පේදුරුගේ සොහොන—වතිකානුවේ?
“අපෝස්තුලුවරුන්ගේ කුමාරයාගේ සොහොන සොයා ගනු ලැබ තිබේ.” XIIවෙනි පියුස් පාප්ගේ එම ජයග්‍රාහී නිවේදනය වතිකානු ගුවන් විදුලිය මගින් විකාශය කෙරිණි. එය 1950 අගභාගයේදී වූ අතර, සා. පේදුරුගේ බැසිලිකාව යට කරන ලද සංකීර්ණ කැනීම් මාලාවක් මෑතකදී නිමාවට පත්වී තිබිණි. ඇතැමුන් කියන පරිදි, පේදුරුව සැබවින්ම වතිකානුවේ භූමදාන කරන ලද බවට මෙම පුරාවිද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵලවලින් ඔප්පු කෙරිණ. කෙසේ වුවද සියල්ලෝම මීට එකඟ නොවූහ.
කතෝලිකයන්ට, වතිකානුවේ පිහිටි සා. පේදුරුගේ පල්ලිය විශේෂ වැදගත්කමක් ගනී. “රෝමය කරා යන වන්දනා ගමන්වල විශේෂ අරමුණ වනුයේ, පේදුරු තුමාගේ අනුප්‍රාප්තිකයා හමුවී ඔහුගේ ආශීර්වාද ලබා ගැනීමය,” යයි ප්‍රකාශ කරන එක් කතෝලික ගුරුපොතක්, “මන්දයත් පේදුරු තුමා රෝමයට ආවේය, තවද ඔහුව මෙහි භූමදාන කරන ලද්දේය” යයිද කියා සිටී. එහෙත් ඇත්තෙන්ම පේදුරුව භූමදාන කරන ලද්දේ රෝමයේද? ඔහුගේ සොහොන තිබෙන්නේ වතිකානුවේද? ඔහුගේ ඇටකටු හමුවී තිබේද?
පුරාවිද්‍යාත්මක අභිරහසක්
එක්දහස් නවසිය හතළිස් ගණන්වල ආරම්භ වී නිමාවීමට දළ වශයෙන් වසර දහයක් පමණ ගතවූ මෙම කැනීම්, බොහෝ මතභේදයන්ට භාජන වී තිබේ. පාප්වරයා විසින් පත්කරන ලද පුරාවිද්‍යාඥයන් සොයාගත්තේ කුමක්ද? එක් දෙයක් නම්, සොහොන් ගණනාවකින් සමන්විත මිථ්‍යා ලබ්ධිකයන්ගේ කනත්තකි. ඒවා අතර, වත්මන් පාප්වරයාගේ අල්තාරයට යටින්, ඉඩිකියූලාවක්, එනම්, රතු බදාමවලින් සාදා ඇති, බිත්තියක් ඇතුළට ඔබ්බවා, දෙපැත්ත බිත්ති දෙකකින් ආවරණය කොට, ප්‍රතිමා හෝ පිළිම තැබීම සඳහා සකස් කර ඇති සුරුවම්කූඩුවක් ඔවුහු හඳුනාගත්හ. අවසානයේදී, තරමක් අභිරහස් අන්දමින්, මිනිස් ඇටකටු ස්වල්පයක්ද සොයා ගැනුණු අතර, මේවා දෙපැත්තේ බිත්ති දෙකෙන් එකකින් පැමිණි බව පැවසිණි.
නොයෙක් අර්ථකථන ආරම්භ වන්නේ මෙතැනදීය. පේදුරු නීරෝගේ පාලන සමයේ රෝමයේ ජීවත්වූ බවටත් සමහරවිට පො.යු. 64 පීඩා සමයේ එහිදී ප්‍රාණ පරිත්‍යාගී මරණයකට භාජන වූ බවටත් ඇති සම්ප්රදාය මෙම සොයගැනීම්වලින් තහවුරු වන්නේ යයි කතෝලික විශාරදයෝ ගණනාවක් පවසති. සොයා ගෙන ඇති ඇටකටු, අපෝස්තුලුවරයාගේ නෂ්ටාවශේෂ යයිද, එක් අභිලේඛනයක් මගින් ඒවා හඳුනාගත හැකි බවට කියැවේ, එක් අර්ථ කථනයකට අනුව, “පේදුරු මෙහිය” යන්න සඳහන් කරයි. වර්ෂ 1968දී VIපාප් විසින්, “අප සියල්ලන්ගේ භක්තියට හා ගෞරවයට පාත්රවිය යුතු සා. පේදුරු තුමාගේ නෂ්ටාවශේෂ” යයි කියමින් සොයා ගැනීම පිළිබඳව නිවේදනය කරන විට මෙම උපකල්පනයට ඔහු ප්‍රශංසා කරමින් සිටි බව පෙනෙන්ට තිබේ.
කෙසේවුවද, අර්ථකථන අතර, මීට විරුද්ධ තර්ක විවාදද තිබිණි. වතිකානු කැනීම්වලට සහභාගි වූ එක් ජේසු නිකායික වරයෙක් වන, කතෝලික පුරාවිද්‍යාඥ ආන්ටෝන්යෝ ෆෙරූආ සහතික ලෙස කියා ඇත්තේ, එක් අවස්ථාවකට වඩා වැඩි අවස්ථා ගණනකදී, මෙම විෂය ගැන තමා දන්නා දේ, එනම්, පේදුරුගේ නෂ්ටාවශේෂ සොයා ගෙන ඇති බවට වූ ප්‍රකාශයට පෙනෙන විදිහට පටහැනි තොරතුරු ‘ප්‍රකාශයට පත් කිරීමට තමාට ඉඩ නුදුන්’ බවය. මීටත් වඩා දෙයක් නම්, 1991දී පළ කරන ලද, කතෝලික කාඩිනල් පෝපාර්ඩ් විසින් සංස්කරණය කරන ලද රෝම සංචාරක අත්පොතක, “රතු බිත්තියේ අත්තිවාරම යටින් සොයා ගන්නා ලද මිනිස් ඇටකටු පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයෙන්, ඒවා පේදුරු අපෝස්තුලුවරයාට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවට පෙනෙන්ට තිබේ යයි” පැවසීමය. පුදුමයකට මෙන්, මෙහි ඊළඟ සංස්කරණයේ (1991 දී පසුව පළ කරන ලද), මෙම ප්‍රකාශය අතුරුදහන් වී ඇති අතර, “සහතිකයක්: සා. පේදුරුහි පේදුරු තුමා” යන තේමාවෙන් යුත් අලුත් පරිච්ඡේදයක් ඇතුළත් කර තිබිණි.
සොයා ගැනීම් පිළිබඳ අර්ථකථන
මෙම සොයා ගැනීම් අර්ථකථනවලට භාජන වී ඇති බවත්, ඔවුන් විවිධ අයට විවිධ දේවල් පවසන බවත් පෙනෙන්ට තිබේ. ඇත්ත වශයෙන්ම, “රෝමයේදී පේදුරුගේ ප්‍රාණ පරිත්‍යාගය සහ ඔහුගේ භූමදාන ස්ථානය පිළිබඳ ඓතිහාසික ගැටලු විවාදයට විවෘත වී ඇතැයි” වඩාත් අධිකාරයක් ඇති කතෝලික ඉතිහාසඥයෝ පිළිගනිති. සොයාගැනීම්වලින් හෙළිවන්නේ කුමක්ද?
කතෝලික සම්ප්රදාය රැකීමට උත්සාහ කරන අය පවසන පරිදි, මෙම ඉඩිකියූලා ස්මාරකය, තුන් වන සියවස ආරම්භයේ ජීවත් වූ පූජකයෙකු වූ එක්තරා ගායස් නමැත්තෙකු විසින් “සිහිවටනය” හැටියට පවසා තිබෙනවා යයි කියැවේ. කායිසරයේ යූසිබියස්ට අනුව, හතරවෙනි සියවසේ දේව ධර්මීය ඉතිහාසඥයෙකු වූ ගායස්, ‘වතිකානු කන්ද මත පේදුරුගේ ස්මාරකය සලකුණු කිරීමට තමාට හැකි’ යයි පවසා සිටියේය. මෙම සම්ප්‍රදායට පක්ෂව සිටින අය කියා සිටින්නේ, ප්‍රේරිතවරයා එතැන, එනම් ‘ගායස්ගේ ස්මාරකය’ හැටියට නම් ලැබූ ස්මාරකය යට භූමදාන කරනු ලැබූ බවය. කෙසේ වෙතත්, මුල් ක්‍රිස්තියානීන් තමන්ගේ මළවුන්ගේ භූමදාන ස්ථාන ගැන එතරම් අවධානයක් නොදැක්වූ බවත්, එමෙන්ම පේදුරු එහි මරණයට පත් කරනු ලැබුවත්, ඔහුගේ සිරුර නැවත සොයා ගැනීම බොහෝ සෙයින් විය නොහැක්කක් බවත් ප්‍රකාශ කරමින්, තවත් අය මෙම කැනීම්වල ප්‍රතිඵල කෙරෙහි හාත්පසින්ම වෙනස් අන්දමක අර්ථ කථනයක් දෙති. (29 පිටුවේ කොටුව බලන්න.)
“ගායස්ගේ ස්මාරකය” (සොයා ගනු ලැබ ඇත්තේ එය නම්) සොහොනක් බවට එකඟ නොවන අයද සිටිති. එය දෙවෙනි සියවසේ අගභාගයට ආසන්නව පේදුරුගේ ගෞරවය සඳහා ඉදිකරන ලද ස්මාරකයක් බවත්, පසුව, “එය සොහොන් ස්මාරකයක් ලෙස සැලකීමට වූ” බවත් ඔවුහු කියා සිටිති. කෙසේ වෙතත්, දේවධර්මාචාර්ය ඔස්කාර් කුල්මන්ට අනුව, “වතිකානුවේ කැනීම්වලින් පේදුරුගේ සොහොන කෙසේවත් හඳුන්වා නොදෙයි.”
ඇටකටු ගැන කුමක් කිව හැකිද? මෙම ඇටකටු පැමිණියේ කොහෙන්ද යන්න තවමත් ප්‍රහේලිකාවක් බව පැවසිය යුතුය. පළමු සියවසේ පටන්, දැන් වතිකානු කන්ද තිබෙන තැන මිථ්‍යා දෘෂ්ටික විශාල සුසාන භූමියක් තිබූ බැවින්, මිනිස් නෂ්ටාවශේෂ රාශියක් මෙම ප්‍රදේශයේ වළලා තිබී, දැනටමත් ඒවායින් බොහොමයක් සොයා ගෙන තිබේ. මෙම අසම්පූර්ණ අභිලේඛනවලින් (මේවා සමහරවිට සතරවෙනි සියවසට අයත් විය හැකිය) අපෝස්තුලුවරයාගේ සොහොන වශයෙන් සැලකෙන, නෂ්ටාවශේෂ සොයාගනු ලැබූ ස්ථානය බවට හඳුන්වා දෙන බව ඇතැමුන් කියන අතර, මේවා, අඩුතරමින්, “පේදුරුගේ ඇටකටු බවට සිතා සිටින දේවල පැවැත්ම විය හැකි” යයි පවසති. මීට අමතරව, ශිලාලේඛන විශේෂඥයන් බොහොමයකගේ මතය නම්, මෙම අභිලේඛනයෙන් අදහස් කරන්නේ, “පේදුරු මෙහි නොවේ” යන්න විය හැකි බවය.
‘රඳා පැවතිය නොහැකි සම්ප්රදායක්’
“මුල් සහ වඩාත් රඳාපැවතිය හැකි මූලාශ්‍ර [පේදුරුගේ] ප්‍රාණ පරිත්‍යාගය සිදුවූ ස්ථානය සඳහන් නොකරයි, නමුත් පසුකාලීන හා අඩුවෙන් රඳාපැවතිය හැකි මූලාශ්‍ර අතර එය වතිකානු ප්‍රදේශයේ සිදුවූ බවට නියම එකඟතාවක් තිබේ” යයි ඉතිහාසඥ ඩී. ඩබ්. ඔ’කොනර් පවසයි. එහෙයින් වතිකානුවේ පේදුරුගේ සොහොන සඳහා කරන ලද සෙවිල්ල පදනම් වූයේ රඳාපැවතිය නොහැකි සම්ප්‍රදායන් මතය. “නෂ්ටාවශේෂ මහත් වැදගත්කමක් ගත් යමක් බවට පත්වූ විට, පේදුරුගේ [ස්මාරකය] සැබවින්ම ඔහුගේ සොහොන පිළිබඳ වටිනා සටහනක් ඇඟවූයේ යයි ක්‍රිස්තියානීහු අවංක ලෙස විශ්වාස කිරීමට පැමිණියෝය” යනුවෙන් ඔ’කොනර් තහවුරු කරයි.
මෙම සම්ප්‍රදායන් එකවිටම එකම කාලය තුළ ශුද්ධ ලියවිල්ලට පටහැනි වූ නෂ්ටාවශේෂවලට දෙනු ලැබූ ගෞරවය සමඟ වර්ධනය විණි. තුන්වෙනි සහ සතරවෙනි සියවස්වල පටන්, නොයෙක් වන්දනා මධ්‍යස්ථාන විසින් මෙම සැබෑ සහ බොරු නෂ්ටාවශේෂ—ආර්ථික වාසි රහිතව නොවේ—“අධ්‍යාත්මික” උසස් බවක් සහ තමන්ගේම අධිකාරයේ වැඩි දියුණුවක් අත්කර ගැනීම පිණිස කරන ලද අරගලයේදී උපයෝගි කර ගත්හ. මෙසේ, පේදුරුගේ නෂ්ටාවශේෂවලට ප්රාතිහාර්යාත්මක බලයන් තිබෙන බව ඒත්තු ගත් වන්දනාකරුවෝ පේදුරුගේ යයි සිතා සිටි සොහොන කරා ගමන් කළහ. හය වෙනි සියවස අවසානයේදී, වන්දනාකරුවෝ, හොඳ බරක් සහිත සවිකළ රෙදි කැබලි “සොහොන” මතට විසිකරන්ට පුරුදුව සිටියහ. “ආයාචනාකරන්නාගේ ඇදහිල්ල ස්ථිර නම්, රෙදි කැබැල්ල සොහොනෙන් නැවත ගොඩ ගනු ලැබූ විට, එයට පූර්ණ දිව්‍ය ගුණයක් තිබෙනු ඇති අතර, එය පෙරට වඩා බරෙන් වැඩි වීම අපූරු දෙයකි” යයි එක් සමකාලීන වාර්තාවක් පැවසීය. එම කාලයේදී හදිස්සියෙන්ම දේවල් විශ්වාස කිරීමේ මට්ටම මින් අඟවයි.
මෙවැනි ප්‍රබන්ධ සහ කිසිම පදනමක් නොමැති සම්ප්‍රදායන් සියවස් ගණනාවක් මුළුල්ලේ, වතිකානුවේ බැසිලිකාවේ නම්බුවේ දියුණුවට සැලකිලිමත් ලෙසින් දායක වී ඇත. කෙසේ වුවද, මීට ප්‍රතිවිරුද්ධ හඬවල්ද නැගුණි. දොළොස්වෙනි සහ දහතුන්වෙනි සියවස්වලදී, වොල්ඩෙන්සස් නම් ක්‍රිස්තියානි නිකායකවරු මෙම අන්තවාදී අදහස් හෙළා දුටු අතර, පේදුරු කිසිවිටෙකත් රෝමයට නොගිය බව බයිබලය උපයෝගි කරගනිමින් පැහැදිලි කර සිටියහ. සියවස් ගණනකට පසුව, රෙපරමාදු ප්‍රතිසංස්කරණයේ ප්‍රකාශකයෝ මේ හා සමානව තර්ක කරන්ට වූහ. දහඅටවෙනි සියවසේදී, සුප්‍රකට දර්ශනවාදීහු, මෙම සම්ප්රදාය ඓතිහාසික වශයෙන් සහ ශුද්ධ ලියවිලිමය යන දෙආකාරයෙන්ම පදනම් විරහිත බව සැලකූහ. අද දක්වා කතෝලික සහ වෙනත් ප්‍රවීණ විශාරදයන් විසින්ද මෙම දෘෂ්ටිකෝණයම දරනු ලැබේ.
පේදුරු මියගියේ රෝමයේද?
නිහතමානී ගලීල ධීවරයෙකු වූ පේදුරු, පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව තුළ සිටි වැඩිමහල්ලන් අතර තමා උසස් බවට කිසිදු අදහසක් නොදැරූ බව සහතිකය. ඒ වෙනුවට, ඔහු තමාවම නිර්වචනය කළේ, “සෙසු වැඩිමහල්ලෙකු” හැටියටයි. (1 පේතෘස් 5:1-6, රිවයිස්ඩ් ස්ටෑන්ඩඩ් වර්ෂන්) පේදුරු නමැති පුද්ගලයාගේ නිහතමානී චරිත රූපය, වතිකානු බැසිලිකාවට යන ඕනෑම සංචාරයෙකුට දැකිය හැකි පරිදි, ඔහුගේ යයි සිතා සිටින සොහොන අවට ඇති ශ්‍රී විභූතියට වඩා හාත්පසින්ම වෙනස්ය.
වෙනත් ක්‍රිස්තියානි නිකායන්ට වඩා තම මහන්තත්වය තහවුරු කරනු පිණිස, පේදුරු යම් කලකට රෝමයේ විසූ බවට ප්‍රකාශ කරන ‘පසුව සහ අඩුවෙන් රඳාපැවතිය හැකි’ සම්ප්‍රදායන් කෙරෙහි තම විශ්වාසය තහවුරු කිරීමට කතෝලික පල්ලිය යත්න දරා තිබේ. එනමුත් පුදුමයකට මෙන්, වෙනත් ඉපැරණි සම්ප්‍රදායන් කියා සිටින්නේ, ඔහුගේ භූමදානය සිදුවූ ස්ථානය තිබෙන්නේ වතිකානුවේ නොව, නමුත් රෝමයේ වෙනත් තැනක බවයි. එහෙත්, පේදුරු පිළිබඳව කෙළින්ම තොරතුරු ලබා ගත හැකි එකම මූලාශ්‍රය වන බයිබලයේ සඳහන් සැබෑ කරුණුවලට ඇලී නොසිටින්නේ මන්ද? යෙරුසලමේ තිබූ ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලයෙන් ලැබූ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින්, බබිලෝනිය ඇතුළු ඉපැරණි ලෝකයේ නැගෙනහිර කොටසේ පේදුරු තම වැඩකටයුතු කර ගෙන ගිය බව දේව වචනයෙන් පැහැදිලිය.—ගලාති 2:1-9; 1 පේතෘස් 5:13; සසඳන්න ක්‍රියා 8:14.
පොදු යුගයේ 56 පමණේදී, රෝමයේ ක්‍රිස්තියානීන්ට ලියන විට, පාවුලු අපෝස්තුලුවරයා, එම සභාවේ සාමාජිකයන් 30දෙනෙකුට පමණ ආචාර කළේ, පේදුරුව සඳහන් කරන්නේවත් නැතුවය. (රෝම 1:1-3; 16:3-23) ඉන්පසුව, පො.යු. 60 සහ 65 අතර, පාවුල් රෝමයේ සිට ලිපි හයක් ලියූ අතර, මේවායේ පේදුරු ගැන සඳහන් වී නොමැත—මෙය පේදුරු එහි නොවූ බවට අනියම් සාක්ෂියකි.a (සසඳන්න 2 තිමෝති 1:15-17; 4:11.) රෝමයේදී පාවුල්ගේ ක්‍රියාකාරකම්, ක්‍රියා පොතේ අවසානයට විස්තර කර ඇති අතර, නමුත් යළිත් වරක්, පේදුරුට කිසිදු යොමු දැක්වීමක් කර නැත. (ක්‍රියා 28:16, 30, 31) ඒ හේතුවෙන්, කලින් සිතා ගත් සියලු අදහස්වලින් බැහැරව, බයිබලයේ සාක්ෂි පිළිබඳ පක්ෂපාතකමින් තොරව පරීක්ෂා කරන කල, එළඹිය හැකි නිගමනය වනුයේ පේදුරු රෝමයේ දේශනා නොකළ බවයි.b
පාප්වරයාගේ “උත්තරීතරබව” පදනම් වී ඇත්තේ රඳාපැවතිය නොහැකි සම්ප්‍රදායන් සහ ශුද්ධ ලියවිලිවල විකෘති කරන ලද අදාළ කිරීම් මතය. කිතු දහමේ අත්තිවාරම පේදුරු නොව, යේසුස්වහන්සේයි. ‘ක්‍රිස්තුස්වහන්සේ සභාවේ මූලිකයා වනසේක’ කියා පාවුල් කියයි. (එපීස 2:20-22; 5:23) ඇදහිල්ල තිබෙන සියල්ලන්ටම ආශීර්වාද කිරීමටත් ඔවුන්ව ගළවා ගැනීමටත් යෙහෝවඃවහන්සේ එවුවේ යේසුස් ක්රිස්තුස්වහන්සේවය.—යොහන් 3:16; ක්‍රියා 4:12; රෝම 15:29; තවද 1 පේතෘස් 2:4-8 බලන්න.
එසේ නම්, පේදුරුගේ යයි අවංකව විශ්වාස කරනු ලබන සොහොන වෙත, ‘ඔහුගේ අනුප්රාප්තිකයාව’ හමුවීමට යන අය, තමන් ‘රඳා පැවතිය නොහැකි සම්ප්‍රදායන්’ පිළිගන්නවාද නැතහොත් දෙවියන්වහන්සේගේ විශ්වාස කටයුතු වචනය පිළිගන්නවාද යන ගැටලුවට මුහුණ දෙති. තම නමස්කාරය දෙවියන්වහන්සේ විසින් පිළිගනු ලැබීම කිතුනුවන්ට වුවමනා වන හෙයින්, ‘තම ඇදහිල්ලේ පරිපූර්ණකයාණන් වන යේසුස්වහන්සේ දෙසත්’ අනුගමනය කිරීමට අප සඳහා උන්වහන්සේ තබා ගිය පරිපූර්ණ ආදර්ශය දෙසත් ඔවුහු ඕනෑකමින් බලති.—හෙබ්‍රෙව් 12:2, NW; 1 පේතෘස් 2:21.
[පාදසටහන්වල]
a පොදු යුගයේ 60-61 පමණේදී, පාවුල් තම ලිපි එපීසවරුන්ට, පිලිප්පිවරුන්ට, කොලොස්සිවරුන්ට, පිලෙමොන්ට සහ හෙබ්‍රෙව්වරුන්ට තම ලිපිද; පො.යු. 65දී, තිමෝතිට තම දෙවෙනි ලිපියද ලීවේය.
b “වෝස් පීටර් එවර් ඉන් රෝම්? [පේදුරු යම් කලක රෝමයේ සිටියාද?]” යන ලිපිය 1972 නොවැම්බර් 1, ද වොච්ටවර්හි පිටු 669-71හි සලකා බැලිණි.
[29වන පිටුවේ කොටුව]
“ඉඩිකියූලාව යට පිහිටි සොහොනේ කරන ලද කැනීම්වලදී නිශ්චිත සාක්ෂි කිසිවක් හමුවී නැත; ඇත්ත වශයෙන්ම, සා. පේදුරුගේ සිරුර භූමදානය සඳහා ක්‍රිස්තියානි ප්‍රජාව විසින් වධකයන්ගෙන් කිසිවිටෙකත් ලබා ගත්තා කියා සහතික කර ගැනීමට නොහැක. සාමාන්‍යයෙන්, නීතියට අනුව, පරදේශක්කාර කෙනෙකු, තවද නීතිය ඉදිරියේ නීච (පෙරේග්රිනස්), අපරාධකරුවෙකුගේ සිරුර ටයිබර් ගඟට හෙළනු ලැබීමට හොඳටම ඉඩ කඩ තිබුණා විය යුතුය. . . . එපමණක්ද නොව, ලෝකය ඉක්මනින් අවසානයකට පත්වේය යන විශ්වාසය නිමී ගොස් තිබුණද, ප්‍රාණ පරිත්‍යාගීන්ගේ නිකායක ඇතිවීම පෙනෙන්ට පටන් ගෙන තිබුණු වකවානුවක් පසුකලකදී තිබූ හෙයින්, මෙම මුල් කාලයේදී සිරුරුවල නෂ්ටාවශේෂ ආරක්ෂා කර ගැනීමට එම උනන්දුව නොතිබුණා වන්නට පුළුවන. එමනිසා, ඇත්ත වශයෙන්ම, සා. පේදුරුගේ සිරුර භූමදානය සඳහා ලබා ගැනීමට අපොහොසත් වීමට තිබූ ඉඩකඩ සැබෑ එකකි.”—ජොස්ලින් ටොයින්බී සහ ජොන් වෝර්ඩ් පර්කින්ස් විසින් රචිත ද ෂ්රයින් ඔෆ් සෙන්ට් පීටර් ඇන් ද වැටිකන් එක්ස්කවේෂන්ස්.