යේසුස්වහන්සේ මෙන් ඔබත් උගන්වන්නෙහිද?
“සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.”—මතෙව් 7:28, 29.
1. යේසුස්වහන්සේ ගලීලයේ උගන්වද්දී උන්වහන්සේ පසුපස ගියේ කවුරුන්ද, තවද යේසුස්වහන්සේගේ ප්‍රතික්‍රියාව කුමක් වීද?
යේසුස්වහන්සේ කොතැන ගියත්, සමූහයෝ උන්වහන්සේ වටා එක්රොක් වූහ. “යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.” උන්වහන්සේගේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව පැතිර යන විට, “ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් එගොඩින්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය.” (මතෙව් 4:23, 25) ඔවුන් දැකීමෙන්, “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.” උන්වහන්සේ උගන්වත්ම, උන්වහන්සේ ඔවුන් කෙරෙහි දැක්වූ අනුකම්පාව හෙවත් මුදු මොලොක් ස්නේහය ඔවුන්ට දැනිණි; එය හරියට ඔවුන්ව උන්වහන්සේ සමීපයට ඇදගත්, ඔවුන්ගේ තුවාල සනහාලූ සනීපදායක බෙහෙතක් වැන්න.—මතෙව් 9:35, 36.
2. යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යවලට අමතරව, විශාල සමූහයක් ඇදී ගියේ කුමකින්ද?
2 යේසුස්වහන්සේ මොනතරම් ප්රාතිහාර්යමය කායික සුවකිරීම් කළසේක්ද!—කුෂ්ඨ රෝගීන් සුවකිරීම, බිහිරන්ට ඇසෙන්ට සැලැස්වීම, අන්ධයන්ට පෙනීම ලබාදීම, කොරුන්ට ඇවිදින්ට සැලැස්වීම, මළවුන් ආපසු ජීවත් කරවීම! යෙහෝවඃවහන්සේගේ බලයේ චමත්කාරජනක නිරූපනයන් යේසුස්වහන්සේ තුළින් ක්‍රියාත්මක වන විට, සමූහයෝ මහත් ගණනින් ඇදුණු බවට ස්ථිරය! එහෙත් ඔවුන්ව ඇදගත් එකම දේවල් වූයේ ප්රාතිහාර්යම දේ නොවේ; යේසුස්වහන්සේ උගන්වමින් සිටි විට, සපයනු ලැබූ ආත්මික සුවය සඳහාද විශාල සමූහයෝ පැමිණියෝය. නිදසුනක් වශයෙන්, උන්වහන්සේගේ සුප්‍රකට කන්ද උඩ දේශනාව ඇසීමෙන් පසු ඔවුන් දැක්වූ ප්‍රතිචාරය සැලකිල්ලට ගන්න: “යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.” (මතෙව් 7:28, 29) ඔවුන්ගේ රබ්බිවරුන් තමන්ගේ අධිකාරය වශයෙන් උපුටා දැක්වූයේ පැරණි රබ්බිවරුන්ගේ වාචික සම්ප්‍රදායන්ය. යේසුස්වහන්සේ ඔවුන්ට ඉගැන්වූයේ දෙවියන්වහන්සේගෙන් ලැබූ අධිකාරයෙන්ය: “මා කථා කරන දේ, පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කථා කරමි.”—යොහන් 12:50.
උන්වහන්සේගේ ඉගැන්වීම් හෘදයට කිඳා බැස්සේය
3. යේසුස්වහන්සේ විසින් සිය පණිවුඩය ඉදිරිපත් කිරීම, ලියන්නන්ගේ හා ඵරිසිවරුන්ගේ ඉදිරිපත් කිරීමට වඩා වෙනස්වූයේ කෙසේද?
3 යේසුස්වහන්සේගේ ඉගැන්වීම් සහ ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ ඉගැන්වීම් අතර එකම වෙනස වූයේ, ඒවායේ අඩංගු දේ, එනම්, දෙවියන්වහන්සේගේ සත්‍යතාවන්ට පටහැනිවූ මිනිසුන්ගේ පීඩාකාරී වාචික සම්ප්‍රදායන් පමණක්ම නොවේ, නමුත් ඒවා ඉදිරිපත් කරනු ලැබූ ආකාරයයි. උඩඟු ලෙස ඉහළ තත්ත්වයන් ඉල්ලා සිටි සහ සමූහයාව “ශාප ලද්දෝ” ලෙස අවඥාවෙන් ඉවත ලා සිටි ලියන්නෝ සහ ඵරිසිවරු අහංකාර පරුෂ අය වූහ. එනමුත්, යේසුස්වහන්සේ, මෘදු, මොළොක්, කරුණාවන්ත, දයානුකම්පිත සහ බොහෝ විට නම්‍යසුලු කෙනෙකු වූ අතර, ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹුණුසේක. යේසුස්වහන්සේ හරි වචනවලින් පමණක් නොව, නමුත් සිය හෘදයෙන් නික්මුණු සිත්ලගන්නාසුලු වචනවලින්ද ඉගැන්වූ අතර, ඒවා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ හෘදවලට ඍජුවම කිඳා බැස්සේය. උන්වහන්සේගේ ප්‍රීතිමත් පණිවුඩය ජනයාව උන්වහන්සේ වෙතට ඇදගත්තේය, උන්වහන්සේට සවන්දීම සඳහා පාන්දරින්ම දේව මාළිගාව වෙතට ඔවුන්ව ගෙන ආවේය, උන්වහන්සේ පසුපස නොකඩවා යෑමටත්, උන්වහන්සේට සන්තෝෂයෙන් සවන්දීමටත් ඔවුන්ව පෙලඹවීය. උන්වහන්සේට සවන්දීමට බුරුතු පිටින් පැමිණි ඔවුහු “මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි” ප්‍රකාශ කළෝය.—යොහන් 7:46-49; මාර්ක් 12:37; ලූක් 4:22; 19:48; 21:38.
4. යේසුස්වහන්සේගේ දේශනා කිරීමේදී විශේෂයෙන් බොහෝ අයගේ සිත් ඇදගත්තේ කුමක්ද?
4 උන්වහන්සේගේ ඉගැන්වීම්වලට ජනයා ඇදී යෑමට එක් හේතුවක් වූයේ උන්වහන්සේ විසින් උපහැරණ යොදා ගැනීම බව සහතිකය. යේසුස්වහන්සේද අන්‍යයන් දුටු දේ දුටුසේක, නමුත් ඔවුන් කිසිවිටෙකත් සිතා නොබැලූ දේවල් ගැන උන්වහන්සේ සිතූසේක. කෙතේ මානෙල් වැඩීම, තම කැදැලි සාදන කුරුල්ලන්, සීසාන මිනිසුන්, නැතිවූ බැටළු පැටවුන් සොයාගෙන එන එඬේරුන්, පැරණි වස්ත්‍රවල සිදුරු වැසෙන පරිදි රෙදි කෑලි දමා මහන ස්ත්‍රීන්, වෙළඳපොළේ සෙල්ලම් කරන ළමුන්, තම දැල් ගොඩට අදින ධීවරයන් යනාදි සෑම කෙනෙකුම එදිනෙදා පොදුවේ දුටු දේවල් කිසිවිටෙකත් යේසුස්වහන්සේගේ ඇස් හමුවේ පොදු දේවල් වූයේ නැත. කොතැන බැලුවත් උන්වහන්සේ දුටුවේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ රාජ්‍යය නිදර්ශනය කිරීමට හෝ තමන් අවට මිනිස් සමාජය පිළිබඳ යම් කරුණක් ඉදිරිපත් කිරීමට තමන්ට යොදා ගත හැකි දේවල්ය.
5. යේසුස්වහන්සේ සිය උපහැරණ පදනම් කළේ කුමක් මතද, තවද උන්වහන්සේගේ උපමා බලපෑමෙන් යුත් ඒවා බවට පත් කළේ කුමකින්ද?
5 ජනයා බොහෝ වතාවක් දැක තිබෙන එදිනෙදා ජීවිතයේ දේවල් මත යේසුස්වහන්සේගේ උපහැරණ පදනම්ව ඇති අතර, මෙම හුරුපුරුදු දේවල් සමඟ සත්‍යයන් සම්බන්ධ කළ විට, සවන් දෙමින් සිටින්නන්ගේ මනස්වලට ඒවා ක්ෂණිකව ගැඹුරින් කාවදී. එවන් සත්‍යතාවන් නිකම්ම අසනු ලබනවා පමණක් නොවේ; ඒවා මනසේ ඇස්වලින් දකිනු ලබන අතර, පසුවට පහසුවෙන් මතක් කර ගත හැකිය. සරල බවින් අනූන යේසුස්වහන්සේගේ උපමා, සත්‍යතාවන් අවබෝධ කර ගැනීමට බාධා විය හැකි අත්‍යවශ්‍ය නොවන කරුණුවලින් බැහැරය. නිදසුනක් වශයෙන්, අසල්වැසියෙකු බඳු සමරිතානුවරයා පිළිබඳ උපමාව සලකා බලන්න. යහපත් අසල්වැසියෙකු යනු කුමානාකාරයේ කෙනෙකුදැයි ඔබ මැනවින් එහි දකින්නෙහිය. (ලූක් 10:29-37) පුත්‍රයන් දෙදෙනෙකු සම්බන්ධ උපමාවක්ද ඉදිරිපත් කෙරිණ—එනම්, මිදිවත්තේ වැඩකරන්නෙමියි කීවත් වැඩ නොකළ පුත්‍රයෙකු සහ වැඩ නොකරන්නෙමියි කී මුත් වැඩ කළ පුත්‍රයෙකු පිළිබඳවය. නියම කීකරුකමේ ප්‍රධාන ලක්ෂණය වනුයේ පවරනු ලැබූ වැඩය කිරීම බව ඔබ සැණකින් දකින්නෙහිය. (මතෙව් 21:28-31) යේසුස්වහන්සේගේ ප්‍රාණවත් ඉගැන්වීම් අසන අතරේදී කිසිවෙක් මනසින් නිදිකිරා වැටුණේවත්, සිත වෙනතකට යොමු වී ගියේවත් නැත. ඔවුන් සිටියේ සවන්දීමෙන් හා දැකීමෙන් යන දෙකින්ම කාර්ය බහුලවය.
ප්‍රේමය දැක්විය යුතු අවස්ථාවලදී යේසුස්වහන්සේ නම්ය වූසේක
6. සාධාරණ වීම හෙවත් නම්‍යසුලු වීම විශේෂයෙන්ම උපකාරවත් වන්නේ කිනම් අවස්ථාවලදීද?
6 සාධාරණ වීම පිළිබඳව බයිබලය කථා කරන බොහෝ අවස්ථාවන්හිදී, නම්‍යසුලු වීම ඉන් අදහස් වන බව පාද සටහන පෙන්වයි. දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ප්‍රඥාව නම්, වරදේ බරපතළකම සැහැල්ලු කරවන තත්ත්වයන්හිදී නම්‍යසුලු වේ. අප ඇතැම් අවස්ථාවලදී සාධාරණ විය යුතුය, නම්‍යසුලු විය යුතුය. ප්‍රේමය දැක්වීමට සුදුසුවන අවස්ථාවන්හිදී සහ පසුතැවිල්ලට සුදුසු පරිදි නම්යසුලුවීමට වැඩිමහල්ලන් කැමති විය යුතුය. (1 තිමෝති 3:3; යාකොබ් 3:17) දයාව හෝ දයානුකම්පාව නම්යවිය යුතු බව දැක්වූ අවස්ථාවන්හිදී යේසුස්වහන්සේ පොදු නීතියට ඇලී නොසිට නම්‍යසුලු වීම සම්බන්ධයෙන් පුදුමාකාර ආදර්ශ තැබූසේක.
7. යේසුස්වහන්සේගේ නම්‍යසුලු බව සම්බන්ධ උදාහරණ සමහරක් මොනවාද?
7 යේසුස්වහන්සේ වරක් මෙසේ පැවසූසේක: “ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.” එහෙත්, පේතෘස් උන්වහන්සේව නාඳුනන බව තුන් වතාවක් කියා සිටියත් උන්වහන්සේ පේතෘස්ව ප්‍රතික්ෂේප කළේ නැත. වරදේ බරපතළකම සැහැල්ලු කරවන තත්ත්වයන් තිබූ අතර, යේසුස්වහන්සේ මේවා සැලකිල්ලට ගත් බව පෙනෙන්ට තිබේ. (මතෙව් 10:33; ලූක් 22:54-62) ලේ ගැලීමේ රෝගය ඇති අපිරිසිදු ස්ත්‍රිය සමූහයා මැදට පැමිණෙමින් මෝසෙස්ගේ ව්‍යවස්ථාව උල්ලංගනය කළ විට එම වරදේ බරපතළකම සැහැල්ලු කරවන තත්ත්වයන් තිබිණ. යේසුස්වහන්සේ ඈවද හෙළා දුටුවේ නැත. උන්වහන්සේ ඇගේ අසරණකම තේරුම් ගත්සේක. (මාර්ක් 1:40-42; 5:25-34; තවද ලූක් 5:12, 13ද බලන්න.) තමා මෙසියස්වහන්සේ බව හඳුන්වා නොදෙන මෙන් යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ට පවසා තිබුණි, එහෙත්, ළිඳ ළඟ සමරිතානු ස්ත්‍රියට තමා මෙසියස්වහන්සේ යයි හඳුන්වා දුන් අවස්ථාවේ උන්වහන්සේ එම නීතියට රළු ලෙස ඇලී සිටියේද නැත. (මතෙව් 16:20; යොහන් 4:25, 26) මේ සෑම අවස්ථාවන්හිදීම ප්‍රේමය, දයාව, සහ දයානුකම්පාව හේතුවෙන් මෙලෙස නම්‍යසුලු වීම සුදුසු දෙයක් විය.—යාකොබ් 2:13.
8. ලියන්නන් සහ ඵරිසිවරුන් නීති රීති නමනු ඇත්තේ කිනම් අවස්ථාවලදීද, තවද එසේ නොනමනු ඇත්තේ කිනම් අවස්ථාවලදීද?
8 නම්‍යසුලු නොවූ ලියන්නන් සහ ඵරිසිවරුන් සම්බන්ධයෙන් තත්ත්වය ඊට වඩා වෙනස් දෙයක් විය. තමන් සම්බන්ධ වන කාරණාවලදී, එනම්, තම ගොනා වතුර ළඟට දක්කාගෙන යෑම සඳහා ඔවුහු සබත් සම්ප්‍රදායන් උල්ලංගනය කළහ. නොඑසේනම්, ඔවුන්ගේ ගොනා හෝ ඔවුන්ගේ පුත්‍රයා ළිඳකට වැටුණි නම්, ඔහුව හෝ එම ගොනාව ළිඳෙන් ගොඩට ගැනීම සඳහා ඔවුන් සබත් කඩ කරනු ඇත. එහෙත්, පොදු ජනයා සඳහා, ඔවුන් ඇබිත්තක්වත් නම්යවීමට යන්නේ නැත! ඔවුහු “තමුන්ගේ ඇඟිල්ලවත් [අවශ්‍යතාවන්ට] තබන්ට කැමති නොවෙති.” (මතෙව් 23:4; ලූක් 14:5) යේසුස්වහන්සේට නම්, නීතිවලට වඩා වැදගත් වූයේ මිනිසුන්වය; ඵරිසිවරුන්ට වඩාත් වැදගත් වූයේ මිනිසුන්ට වඩා නීතිය.
“ආඥාවේ පුත්‍රයෙක්” බවට පත්වීම
9, 10. යෙරුසලමට නැවත හැරී යෑමෙන් පසු, යේසුස්වහන්සේගේ දෙමාපියන්ට උන්වහන්සේව හමුවූයේ කොහේදීද, තවද යේසුස්වහන්සේගේ ප්‍රශ්න කිරීමේ ඇති විශේෂත්වය කුමක්ද?
9 යේසුස්වහන්සේගේ ළමා කාලය ගැන වාර්තා වී ඇත්තේ එක් සිද්ධියක් පමණකැයි සමහරු තැවෙති. එහෙත්, එම සිද්ධියේ මහත් වැදගත්කම වටහා ගැනීමට බොහෝ දෙනෙක් අසමත් වෙති. එය ලූක් 2:46, 47හි අප සඳහා වාර්තා කර තිබෙන්නේ මෙසේය: “තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය. උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූවෝය.” මෙම සිද්ධියේදී, “ප්‍රශ්න කරමින්” යන ග්‍රීක් වචනයෙහි අදහස වූයේ හුදෙක් පිරිමි ළමයෙකුගේ කුතුහලයක් නොවූ බවට යන අදහස කිටෙල්ගේ තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් දරයි. විනිශ්චමය පරීක්ෂණයකදී, විමසීමකදී, හරස් ප්‍රශ්න ඇසීමකදී සහ මාර්ක් 10:2 සහ 12:18-23හි සඳහන් වී ඇති වැනි ‘ඵරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ හාරා අවුස්සන කපටි ප්‍රශ්නවලටද’ මෙම වචනය යොමු දැක්විය හැක.
10 එම විශ්වකෝෂයම තවදුරටත් මෙසේ කියයි: “මෙම වචනය භාවිතයේදී, . . . [ලූක්] 2:46 බොහෝ දුරට අඟවන්නේ, පිරිමි ළමයාගේ ප්‍රශ්න කිරීමේ කුතුහලය නොව, නමුත් ඔහු විසින් සාර්ථක ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කිරීමය. සතළිස් හත්වෙනි [පදය] දෙවැනියට සඳහන් කළ දෘෂ්ටිය සමඟ මැනවින් ගැළපේ.”a හතළිස් හත්වන පදය සම්බන්ධයෙන් රෝතහම්ගේ පරිවර්තනය, එය චමත්කාර ගැටුමක් ලෙස ඉදිරිපත් කරයි: “උන්වහන්සේගේ අවබෝධය සහ උත්තර නිසා, දැන් උන්වහන්සේට සවන් දුන් සියල්ලෝ වික්ෂිප්ත වූහ.” ඔවුන් දිගටම පුදුමව සිටීම, “ඔවුන් ඇසි පිය නොහෙළා සිටියාක් මෙන් ඔවුන් වික්ෂිප්ත වී සිටි” බව අදහස් කරන්නේ යයි රෝබට්සන්ගේ වර්ඩ් පික්චර්ස් ඉන් ද නිව් ටෙස්ටමන්ට් පවසයි.
11. මරියා සහ යෝසෙප් දුටු සහ ඇසූ දෙය පිළිබඳ ඔවුන්ගේ ප්‍රතික්‍රියාව කුමක් වීද, එක් දේව ධර්මීය ශබ්දකෝෂයක, යෝජනා කරන්නේ කුමක්ද?
11 අවසානයේදී යේසුස්වහන්සේගේ මාපියන් මෙම සිද්ධිය වූ තැනට ආ කල, ඔවුහු “මවිතවූවෝය.” (ලූක් 2:48) මෙම ප්‍රකාශය තුළ වූ ග්‍රීක් වචනයේ අදහස, “පහරක් මගින් වේගයෙන් දමා ගැසීම, ඉවතට යෑමට සැලැස්වීම,” යයි රෝබට්සන් පවසයි. යෝසෙප් සහ මරියා තමන් දුටු දෙයින් සහ ඇසූ දෙයින් “වේගයෙන් පහරකින් දමා ගසනු ලැබී,” යයි ඔහු තවදුරටත් කියා සිටී. එක් අර්ථයකින් ගත් කල, යේසුස්වහන්සේ ඒ වන විටත් පුදුමාකාර ගුරුවරයෙකුව සිටිසේක. දේව මාළිගාවේ සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන්, “යේසුස්වහන්සේ තම ළමා වියේ ඒ වනවිටත් අවසානයේදී උන්වහන්සේගේ විරුද්ධවාදීන්ට පරාජය භාර ගැනීමට සිදුවන ආගමික නායකයන් සමඟ ගැටීම ආරම්භ කොට,” තිබූ බවද කීටෙල්ගේ කෘතිය කියා සිටී.
12. ආගමික නායකයන් සමඟ යේසුස්වහන්සේ පසුව කළ සාකච්ඡාවලදී කැපී පෙනුණේ කුමක්ද?
12 එමෙන්ම ඔවුන්ට පරාජය භාර ගැනීමට සිදුවිණි! වසර ගණනාවකට පසුව, “උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්යය” නොතිබෙන තෙක්, යේසුස්වහන්සේ එවන් ප්‍රශ්නවලින් ඔවුන්ව පරාජය කළසේක. (මතෙව් 22:41-46) ඒ හා සමානව, නැවත නැගිටීම සම්බන්ධ ප්රශ්නයේදී සද්දුසිවරුන්වද නිශ්ශබ්ද කරනු ලැබූ අතර, “උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට ඔවුන්ට තවත් ධෛර්යය නොතිබුණේය.” (ලූක් 20:27-40) ලියන්නෝද එලෙසම අසාර්ථක වූහ. ඔවුන්ගෙන් කෙනෙකු යේසුස්වහන්සේ සමඟ සාකච්ඡා කළ පසු, “උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්යය නොතිබුණේය.”—මාර්ක් 12:28-34.
13. යේසුස්වහන්සේගේ ජීවිතයේ, දේව මාළිගාවේ සිදුවූ සිද්ධි වැදගත්වීමට සැලැස්වූයේ කුමක්ද, මින් තවදුරට කුමක් සම්බන්ධයෙන් අවබෝධවීම යෝජනා කෙරේද?
13 යේසුස්වහන්සේ සහ මෙම ගුරුවරුන් සම්බන්ධ දේව මාළිගාවේ මෙම සිද්ධිය උන්වහන්සේගේ ළමාවියෙන් සලකා බැලීමට වටිනා යමක් ලෙස තෝරා ගෙන සඳහන් කොට තිබුණේ මන්ද? එය යේසුස්වහන්සේගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වූයේය. උන්වහන්සේට වයස අවුරුදු 12 වන විට, යුදෙව්වන් විසින් හැඳින්වූ පරිදි, සියලු ව්‍යවස්ථා පැවැත්වීම සඳහා වගකිවයුතු “ආඥාවේ පුත්‍රයා” බවට උන්වහන්සේ පත්වූසේක. මරියා සහ යෝසෙප්හට යේසුස්වහන්සේ නිසා ඇතිවූ මානසික පීඩාව ගැන ඇය උන්වහන්සේට පැමිණිලි කළ අවස්ථාවේ, ඇගේ පුත්‍රයාගේ පිළිතුරෙන් ඇඟවූයේ, පෙනෙන විදිහට උන්වහන්සේ සිය උපතේ ආශ්චර්යමය ස්වභාවය සහ තම මෙසියානු අනාගතය වටහා ගෙන සිටි බවයි. “නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්ද?” කියා ඉතා ඍජු අන්දමින් දෙවියන්වහන්සේ තම පියාණන් බව පැවසීමෙන් ඒ බව යෝජනා වෙයි. ඒ ඇරත්, බයිබලයේ වාර්තාකර ඇති, යේසුස්වහන්සේගේ පළමු වචන මේවා වන අතර, තමන්ව පොළොවට එවීම සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ අරමුණ පිළිබඳව උන්වහන්සේ සාවධානව සිටි බව ඒවායින් ඇඟවෙයි. මෙසේ, මෙම මුළු සිද්ධියම මූලික වශයෙන් විශේෂ වැදගත්කමක් ගනී.—ලූක් 2:48, 49.
යේසුස්වහන්සේ දරුවන්ට ප්‍රේම කරමින් ඔවුන්ව තේරුම් ගන්නාසේක
14. කුඩා දරුවන්ගේ අවධානයට ලක් විය යුත්තේ දේව මාළිගාවේ ළමා යේසුස්වහන්සේ පිළිබඳ වාර්තාවේ කිනම් උනන්දුමත් කරුණුද?
14 මෙම වාර්තාව විශේෂයෙන්ම කුඩා ළමුන්ට ඉමහත් සතුටක් ඇති කරවන්නක් විය යුතුය. වැඩිහිටිභාවයට පා තබමින් සිටි විට යේසුස්වහන්සේ කොතරම් උනන්දුවෙන් අධ්‍යයන කටයුතුවල යෙදුණාදැයි මෙය පෙන්වයි. මෙම 12 වියැති “ආඥාවේ පුත්‍රයාගේ” ප්‍රඥාව දුටු දේව මාළිගාවේ රබ්බිවරු ගරුබියෙන් ඇලලී ගියෝය. එහෙත්, උන්වහන්සේ තවමත් වඩුමඩුවේ යෝසෙප් සමඟ වැඩ කළ අතර, ඔහුට සහ මරියාට “දිගටම යටත්ව සිටිමින්,” “දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයන්ගේද ප්‍රසාදය තුළ” වැඩුණුසේක.—ලූක් 2:51, 52, NW.
15. සිය දේව සේවය අතරතුරේදී, යේසුස්වහන්සේ ළමුන්ට උදව් දෙනසුලු කෙනෙකු වූයේ කෙසේද, අදදින ළමුන් සඳහා මින් අදහස් කරන්නේ කුමක්ද?
15 සිය දේව සේවා කාලය අතරතුරේදී, යේසුස්වහන්සේ කුඩා ළමුන්හට බොහෝ සෙයින් උදව්දෙන කෙනෙකු වූසේක. “නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේව මාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී: මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක.” (මතෙව් 21:15, 16; ගීතාවලිය 8:2) අදදිනද, තම අඛණ්ඩතාව පවත්වාගනිමින්, ප්‍රශංසාව දෙන ළමුන් සිය දහස් ගණනකට උන්වහන්සේ ඒ හා සමානව උදව් දෙන අතර, මොවුන්ගෙන් ඇතැමෙකු තමන්ගේ ජීවිත පරදුවට තබමින් මෙසේ කර තිබේ.
16. (අ) කුඩා ළමයෙකුව සිය ප්‍රේරිතයන් මැද සිටුවා තැබීමෙන් යේසුස්වහන්සේ ඔවුන්ට ඉගැන්වූ පාඩම කුමක්ද? (ආ) යේසුස්වහන්සේට කුඩා ළමුන් සඳහා තවමත් වේලාව තිබුණේ උන්වහන්සේගේ ජීවිතයේ කිනම් ඉතා භාරදූර අවස්ථාවේද?
16 උතුම්ම වන්නේ කොයි තැනැත්තාද කියා ප්‍රේරිතයන් වාද කළ අවස්ථාවේ, යේසුස්වහන්සේ 12දෙනාට අමතමින්: “යමෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා, ඔහු වඩාගෙන: මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවූ කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනැන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.” (මාර්ක් 9:35-37) එපමණක්ද නොව, බිහිසුණු පරීක්ෂාවට හා මරණයට මුහුණදීම පිණිස අන්තිම වතාවට, යෙරුසලම බලා ගමන් කරමින් සිටි විට, උන්වහන්සේ කුඩා දරුවන් සඳහා යම් කාලයක් වැය කළසේක: “ළදරුවන් මා ළඟට එන්ට හැරපල්ලා; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.” අනතුරුව උන්වහන්සේ, “ඔවුන් වඩා ගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක.”—මාර්ක් 10:13-16.
17. දරුවන් සමඟ හොඳ සබඳතාවක් පැවැත්වීමට යේසුස්වහන්සේට පහසු වූයේ මන්ද, තවද දරුවන් උන්වහන්සේ පිළිබඳව මතක තබා ගත යුත්තේ කුමක්ද?
17 වැඩිහිටියන්ගේ ලෝකයක ළමයෙකු වීම කෙබඳු දෙයක්ද කියා යේසුස්වහන්සේ දනී. උන්වහන්සේ වැඩිහිටියන් සමඟ ජීවත් වූසේක, ඔවුන් සමඟ වැඩ කළසේක, ඔවුන්ට යටත් වීම අද්දුටුසේක, එමෙන්ම ඔවුන්ගේ උණුසුම් ප්‍රේමනීය ආරක්ෂක බවේ හැඟීම්ද උන්වහන්සේට දැනිණි. දරුවෙනි, මෙම යේසුස්වහන්සේම ඔබගේ මිතුරාය; උන්වහන්සේ ඔබ උදෙසා මියගියසේක, තවද ඔබ උන්වහන්සේගේ ආඥාවලට කීකරු වන්නේ නම්, ඔබ සදාකල් ජීවත් වනවා ඇත.—යොහන් 15:13, 14.
18. විශේෂයෙන්ම පීඩාකාරී හෙවත් උපද්‍රව සහිත කාලවලද, අප මනසේ තබා යුතු අමානන්දනීය සිතිවිල්ල කුමක්ද?
18 යේසුස්වහන්සේ අණකරන ලෙසට කිරීම පෙනී යා හැකි තරම් අමාරු දෙයක් නොවේ. යෞවනයෙනි, උදව්වීමට උන්වහන්සේ සිටිනසේක, තවද වෙනත් සෑම කෙනෙකුමත් උදෙසාය, එය අපට මතෙව් 11:28-30හි [NW] කියවීමට තිබෙනවාක් මෙනි: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට නැවුම් බවක් දෙමි. මාගේ වියගහ ඔබ පිටට ගෙන [නැතහොත්, “මගේ වියගහ යටට මා සමඟ පැමිණෙන්න, NW පාද සටහන], මාගෙන් ඉගෙන ගන්න. මන්දයත් මම මොළොක් ගතියෙන් යුතුව හදවතින් නිහතමානීව සිටිමි, එමෙන්ම ඔබ ඔබගේ ප්‍රාණවලට නැවුම් බවක් ලබාගන්නවා ඇත. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” නිකම් සිතා බලන්න, ඔබ යෙහෝවඃවහන්සේට සේවය කරමින් ජීවන මඟේ ගමන් කරන විට, ඔබගේ වියගහ පහසු කරවමින්, බර සැහැල්ලු කරමින් යේසුස්වහන්සේ ඔබ අසලින් ගමන් ගන්නාසේක. එය අප සියල්ලන්ටම අමානන්දනීය සිතිවිල්ලකි!
19. යේසුස්වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රම ගැන අපට කලින් කලට පුනරීක්ෂණය කර බැලිය හැකි ප්‍රශ්න මොනවාද?
19 යේසුස්වහන්සේ උගන්වන ආකාර ස්වල්පයක් මෙසේ යළි සලකා බැලීමෙන් පසු, අප උන්වහන්සේ ඉගැන්වූවාක් මෙන් උගන්වන බවට අපට පෙනී යන්නේද? ශාරීරිකව හෝ ආත්මිකව අසනීපව සිටින අය අප දකින විට, අපට කළ හැකි දෙයින් ඔවුන්ට උදව් කිරීම සඳහා අනුකම්පාවෙන් යුතුව අපගේ හදවත් පෙලඹෙන්නේද? අප අන්‍යයන්ට උගන්වන විට, අප උගන්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයද, නැතහොත්, ඵරිසිවරුන් මෙන්, අප උගන්වන්නේ අපගේම අදහස්ද? ආත්මික සත්‍යතාවන් පැහැදිලි කිරීමට, සිතින් මවාගැනීමට, කැටිකොට දැක්වීමට සහ අවබෝධය වැඩි කිරීමට යොදා ගත හැකි එදිනෙදා ජීවිතයේදී අප අවට දේවල් ගැන අපි සුපරීක්ෂාවෙන් සිටින්නෙමුද? නීති රීති අදාළ කිරීමේදී, යම් තත්ත්වයන්ට අනුව ප්‍රේමය හා දයාව නම්‍යසුලු වීම අවශ්‍ය වන බව පෙන්වන විට, එක්තරා නීතිවලටම කොටුවී රළු ලෙස ඒවාට ඇලී සිටීමෙන් අපි වලකින්නෙමුද? එමෙන්ම දරුවන් ගැන කුමක් කිව හැකිද? යේසුස්වහන්සේ පෙන්වූ මෘදු සැලකිල්ල හා ප්‍රේමනීය-කරුණාව අපිත් ඔවුන්ට පෙන්වන්නෙමුද? යේසුස්වහන්සේ පිරිමි ළමයෙකුව සිටියදී පාඩම් කළ ආකාරයට පාඩම් කිරීමට ඔබ ඔබගේ දරුවන් දිරිගන්වන්නෙහිද? ඔබ යේසුස්වහන්සේ මෙන්, ස්ථිර ලෙස ක්‍රියා කරන නමුත්, පසුතැවිලි වන අයව උණුසුම් අන්දමින් පිළිගැනීමට, එනම් කිකිළියක් ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කරගන්නා අන්දමටම පිළිගැනීමට ඔබ සූදානම්ද?—මතෙව් 23:37.
20. අප අපගේ දෙවියන්වහන්සේට සේවය කරනවාත් සමඟම, කිනම් ආනන්දජනක සිතිවිල්ලෙන් අපට අපවම සනසා ගත හැකිද?
20 යේසුස්වහන්සේ මෙන්, අපත් හොඳම අයුරින් ඉගැන්වීමට උත්සුක වන්නේ නම්, ‘උන්වහන්සේ සමඟ උන්වහන්සේගේ වියහග යටට පැමිණීමට’ උන්වහන්සේ අපට ඉඩ හරිනවා නොඅනුමානය.—මතෙව් 11:28-30.
[පාදසටහන්වල]
a ඇත්ත වශයෙන්ම, යේසුස්වහන්සේ තමන්ට වඩා වයසැති අය කෙරෙහි, විශේෂයෙන්ම පැසුණු හිසකෙස් ඇති අයට සහ පූජකවරුන්ට සුදුසු ගෞරවයක් දැක්වූවා යයි විශ්වාස කිරීමට අපට සෑම හේතුවක්ම තිබේ.—සසඳන්න ලෙවී කථාව 19:32; ක්‍රියා 23:2-5.
ඔබට මතකද?
◻ සමූහයා යේසුස්වහන්සේ වෙතට එක්රොක් වූයේ මන්ද?
◻ යම් අවස්ථාවලදී යේසුස්වහන්සේ ඇතැම් නීතිරීති සම්බන්ධයෙන් නම්‍යසුලු වූයේ මන්ද?
◻ දේව මාළිගාවේදී ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අපට යේසුස්වහන්සේගෙන් කුමක් උගත හැකිද?
◻ යේසුස්වහන්සේ, ළමුන් හා බැඳි සබඳතාවෙන් අපට කිනම් පාඩම් උගත හැකිද?