සැබෑ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ උල්පත වන යෙහෝවා
“ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය; ඔහුගේ සියලු මාර්ග යුක්තියය. ඔහු විශ්වාස වූ අයුක්තියෙන් තොර වූ දෙවිකෙනෙකි.”—ද්විතීය කථාව 32:4, NW.
1. යුක්තිය සඳහා අපට සහජ අවශ්‍යතාවක් ඇත්තේ ඇයි?
අප සැමදෙනා තුළ ප්‍රේමය සඳහා සහජ අවශ්‍යතාවක් ඇත්තාක් මෙන් යුක්තිසහගත ලෙස සලකනු ලබනවාටද අප සියලුදෙනාම බොහෝ සෙයින් ආශා කරයි. අමෙරිකානු රාජ්‍ය නායකයෙකු වන ටොමස් ජෙෆසන් පැවසූ පරිදි: “හැඟීම, දැකීම හා ඇසීම අපේ ශාරීරික සැකැස්මේ කොටසක් වන්නාක් මෙන්, . . . [යුක්තියද] අප තුළ ගැබ්ව පවතින සහජ දෙයක් වෙයි.” යෙහෝවා අපව ඔහුගේ ස්වරූපයට අනුව මැවූ හෙයින් මෙය පුදුමයට හේතුවක් නෙවෙයි. (උත්පත්ති 1:26) ඇත්තෙන්ම, තමාගේම පෞද්ගලිකත්වය පිළිබිඹු කරන ගුණාංග ඔහු අපට දානය කළ අතර, එයින් එකකි යුක්තිය. අපට යුක්තිය සඳහා සහජ අවශ්‍යතාවක් ඇත්තෙත්, සැබෑ යුක්තිය හා ධර්මිෂ්ඨකම රජයන ලොවක ජීවත් වීමට ආශා වන්නෙත් එනිසයි.
2. යෙහෝවාට යුක්තිය කොතරම් වැදගත්ද? තවද අප දිව්‍ය යුක්තියෙහි අරුත ග්‍රහණය කරගත යුත්තේ ඇයි?
2 යෙහෝවා සම්බන්ධයෙන් බයිබලය අපට සහතික කරන්නේ මෙලෙසයි: “ඔහුගේ සියලු මාර්ග යුක්තියය.” (ද්විතීය කථාව 32:4) නමුත් අයුක්තියෙන් බර වී ඇති ලොවක, දිව්‍ය යුක්තියෙහි අරුත ග්‍රහණය කරගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි. කොහොමවුණත්, දෙවිගේ වචනයේ පිටු පෙරළීමෙන්, දෙවි යුක්තිය ක්‍රියාවට නංවන ආකාරය අපට වටහාගත හැකි අතර, දෙවිගේ පුදුමාකාර මාර්ග අපට තවත් හොඳින් තේරුම්ගැනීමටත් හැකි වෙයි. (රෝම 11:33) මනුෂ්‍ය සංකල්පවලින් යුක්තිය පිළිබඳ අපේ වැටහීම බලපෑමට ලක්ව තිබිය හැකි නිසා බයිබලයේ කෝණයෙන් යුක්තිය තේරුම්ගැනීම වැදගත් වෙයි. මනුෂ්‍යයෙකුගේ පැත්තෙන් බලන කල, යුක්තිය නිකම්ම නීතිය සාධාරණ අයුරින් ක්‍රියාවට නැංවීමක් ලෙස සැලකිය හැකියි. එසේත් නැතිනම් දාර්ශනිකයෙකු වූ ෆ්‍රැන්සිස් බේකන් ලිවූ පරිදි: “මනුෂ්‍යයෙකුට යුතු දේ දීම යුක්තිය කියා පැවසිය හැකියි.” කොහොම වුණත්, යෙහෝවාගේ යුක්තියට මීට වඩා බොහෝ දෑ ඇතුළත් වෙයි.
යෙහෝවාගේ යුක්තිය හද උණුසුම් කරවයි
3. යුක්තිය සහ ධර්මිෂ්ඨකම සඳහා බයිබලයේ මුල් භාෂාවේ යොදාගෙන ඇති වචන සලකා බැලීමෙන් කුමක් උගත හැකිද?
3 බයිබලය තුළ මුල් භාෂාවේ වචන යොදාගෙන ඇත්තේ කෙසේද කියා සලකා බැලීමෙන්, දෙවිගේ යුක්තියට අයත් වන පරාසය කුමක්ද යන්න වඩාත් හොඳින් තේරුම්ගත හැකියි.a උනන්දුවට කරුණක් වන්නේ, ශුද්ධ ලියවිලි තුළ යුක්තිය හා ධර්මිෂ්ඨකම අතර එතරම් වැදගත්කමින් යුත් වෙනසක් නැතිවීමයි. ඇත්තෙන්ම කියනවා නම්, සමහරක් අවස්ථාවලදී එම හෙබ්‍රෙව් වචන සමාන්තරව යොදාගැනෙයි. යෙහෝවා තම සෙනඟට අවවාද කරන විට ආමොස් 5:24හි මෙය අපට දැකගත හැකියි: “යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා.” තවදුරටත්, අවධාරණය කිරීමේ අරමුණින් ‘යුක්තිය හා ධර්මිෂ්ඨකම’ යන පද බොහෝ අවස්ථාවලදී එකට දිස් වෙයි.—ගීතාවලිය 33:5; යෙසායා 33:5; යෙරෙමියා 33:15; එසකියෙල් 18:21; 45:9.
4. යුක්තිය ක්‍රියාවට නංවාලීම යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? එමෙන්ම යුක්තියේ ඉහළම ප්‍රමිතිය කුමක්ද?
4 මෙම හෙබ්‍රෙව් හා ග්‍රීක් වචනවලින් දෙන්නේ කුමන අදහසක්ද? ශුද්ධ ලියවිලිමය කෝණයකින් යුක්තිය ක්‍රියාවට නංවාලීම යනු හරි හා සාධාරණ දෙය කිරීමයි. සදාචාරමය නීති හා ප්‍රතිපත්ති හෝ හරි හා සාධාරණ දේ පිහිටුවන්නේ යෙහෝවා නිසා, යෙහෝවා දේවල් කරන ආකාරය, යුක්තියේ ඉහළම ප්‍රමිතිය වෙයි. ධර්මිෂ්ඨකම (ට්සෙʹඪෙඛ්) හැටියට දක්වා ඇති හෙබ්‍රෙව් වචනය “ආචාරවිද්‍යාත්මක හා සදාචාරමය ප්‍රමිතියක් අඟවයි; තවද පැ[රණි] ගි[විසුම] තුළ මෙම ප්‍රමිතිය දෙවිගේ ස්වභාවය හා කැමැත්ත වන බව” පැරණි ගිවිසුමේ දේවධර්මවාදී වාග්පොත (ඉංග්‍රීසියෙන්) පැහැදිලි කරයි. එමනිසා දෙවි තමාගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය හා අසම්පූර්ණ මිනිසුන් සමඟ ඔහු විශේෂයෙන්ම කටයුතු කරන ආකාරය සැබෑ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ නියම මුහුණත අනාවරණය කරයි.
5. දෙවිගේ යුක්තිය හා බැඳී ඇති ගුණාංග මොනවාද?
5 දිව්‍ය යුක්තිය කටුක දැඩි එකක් නොව, හද උණුසුම් කරවන එකක් බව ශුද්ධ ලියවිලි පැහැදිලිව පෙන්වයි. දාවිත් මෙසේ ගැයුවා: ‘යෙහෝවා යුක්තියට ප්‍රිය වෙයි, ස්වකීය ශුද්ධවන්තයන් අත්නාරියි.’ (ගීතාවලිය 37:28) දෙවිගේ යුක්තිය, තම සේවකයන් කෙරෙහි පක්ෂපාත වීමට හා දයාව පෙන්වීමට ඔහුව පොලඹවයි. දිව්‍ය යුක්තිය අපගේ අවශ්‍යතාවන්වලට සංවේදී වන අතර, අපේ අසම්පූර්ණකම් තේරුම්ගනියි. (ගීතාවලිය 103:14) එයින් අදහස් කරන්නේ දෙවි දුෂ්ටකම නොසලකා හරින බව නෙවෙයි; මන්දයත් එසේ කිරීම අයුක්තියට දිරි දීමක් බැවිනි. (1 සාමුවෙල් 3:12, 13; දේශනාකාරයා 8:11) තමා “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද” ඇත්තාවූ කෙනෙක් බව යෙහෝවා මෝසෙස්ට පැහැදිලි කළා. දෙවි වරදට හා අයුතුකමට සමාව දීමට කැමති වුණත්, දඬුවම ලැබීමට යුතු අයගෙන් එය වළක්වාලන්නේ නැහැ.—නික්මයාම 34:6, 7.
6. යෙහෝවා මිහිපිට සිටින තම දරුවන් සමඟ කටයුතු කරන්නේ කොහොමද?
6 යෙහෝවා යුක්තිය ක්‍රියාවට නංවන ආකාරය ගැන අප මෙනෙහි කරන විට, වරදකරුවන්ට දණ්ඩනයක් නියම කිරීම ගැන පමණක් සැලකිලිමත් වන, අනුකම්පා විරහිත විනිසුරුවෙක් හැටියට අප ඔහු ගැන කල්පනා නොකළ යුතුයි. ඒ වෙනුවට, අප ඔහු ගැන කල්පනා කළ යුත්තේ හැකි හොඳම ක්‍රමයට තම දරුවන් සමඟ කටයුතු කරන ප්‍රේමනීය නමුත් ස්ථිරව ක්‍රියා කරන පියෙක් හැටියටයි. “අහෝ යෙහෝවා, ඔබ අපේ පියා” කියා ප්‍රොපේත යෙසායා පැවසුවා. (යෙසායා 64:8, NW) යෙහෝවා, යුක්තිසහගත හා ධර්මිෂ්ඨ පියෙක් හැටියට, අසීරු තත්වයන් හෝ මාංසික දුර්වලකම් හේතුකොටගෙන උපකාරය හා සමාව අවශ්‍ය මිහිපිට සිටින තම දරුවන් සම්බන්ධයෙන් ගත් කල, හරි දේ සඳහා ස්ථිර වීම හා දයානුකම්පාව අතර සමබරතාවක් පවත්වාගනියි.—ගීතාවලිය 103:6, 10, 13.
යුක්තිය කුමක්ද කියා පැහැදිලි කරගැනීම
7. (අ) යෙසායාගේ අනාවැකියෙන් දිව්‍ය යුක්තිය ගැන අප ඉගෙනගන්නේ කුමක්ද? (ආ) ජාතීන්ට යුක්තිය පිළිබඳව ඉගැන්වීමේදී යේසුස්ට තිබුණේ කුමන කාර්යභාරයක්ද?
7 යෙහෝවාගේ යුක්තියේ දයානුකම්පිත ස්වභාවය මෙසියස්ගේ පැමිණීමත් සමඟම කැපීපෙනුණා. ප්‍රොපේත යෙසායා පුරෝකථනය කළ පරිදි, යේසුස් දිව්‍ය යුක්තිය කියා දී ඊට එකඟව ජීවත් වුණා. පැහැදිලිවම, ජීවන බරින් මිරිකී සිටින මිනිසුන්ට මෘදුව සැලකීම දෙවිගේ යුක්තියට ඇතුළත් වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ව ගොඩගන්න බැරි තරමටම වැටී සිටියේ නැහැ. යෙහෝවාගේ “මෙහෙකරුවා” වන යේසුස් පොළොවට ආවේ දෙවිගේ යුක්තියේ මෙම පැත්ත ‘ජාතීන්ට පැහැදිලි කිරීමටයි.’ දිව්‍ය යුක්තිය සම්බන්ධයෙන් ජීවමාන ආදර්ශයක් සැපයීමෙනුයි මෙය ඔහු විශේෂයෙන්ම කළේ. දාවිත් රජුගේ “ධර්මිෂ්ඨකමේ පැලෑටිය” හැටියට, යේසුස් ‘යුක්තිය පවත්වා, ධර්මිෂ්ඨකම ඉෂ්ට කරන්ට යුහුසුලු වුණා.’—යෙසායා 16:5; 42:1-4; මතෙව් 12:18-21; යෙරෙමියා 33:14, 15.
8. පළමු සියවසේදී සැබෑ යුක්තිය හා ධර්මිෂ්ඨකම අපැහැදිලි වී තිබුණේ ඇයි?
8 පොදු යුගයේ පළමු සියවසේදී, යෙහෝවාගේ යුක්තියේ ස්වභාවය පිළිබඳ එවැනි පැහැදිලි කිරීමක් විශේෂයෙන්ම අවශ්‍ය වුණා. යුදෙව් වැඩිමහල්ලන් හා ආගමික නායකයන් වන ලියන්නන්, ඵරිසිවරුන් හා වෙනත් අය යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ විකෘති වූ අදහසක් ප්‍රකාශ කර එය ආදර්ශයෙන් පිළිබිඹු කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ලියන්නන් හා ඵරිසිවරුන්ගේ ඉල්ලීම්වලට එකඟව ජීවත් වීම අපහසු බවට දැනුණු සාමාන්‍ය වැසියා, ඒ හේතුවෙන් දෙවිගේ ධර්මිෂ්ඨකම කොහෙත්ම ළඟා විය නොහැකි එකක් බව උපකල්පනය කළා. (මතෙව් 23:4; ලූක් 11:46) නමුත් තත්වය මෙය නොවන බව යේසුස් පෙන්නුම් කළා. ඔහු තම ගෝලයන් මේ සාමාන්‍ය වැසියන්ගෙන් තෝරාගත් අතර, දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ඔවුන්ට කියා දුන්නා.—මතෙව් 9:36; 11:28-30.
9, 10. (අ) ලියන්නන් හා ඵරිසිවරුන් තම ධර්මිෂ්ඨකම නිරූපණය කිරීමට වෑයම් කළේ කුමන ආකාරයකින්ද? (ආ) ලියන්නන් හා ඵරිසිවරුන්ගේ පුරුදු නිෂ්ඵල බව යේසුස් හෙළි කළේ කොහොමද? එමෙන්ම ඇයි?
9 අනෙක් අතට, ඵරිසිවරුන් ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමෙන් හෝ සම්මාදම් කිරීමෙන් තම ‘ධර්මිෂ්ඨකම’ ප්‍රදර්ශනය කිරීමට ප්‍රස්තා සෙව්වා. (මතෙව් 6:1-6) එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිරූපණය කිරීමට උත්සාහ ගත්තේ නිමක් නැති නීති හා නියෝග පැවැත්වීමෙනුයි. තවද මේවායින් වැඩි හරියක් ඔවුන් විසින්මයි ප්‍රබන්ධ කර තිබුණේ. එවැනි උත්සාහයන් තමයි ‘යුක්තියත් දෙවි කෙරෙහි ප්‍රේමයත් අත්හැරීමට’ ඔවුන්ට මඟ පෑදුවේ. (ලූක් 11:42) පිටතින් ඔවුන් ධර්මිෂ්ඨයයි පෙනෙන්ට ඇතත්, ඇතුළතින් ඔවුන් ‘අයුතුකමෙන් පිරී’ නැතිනම් අධර්මිෂ්ඨව සිටියා. (මතෙව් 23:28) සරලව කිව්වොත්, ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන දැන සිටියේ අල්පයයි.
10 ඒ හේතුවෙන් යේසු තම අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: “නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය.” (මතෙව් 5:20) යේසුස් විසින් ආදර්ශයෙන් පිළිබිඹු කළ දිව්‍ය යුක්තිය හා ලියන්නන් මෙන්ම ඵරිසිවරුන්ගේ පටු මනසින් යුතු ආත්ම ධර්මිෂ්ඨකම අතර පැවති තියුණු වෙනස ඔවුන් අතර නිතර නිතර ඇති වූ විවාදයන්ට හේතු වුණා.
දිව්‍ය යුක්තියට එරෙහිව විකෘති වූ යුක්තිය
11. (අ) සබත් දවසේදී සුව කිරීම ගැන ඵරිසිවරුන් යේසුස්ගෙන් ප්‍රශ්න කළේ ඇයි? (ආ) යේසුස්ගේ උත්තරයෙන් පැහැදිලි වුණේ කුමක්ද?
11 පොදු යුගයේ 31 වසන්තයේ යේසුස් ගලීලයේ කළ මෙහෙයේදී, සිනගෝගයක සිටි වියළි අතක් ඇති මිනිසෙක්ව ඔහුගේ නෙත ගැටුණා. එය සබත් දිනයක් වූ හෙයින් ඵරිසිවරුන් යේසුස්ගෙන් මෙසේ ඇසුවා: “සබත් දවසේදී සුවකරන්ට යුතුද”? මෙම අසරණ මිනිසාගේ දුක් විඳීම කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දක්වනවා වෙනුවට, ඔවුන්ගේ ප්‍රශ්නයෙන් පෙන්නුම් කළ පරිදි, යේසුස්ව හෙළාදැකීම සඳහා බොරු හේතු ගෙතීමට ඔවුන් කැමති වුණා. ඉතින් ඔවුන්ගේ අසංවේදී හදවත් ගැන යේසුස් කනගාටු වීම පුදුමයක්ද! ඉන්පසුව ඔහු, ඊට සමාන ප්‍රශ්නයක් ඵරිසිවරුන්ට ඉදිරිපත් කළා: “සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද”? ඔවුන් නිහඬව සිටි විට, සබත් දවසේදී බැටළුවෙක් වළක වැටී සිටියොත් ඌව ගොඩගන්නේ නැද්දැයි අසමින් යේසුස්ම තම ප්‍රශ්නයට උත්තර සැපයුවා.b “බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද?” බිඳලිය නොහැකි කරුණු මතයි යේසුස්ගේ තර්කය පදනම් වුණේ. “එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි” කියමින් යේසු අවසන් කළා. දෙවිගේ යුක්තිය මනුෂ්‍ය සම්ප්‍රදායන් මගින් කවදාවත් අවහිර නොවිය යුතුයි. එම කරුණ පැහැදිලි කර දීමෙන් පසු, යේසුස් එම වියළි අතක් ඇති මනුෂ්‍යයාව සුව කළා.—මතෙව් 12:9-13; මාර්ක් 3:1-5.
12, 13. (අ) ලියන්නන් හා ඵරිසිවරුන්ට වෙනස්ව, පව්කාරයන්ට උපකාර කිරීමේදී යේසුස් උනන්දුවක් පෙන්වූයේ කොහොමද? (ආ) දිව්‍ය යුක්තිය හා ආත්ම ධර්මිෂ්ඨකම අතර ඇති වෙනස කුමක්ද?
12 ශාරීරික අබල දුබලතාවන්ගෙන් පෙළෙන අය ගැන ඵරිසිවරුන් දැක්වූයේ මඳ සැලකිල්ලක් නම්, ආත්මික වශයෙන් බෙලහීන වූ අය ගැන දැක්වූයේ ඊටත් වඩා අඩු සැලකිල්ලකි. ධර්මිෂ්ඨකම ගැන ඔවුන්ට තිබූ මෙම විකෘති වූ අදහස, සුංගම් අයකරන්නන්ව හා පව්කාරයන්ව පැත්තකට දැමීමටත් සුළු කොට තකන්නත් ඔවුන්ව මඟ පෑදුවා. (යොහන් 7:49) එනමුත්, කිසිම සැකයක් නැතුව එවැනි අයගෙන් බොහෝදෙනෙක් යේසුස්ගේ ඉගැන්වීම්වලට ප්‍රතිචාරය දැක්වූයේ, විනිශ්චය කිරීමට වඩා උපකාර කිරීමට ඔහුට තිබූ ආශාව දැකීමෙනුයි. (මතෙව් 21:31; ලූක් 15:1) කොහොම වුණත්, ආත්මික වශයෙන් රෝගාතුර වූ අයව සුව කිරීමට යේසුස් ගත් උත්සහයන් ඵරිසිවරුන් සුළු කළා. “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය” කියා ඔවුන් නිග්‍රහාත්මක ලෙස කෙඳිරුවා. (ලූක් 15:2) ඔවුන් කළ චෝදනාවට පිළිතුරක් වශයෙන් එඬේර ජීවිතයට සම්බන්ධ උපහැරණයක් යේසුස් පාවිච්චි කළා. නැති වූ බැටළුවෙකු සම්බ වන විට එඬේරෙක් ප්‍රීතිමත් වන්නාක් මෙන්, පව්කාරයෙක් පසුතැවිලි වන විට ස්වර්ගයේ සිටින දේවදූතයන්ද ප්‍රීති වෙයි. (ලූක් 15:3-7) සාකෙවුස්ට ඔහුගේ අතීත පව්කාර ක්‍රියාමාර්ගයෙන් හැරී පසුතැවීමට උපකාර කිරීමෙන් යේසුස් පවා ප්‍රීතිමත් වුණා. “මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේය” කියා ඔහු පැවසුවා.—ලූක් 19:8-10.
13 මෙවැනි මුණගැසීම්වලින්, සුව කර ගැළවීමට උත්සාහ කරන දිව්‍ය යුක්තිය හා සුළු පිරිසක්ව ඉහළින් තබා වැඩිදෙනෙකුව හෙළාදැකීමට උත්සාහ කරන ආත්ම ධර්මිෂ්ඨකම අතරේ තිබෙන පැහැදිලි වෙනස පෙන්නුම් කරනවා. හිස් වූ ආගමික පිළිවෙත් හා මනුෂ්‍යයන් සෑදූ සම්ප්‍රදායන්, ලියන්නන් හා ඵරිසිවරුන්ව අහංකාරයට හා ස්ව-වැදගත්කමට මඟ පාදා තිබූ අතර, ඔවුන් “යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා . . . අතහැර තිබේ” කියා යේසුස් යෝග්‍ය ලෙස පැවසුවා. (මතෙව් 23:23) අප කරන සියල්ලේදී සැබෑ යුක්තිය ක්‍රියාවට නැංවීමෙන් යේසුස්ව අනුකරණය කරමින්, ආත්ම ධර්මිෂ්ඨකම නමැති බොරු වළෙන් පරෙස්සම් වෙමු.
14. කෙනෙකුගේ තත්වයන් දිව්‍ය යුක්තිය මගින් සැලකිල්ලට ගනු ලබන බව යේසුස්ගේ එක් ආශ්චර්යයකින් පැහැදිලි වුණේ කොහොමද?
14 ඵරිසිවරුන්ගේ අත්තනෝමතික නීති යේසුස් නොතකා හැරිය නමුත්, ඔහු මෝසෙස්ගේ ව්‍යවස්ථාව පැවැත්වූවා. (මතෙව් 5:17, 18) එසේ කිරීමේදී, එම ව්‍යවස්ථාව වචනයේ පරිසමාප්තියෙන්ම ඉටු කිරීමට වඩා එහි ප්‍රතිපත්තියට මුල්තැන දුන්නා. අවුරුදු 12ක් පුරා ලේ ගැලීමකින් පීඩා විඳි එක් ස්ත්‍රියක් ඔහුගේ වස්ත්‍ර අල්ලා සුව වූ විට, යේසුස් ඈට මෙලෙස පැවසුවා: “දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය; සමාදානයෙන් යන්න.” (ලූක් 8:43-48) දෙවිගේ යුක්තිය ඇගේ තත්වයන් සැලකිල්ලට ගෙන තිබූ බව යේසුස්ගේ අනුකම්පාවෙන් පිරි වචනවලින් තහවුරු වුණා. ඇය චාරිත්‍රානුකූල ලෙස අපවිත්‍ර වුණත්, වචනයේ පරිසමාප්තියෙන්ම ගත් කල, ඇය සමූහය අතරේ සිටීමෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ කර තිබුණත්, ඇගේ ඇදහිල්ල විපාක ලැබීමට වටින එකක් වුණා.—ලෙවී කථාව 15:25-27; සසඳන්න රෝම 9:30-33.
ධර්මිෂ්ඨකම සැමටය
15, 16. (අ) අසල්වැසියෙකු වැනි වූ සමරිතානුවරයා ගැන යේසුස් කී උපහැරණයෙන් අපට යුක්තිය ගැන කුමක්ද කියා දෙන්නේ? (ආ) “පමණට වඩා ධර්මිෂ්ඨ” වීමෙන් අප වැළකිය යුත්තේ ඇයි?
15 දිව්‍ය යුක්තියේ දයානුකම්පිත ස්වභාවය අවධාරණය කරනවාට අමතරව, එය සියලු මිනිසුන්ට අදාළ කළ යුතු බවත් යේසුස් තම ගෝලයන්ට කියා දුන්නා. ඔහු විසින් ‘ජාතීන්ට යුක්තිය ගෙනඒම’ යෙහෝවාගේ කැමැත්ත වුණා. (යෙසායා 42:1, NW) යේසුස්ගේ සුප්‍රකට උපහැරණවලින් එකක් වූ අසල්වැසියෙකු වැනි වූ සමරිතානුවරයාගෙන් කියවෙන්නේද මේ කරුණයි. “තමා ධර්මිෂ්ඨයයි ඔප්පු කිරීමට” [NW] කැමති වූ, ව්‍යවස්ථාව හොඳින් දැන සිටි මිනිසෙක් විසින් පැන නැඟූ ප්‍රශ්නයකට උත්තරය හැටියටයි මෙම උපහැරණය දුන්නේ. නොඅනුමානවම තම අසල්වැසි වගකීම් යුදෙව් සෙනඟට පමණක් සීමා කිරීමට කැමැත්තෙන් “මගේ අසල්වාසියා [ඇත්තටම, NW] කවුදැයි” ඔහු ඇහුවා. යේසුස් පැවසූ උපහැරණයේ සඳහන් වූ සමරිතානුවරයා දිව්‍ය ධර්මිෂ්ඨකම විදහාපෑවා; මන්දයත් වෙනත් නගරයකින් පැමිණ සිටි අමුත්තෙකු වෙනුවෙන් තම කාලයත් ධනයත් වැය කරන්න ඔහු කැමැත්තෙන් හිටියා. යේසුස් තම උපහැරණය අවසන් කළේ ප්රශ්නය විමසූ තැනැත්තාට මෙසේ පැවසීමෙනුයි: “නුඹත් ගොස් එලෙසම කරන්න.” (ලූක් 10:25-37) අපත් මිනිසුන්ගේ ජාතිය, වාර්ගික පසුබිම නොසලකා සැමට යහපත කරනවා නම්, අප දෙවිගේ යුක්තිය අනුකරණය කරමින් සිටින්න යනවා.—ක්‍රියා 10:34, 35.
16 අනෙක් අතට, ලියන්නන් හා ඵරිසිවරුන්ගේ අවාදර්ශයෙන් අපට මතක් කර දෙන්නේ, අප දිව්‍ය යුක්තිය ක්‍රියාවට නංවන්න යනවා නම්, අප “පමණට වඩා ධර්මිෂ්ඨ” නොවිය යුතුයි යන්නයි. (දේශනාකාරයා 7:16) ආත්ම ධර්මිෂ්ඨකමේ බොරු මවාපෑම්වලින් අන්‍යයන්ගේ සිත්ගැනීමට වෑයම් කිරීම හෝ මනුෂ්‍යයන් සෑදූ නීතිවලට වැඩි වැදගත්කමක් දීම, දෙවිගේ අනුමැතිය ලබන තත්වයකට අපව ගෙනෙන්න යන්නේ නැහැ.—මතෙව් 6:1.
17. අප දිව්‍ය යුක්තිය විදහාපෑම එතරම්ම වැදගත් වන්නේ ඇයි?
17 ජාතීන්ට දෙවිගේ යුක්තියේ ස්වභාවය යේසුස් පැහැදිලි කිරීමට එක් හේතුවක් වූයේ, එම ගුණාංගය විදහාපෑමට තම සෑම ගෝලයෙක්ටම හැකි වන පිණිසයි. ඉතින් මෙය වැදගත් වන්නේ ඇයි? ශුද්ධ ලියවිලි අපට දිරිගන්වන්නේ ‘දෙවි අනුව යන්නෝ වීමටයි’; තවද දෙවිගේ සියලු මාර්ග යුක්තිසහගතයි. (එපීස 5:1) එයාකාරයෙන්ම, අප දෙවි සමඟ ඇවිදින විට ‘යුක්තිය පැවැත්වීම’ යෙහෝවාගේ අවශ්යතාවන්ගෙන් එකක් බව මීකා 6:8 [NW] පැහැදිලි කරයි. තවදුරටත්, යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබන්න කැමති නම්, එම දවස පැමිණෙන්න කලින් “ධර්මිෂ්ඨකම සොයන්න” කියා ශෙපනියා 2:2, 3 අපට මතක් කර දෙයි.
18. මතු දැක්වෙන ලිපියෙන් කුමන ප්‍රශ්නවලට උත්තර සැපයෙයිද?
18 එමනිසා මෙම තීරණාත්මක අන්තිම දවස් යුක්තිය ක්‍රියාවට නැංවීමට විශේෂයෙන්ම ‘පිළිගත යුතු වූ කාලයක්’ වෙනවා. (2 කොරින්ති 6:2) අපත් යෝබ් මෙන් ‘ධර්මිෂ්ඨකම අපේ වස්ත්‍රයත් යුක්තිය අපේ සළුවත්’ කරගතහොත්, යෙහෝවා අපට ආශීර්වාද කරයි කියා අපට නිසැක වෙන්න පුළුවන්. (යෝබ් 29:14, NW) යෙහෝවාගේ යුක්තිය කෙරෙහි ඇදහිල්ල තැබීම, අනාගතය දෙස නිසැකබවකින් යුතුව බැලීමට අපට උපකාර වෙන්නේ කොහොමද? තවදුරටත් අප ධර්මිෂ්ඨ “අලුත් පොළොවක්” බලා සිටින අතරතුරේදී, දිව්‍ය යුක්තිය අපට ආත්මිකව ආරක්ෂාවක් වන්නේ කොහොමද? (2 පේතෘස් 3:13) මතු දැක්වෙන ලිපිය එම ප්‍රශ්නවලට උත්තර සපයාවි.
[පාදසටහන්වල]
a හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල, මූලික වචන තුනක් යොදාගන්නවා. මෙයින් එකක් (මිෂ්·පැට්) බොහෝදුරට පරිවර්තනය කරනු ලබන්නේ “යුක්තිය” හැටියටයි. අනික් දෙක (ට්සෙʹඪෙඛ් හා ඒ හා සබැඳි වචනය වන ට්සෙඪා·ඛාහ්ʹ) බොහෝවිට “ධර්මිෂ්ඨකම” හැටියට දක්වා තිබෙනවා. “ධර්මිෂ්ඨකම” (ඩි·කයි·ඔ·සයිʹනෙ) හැටියට පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ නිර්වචනය වන්නේ “හරි හෝ යුක්තිසහගත වීමේ ගුණාංගය” යන්නයි.
b යේසුස්ගේ උදාහරණය නිසි සේ ගැළපුණු එකක් වුණේ, සබත් දවසේදී විපතට පත්ව සිටි සතෙකුට උපකාරය පිරිනැමීම යුදෙව්වන්ගේ වාචික ව්‍යවස්ථාවේ ඉඩ දුන් නිසයි. සබත් දවසේදී සුව කරන්න යුතුදැයි කියමින් මෙම විෂය ගැන නොයෙක් වර වාද විවාද ඇති වුණා.—ලූක් 13:10-17; 14:1-6; යොහන් 9:13-16.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ දිව්‍ය යුක්තිය යන්නෙහි අරුත කුමක්ද?
◻ යේසුස්, ජාතීන්ට දිව්‍ය යුක්තිය ඉගැන්වූයේ කොහොමද?
◻ ඵරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකම විකෘති වී තිබුණේ ඇයි?
◻ අප යුක්තිය ක්‍රියාවට නැංවිය යුත්තේ ඇයි?
[8වන පිටුවේ පින්තූරය]
දිව්‍ය යුක්තියට අයත් වන පරාසය කුමක්ද කියා යේසුස් පැහැදිලි කළා