ප්රාතිහාර්යයන් විතරක්ම ඇදහිල්ල ගොඩනංවන්නේ නැති හේතුව
දැක්කොත් විශ්වාස කරනවා. බොහෝදෙනාගේ අදහස ඒකයි. දෙවි යම් ප්රාතිහාර්යමය මාර්ගයකින් එළිදරව් වුණොත්, ඔහු කෙරෙහි විශ්වාස කරන බව සමහරු කියා සිටිනවා. සමහරවිට එය එසේ වෙන්න පුළුවන් වුණත්, එවැනි විශ්වාසයක් සැබෑ ඇදහිල්ලකට මඟ පෙන්වාවිද?
ඉශ්රායෙල්වරුන් වූ කෝරා, දාතාන් සහ අබීරාම් සලකා බලන්න. දෙවිගේ ගරුබිය දනවන ප්රාතිහාර්යයන් එනම්, මිසරයට එරෙහිව ගෙනා වසංගත දසය, රතු මුහුදෙන් ඉශ්රායෙල් ජාතිය බේරාගැනීම, මිසරයේ ඵාරාවෝ සහ ඔහුගේ යුද හමුදාව සමූලඝාතනය කිරීම ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස බයිබලය ඔවුන්ව හඳුන්වනවා. (නික්මයාම 7:19–11:10; 12:29-32; ගීතාවලිය 136:15) සීනයි කන්ද අසලදී, යෙහෝවා ස්වර්ගයේ සිට කතා කරනවාත් කෝරා, දාතාන් සහ අබීරාම් අසා සිටියා. (ද්විතීය කථාව 4:11, 12) එහෙත්, මෙම ප්රාතිහාර්යයන් සිදු වී වැඩි කාලයක් ගතවීමට ප්‍රථමයෙන්, මේ මිනිසුන් තුන්දෙනා යෙහෝවාටත් ඔහුගේ පත් කරන ලද සේවකයන්ටත් විරුද්ධව කැරැල්ලක් මෙහෙයවූවා.—ගණන් කථාව 16:1-35; ගීතාවලිය 106:16-18.
අවුරුදු 40කට පසුව, බාලාම් නම් වූ අනාගතවක්තෘද ප්‍රාතිහාර්යයක සාක්ෂිකරුවෙක් වුණා. දේවදූත මැදහත් වීම පවා, දෙවිගේ සතුරන් වූ මෝවබ්වරුන්ගේ පැත්ත ගැන්මෙන් ඔහුව වැළැක්වූයේ නැහැ. එම ප්රාතිහාර්යය සිදු වුණත්, බාලාම් දෙවි වූ යෙහෝවාට සහ ඔහුගේ සෙනඟට විරුද්ධව නැඟී සිටින්න පිටත්ව ගියා. (ගණන් කථාව 22:1-35; 2 පේතෘස් 2:15, 16) කෙසේවෙතත්, යූදස් ඉස්කාරියොත්ගේ ඇදහිල්ලේ ඌනතාව සමඟ බලද්දී බාලාම්ගේ ඇදහිල්ලේ ඌනතාව මහ දෙයක් නෙමෙයි. යේසුගේ කිට්ටු සගයෙක් සහ අසාමාන්‍ය ප්රාතිහාර්යයන් පෙළකට ඇසින් දුටු සාක්ෂිකාරයෙක්ව සිටියත්, යූදස් ක්‍රිස්තුස්ව රිදී කැබලි 30කට පාවා දුන්නා.—මතෙව් 26:14-16, 47-50; 27:3-5.
යේසු සිදු කළ බොහෝ ප්රාතිහාර්යයන් ගැන යුදෙව් ආගමික නායකයෝ පවා දැනගෙන හිටියා. ඔහු ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වායින් පසුව ඔවුන් මෙහෙමත් කිව්වා: “මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි.” එහෙත්, දැන් ජීවතුන් අතර සිටින ලාසරුස්ව දැකීම ඔවුන්ගේ සිත් මෘදු කර, ඇදහිල්ල ලබා දුන්නාද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට, යේසුවයි ලාසරුස්වයි මරන්න ඔවුන් කුමන්ත්‍රණය කළා!—යොහන් 11:47-53; 12:10.
දෙවි කෙළින්ම මැදහත් වූවත් එම දුෂ්ට මිනිසුන් තුළ ඇදහිල්ල ඉපදවීමට සමත් වුණේ නැහැ. යේසු එක වතාවක දේවමාළිගා භූමියේ සිටියදී, ශබ්ද නඟා මෙහෙම යාච්ඤා කළා: “පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනව.” යෙහෝවා ස්වර්ගයේ සිට උත්තර දෙමින්: “මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමි” කියා කිව්වා. ඒත් මෙම ප්රාතිහාර්යමය සිදුවීම පැමිණ සිටි අයගේ හදවත් තුළ ඇදහිල්ල ඉපදවූයේ නැහැ. ඒ ගැන බයිබලය මෙහෙම කියනවා: ‘ඔහු ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු ඔහු කෙරෙහි අදහා නොගත්තෝය.’—යොහන් 12:28-30, 37; සසඳන්න එපීස 3:17.
ප්රාතිහාර්යයන් ඇදහිල්ල ගොඩනංවන්නේ නැති හේතුව
ප්රාතිහාර්යයන් රැසක් අභියස එවැනි ඇදහිල්ලේ ඌනතාවක් තිබිය හැක්කේ කොහොමද? යේසුගේ සේවය ආරම්භ කළ කාලයේදීම මෙසියස් හෝ “ක්‍රිස්තුස්” ගැන යුදෙව්වන් “බලාපොරොත්තුවෙන්” සිටි නිසා, යුදෙව් ආගමික නායකයන් යේසුව ප්‍රතික්ෂේප කිරීම පෙනෙන විදිහට හරිම ප්‍රහේලිකාවක්. (ලූක් 3:15) කොහොමවුණත්, ප්රශ්නය තිබුණේ, ඔවුන් තබාගෙන සිටි බලාපොරොත්තු මොනවාද යන්න මතයි. මෙසියස්, “ලෞකික ජය” සහ “ද්‍රව්‍යමය සමෘද්ධිය” ඔවුන්ට ලබා දෙනවා යන අදහස යුදෙව්වන්ගේ කල්පනාවෙහි අනිසි ලෙස රැඳී තිබුණාය කියා ප්‍රකාශ කර තිබූ සුප්‍රකට බයිබල් විශාරදයෙකුව, ශබ්ද සංග්‍රහක ඩබ්ලිව්. ඊ. වයින් උපුටා දක්වනවා. ඒ නිසා, පො.යු. 29දී ඔවුන් අතර සැබෑ මෙසියස් ලෙස පෙනී සිටි නිහතමානි, දේශපාලනයට සම්බන්ධ නැති නාසරෙත්හි යේසුව පිළිගැනීමට ඔවුන් ලැහැස්ති වුණේ නැහැ. ඒ වගේම යේසුගේ ඉගැන්වීම්, පවතින සමාජ ක්‍රමය අවුල් කර ඔවුන්ගේ ප්‍රසිද්ධ තත්වය අනතුරෙහි හෙළයි කියා ආගමික නායකයන් භය වුණා. (යොහන් 11:48) ඔවුන් කලින් දරමින් සිටි අදහස් සහ ආත්මාර්ථකාමිකම නිසා, යේසුගේ ප්රාතිහාර්යයවල අභිප්‍රාය සම්බන්ධයෙන් ඔවුන් අන්ධ වුණා.
යේසුගේ අනුගාමිකයන් දිව්‍ය අනුග්‍රහය භුක්ති වින්ද බවට තිබුණු ප්රාතිහාර්යමය සාක්ෂිය, යුදෙව් ආගමික නායකයන් සහ අනිත් අය පසුකලකදී ප්‍රතික්ෂේප කළා. උදාහරණයකට, ඔහුගේ ප්‍රේරිතයෝ මව්කුස පටන් කොරව සිටි මිනිසෙකුව සුව කළ විට කෝපාවිෂ්ට වූ යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෝ මෙහෙම කතා කරගත්තා: “මේ මනුෂ්‍යයන්ට මක්කරමුද? මක්නිසාද විශිෂ්ඨවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන. නුමුත් සෙනඟ අතරේ එය තවත් දුරට පතළ නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්ට ඔවුන්ට තර්ජනයකරමු.” (ක්‍රියා 3:1-8; 4:13-17) පැහැදිලිවම, මේ පුදුමාකාර ප්රාතිහාර්යයන් ඒ මිනිසුන්ගේ සිත් තුළ ඇදහිල්ල ගොඩනැංවූයේවත් ඇදහිල්ල නිපදවූයේවත් නැහැ.
අභිලාෂය, උඩඟුකම සහ කෑදරකම යන සාධක, තමන්ගේ සිත්හි දොරගුලුලන්න බොහෝදෙනෙකුව පොලඹවා තියෙනවා. පටන්ගැන්මේදී සඳහන් කළ කෝරා, දාතාන් සහ අබීරාම් යන අයගේ සිද්ධියේදී පවා, පෙනෙන විදිහට සිදු වී තිබුණෙත් ඒ දේමයි. ඊර්ෂ්‍යාව, භය සහ තවත් බොහෝ හානිකර ආකල්ප තව අයගේ දියුණුවේ මඟ අහුරල තියෙනවා. වරක් දෙවි අභියස සිටීමේ වරප්‍රසාද තිබූ අකීකරු දූතයන්, නැත්නම් භූතයන් ගැනත් අපිට මතක් කර දී තියෙනවා. (මතෙව් 18:10) ඔවුන් දෙවිගේ පැවැත්ම ගැන සැක පහළ කරන්නේ නැහැ. ඇත්තෙන්ම, “යක්ෂයොත් විශ්වාසකර වෙවුල[නවා].” (යාකොබ් 2:19) එහෙත්, ඔවුන්ට දෙවි කෙරෙහි ඇදහිල්ලක් නැහැ.
සැබෑ ඇදහිල්ලේ අර්ථය
ඇදහිල්ල කියන්නේ, නිකම්ම විශ්වාසයට වඩා වැඩි යමක්. එය යම් ප්රාතිහාර්යයක් නිසා ඇති වන තාවකාලික චිත්තවේගීය ප්රතික්රියාවකටත් වඩා වැඩි යමක්. හෙබ්‍රෙව් 11:1 මෙහෙම කියනවා: “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.” ඇදහිල්ල තියෙන කෙනෙක්, යෙහෝවා දෙවි පොරොන්දු වන සෑම දෙයක්ම, දැනටමත් ඉටු වෙලා කියලා හෘදයෙන් ඒත්තුගන්නවා. ඊටත් වැඩියෙන්, නොපෙනෙන යථාර්ථයන්ගේ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි කොච්චර බලගතුද කිව්වොත්, ඒ සාක්ෂි ඇදහිල්ලට සමානයි කියලා කියනවා. ඔව්, ඇදහිල්ල පදනම් වන්නේ, සාක්ෂි මතයි. ඒ වගේම අතීතයේදී, ප්රාතිහාර්යයන් ඇදහිල්ල වර්ධනය කිරීමේ සහ එය ගොඩනැංවීමේ කාර්යභාරයක් රැඟුවා. යේසු දැක්වූ ලකුණු ඔහු පොරොන්දු වූ මෙසියස් බව අනිත් අයට ඒත්තුගන්වන්න උපකාර කළා. (මතෙව් 8:16, 17; හෙබ්‍රෙව් 2:2-4) සමානාකාරයෙන්, ප්රාතිහාර්යමය සුව කිරීම් සහ අන්‍ය භාෂාවලින් කතා කිරීම යන දෙවිගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරික බලයේ එවැනි තෑගිවලින් යුදෙව්වන්ට තවදුරටත් යෙහෝවාගේ අනුග්‍රහය නැති බව ඔප්පු කළා සේම, දැන් ඔහුගේ අනුමැතිය තියෙන්නේ ඔහුගේ පුත් යේසු ක්‍රිස්තුස් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාව පිටයි කියලා ඔප්පු කළා.—1 කොරින්ති 12:7-11.
ප්රාතිහාර්යමය ආත්මයේ දීමනා අතර අනාවැකි කීමේ හැකියාවද තිබුණා. නොඅදහන්නන් මෙම ප්රාතිහාර්යය දැක්කම යෙහෝවාට නමස්කාර කරන්න පෙලඹිලා මෙහෙම කිව්වා: “සැබවින් [දෙවි] නුඹලා අතරෙහිය.” (1 කොරින්ති 14:22-25) කෙසේවෙතත්, ප්රාතිහාර්යය ක්‍රිස්තියානි නමස්කාරයේ නිත්‍ය අංගයක් ලෙස තබන්න දෙවි අදහස් කළේ නැහැ. මීට එකඟව ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය.” (1 කොරින්ති 13:8) ප්‍රේරිතයන් සහ ප්‍රේරිතයන් මාර්ගයෙන් මෙම තෑගි ලැබූ මිනිසුන්ගේ අභාවයෙන් පසුව මේ තෑගි පෙනෙන විදිහට නැවතුණා.
එසේනම්, මිනිස්සුන්ට ඇදහිල්ල පවත්වන්න පදනමක් නැතුව යාවිද? නැහැ; මේ ගැන පාවුල් මෙහෙම කිව්වා: ‘එහෙත් දෙවි අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, ඔහු ගැන සාක්ෂි නොදී නොසිටියේය.’ (ක්‍රියා 14:17) ඇත්තවශයෙන්ම, තමන්ගේ මනස් සහ හදවත් විවෘත කිරීමට කැමති අවංක හදවත් ඇත්තන්ට, අප අවට ඇති සාක්ෂිවලින් එනම්, ‘ලෝකය මැවූ තැන් පටන් දෙවිගේ අදෘශ්‍යමාන දේ වන ඔහුගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයනවා; එබැවින් ඔව්හු [දෙවිව ප්‍රතික්ෂේප කරන අය] නිරුත්තරව සිටිනවා.’—රෝම 1:20.
දෙවිගේ පැවැත්ම විශ්වාස කිරීම විතරක්ම මදි. පාවුල් මෙහෙම උනන්දු කළා: “එමෙන්ම මේ දේවල පිළිවෙළට අනුව හැඩගැසී සිටීමෙන් නතර වී, දෙවිගේ යහපත් වූ පිළිගත හැකි වූ පරිපූර්ණ වූ කැමැත්ත ඔබටම සහතික කරගන්නා පිණිස, ඔබේ මනස සකස් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” (රෝම 12:2, NW) මේක කරන්න පුළුවන් වෙන්නේ, මේ සඟරාව වැනි ක්‍රිස්තියානි ප්‍රකාශන ආධාරයෙන් ශුද්ධ ලියවිලි උනන්දුමත් ලෙස අධ්‍යයනය කිරීමෙනුයි. දේවවචනය වන බයිබලයේ ඇති ඒකාන්ත දැනුම මත පදනම් ඇදහිල්ල, දුර්වල හෝ නොගැඹුරු එකක් නෙවෙයි. දෙවිගේ කැමැත්ත වටහාගෙන ඇදහිල්ලෙන් යුතුව ක්‍රියා කරන අය දෙවිට පරිශුද්ධ සේවය පිරිනමනවා.—රෝම 12:1.
නොදැක්කත් විශ්වාස කිරීම
යේසුගේ මළවුන්ගෙන් නැඟිටීම කෙරෙහි ඇදහිල්ල තියන්න ප්‍රේරිත තෝමස්ට අමාරු වුණා. “[ඔහුගේ] අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, [ඔහුගේ] ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි” කියලා තෝමස් තරයේ කියා සිටියා. පසුව යේසු, වධ කණුවේ එල්ලනු ලැබීම නිසා ඇති වූ තුවාල පෙන්නුම් කරන ශරීරයකින් මූර්තිමත් වූ විට, එම ප්රාතිහාර්යයට තෝමස් නිසි ලෙස ප්‍රතිචාරය දැක්වූවා. කෙසේවෙතත්, යේසු මෙහෙම කිව්වා: “නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්ය, NW].”—යොහන් 20:25-29.
අදදින, මිලියන ගණන් යෙහෝවාගේ සාක්ෂිකාරයෝ “හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.” (2 කොරින්ති 5:7) බයිබලයේ වාර්තා වී ඇති ප්රාතිහාර්යයන් ඔවුන් නොදුටුවත්, ඒවා සිදු වූ බව ඔවුන් විශ්වාස කරනවා. සාක්ෂිකාරයෝ දෙවි කෙරෙහිත් ඔහුගේ වචනය කෙරෙහිත් ඇදහිල්ල තබනවා. බයිබල් ඉගැන්වීම් සහ එහි බලපවත්වන තේමාව වන යෙහෝවා දෙවිගේ ස්වර්ගීය රාජ්‍යය මගින් ඔහුගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම තේරුම්ගැනීමට ඔවුන්ට ඔහුගේ ආත්මයේ උපකාරයෙන් හැකි වෙලා තියෙනවා. (මතෙව් 6:9, 10; 2 තිමෝති 3:16) තමන්ට මහත් ප්‍රයෝජන සමඟින් මේ සැබෑ ක්‍රිස්තියානීන් බයිබලයේ ඇති ප්‍රඥාවන්ත දැනමුතුකම් ජීවිතයට අදාළ කරගන්නවා. (ගීතාවලිය 119:105; යෙසායා 48:17, 18) දෙවි පොරොන්දු වූ නව ලොව අත ළඟය යන්න මත ඔවුන් ඇදහිල්ල තබන අතර, බයිබල් අනාවැකි මගින් අපගේ කාලය “අන්තිම දවස්” බවට සලකුණු කරන්නාවූ බිඳලිය නොහැකි සාක්ෂි ඔවුන් පිළිගන්නවා. (2 තිමෝති 3:1-5; මතෙව් 24:3-14; 2 පේතෘස් 3:13) ඔවුන්ට නම්, දෙවි ගැන දැනුම අනිත් අය එක්ක බෙදාගන්න එක ප්‍රීතියක්. (හිතෝපදේශ 2:1-5) දෙවිව සොයන අයට ඔහුව සැබවින්ම හමු වන්නේ, ශුද්ධ ලියවිලිමය අධ්‍යයනයක් තුළින් පමණක් බව ඔවුන් දන්නවා.—ක්‍රියා 17:26, 27.
ඔබට මතකයිද, අපි කලින් ලිපියේ සාකච්ඡා කළ ඇල්බට්ව? ප්රාතිහාර්යයක් වෙනුවෙන් යාච්ඤා කරල, පිළිතුරක් නොලැබී ටික දවසක් ගෙවුණත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වූ එක්තරා වයස්ගත කාන්තාවක් ඔහුව හමුවීමට ඇවිත්, බයිබලය මත පදනම් පොත් පත් ඔහු සමඟ තබා ගියා. ඊට පස්සේ, ඇල්බට් නොමිලේ නිවාස බයිබල් පාඩමක් පිළිගත්තා. බයිබලයේ ඇති පණිවිඩයට ඔහු වඩා හුරුපුරුදු වෙද්දී, ඔහුගේ කලකිරීම බලවත් උනන්දුවකට පෙරළුණා. අන්තිමේදී දෙවිව හමු වුණ බව ඔහුට තේරෙන්න පටන්ගත්තා.
ශුද්ධ ලියවිලි උනන්දු කරන්නේ මෙහෙමයි: ‘යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී ඔහු සොයා, ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න.’ (යෙසායා 55:6) ඔබටත් එහෙම කරන්න පුළුවන්; එසේ කළ හැක්කේ, මේ වර්තමාන දවසේ දෙවිගෙන් ප්රාතිහාර්යයක් බලාගෙන සිටීමෙන් නොවෙයි; නමුත් ඔහුගේ වචනය ගැන ඒකාන්ත දැනුමක් ලබාගැනීමෙනුයි. ප්රාතිහාර්යය විතරක්ම ඇදහිල්ල ගොඩනංවන්නේ නැති නිසා, මේක අත්‍යවශ්‍යයි.
[5වන පිටුවේ පින්තූරය]
ලාසරුස්ගේ ප්රාතිහාර්යමය නැවත නැඟිටුවීමවත් යේසුගේ සතුරන්ව ඇදහිල්ල දක්වන්න පෙලඹුවේ නැහැ
[7වන පිටුවේ පින්තූර]
ඇදහිල්ල පදනම් විය යුත්තේ බයිබලයේ ඇති ඒකාන්ත දැනුම මතයි