පරිච්ඡේදය 6
පරිශුද්ධ රහසක් හෙළි කිරීම
1. එළිදරව් 1:10-17හි වාර්තා කර ඇති තේජාන්විත දර්ශනය ගැන අප තුළ ඇති විය යුතු හැඟීම කුමක්ද?
ස්වර්ගික තේජසින් බැබළෙන යේසුස් පිළිබඳ දර්ශනය විස්තර කරන්න වචන නැති තරම්! ඒ අවස්ථාවේදී යොහන් සමඟ අපත් සිටියා නම්, යොහන් මෙන්ම අපත් ඒ තේජස අබියස ගෞරවයෙන් දණ නමනවාට කිසිම සැකයක් නැහැ. (එළිදරව් 1:10-17) මෙම අසමසම දර්ශනය පිළිබඳ වාර්තාව ආරක්ෂා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනයටයි. යොහන් මෙන් අපත් මෙහි සියලුම අංගයන් නිහතමානීව අගය කළ යුතුයි. රජු, උත්තම පූජක හා විනිශ්චයකරු ලෙස යේසුස්ට ඇති බලතල ගැන සෑමවිටම ගැඹුරු ගෞරවයක් අපි තබාගනිමු.—ෆිලිප්පි 2:5-11.
“පළමුවැන්නා සහ අන්තිමයා”
2. (අ) යේසුස් තමාවම හඳුන්වා දෙන්නේ කවුරුන් හැටියටද? (ආ) “මම පළමුවැන්නා සහ අන්තිමයාය” යනුවෙන් යෙහෝවා දෙවි පවසද්දී එහි අර්ථය කුමක්ද? (ඇ) තමා “පළමුවැනියා සහ අන්තිමයා” බව කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?
2 ඒ වුණත් අනවශ්‍ය බියක් අප ඇති කරගත යුතු නැහැ. යොහන් මෙහෙම කියනවා. “ඔහු තම දකුණත මා පිට තබා මෙසේ කීවේය: ‘භය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයාය. ජීවමාන තැනැත්තාය. මම මැරුණෙමි; නමුත් බලන්න! මම සදාකාලයෙන් සදාකාලයට ජීවත් වෙමි.’” (එළිදරව් 1:17ආ, 18අ) මීට සමාන අදහසක් යෙසායා 44:6හි සඳහන් වෙනවා. එහිදී යෙහෝවා දෙවි මෙසේ කියනවා. “මම පළමුවෙනියාය. මම අන්තිමයාය. මා මිස දෙවි කෙනෙක් නැත.”a යෙහෝවා දෙවි මින් අදහස් කරන්නේ සර්වබලධාරී වූ එකම සැබෑ දෙවි හැටියට තමාට සමාන කිසි කෙනෙක් නැති බවයි. ඔහු සදාකාලිකයි. (1 තිමෝති 1:17) එසේනම් “මම පළමුවැන්නා සහ අන්තිමයාය” කියා යේසුස් පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද? යේසුස් ඉන් අදහස් කළේ තමා උතුම් මැවුම්කරුවාණන් වන යෙහෝවා දෙවිට සමාන බවක් නම් නෙවෙයි. නමුත් ඔහු මෙහිදී කතා කරන්නේ ඔහුට පමණක් හිමි වී ඇති අතිවිශේෂ නැවත නැඟිටීම ගැනයි.
3. (අ) යේසුස් “පළමුවැන්නා සහ අන්තිමයා” වෙන්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) “මරණයෙත් මිනී වළෙහිත් යතුරු” යේසුස්ට තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 මනුෂ්‍යයන් අතරෙන් ස්වර්ගයේ අමරණීය ජීවිතයකට “පළමුවෙන්ම” නැවත නැඟිටුවනු ලැබුවේ යේසුස්වයි. (කොලොස්සි 1:18) යෙහෝවා දෙවි විසින් කෙළින්ම එසේ නැවත නැඟිටුවනු ලැබූ ‘පළමුවැනියාත් අන්තිමයාත්’ ඔහුයි. ප්‍රතිඵලයක් ලෙස ඔහු ‘සදාකාලයෙන් සදාකාලයට’ ජීවත් වෙන තැනැත්තා බවට පත් වෙනවා. මේ අනුව “ජීවමාන දෙවි” වන තම අමරණීය ස්වර්ගික පියාණන් මෙන් යේසුස්ද අමරණීය පුද්ගලයෙක්. (එළිදරව් 7:2; ගීතාවලිය 42:2) සෙසු මිනිස් වර්ගයාට “නැවත නැඟිටීමත් ජීවනයත්” ලැබෙන්නේ යේසුස් මගිනුයි. (යොහන් 11:25) යේසුස් යොහන්ට මෙසේ කියනවා. “මම මැරුණෙමි, නමුත් බලන්න! මම සදාකාලයෙන් සදාකාලයට ජීවත් වෙමි. මරණයෙත් මිනී වළෙහිත් යතුරු මට ඇත.” (එළිදරව් 1:18ආ) යෙහෝවා දෙවි මළවුන්ව නැවත නැඟිටුවීම සඳහා බලය දී තිබෙන්නේ යේසුස්ටයි. මරණයෙත් මිනී වළෙත් සිටින්නන්ව මුදාහැරීමට තමාට යතුරු ඇතැයි යේසුස්ට කියන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි.—මතෙව් 16:18ද බලන්න.
4. යේසුස් නැවතත් කරන අණ කුමක්ද? එය කාගේ ප්‍රයෝජනයටද?
4 දර්ශනයේ විස්තර ලියාගන්න කියා යේසුස් නැවතත් යොහන්ට අණ කරනවා. “එබැවින්, ඔබ දුටු දේද, දැන් තිබෙන දේද, මේ දේවල්වලට පසුව සිදු වන දේද, ලියාගන්න.” (එළිදරව් 1:19) අපේ ප්‍රයෝජනය සඳහා යොහන් තවත් මොන වගේ දේවල් එළිදරව් කරාවිද?
තාරකා සහ පහන් රුක්
5. “තාරකා සත” සහ “පහන් රුක් සත” ගැන යේසුස් සපයන විස්තර මොනවාද?
5 යේසුස් පහන් රුක් සතක් මැද තාරකා සතක් තමාගේ දකුණතේ තබාගෙන සිටිනවා යොහන් මේ වෙනකොටත් දැක තිබෙනවා. (එළිදරව් 1:12, 13, 16) දැන් යේසුස් මේ ගැන විස්තර සපයන්නේ මෙසේයි. “මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි හා රන් පහන් රුක් සතෙහි පරිශුද්ධ රහස නම් මේය: තාරකා සතෙන් සභා සතෙහි දූතයන්ව නියෝජනය වන්නේය; පහන් රුක් සතෙන් සභා සතක් නියෝජනය වන්නේය.”—එළිදරව් 1:20.
6. තාරකා සතෙන් නියෝජනය වෙන්නේ කාවද? මෙම පණිවුඩ විශේෂයෙන් ඔවුන්ට දෙනු ලැබුවේ ඇයි?
6 “තාරකා” සත නම් “සභා සතේ දූතයන්.” එළිදරව් පොතේ තාරකාවලින් සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ දේවදූතයන්වයි. නමුත් දේවදූතයන්ට යමක් ලිවීමට යේසුස් මනුෂ්‍යයෙකුව යොදාගනී කියා නම් අපට සිතන්නට බැහැ. ඒ නිසා මෙහි සඳහන් “තාරකා” සභාවල සිටින අවේක්ෂකයන් හෙවත් වැඩිමහල්ලන් විය යුතුයි. යේසුස් මේ අයව සලකන්නේ පණිවුඩකරුවන් හැටියටයි. ඒ නිසා මෙම පණිවුඩ දී ඇත්තේ ඔවුන්ටයි.b එයට හේතුව යෙහෝවා දෙවිගේ රැළ රැකබලා ගැනීමේ වගකීම ඔවුන්ට භාර දී ඇති නිසයි.—ක්‍රියා 20:28.
7. (අ) යේසුස් ඒ හැම සභාවකම සිටි එක් දූතයෙකුට කතා කළත්, සෑම සභාවකම එක් වැඩිමහල්ලෙකු පමණක් සිටින බව ඉන් අදහස් නොකරන්නේ ඇයි? (ආ) යේසුස්ගේ දකුණු අතේ සිටින තාරකා සතෙන් නියෝජනය වෙන්නේ කාවද?
7 මෙහිදී, යේසුස් කතා කරන්නේ හැම සභාවකම සිටින එක ‘දූතයෙකුටයි.’ ඉන් අදහස් කරන්නේ සෑම සභාවකම එක් වැඩිමහල්ලෙක් පමණක් සිටින බවද? නැහැ. පාවුල් විසූ කාලයේ පටන්ම එෆීස සභාවේත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකුම හිටියා. (එළිදරව් 2:1; ක්‍රියා 20:17) මේ නිසා (එෆීස සභාව ඇතුළුව) යොහන්ගේ කාලයේ තිබූ සභාවල සිටින තාරකා සතට පණිවුඩ යැවූ අවස්ථාවේදී, මෙම තාරකාවලින් නියෝජනය වූයේ ඒ කාලයේ සිටි යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වෙනුවෙන් සේවය කළ වැඩිමහල් මණ්ඩල විය යුතුයි. ඒ හා සමානව අද දිනත් යේසුස්ගේ නායකත්වය යටතේ සේවය කරන අභිෂේක ලත් අවේක්ෂකයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයෙන් ලැබෙන ලිපි සභා වැඩිමහල්ලන් විසින් සභාවන්ට කියවනවා. ඒ වගේම යේසුස්ගෙන් ලැබෙන මේ උපදෙස් සියලුම සභාවන්වල සිටින අය පිළිපදිනවාද යන්න ගැන විමසිලිමත්ව සිටිය යුත්තේ සභාවල සිටින වැඩිමහල් මණ්ඩලයි. මෙම උපදෙස් වැඩිමහල්ලන්ට පමණක් නොව සභාව සමඟ ඇසුරු කරන සියල්ලන්ට අදාළ බව අමුතුවෙන් කිව යුතු නැහැ.—එළිදරව් 2:11අ.
8. වැඩිමහල්ලන් යේසුස්ගේ දකුණු අතේ සිටිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
8 සභාවේ ප්‍රධානියා යේසුස්. ඒ නිසා වැඩිමහල්ලන් ඔහුගේ දකුණු අතේ, එනම් ඔහුගේ පාලනය හා මඟ පෙන්වීම යටතේ සිටිනවා කීම නිවැරදියි. (කොලොස්සි 1:18) ප්‍රධාන එඬේරා යේසුස්. වැඩිමහල්ලන් උපඑඬේරුන්.—1 පේතෘස් 5:2-4.
9. (අ) පහන් රුක් සතෙන් සංකේතවත් කරන්නේ මොනවාද? පහන් රුක් ගැළපෙන සංකේතයක් වෙන්නේ ඇයි? (ආ) මෙම දර්ශනය දකින යොහන්ට ඇතැම්විට සිහිපත් වෙන්නට ඇත්තේ කුමක්ද?
9 පහන් රුක් සත නම් යොහන් විසින් එළිදරව් පොත යොමු කරන සභා සතයි. ඒවා නම්, ස්මර්ණාව, පර්ගමම්, තියතීරා, සර්දිස්, ෆිලදෙල්ෆියා, සහ ලවොදිසීය යන සභායි. සභාවන් පහන් රුක්වලින් සංකේතවත් කර තිබෙන්නේ ඇයි? ඊට හේතුව නම්, ක්‍රිස්තියානීන් වන අය පුද්ගලයන් හෝ සභාවන් වශයෙන්, මේ අන්ධකාර ලෝකයේ ‘තම ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බැබළවිය’ යුතු නිසයි. (මතෙව් 5:14-16) මීට අමතරව සලමොන්ගේ දේවමාලිගාවේ භාණ්ඩ අතරෙහිත් පහන් රුක් තිබුණා. සභාවන් පහන් රුක්වලට සමාන කිරීමෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සෑම සභාවක්ම දෙවිගේ බලය ක්‍රියාත්මක වන ‘දෙවිගේ මාලිගාවක්’ වන බව යොහන්ට සිහිපත් වන්නට ඇති. (1 කොරින්ති 3:16) ඒ විතරක් නෙවෙයි යුදෙව් දේවමාලිගාවේ පූජක පන්තියක් සිටියා. ඒ හා සමානව, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිගේ ස්වර්ගික දේවමාලිගාවේ ‘රාජකීය පූජක පන්තියක්’ ලෙස සේවය කරනවා. එහි උත්තම පූජකයා වෙන්නේ යේසුස්. යෙහෝවා දෙවි වාසය කරන්නේ අතිශුද්ධ ස්ථානය වන ස්වර්ගයේයි.—1 පේතෘස් 2:4, 5, 9; හෙබ්‍රෙව් 3:1; 6:20; 9:9-14, 24.
ඇදහිල්ලට විරුද්ධව සිදු වූ මහා කැරැල්ල
10. එවකට පැවති දුෂ්ට යුදෙව් සමාජයට හා ඊට සහයෝගය දුන් සියලුදෙනාට ක්‍රි.ව. 70දී සිදු වූයේ කුමක්ද?
10 යොහන් මෙම එළිදරව්ව ලියන විට, සත්‍ය ක්‍රිස්තියානි ආගම වසර 60ක් පමණ පැවත තිබුණා. වසර 40ක් පුරාම එය යුදෙව් ආගමේ නිරන්තර පීඩා හිරිහැරවලට ලක් වෙමිනුයි පැවතුණේ. නමුත් ඒ යුදෙව් සමාජය ක්‍රි.ව. 70දී විනාශ වුණා. මෙම යුදෙව්වන් පසුතැවිලි නොවුණු නිසා ඔවුන් ජාතියක් හැටියට විනාශ වුණා පමණක් නොව, ඔවුන් බොහෝ සෙයින් ගරුබුහුමන් කළ යෙරුසලමේ දේවමාලිගාවද ඔවුන්ට අහිමි වුණා.
11. මතු වෙමින් තිබූ යම් අන්තරාදායක තත්වයන් ගැන අනතුරු ඇඟවීමට ප්‍රධාන එඬේරා වන යේසුස්ට මෙය ඉතා උචිත කාලයක් වුණේ ඇයි?
11 කෙසේවුවත්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් ඇතැම් අය සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසනු ඇති බව පාවුල් කලින්ම පවසා තිබුණා. එම කැරැල්ල ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබුණු බව යේසුස් මහලු යොහන්ට එවූ පණිවුඩවලින් අපට පෙනෙනවා. මෙම කැරැල්ල පිටුපස සිටියේ සාතන්. ඔහුගේ අරමුණ වුණේ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වන අයව දූෂණය කිරීමයි. මෙම කැරැල්ල වැළැක්වීමට ක්‍රියා කළ අන්තිම තැනැත්තා වූයේ යොහන්. (2 තෙසලෝනික 2:3-12; 2 පේතෘස් 2:1-3; 2 යොහන් 7-11) එමනිසා, එවකට මතු වෙමින් තිබූ අන්තරාදායක තත්වයන් ගැන අනතුරු ඇඟවීමටත්, ස්ථිරව සිට ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම සඳහා අවංක හදවත් ඇති අයව දිරිගැන්වීමටත් සුදුසුම කාලය වූයේ එයයි. යෙහෝවා දෙවිගේ ප්‍රධාන එඬේරා වන යේසුස් සභාවල වැඩිමහල්ලන්ට මේ ගැන ලිවීමට යන්නේ එමනිසයි.
12. (අ) යොහන්ගේ මරණයෙන් පසු සියවස් ගණනාවක් පුරාම ඇදහිල්ලට විරුද්ධව කළ මහා කැරැල්ල සිදු වුණේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි පල්ලි සංවිධානයක් හැටියට බිහි වුණේ කෙසේද?
12 මෙම සභාවන් ක්‍රි.ව. 96දී යේසුස්ගේ පණිවුඩවලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද කියා අප දන්නේ නැහැ. නමුත් යොහන්ගේ මරණින් පසු ඉතා ශීඝ්‍රයෙන් මෙම කැරැල්ල ව්‍යාප්ත වූ බව නම් අප හොඳින් දන්නවා. “ක්‍රිස්තියානි” යයි කියාගන්නාවූ අය යෙහෝවා දෙවිගේ නාමය පාවිච්චි කිරීම නවතා දමා “ස්වාමීන්වහන්සේ” හෝ “දෙවියන්වහන්සේ” කියා බයිබල් පිටපත්වල යෙදුවා. ක්‍රිස්තු වර්ෂ හතරවන සියවස වන විට, ත්‍රිත්වය නමැති අසත්‍ය ඉගැන්වීම ක්‍රිස්තියානි සභාව තුළට ඇතුල් වුණා. ඒ කාලයේදීම තමයි, අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීමත් හඳුන්වා දෙනු ලැබුවේ. අන්තිමේදී රෝම අධිරාජ්‍යයෙකු වූ කොන්ස්ටන්ටයින්, “ක්‍රිස්තියානි ආගමට” රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් අතර, මේ නිසා ක්‍රිස්තියානි පල්ලි සංවිධානයක් හැටියට වර්ධනය වුණා. පල්ලිය හා රජය අවුරුදු දහසක් පමණ එකට එකතු වී ජනතාව පාලනය කළේ ඉන්පසුවයි. අලුත් පන්නයක “ක්‍රිස්තියානියෙක්” වීම හරිම ලෙහෙසි දෙයක් වුණා. මේ ආගමට හැරුණු ගෝත්‍ර ගණනාවක්ම තමන්ගේ පැරණි මිථ්‍යා විශ්වාසත් මේ අලුත් ආගමට ඈඳාගෙන ඒවා ඒ විදිහටම පැවැත්වුවා. ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවල නායකයන් බොහෝදෙනෙක් මැර දේශපාලනයක් අනුගමනය කරමින් ඉතා කුරිරු ඒකාධිපතීන් බවට පත් වී, ඔවුන්ගේ අසත්‍ය ඉගැන්වීම් ජනයා මත පැටවූයේ කඩුවේ බලයෙනුයි.
13. නිකායවලට බෙදී නොයන ලෙසට යේසුස් අවවාද කළත්, කැරලි ගැසූ ක්‍රිස්තියානීන් කළේ මොනවාද?
13 ඇදහිල්ලට එරෙහිව කැරලි ගැසූ අය යේසුස් සභා සතට කී වචන කිසිසේත් ගණන් ගත්තේ නැහැ. යේසුස් එෆීසවරුන්ට අනතුරු අඟවා තිබුණේ ඔවුන්ට මුලින් තිබූ ප්‍රේමය නැවතත් ඇති කරගන්නා ලෙසටයි. (එළිදරව් 2:4) කෙසේවෙතත්, යෙහෝවා දෙවිට කිසිදු ප්‍රේමයක් නොදැක්වූ ඒ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල සාමාජිකයන් දරුණු යුද්ධවල නිරත වෙමින් එකිනෙකාව මරාගත්තා. (1 යොහන් 4:20) නිකායවලට බෙදී නොයන ලෙස යේසුස් පර්ගමම් සභාවට අනතුරු අඟවලයි තිබුණේ. නමුත් දෙවන සියවසේදීම ආගමික නිකායන් මතු වුණා. අදත් ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අසමඟියෙන් බෙදී සිටින නිකායන් සහ ආගම් හතු පිපෙන්නා සේ දහස් ගණනක් මතු වී තිබෙනවා.—එළිදරව් 2:15.
14. (අ) ඇදහිල්ලෙන් මැරුණු තත්වයකට පත්වීම ගැන යේසුස් අවවාද කළත්, ක්‍රිස්තියානීන්යයි කියාගත් අය කළේ කුමක්ද? (ආ) රූප වන්දනාවෙන් හා දුරාචාරයෙන් වැළකී සිටින්න කියා යේසුස් දුන් අවවාදයට මොවුන් කීකරු නොවූයේ කෙසේද?
14 ඇදහිල්ල සම්බන්ධයෙන් මිය ගිය කෙනෙකුගේ තත්වයට පත් වෙන්න එපා කියා යේසුස් සර්දිස් සභාවට අවවාද කර තිබුණා. (එළිදරව් 3:1) සර්දිස්හි සිටි එවැන්නන් මෙන්, ක්‍රිස්තියානීන්යයි කියාගත් අය තම ක්‍රිස්තියානි ක්‍රියාවන් ඉක්මනින්ම අමතක කර දමා ශුභාරංචිය දේශනා කිරීමේ වැදගත් කාර්යය වැටුප් ලබන කුඩා පූජක පන්තියකට පැවරුවා. ඒ වගේම යේසුස් රූප වන්දනාවෙන් සහ වේශ්‍යාකමෙන් වැළකී සිටින්න කියා තියතීරා සභාවට අනතුරු අඟවා තිබුණා. (එළිදරව් 2:20) නමුත් මේ පල්ලි රූප භාවිතයට එළිපිටම අවසර දුන් අතර, රට, ජාතිය හා ධනය පසුපස හඹා යෑම දේවත්වයේ ලා සලකන්න ජනයාව පෙලඹුවා. දුරාචාරයට එරෙහිව ඔවුන් ඉඳ හිට දේශනා කළත්, මහා පරිමාණයෙන් ඊට එරෙහිව කිසිම පියවරක් ගෙන නැහැ.
15. සභා සතට යවන ලද යේසුස්ගේ වචනවලින්, ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල සැබෑ තත්වය ගැන කියා පාන්නේ කුමක්ද? එහි පූජකයන්ගේ තත්වය කුමක්ද?
15 මේ නිසා සභා සතට යේසුස් කී වචනවලින් යමක් හෙළි වී තිබෙනවා. එය නම් යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමට ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට අයත් සියලු සාමාජිකයන්ට කිසිසේත් නොහැකි වී ඇති බවයි. ඇත්තෙන්ම, සාතන්ගේ වංශයේ ප්‍රධාන සාමාජිකයන් වී ඇත්තේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයනුයි. ‘නීතිය නොතකන තැනැත්තා’ ලෙස ඔවුන්ව හඳුන්වන පාවුල් ඔවුන් පැමිණෙන්නේ “සාතන්ගේ ක්‍රියා කිරීමට අනුව, සියලු බලවත් ක්‍රියාවලින්ද, බොරු ලකුණු සහ පෙර නිමිතිවලින්ද සියලු අධර්මිෂ්ඨ රැවටිලිකාරකම්වලින්ද” බව පෙන්වා දුන්නා.—2 තෙසලෝනික 2:9, 10.
16. (අ) ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන් විශේෂයෙන් වෛර කළේ කාටද? (ආ) ක්‍රිස්තු වර්ෂ 500 සිට 1500 දක්වා මේ පල්ලිවල අය සිදු කළේ කුමක්ද? (ඇ) පල්ලියේ බොරු ඉගැන්වීම් වෙනස් කිරීමට රෙපරමාදු ප්‍රතිසංස්කරණයට හැකි වුණාද?
16 පල්ලිවල නායකයන් හා පූජකයන් කියා සිටින්නේ ඔවුන් දෙවිගේ ජනයාගේ එඬේරුන් බවයි. නමුත් ඔවුන් කර ඇත්තේ කුමක්ද? බයිබලය කියවන්න කියා දිරිගැන්වූ ඕනෑම කෙනෙක් ඔවුන්ගේ වෛරයට ලක් වුණා. පල්ලි නායකයන් ඉගැන්වූ චාරිත්‍ර හා ඉගැන්වීම් බයිබලයට පටහැනි නිසා ඒවා ගැන ජනයාට හෙළි කළ ඕනෑම කෙනෙකුටත් ඔවුන් දරුණු ලෙස වෛර කළා. ජෝන් හස් සහ බයිබල් පරිවර්තකයෙකු වූ විලියම් ටින්ඩේල් එසේ පීඩා කර ඝාතනය කරනු ලැබූ පුද්ගලයන් දෙදෙනෙක්. දෙවි පිළිබඳ සැබෑ දැනුම අතින් අඳුරු යුගයක් වූ ක්‍රි.ව. 500 සිට 1500 දක්වා වූ කාලය කතෝලික පල්ලිය ඉතා දරුණු හා කෲර අන්දමින් ජනයාට වධ හිංසා කළ යුගයක්. යමෙක් පල්ලියේ ඉගැන්වීම් ගැන හෝ අධිකාරය ගැන ප්‍රශ්න කළා නම්, ඔහුට දරුණු වධ හිංසා විඳින්නට සිදු වුණා. ‘ආගම් විරෝධී’ යයි හංවඩු ගසනු ලැබූ දහස් ගණනක් දෙනෙකුට කෲර ලෙස වධ දී කණුවල බැඳ පුලුස්සා මරා දැම්මා. මේ සියල්ල කළේ කතෝලික පල්ලියයි. මෙසේ සාතන්ට වුවමනා වුණේ, දෙවිගේ භාර්යාව හා සමාන වූ ඔහුගේ සංවිධානයෙන් බිහි වූ වංශයට අයත් අයව වහාම පොඩි කිරීමටයි. රෙපරමාදු කැරැල්ල හෙවත් ප්‍රතිසංස්කරණය සිදු වූ අවස්ථාවේදී (ක්‍රි.ව. 1517 පටන්) බොහෝ රෙපරමාදු පල්ලි නායකයන් කළේද එයමයි. මෙසේ දෙවිගේ සහ ක්‍රිස්තුස්ගේ පක්ෂපාත සේවකයන් වීමට උත්සාහ ගත් අයව ඝාතනය කිරීමේ ලේ වරදට ඔවුන්ද වග කිව යුතුයි. ඇත්තෙන්ම, ඔවුන් ‘ශුද්ධ තැනැත්තන්ගේ ලේ’ හැළුවේ කිසිම හිතක් පපුවක් නැති අන්දමටයි.—එළිදරව් 16:6; මතෙව් 23:33-36ද බලන්න.
වංශය යටපත් නොවෙයි
17. (අ) ඉදිරියට සිදු වන දේ පිළිබඳව තිරිඟු සහ කිරිඳි පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් අප දැනගන්නේ කුමක්ද? (ආ) වර්ෂ 1918දී සිදු වූයේ කුමක්ද? ප්‍රතික්ෂේප කළේ කාවද? පත් කළේ කාවද?
17 කිරිඳි සහ තිරිඟු ගැන යේසුස් උපමාවක් කීවා ඔබට මතකද? ක්‍රිස්තියානියයි කියාගන්නා ලද පල්ලි ජනයා මත දැඩි පාලනයක් කරන අඳුරු කාලයක් තිබෙනු ඇති බව යේසුස් මේ උපමාවේදී ඇඟෙව්වා. නමුත් මේ සියවස් ගණනාව පුරා සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ල පවත්වාගත් පුද්ගලයන් සිට තිබෙනවා. ඔවුන් හරියට යේසුස්ගේ උපමාවේ තිරිඟු වගේයි. ඒ අය තමයි අවංක අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. (මතෙව් 13:24-29, 36-43) මෙසේ, ස්වාමීන්ගේ දවස 1914 ඔක්තෝබර් මස ආරම්භ වෙද්දී, සැබෑ ක්‍රිස්තියානීන්ද පොළොව මත ජීවත් වෙමින් සිටියා. (එළිදරව් 1:10) ඊට අවුරුදු තුනහමාරකට පසුව, එනම් 1918දී යෙහෝවා දෙවි, තම සංකේතවත් දේවමාලිගාවට පැමිණි බව පෙනී ගියා. ඉන් අදහස් කරන්නේ මේ තිරිඟු වැනි සැබෑ නමස්කාරකයන් කෙරෙහි දෙවි තම අවධානය යොමු කළ බවයි. මෙය කළේ “ගිවිසුමේ දූතයා” වන යේසුස්ගේද සහය ඇතිවයි. (මලාකි 3:1; මතෙව් 13:47-50) යේසුස්ගේ අවධානය මෙසේ යොමුවීමෙන්, බොරු ක්‍රිස්තියානීන්ව ප්‍රතික්ෂේප කර දමා ‘තමා සන්තක සියල්ල කෙරෙහි විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පත් කිරීමට ස්වාමියා වන යේසුස් ක්‍රියා කළා.—මතෙව් 7:22, 23; 24:45-47.
18. වර්ෂ 1914දී ආරම්භ වූයේ කිනම් ‘පැයද?’ එම ‘පැය’ පැමිණි නිසා දාසයාට කුමක් කරන්න සිදු වුණාද?
18 යේසුස් සභා සතට ලියූ පණිවුඩවල තිබූ දේවලට විශේෂ අවධානයක් යොමු කිරීමට මේ දාසයාට දැන් කාලය ඇවිත්. මේ පණිවුඩවල සඳහන් කර ඇති දේවල් දෙස බලද්දී මෙය අපට පැහැදිලි වෙනවා. මෙසේ ඔවුන් වටහාගත් කාරණා අතර එකක් වෙන්නේ, යේසුස් ක්‍රිස්තියානි සභාවන් විනිශ්චය කිරීමට පැමිණෙනවාය යන කාරණයයි. මේ විනිශ්චය පටන්ගත්තේ 1918දීයි. (එළිදරව් 2:5, 16, 22, 23; 3:3) ඒ වගේම “මුළු පොළොව පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්” ෆිලදෙල්ෆියා සභාව ආරක්ෂා කිරීම ගැන යේසුස් කී දෙයෙහි වැදගත්කමත් ඔවුන් වටහාගත්තා. (එළිදරව් 3:10, 11) මෙම “පරීක්ෂාවේ පැය” ඇත්තටම ආරම්භ වුණේ 1914 ස්වාමීන්ගේ දවසේ ආරම්භයත් සමඟයි. මෙවැනි කාරණා වටහාගත් ක්‍රිස්තියානීන්ට පරීක්ෂා මැද පවා තමන් දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතද නැද්ද කියා ඔප්පු කරන්න සිදු වුණා.—මතෙව් 24:3, 9-13ද බලන්න.
19. (අ) සභා සතෙන් අද දින නියෝජනය කරන්නේ මොනවාද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ එක් වී සිටින විශාල පිරිස කවුද? යේසුස්ගේ උපදෙස් සහ ඔහු සභාවල පවතිනවායයි විස්තර කරන විවිධ තත්වයන් ඔවුන්ටත් අදාළ වෙන්නේ ඇයි? (ඇ) පළමු සියවසේ සභා සතට යේසුස් දුන් පණිවුඩ අප විසින් සැලකිය යුත්තේ කෙසේද?
19 යේසුස්ගේ වචන සභාවන්ට ප්‍රධාන වශයෙන් අදාළ වෙන්න පටන්ගත්තේ 1914 සිට බව මින් අපට පැහැදිලියි. මේ අනුව, සභා සතෙන් නියෝජනය කරන්නේ ස්වාමීන්ගේ දවස පවතින කාලයේදී තිබෙන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සියලු සභාවනුයි. පසුගිය වසර 70ක් පමණ කාලය තුළදී යොහන්ගෙන් නියෝජනය කරන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඇදහිලිවන්තයන් විශාල පිරිසක්ද එකතු වී තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් සභා සත සෝදිසි කළායින් පසුව දුන් උපදෙස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මෙන්ම මේ අයටත් එක වගේ අදාළයි. එයට හේතුව යෙහෝවා දෙවි තම සේවකයන් සියලුදෙනාගෙන්ම තම ප්‍රමිතිවලට එක හා සමානව කීකරු වීමක් බලාපොරොත්තු වන නිසයි. (නික්මයාම 12:49; කොලොස්සි 3:11) මෙසේ, පළමු සියවසේ කුඩා ආසියාවේ පිහිටි සභා සතට යේසුස් දුන් පණිවුඩ ඒ කාලයේ පැවති සභාවලට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. එම පණිවුඩ අපටත් වැදගත්. අපේ ජීවිතය පවා රඳා පවතින්නේ ඒවා පැවැත්වීම හෝ නොපැවැත්වීම මතයි. එමනිසා අපි යේසුස්ගේ වචනවලට හොඳින් සවන් දෙමු.
[පාදසටහන්වල]
a මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් යෙසායා 44:6 ලියා ඇති ආකාරයෙන් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවිට සමාන දෙවි කෙනෙක් නැති බව පෙන්නුම් කිරීමට “පළමුවෙනියා” සහ “අන්තිමයා” යන වචන භාවිත කර ඇති බවයි. නමුත් ග්‍රීක භාෂාවෙන් එළිදරව් 1:17 ලියා ඇති ආකාරයෙන් පැහැදිලි වෙන්නේ ඒ වචන භාවිත කර තිබෙන්නේ යේසුස්ට හිමි විශේෂ නැවත නැඟිටීම විස්තර කිරීමට බවයි.
b “පණිවුඩකරුවා” යන්නෙහි ග්‍රීක වචනය වන අන්ජෙලොස් යන වචනයෙන් අදහස් කරන්නේ “දේවදූතයා” යන්නයි. මලාකි 2:7හි, ලෙවී පූජකයෙකුව හඳුන්වා ඇත්තේ දෙවිගේ “පණිවුඩකාරයා” (හෙබ්‍රෙව්, මලක්හ්) හැටියටයි.
[32වන පිටුවේ කොටුව]
පරීක්ෂා කිරීමේ හා විනිශ්චය කිරීමේ කාලයක්
ක්‍රිස්තු වර්ෂ 29 ඔක්තෝබර් මාසයේදී පමණ යේසුස් යොර්දාන් ගඟෙහි බව්තීස්ම වී දේවරාජ්‍යයේ අනාගත රජු වශයෙන් අභිෂේක කරනු ලැබුවා. ඉන් අවුරුදු තුනහමාරකට පසුව ක්‍රි.ව. 33දී, ඔහු යෙරුසලමේ දේවමාලිගාවට පැමිණ එය ‘සොරුන්ගේ ගුහාවක් කරමින් සිටි’ අයව ඉවතට පන්නා දැමුවා. වර්ෂ 1914 ඔක්තෝබර් මාසයේදී යේසුස් ස්වර්ගයේ රජ බවට පත් වූ විට ඔහු ඒ හා සමාන දෙයක් කළ බව පෙනී යනවා. යේසුස් රජ වී අවුරුදු තුනහමාරකට පමණ පසු ඔහු දෙවිගේ ගෘහය විනිශ්චය කරන්න පටන්ගත්තා. මෙම විනිශ්චයේදී තමන් ක්‍රිස්තියානීන් බව කියා සිටි අයව සෝදිසි කරනු ලැබුවා. (මතෙව් 21:12, 13; 1 පේතෘස් 4:17) සිදු වූ දේ අපි දැන් සලකා බලමු. වර්ෂ 1918 මුල් භාගයේ සිට සත්‍ය ක්‍රිස්තියානීන් කළ සේවයට ලෝකයාගෙන් දැඩි විරුද්ධවාදිකම් එල්ල වුණා. ලොව පුරාම පැවති එම පීඩාකාරී වාතාවරණය හේතුවෙන් බියගුලු අය ඉවත් වුණා. වර්ෂ 1918 මැයි මාසයේදී ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන්, වොච් ටවර් සමිතියේ නිලධාරීන්ව සිරගත කිරීමට උපක්‍රම යෙදුවා. නමුත් මාස නවයකට පසුව ඔවුන්ව හිරෙන් නිදහස් කළා. පසුව මේ අයට විරුද්ධව කර තිබූ බොරු චෝදනා සියල්ලෙන්ම ඔවුන්ව නිදහස් කරනු ලැබුවා. මේ සියල්ලෙන් දෙවිගේ සංවිධානයට අයත් අයව හොඳින් පරීක්ෂා කරනු ලැබූ අතර, ඔවුන්ගේ දුර්වලකම් හදාගන්නටත් අවස්ථාවක් ලැබුණා. ප්‍රතිඵලයක් ලෙස 1919 පටන් මිනිස් වර්ගයාගේ එකම බලාපොරොත්තුව ලෙස යේසුස් ක්‍රිස්තුස් පාලනය කරන යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැන මහත් උද්යෝගයෙන් දේශනා කරන්න ඔවුන් පටන්ගත්තා.—මලාකි 3:1-3.
යේසුස් 1918දී තම සෝදිසි කිරීම පටන්ගත් අවස්ථාවේදී, ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන්ව යේසුස්ගේ දැඩි අප්‍රසාදයට ලක් වුණා. එයට හේතුව නම්, ඔවුන් දෙවිගේ ජනයාට පීඩා කරමින් පළමු ලෝක මහා යුද්ධයේදී සිදු වූ දරුණු ලේ වැගිරවීම්වලට උල්පන්දම් දුන් නිසයි. (එළිදරව් 18:21, 24) එසේම, මෙම පූජකයන් තම විශ්වාසය තැබුවේ මිනිස් නිර්මාණයක් වූ ජාතීන්ගේ සංගමය ගැනයි. බොරු උගන්වන සියලුම ආගම් ඇතුළුව ක්‍රිස්තියානියයි කියාගන්නාවූ මෙම පල්ලි 1919දී දෙවිගේ දැඩි අප්‍රසාදයට ලක් වුණා.
[28, 29වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
එෆීස
ස්මර්ණාව
පර්ගමම්
තියතීරා
සර්දිස්
ෆිලදෙල්ෆියා
ලවොදිසීය
[31වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් අහිංසකයන්ගේ ලේ දරුණු ලෙස වගුරුවා තිබෙනවා. බයිබලය පරිවර්තනය කළ, කියෙවූ හෝ බයිබලයක් ළඟ තබාගත් ඕනෑම කෙනෙකුට දරුණු හිංසා පීඩා පමුණුවා මරා දැම්මා