යෙහෝවඃවහන්සේ මෙන් ඔබත් සමාව දෙන්නෙහිද?
“නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.”—මතෙව් 6:14, 15.
1, 2. අපට අවශ්‍ය වන්නේ කුමනාකාර දෙවි කෙනෙක්ද, එමෙන්ම මන්ද?
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක; සදාකාලයට කෝපය නොපවත්වනසේක. උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක. අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන්, උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ [ප්‍රේමනීය, NW] කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන්, උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව සිහිකරනසේක.”—ගීතාවලිය 103:8-14.
2 පාපය තුළ පිළිසිඳ, දෝෂ සහිතව ඉපද, උරුම කර ගත් අසම්පූර්ණකම් සමඟින් පාපයාගේ ව්‍යවස්ථාවට වහලුන් කර ගැනීමට නිතරම අරඅඳින ප්‍රවණතාවකින් යුත් අපට, ‘අප දූවිලිවලින් සෑදි සිටින බව සිහිකරන’ දෙවිකෙනෙකුගේ දැඩි අවශ්‍යතාව තිබේ. එකසිය තුන්වෙනි ගීතිකාවේ දාවිත් විසින් යෙහෝවඃවහන්සේව එතරම් අලංකාර ලෙස විස්තර කළායින් වසර තුන් සියයකට පසුව, තවත් බයිබල් ලේඛකයෙකු වූ මීකා, වරක් කරන ලද පාපවලට උන්වහන්සේ විසින් කරුණාබරිතව සමාව දීම වෙනුවෙන් බොහෝ දුරට මේ අයුරින්ම මෙම දෙවියන්වහන්සේවම මහත් සේ ප්‍රශංසාවට ලක් කළේ මෙසේය: “සමිඳුනි, . . . අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක, එතුමාණෝ අපට යළි අනුකම්පා කරන සේක; අපේ පව් පාගාදමන සේක; අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙළාදමන සේක.”—මීකා 7:18, 19, නව අනුවාදය.
3. සමාව දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 ග්‍රීක් ශුද්ධ ලියවිලිවල, “සමාව දෙනවා” යන වචනයේ අදහස නම්, “ඉවතට යෑමට ඉඩ දීමය.” ඉහත උපුටා දක්වා ඇති දාවිත්ගේ සහ මීකාගේ වචනවල මෙම අර්ථයම, සිත්ලගන්නාසුලු, විස්තරාත්මක වචනවලින් ගෙනහැර දක්වා ඇති අන්දම සැලකිල්ලට ගන්න. යෙහෝවඃවහන්සේගේ සමාව දීමේ මහා පුදුමාකාර තරම පූර්ණ ලෙස අගය කිරීමට, ක්‍රියාවට නැංවී ඇති බොහෝ උදාහරණවලින් ස්වල්පයක් අපි සලකා බලමු. යෙහෝවඃවහන්සේගේ මනස විනාශයේ සිට සමාව දීම දක්වා හැරවිය හැකි බව පළමුවැන්න පෙන්වයි.
මෝසෙස් මැදිහත් වෙයි—යෙහෝවඃවහන්සේ සවන් දෙයි
4. ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට ඇතුල්වීමට තවමත් භයව සිටියේ යෙහෝවඃවහන්සේගේ බලයේ කිනම් ප්‍රදර්ශනවලට පසුවද?
4 යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් ජාතියව මිසරයේ වහල්කමින් මුදවාගෙන, ඔවුන්ගේ මව්බිම වශයෙන් උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වී තිබූ දේශය අසලට ගෙනා නමුත්, කානන්හි සිටි නිකම්ම මිනිසුන්ට භය වීම හේතුවෙන් ඔවුහු ඉදිරියට යෑම ප්‍රතික්ෂේප කළහ. යෙහෝවඃවහන්සේ විසින් විනාශකාරි වසංගත දහයක් ගෙන ඒම මගින් මිසරයෙන් ඔවුන්ව මුදවා ගැනීම, ගැළවී යෑම සඳහා රතු මුහුද මැදින් පාරක් සෑදීම, ඔවුන් පසුපස ලුහුබැඳීමට වෙර දැරූ මිසරයන්ව විනාශ කිරීම, ඔවුන්ව යෙහෝවඃවහන්සේගේ තෝරාගත් ජාතිය බවට පත්කරවමින් සීනයි කන්දේදී ව්‍යවස්ථා ගිවිසුම ස්ථාපනය කිරීම, එමෙන්ම ඔවුන්ව පෝෂණය කිරීම සඳහා ආශ්චර්යවත් අන්දමින් ස්වර්ගයෙන් මන්නා එවීම යන මේ සියල්ල දුටුවායින් පසුත්, යෝධයන් වැනි කානාන් වැසියන් නිසා පොරොන්දු දේශයට ඇතුල් වීමට ඔවුහු බිය වූහ.—ගණන් කථාව 14:1-4.
5. විශ්වාසවන්ත ඔත්තුකරුවන් දෙදෙනෙකු ඉශ්‍රායෙලිතයන්ව එක්තැන් කිරීමට උත්සාහ කළේ කෙසේද?
5 මහත් දුකින් කැළඹුණු මෝසෙස් සහ ආරොන් මුණින්තලා වැටුණෝය. විශ්වාසවන්ත ඔත්තුකරුවන් වූ යෝෂුවා සහ කාලෙබ්, ඉශ්‍රායෙලිතයන්ව එක්තැන් කිරීමට තැත් කරමින්: ‘අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. කිරි සහ මීපැණි ගලායන දේශයක්ය, ඒ දේශයේ සෙනඟට භය නොවෙල්ලා; යෙහෝවඃවහන්සේ අප සමඟ සිටිනසේක!’ එවන් වදන්වලින් දිරිගැන්වෙනවා වෙනුවට, බියගුලු කැරලිකාර මිනිස්සු යෝෂුවාට සහ කාලෙබ්ට ගල්ගසන්ට තැත්කළෝය.—ගණන් කථාව 14:5-10.
6, 7. (අ) ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශය තුළට ගමන් කිරීමට ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ, යෙහෝවඃවහන්සේ කිරීමට තීරණය කළේ කුමක්ද? (ආ) ඉශ්‍රායෙලිතයන් මත යෙහෝවඃවහන්සේගේ තීන්දුවට මෝසෙස් විරුද්ධ වූයේ මන්ද, තවද ඇතිවූ ප්‍රතිඵලය කුමක්ද?
6 යෙහෝවඃවහන්සේ උදහස් වූසේක! අවසානයේදී, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණකල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද? මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් නුඹෙන් හටගන්වන්නෙමියි කීසේක. මෝසෙස් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] කථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක; ඔව්හු මේ දේශයෙහි වැසියන්ටද ඒක කියන්නාහුය. . . . ඉදින් ඔබ දැන් මේ සෙනඟ එක්කෙනෙකු මෙන් මරනසේක් නම් ඔබගේ කීර්තිය ඇසූ ජාතීන් කථාකරමින්: ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත.”—ගණන් කථාව 14:11-16.
7 මෝසෙස් යෙහෝවඃවහන්සේගේ නාමය වෙනුවෙන් සමාව අයැද සිටියේ මෙසේය: “ඔබවහන්සේගේ දයාවේ [ප්‍රේමනීය කරුණාවේ, NW] මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේද [යෙහෝවඃවහන්සේද, NW]: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි” යි කීසේක.—ගණන් කථාව 14:19, 20.
මනස්සේගේ පිළිම වන්දනාව සහ දාවිත්ගේ කාමමිථ්‍යාචාරය
8. යුදාහි මනස්සේ රජ ඇති කළේ කිනම් අන්දමේ වාර්තාවක්ද?
8 යෙහෝවඃවහන්සේගේ සමාව දීම සම්බන්ධයෙන් කැපී පෙනෙන උදාහරණයක් නම්, යහපත් රජෙකු වූ හෙසකියාගේ පුත් මනස්සේ සම්බන්ධ සිද්ධියය. මනස්සේ යෙරුසලමේ පාලනය පටන් ගත් විට ඔහුගේ වයස අවුරුදු 12ක් විය. ඔහු උස් ස්ථාන ගොඩනැඟුවේය, බාල්ට පූජාසන ඉදි කළේය, අෂේරා කණු සෑදුවේය, අහසේ තරුවලට නමස්කාර කළේය, නිමිති බැලීම්, මායම් ව්‍යවහාර කළේය, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රය කළේය, යෙහෝවඃවහන්සේගේ දේව මාළිගයේ කැපූ රූපයක් තැබීය, හින්නොම් මිටියාවතේදී තමාගේම පුත්‍රයන් ගිනිමැදින් යවා පූජා කළේය. “ස්වාමීන්වහන්සේ[ගේ] [යෙහෝවඃවහන්සේ[ගේ], NW] ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.” තවද “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.”—2 ලේකම් 33:1-9.
9. යෙහෝවඃවහන්සේගේ මුහුණ මනස්සේ කෙරෙහි මෘදුවූයේ කෙසේද, තවද කිනම් ප්‍රතිඵලයක් සහිතවද?
9 අන්තිමේදී, යෙහෝවඃවහන්සේ යුදාට විරුද්ධව අෂූරිවරුන්ව ගෙනා අතර, ඔවුහු මනස්සේ අල්ලා ගෙන ඔහුව බබිලෝනියට ගෙන ගියෝය. “ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී, උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක.” (2 ලේකම් 33:11-13) අනතුරුව, මනස්සේ විදේශීය දෙවිවරුන්, පිළිම සහ පූජාසන ඉවත් කොට, ඒවා නගරයෙන් පිටතට දැමුවේය, ඔහු යෙහෝවඃවහන්සේගේ පූජාසනය මත පූජා ඔප්පු කිරීමට පටන් ගෙන, සැබෑ දෙවියන්වහන්සේට සේවය කිරීමට යුදාවරුන් යොමු කළේය. මෙය වනාහි, නිහතමානීකම, යාච්ඤාව සහ වැරදුණු දේ හරිගැස්වීමට ගන්නා ක්‍රියා මාර්ගය ගත් විට ඒ තුළින් පසුතැවිල්ලට සුදුසු ඵල නිපදවනු ලබන විට, සමාව දීමට ඇති යෙහෝවඃවහන්සේගේ කැමැත්ත පිළිබඳ මවිත කරවන නිරූපනයක් වූයේද!—2 ලේකම් 33:15, 16.
10. දාවිත්, උරියාගේ භාර්යාව සමඟ තමා කළ පාපය වසං කිරීමට උත්සාහ කළේ කෙසේද?
10 හිත්තීය උරියාගේ භාර්යාව සමඟ දාවිත් රජුගේ කාමමිථ්යාචාරීය පාපය හොඳින් ප්‍රසිද්ධය. ඔහු ඇය සමඟ කාමමිථ්‍යාචාරය කළා පමණක් නොව, නමුත් ඈ ගර්භිණී වූ විට එය වසං කිරීමට උපක්‍රම යෙදීය. රජ උරියාව යුද්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවුවේ, ඔහු තම නිවසට ගොස් තම භාර්යාව සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වාවිය යන අපේක්ෂාවෙනි. එහෙත්, යුද පෙරමුණේ සිටි තම සෙසු හේවායන්ට ඇති ගෞරවය හේතුවෙන් උරියා එය ප්‍රතික්ෂේප කළේය. එවිට දාවිත් ඔහුව ආහාරය සඳහා ආරාධනා කර, ඔහුව මත් කළ නමුත් තවමත් ඔහු තමාගේ භාර්යාව වෙතට පැමිණියේ නැත. එවිට, උරියා යුද්ධයේදී මියයන පිණිස, ඔහුව යුද්ධයේ ඉතා වැඩි පිරිසක් සිටින ක්‍රියාකාරි කොටසට දමන ලෙස දාවිත් තම සේනාධිපති වෙතට පණිවුඩයක් යැවීය, සිදුවූයේ එම දෙයමය.—2 සාමුවෙල් 11:2-25.
11. තම පාපය උදෙසා පසුතැවිලි වීමට දාවිත්ව සැලැස්වූයේ කෙසේද, එහෙත්, ඔහු වින්දේ කුමක්ද?
11 රජුගේ පාපය හෙළිකිරීම සඳහා යෙහෝවඃවහන්සේ ස්වකීය අනාගතවක්තෘ නාතාන්ව දාවිත් වෙත යැවූසේක. “එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීවේය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹේ පාපය පහකළසේක. නුඹ නොනසින්නෙහි” යයි කීයේය. (2 සාමුවෙල් 12:13) තම පාපය ගැන දාවිත්ට මහත් වරදසහිත බවක් හැඟුණු අතර, යෙහෝවඃවහන්සේට කළ හෘදයාංගම යාච්ඤාවක හේ තම පසුතැවිල්ල පළ කර සිටියේ මෙසේය: “ඔබ පූජාවට නොකැමතිසේක; කැමතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය [ආත්මයක්ය, NW]. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් [හදවතක්, NW] ඔබ සුළුකොට නොසිතනසේක [නීචකොට නොසලකනසේක, NW].” (ගීතාවලිය 51:16, 17) යෙහෝවඃවහන්සේ, බිඳුණු හදවතකින් නික්මුණු දාවිත්ගේ යාච්ඤාව නීච කොට නොසැලකූසේක. එහෙත්, “වරද කරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක” යනුවෙන් නික්මයාම 34:6, 7හි සමාවදීම ගැන යෙහෝවඃවහන්සේගේ ප්රකාශනයට එකඟව දාවිත් බරපතළ දඬුවම් වින්දේය.
සාලමොන් විසින් දේව මාළිගාව කැපකරනු ලැබීම
12. දේව මාළිගාව කැප කරන අවස්ථාවේදී සාලමොන් ඉල්ලා සිටියේ කුමක්ද, තවද යෙහෝවඃවහන්සේගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?
12 සාලමොන් යෙහෝවඃවහන්සේගේ මාළිගාවේ ගොඩනැගිලි ඉදිකිරීම අවසන් කළායින් පසු, එය කැපකිරීමේදී සිය යාච්ඤාව තුළ ඔහු මෙසේ පැවසුවේය: “ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.” යෙහෝවඃවහන්සේ මෙසේ ප්‍රතිචාර දැක්වූසේක: “වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.”—2 ලේකම් 6:21; 7:13, 14.
13. පුද්ගලයෙකු පිළිබඳව යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය සම්බන්ධයෙන් එසකියෙල් 33:13-16 පෙන්වන්නේ කුමක්ද?
13 යෙහෝවඃවහන්සේ ඔබ දෙස බලත්ම, උන්වහන්සේ පිළිගන්නේ ඔබ දැන් කුමන ආකාරයේ කෙනෙකුද කියා මිස ඔබ කුමන ආකාරයේ කෙනෙකුව සිට තිබෙනවාද කියා නොවේ. එය හරියට එසකියෙල් 33:13-16හි පවසන්නාක් මෙන් වනු ඇත: “නුඹ සැබවින් ජීවත්වන්නෙහියයි මා විසින් ධර්මිෂ්ඨයාට කීවාම ඔහු තමාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසකරමින් අයුතුකම්කළොත්, ඔහුගේ සියලු ධර්මිෂ්ඨකම් සිහිකරනු නොලබන්නේය; ඔහු කළාවූ ස්වකීය අයුතුකම නිසා ඔහු නසිනවා ඇත. නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසිරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය. ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.”
14. යෙහෝවඃවහන්සේගේ සමාව දීමේ අතිවිශේෂ ලක්ෂණය කුමක්ද?
14 යෙහෝවඃවහන්සේ අපහට සපයන සමාවට අතිවිශේෂ ලක්ෂණයක් ඇත, මිනිස් මැවිලි ඔවුන් එකිනෙකාට සමාව දෙන විට ඔවුන් විසින් ඇතුළත් කිරීමට දුෂ්කර යමකි ඒ,—එනම්, උන්වහන්සේ සමාව දෙනවාක් මෙන්ම එය අමතක කොට දමනසේක. ‘ඔබ කර ඇති දේට මට සමාව දෙන්න පුළුවන්, නමුත් මට එය අමතක කරන්ට බැහැ (නැතහොත් අමතක කරන්නේ නැහැ)’ කියා ඇතැම්හු කියති. මීට පටහැනි ලෙස, තමන් කරන්ට යන බවට යෙහෝවඃවහන්සේ කියන දේ සැලකිල්ලට ගන්න: “මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි.”—යෙරෙමියා 31:34.
15. සමාව දීම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේට ඇත්තේ කුමන වාර්තාවක්ද?
15 යෙහෝවඃවහන්සේ පොළොව මත ස්වකීය මැවිලිවලට වසර දහස් ගණනාවක් පුරා සමාව දී තිබෙනසේක. ඔවුන් දැන සිටින මෙන්ම දැන නොසිටින බොහෝ පව් රාශියකට සමාව දෙමින් සිටිනසේක. උන්වහන්සේගේ දයාවේ, බොහෝ ඉවසිලිවන්තකමේ හා සමාව දීමේ සැපයුමට මෙතෙක් නිමාවක් තිබී නැත. යෙසායා 55:7 මෙසේ කියයි: “දුෂ්ටයා තමාගේ මාර්ගද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.”
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සමාව දීම
16. යේසුස්වහන්සේගේ සමාව දීමේ ක්‍රියා පිළිවෙත, යෙහෝවඃවහන්සේගේ සමාව දීමට එකඟව තිබෙන බව අපට කිව හැක්කේ මන්ද?
16 දෙවියන්වහන්සේගේ සමාව දීම පිළිබඳ වාර්තා, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි සිසාරා පැතිර පවතී. මෙම විෂය සම්බන්ධයෙන් තමා යෙහෝවඃවහන්සේගේ මනස සමඟ එකඟ යයි පෙන්වමින් යේසුස්වහන්සේ නොයෙක් වර මේ ගැන කථා කරනසේක. යේසුස්වහන්සේගේ සිතිවිලි පැමිණෙන්නේ යෙහෝවඃවහන්සේගෙනි, උන්වහන්සේ පිළිබිඹු කරන්නේ යෙහෝවඃවහන්සේවය, උන්වහන්සේ යෙහෝවඃවහන්සේගේ දේවත්වයේ ස්වරූපයය; උන්වහන්සේව දැකීම යනු යෙහෝවඃවහන්සේව දැකීමය.—යොහන් 12:45-50; 14:9; හෙබ්‍රෙව් 1:3.
17. යෙහෝවඃවහන්සේගේ “අතිශයින්” සමාව දීම යේසුස්වහන්සේ විසින් උපහැරණය කරන ලද්දේ කෙසේද?
17 යෙහෝවඃවහන්සේ අතිශයින් කමාවන බවට, යේසුස්වහන්සේගේ එක් උපහැරණයක, එනම්, තම දාසයෙකුට තලෙන්ත 10,000ක් (රු.1,65,00,00,000ක් පමණ) ණයක් කමා කළ රජෙකු පිළිබඳ උපහැරණයක අඟවා තිබේ. එහෙත්, එම දාසයා, තම සෙසු දාසයෙකුගේ ඩිනාරි සියයක (රු. 3,000ක් පමණ) ණයක් කමා නොකළ විට, රජ කෝපාවිෂ්ට විය. “නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල නුඹට කමාකෙළෙමි. මා විසින් නුඹට කරුණාකළාසේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය. ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.” ඊළඟට යේසුස්වහන්සේ අදාළ කිරීම කළේ මෙසේයි: “නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් [හෘදයෙන්, NW] කමා නොකරනවා නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇත.”—මතෙව් 18:23-35.
18. සමාව දීම පිළිබඳ පේතෘස්ගේ දෘෂ්ටිය, යේසුස්වහන්සේගේ එම දෘෂ්ටිය සමඟ සැසඳුණේ කෙසේද?
18 යේසුස්වහන්සේ විසින් ඉහත සඳහන් උපහැරණය දෙනු ලැබීමට පෙර, පේතෘස් යේසුස්වහන්සේ වෙතට පැමිණ මෙසේ ඇසීය: “ස්වාමිනී, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.” පේතෘස් සිතුවේ තමා ඉතා ත්‍යාගශීලීව සිටි බවයි. ලියන්නන් සහ ඵරිසිවරුන් සමාව දීම මත සීමාවක් තබා තිබුණත්, යේසුස්වහන්සේ පේතෘස්ට පැවසුවේ මෙසේයි: “සත්වරක් නොව, සැත්තෑවර [සැත්තෑ, NW] සත්වරක්යයි කියමි.” (මතෙව් 18:21, 22) යේසුස්වහන්සේ මෙසේ පැවසුවාක් මෙන්, සත් වරක් දවසකට ප්‍රමාණවත් වීම උගහටය: “නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරපන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙයන්න. ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කොට, සත්වරක් නුඹ වෙතට හැරී: මම පසුතැවිලිවෙමියි කීවොත්, ඔහුට කමාවෙයන්න.” (ලූක් 17:3, 4) යෙහෝවඃවහන්සේ සමාව දෙන විට, උන්වහන්සේ ඒ ගැන වාර්තා තබා ගන්නේ නැත—එය අපේ සතුටට හේතුවකි.
19. යෙහෝවඃවහන්සේගේ සමාව ලබා ගැනීමට අප කුමක් කළ යුතුද?
19 අපගේ පව් සම්බන්ධව පසුතැවිලිවීමට හා ඒවා කියා දීමට අපට නිහතමානිකම තිබේ නම්, අප වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට යෙහෝවඃවහන්සේ එකඟ වනසේක: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.”—1 යොහන් 1:9.
20. ස්තේපන් විසින් පෙන්වනු ලැබුවේ පාපවලට සමාව දීම පිළිබඳ කිනම් කැමැත්තක්ද?
20 යේසුස්වහන්සේගේ අනුගාමික ස්තේපන්, සමාව දීමේ අතිවිශේෂ ස්වභාවයකින් යුතුව, වියරු වැටුණු කල්ලියක් ඔහුට ගල්ගසන විට හඬ නගා මෙම ආයාචනා කළේය: “ස්වාමීවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව . . . ඔහු දණින් වැටී: ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගසා කීවේය. ඔහු මෙසේ කියා සැතපුණේය.”—ක්‍රියා 7:59, 60.
21. රෝම හේවායන්ට සමාව දීමට යේසුස්වහන්සේ තුළ වූ කැමැත්ත එතරම් මවිතකර වූ යමක් වූයේ මන්ද?
21 සමාව දීමට කැමති වීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ ඊටත් වඩා මවිතකර ආදර්ශයක් තැබූසේක. උන්වහන්සේගේ සතුරෝ උන්වහන්සේව අත්අඩංගුවට ගෙන, උන්වහන්සේව නීත්‍යනුකූල නොවන ලෙස පරීක්ෂාවට ලක් කර, උන්වහන්සේ වරදකරුවෙකු හැටියට තීන්දු කොට, උන්වහන්සේට සරදම් කර, උන්වහන්සේට කෙළ ගසා, පෙනෙන විදිහට ඇට හා ලෝහ කැබලි අල්ලා තිබූ බොහෝ පටි සහිත කසවලින් තලා, අවසානයේදී පැය ගණනාවක් වධ කණුවක ඇණවලින් එල්ලා තැබුවෝය. රෝමවරු මේ දේවල් බොහොමයක් කිරීමෙහි සම්බන්ධව සිටියහ. එහෙත්, යේසුස්වහන්සේ එම වධ කණුව මත මියයමින් සිටියදී, තමාව ඇණගැසූ හේවායන් සම්බන්ධව උන්වහන්සේ තම ස්වර්ගීය පියාණන්වහන්සේට කීවේ මෙසේයි: “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති.”—ලූක් 23:34.
22. අප විසින් ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ යුත්තේ කන්ද උඩ දේශනාවේ කිනම් වදන්ද?
22 සිය කන්ද උඩ දේශනාවේදී, යේසුස්වහන්සේ මෙසේ පවසා තිබිණි: “ඔබගේ සතුරන්ට දිගටම ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා දිගටම යාච්ඤා කරන්න.” සිය භූමික දේව සේවය අවසානය දක්වා, උන්වහන්සේම එම ප්‍රතිපත්තියට කීකරු වූසේක. අපගේ පහත වැටුණු මාංසයේ දුර්වලකම් සමඟ පොරබදන අපගෙන්, එය ඕනෑවට වඩා ඉල්ලා සිටීමක්ද? ආදර්ශ යාච්ඤාව දීමෙන් පසු යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට ඉගැන්වූ වචන ක්‍රියාවට නැංවීමටවත් අඩු තරමින් අප උත්සාහ කළ යුතුය: “නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරනසේක.” (මතෙව් 5:44, NW; මතෙ 6:14, 15) අපි යෙහෝවඃවහන්සේ මෙන් සමාව දෙන්නෙමු නම්, අපි සමාව දී, අමතක කරන්නෙමු.
ඔබට මතකද?
◻ යෙහෝවඃවහන්සේ අපගේ පව් සම්බන්ධව ක්‍රියා කරන්නේ කෙසේද, තවද මන්ද?
◻ මනස්සේව නැවත ඔහුගේ රජකමට පත් කරන ලද්දේ මන්ද?
◻ අනුකරණය කිරීමට මනුෂ්‍යයන්හට අභියෝගයක් වන්නේ යෙහෝවඃවහන්සේගේ සමාව දීමේ කිනම් අතිවිශේෂ ලක්ෂණයද?
◻ සමාව දීමට යේසුස්වහන්සේගේ කැමැත්ත එතරම්ම මවිතකර යමක් වූයේ කෙසේද?
[24වන පිටුවේ පින්තූරය]
දෙවියන්වහන්සේගේ සමාව ලබා ගැනීම සඳහා ඇති අවශ්‍යතාව දැක ගැනීමට නාතාන් දාවිත්ට උපකාර කළේය