බයිබල් පොත් අංකය 23—යෙසායා
ලේඛකයා: යෙසායා
ලියූ ස්ථානය: යෙරුසලම
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 732ට පසු
ආවරණය කළ කාලය: පො.යු.පෙ. 778 පමණ–732ට පසු
කුරිරු අසිරියානු අධිරාජ්‍යයාගේ තර්ජනාත්මක සෙවණැල්ල, මැද පෙරදිග අනික් අධිරාජ්‍යයන් හා වඩාත් කුඩා රාජ්‍යයන් මත භය උපදවන ලෙස වැටී තිබිණ. කුමන්ත්‍රණය කිරීම් හා සන්ධානය වීම් පිළිබඳ පුවත් ප්‍රදේශයේ සෑම තැනකින්ම අසන්න ලැබිණ. (යෙසා. 8:9-13) උතුරෙහි පිහිටි ඇදහිල්ල අත්හැර තිබූ ඉශ්රායෙල් ඉක්මනින්ම මෙම ජාත්‍යන්තර කුමන්ත්රණයේ ගොදුරක් බවට පත්වීමට නියමිතව තිබිණ. දකුණේ පිහිටි යූදාහි පාලනය කරමින් සිටි රජවරුන්ද ඉතා අවදානම් තත්වයකයි සිටියේ. (2 රාජා. පරිච්. 15-21) අලුත් යුද්ධායුධ සාදා ඒවා භාවිතයට ගැනීම හේතුවෙන් එම කාලයේ පැවති බිහිසුණු වාතාවරණය තවත් වැඩි විය. (2 ලේක. 26:14, 15) ආරක්ෂාව හා ගැළවීම බලාපොරොත්තු විය හැක්කේ කොතැනින්ද? කුඩා යූදා රාජ්‍යයේ ජනයාගේ හා පූජකයන්ගේ තොල්වල යෙහෝවාගේ නාමය තිබුණත්, ඔවුන්ගේ හදවත් යොමු වී තිබුණේ වෙනත් දිසාවන්ටයි. ඔවුන් පළමුව ඇදී ගියේ අසිරියාව වෙතටයි. ඉන් අනතුරුව ඔවුහු මිසරය වෙතට ඇදී ගියහ. (2 රාජා. 16:7; 18:21) යෙහෝවාගේ බලය කෙරෙහි ඔවුන්ට තිබූ ඇදහිල්ල හීන වී ගොස් තිබිණ. කෙළින්ම රූප වැඳීමේ නියැලී නොසිටි අවස්ථාවලදී පවා එහි පැවතුණේ දෙවි කෙරෙහි සැබෑ බියක් මත නොව බාහිර භක්තිය මත පමණක් පදනම් වූ කුහක නමස්කාර ක්රමයකි.
2 එසේනම්, යෙහෝවා වෙනුවෙන් කතා කරනු ඇත්තේ කවරෙක්ද? ඔහුගේ ගැළවීමේ බලය ප්‍රකාශ කරනු ඇත්තේ කවරෙක්ද? “මෙන්න මම මෙහිය. මා යැවුව මැනව” කියා අප්‍රමාදව පිළිතුරක් ලැබිණ. මෙසේ පිළිතුරු දුන් තැනැත්තා යෙසායා වූ අතර ඔහු ඒ වන විටත් අනාගතවක්තෘවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු තම සේවය ඇරඹුවේ ලාදුරු රෝගියෙකු වූ උස්සියා රජු මිය ගිය වසරේදී එනම් පො.යු.පෙ. 778දී පමණය. (යෙසා. 6:1, 8) යෙසායා යන නාමයෙන් අදහස් කරන්නේ “යෙහෝවා දෙන ගැළවීම” යන්නයි. යේසුස් යන නාමයේ අරුතද එයම නමුදු එහි වචන ලියා ඇති පිළිවෙළ වෙනස් කොට ඇත (“ගැළවීම යෙහෝවාය”). ගැළවීම යෙහෝවාය යන කාරණය යෙසායාගේ අනාවැකියේ මුල සිට අග දක්වාම කැපීපෙනෙන්ට සලස්වා තිබේ.
3 යෙසායා ආමොස්ගේ පුත්‍රයා විය (යූදාහි තවත් අනාගතවක්තෘවරයෙකු වූ ආමොස් සමඟ මෙය පටලවා නොගත යුතුය). (1:1) ඔහුගේ උපත හා විපත ගැන ශුද්ධ ලියවිලි නිහඬ වන නමුදු, යුදෙව් සම්ප්‍රදායට අනුව දුෂ්ට මනස්සේ රජු විසින් ඔහුව කියතෙන් ඉරා දමනු ලැබීය. (හෙබ්‍රෙව් 11:37 සසඳන්න.) ඔහුගේ ලියවිලිවලින් පෙනෙන්නේ, අනාගතවක්තෘවරියක වූ ඔහුගේ බිරිඳ හා අනාවැකිමය නාම ඇති පුතුන් අඩුම වශයෙන් දෙදෙනෙකු සමඟ ඔහු යෙරුසලමේ නැවතී සිටි බවය. (යෙසා. 7:3; 8:1, 3) ඔහු අවම වශයෙන්, යූදාහි රජවරුන් සතරදෙනෙකුගේවත් පාලන කාලය තුළදී සේවය කළේය. ඔවුන් නම් උස්සියා, යෝතාම්, ආහාස් හා හෙසකියාය. ඔහු (උස්සියා මියගිය විට හෝ සමහරවිට ඊට කලින්) පො.යු.පෙ. 778දී පමණ තම සේවය ආරම්භ කරමින් අඩුම වශයෙන් පො.යු.පෙ. 732 (හෙසකියාගේ 14වන අවුරුද්ද) දක්වාම (වසර 46කට නොඅඩු කාලයක් පුරාම) එහි පැවතුණ බව පැහැදිලිය. මෙම දෙවනුවට සඳහන් කළ දිනය වන විට ඔහු තම අනාවැකිය ලේඛනගත කොට තිබූ බවට සැකයක් නැත. (1:1; 6:1; 36:1) ඔහුගේ දවසේ සිටි වෙනත් අනාගතවක්තෘවරුන් නම්, යූදාහි මීකා මෙන්ම උතුරෙහි හොෂෙයා සහ ඕදෙද්ය.—මීකා 1:1; හොෂෙ. 1:1; 2 ලේක. 28:6-9.
4 අනාවැකිමය විනිශ්චයන් ලිවීමට යෙහෝවා යෙසායාට අණ කළ බව යෙසායා 30:8හි මෙම වදන් මගින් සනාථ වේ. “ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන් කර තබන්න.” ලේඛකයා වශයෙන් යෙසායාව පිළිගත් පුරාණ යුදෙව් රබ්බිවරු, එම පොත ප්‍රධාන අනාගතවක්තෘවරුන්ගේ (යෙසායා, යෙරෙමියා සහ එසකියෙල්) පළමු පොත ලෙස ලේඛනගත කළහ.
5 සතළිස්වන පරිච්ඡේදයේ සිට පොතේ භාෂා ශෛලිය වෙනස් වී ඇති බැවින්, එම කොටස ලීවේ වෙනස් ලේඛකයෙකු නැතහොත් “දෙවන යෙසායා කෙනෙකු” බව සමහරෙකු පවසන නමුදු, සාකච්ඡාවට බඳුන් වන විෂය එතැන් පටන් වෙනස් වී තිබීම, මෙම වෙනස පැහැදිලි කිරීමට ප්‍රමාණවත් විය යුතුය. යෙසායා තම නාමය දරන මුළු පොතම ලියූ බවට සෑහෙන සාක්ෂි තිබේ. නිදසුනක් වශයෙන්, “ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා” යන ප්‍රකාශය මගින් පොතේ ඒකීයභාවය අඟවා තිබේ. එම ප්‍රකාශය පරිච්ඡේද 1 සිට 39 තුළ 12 වතාවක්ද පරිච්ඡේද 40 සිට 66 තුළ 13 වතාවක්ද දක්නට ඇත. මේ අනුව එය දක්නට ලැබෙන මුළු වාර ගණන 25 වතාවකි. එහෙත් සෙසු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පුරා එය දකින්ට ඇත්තේ 6 වතාවක් පමණි. ප්‍රේරිත පාවුල්ද අනාවැකියේ සෑම තැනින්ම උපුටා දක්වමින් හා මුළු පොතම ලීවේ එකම ලේඛකයා වන යෙසායා බව පිළිගනිමින් පොතේ ඒකීයභාවයට සාක්ෂි දරයි.—රෝම 10:16, 20; 15:12 සමඟ යෙසායා 53:1; 65:1; 11:1 සසඳන්න.
6 සිත්ගන්නා කාරණයක් නම්, 1947 වසරේ සිට මළ මුහුදේ වයඹදිග වෙරළාසන්නයේ ඛිර්බෙට් කුම්රාන්ට නුදුරින් පිහිටි අඳුරු ගුහාවල තිබූ යම් පුරාණ ලියවිලි ගොඩගනු ලැබීමයි. මේවා මළ මුහුදේ ඇකුළුම් පොත් වන අතර යෙසායාගේ අනාවැකියද එහි සොයාගත හැකි වේ. එම ලියවිලි මැනවින් සුරැකී ඇති අතර ලියා තිබෙන්නේ මැසොරෙටික් කාලයට පෙර භාවිත කළ අලංකාරවත් හෙබ්‍රෙව් බසිනි. පොදු යුගයට පෙර දෙවන සියවසේ අගභාගයේ ලියවුණු ඒවා වසර 2,000ක් පමණ පැරණිය. එමනිසා, හෙබ්‍රෙව් ලියවිලිවල නූතන පරිවර්තනයන් පදනම් වී තිබෙන පැරණිතම මැසොරෙටික් පාඨයේ අත්පිටපතට වඩා එහි පාඨය වසර දහසක් පමණ පැරණිය. අක්ෂර වින්‍යාසයේ යම් සුළු වෙනස්කම් හා වර නැඟීමෙහි ඇතැම් අසමානකම් තිබෙන නමුදු, අදහස සම්බන්ධයෙන් බලන විට මැසොරෙටික් පාඨයත් එයත් අතර වෙනසක් නැත. එය, අදදින අපගේ බයිබල්වල අඩංගු වී ඇත්තේ දේවානුභාවයෙන් ලත් යෙසායාගේ මුල් පණිවුඩය බවට ඒත්තුගන්වන සාක්ෂියකි. ඇරත්, “යෙසායා” කියා දෙදෙනෙකු ඇතැයි යන විවේචකයන්ගේ ප්‍රකාශ මෙම පෞරාණික ඇකුළුම් පොත් මගින් නිෂ්ප්‍රභ කරයි. මන්ද 40වන පරිච්ඡේදයේ ආරම්භක වගන්තිය 39වන පරිච්ඡේදය අඩංගු තීරයේ අන්තිම පේළියෙන් පටන්ගන්නා අතර එය අවසන් වන්නේ ඊළඟ තීරයෙන් වන බැවිනි. මේ කොටසේ සිට ලේඛකයා වෙනස් වූ බවට හෝ පොත තුළ යම් බෙදීමක් ඇති වූ බවට පිටපත්කරුවන් කිසිදු ඇඟවීමක් කර නැහැයි කියා මින් පැහැදිලියි.a
7 යෙසායාගේ පොතේ විශ්වාසවන්තභාවය ගැන සාක්ෂි බහුලව තිබේ. ක්‍රිස්තියානි බයිබල් ලේඛකයන් විසින් මෝසෙස්ගෙන් හැර, වෙනත් කිසිදු අනාගතවක්තෘවරයෙකුගේ පොතකින් මෙතරම් වාර ගණනක් උපුටා නොදක්වන ලදි. එලෙසම, එය අව්‍යාජ බව ඔප්පු කරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි සම්භාරයක් තිබේ. යෙරුසලමේ වටලෑම පිළිබඳ සෙනකෙරීබ් විසින්ම සටහන් කර ඇති වාර්තාව සඳහන් ෂඩස්‍ර ප්‍රිස්මය ඇතුළුව අසිරියානු රජවරුන්ගේ ඓතිහාසික වාර්තා මීට උදාහරණ වේ.b (යෙසා., පරිච්. 36, 37) යෙසායා 13:17-22හි ඉටුවීමට, වරක් බබිලෝනියව තිබූ ප්‍රදේශයේ නටබුන් ගොඩ තවමත් සාක්ෂි දරයි.c වසර 200කට ආසන්න කාලයකට පෙර යෙසායා විසින් ලේඛනගත කළාවූ, කෝරෙෂ් යන නාමය දරන රජෙකු විසින් නිදහස ලබා දුන් හා බබිලෝනිය සිට ආපසු තම මව්බිම වෙත ගමන් කළ දහස් ගණන් යුදෙව්වරුන් සැවොම ජීවමාන සාක්ෂියක් සැපයූහ. මෙම අනාවැකිමය ලියවිල්ල පසු කලෙක කෝරෙෂ්ට පෙන්වා තිබුණා විය හැක. මන්ද යුදෙව් ඉතිරි කොටස නිදහස් කළ අවස්ථාවේදී, යෙහෝවා තමාට එසේ කරන්න අණ කළ බව ඔහු පවසා තිබිණ.—යෙසා. 44:28; 45:1; එස්රා 1:1-3.
8 යෙසායාගේ පොත තුළ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ මෙසියානු අනාවැකියි. යේසුස්ගේ ජීවිතයේ සිද්ධීන් තුළින් යෙසායා පැවසූ අනාවැකි රාශියක් ඉටු වී තිබෙන බැවින්, යෙසායාව හඳුන්වා තිබෙන්නේ “එවැන්ජලිස්ත අනාගතවක්තෘවරයා” වශයෙනි. ක්‍රියා 8වන පරිච්ඡේදයෙහි සඳහන් එතියෝපිය නපුංසකයාට පමණක් නොව, නමුත් මුළු යුදෙව් ජනතාවටද බොහෝ කලක් තිස්සේ “අභිරහස් පරිච්ඡේදයක්ව” තිබුණ යෙසායා 53වන පරිච්ඡේදය, යේසුස්ට සැලකූ ආකාරය කොතරම් විචිත්‍ර ලෙස පුරෝකථනය කර ඇද්ද කියා පැවසුවොත් එය හරියට ඇසින් දුටු වාර්තාවක් මෙනි. පහත සඳහන් සැසඳීම් පෙන්වන පරිදි, යෙසායාගේ මෙම අද්විතීය පරිච්ඡේදයේ අනාවැකිමය ඉටුවීම් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල වාර්තා කර ඇත. 53 1වන ඡේදය—යොහන් 12:37, 38; 53 2වන ඡේදය—යොහන් 19:5-7; 53 3වන ඡේදය—මාර්ක් 9:12; 53 4වන ඡේදය—මතෙව් 8:16, 17; 53 5වන ඡේදය—1 පේතෘස් 2:24; 53 6වන ඡේදය—1 පේතෘස් 2:25; 53 7වන ඡේදය—ක්‍රියා 8:32, 35; 53 8වන ඡේදය—ක්‍රියා 8:33; 53 9වන ඡේදය—මතෙව් 27:57-60; 53 10වන ඡේදය—හෙබ්‍රෙව් 7:27; 53 11වන ඡේදය—රෝම 5:18; 53 12වන ඡේදය—ලූක් 22:37. එබඳු නිවැරදි පුරෝකථනයක උල්පත විය හැක්කේ දෙවිට මිස වෙන කවරෙකුටද?
ප්‍රයෝජනවත් වීමට හේතු
34 සෑම පැත්තකින්ම බැලූ කල්හි යෙසායාගේ අනාවැකිමය පොත යෙහෝවාගෙන් ලැබුණු ඉතාම ප්‍රයෝජනවත් ත්‍යාගයකි. දෙවිගේ උදාර අදහස්වලින් එය බබළයි. (යෙසා. 55:8-11) බයිබල් සත්‍යයන් උගන්වන ප්‍රසිද්ධ කථිකයන්ට, යේසුස්ගේ උපමාවලට සමාන වූ ප්‍රබල මෙන්ම විචිත්‍රවත් උපමා භාවිත කරන මැණික් ආකරයක් වැනි වූ යෙසායාගේ පොතෙන් බොහෝ දේ උගත හැක. එකම ගස ඉන්ධන සඳහාද නමස්කාරයේ නියැලීමට රූපයක් තැනීම සඳහාද භාවිත කරන මිනිසාගේ මෝඩකම යෙසායා අපට ප්‍රබල ලෙස කාවද්දවයි. සැතපීමට දිග මදි යහනක සිටින මිනිසෙකු පොරවාගැනීමට පළල මදි වැස්මක් නිසා අද්දකින අපහසුතාව ඔහු අපට දැනෙන්ට සලස්වයි. තවද බුරන්ට අලසව සිටින ගොළු බල්ලන් මෙන් තද නින්දකට වැටී සිටින අනාගතවක්තෘවරුන්ගේ ගොරවන හඬ ඔහු අපට ඇසීමට සලස්වයි. යෙසායා අනුශාසනා කරන පරිදි අපම ‘යෙහෝවාගේ පොත සොයා එය ශබ්ද නඟා කියෙව්වොත්’ අපේ දවස සඳහා යෙසායා දෙන ප්‍රබල පණිවුඩය අපට අගය කළ හැක.—44:14-20; 28:20; 56:10-12; 34:16.
35 අනාවැකිය විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මෙසියස් පාලනය කරන දෙවිගේ රාජ්‍යය වෙතය. ශ්‍රේෂ්ඨතම රජ වන්නේ යෙහෝවාය. අප ගළවන්නේද ඔහුය. (33:22) එහෙත් මෙසියස් ගැන කුමක් කිව හැකිද? ඉපදීමට සිටින්නාවූ දරුවා පිළිබඳව දේවදූතයා මරියාට කළ දැනුම් දීමෙන් පෙන්නුම් කළේ, දාවිත්ගේ සිංහාසනය ඔහුට ලැබීම මගින් යෙසායා 9:6, 7 ඉටුවීමට නියමිතව තිබූ බවය. “ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.” (ලූක් 1:32, 33) කන්‍යාවක කරණකොටගෙන යේසුස්ගේ උපත සිදුවීම යෙසායා 7:14හි ඉටුවීමක් වූ බවද, “එම්මානුවෙල්” වශයෙන් ඔහුව එය හඳුන්වා දෙන බවද මතෙව් 1:22, 23 පෙන්වයි. වසර 30කට පමණ පසුව, “ස්වර්ගරාජ්‍යය ළඟයයි” දේශනා කරමින් යොහන් බව්තීස්ත පැමිණියේය. ‘වනාන්තරයේ හඬගසමින්’ සිටි තැනැත්තා යොහන් බව පෙන්වීමට සුවිශේෂ ලේඛකයෝ සතරදෙනාම යෙසායා 40:3න් උපුටා දක්වති. (මතෙ. 3:1-3; මාක් 1:2-4; ලූක් 3:3-6; යොහන් 1:23) යේසුස් තම බව්තීස්මයේදී, ජාතීන්ව පාලනය කරන මෙසියස් හෙවත් යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා මෙන්ම යෙස්සේගේ අංකුරය හෝ මුල බවට පත් විය. යෙසායා 11:1, 10හි ඉටුවීමක් වශයෙන් ජාතීන් ඔහු කෙරෙහි තමන්ගේ බලාපොරොත්තුව තැබිය යුතුය.—රෝම 15:8, 12.
36 මෙසියස් නමැති රජුව යෙසායා දිගටම හඳුන්වා දෙන ආකාරය බලන්න! තමා යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා බව පෙන්වීමට යේසුස් යෙසායාගේ ඇකුළුම් පොතෙන් කියවූ අතර, ඉන්පසු “දෙවිගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනා කරන්ට” පටන්ගත්තේය. “මක්නිසාද ඒ පිණිස එවන ලද්දෙමි” යනුවෙන් ඔහු පැහැදිලි කළේය. (ලූක් 4:17-19, 43; යෙසා. 61:1, 2) යෙසායා 53වන පරිච්ඡේදයෙහි පුරෝකථනය කළ ආකාරයටම යේසුස්ගේ භූමික සේවාව හා ඔහුගේ මරණය සිදු වූ බව සනාථ කරන තොරතුරු ගණනාවක් සුවිශේෂ වාර්තා සතරේ තිබේ. යුදෙව්වරුන් රාජ්‍යයේ ශුභාරංචිය ඇසුවද, යේසුස්ගේ ආශ්චර්යවත් ක්‍රියා දුටුවද, ඔවුන්ගේ නොඇදහිලිකාර හදවත් නිසා ඒවායේ අර්ථය වටහාගැනීමට ඔවුන්ට නොහැකි විය. එය යෙසායා 6:9, 10; 29:13 සහ 53:1හි ඉටුවීමකි. (මතෙ. 13:14, 15; යොහන් 12:38-40; ක්‍රියා 28:24-27; රෝම 10:16; මතෙ. 15:7-9; මාක් 7:6, 7) යේසුස් ඔවුන්ට පැකිළීමේ ගලක් වූ නමුත් යෙසායා 8:14 සහ 28:16 ඉටු කරමින් ඔහු යෙහෝවා විසින් සියොන්හි තබන ලද අත්තිවාරම් කොනේ ගලද විය. යෙහෝවා තම ආත්මික ගෘහය ගොඩනඟන්නේ එම ගල මතය.—ලූක් 20:17; රෝම 9:32, 33; 10:11; 1 පේතෘ. 2:4-10.
37 යෙසායාගේ අනාවැකිය දේවසේවයට අදාළ කරමින් යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතවරු දිගින් දිගටම එයට යොමු දැක්වූහ. නිදසුනක් වශයෙන්, ඇදහිල්ල ගොඩනැඟීම සඳහා දේශනාකරුවන් අවශ්‍ය බව පෙන්වමින් පාවුල් යෙසායා පොතෙන් මෙසේ උපුටා දක්වයි. “යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද!” (රෝම 10:15; යෙසා. 52:7; රෝම 10:11, 16, 20, 21ත් බලන්න.) ශුභාරංචියේ ස්ථිරත්වය පෙන්වීමේදී පේතෘස්ද යෙසායා පොතෙන් උපුටා දක්වයි. “මාංසමය වූ සියල්ලෝම තණකොළ මෙන්ය. ඔවුන්ගේ මුළු තේජස තණ මල මෙන්ය. තණකොළ වියළී යයි. මල් වැටේ. නුමුත් යෙහෝවාගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනා කරන ලද ශුභාරංචි වචනයය.”—1 පේතෘ. 1:24, 25; යෙසා. 40:6-8.
38 රාජ්‍යය මගින් විවෘත කර දෙන මහිමාන්විත අනාගතික බලාපොරොත්තුව යෙසායා විචිත්‍රවත් ලෙස විස්තර කරයි. “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ඇති වන අතර, එහිදී “ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය.” අධිපතීහු යුක්තියෙන් ආණ්ඩු කරන්නෝය. ප්‍රීති උද්දාමයට පත්වීමට තිබෙන්නේ මොනතරම් හොඳ හේතුද! (65:17, 18; 32:1, 2) නැවතත්, පේතෘස් යෙසායාගේ සතුට දනවන පණිවුඩය මෙසේ ගෙනහැර දක්වයි. “ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [දෙවිගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (2 පේතෘ. 3:13) මෙම මවිතකර රාජ්‍ය තේමාව එළිදරව් පොතේ අවසාන පරිච්ඡේදවල මුළුමනින්ම අනාවරණය කරයි.—යෙසා. 66:22, 23; 25:8; එළි. 21:1-5.
39 යෙහෝවාගේ සතුරන්ට හා ඔහුගේ සේවකයන්යයි කුහක ලෙස කියාගන්නාවූ අයට එරෙහිව එල්ල කරන ලද දරුණු චෝදනා යෙසායා පොතේ අඩංගු වේ. ඒ ගමන්ම එය ඉතා ගෞරවාන්විත බසින් යෙහෝවාගේ මහත් නාමය විශුද්ධ කරන්නාවූ මෙසියස්ගේ රාජ්‍යයේ විශිෂ්ට බලාපොරොත්තුව වෙතටද අවධානය යොමු කරවයි. යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ මවිතකර සත්‍යයන් පැහැදිලි කිරීමට හා “ඔහුගේ ගැළවීම” කෙරෙහි අපේ හද කුල්මත් කරවන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ජනිත කරවීමට එය මහෝපකාරි වේ.—යෙසා. 25:9; 40:28-31.
[පාදසටහන්වල]
a ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 1221-3 පිටු.
b ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම (it-1), 957 පිටුව; 2 වෙළුම, 894-5 පිටු.
c ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම (it-2), 324 පිටුව.