යහපත් ක්‍රියාවලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න
1 ඔබ දරුණු සුළි සුළඟකට හසු වූ අවස්ථාවක ළඟපාත නිවසකට යන්න ලැබුණොත් ඔබේ සිතට මොනතරම් සහනයක් දැනෙයිද! එම නිවස ආරක්ෂාකාරි ස්ථානයක් නම් හා නිවැසියන් ඔබට කාරුණික ලෙස ආගන්තුක සත්කාරය පිරිනමයි නම්, එහි සිටින්න ලැබීම ගැන ඔබ සතුටු වෙනවාට කිසිම සැකයක් නැහැ. රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය මගින්, සාතන්ගේ ක්‍රමය තුළ සිටින ජනයාට එවන් ආරක්ෂාකාරි නිවසක් බඳු ස්ථානයකට යෑමට අවස්ථාව සැලසෙනවා. මෙම ආරක්ෂක ස්ථානයට පැමිණීම සඳහා අපේ හැසිරීම මගින් ජනයා තුළ පෙලඹවීමක් ඇති කළ යුතු බව යේසුස් පැවසූ මෙම වදන්වලින් පැහැදිලි වෙයි. “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාණන්ට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.”—මතෙ. 5:16.
2 යෙහෝවා කෙරෙහිත් ඔහුගේ සංවිධානය කෙරෙහිත් අන් අයගේ සිත් ඇදී යන ආකාරයට අපට හැසිරෙන්න පුළුවන් කොහොමද? ලූක් 6:31හි සහ 10:27හි සඳහන් යේසුස් පැවසූ වදන්වලට අනුව සෑම දවසකම අපේ ජීවිතය සකස් කරගැනීමෙන් අපට එය කරන්න පුළුවන්. එම වගන්තිවල සඳහන් යේසුස්ගේ වදන්, මිනිසුන් කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීමට අප තුළ පෙලඹවීමක් ඇති කරවයි. අපි මෙම පෙලඹවීමට අනුව ක්‍රියා කරද්දී, අන් අය කෙරෙහි අනුකම්පාවක් හා සැලකිල්ලක් නොමැති මේ ලෝකයට වඩා අපි වෙනස් බව අනිත් අය දකියි.
3 සහෝදරියක් මඟීන්ව ගෙන යන යාත්‍රාවක ගමන් කරමින් සිටින විට, එහි සිටි එක් තරුණ ස්ත්‍රියක් බොහෝ දුරක් ගමන් කිරීම නිසා අසනීප ගතියකින් පෙළෙන බව දැක්කා. ඒ ස්ත්‍රිය ඇගේ කුඩා දරුවාව පවා හරියට බලාගන්න බැරි තත්වයකයි සිටියේ. මේ සහෝදරිය ඇයට උපකාර කරමින් දරුවාව බලාගත්තා. ඇයට කොහොම ස්තුති කරන්නද කියා ඒ ස්ත්‍රිය පැවසූ අවස්ථාවේදී සහෝදරිය මෙසේ පැවසුවා. ‘ඊළඟ වතාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔයාගේ ගෙදරට ආවහම ඒ අයට ඇහුම්කන් දෙන්න.’ ඒ ස්ත්‍රිය සහෝදරිය කියූ ලෙස කළා. දැන් ඒ ස්ත්‍රියත් ඇගේ ස්වාමිපුරුෂයාත් සාක්ෂිකාරයෝ. සහෝදරිය කළ එම යහපත් ක්‍රියාව, ඔවුන් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වන ආකාරය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළා.
4 අපේ මුළු ජීවිතයම සම්බන්ධයි: අපි අසල්වාසීන් සමඟ කටයුතු කරන විටත්, රැකියා ස්ථානයේදී හා පාසැලේදී අන්‍යයන් සමඟ කටයුතු කරන විටත්, විනෝදාස්වාදයන්වල නිරත වන විටත් අප ගැන මෙන්ම අපේ ආගම ගැන හොඳ හැඟීමක් අන් අය තුළ ඇති වන ආකාරයට හැසිරිය යුතුයි. මේ නිසා අපි අපෙන්ම මෙසේ අසාගැනීම අවශ්‍යයි. ‘මගෙත් මගේ පවුලේ අයගෙත් හැසිරීම ගැන අනිත් අය හිතන්නේ මොනවාද? අපේ නිවස හා ගෙවත්ත පිරිසිදුව හා නිසි පිළිවෙළකට තිබෙන බව අසල්වාසීන්ට දකින්න තිබෙනවාද? අපි වේලාවට හා කඩිසරව වැඩ කරන අය බව අප සමඟ රැකියාව කරන අය හා පාසැලේ ඉගෙනගන්න අය දකිනවාද? අපි විනීතව හා ගෞරවාන්විත ලෙස ඇඳ පැළඳගෙන සිටින බව අනිත් අයට දකින්න තිබෙනවාද?’ අපේ යහපත් ක්‍රියා නිසා අන් අය යෙහෝවාගේ නමස්කාරයට ඇදී එන්න පුළුවන්.
5 ක්‍රිස්තියානීන් මිනිසුන්ගේ සමච්චලයට ලක් විය හැකි බවට පේතෘස් අනතුරු ඇඟෙව්වා. (1 පේතෘ. 4:4) සෙසු මිනිසුන්ගේ දෝෂාරෝපණයට ලක් නොවෙන විදිහට හැසිරෙන්න අපි වගබලා ගත යුතුයි. (1 පේතෘ. 2:12) අපි නමස්කාර කරන දෙවිව ගෞරවයට පත් වන ආකාරයට දිනපතාම හැසිරෙනවා නම්, අපි උස් ස්ථානයක තිබෙන පහන් හා සමානයි. අපේ එම හැසිරීම හරියට යෙහෝවා සපයන ආරක්ෂක ස්ථානයට පැමිණෙන්න කියා අන් අයට කරන ආරාධනයක් හා සමානයි.—මතෙ. 5:14-16.