අවදිව සිටීමට කාලයක්
“ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය . . . නුමුත් අන්තිමය දක්වාම ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නා ගළවනු ලබන්නේය.”—මාර්ක් 13:10, 13.
1. අප විඳදරාගෙන ධෛර්යවත් විය යුත්තේ මන්ද?
විඳදරාගත යුතුයි අප—ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාවක් මැද! යේසුස්වහන්සේගේ කාලයේ මෙන්ම, 1914දී පටන් මිනිස් පරම්පරාවක් දූෂිත වී තිබේ. තවද අදදින දූෂණය ලෝක ව්‍යාප්ත පරිමාණයකින් සිදුවේ. ප්‍රේරිත පාවුල් විසින් විස්තර කරන ලද මෙම “අන්තිම දවස්වල,” “කටයුතු කිරීමට අසීරු වූ” මෙම “අර්බුදකාරි කාලවල්” [NW] මිනිස්වර්ගයා මතට පහර එල්ල කරමින් තිබේ. “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” පැහැදිලිවම, ‘මුළු ලෝකයම නපුරා තුළය,’ එනම් පොළොව වැනසීම සඳහා තම අවසාන ප්රයත්නය දරන සාතන් වන යක්ෂයා තුළය. එහෙත් ධෛර්යවත් වන්න! ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියල්ලන්ට ස්ථිරසාර සහනය ගෙනෙනු ඇති ‘මහත් පීඩාවක්’ ඉදිරියට තිබේ.—2 තිමෝති 3:1-5, 13; 1 යොහන් 5:19; එළිදරව් 7:14.
2. වර්ෂ 1914දී අනාවැකි ඉටුවූයේ කෙසේද?
2 මිනිස්වර්ගයාගේ පීඩාකාරි සතුරන්ව ඉවත් කිරීම සඳහා සූදානම් කිරීමක් වශයෙන්, යෙහෝවඃවහන්සේ දැන් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ස්වර්ගයේ සිංහාසනාරූඪ කොට තිබීම සන්තෝෂයට කරුණකි. (එළිදරව් 11:15) මෙසියස්වහන්සේගේ පළමු පැමිණීමේදී මෙන්, මෙම සියවසේදී දානියෙල් විසින් ලියන ලද අතිවැදගත් අනාවැකියක් ඉටුවී තිබේ. දානියෙල් 4:16, 17, 32හි, අපට කියවීමට තිබෙන්නේ, ‘කාලවල් සතකට’ පොළොව පුරා යුක්තිසහගත රාජතන්ත්‍රය අත්හිටවනු ලබන බවකි. ඒවායේ ප්‍රධාන ඉටුවීමේදී, මෙම කාලවල් සත ‘දවස්’ 360ක් බැගින් බයිබලීය අවුරුදු සතක් හෙවත් අවුරුදු 2,520ක් වෙයි.a බබිලෝනිය, ඉශ්රායෙල් රාජ්‍යය තම පාද යට දමා පොඩි කිරීමට පටන්ගත් පො.යු.පෙ. 607 සිට, මිනිස්වර්ගයාගේ යුක්තිසහගත රජ වශයෙන් ස්වර්ගයේ යේසුස්වහන්සේගේ සිංහාසනාරූඪ වීම සිදුවූ පො.යු. 1914 දක්වා ඒවා දිව ගියේය. අනතුරුව “ජාතීන්ගේ නියමිත කාලවල්” නිමා විය. (ලූක් 21:24, NW) එහෙත් පැමිණෙමින් තිබෙන මෙසියානු රාජ්‍යයට යටත්වීමට ජාතීහු ප්‍රතික්ෂේප කර ඇත්තාහ.—ගීතාවලිය 2:1-6, 10-12; 110:1, 2.
3, 4. (අ) පළමු සියවසේ සිද්ධීන් සහ අපගේ කාලයේ සිද්ධීන් අතර කිනම් සැසඳීමක් කළ හැකිද? (ආ) කිනම් අදාළ ප්‍රශ්න ඇසිය හැකිද?
3 හැත්තෑවන සතිය (පො.යු. 29-36) එළඹීමත් සමඟම, එමෙන්ම නැවතත් 1914 ළඟාවෙනවාත් සමඟම, දේවභයැති ජනයා මෙසියස්වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියහ. තවද උන්වහන්සේ පැමිණිසේක! එහෙත් උන්වහන්සේගේ පෙනීසිටීමේ ආකාරය අපේක්ෂා කළාට වඩා වෙනස් විය. මේ එක් එක් අවස්ථාවේදී, සන්සන්දනාත්මක ලෙස කෙටි කාලපරිච්ඡේදයකට පසුව, නපුරු “පරම්පරාව[ක්]” අවසානයේදී දිව්‍ය නියෝගයක් මගින් විනාශය අද්දකිති.—මතෙව් 24:34.
4 අපගේ මීට පෙර ලිපියේ, යේසුස්වහන්සේගේ රුධිරය සඳහා බල කර ඉල්ලා සිටි දුෂ්ට යුදෙව් පරම්පරාවක් එහි අවසානයට පත්වූ ආකාරය අපි සැලකිල්ලට ගත්තෙමු. එසේනම්, දැන් පවා උන්වහන්සේට විරුද්ධ වන හෝ උන්වහන්සේව නොසලකා හරින විනාශකාරි පරම්පරාව ගැන කුමක් කිව හැකිද? මෙම ඇදහිල්ල නැති පරම්පරාව මත විනිශ්චය ඉටුවනු ඇත්තේ කවදාද?
‘දිගටම අවදියෙන් සිටින්න!’
5. (අ) යෙහෝවඃවහන්සේගේ “දවස හා පැය” පිළිබඳ කාලය නොදැන ගැනීමට අපට තිබෙන හොඳ හේතුව කුමක්ද? (ආ) මාර්ක්ට අනුව, යේසුස්වහන්සේ සිය අනාවැකිය අවසන් කළේ කිනම් මනා උපදෙස් සමඟින්ද?
5 ‘මහත් පීඩාවේ’ කාලය දක්වා දිවෙන සිද්ධීන් පුරෝකථනය කළායින් පසුව, යේසුස්වහන්සේ මෙසේද පැවසූසේක: “ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” (මතෙව් 24:3-36; මාර්ක් 13:3-32) සිද්ධීන් සිදුවන නියම වේලාව අප දැනසිටීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, අපගේ අවධානය යොමු විය යුත්තේ, දින ගණන් කිරීම මත නොව, නමුත් ශක්තිමත් ඇදහිල්ලක් වගා කරමින් සහ යෙහෝවඃවහන්සේගේ සේවය තුළ කාර්ය බහුලව සිටිමින් දිගටම අවදියෙන් සිටීම මතය. යේසුස්වහන්සේ මෙසේ පවසමින් සිය මහත් අනාවැකිය නිම කළසේක: “ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව [සිටින්න]. . . . නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි—අවදිව සිටපල්ලා.” (මාර්ක් 13:33-37) අදදින ලෝකයේ අන්ධකාරය තුළ අන්තරාය ගැබ්වී තිබේ. අප දිගටම අවදියෙන් සිටිය යුතුය!—රෝම 13:11-13.
6. (අ) අපගේ ඇදහිල්ල නැංගුරම් ලා තැබිය යුත්තේ කුමක් මතද? (ආ) “අපේ දවස් ගණින්ට” අපට හැක්කේ කෙසේද? (ඇ) “පරම්පරාව” මගින් යේසුස්වහන්සේ මූලිකව අදහස් කරන්නේ කුමක්ද?
6 අප මෙම දුෂ්ට පිළිවෙළේ අවසාන දවස් සම්බන්ධ ආනුභාව ලත් අනාවැකිවලට අවධානය යොමු කළ යුතුවා පමණක් නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ යාගය සහ ඒ මත පදනම් වූ දෙවියන්වහන්සේගේ පුදුමාකාර පොරොන්දු මත අප මූලික වශයෙන් අපගේ ඇදහිල්ල නැංගුරම් ලා තිබිය යුතුය. (හෙබ්‍රෙව් 6:17-19; 9:14; 1 පේතෘස් 1:18, 19; 2 පේතෘස් 1:16-19) මෙම නපුරු පිළිවෙළේ නිමාව දැකීමට ඉතා උනන්දුවෙන්, ඇතැම් අවස්ථාවලදී යෙහෝවඃවහන්සේගේ ජනයා, “මහත් පීඩාව” පටන්ගන්නා කාලය ගැන නිගමනය කර ඇති අතර, 1914 පටන් පරම්පරාවක ආයු කාලය පිළිබඳ ගණනය කිරීම්වලට පවා මෙය සම්බන්ධ කර ඇත්තාහ. කෙසේවෙතත්, අවුරුදු හෝ කොපමණ දවස් සංඛ්‍යාවක් පරම්පරාවකට ඇතුළත්ද කියා නිගමනය කිරීමෙන් නොව, නමුත් යෙහෝවඃවහන්සේට ප්‍රීතිමත් ප්‍රශංසා ගෙන ඒමෙහිලා අපි ‘අපේ දවස් ගණින්නේ’ කෙසේද කියා කල්පනා කිරීම මගින් “ඥානවන්ත සිතක්” ලබාගනිමු. (ගීතාවලිය 90:12) කාලය මැනීමට නීතියක් සපයනවා වෙනුවට, යේසුස්වහන්සේ විසින් භාවිත කරන ලද “පරම්පරාව” නමැති යෙදුම මූලික වශයෙන් යොමු දක්වන්නේ, තමන්වම හඳුන්වා දීමේ ලක්ෂණ සමඟින්, එක්තරා ඓතිහාසික කාලපරිච්ඡේදයක ජීවත්වන සමකාලීන ජනයා වෙතටය.b
7. ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් “1914 පරම්පරාව” ගැන ලියන්නේ කුමක්ද, තවද මෙය යේසුස්වහන්සේගේ අනාවැකිය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?
7 ඉහත සඳහන් දෙයට එකඟව, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය රොබට් වෝල් තම ද ජෙනරේෂන් ඔෆ් 1914 නමැති පොතේ මෙසේ ලීවේය: “ඓතිහාසික පරම්පරාවක් එය පවතින කාල සීමාවන්ගෙන් නිර්වචනය කෙරෙන්නේ නැත . . . එය දිනවලින් පාලනය වන කාලපරිච්ඡේදයක් නොවේ.” එහෙත් පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස “අතීතයත් සමඟ තිබෙන සම්බන්ධය ප්‍රබල ලෙස බිඳීගිය බවට වූ හැඟීමක්” බිහි වූ බව පළ කළ හේ, මෙසේද පැවසීය: “එක ලෝකයක් නිමාවී 1914 අගෝස්තු මාසයේ පටන් තවත් ලෝකයක් ආරම්භ වූ බවට විශ්වාසය, එම යුද්ධයෙන් බේරී ජීවත්වූවන් තුළින් කිසිවිටකත් බැහැර කරන්ට බැරි විය.” එය මොනතරම් සැබෑද! මෙය මෙම කාරණයේ මූලික හරයට අවධානය යොමු කරවයි. වර්ෂ 1914 පටන් මිනිස්වර්ගයාගෙන් සමන්විත “මේ පරම්පරාව” භයංකර වෙනස්කම් අද්දැක ඇත්තාහ. මිලියන ගණනකගේ රුධිරයෙන් පෙඟී ගිය පොළොවක් ඔවුන් දැක තිබේ. යුද්ධ, වර්ග ඝාතන, ත්‍රස්තවාදය, අපරාධ සහ නොපනත්කම ලෝකය පුරා ඉස්මතුව තිබේ. සාගත, රෝග සහ දුරාචාරය අපගේ පෘථිවි ගෝලය ගිල ගෙන ඇත. යේසුස්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “එලෙසම මේ දේ සිදුවෙනවා [උන්වහන්සේගේ ගෝලයන්] දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගනිල්ලා. සැබවක් නුඹලාට කියමි—සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.”—ලූක් 21:31, 32.
8. යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරුන් දිගටම අවදියෙන් සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නේ කෙසේද?
8 එසේය, මෙසියානු රාජ්‍යයේ සම්පූර්ණ ජයග්‍රහණය අත ළඟය! එසේනම්, දින ගැන බලාසිටීමෙන් හෝ “පරම්පරාව[ක]” පදගතාර්ථමය ආයුකාලය උපකල්පනය කිරීම මගින් යම් කිසි වාසියක් ලබාගත හැකිද? කොහෙත්ම නැත! හබක්කුක් 2:3 පැහැදිලිව මෙසේ ප්‍රකාශ කරයි: “දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටපන්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” ගණන් ගැනීම පිළිබඳ යෙහෝවඃවහන්සේගේ දවස කවරදාකටවත් වඩා දැන් වේගයෙන් ළඟාවෙමින් තිබේ.—යෙරෙමියා 25:31-33; මලාකි 4:1.
9. කාලය කෙටි බව පෙන්වන්නේ 1914 පටන් කිනම් සිද්ධීන්වලින්ද?
9 ක්‍රිස්තුස්වහන්සේ 1914දී රාජ්‍යය පාලනය පටන්ගත් විට, සාතන්ව පොළොවට හෙළන ලදි. “ගොඩට [පොළොවට, NW] . . . දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස [යෑම]” මින් අදහස් විය. (එළිදරව් 12:12) ඇත්තෙන්ම, සාතන්ගේ පාලනයේ වසර දහස් ගණන හා සසඳන කල, කාලය කෙටිය. රාජ්‍යය අත ළඟය, තවද මෙම දුෂ්ට පරම්පරාව මත යෙහෝවඃවහන්සේ විසින් ගෙනෙන විනිශ්චයේ දවස හා පැය අත ළඟය!—හිතෝපදේශ 3:25; 10:24, 25.
පහව යන “පරම්පරාව”
10. “මේ පරම්පරාව” නෝවාගේ දවසේ පරම්පරාවට සමාන වන්නේ කෙසේද?
10 මතෙව් 24:34, 35හි සඳහන් යේසුස්වහන්සේගේ ප්‍රකාශය අපි වඩාත් සමීපව පරීක්ෂා කර බලමු: “සැබවක් නුඹලාට කියමි—මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.” යේසුස්වහන්සේ ඊළඟට පවසන වදන්වලින් පැහැදිලි වන්නේ ‘දවස හා පැය කිසිවෙකු නොදන්නා’ බවයි. ඊටත් වඩා වැදගත් ලෙස, අප මෙම පරම්පරාව තුළ අපව වට කරන මලපත්වලින් වැළකිය යුතු බව උන්වහන්සේ පෙන්වනසේක. යේසුස්වහන්සේ මෙසේද එකතු කරනසේක: “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.” (මතෙව් 24:36-39) මෙහිදී යේසුස්වහන්සේ තමාගේ දවසේ සිටි පරම්පරාව නෝවාගේ දවසේ විසූ පරම්පරාව හා සැසඳූසේක.—උත්පත්ති 6:5, 9.
11. මතෙව් සහ ලූක් විසින් වාර්තා කරන ලද පරිදි, ‘පරම්පරා’ සම්බන්ධව යේසුස්වහන්සේ කිනම් සැසඳීමක් කළසේක්ද?
11 මෙසේ පරම්පරා සසඳමින් යේසුස්වහන්සේ කළ ප්‍රකාශ ප්‍රේරිතයන් විසින් ඇසූ පළමු වතාව මෙය නොවේ, මන්ද මීට ටික කලකට ඉහත, උන්වහන්සේ තමන්වහන්සේ ගැනම මෙසේ ප්‍රකාශ කර තිබිණ: “මනුෂ්‍ය පුත්‍රයා . . . දුක්විඳ මේ පරම්පරාව විසින් එපාකරනු ලබන්ට ඕනෑය. තවද නෝවාගේ දවස්වලදී වූවාක්මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය.” (ලූක් 17:24-26) මෙසේ, මතෙව් 24වන පරිච්ඡේදය සහ ලූක් 17වන පරිච්ඡේදය එම සැසඳීමම කරයි. නෝවාගේ දවසේදී, “මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය.” තවද ජලගැල්මේදී විනාශ වූයේ ‘මේ පරම්පරාවය.’ යේසුස්වහන්සේගේ දවසේදී, ‘මේ පරම්පරාව’ වූයේ, උන්වහන්සේව ප්‍රතික්ෂේප කරමින් සිටි ඇදහිල්ල අත්හළ යුදෙව් ජනයාය.—උත්පත්ති 6:11, 12; 7:1.
12, 13. (අ) අදදින පහව යා යුතු “මේ පරම්පරාව” කුමක්ද? (ආ) මෙම “වංකවූ හිතුවක්කාරවූ පරම්පරාව” සමඟ යෙහෝවඃවහන්සේගේ ජනයා දැන් කටයුතු කරමින් සිටින්නේ කෙසේද?
12 එමනිසා, අදදින යේසුස්වහන්සේගේ අනාවැකියේ අවසාන ඉටුවීම තුළ, පෙනෙන විදිහට “මේ පරම්පරාව” යොමු දක්වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණ දකින මුත්, තමන්ගේ මාර්ග වෙනස් කරගැනීමට අසමත් වන පොළොවේ ජනයාටය. මීට පටහැනිව, අපි යේසුස්වහන්සේ ගෝලයන් වශයෙන් “මේ පරම්පරා[වේ]” ජීවන රටාව නමැති අච්චුවෙන් අඹනු ලැබීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අප ලෝකයේ සිටියද, නියම කරන ලද “කාලය ළඟ” නිසා අපි එහි කොටසක් නොවන්නෙමු. (එළිදරව් 1:3; යොහන් 17:16) ප්‍රේරිත පාවුල් අපට මෙසේ අවවාද කරයි: “වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් [බැබළී, NW] ලෝකයෙහි දක්නා ලබන්නහුය.”—පිලිප්පි 2:14, 15; කොලොස්සි 3:5-10; 1 යොහන් 2:15-17.
13 අප ‘ආලෝක මෙන් බැබළීමට’ පිරිසිදු ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයක් විදහාපෑම පමණක් නොව, නමුත් සියල්ලටම ඉහළින් යේසුස්වහන්සේගේ අනාවැකිමය බල පැවරුම ඉෂ්ට කිරීම ඇතුළත් වෙයි, එනම්: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) එම අන්තිමය කවදාදැයි කිසි මිනිසෙකුට කිව නොහැක, නමුත් “පොළොවේ සීමාව දක්වා” දෙවියන්වහන්සේගේ සෑහීමට අනුකූල පරිද්දෙන් සාක්ෂිය දෙනු ලැබ තිබෙන විට, දුෂ්ට ජනයාගෙන් සමන්විත “මේ පරම්පරාව” අවසානයකට පැමිණෙනවා ඇත.—ක්‍රියා 1:8.
“ඒ දවස හා පැය”
14. ‘කාලවල් සහ ප්‍රස්තාවන්’ ගැන යේසුස්වහන්සේ සහ පාවුල් යන දෙදෙනාම දුන් අවවාදය කුමක්ද, තවද අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
14 යෙහෝවඃවහන්සේ අරමුණු කරන තරමට සමස්ත ලෝක සාක්ෂියක් දෙනු ලැබ තිබෙන විට, මෙම ලෝක පිළිවෙළ ඉවත් කර දැමීමට උන්වහන්සේගේ “දවස හා පැය” පැමිණෙනු ඇත. දිනය කලින් දැනගැනීම අපට අවශ්‍ය නොවේ. මෙසේ, යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් ප්‍රේරිත පාවුල් මෙසේ අවවාද කළේය: “නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත. මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය. සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.” පාවුල් අවධානය යොමු කරවන දෙය සැලකිල්ලට ගන්න, ‘එය වනාහි ඔවුන් කියන විටදීය.’ එසේය, ‘සාමය සහ සුරක්ෂිතභාවය’ ගැන කතා කරන විට, එනම් මුළුමනින්ම අපේක්ෂා නොකරනු ලබන විට, දෙවියන්වහන්සේගේ විනිශ්චය හදිසියේම ගෙනෙනු ලබනවා ඇත. පාවුල්ගේ අවවාදය කොතරම් යෝග්‍යයද: “එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.”—1 තෙසලෝනික 5:1-3, 6; ඡේද 1තෙස 5:7-11ද; ක්‍රියා 1:7ද බලන්න.
15, 16. (අ) අප විශ්වාස කරගෙන සිටියාට වඩා ඈතින් අර්මගෙදොන් තිබෙන බව අප කල්පනා නොකළ යුත්තේ මන්ද? (ආ) නුදුරු අනාගතයේදී යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය මහිමවත් විය යුත්තේ කෙසේද?
15 “මේ පරම්පරාව” පිළිබඳ මෙම අපගේ වඩාත් නිශ්චිත වූ දෘෂ්ටිකෝණයෙන් අදහස් කරන්නේ අප සිතා සිටියාට වඩා දුරින් අර්මගෙදොන් ඇති බවද? කොහෙත්ම නැත! අප කිසිම කලක “දවස හා පැය” දැන සිටියේ නැතත්, යෙහෝවඃ දෙවියන්වහන්සේ එය සෑමවිටම දැන සිටිසේක, තවද උන්වහන්සේ වෙනස් නොවනසේක. (මලාකි 3:6) මේ ලෝකය විනාශකාරි කෙළවර කරා තව තවත් ගිලා බසිමින් තිබෙන බව ප්රත්යක්ෂය. දිගටම අවදියෙන් සිටීමේ අවශ්‍යතාව වෙන කෙදිනකටත් වඩා වැඩිය. “ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්” යෙහෝවඃවහන්සේ අපට හෙළි කර තිබෙන අතර, හදිසිතාව සම්බන්ධයෙන් අප ඉතා උනන්දුමත් ස්වභාවයකින් ප්‍රතිචාර දැක්විය යුතුය.—එළිදරව් 1:1; 11:18; 16:14, 16.
16 කාලය ළං වෙනවාත් සමඟම, දිගටම අවදිව සිටින්න, මන්ද යෙහෝවඃවහන්සේ සාතන්ගේ මුළු මහත් ක්රමයම මත ව්‍යසනය ගෙන ඒමට සූදානමින් සිටිනසේක! (යෙරෙමියා 25:29-31) යෙහෝවඃවහන්සේ මෙසේ පවසනසේක: “මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.” (එසකියෙල් 38:23) එම තීරණාත්මක “යෙහෝවඃවහන්සේගේ දවස” [NW] ළං වෙයි!—යෝවෙල් 1:15; 2:1, 2; ආමොස් 5:18-20; ශෙපනියා 2:2, 3.
ධර්මිෂ්ඨ ‘අලුත් අහස සහ අලුත් පොළොව’
17, 18. (අ) යේසුස්වහන්සේ සහ පාවුල් කියන පරිදි, “මේ පරම්පරාව” පහවයන්නේ කෙසේද? (ආ) හැසිරීම සහ දේවභක්තික ක්‍රියා සම්බන්ධයෙන් අප දිගටම අවදියෙන් සිටිය යුත්තේ මන්ද?
17 ‘සිදුවීමට තිබෙන සියල්ල’ සම්බන්ධයෙන් යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහ නොවන්නේය.” (මතෙව් 24:34, 35) පෙනෙන විදිහට යේසුස්වහන්සේගේ මනසේ තිබුණේ ‘මේ පරම්පරාවේ’ ‘අහස සහ පොළොවය,’ එනම් මේ පරම්පරාවේ පාලකයන් සහ පාලිතයන්ය. “විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා [තිබෙන]” “දැන් පවතින අහසද පොළොවද” ගැන යොමු දක්වන විට ප්‍රේරිත පේතෘස්ද ඒ හා සමාන වචන භාවිත කළේය. “සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස” පැමිණ, දූෂිත මිනිස් සමාජයක් හෙවත්, පාපතර ක්‍රියා සමඟ “පොළොව” සමඟින් “ඒ දවසේදී අහස [ආණ්ඩු] මහත් ඝෝෂාවකින් පහව” යන ආකාරයත් ඔහු ඊළඟට විස්තර කරයි. අනතුරුව ප්‍රේරිතවරයා අපට අවවාද කරන්නේ මෙසේය, “මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, [අප] දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් [ක්‍රියා කළ යුතුය.] ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය.” ඊළඟට සිදුවන්නේ කුමක්ද? ‘ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහස සහ අලුත් පොළොවට’ පේතෘස් අපගේ අවධානය යොමු කරවයි.—2 පේතෘස් 3:7, 10-13.c
18 එම “අලුත් අහස” හෙවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සහය රජවරුන් විසින් කරනු ලබන රාජ්‍ය පාලනය, ‘අලුත් පොළොවේ’ ධර්මිෂ්ඨ මිනිස් සමාජය මතට ආශීර්වාද වගුරවනවා ඇත. ඔබ එම සමාජයේ අපේක්ෂිත සාමාජිකයෙක්ද? එය එසේනම්, ඉදිරි උදාර අනාගතය ගැන ප්‍රීතිවීමට ඔබට හේතු තිබේ!—යෙසායා 65:17-19; එළිදරව් 21:1-5.
19. අපට දැන් භුක්තිවිඳිය හැක්කේ කිනම් මහත් වරප්‍රසාදයද?
19 එසේය, මිනිස්වර්ගයාගෙන් යුත් ධර්මිෂ්ඨ ‘පරම්පරාවක්’ දැන් පවා එකතු කරනු ලබමින් තිබේ. අදදින ආලේප ලත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ගීතාවලිය 78:1, 4හි මතු වදන්වලට අනුකූලව දිව්‍ය අධ්‍යාපනය සපයමින් සිටී: “එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්. මාගේ මුඛයේ වචනවලට කන් යොමු කරව්. . . . ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමු.” (මතෙව් 24:45-47) මේ වසරේ අප්‍රියෙල් 14දා, රටවල් 230ක පමණ, සභා 75,500කට වඩා වැඩි ගණනක, ලොව වටා පුද්ගලයෝ 1,20,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට පැමිණියහ. ඔබ ඔවුන් අතරෙන් කෙනෙක් වී සිටියෙහිද? ඔබගේ ඇදහිල්ල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මත රැඳී තිබේවා, තවද ‘ගැළවීම සඳහා යෙහෝවඃවහන්සේගේ නම කියා යාච්ඤා කරත්වා.’—රෝම 10:10-13.
20. “කාලය ලුහුඬු කරන” ලද බැවින්, අප දිගටම අවදියෙන් සිටිය යුත්තේ කෙසේද, තවද කිනම් අපේක්ෂාවක් පෙරදැරි කරගෙනද?
20 “කාලය ලුහුඬුකරනලද්දේය” යයි ප්‍රේරිත පාවුල් පැවසීය. එමනිසා, මිනිස්වර්ගයාගෙන් සමන්විත මෙම දුෂ්ට පරම්පරාව මගින් අප මත ගෙනෙන පරීක්ෂා සහ වෛර විඳදරාගන්නවාත් සමඟම, දිගටම අවදියෙන් සිට යෙහෝවඃවහන්සේගේ වැඩය තුළ කාර්ය බහුලව සිටීමට කාලය දැන්ය (1 කොරින්ති 7:29; මතෙව් 10:22; 24:13, 14) “මේ පරම්පරාව” මතට එන බවට බයිබලය පුරෝකථනය කළ සියලු දේවල් නිරීක්ෂණය කරමින් අපි දිගටම අවදියෙන් සිටිමු. (ලූක් 21:31-33) මේ දේවලින් බේරීම මගින්ද, මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ දිව්‍ය අනුමැතිය ඇතුව සිටීම මගින්ද, අපට අවසානයේදී සදාකාල ජීවනය නමැති ත්‍යාගය අත් කරගැනීමට හැකිවනවා ඇත.
[පාදසටහන්වල]
a “කාලවල් සත” පිළිබඳව විස්තරාත්මක තොරතුරු සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත “ලෙට් යෝර් කිංඩම් කම්” පොතේ පිටු 127-39, 186-9 බලන්න.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම 918 පිටුව, බලන්න.
c වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත අවර් ඉන්කමිං වර්ල්ඩ් ගවන්මන්ට්—ගෝඩ්’ස් කිංඩම් පොතේ පිටු 152-6 සහ 180-1ද බලන්න.
පුනරීක්ෂණ ප්‍රශ්න:
◻ දානියෙල් 4:32හි ඉටුවීම සැලකිල්ලට ගනිමින්, අප දැන් ‘දිගටම අවදියෙන් සිටිය’ යුත්තේ කෙසේද?
◻ මතෙව් සහ ලූක් සුවිශේෂ “මේ පරම්පරාව” හඳුන්වා දෙන්නේ කෙසේද?
◻ අප “දවස හා පැය” බලා සිටිනවාත් සමඟම, අප නිරීක්ෂණය කරන්නේ කුමක්ද, තවද අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
◻ ධර්මිෂ්ඨ ‘අලුත් අහස සහ අලුත් පොළොවක්’ පිළිබඳ අපේක්ෂාව කුමක් කිරීමට අපව පෙලඹවිය යුතුද?
[17වන පිටුවේ පින්තූර]
මෙම සාපරාධී, දූෂිත පරම්පරාව පහවයන විට දුක් වේදනා විඳින මිනිස්සංහතියට සහනය අත් වේවි
[හිමිකම් විස්තර]
Alexandra Boulat/Sipa Press
[හිමිකම් විස්තර]
වම සහ පහළ: Luc Delahaye/Sipa Press
[18වන පිටුවේ පින්තූරය]
මහිමාන්විත ‘අලුත් අහස සහ අලුත් පොළොව’ සෑම මිනිස් ජාතියක් සඳහා ඉතාමත් ළඟව පවතී