රාජ්‍යය පාලනය නව මුහුණුවරක් ගනු ඇත—එනම්, “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක් [සහ] අලුත් පොළොවක්[ය].” මොනතරම් ප්‍රීතිමත් අපේක්ෂාවක්ද!
8. ලෝක සිදුවීම් උච්චාවස්ථාවකට ඇදී යන්නේ කෙසේද?
8 අපගේ 20වන සියවසේදී, ලෝක සිද්ධීන් ප්‍රගතිශීලීව උච්චාවස්ථාවක් කරා ඇදී ගොස් තිබේ. හිරෝෂිමාවේ විපත්තිය දිව්‍ය සෝදිසියේ ලකුණක් නොවුවද, එය අන්තිම කාලය සඳහා යේසුස්වහන්සේ පුරෝකථනය කළ, “භයංකර පෙනීම්” තුළට ඇතුළත් කළ හැකිය. (ලූක් 21:11) තවමත් මිනිස්වර්ගයා මත තර්ජනය කරන කුණාටු වලාකුළක් සේ දිස්වන න්‍යෂ්ටික තර්ජනයක් එමගින් ඇති කරලීය. මෙසේ, 1993 නොවැම්බර් 29දා ද නිව් යෝර්ක් ටයිම්ස්හි ප්‍රධාන ශීර්ෂයේ මෙසේ කියවීමට තිබේ: “තුවක්කු මළ බැඳී තිබෙනවා විය හැක, නමුත් න්‍යෂ්ටික අවිවලට තවමත් ඔපදමනු ලබමින් තිබේ.” මේ අතරතුර, ජාත්‍යන්තර, අන්තර්ජාතීය, අන්තර්ගෝත්රීය යුද්ධ, දිගටම භයංකර අස්වැන්නක් නෙළාගනිමින් සිටී. පසුගිය යුද්ධවලදී, ප්‍රහාරවලට ලක්වූවන්ගෙන් බහුතරයක් වූයේ සොල්දාදුවන්ය. අදදින, යුද්ධයට ගොදුරුවූවන්ගෙන් සියයට 80ක්ම සාමාන්‍ය පුරවැසියන් වන අතර, සරණාගතයන් ලෙස තම මව්බිම්වලින් පලායන මිලියන ගණනක්දෙනා අමතක කළ යුතු නොවේ.
9. ආගමික නායකයන් ලෝකය සමඟ මිත්‍රකම විදහා ඇත්තේ කෙසේද?
9 යුද්ධවල සහ ලේ හලන විප්ලවවල ක්‍රියාශීලීව නියැලෙමින් ආගමික නායකයෝ “ලෝකය සමඟ මිත්‍රකම” දිගටම පෙන්වා ඇත්තාහ, එමෙන්ම දිගටම පෙන්වනු ඇත. (යාකොබ් 4:4) වාණිජ ලෝකයේ ගිජු සුපිරි ධනවතුන් මහා පරිමාණයේ අවි නිපදවමින්, මත්ද්‍රව්‍ය රාජධානි පිහිටුවමින් සිටින අතරතුර, ඇතැම්හු මොවුන්ට අනුග්‍රහ දක්වා ඇත්තාහ. නිදසුනක් වශයෙන්, දකුණු අමෙරිකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඝාතනය වාර්තා කිරීමේදී, ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ ප්‍රකාශ කළේය: “තමා සතු සම්පත් නීත්‍යනුකූලව ව්‍යාපාරවලින් ලැබූ ඒවා බව කියා සිටීමෙන්ද, පිහිට ලබා දෙන්නෙකුගේ රූපයද පිටුපස සිට තම මත්ද්‍රව්‍ය ජාවාරම් සඟවාගෙන සිටි ඔහුට, තමාගේම ගුවන් විදුලි වැඩසටහනක් තිබූ අතර, බොහෝවිට ඔහු කැටුව ගියේ රෝමානු කතෝලික පූජකයන්ය.” මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මිලියන ගණනකගේ ජීවිත විනාශ කරනවාට අමතරව, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, දහස් ගණනකගේ මරණයට පෞද්ගලිකව විධාන දුන් බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කළේය. ලන්ඩන්හි ද ටයිම්ස් පුවත්පතෙහි මෙසේ සටහන් විය: “මිනීමරුවෝ ස්තුතිදීම සඳහා බොහෝවිට විශේෂ පූජාවලට ගෙවති. . . . ඒ අතරම, මරණයට ගොදුරු වූ තැනැත්තාගේ අවමංගල්‍ය පූජාවද තවත් තැනක සිදුවෙයි.” මොනතරම් දුෂ්ටකමක්ද!
10. වඩ වඩා දරුණු වන ලෝක තත්වයන් දෙස අප කෙසේ බැලිය යුතුද?
10 භූතයන්ගේ බලපෑම යටතේ ක්‍රියා කරන මිනිසුන් මේ පොළොව මතට මොන ව්‍යසන පමුණුවාවිදැයි දන්නේ කවුද? පළමුවන යොහන් 5:19හි ප්‍රකාශ කරන්නාක් මෙන්, “මුළු ලෝකයා නපුරා තුළ,” එනම්, සාතන් වන යක්ෂයාගේ අණසක යටතේ තිබේ. අදදින, “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස” ගොස් සිටී. (එළිදරව් 12:12) එහෙත්, “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය” කියා රෝම 10:13හි අපට සහතික කිරීම සතුටට හේතුවකි.
දෙවියන්වහන්සේ ළඟදීම විනිශ්චයට පැමිණෙනසේක
11. මලාකීගේ අනාවැකිය අවශ්‍ය කරවූයේ ඉශ්‍රායලයේ කිනම් තත්වයන් නිසාද?
11 මිනිස්වර්ගයාගේ නුදුරු අනාගතය සම්බන්ධයෙන්, සිදුවීමට තිබෙන දේ ගැන මලාකීගේ අනාවැකිය ආලෝකය හෙළයි. පැරණි හෙබ්‍රෙව් අනාගතවක්තෲන්ගේ දීර්ඝ ලැයිස්තුවේ අන්තිමට මලාකීව සඳහන් කර තිබේ. ඉශ්රායෙල්වරුන් යෙරුසලම පාළු කරනු ලැබීම අද්දැක තිබුණේ පො.යු.පෙ. 607දීය. එහෙත්, වසර 70කට පසුව, එම ජාතිය එහි දේශයට නැවත ගෙන ඒමේදී යෙහෝවඃවහන්සේ දයාන්විත ප්‍රේමනීය කරුණාව විදහා තිබූසේක. කෙසේවුවද, වසර සියයක් ඇතුළත, ඉශ්රායෙල් ජාතිය යළිත් ඇදහිල්ල අතහැර යෑම සහ දුෂ්ටකමට රූරා වැටෙමින් සිටියාහ. ජනයා යෙහෝවඃවහන්සේගේ නාමයට අගෞරව කරමින්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨ නීති නොසලකා හරිමින් සහ පූජා සඳහා අන්ධ, කොර සහ අසනීප සතුන්ව ගෙන ඒම මගින් උන්වහන්සේගේ මාළිගාව කෙලෙසමින් සිටියහ. තමන්ට විදේශීය ස්ත්‍රීන් විවාහ කරගත හැකි වන පිණිස, ඔවුහු යෞවන වියේ පාවාගත් භාර්යාවන්ව දික්කසාද කරමින් සිටියෝය.—මලාකී 1:6-8; 2:13-16.
12, 13. (අ) අභිෂේක ලත් පූජක පංතියට කිනම් පවිත්‍ර කිරීමක් අවශ්‍ය වී තිබේද? (ආ) පවිත්‍ර කිරීම මගින් මහත් සමූහය ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
12 ශුද්ධ කිරීමක් අවශ්‍ය විණි. එය මලාකී 3:1-4හි විස්තර කොට තිබේ. පැරණි ඉශ්‍රායලයේ මෙන්, යෙහෝවඃවහන්සේගේ නවීන-දින සේවකයන්ව පවිත්‍ර කිරීමට අවශ්‍ය වූ අතර, මලාකී විසින් විස්තර කරන ලද එම පවිත්‍ර කිරීමේ වැඩය ඔවුන්ට අදාළ කළ හැක. පළමු ලෝක යුද්ධය එහි නිමාවට ළඟා වනවාත් සමඟම, එකල බයිබල් ශිෂ්‍යයන් ලෙස හඳුන්වනු ලැබූ සාක්ෂිකරුවන්ගෙන් ඇතමෙක්, ලෞකික කටයුතුවලදී පැහැදිලි මධ්‍යස්ථභාවයක් නොපැවැත්වූහ. වර්ෂ 1918දී, යෙහෝවඃවහන්සේ, ස්වකීය නමස්කාරකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායම ලෞකික කිලිටිකම්වලින් පිරිසිදු කිරීම පිණිස, ස්වකීය “ගිවිසුමේ දූතයා” එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව, සිය ආත්මික දේවමාළිගා විධිවිධානයට එවූසේක. අනාවැකිමය ආකාරයෙන් යෙහෝවඃවහන්සේ මෙසේ අසා තිබුණි: “[දූතයාගේ] ඊමේ දවස දරන්ට පුළුවන් කාටද? උන්වහන්සේ පෙනෙන කල සිටින්ට පුළුවන් කාටද? මක්නිසාද උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය. උන්වහන්සේ රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් [අභිෂේක ලත් පූජක කණ්ඩායම] ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍ර කරනසේක.” පවිත්‍ර කරන ලද ජනතාවක් වශයෙන්, ඔවුන් හරියටම කර තිබෙන්නේ එයයි!
13 එම අභිෂේක ලත් පූජක කණ්ඩායම සංඛ්‍යාවෙන් 1,44,000ක් පමණි. (එළිදරව් 7:4-8; 14:1, 3) එහෙත්, අදදින කැපවූ වෙනත් ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? දැනට මිලියන ගණනකට වර්ධනය වී ඇති, මොවුහු “මහත් සමූහයක්” සාදති, තවද මෙම අයද, ‘බැටළු පැටවාණන්ගේ ලෙයින් තම සළු සෝදා සුදු කරගෙන’ ලෞකික මාර්ගවලින් පවිත්‍ර විය යුතුය. (එළිදරව් 7:9, 14) මෙසේ, බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීම මගින්, යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පිරිසිදු ස්ථාවරයක් පවත්වාගැනීමට ඔවුන්ට හැකිකම තිබේ. මුළු මහත් පීඩාවෙන්, එනම්, යෙහෝවඃවහන්සේගේ ගරුබිය-දනවන දවසෙන් බේරී ජීවත්වීමට ඔවුන්ට පොරොන්දු කරනු ලැබ තිබේ.—ශෙපනියා 2:2, 3.
14. අදදින දෙවියන්වහන්සේගේ ජනයා අලුත් පෞද්ගලිකත්වය දිගටම වගා කරනවාත් සමඟම, ඔවුන් අවනත විය යුත්තේ කිනම් වචනවලටද?
14 පූජකත්වය දරන ඉතිරි කොටස සමඟ මෙම මහත් සමූහය, දෙවියන්වහන්සේ තවදුරටත් පැවසූ වචනවලට අවනත විය යුතුය: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමි . . . මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි.” (මලාකී 3:5, 6) නැත, යෙහෝවඃවහන්සේගේ ප්‍රමිති වෙනස් වෙන්නේ නැත, එමනිසා යෙහෝවඃවහන්සේට භය ඇතිව, අදදින උන්වහන්සේගේ ජනයා, දිගටම ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය වගා කරනවාත් සමඟම, සියලු ආකාර රූපවන්දනාව එපා කර, සත්‍යවාදී සහ අවංක මෙන්ම ත්‍යාගශීලී අය විය යුතුය.—කොලොස්සි 3:9-14.
15. (අ) යෙහෝවඃවහන්සේ විදහාපාන්නේ කිනම් දයාන්විත ආරාධනයද? (ආ) යෙහෝවඃවහන්සේගෙන් ‘කොල්ලකෑමෙන්’ අපට වැළකිය හැක්කේ කෙසේද?
15 යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගවලින් හැරී ගොස් සිටින ඕනෑම අයෙකුට, “මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි” පවසමින් උන්වහන්සේ එවැනි අයට ආරාධනා කරනසේක. “අපි කෙසේ හැරී එන්නෙමුදැයි” මේ අය ඇසුවහොත්, “නුඹලා නම් මාගෙන් කොල්ලකන්නහුය” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දෙනසේක. “අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි” යනුවෙන් තවදුරටත් අසනු ලබන ප්‍රශ්නයට, යෙහෝවඃවහන්සේ ප්‍රකාශ කරන්නේ, ස්වකීය දේවමාළිගා සේවය සඳහා තමන්ගේ හොඳම දෙය ගෙන ඒමට අපොහොසත් වීම මගින් ඔවුන් උන්වහන්සේගෙන් කොල්ලකෑ බවය. (මලාකී 3:7, 8) යෙහෝවඃවහන්සේගේ ජනයාගේ කොටසක් බවට පත්වී සිටින අපට අපගේ ශක්තීන්ගේ, හැකියාවන්ගේ සහ ද්‍රව්‍යමය සම්පත්වල හොඳම කොටස යෙහෝවඃවහන්සේගේ සේවයට කැපකිරීමට ඇත්තෙන්ම වුවමනා විය යුතුය. මෙසේ, දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා වෙනුවට, අපි ‘පළමුකොට රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයමින් සිටින්නෙමු.’—මතෙව් 6:33.
16. මලාකී 3:10-12හි අපට කිනම් දිරිගැන්වීමක් හමුවේද?
16 මලාකී 3:10-12 අඟවන ආකාරයට, මෙම ලෝකයේ ආත්මාර්ථකාමී, ද්‍රව්‍යමය මාර්ගය පසෙකට දමන සියල්ලන්ටම මහත් විපාකයක් තිබේ: “මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලාපල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” අගය කරනසුලු සියල්ලන්ටම යෙහෝවඃවහන්සේ ආත්මික සමෘද්ධිමත්භාවය සහ ඵලදායිත්වය පොරොන්දුවනසේක. උන්වහන්සේ තවදුරටත් මෙසේ පවසනසේක: “නුඹලා වාසනාවන්තයෝයයි [සන්තෝෂවත්හු යයි, NW] සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” අදදින පොළොව පුරා දෙවියන්වහන්සේගේ ස්තුතිවන්ත මිලියන ගණනක් ජනයා අතර, මෙය ඔප්පු වී නොතිබේද?
ජීවන පොත තුළ සිටින අඛණ්ඩතාව පවත්වන්නෝ
17-19. (අ) රුවන්ඩාහි දරුණු විපත් එහි සිටින අපේ සහෝදරයන්ට බලපා ඇත්තේ කෙසේද? (ආ) මෙම සියලු ඇදහිලිවන්තයන් ඉදිරියට ඇදී ගොස් සිටින්නේ, කිනම් නිසැකකමක් ඇතුවද?
17 මෙම අවස්ථාවේදී, රුවන්ඩාවේ සිටින අපගේ සහෝදර සහෝදරියන්ගේ අඛණ්ඩතාව ගැන අපි සඳහන් කිරීමට කැමැත්තෙමු. ඔවුහු සෑමවිටම යෙහෝවඃවහන්සේගේ ආත්මික නමස්කාර ගෘහය කරා හොඳම ආත්මික පූජා ගෙනැවිත් සිටිති. නිදසුනක් වශයෙන්, 1993 දෙසැම්බරයේ පැවති “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුවේදී, ඔවුන්ගේ 2,080කින් යුත් රාජ්‍යය ප්‍රචාරකයෝ 4,075ක පැමිණීමක් අත්කරගත්හ. අලුතෙන් බව්තීස්ම වූ සාක්ෂිකරුවන් 230ක් වූ අතර, ආසන්න වශයෙන් 150ක් පමණ ඊළඟ මාසය සඳහා උපකාරික පුරෝගාමි සේවයට ඉදිරිපත් වූහ.
18 පසුගිය 1994 අප්‍රියෙල් මාසයේදී වාර්ගික වෛරය පුපුරා ගිය විට, අගනුවර වන කිගාලිහි නගර අවේක්ෂක සහ ඔහුගේ මුළු පවුලේ අය ඇතුළු සාක්ෂිකරුවන් 180දෙනෙක් මරාදමනු ලැබූහ. කිගාලිහි වොච් ටවර් සමිති කාර්යාලයේ පරිවර්තකයන් හයදෙනෙකුගෙන්, හතරදෙනෙකු හූටූ සහ දෙදෙනෙකු ටුට්සි ගෝත්‍රයට අයත් වූ අතර, ඔවුහු දැඩි තර්ජන යටතේ සති කිහිපයක් දිගටම වැඩ කළහ. අන්තිමේදී ටුට්සි ගෝත්‍රයේ පරිවර්තකයන්ට පලායෑමට සිදුවුවත්, පරීක්ෂක මුරපොළකදී ඔවුන්ව මරාදමන ලදි. අන්තිමේදී, තමන්ගේ පරිගණක උපකරණවල ඉතිරි දේ රැගෙන මෙහි ඉතිරි වූ අය සයරේහි ගෝමා වෙත පලා ගිය අතර, එහිදී ඔවුහු පක්ෂපාතීව දිගටම මුරටැඹ සඟරාව කින්යාර්වන්ඩා භාෂාවට පරිවර්තනය කළෝය.—යෙසායා 54:17.
19 අතිශයින් දුක්ඛිත තත්වයන්හි සිටියද, මෙම සරණාගත සාක්ෂිකරුවන් සෑමවිටම ඉල්ලුවේ ද්‍රව්‍යමය සැපයුම්වලට වඩා ආත්මික ආහාරය. මහත් පරිත්‍යාග කළාවූ, රටවල් කිහිපයක ප්‍රේමනීය සහෝදරයන්ට ඔවුන් සඳහා සැපයුම් ලබා දීමට හැකි විණි. තමන්ගේ මුඛයේ වචනයෙන් හා පීඩාකාරි තත්වය යටතේ තමන්ගේ පිළිවෙළින් මෙම සරණාගතයෝ පුදුමාකාර සාක්ෂියක් දී ඇත්තාහ. ඇත්තවශයෙන්ම, ඔවුන් දිගටම යෙහෝවඃවහන්සේගේ නමස්කාරය උදෙසා තමන්ගේ හොඳම දේ ගෙනැවිත් තිබේ. රෝම 14:8හි පාවුල් ප්‍රකාශ කළාක් මෙන්, ඔවුහු තම නිසැකකම නිරූපනය කර සිටිති. එහි මෙසේ කියවේ: “මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමු; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමු. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය.”
20, 21. (අ) යෙහෝවඃවහන්සේගේ සිහිවීමේ පොතෙහි ලියවී නැත්තේ කාගේ නාමද? (ආ) පොතේ දකින්ට ලැබෙන්නේ කාගේ නාමද, තවද ඒ මන්ද?
20 යෙහෝවඃවහන්සේ, තමන්වහන්සේට අඛණ්ඩව සේවය කරන සියල්ලන්ගේ නාම වාර්තා කරනසේක. මලාකීගේ අනාවැකියේ තවදුරටත් මෙසේ කියැවේ: “එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක, එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.”—මලාකී 3:16.
21 යෙහෝවඃවහන්සේගේ නාමයට ගෞරව කිරීම තුළ අප අදදින දේවභය පෙන්වීම කොතරම් වැදගත්ද! එසේ කිරීමෙන්, අප මේ ලෝක පිළිවෙළට ප්රශංසාත්මක ලෙස අනුබල දෙන අය මෙන්, අහිතකර විනිශ්චය නොවිඳිනවා ඇත. ‘ඔවුන්ගේ නම් ජීවන පොතේ නොලියවී’ තිබෙන බව එළිදරව් 17:8හි සඳහන් වේ. යෙහෝවඃවහන්සේගේ ජීවන පොතේ ලියවී තිබෙන ප්‍රධානතම නාමය නම්, දෙවියන්වහන්සේගේම පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය වීම තර්කානුකූලය. මතෙව් 12:21 මෙසේ ප්‍රකාශ කරයි: “ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය.” යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවන සියල්ලන්ටම එමගින් සදාකාල ජීවනය සහතික කෙරේ. එම පොතේ, යේසුස්වහන්සේගේ නාමයට අපගේ පෞද්ගලික නාමයත් ඇතුළත් කරගැනීමට ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද!
22. යෙහෝවඃවහන්සේ විනිශ්චය ඉටු කරන විට, කිනම් වෙනසක් දකින්ට ලැබේවිද?
22 දෙවියන්වහන්සේගේ සේවකයන්ට මෙම විනිශ්චයේදී සිදුවනු ඇත්තේ කුමක්ද? මලාකී 3:17, 18හි යෙහෝවඃවහන්සේ මෙසේ පිළිතුරු දෙනසේක: “මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමි . . . එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.” වෙනස සියල්ලන්ටම පැහැදිලි වනු ඇත: දුෂ්ටයන් සදාකාල විනාශයට වෙන් කරනු ලබත්, තවද ධර්මිෂ්ඨයන් රාජ්‍යයේ විෂයෙහි සදාකාල ජීවනය සඳහා අනුමැතිය ලබත්. (මතෙව් 25:31-46) මෙසේ, බැටළු ගුණැති පුද්ගලයන්ගෙන් යුත් මහත් සමූහයක්, යෙහෝවඃවහන්සේගේ මහත්වූ ගරුබිය-දනවන දවසේදී බේරී ජීවත්වනවා ඇත.
ඔබට මතකද?
◻ බයිබල් කාලවලදී යෙහෝවඃවහන්සේ ඉෂ්ට කළේ කිනම් විනිශ්චයන්ද?
◻ අදදින තත්වයන් ඉපැරණි කාලවල තත්වයන්ට සමාන්තර වන්නේ කෙසේද?
◻ මලාකීගේ අනාවැකිය ඉටුවීමෙහිලා කිනම් පවිත්‍ර කිරීමක් සිදුවී තිබේද?
◻ දෙවියන්වහන්සේගේ සිහිවීමේ පොතේ ලියැවී ඇත්තේ කාගේ නාමද?