දේව භක්තික යටත්කමට අපගෙන් අවශ්‍ය කරවන දේ
“එමනිසා ඔබ ව ම දෙවියන් වහන්සේට යටත් කර ගන්න.”—යාකොබ් 4:7, NW.
1. අප නමස්කාර කරන දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන පැවසිය හැක්කේ කුමක් ද?
යෙහෝවඃ වහන්සේ කොතරම් විස්මයාන්විත දෙවි කෙනෙක් ද! අසමසම, තුල්‍යයන් රහිත, සැසඳිය නොහැකි, බොහෝ මාර්ගවලින් අද්විතීය වන සේක! සියලු සැබෑ අධිබලය සතු උසස්තම විශ්ව පරමාධිපතියාණන් උන් වහන්සේ ය. කිසි මනුෂ්‍යයෙකු උන් වහන්සේ දැක ජීවත් නොවන තරම් මහිමාන්විත උන් වහන්සේ, සදාකාලයෙන් සදාකාලික වන සේක. (නික්මයාම 33:20; රෝම 16:26, NW) උන් වහන්සේ ප්‍රඥාවෙහි හා බලයෙහි අනන්ත වන සේක, යුක්තියෙහි මුළුමනින් ම පරිපූර්ණ ය, ප්‍රේමයේ සර්ව සම්පූර්ණ පුද්ගලාරෝපණය ය. උන් වහන්සේ අපේ මැවුම්කරුවාණන් ය, අපගේ විනිශ්චයකරුවාණන් ය, අපගේ නීතිදායකයාණන් ය, අපගේ රජාණන් ය. සෑම යහපත් දීමනාවක් සහ සෑම පරිපූර්ණ ත්‍යාගයක් පැමිණෙන්නේ උන් වහන්සේගෙන් ය.—ගීතාවලිය 100:3; යෙසායා 33:22; යාකොබ් 1:17.
2. දේව භක්තික යටත්කමට ඇතුළත් වන්නේ කුමන දේවල් ද?
2 මේ සියලු ම සත්‍යයන් හමුවෙහි, උන් වහන්සේට යටත් ව සිටීමට අප හට තිබෙන වගකීම ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් අප සඳහා මීට ඇතුළත් වන්නේ කුමක් ද? දේවල් ස්වල්පයකි. අපට යෙහෝවඃ දෙවියන් වහන්සේ ව පුද්ගලික ව දැකිය නොහැකි නිසා, උන් වහන්සේට යටත්වීම යන්නට, පුරුදු පුහුණු වූ හෘදය සාක්ෂියක හඬට අවනත වීම, දෙවියන් වහන්සේගේ භූමික සංවිධානය සමඟ සහයෝගය දැක්වීම, ලෞකික අධිකාරිත්වයන් පිළිගැනීම, සහ පවුල් කවය තුළ මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තියට ගෞරව කිරීම ඇතුළත් වෙයි.
යහපත් හෘදය සාක්ෂියක් පවත්වා ගැනීම
3. යහපත් හෘදය සාක්ෂියක් පවත්වා ගැනීමට නම්, අප කීකරු විය යුත්තේ කුමන ආකාරයේ තහංචිවලට ද?
3 යහපත් හෘදය සාක්ෂියක් පවත්වා ගැනීමට, පැනවිය නොහැකි—එනම් මිනිසුන් හට පැනවිය නොහැකි නීති හෝ ප්‍රතිපත්තිවලට අප කීකරු විය යුතු ය. නිදසුනක් වශයෙන්, තණ්හාවට එරෙහි ව යොමු කරන ලද දස පනතේ දහවන පනත, මිනිස් අධිකාරීන් විසින් පැනවිය නොහැකි ව තිබිණි. ඒ ඇරත්, මෙය දස පනතේ දිව්‍ය මූලාරම්භයට සහතිකයක් ඉදිරිපත් කරයි, නීති උල්ලංඝණය කළහොත් දඬුවම් පැමිණ වීම මගින් නීතිය ක්‍රියා කළ නොහැකි නීතියක් කිසි ම මිනිස් නීති සම්පාදන මණ්ඩලයක් මගින් සාදන්නේ නැති නිසා ය. මෙම නීති මගින් යෙහෝවඃ දෙවියන් වහන්සේ, සෑම ඊශ්‍රායෙල්වරයෙකුට ම තමාගේ ම පොලිස් භටයා වීමේ වගකීම පැවරූ සේක—ඒ ඔහුට යහපත් හෘදය සාක්ෂියක් තබා ගන්නට වුවමනා වූවා නම් ය. (නික්මයාම 20:17) ඒ හා සමාන ව, යමෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර ගැනීමෙන් වලක්වාලන මාංසයේ ක්‍රියාවන් අතර, “ඊර්ෂ්‍යාව” සහ “කුඩුකේඩුකම”—එනම් මිනිස් විනිසුරුවන් විසින් දඬුවම් පැනවිය නොහැකි ප්‍රතික්‍රියාවන් තිබේ. (ගලාති 5:19-21, NW) එහෙත් යහපත් හෘදය සාක්ෂියක් පවත්වා ගැනීමට නම්, අප මේවායින් වැලකිය යුතු ය.
4. යහපත් හෘදය සාක්ෂියක් තබා ගැනීමට නම්, කුමන බයිබල් ප්‍රතිපත්ති මගින් අප ජීවත් විය යුතු ද?
4 එසේ ය, අප බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් විය යුතු ය. මෝසෙස්ගේ නීතිමාලාවේ වඩාත් උතුම් ම ආඥාව කුමක් දැයි අසනු ලැබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පැහැදිලි ව පවසනු ලැබූ ආඥා දෙක තුළ එවන් ප්‍රතිපත්ති කැටි කොට තිබේ. “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේමකරව. . . . තට මෙන් තගේ අසල්වැසියාට ප්‍රේම කරව.” (මතෙව් 22:36-40) මෙම ආඥාවන්ගේ දෙවැන්නට ඇතුළත් වන දෙය මතෙව් 7:12 හි වාර්තා වී ඇති යේසුස් වහන්සේගේ වචනවල පැහැදිලි කර ඇත: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.”
5. අපට යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවයක් තබා ගත හැක්කේ කෙසේ ද?
5 වෙනත් අය දැන ගත්තත් නැතත්, හරි යයි අප දන්නා දේ අප කළ යුතු අතර, වැරදි ය කියා අප දන්නා දෙය කිරීමෙන් අප වැළකී සිටිය යුතු ය. අප විසින් කළ යුතු දෙයක් නොකර හෝ අප විසින් නොකළ යුතු දෙයක් කර බේරී යන්නට අපට පුළුවන්කම තිබිය හැකි විට දී පවා, මෙය එසේ ම ය. ඉන් අදහස් කරන්නේ, හෙබ්‍රෙව් 4:13 [නව අනුවාදය] ප්‍රකාශ කර ඇති ප්‍රේරිත පාවුල්ගේ අනතුරු ඇඟවීම මනසේ තබා ගෙන, අපගේ ස්වර්ගීය පියාණන් සමඟ යහපත් සම්බන්ධතාවයක් තබා ගැනීම ය: “උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.” හරි දේ කිරීමට දිගට ම බලවත් ප්රයත්නයක් දැරීම, යක්ෂයාගේ සියුම් උපායන්වලට එරෙහි ව සටන් කිරීමටත්, ලෝකයේ පීඩනයන්ට එරෙහි වීමටත්, ආත්මාර්ථකාමිත්වය කෙරෙහි ඇති උරුම වූ නැඹුරුවාවට එරෙහි ව සටන් කිරීමටත් අප හට මහෝපකාරී වෙයි.—එපීස 6:11 සසඳන්න.
දෙවියන් වහන්සේගේ සංවිධානයට යටත්වීම
6. පූර්ව ක්‍රිස්තියානි කාලවලට පෙර, යෙහෝවඃ වහන්සේ යොදා ගත් තොරතුරු දැනුම් දීමේ මාධ්‍යයන් මොනවා ද?
6 බයිබල් ප්‍රතිපත්ති අපගේ ජීවිතවලට අදාළ කර ගත යුතු ආකාරය ගැන පුද්ගලික ව තීරණය කිරීමට යෙහෝවඃ දෙවියන් වහන්සේ අපට මුළුමනින් ම බලය පවරා නැත. මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ ආරම්භයේ පටන්, තොරතුරු දැනුම් දීමේ මාධ්‍යයන් වශයෙන් දෙවියන් වහන්සේ මිනිසුන් ව යොදා ගෙන තිබේ. මෙසේ, දෙවියන් වහන්සේගේ කථා කරන්නා වූයේ ආදම් ය. තහනම් ඵලය පිළිබඳ අඥාව ආදම් හට දෙනු ලැබුවේ ඒව මවනු ලැබීමට පෙර ය. එමනිසා, ඈ උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්බන්ධයෙන් ආදම් ඒව හට දැනුම් දී තිබුණා විය යුතු ය. (උත්පත්ති 2:16-23) නෝවා, ඔහුගේ පවුල සහ ජල ගැල්මට පෙර වූ ලෝකයට දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරයා විය. (උත්පත්ති 6:13; 2 පේතෘස් 2:5) ආබ්‍රහම්, තම පවුල වෙත දෙවියන් වහන්සේගේ කථා කරන්නා විය. (උත්පත්ති 18:19) ඊශ්‍රායෙල් ජාතිය වෙත දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරයා හා තොරතුරු එවීමේ මාධ්‍යය වූයේ මෝසෙස් ය. (නික්මයාම 3:15, 16; 19:3, 7) ඔහුට පසු ව, යොහන් බව්තීස්ත දක්වා, බොහෝ අනාගතවක්තෘවරුන්, පූජකයන්, සහ රජවරුන් ව දෙවියන් වහන්සේ විසින් ස්වකීය ජනයා වෙත ස්වකීය කැමැත්ත දැනුම් දීම සඳහා යොදා ගැණිනි.
7, 8. (අ) මෙසියස් වහන්සේගේ පැමිණීමත් සමඟ ම, දෙවියන් වහන්සේගේ කථා කරන්නන් වශයෙන් යොදා ගෙන තිබෙන්නේ කාව ද? (ආ) දේව භක්තික යටත්කම, අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමක් ද?
7 මෙසියස් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් සමඟ ම, උන් වහන්සේ ව සහ උන් වහන්සේගේ සමීප ප්‍රේරිතයන් ව සහ ගෝලයන් ව, දෙවියන් වහන්සේ ස්වකීය කථා කරන්නන් වශයෙන් යොදා ගත් සේක. පසු ව, යෙහෝවඃ වහන්සේගේ ජනයා තම ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගත යුතු ආකාරය ගැන දැනුම් දීමට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආලේප ලත් ඇදහිලිවන්ත අනුගාමිකයෝ, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ලෙස සේවය කිරීමට නියමිත ව තිබුණි. දේව භක්තික යටත්කමට අදහස් වූ දෙයක් නම්, යෙහෝවඃ වහන්සේ විසින් යොදා ගනිමින් තිබූ මාධ්‍යය පිළිගැනීමයි.—මතෙව් 24:45-47; එපීස 4:11-14.
8 සැබෑ සාධක මගින් පෙන්වන්නේ, අද දින “විශ්වාසවූ නුවණ ඇති දාසයා” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධ වී තිබෙන බවත්, මෙම සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මගින් නියෝජනය වන බවත් ය. අනෙක් අතට මෙම මණ්ඩලය, ස්ථානීය මට්ටමින් වැඩකටයුතු මෙහෙය වීම සඳහා විවිධ තත්ත්වයන්හි සේවය කිරීමට—වැඩිමහල්ලන් සහ සංචාරක නියෝජිතයන්—වැනි අවේක්ෂකයන් ව පත් කරයි. හෙබ්‍රෙව් 13:17 හි සඳහන් දෙය පිළිපැදීමේ ලා මෙම අවේක්ෂකයන් හට යටත්වීමට සෑම කැප වූ අවේක්ෂකයෙකුගෙන් ම දේව භක්තික යටත්කම අවශ්‍ය කරයි: “නුඹලාගේ ප්‍රධානියෝ [ඔබ අතරේ පෙරමුණ ගන්නා අය NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා.”
හික්මවීම පිළිගැනීම
9. දේව භක්තික යටත්කමට බොහෝ විට ඇතුළත් වන්නේ කුමක් ද?
9 දේව භක්තික යටත්කම යනු බොහෝ විට අවේක්ෂකයන් වශයෙන් සේවය කරන අයගෙන් පැමිණෙන හික්මවීම පිළිගැනීම හා සම්බන්ධ කාරණයක් වෙයි. අප අපට ම අවශ්‍ය හික්මවීම සෑම විටක ම නොදෙන්නේ නම්, එසේ කිරීමට අත්දැකීම් සහ අධිකාරිත්වයක් ඇති අයගෙන්, එනම් අපගේ සභාවේ වැඩිමහල්ලන් වැනි අයගෙන් උපදෙස් හා හික්මවීම දෙනු ලැබීමට අවශ්‍ය විය හැක. එවන් හික්මවීම පිළිගැනීම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයක් වෙයි.—හිතෝපදේශ 12:15; 19:20.
10. හික්මවීම දෙන්නා වූ අයට තිබෙන වගකීම කුමක් ද?
10 ප්රත්යක්ෂ ලෙස ම, හික්මවීම දෙන්නා වූ වැඩිමහල්ලන් ද දේව භක්තික යටත්කමේ ආදර්ශයන් විය යුතුයි. කෙසේ ද? ගලාති 6:1ට [NW] අනුව, උපදෙස් දීමේ කදිම ආකාරයක් ඔවුන්ට තිබිය යුතුවා පමණක් නොව, නමුත් ඔවුන් ආදර්ශවත් විය යුතු ය: “සහෝදරයෙනි, යම් අයෙක් ඒ ගැන සාවධාන වන්නට පෙර යම් වැරදි ක්‍රියා මාර්ගයක් ගනී නම්, ආත්මික සුදුසුකම් ලත් ඔබ එවැනි තැනැත්තෙකු ව මොළොක් ස්වභාවයකින් යුතු ව යළි සකස් කිරීමට වෑයම් කරන්න. ඔබවත් පරීක්ෂාවට ලක් වේ ය යන භයෙන් යුක්ත ව, ඔබ ම ගැනත් සුපරීක්ෂාකාරී වන්න.” වෙනත් වචනවලින් පවසතොත්, වැඩිමහල්ලාගේ උපදෙස ඔහුගේ ආදර්ශය සමඟ එකඟ ව තිබිය යුතු අතර මෙය අනෙක් අතට ද අදාළ ය. එවැන්නක්, 2 තිමෝති 2:24, 26 සහ තීතස් 1:9 හි දී ඇති අවවාදයට එකඟ වෙයි. එසේ ය, තරවටු කරන හෝ නිවැරදි කරන අය කිසිවිටෙකත් රළු නොවීමට ප්‍රවේසම් විය යුතු ය. ඔවුන් සෑම විට ම මොළොක්, කාරුණික, එහෙත් දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති රැක ගැනීමෙහි ලා ස්ථිර අය විය යුතු ය. වෙහෙස වී හා බර උසුලා සිටින අයට නැවුම් බවක් ගෙන දෙමින්, ඔවුන් පැත්තක් නොගන්නා සවන් දෙන්නන් විය යුතු ය.—මතෙව් 11:28-30 සසඳන්න.
බලය ලත් මුලාදෑනීන්ට යටත්කම
11. බලය ලත් මුලාදෑනීන් සමඟ ක්‍රිස්තියානින්ගේ සම්බන්ධකම්වල දී, ඔවුන්ගෙන් අවශ්‍ය කරන්නේ කුමක් ද?
11 දේව භක්තික යටත්කමට අවශ්‍ය කරන තවත් දෙයක් නම්, ලෞකික අධිකාරිත්වයන්ට කීකරු වීමයි. අපට රෝම 13:1 හි මෙසේ උපදෙස් දී තිබේ: “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියම කර තිබේ [පවතින අධිකාරීන් දෙවියන් වහන්සේ විසින් ඔවුන්ගේ සාපේක්ෂිත තත්ත්වයන්හි තබා තිබේ NW].” ප්‍රේරිත පාවුල් රෝම 13:7 හි සඳහන් කරන්නාක් මෙන්, වෙනත් දෑ අතර, මෙම වචනවලින් අපගෙන් ඉල්ලා සිටින්නේ, මාර්ග නීතිවලට කීකරු වීමට හා අය බදු සහ සුංගම් ගෙවීම ගැන සාවධාන ව සිටීමටත් ය.
12. කායිසර්ට දක්වන අපගේ යටත්කම සාපේක්ෂ වන්නේ කිනම් අර්ථයෙන් ද?
12 එනමුත්, කායිසර්ට දක්වන එවැනි යටත්කම් සියල්ල ම සාපේක්ෂ විය යුතු බව පැහැදිලි ය. මතෙව් 22:21 [NW] හි වාර්තා වී ඇති පරිදි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සඳහන් කළ ප්‍රතිපත්තිය අප සෑම විට ම මනසේ තබා ගත යුතු ය: “එමනිසා, කායිසර්ගේ දේ කායිසර්ට ආපසු ගෙවන්න, නමුත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට ය.” ඔක්ස්ෆර්ඩ් NIV [න ඉන්ටර්නැෂනල් වර්ෂන්] ස්කොෆීල්ඩ් ස්ටඩි බයිබල් හි රෝම 13:1 හි පාද සටහනක් මෙසේ නිරීක්ෂණය කරයි: “මින් අදහස් කරන්නේ, දුරාචාරමය හෝ ක්‍රිස්තියානි නොවන නීතිවලට කීකරු වීමක් නොවේ. එවන් අවස්ථාවල දී, මිනිසුන්ට වඩා දෙවියන් වහන්සේට කීකරු වීම ඔහුගේ යුතුකමකි. (ක්‍රියා 5:29; සසඳන්න දානි. 3:16-18; 6:10 පාද සටහන).”
පවුල් කවය තුළ දේව භක්තික යටත්කම
13. පවුල් කවය තුළ දේව භක්තික යටත්කම දැක්වීම එහි සාමාජිකයන්ගෙන් කුමක් අවශ්‍ය කරවයි ද?
13 පවුල් කවය තුළ, ස්වාමිපුරුෂයා සහ පියා මූලිකයා වශයෙන් සේවය කරයි. එපීස 5:22, 23 හි දී ඇති උපදෙසට භාර්යාවන් විසින් අවනත වීම මීට අවශ්‍ය කරවයි: “භාර්ය්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්‍ය්‍යාවගේ හිසව සිටියි.”a දරුවන් සම්බන්ධයෙන් නම්, ඔවුන් තමන්ට ම නීති සාදා ගන්නේ නැත, නමුත් එපීස 6:1-3 හි පාවුල් මෙසේ පැහැදිලි කරන්නාක් මෙන්, පියා සහ මව යන දෙදෙනාට ම දේව භක්තික යටත්කම දැක්වීමට ඔවුහු වගකීමෙන් බැඳී සිටිත්. “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තුළ කීකරුවෙයල්ලා. මක්නිසාද එසේ කරන්ට යුතුය [එසේ කිරීම ධර්මිෂ්ඨ ය NW]. නුඹට වැඩසිද්ධවෙන [සුභසිද්ධ NW] පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරපන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.”
14. දේව භක්තික යටත්කම පවුල් මූලිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමක් ද?
14 ඇත්ත වශයෙන් ම, ස්වාමිපුරුෂයන් සහ පියවරුන් තමන් විසින් ම දේව භක්තික යටත්කම විදහාපාන විට, භාර්යාවන් සහ දරුවන්ට දේව භක්තික යටත්කම පිරිනැමීම පහසු දෙයක් වෙයි. ඔවුන් මෙය කරන්නේ, එපීස 5:28, 29 සහ එපී 6:4 හි වැනි වූ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ ව තමන්ගේ මූලිකත්වය ක්‍රියාවට නැංවීම මගින් ය: “එසේම පුරුෂයන් විසින් ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්‍ය්‍යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය. කිසිවෙක් කිසිකලක තමාගේම මංසයට වෛර කළේ නැත. ක්‍රිස්තුස්වහන්සේ සභාව ගැන කරන්නාක්මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණය කොට රක්ෂාකරගන්නේය [ආදරයෙන් රැකබලා ගන්නේ ය NW].” “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන් වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික-ශික්ෂණයෙන් ද NW] ඔවුන් ඇතිකරපල්ලා.”
දේව භක්තික යටත්කම විදහා පෑමේ ආධාරක
15. දේව භක්තික යටත්කම විදහා පෑමට අපට උපකාරවත් වනු ඇත්තේ ආත්මයේ කුමන ඵලය ද?
15 මෙම විවිධ පැතිවල දී දේව භක්තික යටත්කම විදහා පෑමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක් ද? පළමුව, පරාර්ථකාමී ප්‍රේමය—එනම් යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ උන් වහන්සේ අප කෙරෙහි පත් කොට තිබෙන අය කෙරෙහි ප්‍රේමයයි. අපට 1 යොහන් 5:3 හි මෙසේ පවසා ඇත: “දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.” යේසුස් වහන්සේ යොහන් 14:15 හි මෙම කරුණ ම ප්‍රකාශ කළ සේක: “නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.” ඇත්තෙන් ම, යෙහෝවඃ වහන්සේ අප උදෙසා කර ඇති සියල්ල අගය කිරීමට ප්‍රේමය එනම් ආත්මයේ ප්‍රමුඛතම ඵලය, අපට උපකාරවත් වන අතර, මෙසේ එය දේව භක්තික යටත්කම පැවැත්වීමට අපට උදව් වෙනවා ඇත.—ගලාති 5:22.
16. දේව භක්තික යටත්කම පෙන්වීමේ දී, දේව භය කෙසේ උපකාරවත් වෙයි ද?
16 දෙවෙනුව, දේව භක්තික භය තිබේ. යෙහෝවඃ දෙවියන් වහන්සේ අසතුටු කිරීමට භය වීම අපට උපකාරයක් වනු ඇත්තේ මන්දයත් එයින් “අදහස් කරන්නේ නපුරට වෛර කිරීම” ය. (හිතෝපදේශ 8:13, NW) කිසිදු සැකයකින් තොර ව පැහැදිලි වන කරුණ නම්, යෙහෝවඃ වහන්සේ ව අප්‍රසන්න කිරීමට භය වීම, මිනිසාට ඇති භය නිසා අප විසින් ඇදහිල්ල පාවා දීමෙන් අප ව වළක්වාලනු ඇති බවයි. ජය ගැනීම සඳහා අපට කුමන දුෂ්කරතා තිබුණත්, දෙවියන් වහන්සේගේ උපදෙස්වලට කීකරු වීමට ද එය අපට උපකාරවත් වනවා ඇත. එපමණක් ද නොව, පෙලඹීම්වලට යටපත් වීමෙන් හෝ වැරදි කිරීමට ඇති නැඹුරුවාවන්ගෙන් හෝ එය අප ව ආරක්ෂා කොට තබනු ඇත. තම සෙනෙහෙබර පුත්‍රයා ව පූජාවක් වශයෙන් ඔප්පු කිරීම සඳහා යත්න දැරීමට ආබ්‍රහම් හට හේතු කරවූයේ යෙහෝවඃ වහන්සේ කෙරෙහි තිබූ භය බව ද, පොතිඵර්ගේ භාර්යාවගේ දුරාචාර පෙලඹීම්වලට සාර්ථක ව එරෙහි ව සිටීමට යෝසෙප් හට හැකි කරවූයේ යෙහෝවඃ වහන්සේ ව අප්‍රසන්න කිරීමට තිබූ භය බව ද ශුද්ධ ලියවිලි පෙන්වයි.—උත්පත්ති 22:12; 39:9.
17. අප විසින් දේව භක්තික යටත්කම දැක්වීමෙහි ලා ඇදහිල්ල කරන කාර්ය භාරය කුමක් ද?
17 තුන් වෙනි ආධාරකය නම්, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ය. හිතෝපදේශ 3:5, 6 හි දී තිබෙන උපදෙසට කීකරු වීමට අප හට උපකාරවත් වන්නේ ඇදහිල්ලයි: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [හෘදයෙන් ම NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි විශ්වාසකරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.” විශේෂයෙන් ම අප අයුක්ති සහගත ලෙස දුක් විඳින බව පෙනෙන විට, හෝ අපගේ වර්ගය, ජාතිය නිසා හෝ යම් පුද්ගලිකත්වයන් අතර ගැටුම් නිසා අපට වෙනස් ලෙස සලකනු ලැබූ බව හැඟී යන විට, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපට මහෝපකාරී වනු ඇත. සමහරවිට තමන් ව වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු වශයෙන් නිර්දේශ කරනු නොලබන විට තමන් ව වැරදි ලෙස නොසලකා හැරියා ය යන හැඟීමක් ඇතමෙකුට හැඟී යා හැකි ය. අපට ඇදහිල්ල තිබේ නම්, ස්වකීය නියමිත කාලයේ දී කාරණා හරිගැස්ස වීමට අපි යෙහෝවඃ වහන්සේ දෙස බලා සිටින්නෙමු. මේ අතරතුර, ඉවසිලිවන්ත විඳදරා ගැනීම වර්ධනය කරන්නට අපට අවශ්‍ය විය හැකි ය.—විලාප ගී 3:26.
18. අප විසින් දේව භක්තික යටත්කම විදහා පෑමේ ලා තිබෙන හතර වෙනි උපකාරය කුමක් ද?
18 හතර වෙනි ආධාරකය නම් යටහත් පහත්කමයි. යටහත් පහත් පුද්ගලයෙකුට දේව භක්තික යටත්කම විදහා පෑමේ ලා කිසිදු දුෂ්කරතාවයක් නොමැත, මක්නිසාදයත්, ‘මනසින් යටහත් පහත් ව සිටින ඔහු, තමාට වඩා අන්‍යයන් ව උතුම් කොට සලකයි.’ යටහත් පහත් පුද්ගලයෙකු තමා ම “පහත් කෙනා” ලෙස හැසිරීමට කැමැති වෙයි. (පිලිප්පි 2:2-4; ලූක් 9:48) එහෙත්, උඩඟු පුද්ගලයා, යටත් ව සිටීම නුරුස්සයි, ඒ ගැන තරහාවක් ඇති කර ගනියි. උඩඟු මනුෂ්‍යයෙක් සම්බන්ධයෙන් කියමනක් ඇත, එනම් එවැන්නෙක් විවේචනය මගින් ගලවනු ලබනවාට වඩා ප්‍රශංසාවෙන් විනාශ වෙන විදිහේ කෙනෙකු කියා ය.
19. වොච් ටවර් සමිතියේ කලින් සිටි සභාපති, යටහත් පහත්කම සම්බන්ධයෙන් සැපයූ කදිම ආදර්ශය කුමක් ද?
19 යටහත් පහත්කමේ සහ දේව භක්තික යටත්කමේ කදිම ආදර්ශයක්, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි දෙවන සභාපති වූ ජෝසෆ් රදෆර්ඩ් විසින් සපයන ලදි. ජර්මනියේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු හිටිලර් විසින් තහනම් කරනු ලැබූ අවදියේ දී, ජර්මනියේ සිටි සහෝදරයෝ, තම රැස්වීම් හා වැඩකටයුතු මත පනවා ඇති තහනම මධ්‍යයේ තමන් කුමක් කළ යුතු දැයි අසමින් සහෝදර රදෆර්ඩ්ට ලියූහ. ඔහු මෙම කාරණය බෙතෙල් පවුල වෙත සඳහන් කළ අතර, විශේෂයෙන් ම හිට්ලර් විසින් ජර්මන් සහෝදරයන් වෙත පනවා තිබුණු දැඩි දඬුවම් හේතුවෙන්, ජර්මන් සහෝදරයන් හට කුමක් කිව යුතුදැයි තමා නොදන්නා බව හේ අවංක ව පිළිගත්තේ ය. ඔවුන්ට කුමක් කිව යුතුදැයි දන්නා කෙනෙක් වේ නම්, තමන් එය ඇසීමට කැමැති යයි ඔහු පැවසුවේ ය. මොනතරම් යටහත් පහත් ස්වභාවයක් ද!b
දේව භක්තික යටත්කම විදහා පෑමෙන් ලැබෙන ප්‍රයෝජන
20. දේව භක්තික යටත්කම විදහා පෑමෙන් ප්‍රතිඵල වෙන ආශීර්වාද මොනවා ද?
20 මෙම ප්රශ්නය උද්ගත විය හැකි ය: දේව භක්තික යටත්කම විදහා පෑමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවා ද? ඇත්තෙන් ම, බොහොමයක් ය. ස්වාධීන ලෙස ක්‍රියා කරන අය අත්දකින සන්තාපයන් හා සිත් තැවුල්වලින් අපි ගැලවී සිටින්නෙමු. අපි යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවයක් භුක්ති විඳින්නෙමු. අපට අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ වඩාත් ම හොඳ ඇසුරක් තිබේ. එපමණක් ද නොව, අප නීති ගරුක ව සුදුසු ලෙස හැසිරීමෙන්, බලය ලත් මුලාදෑනීන් සමඟ අනවශ්‍ය ගැටලු ඇති කර ගැනීමෙන් අපි වළකින්නෙමු. එමෙන් ම ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් වශයෙන් ද, දෙමාපියන් හා දරුවන් වශයෙන් ද අපි සන්තෝෂවත් පවුල් ජීවිතයක් භුක්ති විඳින්නෙමු. මීටත් වඩා, දේව භක්තික යටත්කම පවත්වා ගැනීම මගින්, හිතෝපදේශ 27:11 හි දී ඇති උපදෙසට එකඟ ව අපි ක්‍රියා කරන්නෙමු: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත [හෘදය NW] ප්රීතිකරපන්න.”
[පාදසටහන්වල]
a එක් පුරෝගාමි දේව සේවකයෙක් තම භාර්යාව දක්වන ගෞරවය හා ප්‍රේමනීය ව රුකුල් දීම ගැන තනිකඩ පුරෝගාමියෙකු හමුවේ ප්රශංසාත්මක මුඛයෙන් කථා කළේ ය. තම මිතුරා ඔහුගේ භාර්යාවගේ වෙනත් ගුණාංග ගැනත් යමක් සඳහන් කළ යුතු ව තිබුණා යයි තනිකඩ පුරෝගාමියා සිතුවේ ය. එහෙත් වසර ගණනකට පසු, තනිකඩ පුරෝගාමියා විවාහ වූ විට, විවාහයේ ප්‍රීතිය සඳහා භාර්යාවගේ පැත්තෙන් ප්‍රේමනීය ව රුකුල් දීම කොතරම් වැදගත්දැයි ඔහු වටහා ගත්තේ ය.
b බොහෝ යාච්ඥාවන් සහ දේව වචනය බොහෝ සෙයින් අධ්‍යයනය කිරීමෙන් පසු, ජර්මනියේ සිටින සහෝදරයන්ට තමා දිය යුතු පිළිතුර ජෝසෆ් රදෆර්ඩ් පැහැදිලි ව දුටුවේ ය. ඔවුන් විසින් කළ යුත්තේ හෝ නොකළ යුත්තේ කුමක් ද කියා පැවසීම ඔහුට අයිති දෙයක් නොවේ. එකට රැස්වීම් හා සාක්ෂිදැරීම සම්බන්ධයෙන් ඔවුන් කුමක් කළ යුතු ද යන්න ඔවුන්ට පැහැදිලි ව පැවසුවා වූ දේව වචනය ඔවුන්ට තිබිණි. එමනිසා, ජර්මානු සහෝදරයෝ, එකට රැස්වීමට සහ යෙහෝවඃ වහන්සේගේ නාමයට සහ උන් වහන්සේගේ රාජ්‍යයට සාක්ෂිදැරීමට උන් වහන්සේ දී තිබෙන ආඥාවට රහසිගත ව කීකරු වෙමින් සිටියහ.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ තොරතුරු දැනුම් දීමේ මාධ්‍යයන් වශයෙන්, දෙවියන් වහන්සේ විසින් යොදා ගෙන ඇත්තේ කිනම් මිනිසුන් ව ද, උන් වහන්සේගේ සේවකයෝ ඔවුන්ට කුමක් දීමට බැඳී සිටියෝ ද?
◻ දේව භක්තික යටත්කම අදාළ වන්නේ කිනම් විවිධ සම්බන්ධතාවයන් තුළ ද?
◻ දේව භක්තික යටත්කම පෙන්වීමට අපට උපකාරවත් වනු ඇත්තේ කිනම් ගුණාංග ද?
◻ දේව භක්තික යටත්කම ප්‍රතිඵල කරවනු ඇත්තේ කිනම් ආශීර්වාදයන්ට ද?
[16වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේ, ස්වකීය ජනයා වෙත ස්වකීය කැමැත්ත දැනුම් දීම සඳහා යෙරුසලමේ දේවමාලිගා සංවිධානය යොදා ගත් සේක
[18වන පිටුවේ පින්තූර]
අප හට දේව භක්තික යටත්කම විදහා දැක්විය හැකි ක්ෂේත්‍ර