“අපට කිව මැන, මේ දේවල් සිදුවන්නේ කවදාද?”
“මම අමුතු [අලුත්, NW] දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.”—යෙසායා 42:9.
1, 2. (අ) අනාගතය සම්බන්ධව යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් ඇසුවේ කුමක්ද? (ආ) සංයුක්ත ලකුණක් පිළිබඳව යේසුස්වහන්සේ දුන් පිළිතුර ඉටුවී තිබෙන්නේ කෙසේද?
දිව්‍ය ඉගැන්වීම නික්මෙන්නේ, ‘අන්තිමය මුල පටන් දන්වන්නාවූ තැනන්වහන්සේ’ වන යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙතිනි. (යෙසායා 46:10) මීට පෙර ලිපියේ පෙන්වූවාක් මෙන්, ප්‍රේරිතයන් මෙසේ අසමින් යේසුස්වහන්සේගෙන් එවැනි ඉගැන්වීමක් සෙවූහ: “අපට කිව මැන, මේ දේවල් සිදුවන්නේ කවදාද, මේ සියලු දේවල් නිමාවකට පැමිණීමට නියමව තිබෙන විට ලකුණ කුමක් වනු ඇත්ද?”—මාර්ක් 13:4, NW.
2 මීට පිළිතුරු දෙමින්, යේසුස්වහන්සේ විස්තර කළේ, යුදෙව් පිළිවෙළ ඉතා ඉක්මනින්ම නිමාවට පත් වනු ඇති බවට සාක්ෂි දෙන සිද්ධීන්වලින් සමන්විත සංයුක්ත “ලකුණකි.” මෙය පො.යු. 70දී යෙරුසලම් විනාශයත් සමඟ ඉටු විය. එහෙත්, යේසුස්වහන්සේගේ අනාවැකියට, කාල ප්රවාහයේ බොහෝ ඈතට මහත් ඉටු වීමක් තිබෙන්නට විය. “ජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” 1914දී අවසන් වුණ විගස, මෙම වත්මන් දුෂ්ට දේවල පිළිවෙළ ‘මහත් පීඩාවේදී’ ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට නිරූපනය කරමින්, මහා පරිමාණයකින් ලකුණක් විද්‍යමාන වනවා ඇත.a (ලූක් 21:24) මෙම ලකුණ, ලෝක යුද්ධවල සහ 20වන සියවසේ සිදුවූ වෙනත් ව්‍යසනකාරී සිද්ධීන් තුළ ඉෂ්ට වී තිබෙන බවට පැහැදිලිව සාක්ෂි දරන්නට අද දින ජීවත්ව සිටින මිලියන ගණනකට පුළුවන. මේවා මගින් යේසුස්වහන්සේගේ අනාවැකියේ ප්‍රධාන ඉටුවීමද සනිටුහන් වන අතරම, මෙම නවීනදින ඉටුවීම පො.යු. 33 සිට 70 දක්වා සිදුවූ දෙයින් ආදර්ශනය කරන ලදි.
3. තවත් ලකුණක් ගැන කථා කිරීමේදී, යේසුස්වහන්සේ පුරෝකථනය කළ තවත් සිදුවීම් මොනවාද?
3 ජාතීන්ගේ නියම කරන ලද කාලය ගැන ලූක් විසින් සඳහන් කළායින් පසු, මතෙව්, මාර්ක් සහ ලූක්හි සමාන්තර වාර්තා ‘දේවල පිළිවෙළේ සමාප්තිය’ පිළිබඳ සංයුක්ත ලකුණට අමතරව ලකුණක් ඇතුළත් වන තවත් සිදුවීම් ගණනාවක් දිගටම විස්තර කරයි. (මතෙව් 24:3) (15වෙනි පිටුවේ සඳහන්, වාර්තාවේ මෙම කරුණ ද්විත්ව ඉරකින් වෙන් කොට ඇත.) මතෙව් මෙසේ පවසයි: “තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය, එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය. උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.”—මතෙව් 24:29-31.
පීඩා සහ අහසේ ආශ්චර්යවත් සිදුවීම්
4. යේසුස්වහන්සේ විසින් සඳහන් කරන ලද අහසේ ආශ්චර්යවත් සිදුවීම් පිළිබඳව පැන නඟින ප්‍රශ්න මොනවාද?
4 එය ඉටු වනු ඇත්තේ කිනම් අවස්ථාවකද? අහසේ සිදුවනවා යයි අප විසින් හැඳින්විය හැකි මෙම ආශ්චර්යවත් සිදුවීම් ගැන සුවිශේෂ වාර්තා තුනේම සඳහන් වේ—එනම්, හිරු සහ සඳ අඳුරු වීම සහ තාරකා වැටීමය. යේසුස්වහන්සේ පැවසුවේ, මෙය “පීඩාවෙන්” පසුව සිදුවන බවයි. යේසුස්වහන්සේගේ මනසේ තිබුණේ, පො.යු. 70දී පීඩාවද, නැතහොත් අපගේ නවීන කාලවල තවමත් අනාගතයේ සිදුවීමට තිබෙන මහත් පීඩාවද?.—මතෙව් 24:29; මාර්ක් 13:24.
5. නවීන කාලවල පීඩාව සම්බන්ධව වරෙක කිනම් දෘෂ්ටියක් දරනු ලැබීද?
5 වර්ෂ 1914දී ජාතීන්ගේ නියම කරන ලද කාලවල් අවසන් වූ අවස්ථාවේ පටන්, දෙවියන්වහන්සේගේ ජනයා “මහත් පීඩාව” සම්බන්ධව ඉතා තියුණු උනන්දුවක් දක්වා ඇත. (එළිදරව් 7:14) වසර ගණනාවක් පුරා ඔවුන් සිතුවේ, නවීන දින මහත් පීඩාවට, පළමු ලෝක යුද්ධයේ කාලයට අනුරූප වූ ප්රාරම්භක කොටසක්ද, අනතුරුව අතරමැදි විරාම කාලයක්ද, අවසානයේදී “සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය” නමැති අන්තිම කොටසක්ද තිබෙන බවය. එය එසේ වීමට තිබුණා නම්, “පිළිවෙළේ සමාප්තියේ” අතරමැදි දශක තුළ කුමක් සිදුවන්නට තිබුණිද?—එළිදරව් 16:14; මතෙව් 13:39; 24:3; 28:20.
6. අහසේ ආශ්චර්යවත් සිදුවීම් පිළිබඳව යේසුස්වහන්සේගේ අනාවැකිය ඉටු කළ බවට සිතනු ලැබුවේ කුමන දෙයද?
6 කෙසේදයත් මෙම අතරමැද කාලයේදී, දෙවියන්වහන්සේගේ රැස්කර ගත් ජනයා විසින් කරනු ලබන දේශනා කටයුතු ඇතුළුව, මෙම සංයුක්ත ලකුණ දකිනු ලබන බවට හැඟීමක් තිබිණ. තවද පුරෝකථනය කරන ලද අහසේ ආශ්චර්යවත් සිදුවීම් 1914-18 ආරම්භ අවස්ථාවෙන් පසු අතරමැදි කාලය තුළදී සිදුවනු ඇති බවට අපේක්ෂා කළ හැකි විය. (මතෙව් 24:29; මාර්ක් 13:24, 25; ලූක් 21:25) ඇත්තටම අහසේ දැකිය හැකි වූ දේවල්—එනම් අභ්‍යවකාශ ගවේෂණ යන්ත්‍ර, අන්තරීක්ෂ නොහොත් ගැමා කිරණ සහ සඳ මත පා තැබීම නැතහොත් කඳවුරු පිහිටුවීම—මත අවධානය යොමු කරන ලදි.
7. මහත් පීඩාව පිළිබඳව සපයා ඇති යළි සකස් කරන ලද වටහා ගැනීම කුමක්ද?
7 කෙසේවුවද, 1970 ජනවාරි 15දා ද වොච්ටවර් කලාපය, යේසුස්වහන්සේගේ අනාවැකිය, විශේෂයෙන්ම පැමිණෙන්නට යන මහත් පීඩාව ගැන යළි පරීක්ෂා කර බැලීය. පළමු සියවසේ සිදුවූ දේවල් සම්බන්ධයෙන් බලන කල, නවීන පීඩාවට, 1914-18 දක්වා ආරම්භක කොටසකින්ද, දශක ගණනාවක් පුරා අතරමැදි අවස්ථාවකින්ද, පසුව යළිත් පීඩාව පටන් ගන්නා අවස්ථාවකින්ද වැනි අවස්ථා තිබෙන්නට බැරි බව එයින් පෙන්වීය. සඟරාව මෙසේ නිගමනය කළේය: “යළිත් සිදු නොවන ආකාරයේ එම ‘මහත් පීඩාව’ තවමත් ඉදිරියේ තිබේ. මන්ද ඉන් අදහස් කරන්නේ, (ක්‍රිස්තියානි ලෝකය ඇතුළු) බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ විනාශයත්, ඉන් අනතුරුව අර්මගෙදොන්හි ‘සර්වබලධාරි දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයත්ය.’ ”
8. නවීන පීඩාව සම්බන්ධව සකස් කරන ලද දෘෂ්ටිය සමඟින්, මතෙව් 24:29 පැහැදිලි කරන ලද්දේ කෙසේද?
8 එහෙත්, මතෙව් 24:29 පවසන්නේ, මෙම අහසේ අශ්චර්යවත් සිදුවීම් වන්නේ, “පීඩාව පසුවූ කෙනෙහිම” බවයි. එය කෙසේ විය හැකිද? මෙහි “පීඩාව” යනුවෙන් අදහස් කරන්නේ අතීතයේ පො.යු. 70දී උච්චාවස්ථාවට පත්වූ පීඩාව යයි 1975 මැයි 1දා ද වොච්ටවර් කලාපය යෝජනා කළේය. පො.යු. 70 සිද්ධියෙන් “කෙනෙහිම” අහසේ ආශ්චර්යවත් සිදුවීම්, අපගේ කාලයේදී සිදුවෙමින් තිබුණේ යයි කිව හැක්කේ කිනම් අර්ථයෙන්ද? දෙවියන්වහන්සේගේ දෘෂ්ටියේ ශතවර්ෂ ගණනක් අතර කාලය ඉතා කෙටි එකක් බව තර්ක කරන ලදි. (රෝම 16:20; 2 පේතෘස් 3:8) කෙසේවෙතත්, මෙම අනාවැකිය වඩාත් ගැඹුරින් පරීක්ෂා කිරීමේදී සහ විශේෂයෙන්ම මතෙව් 24:29-31 ගැන සලකා බැලීමේදී, එය මීට වඩා වෙනස් පැහැදිලි කිරීමකට යොමු දක්වයි. “පරිපූර්ණ දවස දක්වා වඩා වඩා” ආලෝකය බැබළෙන ආකාරය මින් නිරූපනය වෙයි. (හිතෝපදේශ 4:18, අමෙරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන්)b අලුත්, හෙවත් වෙනස් වූ පැහැදිලි කිරීමක් වඩාත් උචිත වන්නේ මන්ද කියා අපි සලකා බලමු.
9. අහසේ සිදුවීම් පිළිබඳ යේසුස්වහන්සේගේ වදන් සඳහා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල පසුබිම සපයන්නේ කෙසේද?
9 ‘ඉර අඳුරු වීම, සඳ එළිය නොදීම, තාරකාවන් වැටීම’ පිළිබඳ අනාවැකිය යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ගෙන් හතර දෙනෙකු සමඟ කථා කළ සේක. නිදසුනක් වශයෙන්, ශෙපනියා 1:15 [නව අනුවාදය]හි දෙවියන්වහන්සේගේ විනිශ්චය කාලය, “නාස්තියේ හා විනාශයේ දවසක්ය, අන්ධකාරයේ හා කළුවරකමේ දවසක්ය, වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක්ය” යනුවෙන් හඳුන්වනු ලැබූ, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් එවැනි භාෂාවක්, යුදෙව්වන් වශයෙන් ඔවුන් විසින් හඳුනා ගන්නවා ඇත. විවිධ හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුද ඒ හා සමානවම, ඉර අඳුරු වීම, සඳ එළිය නොදීම සහ තාරකා එහි එළිය නොදීම ගැන විස්තර කළහ. බබිලෝනියට, ඒදොම්ට, මිසරයට සහ උතුරු ඉශ්රායෙල් රාජ්‍යයට එරෙහිව කරන ලද දිව්‍ය අනතුරු ඇඟවීම්වලදී, එවන් භාෂාවක් ඔබට සොයා ගත හැකි වේ.—යෙසායා 13:9, 10; 34:4, 5; යෙරෙමියා 4:28; එසකියෙල් 32:2, 6-8; ආමොස් 5:20; 8:2, 9.
10, 11. (අ) අහසේ දේවල් සම්බන්ධව යෝවෙල් පැවසූ අනාවැකි මොනවාද? (ආ) පොදු යුගයේ 33දී යෝවෙල්ගේ අනාවැකිය හා සම්බන්ධව ඉටු වූ අංග කවරේද, තවද ඉටු නොවූ අංග කවරේද?
10 යේසුස්වහන්සේ පැවසූ දේ තමන්ට ඇසුණු විට, පේතෘස් සහ අනෙක් තිදෙනා, පෙනෙන හැටියට, යෝවෙල් 2:28-31 සහ 3:15 දක්වා සඳහන් යෝවෙල්ගේ අනාවැකිය මතකයට නැඟුවා විය හැකියි: “මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය. . . . තවද අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්කණුද පෙන්වන්නෙමි. ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.” “ඉර හඳ අඳුරුවී තිබේ, තාරකාවල දිලිහීමද පහවෙයි.”
11 ක්‍රියා 2:1-4 සහ 14-21හි සඳහන් පරිදි, පො.යු. 33 පෙන්තකොස්තයේදී දෙවියන්වහන්සේ, පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් සමන්විත ගෝලයන් 120 මත ශුද්ධාත්මය වැගිරෙවූ සේක. මෙය වනාහි යෝවෙල් පුරෝකථනය කොට තිබූ දෙය බව ප්‍රේරිත පේතෘස් විසින් දැනගන්නට සලස්වන ලදි. එනමුත්, ‘ඉර අඳුරු වීම, සඳ ලේ වීම, තාරකාවල දිලිසීම පහවීම’ සම්බන්ධව යෝවෙල්ගේ වචන ගැන කුමක් කිව හැකිද? මෙය පො.යු. 33දී හෝ, යුදෙව් දේවල පිළිවෙළේ සමාප්තියේ වසර 30කට වඩා වැඩි කාල පරිච්ඡේදය තුළදී හෝ සිදුවූ බවට කිසිවකින් ඇඟවෙන්නේ නැත.
12, 13. යෝවෙල් විසින් පුරෝකථනය කළ අහසේ ආශ්චර්යවත් සිදුවීම් ඉටු වූයේ කෙසේද?
12 පෙනෙන අන්දමට, යෝවෙල්ගේ අනාවැකියේ එම පසු කොටස, ‘යෙහෝවඃවහන්සේගේ මහත්වූ භයානකවූ දවසේ පැමිණීමට’—එනම් යෙරුසලමේ විනාශය—සමඟ ඉතා ළඟින් සම්බන්ධ වී තිබුණි. වර්ෂ 1966 නොවැම්බර් 15දා ද වොච්ටවර් කලාපයේ, පො.යු. 70දී යෙරුසලම මතට පැමිණි පීඩාව ගැන මෙසේ පවසා තිබුණි: “එය සහතිකවම යෙරුසලම හා ඇගේ දරුවන් සම්බන්ධව ‘යෙහෝවඃවහන්සේගේ’ දවසක් වූයේය. තවද, එම දවස සම්බන්ධව, ‘ලේද ගිනිද දුම් මීදුමද’ විශාල වශයෙන් තිබුණි, තවද දහවල් කාලයේ, නගරයේ අන්ධකාරය හිරු එළියෙන් පැහැපත් නොවීය, එමෙන්ම රාත්රියේදී සාමදායි රිදී පැහැයෙන් බැබළෙන ආලෝකයක් හෙලනවා වෙනුවට වගුරවන ලද ලේ අඟවන දසුනක් චන්ද්‍රයා දැකීමෙන් මතකයට නංවන ලදි.”c
13 එසේය, අප විසින් සලකා බලනු ලැබූ අනෙකුත් අනාවැකි හා සම්බන්ධයෙන් මෙන්ම, යෝවෙල් පුරෝකථනය කළා වූ අහසේ ආශ්චර්යවත් සිද්ධීන් යෙහෝවඃවහන්සේ විසින් විනිශ්චය ගෙන එනු ලැබූ විට ඉෂ්ට වීමට තිබුණි. යුදෙව් පිළිවෙළේ සමාප්තියේ මුළු කාල පරිච්ඡේදය පුරා විහිදී යනවා වෙනුවට, ඉර, සඳ සහ තාරකාවන්ගේ අඳුරු වීම සිදුවුණේ, වධක සේනාවන් යෙරුසලමට එරෙහිව ආ විටය. වත්මන් පිළිවෙළ මත දෙවියන්වහන්සේගේ විනිශ්චය ගෙන එන විට, යෝවෙල්ගේ අනාවැකියේ එම කොටසේ වඩා මහත් ඉටු වීමක් අපට අපේක්ෂා කළ හැකි වීම තර්කානුකූලය.
අහසේ ආශ්චර්යවත් සිදුවීම්වලට පෙර සිදුවන්නේ කොයි පීඩාවද?
14, 15. මතෙව් 24:29 වටහා ගැනීම සම්බන්ධව යෝවෙල්ගේ අනාවැකියෙන් ඇති බලපෑම කුමක්ද?
14 යෝවෙල්ගේ අනාවැකියේ ඉටු වීම, (ඒ හා සමාන භාෂාවක් භාවිතා කරමින් ලියා ඇති වෙනත් අනාවැකිවලට එකඟව) මතෙව් 24:29හි සඳහන් වදන් තේරුම් ගැනීමට අපට උපකාරවත් වෙයි. ඉර අඳුරු වීම, සඳ එළිය නොදීම, තාරකා වැටීම ගැන යේසුස්වහන්සේ පැවසූ දෙයින් යොමු දැක්වෙන්නේ, වත්මන් දේවල පිළිවෙළේ සමාප්තියේ දශක කිහිපය පුරා සිදුවන, අභ්‍යාවකාශ රොකට් ගත වීම, සඳ මත පා තැබීම, සහ එවැනි දේවල් නොවන බව පැහැදිලිය. නැත, උන්වහන්සේ යොමු දක්වමින් සිටියේ, ‘යෙහෝවඃවහන්සේගේ මහත්වූ භයානක වූ දවසටය,’ එනම් තවමත් සිදුවීමට තිබුණු විනාශයටය.
15 අහසේ මෙම අශ්චර්යවත් සිදුවීම් “පීඩාව පසුවූ කෙනෙහිම” සිදුවන ආකාරය තේරුම් ගැනීමට මෙය සම්බන්ධය. යේසුස්වහන්සේ යොමු දක්වමින් සිටියේ, පො.යු. 70දී උච්චාවස්ථාවට පැමිණි පීඩාව නොවේ. ඒ වෙනුවට, උන්වහන්සේ ගෙන හැර දක්වමින් සිටියේ, අනාගතයේදී, පොරොන්දු වූ තම “පැමිණ සිටීමේ” උච්චාවස්ථාව වශයෙන් මෙම ලෝක පිළිවෙළ මත ඇද වැටෙන්නට යන මහත් පීඩාවේ ආරම්භයටය. (මතෙව් 24:3) එම පීඩාව තවමත් අප ඉදිරියේ තිබේ.
16. මාර්ක් 13:24 යොමු දක්වමින් තිබුණේ කිනම් පීඩාවටද? තවද එසේ වන්නේ මන්ද?
16 මාර්ක් 13:24හි සඳහන්: “ඒ [එම, NW] දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරු වන්නේය, සඳ එළිය නොදෙන්නේය” යන වචන ගැන කුමක් කිව හැකිද? මෙහි, “එම” සහ “ඒ” යන වචන දෙකම වනාහි එ·ඛෙයිʹනොස් යන ග්‍රීක් වචනයේ රූපාකාර වන අතර, එය ඈත කාලයේදී සිදුවන යම් දෙයක් අඟවන නිදර්ශක සර්ව නාමයකි. බොහෝ කලකට පෙර පහව ගොස් ඇති දෙයක් (හෝ පෙර සඳහන් කර ඇති යමක්) හෝ ඈත අනාගතයේ තිබෙන යමක් ඇඟවීමට එ·ඛෙයිʹනොස් යොදා ගත හැක. (මතෙව් 3:1; 7:22; 10:19; 24:38; මාර්ක් 13:11, 17, 32; 14:25; ලූක් 10:12; 2 තෙසලෝනික 1:10) මෙසේ, මාර්ක් 13:24හි සඳහන් “ඒ පීඩාව” දෙස යොමු දැක්වූ විට, එය යොමු කළේ රෝමවරුන් විසින් උද්ගත කරනු ලැබූ පීඩාවට නොව, නමුත් මෙම වත්මන් පිළිවෙළ අවසානයේදී යෙහෝවඃවහන්සේගේ බලවත් ක්‍රියාවටය.
17, 18. මහත් පීඩාව වර්ධනය වන්නාවූ ආකාරය සම්බන්ධව එළිදරව්ව හෙලන ආලෝකය කුමක්ද?
17 එළිදරව් 17 සිට 19 පරිච්ඡේදවල සඳහන් දෙය, මතෙව් 24:29-31; මාර්ක් 13:24-27; සහ ලූක් 21:25-28 පිළිබඳව මෙම යළි සකස් කරන ලද අවබෝධයට ගැළපෙන අතර, එය ඉන් සනාථ වෙයි. කිනම් ආකාරයෙන්ද? සුවිශේෂවල පෙන්නුම් කෙරෙන්නේ, මෙම මහත් පීඩාව එක් මහත් ප්‍රහාරයකින් පටන් ගෙන අවසන් නොවන බවය. එය පටන් ගත්තායින් පසු, මිනිස් වර්ගයාගෙන් ඇතමෙක්, “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ දැකීමට” ජීවත්ව සිටින අතර ප්‍රතික්‍රියා කරනවා ඇත, එනම් වැලපෙනවා ඇත, තවද ලූක් 21:26 සඳහන් පරිදි, “භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් . . . ක්ලාන්ත [වනවා]” ඇත. මෙම අතිමහත් බිය ඔවුන්ට ඇති වන්නේ, ඔවුන්ගේ තදාසන්න විනාශය අඟවන “ලකුණ” ඔවුන් විසින් දැකීම නිසාය.
18 ජාත්‍යන්තර “වන මෘගයාගේ” හමුදාමය “අඟවල්” “මහත් වේශ්‍යාව” වන මහා බබිලෝනියට එරෙහි වී ඈ විනාශ කරන විට අනාගත මහත් පීඩාව ආරම්භ වන බව එළිදරව් වාර්තාව පෙන්වයි.d (එළිදරව් 17:1, 10-16) එහෙත්, බොහෝ ජනයන් ඉතිරි වනු ඇත, මන්දයත් බොරු ආගමේ අවසානය ගැන රජවරුන්, වෙළෙන්දන්, නාවුක කපිතාන්වරුන් සහ වෙනත් අය වැලපෙන්නට යන නිසාය. ඊළඟට තමන්ට විනිශ්චයට මුහුණ දීමට සිදුවන බව බොහෝ දෙනෙක් වටහා ගන්නා බවට කිසිඳු සැකයක් නැත.—එළිදරව් 18:9-19.
සිදුවීමට තිබෙන්නේ කුමක්ද?
19. මහත් පීඩාව ආරම්භ වන විට, අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?
19 එළිදරව් 17-19 දක්වා පරිච්ඡේද සමඟ එකතු වෙමින් මතෙව්, මාර්ක් සහ ලූක් සුවිශේෂවල කොටස්, ඉතා ඉක්මනින් සිදුවන දේ ගැන සෑහෙන තරමක අවබෝධයක් ලබා දෙයි. දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයට (මහා බබිලෝනියට) විරුද්ධව ප්‍රහාරයක් සමඟින් මහත් පීඩාව ආරම්භ වනු ඇත. විශේෂයෙන් මෙය නොඇදහිලිකාර යෙරුසලමට අනුරූප වන ක්‍රිස්තියානි ලෝකයට එරෙහිව ප්රබලව තිබෙනු ඇත. පීඩාවේ මෙම අවධිය “පසුවූ කෙනෙහිම” “ඉර හඳ තාරකාවන් කෙරේ ලකුණු හා . . . පොළොවේ ජාතීන්ට [පෙර නොවූ විරූ] දුක් වේදනා” සිදුවෙනවා ඇත.—මතෙව් 24:29; ලූක් 21:25.
20. අපට තවදුරටත් අපේක්ෂා කළ හැකි අහසේ ආශ්චර්යවත් සිදුවීම් මොනවාද?
20 ‘ඉර අඳුරු වන්නේ, සඳ එහි එළිය නොදෙන්නේ, අහසින් තරු වැටෙන්නේ, අහසේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන්නේ’ කිනම් අර්ථයෙන්ද? කිසිඳු සැකයක් නොමැතිව, මහත් පීඩාවේ මුල් අවදියේදී, ආලෝක ප්‍රභව බොහොමයකගේ—එනම් ආගමික ලෝකයේ ප්‍රධාන පූජකයන්ගේ—වෙස් මුහුණු ගලවා දමනු ලැබ, එළිදරව් 17:16හි සඳහන් “අං දශය” මගින් මුලිනුපුටා දමනු ලැබ තිබෙනු ඇත. දේශපාලන බලයන්ද සොලවා දමනු ලැබ තිබෙනු ඇති බවට සැකයක් නැත. භෞතික අහසේද බියජනක සිදුවීම් තිබෙන්නට පුළුවන්ද? එසේය, එසේ තිබෙනු ඇති බවට බොහෝ ඉඩ කඩ තිබේ, තවද ඒවා, යුදෙව් පිළිවෙළේ නිමාව ආසන්නයේ සිදුවුණා යයි ජොසේෆස් විසින් විස්තර කරන ලද ඒවාට වඩා බොහෝ සෙයින් ගරුබිය උපදවන සිදුවීම් වනවා ඇත. ඉපැරණි අතීතයේදී දෙවියන්වහන්සේ ස්වකීය බලය යොදා එවැනි ව්‍යසනකාරී බලපෑම් කළ බව අපි දනිමු, යළිත් ඒවා කිරීමට උන්වහන්සේට හැකිය.—නික්මයාම 10:21-23; යෝෂුවා 10:12-14; විනිශ්චයකාරයන් 5:20; ලූක් 23:44, 45.
21. අනාගතික “ලකුණක්” සිදුවනු ඇත්තේ කෙසේද?
21 මේ අවස්ථාවේදී, සුවිශේෂ ලේඛකයන් තිදෙනාම, ඊළඟට සිදුවෙන්නට යන දේ හඳුන්වා දීමට ටොʹටේ (එවිට) යන වචනය යොදා ගනිති. “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය.” (මතෙව් 24:30; මාර්ක් 13:26; ලූක් 21:27) පළමුවෙනි ලෝක යුද්ධයේ පටන්, යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයෝ, උන්වහන්සේගේ අදෘශ්‍යමාන පැමිණ සිටීමේ සංයුක්ත ලකුණ වටහා ගෙන තිබෙන අතරේදී, බොහෝ ජනයා මෙය හඳුනා ගෙන නැත. එහෙත්, මතෙව් 24:30, අනාගතයේ තවත් “ලකුණක්” පෙනෙනු ඇති බවට, එනම් “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණක්” පෙනෙනු ඇති බවට සහ මෙය ගැන සැලකිල්ල දැක්වීමට සියලු ජාතීන්ව බල කරනු ඇති බවට ගෙන හැර දක්වයි. යේසුස්වහන්සේ අදෘශ්යමානකම නමැති, වලාකුල්වලින් එනකල, උන්වහන්සේ විසින් රාජ්‍යය බලයේ ආශ්චර්යවත් නිරූපනයක් කරන නිසා ලෝක ව්‍යාප්තව සිටින විරුද්ධවාදි ජනයාට එම ‘ඒම’ (ග්‍රීක්, එර්ඛෙසාමෙනොන්) හඳුනාගැනීමට සිදුවනු ඇත.—එළිදරව් 1:7.
22. මතෙව් 24:30හි සඳහන් “ලකුණ” දැකීමෙන් ඇති වන බලපෑම කුමක් වනවා ඇත්ද?
22 ඊළඟට පැමිණෙන දෙය හඳුන්වා දීමට මතෙව් 24:30, යළිත් වරක් ටොʹටේ යන වචනය යොදා ගනී. එවිට තමන්ගේ තත්ත්වයේ ඵල විපාක ගැන වටහා ගනිමින්, සමහරවිට තම විනාශය ඉතා ඉක්මනින්ම සිදුවෙන්නට යන බව තේරුම් ගනිමින් ජාතීන් තමන්ට පහර ගසා ගනිමින් වැළපෙනු ඇත. දෙවියන්වහන්සේගේ සේවකයන් සම්බන්ධයෙන් තත්ත්වය කොතරම් වෙනස් වේද, මන්දයත් අපගේ ගැලවීම ළඟ බව දැනගෙන අපගේ හිස් එසවීමට අපට හැකි වන බැවිනි! (ලූක් 21:28) ස්වර්ගයේ සහ පොළොවේ සිටින සැබෑ නමස්කාරකයන් මහා වේශ්‍යාවගේ අවසානය හේතුකොටගෙන ප්‍රීති වන බවද එළිදරව් 19:1-6හි පෙන්නුම් කෙරේ.
23. (අ) තෝරා ගනු ලැබුවන් කෙරෙහි යේසුස්වහන්සේ විසින් ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද? (ආ) ස්වර්ගයට ගනු ලැබීම ඉතිරි කොටස සම්බන්ධව කුමක් කිව හැකිද?
23 මාර්ක් 13:27හි පවසන්නාක් මෙන්, යේසුස්වහන්සේගේ අනාවැකිය තවදුරටත් මෙසේ කාරණා දක්වයි: “එවිට (ටෙටේ) උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේ තෝරාගත්තවුන් රැස්කරනවා ඇත.” යේසුස්වහන්සේ මෙහි අවධානය යොමු කරවන්නේ, තවමත් පොළොව මත ජීවත්ව සිටින “තෝරාගනු ලැබූවන්” එනම් 1,44,000දෙනාගේ ඉතිරි අයටය. දේවල පිළිවෙළේ සමාප්තියේ මුල් අවදියේදී, යේසුස්වහන්සේගේ මෙම ආලේපලත් ගෝලයන්ව දිව්‍යාණ්ඩු එක්සත්කමකට ගෙන එන ලදි. කෙසේවෙතත්, යොදා ගෙන තිබෙන අනුපිළිවෙළ අනුව, මාර්ක් 13:27 සහ මතෙව් 24:31 ඊට වඩා වෙනත් යමක් විස්තර කරයි. ඉතිරි වූ “තෝරාගනු ලැබූවන්” “මහත් හොරණෑ ශබ්දයක් ඇතුව” පොළොවේ සීමාවන්ගෙන් එකතු කරනු ලැබේ. ඔවුන් එකතු කරනු ලබන්නේ කෙසේද? කිසි සැකයකින් තොරව, අවසානයේදී ඔවුන්ව “මුද්‍රාකරනු ලැබූ” ‘කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තන්ගේ’ කොටසක් වශයෙන් යෙහෝවඃවහන්සේ විසින් පැහැදිලිව හඳුනා ගනු ලැබේ. තවද දෙවියන්වහන්සේ විසින් නියම කර ඇති කාලයේදී, රජවරුන් හා පූජකයන් වශයෙන් ඔවුන්ව ස්වර්ගයට එක් රැස් කරනු ලබනවා ඇත.e මෙය, ඔවුන්ගේ ඇදහිලිවන්ත සහායකයන්ට, එනම්, පාරාදීස පොළොවක සදාකාල ආශීර්වාද භුක්ති විඳීම සඳහා ‘මහත් පීඩා මැදින්’ පැමිණෙන ලකුණු කර ඇති ‘මහත් සමූහයටද’ ප්‍රීතියක් ගෙන දෙනවා ඇත.—මතෙව් 24:22; එළිදරව් 7:3, 4, 9-17; 17:14; 20:6; එසකියෙල් 9:4, 6.
24. පැමිණෙන සිද්ධීන් සම්බන්ධයෙන් මතෙව් 24:29-31 හෙළි කරන අනුපිළිවෙළ කුමක්ද?
24 “අපට කිව මැන, . . . ” යයි ප්‍රේරිතයන් පැවසූ විට, යේසුස්වහන්සේ දුන් පිළිතුර, ඔවුනට වටහා ගන්නට පුළුවන්වාටත් වඩා දේවල් ආවරණය කළේය. එහෙත්, තම ජීවිත කාලය තුළදී, උන්වහන්සේගේ අනාවැකියේ නියම ඉටු වීම දැකීමෙන් ඔවුහු ප්‍රීතිවුණෝය. උන්වහන්සේගේ පිළිතුර ගැන අප කළ අධ්‍යයනය යොමු වී තිබුණේ, නුදුරු අනාගතයේදී ඉටු වනු ඇති උන්වහන්සේගේ අනාවැකියේ එම කොටසටයි. (මතෙව් 24:29-31; මාර්ක් 13:24-27; ලූක් 21:25-28) අපගේ ගැලවීම වඩාත් ළංවෙමින් තිබෙන බව දැනටමත් අපට දැක ගත හැකියි. මහත් පීඩාවේ ආරම්භය දෙසත්, එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණත්, එවිට දෙවියන්වහන්සේ විසින් තෝරාගත් අයව එකතු කරනු ලැබීමක් දෙස අපට බලා සිටින්නට හැකියි. අවසානයේදී, අපගේ රණවිරු රජු වන, සිංහාසනාරූඩ වූ යේසුස්වහන්සේ, අර්මගෙදොන්හිදී, යෙහෝවඃවහන්සේගේ වධකයාණන් වශයෙන් ‘තම ජයග්‍රහණය සම්පූර්ණ කරනු’ ඇත. (එළිදරව් 6:2) යෙහෝවඃවහන්සේ විසින් පළිගන්නාවූ එම දවස, 1914 පටන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවස සනිටුහන් කළා වූ “දේවල පිළිවෙළේ සමාප්තිය” සඳහා උදාර අවසානයක් මෙන් පැමිණෙනවා ඇත.
25. ලූක් 21:28 සම්බන්ධව තවමත් අනාගතයේදී සිදුවීමට තිබෙන දෙය තුළ අපට හවුල් විය හැක්කේ කෙසේද?
25 “මේ දේ සිදුවෙන්ට පටන් ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින් ඉහළ බලා හිස් ඔසවාපල්ලා” යන තවමත් ඉෂ්ට වීමට තිබෙන යේසුස්වහන්සේගේ වචනවලට ප්‍රතිචාරය දැක්වීම පිණිස, දිව්‍ය ඉගැන්වීම මගින් ඔබ දිගටම ඔබටම ප්‍රයෝජන නෙලා ගනිත්වා. (ලූක් 21:28) යෙහෝවඃවහන්සේ ස්වකීය ශුද්ධ නාමය විශුද්ධවත් කිරීමට පියවර ගන්නවාත් සමඟම, තෝරා ගත් අය සහ මහත් සමූහය සඳහා මොනතරම් උදාර අනාගතයක් ඉදිරියේ තිබේද!
[පාදසටහන්වල]
a අපගේ කාලයේ භෞතික සාධක, බයිබල් අනාවැකි ඉටුකරන ආකාරය පෙන්වමින්, මෙය ඔප්පු කරන සාක්ෂි සැපයීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සතුටු වෙති.
b මේ සඳහා අමතර තොරතුරු, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්. මගින් 1973දී පළ කරන ලද ගෝඩ්ස් කිංඩම් ඔෆ් ඒ තවුසන්ඩ් යියර්ස් හැස් එප්රෝච්ඩ් නමැති ප්රකාශනයේ පිටු 296-323 දක්වා සහ 1982 සැප්තැම්බර් 15දා ද වොච්ටවර්හි පිටු 17-22 දක්වා දක්නට ඇත.
c රෝම හමුදාව විසින් යෙරුසලමට කළ මුල් පහර දීම (පො.යු. 66) හා එහි විනාශය අතර සිදුවූ සිදුවීම් ගැන යුදෙව් ඉතිහාසඥ ජොසේෆස් මෙසේ ලියයි: “රාත්‍රි කාලයේදී විනාශකාරී කුණාටුවක් ඇති විණි; චණ්ඩමාරුතයක් වේගයෙන් හමා යන්නට විය, ධාරාණිපාත වර්ෂා ඇද හැලෙන්නට විය, නිරතුරුවම විදුලි කෙටීම් සිදුවෙමින්, භයානක මේඝ ගර්ජනාවක් ඇති කරලමින්, කන් බිහිරි කරවන ගිගුම් නද දෙමින් භූමි කම්පා සිදු විය. මිනිස් වර්ගයා මත වෙන්නට යන ව්‍යසනය, මෙම සියලු දේවල වැටී යාම මගින් පැහැදිලිව පූර්වාදර්ශනය කරනු ලැබූ අතර, සමාන්තරයකින් තොරව සිදුවන ව්‍යසනයක් ගැන මෙම පෙර නිමිත්තෙන් ඇඟවූවායයි කිසිවෙකුට සැක කළ නොහැකි විණි.”
d “මහත් පීඩාව” සහ “පීඩාවක්” වශයෙන් යේසුස්වහන්සේ කථා කළ දෙයෙහි පළමු අදාළ වීම වූයේ, යුදෙව් පිළිවෙළේ විනාශයයි. එහෙත් අපගේ දවසට පමණක් අදාළ වන පද තුළ, එය “මහත් පීඩාව [the Tribulation]” යයි උන්වහන්සේ පැවසුවේ, නියත පදයක් [ඉංග්‍රීසියෙන්, “the”] යොදා ගනිමිනි. (මතෙව් 24:21, 29; මාර්ක් 13:19, 24) එළිදරව් 7:14, මෙම අනාගත සිද්ධියට, “මහත් පීඩා[ව] [the great tribulation]”, පදගතාර්ථයෙන් “the tribulation the great” යන යෙදුම යොදන ලදි.
e 1991 අගෝස්තු 1දා මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.
ඔබට මතකද?
◻ යෝවෙල් 2:28-31 සහ 3:15හි අංගයන් පළමු සියවසේදී ඉෂ්ට වූයේ කෙසේද?
◻ මතෙව් 24:29හි යොමු දක්වන්නේ කිනම් පීඩාවටද, තවද අප එසේ නිගමනය කරන්නේ මන්ද?
◻ මතෙව් 24:29හි යොමු දක්වන්නේ අහසේ සිදුවන කිනම් ආශ්චර්යවත් සිදුවීම්වලටද, තවද පීඩාවෙන් පසු මෙය සැණෙකින් වන්නේ කෙසේද?
◻ ලූක් 21:26, 28 අනාගතයේදී ඉටු වනු ඇත්තේ කෙසේද?
[16, 17වන පිටුවේ පින්තූරය]
දේව මාලිගා ප්‍රදේශය
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.