ආලෝක ධාරාවන්—ප්‍රබල හා සුළු (පළමුවන කොටස)
“ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.”—හිතෝපදේශ 4:18.
1. සත්‍යය ක්‍රමානුකූලව එළිදරව් කර ඇත්තේ මක්නිසාද?
හිතෝපදේශ 4:18 අනුව ආලෝක ධාරාවන් මගින් ක්‍රමානුකූලව ආත්මික සත්‍යයන් එළිදරව් කිරීම, දිව්‍ය ප්‍රඥාව පිළිබඳ සාක්ෂියකි. මෙම වගන්තිය ප්‍රේරිතයන්ගේ කාලවල ඉටුවූ ආකාරය මීට ඉහත ලිපිය තුළ අපි දුටුවෙමු. එකවර ආත්මික සත්‍යයන් විශාල ප්‍රමාණයක් එළිදරව් වූයේ නම්, එය මුළා කරවන හා ව්‍යාකූල කරවන දෙයක්—එනම් අන්ධකාර ගුහාවක සිට දීප්තිමත් ඉරු එළියට පැමිණීමේදී ඇතිවන බලපෑමට බොහෝදුරට සමානදෙයක්වන්ට ඉඩ තිබිණ. එපමණක්ද නොව, ක්‍රමානුකූලව එළිදරව් කරනු ලබන සත්‍යය අඛණ්ඩ ආකාරයකට ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්නේය. එය ඔවුන්ගේ බලාපොරොත්තුව නිරන්තරයෙන් දීප්තිමත් කරවන අතර, ඔවුන් යා යුතු ගමන් මඟ නිරන්තරයෙන් පැහැදිලි කරනවා ඇත.
“විශ්වාසවූ නුවණ ඇති දාසයා”
2. සිය අනුගාමිකයන්ට ආත්මික ආලෝකය ගෙනෙන්ට කවරෙක් පාවිච්චි කරන බව යේසුස්වහන්සේ ඇඟවූසේක්ද, එමෙන්ම එම විධිවිධානයට අයත් වන්නේ කවරහුද?
2 ප්‍රේරිතවරුන්ගේ කාලයේ මුල් ආලෝක ධාරාවන් සිය අනුගාමිකයන්ට ලබා දීමට, අධිස්වාභාවික ක්‍රම පාවිච්චි කිරීම උචිත යයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුටුසේක. අපට මේ පිළිබඳව උදාහරණ දෙකක් ඇත: පො.යු. 33 පෙන්තකොස්තය හා පො.යු. 36 දී කොර්නේලියස්ව හැරවීම. පසුව මනුෂ්‍ය ආයතනයක් පාවිච්චි කිරීම උචිත බව ක්‍රිස්තුස්වහන්සේ දුටු අතර, උන්වහන්සේ මෙය පුරෝකථනය කළේ මෙසේය: “ස්වාමියා විසින් තමාගේ ගෙයිවැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත්කළ විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද? ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාදලද්දෙක්ය. සැබවක් නුඹලාට කියමි—ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය.” (මතෙව් 24:45-47) මෙම දාසයා එක් පුද්ගලයෙක් විය නොහැකිය, මන්දයත් පෙන්තකොස්තයේ ක්‍රිස්තියානි සභාව ආරම්භ වූ අවස්ථාවේ පටන්, ගණන් ගැනීමක් කරන්ට, එහි ස්වාමියා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම දක්වා ඔහු ආත්මික ආහාර සැපයිය යුතුව තිබූ නිසාය. පොළොව මත සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනා මොනයම් කාලයකදී හෝ වේවා මෙම විශ්වාස වූ නුවණ ඇති දාස පන්තියට අයත් වන බව සත්‍යය කරුණු වලින් අඟවයි.
3. දාස පන්තියේ පළමු සාමාජිකයන්ට කවරෙක් ඇතුළත් කරගනු ලැබීද?
3 විශ්වාස වූ නුවණ ඇති දාස පන්තියේ මුල් සාමාජිකයන්ට ඇතුළත් කරගනු ලැබුවේ කවුරුන්ද? ඉන් එක්කෙනෙක් නම්, “මාගේ බැටළුවන් පෝෂණයකරපන්න” යන යේසුස්වහන්සේගේ ආඥාවට කීකරු වූ ප්‍රේරිත පේතෘස්ය. (යොහන් 21:17) තමාගේ නම දරන සුවිශේෂය ලිවූ, මතෙව්, මෙන්ම දේවානුභාවය ලත් ලිපි ලිවූ පාවුල්, යාකොබ් හා යූද් දාස පන්තියේ වෙනත් මුල් සාමාජිකයන්ට අයත් වූහ. එළිදරව් පොත, සිය සුවිශේෂය හා සිය ලිපි ලිවූ, ප්‍රේරිත යොහන්ද විශ්වාස වූ නුවණ ඇති දාස පන්තියේ සාමාජිකයෙකි. මේ අය යේසුස්වහන්සේගේ පැවරුමේ ප්‍රකාර මේවා ලිවූහ.
4. “ගෙයිවැසියෝ” කවරහුද?
4 තමන් පොළොවේ කොතැනක ජීවත්ව සිටියත්, කණ්ඩායමක් හැටියට ආලේප ලත් සියලුදෙනා දාස පන්තියේ සාමාජිකයන් වන්නේ නම්, “ගෙයිවැසියන්” වන්නේ කවරහුද? ඔවුන්, එම ආලේප ලත් ඒ අයමය, එහෙත් සැලකිල්ලට ගනු ලබන්නේ වෙනත් දෘෂ්ටියකිනි—එනම්, පුද්ගලයන් හැටියටය. එසේය, පුද්ගලයන් හැටියට ඔවුන් ආත්මික ආහාර බෙදා දෙමින් හෝ වළඳමින් සිටින්නේද යන පදනම මත පිහිටා, ඔවුන් “දාසයා” හෝ “ගෙයිවැසියන්” වනු ඇත. මෙය පැහැදිලි කිරීමට නම්, 2 පේතෘස් 3:15, 16හි, වාර්තා කර ඇති පරිදි ප්‍රේරිත පේතෘස්, පාවුල්ගේ ලිපිවලට යොමු දක්වයි. ඒවා කියවන විට, පේතෘස්, දාස පන්තියේ නියෝජිතයෙක් හැටියට පාවුල් විසින් සපයනු ලබන ආත්මික ආහාරය මත පෝෂණය ලබන ගෙයිවැසියන්ගෙන් කෙනෙක් වන්නේය.
5. (අ) ප්‍රේරිතයන්ගෙන් පසු ශතවර්ෂයන් තුළ දාසයාට කුමක් සිදුවීද? (ආ) දහනවවන ශතවර්ෂයේ අගභාගයේ කුමන ප්‍රවර්ධන සිදුවීද?
5 මේ සම්බන්ධයෙන්, ගෝඩ්’ස් කිංඩම් ඔෆ් ඒ තවුසන්ඩ් යියර්ස් හෑස් එප්රෝච්ට් නම් පොත පැවසුවේ මෙසේය: “ස්වාමියා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, ශතවර්ෂයන් පුරා ‘විශ්වාසවූ නුවණ ඇති දාස’ පන්තිය පැවත සේවය කළ ආකාරය සම්බන්ධයෙන් අපට පැහැදිලි ඓතිහාසික චිත්‍රයක් නොමැත. පෙනෙන හැටියට ‘දාස’ පන්තියේ එක් පරම්පරාවක් ඊළඟ අනුපූරක පරම්පරාව පෝෂණය කර ඇත. (2 තිමෝති 2:2) එහෙත් දහනවවන ශතවර්ෂයේ පසු භාගයේ ශුද්ධ බයිබලයේ ආත්මික ආහාරයෙන් පෝෂණය ලබන්ට කැමති වූ ඊට ප්‍රේම කළ දේවභයැති අය සිටියහ. . . . බයිබල් පාඩම් පන්ති . . . පටන්ගන්නා ලද අතර ශුද්ධ ලියවිලිවල මූලික සත්‍යයන් පිළිබඳ අවබෝධය වැඩි විය. මෙම බයිබල් ශිෂ්‍යයන් අතර සිටි අවංක පරාර්ථකාමී අය අන්‍යයන් සමඟ ආත්මික ආහාරයේ මෙම ඉතා වැදගත් කොටස් බෙදාගැනීමට උත්සුක වූහ. ‘නියම වේලාවට’ අවශ්‍යව තිබූ ආත්මික ‘කෑම’ ‘ගෙයිවැසියන්ට’ දීම පිණිස පත් කරන ලද ‘දාසයාගේ’ විශ්වසනීය ස්ප්‍රීතුව ඔවුන්ට තිබිණ. එය නියම හා උචිත වේලාව වූ බවත්, එම ආත්මික ආහාරය බෙදා දීම සඳහා හොඳම ක්‍රම මොනවාද යන්නත් වටහාගැනීමෙහි ඔවුහු ‘නැණවත්’ වූහ. ඔවුහු එය බෙදා දීමට බලවත් උත්සාහයක් දැරූහ.”—පිටුව 344-5.a
නවීන කාලවල මුල් ආලෝක ධාරාවන්
6. ක්‍රමානුකූලව සත්‍යය එළිදරව් කිරීම සම්බන්ධයෙන් කැපීපෙනෙන සාධකය කුමක්ද?
6 ආත්මික ආලෝකයේ මෙම ක්රමානුකූල වර්ධනය ලබා දෙන්ට යෙහෝවඃවහන්සේ පාවිච්චි කළ අය සම්බන්ධයෙන් කැපීපෙනෙන එක් කරුණක් වන්නේ ඔවුන් තමන්ටම කීර්තියක් අත් කර නොගැනීමය. වොච් ටවර් සමිතියේ පළමු සභාපතිව සිටි, සී. ටී. රසල්ගේ ආකල්පය වූයේ, ස්වාමීන්වහන්සේ තමන්ගේ නිහතමානී දක්ෂතා පාවිච්චි කිරීමට සතුටින් සිටි බවය. ඔහුගේ සතුරන් පාවිච්චි කරන්ට නැඹුරු වූ විශේෂණ නාමයන් සම්බන්ධයෙන්, සහෝදර රසල් පුළුල් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ “රසල්වාදියෙක්” කිසිදිනක තමාට හමු වී නැති බවත්, “රසල්වාදය” වැනි දෙයක් නොමැති බවත්ය. සෑම කීර්තියක්ම දෙවියන්වහන්සේට දෙනු ලැබීය.
7. තමන් සැබවින්ම විශ්වාස වූ නුවණ ඇති දාසයා සමඟ සම්බන්ධ වී සිටි බවට, සහෝදර රසල් හා ඔහුගේ හවුල් වැඩකරුවන් ඉදිරිපත් කළ සාක්ෂි මොනවාද?
7 ප්‍රතිඵලවලින් විනිශ්චය කරන කල, යෙහෝවඃවහන්සේගේ ආත්මය සහෝදර රසල්ගේ හා ඔහු සමඟ හවුල් වූ අයගේ බලවත් උත්සාහයන්ට මඟ පෙන්වමින් තිබූ බවට කිසිම සැකයක් නොමැත. විශ්වාස වූ නුවණ ඇති දාසයා බවට හඳුනාගත හැකි සාක්ෂි ඔවුහු ඉදිරිපත් කළහ. ඒ කාලයේ විසූ බොහෝ පැවිද්දන් බයිබලය දේවානුභාවය ලත් වචනය බව, එමෙන්ම යේසුස්වහන්සේ දේවපුත්‍රයා බව විශ්වාස කරන්නේ යයි කියා සිටියත්, ඔවුහු ත්‍රිත්වය, මිනිස් ආත්මයේ අමරණීයත්වය හා සදාකාල වධදීම වැනි මිථ්‍යා බබිලෝනිය ධර්ම ඉගැන්වීම්වලට දායක වූහ. සහෝදර රසල් හා ඔහුගේ සහායයන්ගේ නිහතමානී වෑයම්, යේසුස්වහන්සේගේ පොරොන්දුව ඉටු කරමින්, පෙර කවරදාකවත් නොවූ ආකාරයට සත්‍යය බබළන්ට සැලැස්වූයේ සැබවින්ම ශුද්ධාත්මය හේතුවෙනි. (යොහන් 16:13) ආලේප ලත් එම බයිබල් ශිෂ්‍යයෝ, ස්වාමියාගේ ගෙයි වැසියන්ට ආත්මික ආහාර සැපයීමට අණ ලබා සිටින, සැබෑ විශ්වාස වූ නුවණ ඇති දාස පන්තිය තමන්බවත් සනාථ කළහ. ඔවුන්ගේ වෑයම් ආලේප ලත් අයව එකතු කිරීමට මහත් දායකත්වයක් ලබා දිණ.
8. යෙහෝවඃවහන්සේ, බයිබලය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා ශුද්ධාත්මය පිළිබඳව බයිබල් ශිෂ්‍යයෝ කුමන මූලික සත්‍යයන් පැහැදිලිව තේරුම්ගත්තෝද?
8 යෙහෝවඃවහන්සේ ශුද්ධාත්මය කරණකොටගෙන ආලෝක ධාරාවන්ගෙන් මෙම මුල් බයිබල් ශිෂ්‍යයන්ට අනුග්‍රහ දැක්වූ ආකාරය, දැකීමට විශිෂ්ටය. මුල පිරීමක් හැටියට, මැවුම්කරුවාණන් පවතින බවත්, උන්වහන්සේට යෙහෝවඃ නම් අසහාය නාමයක් ඇති බවත්, ඔවුහු ස්ථීරව තහවුරු කළහ. (ගීතාවලිය 83:17; රෝම 1:20) යෙහෝවඃවහන්සේට ප්රමුඛ ගුණාංග හතරක්—එනම්, බලය, යුක්තිය, ප්‍රඥාව හා ප්‍රේමය—ඇති බවත් ඔවුහු දුටහ. (උත්පත්ති 17:1; ද්විතීය කථාව 32:4; රෝම 11:33; 1 යොහන් 4:8) මෙම ආලේප ලත් ක්‍රිස්තියානීහු බයිබලය, දෙවියන්වහන්සේගේ ආනුභාවය ලත් වචනය හා සත්‍යය බවත් පැහැදිලිව තහවුරු කළහ. (යොහන් 17:17; 2 තිමෝති 3:16) වැඩිදුරටත්, දේවපුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මවන ලද බවත්, උන්වහන්සේ සියලු මිනිස්වර්ගයා වෙනුවෙන් මිදීමේ මිලයක් හැටියට සිය ජීවිතය දුන් බවත් ඔවුහු ප්‍රකාශ කළහ. (මතෙව් 20:28; කොලොස්සි 1:15) ශුද්ධාත්මය, ත්‍රිත්වයක තෙවන තැනැත්තා හැටියට නොව, දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරික බලය හැටියට සලකනු ලැබීය.—ක්‍රියා 2:17.
9. (අ) මිනිසාගේ ස්වභාවය හා බයිබලයේ ඉරණම් පිළිබඳව බයිබල් ශිෂ්‍යයන්ට පැහැදිලි වූ සත්‍යයන් මොනවාද? (ආ) යෙහෝවඃවහන්සේගේ සේවකයෝ වෙනත් කුමන සත්‍යයන් පැහැදිලිව දුටුවෝද?
9 මිනිසාට අමරණීය ආත්මයක් නැති මුත් එය මරණීය ආත්මයක් බව බයිබල් ශිෂ්‍යයෝ පැහැදිලිව දුටහ. “පාපයේ කුලී නම් මරණය” විනා සදාකාලික වධ වේදනාවන් නොවන බවත්, දැවෙන නිරයක් වැනි ස්ථානයක් නොමැති බවත්, ඔවුහු තේරුම්ගත්හ. (රෝම 5:12; 6:23; උත්පත්ති 2:7; එසකියෙල් 18:4) එපමණක්ද නොව, පරිණාමවාදය ශුද්ධ ලියවිල්ලට පටහැනි බව පමණක් නොව, සහමුලින්ම සත්‍යවාදී පදනමකින් තොර බවද ඔවුහු පැහැදිලිව දුටහ. (උත්පත්ති, පරිච්ඡේද 1 සහ 2) බයිබලය ඉරණම් දෙකක්—එනම්,ක්‍රිස්තුස්වහන්සේගේ අඩිපාරේ ගමන් කරන ආලේප ලත් අනුගාමිකයන් 1,44,000දෙනාට ස්වර්ගීය එකකුත්, අසංඛ්‍යාත “වෙනත් බැටළු[වන්]” ගෙන් යුත් “මහත් සමූහය[කට]” පාරාදීස පොළොවකුත්—ඉදිරිපත් කරන බවද ඔවුහු වටහාගත්හ. (එළිදරව් 7:9; 14:1; යොහන් 10:16) පොළොව සදාකාලයටම පවතින බවත්, වෙනත් බොහෝ ආගම්වලින් උගන්වනු ලබන ආකාරයට එය දැවී නොයන බවත්, එම මුල් බයිබල් ශිෂ්‍යයෝ පිළිගත්හ. (දේශනාකාරයා 1:4; ලූක් 23:43) ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම අදෘශ්‍යමාන බවද, ඉන් අනතුරුව උන්වහන්සේ ජාතීන් කෙරෙහි විනිශ්චය පමුණුවා භූමික පාරාදීසයක් පිහිටුවන බවද ඔවුහු ඉගෙනගත්හ.—ක්‍රියා 10:42; රෝම 8:19-21; 1 පේතෘස් 3:18.
10. බව්තීස්මය, ගිහි-පැවිදි වෙනස හා ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීම පිළිබඳව බයිබල් ශිෂ්‍යයෝ කුමන සත්‍යයන් ඉගෙනගත්තෝද?
10 ශුද්ධ ලියවිලිමය බව්තීස්මය ළදරුවන් මතට පැන් ඉසීම නොව, එහෙත් මතෙව් 28:19, 20හි යේසුස්වහන්සේගේ ආඥාව පැවැත්වීමක් හැටියට, එය උගන්වන ලද විශ්වාසිකයන්ව දියේ ගිල්වීම බවද බයිබල් ශිෂ්‍යයෝ ඉගෙනගත්හ. ගිහි-පැවිදි වෙනසක් සඳහා ශුද්ධ ලියවිලිමය පදනමක් නොමැති බවද ඔවුහු වටහාගන්ට යෙදුණාහ. (මතෙව් 23:8-10) ඊට පටහැනිව, ක්‍රිස්තියානීන් සියලුදෙනාම ශුභාරංචියේ දේශකයන් විය යුතුය. (ක්‍රියා 1:8) ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ සිහිකිරීම වසරකට වරක් පමණක්, නීසාන් 14වන දින පැවැත්විය යුතු බව බයිබල් ශිෂ්‍යයෝ අගය කළහ. එපමණක්ද නොව, ඊස්ටර් (පාස්කුව) මිථ්‍යාදෘෂ්ටික නිවාඩු දිනයක් බවද ඔවුහු දුටහ. මෙයට අමතරව, තමන්ගේ වැඩකටයුතුවලට දෙවියන්වහන්සේ අනුබලයක් දෙමින් සිටි බව එම ආලේප ලත් අයට කොතරම් නිසැක වූවාද කිවහොත්, ඔවුහු මුදල් එකතු කිරීමක්වත් නොකළහ. (මතෙව් 10:8) ක්‍රිස්තියානීන් ශුද්ධාත්මයේ ඵල වර්ධනය කර ගැනීමද ඇතුළුව බයිබල් ප්රතිපත්තිවලින් ජීවත් විය යුතු බව මුල් කාලවල පටන් ඔවුහු තේරුම්ගත්හ.—ගලාති 5:22, 23.
වැඩිවන්නාවූ ආලෝක ධාරාවන්
11. ක්‍රිස්තියානීන්ගේ බලපැවරුම මෙන්ම බැටළුවන් හා එළුවන් පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාව කෙරෙහි කිනම් ආලෝකයක් විහිදුවනු ලැබීද?
11 විශේෂාකාරයෙන් වර්ෂ 1919 පටන් යෙහෝවඃවහන්සේගේ සේවකයෝ වැඩිවන්නාවූ ආලෝක ධාරාවන්ගෙන් ආශීර්වාද ලබා ඇත්තාහ. වර්ෂ 1922 සීඩා පොයින්ට්හි පවත්වන ලද සමුළුවේදී, වොච් ටවර් සමිතියේ දෙවන සභාපති, ජේ. එෆ්. රදෆඩ්, යෙහෝවඃවහන්සේගේ සේවකයන්ගේ මූලික වගකීම “රජාණන් හා උන්වහන්සේගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” බව අවධාරණය කළ විට, කොතරම් දීප්තිමත් ආලෝකයක් විහිදුනේද! ඊළඟ වසරේම, බැටළුවන් හා එළුවන් පිළිබඳ උපමාව කෙරෙහි දීප්තිමත් ආලෝකයක් විහිදිණ. මෙම අනාවැකිය, කලින් කල්පනා කළ පරිදි අනාගතයේ සහස්‍රවර්ෂය තුළ නොව, වර්තමානයේ ස්වාමීන්වහන්සේගේ දවස තුළ ඉටුවීමට නියමිතව තිබූ බව දකිනු ලැබීය. එම සහස්‍රවර්ෂය තුළ, ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන් රෝගීව හෝ සිරගත වූ තත්වයක සිටින්ට යන්නේ නැත. ඇරත්, සහස්‍රවර්ෂය අවසානයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොව, යෙහෝවඃ දෙවියන්වහන්සේ විනිශ්චය සිදු කරනවා ඇත.—මතෙව් 25:31-46.
12. අර්මගෙදොන් සම්බන්ධයෙන් කිනම් ආලෝක ධාරාවන් නිකුත් වීද?
12 වර්ෂ 1926දී තවත් දීප්තිමත් ආලෝක ධාරාවක්, එනම් වරක් බයිබල් ශිෂ්‍යයන් කල්පනා කළ ආකාරයට, අර්මගෙදොන් යුද්ධය සමාජ විප්ලවයක් නොවන බව එළිදරව් කළේය. ඒ වෙනුවට, එය යෙහෝවඃවහන්සේ සිය බලය කොතරම් පැහැදිලිව විදහාපෙන්වන යුද්ධයක් වනු ඇත්තේද කිවහොත්, එහිදී සියලු ජනයා උන්වහන්සේ දෙවියන් බවට ඒත්තු ගැන්වීමක් ලබනවා ඇත.—එළිදරව් 16:14-16; 19:17-21.
නත්තල—මිථ්‍යාදෘෂ්ටික නිවාඩු දිනයකි
13. (අ) නත්තල උත්සවාකාරයෙන් පැවැත්වීම කෙරෙහි කිනම් ආලෝකයක් හෙළනු ලැබුවේද? (ආ) උපන්දින තවදුරටත් උත්සවාකාරයෙන් සමරණු නොලැබුවේ මන්ද? (පාදසටහන ඇතුළත් කරන්න.)
13 ඉන් කෙටි කලකට පසු, ආලෝක ධාරාවක් බයිබල් ශිෂ්‍යයන් හට නත්තල උත්සවාකාරයෙන් පැවැත්වීම නැවැත්වීමට සැලැස්වීය. ඊට කලින් නත්තල ලෝක ව්‍යාප්තව බයිබල් ශිෂ්‍යයන් විසින් උත්සවාකාරයෙන් පවත්වන ලද අතර, බෘක්ලින් මූලස්ථානයේ එය ඉතා උත්සවාකාර අවස්ථාවක් විය. එහෙත් දෙසැම්බර් 25වන දින එම උත්සවය පැවැත්වීම සැබවින්ම මිථ්‍යාදෘෂ්ටික වන බවත්, මිථ්යාදෘෂ්ටිකයන්ව ආගමට හරවාගැනීම පහසු කරවීමට අපදෘෂ්ටික ක්‍රිස්තියානි ලෝකයෙන් එය තෝරාගනු ලැබූ බවත්, තේරුම්ගනු ලැබීය. එපමණක්ද නොව, යේසුස්වහන්සේ ශීත ඍතුවේ නොඉපදෙන්ට ඇති බවද සොයාගනු ලැබීය, මන්දයත් උන්වහන්සේගේ උපත සිදුවූ අවස්ථාවේ, එඬේරුන් පිට්ටනියෙහි සිය බැටළු රැළවල් පෝෂණය කරමින් සිටි අතර, මෙය දෙසැම්බර් අගභාගයේ රාත්‍රියක ඔවුන් නොකරන දෙයක් වන නිසාය. (ලූක් 2:8) ඒ වෙනුවට, ශුද්ධ ලියවිල්ල අඟවන්නේ යේසුස්වහන්සේ ඔක්තෝබර් 1වන දින පමණ උපත ලැබූ බවය. යේසුස්වහන්සේගේ උපතට වසර දෙකකට පමණ පසු, උන්වහන්සේව බලන්ට පැමිණි ඥානවන්තයන් යයි හඳුන්වන අය මිථ්‍යාදෘෂ්ටික ඉන්ද්රජාලකයන් බවද බයිබල් ශිෂ්‍යයෝ තේරුම්ගත්හ.b
අලුත් නාමයක්
14. බයිබල් ශිෂ්‍යයන් යන නාමය යෙහෝවඃවහන්සේගේ ජනයාට යුක්තිසහගත නොවූයේ මන්ද?
14 වර්ෂ 1931දී දීප්තිමත් සත්‍යයේ ආලෝක ධාරාවක් එම බයිබල් ශිෂ්‍යයන්ට උචිත ශුද්ධ ලියවිලිමය නාමයක් එළිදරව් කළේය. වෙනත් අය තමන්ට ලබා දී තිබූ රසල්වාදීන්, සහස්‍රවර්ෂය උදාකරන්නන් හා “නිරයක් නැත්තන්” වැනි කවට නාමයන් තමන්ට පිළිගත නොහැකි බව යෙහෝවඃවහන්සේගේ ජනයා තේරුම්ගත්හ.c එහෙත් තමන් යොදාගෙන තිබූ නාමයද—එනම්, ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් යන නාමය—තමන්ට යුක්තිසහගත නොවූ බවද ඔවුහු තේරුම්ගත්හ. ඔවුහු හුදු බයිබල් ශිෂ්‍යයන්ට වැඩියමක් වූහ. ඇරත්, බයිබල් ශිෂ්‍යයන්ව සිටියද, මෙම බයිබල් ශිෂ්‍යයන්ට කිසිසේත් සමාන නොවූ වෙනත් බොහෝදෙනෙක්ද සිටියහ.
15. වර්ෂ 1931දී බයිබල් ශිෂ්‍යයන් ආරූඪ කරගත්තේ කුමන නාමයද, එමෙන්ම එය යෝග්‍ය වන්නේ මන්ද?
15 බයිබල් ශිෂ්‍යයන් නව නාමයක් තබාගන්ට යෙදුණේ කෙසේද? වසර ගණනාවක් පුරා මුරටැඹ යෙහෝවඃවහන්සේගේ නාමය ප්‍රසිද්ධ කරමින් සිටියේය. එබැවින්, බයිබල් ශිෂ්‍යයන් යෙසායා 43:10හි දකින්ට ලැබෙන නාමය අදාළ කරගැනීම ඉතා යෝග්‍ය දෙයක් විය: “මම ඒ තැනැන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.”
නිදොස් කිරීම හා “මහත් සමූහය”
16. ප්‍රතිසංස්කරණ අනාවැකි පලස්තීනයට හැරී ගිය ස්වාභාවික යුදෙව්වන්ට අදාළ නොවන්නේ මන්ද, එහෙත් ඒවා අදාළ වන්නේ කවරෙකුටද?
16 වොච් ටවර් සමිතිය මගින් 1932දී ප්‍රකාශයට පත් කරන ලද වින්ඩිකේෂන් (නිදොස් කිරීම) නම් ප්රකාශනයේ දෙවන වෙළුමේ, ආලෝක ධාරාවක් එළිදරව් කළේ යෙසායා, යෙරෙමියා, එසකියෙල් මෙන්ම, වෙනත් දිවැස්වරුන් විසින් වාර්තා කරන ලද ප්‍රතිසංස්කරණ අනාවැකි (වරක් කල්පනා කරනු ලැබූ ආකාරයට) අවිශ්වාසයෙන් මෙන්ම, දේශපාලන අභිප්‍රායන්ගෙන් යුක්තව පලස්තීනයට හැරී යමින් සිටි මාංසමය යුදෙව්වන්ට අදාළ නොවූ බවය. ඒ වෙනුවට, පො.යු.පෙ. 537දී බබිලෝනියේ වහල්භාවයෙන් යුදෙව්වන් නැවත හැරී ගිය විට, සුළු පරිමාණයේ ඉටුවීමක් තිබූ මෙම ප්‍රතිසංස්කරණ අනාවැකි, මහා පරිමාණයේ ඉටුවීමක් ලැබුවේ 1919න් පටන්ගෙන ආත්මික ඉශ්‍රායෙලිතයන්ගේ ගැළවීමෙන් හා ප්රතිසංස්කරණයෙන් මෙන්ම, එහි ප්‍රතිඵලයක් වශයෙන් අදදින යෙහෝවඃවහන්සේගේ සැබෑ සේවකයන් විසින් භුක්තිවිඳින ආත්මික පාරාදීසය සම්බන්ධයෙනි.
17, 18. (අ) කාලයාගේ ඇවෑමෙන්, ආලෝක ධාරාවක් තුළින් යෙහෝවඃවහන්සේගේ මූලික අරමුණ කුමක් බව පෙන්වනු ලැබුවේද? (ආ) 1935දී එළිදරව් 7:9-17 සම්බන්ධයෙන් කුමන ආලෝක ධාරාවක් නිකුත් වීද?
17 කාලයාගේ ඇවෑමෙන්, යෙහෝවඃවහන්සේගේ මූලික අරමුණ වූයේ, මැවිලිවල ගැළවීම නොව, එහෙත් ස්වකීය පරමාධිපත්‍යය නිදොස් කිරීම බව ආලෝක ධාරාවන් අනාවරණය කළේය. බයිබලයේ වඩාත්ම වැදගත් තේමාව, මිදීමේ මිලය නොව, රාජ්‍යය බව පැහැදිලි විය, මන්දයත් එය යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කරනු ඇති බැවිනි. එය කොතරම් ආලෝක ධාරාවක් වූයේද! කැපවූ ක්‍රිස්තියානීන් තවදුරටත් ස්වර්ගයට යෑම කෙරෙහි තමන්ගේ මූලික සැලකිල්ල යොමු කළේ නැත.
18 වර්ෂ 1935දී විහිදුවනු ලැබු දීප්තිමත් ආලෝක ධාරාවක් මගින් එළිදරව් 7:9-17හි සඳහන් මහත් සමූහය ස්වර්ගයේ ද්විතීයක පන්තියක් නොවන බව අනාවරණය කරන ලදි. මුලින් කල්පනා කරනු ලැබුවේ එම වගන්තිවල සඳහන් අය සම්පූර්ණයෙන්ම විශ්වාසවන්තව නොසිටීම නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ රජවරුන් හා පූජකයන් හැටියට පාලනය කරමින් සිංහාසනාරුඪව සිටිනවා වෙනුවට, සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටින ආලේප ලද්දවුන්ගෙන් සමහරෙකු කියාය. එහෙත් යම්තාක් දුරට විශ්වසනීයව සිටීම වැනි දෙයක් කිසිසේත් නොමැත. කෙනෙකු විශ්වසනීයව සිටිනු ඇත, නොඑසේ නම් අවිශ්වාසනීය වනු ඇත. එබැවින් මෙම අනාවැකිය භූමික බලාපොරොත්තුවක් ඇති ව දැන් සියලු ජාතීන්ගෙන් එක්රැස් කරනු ලබන්නාවූද අසංඛ්‍යාත මහත් සමූහයකට යොමු දක්වන බව තේරුම්ගනු ලැබීය. ඔවුහු මතෙව් 25:31-46හි “බැටළුවන්” මෙන්ම යොහන් 10:16හි “වෙනත් බැටළුවෝ” වනු ඇත්තාහ.
කුරුසය—ක්‍රිස්තියානි සංකේතයක් නොවේ
19, 20. කුරුසය සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ සංකේතයක් නොවිය හැක්කේ මන්ද?
19 වසර ගණනාවක් පුරා බයිබල් ශිෂ්‍යයෝ ක්‍රිස්තියානි සංකේතයක් හැටියට කුරුසයට ප්‍රසිද්ධත්වයක් ලබා දුන්හ. ඔවුන්ට “කුරුසයක්-හා-ඔටුන්නක්” ඇති පළඳනාවක්ද තිබිණ. කිං ජේම්ස් වර්ෂන් බයිබල් පරිවර්තනය අනුව, තමාගේ “කුරුසිය” අරගන්නැයි යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටි අතර, උන්වහන්සේ කුරුසයක් මත මරණයට පත් කරනු ලැබුවේයයි බොහෝදෙනෙක් විශ්වාස කරන්ට යෙදුණාහ. (මතෙව් 16:24; 27:32) දශක ගණනාවකට මෙම සංකේතය වොච් ටවර් සඟරාවේ මුල්පිටුවේද දකින්ට ලැබිණ.
20 සමිතිය මගින් 1936 ප්‍රකාශයට පත් කරන ලද, රිචස් නම් පොත, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මරණයට පත් කරනු ලැබුවේ කුරුසයක් මත නොව, කෙළින් සිටුවන ලද රිටක්, නොහොත් උල් කරන ලද ලීයක් මත බව පැහැදිලි කළේය. එක් බලධාරියෙකුට අනුව, කිං ජේම්ස් වර්ෂන් බයිබලයේ “කුරුසිය” හැටියට පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය (ස්ටෞ.රොස්ʹ) “මූලිකව කෙළින් සිටුවන ලද ඉන්නක් හෝ උල් කරන ලද ලීයක් අඟවයි. [එය] ලී දෙකකින් යුක්තව දේවගැතියන් විසින් පාවිච්චි කරනු ලබන දෙයින් වෙන් කොට හඳුනාගත යුතුය. මෙම පසුව සඳහන් කරන්ට යෙදුන කුරුසය පුරාතන චල්ඩියාවෙන් ආරම්භ වූ අතර, පාවිච්චි කරනු ලැබුවේ තම්මුස් නම් දෙවියන්ගේ සංකේතයක් හැටියටය. එයට මහත් ඇලුම්කමක් දක්වනවා වෙනුවට, යේසුස්වහන්සේව මරණයට පත් කරනු ලැබූ උපකරණය සැලකිය යුත්තේ පිළිකුල්සහගතවය.
21. මීළඟ ලිපියේ කුමක් සලකා බලනු ලබනවා ඇත්ද?
21 ප්‍රබල ආලෝක ධාරාවන් හැටියටත්, සුළු ආලෝක ධාරාවන් හැටියටත්, සැලකිය හැකි වැඩිමනත් උදාහරණ ඇත. මේ පිළිබඳ සාකච්ඡාවකට කරුණාකර මීළඟ ලිපිය බලන්න.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
b මෙතෙක් සිදුවූ වඩාත්ම වැදගත් උපත පවා උත්සවාකාරයෙන් සැමරිය නොහැකි නම්, කිසිම උපන්දිනයක් අප උත්සවාකාරයෙන් නොපැවැත්විය යුතු බව කාලයාගේ ඇවෑමෙන් තේරුම්ගනු ලැබීය. ඇරත්, ඊශ්‍රායෙලිතයන් හෝ මුල් ක්‍රිස්තියානීන් උපන්දින උත්සවාකාරයෙන් පැවැත්වූයේ නැත. බයිබලයේ සඳහන්ව ඇත්තේ උපන්දිනයන් දෙකක් පමණකි, එකක් ඵාරාවෝගේ වන අතර, අනික හෙරොද් අන්තිපස්ගේය. ඒ සෑම උත්සවයක්ම මිනීමැරීමකින් සලකුණු විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් උපන්දින උත්සවාකාරයෙන් නොපවත්වන්නේ, මෙම උත්සවයන්ට මිථ්‍යාදෘෂ්ටික ආරම්භයන් ඇති නිසාත්, උපන්දිනය සමරණ තැනැත්තාව උසස් කිරීමට ඒවා තුඩුදෙන නිසාත්ය.—උත්පත්ති 40:20-22; මාර්ක් 6:21-28.
c මෙය ක්‍රිස්තියානි ලෝකයේ නිකායන් ගණනාවක් විසින් කරනු ලැබූ වැරැද්දකි. ලුතරන් වනාහි මාටින් ලූතර්ගේ එදිරිවාදීන් ඔහුගේ අනුගාමිකයන්ට ලබා දුන්නාවූද, පසුව ඔවුන් විසින් අදාළ කරගනු ලැබුවාවූද විකට නාමයකි. සමානාකාරයෙන්, බැප්ටිස්ට්වරුද තමන් ජලයේ ගිල්වීමෙන් කරන බව්තීස්මයක් දේශනා කිරීම හේතුවෙන් පිටස්තරයන් ඔවුන්ට ලබා දුන් විකට නාමය ආරූඪ කරගත්ග. බොහෝදුරට එයට සමානව, මෙතොදිස්තවරුන් අදාළ කරගත්තේ පිටස්තරයෙකු විසින් දෙනු ලැබූ නාමයකි. සොසයටි ඔෆ් ෆ්‍රෙන්ඩ්ස් යන සමිතිය ක්වේකර් යන නමින් හඳුන්වන්ට යෙදුණු ආකාරය පිළිබඳව, ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “ක්වේකර් යන නාමය මුලින් පාවිච්චි කරනු ලැබුවේ, ඉංග්‍රීසි ජාතික විනිශ්චකරුවෙකුට ‘ස්වාමීන්වහන්සේගේ වචනය හමුවේ වෙව්ලන්නැ’යි පැවසූ, [එහි නිර්මාතෘවර] ෆොක්ස්ට නිග්‍රහ කිරීම සදහාය. එම විනිශ්චකරුවා ෆොක්ස්ව ‘ක්වේකර්’ කෙනෙකු [වෙවුලන්නෙකු] යයි හැඳින්වීය.”
ඔබට මතකද?
◻ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කවුද, එමෙන්ම “ගෙයිවැසියෝ” කවරහුද?
◻ නවීන කාලවල මුල් ආලෝක ධාරාවන්ගෙන් සමහරක් මොනවාද?
◻ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් යන නව නාමය යෝග්‍ය වූයේ මන්ද?
◻ වර්ෂ 1935දී එළිදරව් වූයේ කුමන වැදගත් සත්‍යයන්ද?
[17වන පිටුවේ පින්තූරය]
සී.ටී.රසල් හා ඔහුගේ සහායකයන් ආත්මික ආලෝකය විහිදුවා හැරියද, සියලු කීර්තිය යොමු වූයේ යෙහෝවඃවහන්සේ වෙතටය