යෙහෝවඃවහන්සේ—අපගේ මුදු මොළොක් දයානුකම්පිත පියාණෝ
“යෙහෝවඃවහන්සේ සෙනෙහසින් ඉතා මුදු මොළොක්ද දයානුකම්පිතවද සිටිනසේක.”—යාකොබ් 5:11, NW, පාද සටහන.
1. යටහත් පහත් අය යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙතට ඇදෙන්නේ මන්ද?
මෙම විශ්වය කොතරම් විශාලද කියතොත් තාරකාශාස්ත්රඥයන්ට එහි සියලු මන්දාකිනි ගණනය කිරීම පටන්ගැනීමටවත් නොහැකිවී ඇත. අපගේ මන්දාකිනිය වන, ක්ෂීර පථයේම විශාලත්වය කොතරම්ද කියතොත් මිනිසාට එහි සියලු තාරකා පවා ගණනය කිරීම පටන්ගැනීමටවත් නොහැකිවී ඇත. ඇන්ටාරෙස් වැනි, ඇතැම් තාරකා, අපගේ සූර්යයාට වඩා දහස් වාරයක් විශාල හා දීප්තිමත්ය. එසේ නම් මෙම විශ්වයේ සියලු තාරකාවල ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයාණන් කොතරම් ප්‍රබල විය යුතුද! ඇත්තෙන්ම, උන්වහන්සේ “මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුව(න) . . . මේ සියල්ලට නම් කියා හඬගසන” තැනැන්වහන්සේ වනසේක. (යෙසායා 40:26) එහෙත්, මෙම ගරුබිය දනවන දෙවියන්වහන්සේ “ඉතා මුදු මොළොක්ද දයානුකම්පිතවද” සිටිනසේක. යෙහෝවඃවහන්සේගේ යටහත් පහත් සේවකයන්ට, විශේෂාකාරයෙන් පීඩා, අසනීප, විෂාදය, හෝ වෙනත් දුෂ්කරත්වයන්ගෙන් පෙළෙන්නන්ට, එම දැනුම කොතරම් සැනසිලිදායකද!
2. මේ ලෝකයේ අය බොහෝ විට මුදු මොළොක් චිත්තවේගයන් ගැන කල්පනා කරන්නේ කෙසේද?
2 ක්‍රිස්තුස්වහන්සේට තිබූ “ආදරය . . . සහ දයාබරකම” වැනි මෘදු චිත්තවේගයන්, බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ දුර්වලකම් හැටියටය. (පිලිප්පි 2:1) පරිනාමවාදී දර්ශනයෙන් පෙලඹීම් ලබන ඔවුන් ජනයාව දිරිගන්වන්නේ, යමක් අන්‍යයන්ගේ හැඟීම්වලට හානි සිදුකිරීමක් අදහස් කරන විට පවා, තමන්ව පෙරමුණට තබන හැටියටයි. නාටක හා චිත්‍රපට වැනි විනෝදාංශවලදීත් ක්‍රීඩාවලදීත් සිටින කැපී පෙනෙන චරිත කඳුළු නොවගුරුවන හෝ ආදරය නොපෙන්වන පුරුෂාකාර දැඩි ගතිගුණ දක්වන්නෝ වෙති. ඇතැම් දේශපාලකයන් ක්‍රියා කරන්නේ මෙයාකාරයෙනි. කෲර නීරෝ අධිරාජ්‍යයාට අධ්‍යාපනය ලබා දුන්, ස්ටොයික දර්ශනවාදියා වන සෙනෙකා, අවධාරණය කළේ “අනුකම්පාව දුර්වලකමක්” බවය. මැක්ලින්ටොක් හා ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියා මෙසේ පවසයි: “ස්ටොයිකවාදයේ බලපෑම් . . . වත්මන් කාලයේ පවා මිනිසුන්ගේ මනස්වල දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී.”
3. දෙවියන්වහන්සේ තමන්ව මෝසෙස්ට විස්තර කර දුන්නේ කෙසේද?
3 මීට පටහැනි ලෙසින්, මිනිස්වර්ගයාගේ මැවුම්කරුගේ පෞද්ගලිකත්වය හද උණුසුම් කරවනසුලුය. උන්වහන්සේ මෝසෙස්ට තමන්ව විස්තර කර දුන්නේ මෙම වදන්වලිනි: “ස්වාමීන්වහන්සේය, ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, යෙහෝවඃවහන්සේය, NW], උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ [දයාවන්තවූ, NW] දයාවන්තවූ [කරුණාබරිතවූ, NW] උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර [ප්‍රේමනීය, NW] කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. . . . අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක.” (නික්මයාම 34:6, 7) යෙහෝවඃවහන්සේ තමන් පිළිබඳ මෙම විස්තර ප්‍රකාශය අවසන් කළේ ස්වකීය යුක්තිය ගෙනහැර දක්වමින් බව සැබෑය. කැමැත්තෙන්ම පව් කරන්නන්ට ලැබිය යුතු දඬුවමෙන් උන්වහන්සේ ඔවුන්ව නිදහස් නොකරනු ඇත. එහෙත්, උන්වහන්සේ පළමුකොට තමන්ව විස්තර කරන්නේ දයාවන්තවූ [NW] එනම් පදගතාර්ථයෙන් “දයාවෙන් පූර්ණවූ” දෙවි කෙනෙකු හැටියටය.
4. බොහෝ විට “දයාව” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වදනේ හද උණුසුම් කරවන අර්ථය කුමක්ද?
4 ඇතැම් අවස්ථාවන්හි “දයාව” යන වදන ගැන කල්පනා කරනු ලබන්නේ දඬුවමක් දීමෙන් වැළකී සිටීම අඟවන හැඟීමක් නැති, විනිශ්චයමය අර්ථයකිනි. කෙසේ වෙතත්, බයිබල් පරිවර්තනවල සැසඳීමක්, රා·චම්ʹ යන ක්රියාපදයෙන් නිරුක්තිය ලබන හෙබ්‍රෙව් විශේෂණයේ රසවත් අර්ථය ගෙනහැර දක්වයි. ඇතැම් විශාරදයන්ට අනුව, එහි මූලාර්ථය “මෘදු වීමය.” සිනනිම්ස් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් නම් පොත පැහැදිලි කරන ආකාරයට, “රාචම්, අපට ප්‍රිය, නැතහොත් අපගේ උපකාරය අවශ්‍ය කරවන අයගේ දුර්වලතාවන් හෝ පීඩා දැකීමෙන් ඇතිවන, දයානුකම්පාවේ ගැඹුරු හා මුදු මොළොක් හැඟීමක් ප්‍රකාශ කරයි.” මෙම ප්‍රිය උපදවන ගුණාංගයේ හද උණුසුම් කරවන වෙනත් අර්ථ දැක්වීම් ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුමේ, 375-9 පිටුවල සොයා ගත හැකිය.
5. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ දයාව විද්‍යමාන වූයේ කෙසේද?
5 දෙවියන්වහන්සේගේ මුදු මොළොක් දයානුකම්පාව උන්වහන්සේ ඉශ්රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාවෙන් පැහැදිලිව විද්‍යමාන වන්නේය. වැන්දඹුවන්, අනාථයන්, මෙන්ම දිළින්දන් වැනි අවාසිදායක තත්ත්වයක සිටියවුන්හට සැලකිය යුතුව තිබුණේ දයානුකම්පාව සහිතවයි. (නික්මයාම 22:22-27; ලෙවී කථාව 19:9, 10; ද්විතීය කථාව 15:7-11) වහලුන් හා සත්ත්වයන්ද ඇතුළුව, සියල්ලන්ම සබත් විවේකයෙන් ප්‍රයෝජන ලැබිය යුතු විය. (නික්මයාම 20:10) එපමණක්ද නොව, දුප්පතුන්ට මුදු මොළොක් ලෙස සැලකූ අය පිළිබඳව දෙවියන්වහන්සේ සැලකිලිමත් වූසේක. හිතෝපදේශ 19:17 මෙසේ පවසයි: “දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.”
දිව්‍ය දයානුකම්පාවට සීමා
6. යෙහෝවඃවහන්සේ දිවැස්වරුන් හා පණිවුඩකරුවන් ස්වකීය ජනතාව වෙතට එව්වේ මන්ද?
6 ඉශ්‍රායෙලිතයන් දෙවියන්වහන්සේගේ නාමයදැරූ අතර නමස්කාර කළේ “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමයට ගෘහයක්(ව)” තිබූ, යෙරුසලමේ දේව මාළිගාවේය. (2 ලේකම් 2:4; 6:33) කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන්, ඔවුහු යෙහෝවඃවහන්සේගේ නාමයට මහත් අපකීර්තියක් ගෙන එමින් දුරාචාරය, රූප නමස්කාරය හා මිනිස් ඝාතනය යනාදියට ඉඩ හරින්නට පටන් ගත්හ. ස්වකීය දයානුකම්පාවේ පෞද්ගලිකත්වයට එකඟව, මුළු ජාතිය කෙරෙහිම විනාශයක් ගෙනෙන්නේ නැතිව, දෙවියන්වහන්සේ ඉවසීමෙන් මෙම නපුරු තත්ත්වය නිවැරදි කිරීමට වෑයම් කළසේක. උන්වහන්සේ “ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා [දයානුකම්පා, NW] කළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. එහෙත් සුවයක් නැතිතරම් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්රොපේතරුවන්ට නින්දාකළෝය.”—2 ලේකම් 36:15, 16.
7. යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාව එහි සීමාව කරා එළඹි විට, යුදෙව් රාජ්‍යයට සිදු වූයේ කුමක්ද?
7 යෙහෝවඃවහන්සේ දයානුකම්පාසහගත මෙන්ම උදහස් වීමට ප්‍රමාද වන්නාවූ කෙනෙක්ව සිටියද, අවශ්‍ය වූ විට උන්වහන්සේ ධර්මිෂ්ඨ කෝපය විදහා පෙන්වනසේක. අතීතයේ එම අවස්ථාවේ, දිව්‍ය දයානුකම්පාව එහි සීමාව ඉක්මවා ගොස් තිබුණි. එහි විපාකය ගැන අපට මෙසේ කියවීමට තිබේ: “ඒ නිසා [යෙහෝවඃවහන්සේ] ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා [දයානුකම්පා, NW] නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක.” (2 ලේකම් 36:17) එසේ යෙරුසලමත් එහි දේව මාළිගාවත් විනාශ කරනු ලැබූ අතර එම ජාතිය වහලුන් ලෙස බබිලෝනියට ගෙන යනු ලැබීය.
ස්වකීය නාමය උදෙසා දයානුකම්පාව
8, 9. (අ) ස්වකීය නාමය උදෙසා තමන්වහන්සේ දයානුකම්පාව පෙන්වන බව යෙහෝවඃ වහන්සේ ප්‍රකාශ කළේ මන්ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සතුරන් නිහඬ කරනු ලැබුවේ කෙසේද?
8 මෙවිට අවට ජාතීහු මෙම විපත්තිය සම්බන්ධයෙන් ප්‍රීති වූහ. සරදම් කරන විලාසයකින්, ඔවුන් කියා සිටියේ, “මොව්හු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] සෙනඟය, උන්වහන්සේගේ දේශයෙන් පිටවුණෝය” යනුවෙනි. මෙම අපකීර්තිය කෙරෙහි හැඟීමෙන් යුක්තව, යෙහෝවඃවහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මාගේ ශුද්ධ නාමය කෙරෙහි අනුකම්පා ඇතිවීමි. . . . මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; . . . මා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බව ඔවුන් [ජාතීන්] දැනගන්නවා ඇත.”—එසකියෙල් 36:20-23.
9 ස්වකීය ජාතිය වසර 70ක් වහල්භාවයේ සිටීමෙන් පසු, දයානුකම්පිත දෙවිවන, යෙහෝවඃවහන්සේ, ඔවුන්ව මුදා ආපසු යෙරුසලමට පැමිණ දේව මාළිගාව නැවත ගොඩනගන්නට ඔවුන්ට ඉඩ දුන්සේක. මෙය අවට ජාතීන්ව නිහඬ කරමින්, ඔවුන්ව මවිතයට පත් කළේය. (එසකියෙල් 36:35, 36) කෙසේ වුවද, කනගාටුදායක ලෙසින්, ඉශ්රායෙල් ජාතිය යළිත් නරක පුරුදුවලට වැටුණේය. ඇදහිලිවන්ත යුදෙව්වෙක් වූ, නෙහෙමියා, එම තත්ත්වය නිවැරදි කර ගැනීමට එවිට උපකාර කළේය. ප්‍රසිද්ධියේ කළ යාච්ඤාවක, ඔහු දෙවියන්වහන්සේ දයානුකම්පිතව කටයුතු කළ ආකාරය නැවත සලකා බැලුවේ, මෙසේ පවසමිනි:
10. යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාව නෙහෙමියා ගෙනහැර දුක්වූයේ කෙසේද?
10 “ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ මහත් අනුකම්පාව [දයාව, NW] නිසා ඔවුන්ගේ එදිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් ගැළවුම්කාරයන් ඔවුන්ට දුන්සේක. නුමුත් ඔවුන්ට නිදහස ලැබුණ විට ඔව්හු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට අත්හැරියසේක. එහෙත් ඔවුන් නැවතත් මොරගැසූවිට ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ අනුකම්පාවල [දයාවේ මහත්කම, NW] හැටියට බොහෝ වතාවල ඔවුන් නිදහස්කළසේක. . . . ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉව(සූසේක).”—නෙහෙමියා 9:26-30; තවද යෙසායා 63:9, 10ද බලන්න.
11. යෙහෝවඃවහන්සේ හා මිනිසුන්ගේ දෙවිවරුන් අතර පවතින්නේ කොතරම් වෙනසක්ද?
11 අවසානයේ, දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන් කෲර ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, යුදෙව් ජාතිය තමන්ගේ වරප්රසාදිත තත්ත්වය සදහටම නැති කර ගත්තේය. ඔවුන් සමඟ තිබූ දෙවියන්වහන්සේගේ පක්ෂපාතී සම්බන්ධතාව වසර 1,500ක් පුරා පැවත තිබුණි. යෙහෝවඃවහන්සේ ඇත්තෙන්ම දයාවේ දෙවි කෙනෙක් බවට එය සදාතනික සාක්ෂියක්ව පවතී. මෙය පාපතර මිනිසුන් විසින් උත්පාදනය කරන ලද කෲර දෙවිවරුන් හා හැඟීමෙන් තොර දේවතාවන්ට වඩා කොතරම් තියුණු වෙනසක්ද!—8වන පිටුව බලන්න.
දයානුකම්පාවේ ප්රබලතම ප්‍රකාශය
12. දෙවියන්වහන්සේගේ දයානුකම්පාවේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශය කුමක්වීද?
12 දෙවියන්වහන්සේගේ දයානුකම්පාවේ ප්රබලතම ප්‍රකාශය වූයේ ස්වකීය ප්‍රේමනීය පුත්‍රයා පොළොවට එවීමය. යේසුස්වහන්සේගේ අඛණ්ඩතාවෙන් යුත් ජීවිතය, යක්ෂයාගේ බොරු චෝදනාවලට පරිපූර්ණ පිළිතුරක් උන්වහන්සේට ලබා දෙමින්, යෙහෝවඃවහන්සේව මහත් ප්‍රීතියට පත් කළ බව සැබෑය. (හිතෝපදේශ 27:11) කෙසේ වෙතත්, ඒත් සමඟම, ස්වකීය ප්‍රේමනීය පුත්‍රයා කෲර හා අවමන්සහගත මරණයකින් පීඩා විඳීම බලා සිටින්නට සිදුවීම, නිසැකවම කිසිදු මනුෂ්‍ය මව්පියෙකුට කෙදිනක හෝ විඳදරා ගන්නට සිදුවූ පමණට වඩා වැඩි වේදනාවක් යෙහෝවඃවහන්සේට ලබා දුණි. එය මිනිස්වර්ගයාගේ ගැළවීම පිණිස මාවත විවෘත කරමින්, ඉතා ප්‍රේමනීය යාගයක් විය. (යොහන් 3:16) යොහන් බව්තීස්තගේ පියාවූ, සෙකරියස්, පුරෝකථනය කළ ආකාරයට, එය “අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම [මුදු මොළොක් දයානුකම්පාව, NW]” වර්ණනා කළේය.—ලූක් 1:77, 78.
13. යේසුස්වහන්සේ ස්වකීය පියාණන්ගේ පෞද්ගලිකත්වය විදහා පෙන්වා ඇත්තේ කිනම් වැදගත් මාර්ගයෙන්ද?
13 දේව පුත්‍රයාව පොළොවට එවීම මිනිස්වර්ගයාට යෙහෝවඃවහන්සේගේ පෞද්ගලිකත්වය පිළිබඳ වඩාත් පැහැදිලි දෘෂ්ටියක් ලබා දීමක්ද සිදු කළේය. ඒ කෙසේද? විශේෂාකාරයෙන් උන්වහන්සේ දිළින්දන්ට සැලකූ මුදු මොළොක් දයානුකම්පිත ක්‍රමයෙන්, යේසුස්වහන්සේ ස්වකීය පියාණන්ගේ පෞද්ගලිකත්වය පරිපූර්ණ ලෙස විදහා පෙන්වීමෙනි! (යොහන් 1:14; 14:9) මේ සම්බන්ධයෙන්, මතෙව්, මාර්ක් හා ලූක් යන සුවිශේෂ ලේඛකයෝ තිදෙනා පාවිච්චි කරන්නේ, “ආන්ත්රයන්” සඳහා වූ ග්‍රීක් වදනෙන් නිරුක්තිය ලබන, ස්ප්ලැග්·ඛ්නිʹසො·මායි යන ග්‍රීක් ක්‍රියා පදයයි. බයිබල් විශාරද විලියම් බාක්ලේ මේ පිළිබඳව මෙවන් පැහැදිලි කිරීමක් කරයි: “එය නිරුක්තිය ලබා ඇති ආකාරයෙන් දිස්වන්නේ එය සාමාන්‍ය අනුකම්පාවක් හෝ දයානුකම්පාවක් නොව, එහෙත් මනුෂ්‍යයෙකුගේ හද පත්ලෙන් ඔහුව පොලඹවන චිත්තවේගයක් පැහැදිලි කරන බවය. දයානුකම්පාවේ හැඟීම සඳහා ග්‍රීක් බසින් තිබෙන ප්රබලතම වචනය එයයි.” එය “අනුකම්පා ඇ(තිවීම)” හෝ “අනුකම්පාකොට” යනුවෙන් විවිධාකාරව පරිවර්තනය කර ඇත.—මාර්ක් 6:34; 8:2.
යේසුස්වහන්සේට අනුකම්පාව දැනුණ විට
14, 15. ගලීලයේ නුවරක, යේසුස්වහන්සේ අනුකම්පාවෙන් පෙලඹෙන්නේ කෙසේද, එමෙන්ම මෙය කුමක් පැහැදිලි කරයිද?
14 මෙය ගලීලයේ නගරයක දර්ශනයකි. “කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක්” චාරිත්‍රානුකූල අනතුරු ඇඟවීමක් නොකර යේසුස්වහන්සේ වෙතට පැමිණෙයි. (ලූක් 5:12) දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ආකාරයට “අපවිත්‍රය, අපවිත්‍රය,” කියා මොර නොගැසීම වෙනුවෙන් යේසුස්වහන්සේ ඔහුට පරුෂ ලෙස තරවටු කරනසේක්ද? (ලෙවී කථාව 13:45) නැත. ඒ වෙනුවට, “ඔබවහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවන” යනුවෙන් කළ එම මිනිසාගේ බලාපොරොත්තු සුන්වූ ආයාචනයට යේසුස්වහන්සේ සවන් දෙනසේක. “අනුකම්පාවෙන් යුක්තව,” යේසුස්වහන්සේ අත දිඟුකොට එම කුෂ්ඨ රෝගියා පිට තබා, “කැමැත්තෙමි, පවිත්රවෙයන්න” යයි පවසනසේක. එකෙණෙහිම ඔහු සුවය ලබයි. මෙසේ යේසුස්වහන්සේ නිරූපනය කරනුයේ තමන්ට ආශ්චර්යයන් කිරීමට දෙවියන්වහන්සේ විසින් දානිත බලයන් පමණක් නොව, නමුත් එවන් බලයන් පාවිච්චි කිරීමට තමන්ව පෙලඹ වූ මුදු මොළොක් හැඟීම් යනාදියත්ය.—මාර්ක් 1:40-42.
15 තමන්වහන්සේ දයානුකම්පාවේ හැඟීම් පළකරන්නට කලින් යේසුස්වහන්සේ වෙතට එළඹිය යුතුව තිබේද? නැත. ඉන් මද කලකට පසු, නායින් නම් නුවරෙන් පිටතට යන අවමඟුල් පෙරහැරක් උන්වහන්සේට හමුවෙයි. නිසැකවම, අවමඟුල් උත්සව බොහොමයක් ඊට පෙර යේසුස්වහන්සේ දැක තිබෙන්නට ඇතිමුත්, මෙය විශේෂාකාරයෙන් කනගාටුදායක එකක් වේ. එහි මියගොස් තිබුණේ වැන්දඹුවකගේ එකම පුත්‍රයාය. යේසුස්වහන්සේ “අනුකම්පාකොට,” ඇය වෙතට පැමිණ, “අඬන්ට එපා” යයි පවසනසේක. අනතුරුව, ඇයගේ පුත්‍රයාට නැවත ජීවනය ලබා දීමෙන් උන්වහන්සේ කැපී පෙනෙන ආශ්චර්යයක් සිදු කරනසේක.—ලූක් 7:11-15.
16. තමන් අනුගමනය කරන මහත් සමූහය කෙරෙහි යේසුස්වහන්සේට අනුකම්පාවක් දැනෙන්නේ මන්ද?
16 ඉහත සිදුවීම්වලින් ඉගෙන ගත හැකි සිතට කාවදින පාඩම නම්, යේසුස්වහන්සේ ‘අනුකම්පාවෙන් පෙලඹෙන’ අවස්ථාවන්හි, උන්වහන්සේ උපකාර කිරීමට නිශ්චිත යමක් කරන බවය. පසුව එක් අවස්ථාවක, තමන්ව අනුගමනය කරන මහත් සමූහයන් යේසුස්වහන්සේ සෝදිසි කර බලනසේක. “උන්වහන්සේ . . . ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළ” බැව් මතෙව් වාර්තා කරයි. (මතෙව් 9:36) පොදු ජනයාගේ ආත්මික කුසගින්න තෘප්තිමත් කිරීමට ඵරිසිවරුන් කටයුතු කරන්නේ මද වශයෙනි. ඒ වෙනුවට, නුවුවමනා නීති බොහොමයකින් ඔවුහු නිහතමානි අය මත බර පටවති. (මතෙව් 12:1, 2; 15:1-9; 23:4, 23) පොදු ජනයා සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ දෘෂ්ටිය එළිදරව් වූයේ, යේසුස්වහන්සේට සවන් දුන් අය ගැන ඔවුන් “ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාප ලද්දෝ” යයි පැවසූ අවස්ථාවේදීය.—යොහන් 7:49.
17. සමූහයා කෙරෙහි යේසුස්වහන්සේගේ අනුකම්පාව උන්වහන්සේව පොලඹවන්නේ කෙසේද, එමෙන්ම උන්වහන්සේ එහිදී සපයන්නේ කිනම් දූරදර්ශී මඟ පෙන්වීමද?
17 මීට පටහැනි ලෙසින්, සමූහයා සිටි ආත්මික අසාර තත්ත්වයෙන් යේසුස්වහන්සේ මහත් පෙලඹීමක් ලබා සිටිනසේක. එනමුත් මෙහිදී තමන් විසින් පෞද්ගලික සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙන උනන්දුව දක්වන ජන සංඛ්‍යාව දරාගත නොහැකි තරමට විශාලය. එබැවින් වැඩි සේවක සංඛ්‍යාවක් සඳහා යාච්ඤා කරන්නට උන්වහන්සේ සිය ගෝලයන්ට පවසනසේක. (මතෙව් 9:35-38) එවන් යාච්ඤාවලට එකඟව, “ස්වර්ගරාජ්‍යය ළංවී තිබේ” යන පණිවුඩය සමඟින් යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ව පිටත් කර යවනසේක. එම අවස්ථාවේ දෙන ලද උපදෙස් වත්මන් දින දක්වාම ක්‍රිස්තියානීන්හට වටිනා මඟ පෙන්වීමක් හැටියට ක්‍රියා කර ඇත. නිසැකවම, යේසුස්වහන්සේගේ දයානුකම්පාවේ හැඟීම් මිනිස්වර්ගයාගේ ආත්මික සාගින්න තෘප්තිමත් කිරීමට උන්වහන්සේව පොලඹවයි.—මතෙව් 10:5-7.
18. සමූහයා සිය පෞද්ගලික විවේක ස්ථානයට බලෙන් ඇතුල් වන විට යේසුස්වහන්සේ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද, එමෙන්ම මෙයින් අප ඉගෙන ගන්නේ කුමන පාඩමද?
18 තවත් අවස්ථාවක, සමූහයාගේ ආත්මික අවශ්‍යතාවන් කෙරෙහි යේසුස්වහන්සේට යළිත් සැලකිල්ලක් දැනේ. මෙවර උන්වහන්සෙත් සිය ගෝලයනුත් කාර්ය බහුල දේශනා ගමනකින් පසු වෙහෙසට පත්ව සිටින අතර, ඔවුහු විවේක ගැනීමට ස්ථානයක් සොයමින් සිටිති. එහෙත් ජනයෝ ඉක්මනින්ම ඔවුන් සිටින තැන සොයා ගනිති. තමන්ගේ විවේක ස්ථානයට ඔවුන් බලෙන් පැමිණීම හේතුවෙන් කෝපයට පත්වෙනවා වෙනුවට, මාර්ක් වාර්තා කරන්නේ යේසුස්වහන්සේ “අනුකම්පාකොට” ක්‍රියා කළ බවය. තවද යේසුස්වහන්සේ ගැඹුරු හැඟීමෙන් කටයුතු කරන්නට හේතුව කුමක්වීද? “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සි(ටීමය).” යළිත්, ස්වකීය හැඟීමෙන් පෙලඹී ක්‍රියා කළ යේසුස්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන” සමූහයාට උගන්වන්නට පටන් ගන්නාසේක. එසේය, ඔවුන්ගේ ආත්මික සාගින්නෙන් උන්වහන්සේ කොතරම් පෙලඹුණේද කියතොත්, උන්වහන්සේ ඔවුන්ට උගන්වනු පිණිස අවශ්‍යව තිබූ විවේකයද පරිත්‍යාග කළසේක.—මාර්ක් 6:34; ලූක් 9:11.
19. සමූහයා සඳහා යේසුස්වහන්සේගේ සැලකිල්ල ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා ඉක්මවා යන්නේ කෙසේද?
19 ජනයාගේ ආත්මික අවශ්‍යතාවලට ප්රමුඛ ස්ථානයක් දුන්නද යේසුස්වහන්සේ ඔවුන්ගේ මූලික කායික අවශ්‍යතා නොසලකා හැරියේද නැත. එම අවස්ථාවේදීම, උන්වහන්සේ “සුවය ඕනෑ අයට සුව” කිරීමද කළසේක. (ලූක් 9:11) පසුව එක් අවස්ථාවක, සමූහයා උන්වහන්සේ සමඟ දීර්ඝ කාලවේලාවක් රැඳී සිටි අතර, ඔවුන් සිටියේ සිය නිවෙස්වලින්ද දුරස්තර ස්ථානයකය. ඔවුන්ගේ කායික අවශ්‍යතා හඳුනා ගනිමින්, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ වදාළසේක: “මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවන.” (මතෙව් 15:32) ඇතිවිය හැකි පීඩාවෙන් ඔවුන්ව වැළැක්වීමට මෙහිදී යේසුස්වහන්සේ යමක් කරනසේක. යේසුස්වහන්සේ මෙහිදී රොටී සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් මගින් නිපදවන ලද ආහාර වේලක් පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් දහස් සංඛ්‍යාවකට ආශ්චර්යවත් ලෙස සපයනසේක.
20. යේසුස්වහන්සේව අනුකම්පාවෙන් පොලඹවන ලද බවට වාර්තා වන අන්තිම අවස්ථාවෙන් අපි කුමක් ඉගෙන ගන්නෙමුද?
20 යේසුස්වහන්සේ අනුකම්පාවෙන් පෙලඹීම පිළිබඳ අන්තිම වාර්තාගත අවස්ථාව දක්නට ලැබෙන්නේ යෙරුසලමට ගිය උන්වහන්සේගේ අන්තිම ගමනේදීය. පාස්කුව පැවැත්වීමට විශාල සමූහයක් උන්වහන්සේ සමඟ ගමන් කරමින් සිටියි. යෙරිකෝව අසල පාර අද්දර, අන්ධ සිඟන්නන් දෙදෙනෙක් “ස්වාමිනි, . . . අපට කරුණාකළ [දයාව පෙන්වුව, NW] මැනව” කියා මොර ගසති. සමූහයා ඔවුන්ව නිහඬ කරන්නට වෑයම් කළත්, යේසුස්වහන්සේ ඔවුන් කැඳවා තමන් ඔවුන්ට කුමක් කරනවාට කැමතිදැයි විමසනසේක. ‘ස්වාමිනි, අපේ ඇස් පැහැදුව මැනව’ කියා ඔවුහු ආයාචනා කරති. “අනුකම්පාකරමින්” උන්වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරන අතර ඔවුහු පෙනීම ලබති. (මතෙව් 20:29-34) මෙයින් අප ඉගෙන ගන්නේ කොතරම් වැදගත් පාඩමක්ද! යේසුස්වහන්සේ සිටින්නේ සිය භූමික දේව සේවයේ අන්තිම සතියට ඇතුල්වීමට සමීප අවස්ථාවකය. සාතන්ගේ නියෝජිතයන් යටතේ කෲර මරණයකින් පීඩා ලබන්නට පෙර ඉටු කළ යුතු මහත් කාර්ය භාරයක් උන්වහන්සේට ඇත. එසේද වුවත්, එතරම් වැදගත් නොවන්නාවූ මානව අවශ්‍යතාවන් සඳහා සිය දයානුකම්පාවේ මුදු මොළොක් හැඟීම් පහ කරන්නට මෙම භාරදූර අවස්ථාවේ පීඩනයන්ට උන්වහන්සේ ඉඩ නාරිනසේක.
දයානුකම්පාව ගෙනහැර දක්වන උපමා
21. ස්වාමියා විසින් සිය දාසයාගේ විශාල ණය අවලංගු කිරීමෙන් කුමක් පැහැදිලි කරනු ලබයිද?
21 යේසුස්වහන්සේගේ ජීවිතයේ මෙම වාර්තාවල පාවිච්චි කර ඇති, ස්ප්ලැග්·ඛ්නිʹසො·මායි නමැති ක්‍රියාපදය, යේසුස්වහන්සේගේ උපමා තුනකද පාවිච්චි කර ඇත. එක් කථාවක විශාල ණයක් ආපසු ගෙවීමට වහලෙක් කාලය බැගෑපත් ලෙස ඉල්ලා සිටී. සිය ස්වාමියා, “අනුකම්පාකොට” එම ණය මුදලෙන් ඔහු මුදා හැරියේය. මෙය පැහැදිලි කරන්නේ යේසුස්වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තබන සෑම ක්‍රිස්තියානියෙකු සඳහාම පාපයේ මහත් ණය අවලංගු කිරීමෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේ මහත් දයානුකම්පාවක් පෙන්වා ඇති බවය.—මතෙව් 18:27; 20:28.
22. අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව කුමක් පැහැදිලි කරයිද?
22 මීට අමතරව අකීකරු පුත්‍රයාගේ කථාව ඇත. අකීකරු පුත්‍රයා ආපසු නිවසට පැමිණෙන විට සිදුවන දෙය මතකයට නගන්න. “ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.” (ලූක් 15:20) මෙය පෙන්වන්නේ වැටී ගොස් ඇති ක්‍රිස්තියානියෙක් සැබෑ පසුතැවිල්ල පෙන්වන විට, යෙහෝවඃවහන්සේට අනුකම්පාවක් දැනී ඔහුව යළි මුදු මොළොක්කමින් පිළිගන්නා බවය. මෙසේ, මෙම උපමා දෙකෙන්, යේසුස්වහන්සේ පෙන්වනුයේ, අපගේ පියාණන් වන, යෙහෝවඃවහන්සේ “සෙනෙහසින් ඉතා මුදු මොළොක්ද දයානුකම්පිතවද සිටින” කෙනෙක් බවය.—යාකොබ් 5:11, NW පාද සටහන.
23. යේසුස්වහන්සේ පැවසූ අසල්වැසියා බවට පත් සමාරියාගේ උපමාවෙන් අප ඉගෙන ගන්නා පාඩම කුමක්ද?
23 ස්ප්ලැග්·ඛ්නිʹසො·මායි යන වදනේ තෙවන උපමා සහිත යෙදුම දක්නට ලැබෙන්නේ සොරකම් කර අඩක් මළ තත්ත්වයෙන් අත් හරින ලද යුදෙව්වා කෙරෙහි “අනුකම්පා(කළ)” දයානුකම්පාසහගත සමාරියා සම්බන්ධයෙනි. (ලූක් 10:33) මෙම හැඟීම්වලට අනුව ක්‍රියා කළ සමාරියා, එම ආගන්තුකයාට උපකාර කරන්නට තමාට හැකි උපරිමය කළේය. මෙය නිරූපනය කරන්නේ යෙහෝවඃවහන්සෙත් යේසුස්වහන්සෙත් මුදු මොළොක් බව හා දයානුකම්පාව පෙන්වීමෙහිලා තමන්ගේ ආදර්ශය අනුගමනය කිරීම සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා කරන බවය. අපට මෙය කළ හැකි ඇතැම් ක්‍රම මීළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබනවා ඇත.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ දයාන්විත වීම යන්නෙන් කුමක් අදහස් කෙරේද?
◻ යෙහෝවඃවහන්සේ තමන්ගේ නාමය උදෙසා දයානුකම්පාව පෙන්වූයේ කෙසේද?
◻ දයානුකම්පාවේ ප්රබලතම ප්‍රකාශය කුමක්ද?
◻ යේසුස්වහන්සේ ස්වකීය පියාණන්ගේ පෞද්ගලිකත්වය විදහා පෙන්වන්නේ කිනම් කැපී පෙනෙන මාර්ගයකින්ද?
◻ යේසුස්වහන්සේ දයානුකම්පාවෙන් ක්‍රියා කිරීමෙන් හා උන්වහන්සේගේ උපමාවලින් අපි කුමක් ඉගෙන ගන්නෙමුද?
[12, 13වන පිටුවේ කොටුව]
“මුදු මොළොක් ප්‍රේමනීය සැලකිල්ල” මනාව විස්තර කරන වචනයක්
“අහෝ මාගේ අතුණු! මාගේ අතුණු!” යනුවෙන් දිවැස්වර යෙරෙමියා මොර ගැසුවේය. ඔහු පැමිණිලි කරමින් සිටියේ තමා අනුභව කළ අහිතකර යමක් හේතුවෙන් ඇති වූ බඩේ රුජාවක් ගැනද? නැත. යෙරෙමියා එවිට භාවිතා කරමින් සිටියේ, යුදා රාජ්‍යය කෙරෙහි පැමිණෙමින් තිබූ ව්‍යසනය කෙරෙහි සිය ගැඹුරු සැලකිල්ල විස්තර කිරීමට හෙබ්‍රෙව් උපමා වාක්‍යයකි.—යෙරෙමියා 4:19.
යෙහෝවඃවහන්සේට ගැඹුරු හැඟීම් ඇති බැවින්, “අතුණු” හෝ “බඩවැල්” සඳහා වූ හෙබ්‍රෙව් වචනය (මෙ·‘ඉම්ʹ), උන්වහන්සේගේ මුදු මොළොක් චිත්තවේගයන් විස්තර කිරීමටද පාවිච්චි කෙරේ. උදාහරණයක් වශයෙන්, යෙරෙමියාගේ දවස්වලට දශක ගණනාවකට පෙර, අෂූර්හි රජ විසින් ඉශ්රායෙලයේ ගෝත්‍ර දසය වහල්භාවයට ගෙනයනු ලැබීය. යෙහෝවඃවහන්සේ මේ සඳහා ඉඩ දුන්නේ ඔවුන්ගේ නොඇදහිලිකාරකමට දඬුවමක් වශයෙනි. එහෙත් වහල්භාවයේ සිටියදී දෙවියන්වහන්සේ ඔවුන්ව අමතක කළසේක්ද? නැත. ස්වකීය ගිවිසුමේ ජනතාවගෙන් කොටසක් හැටියට උන්වහන්සේ ඔවුන් සමඟ තවමත් දැඩි ලෙස බැඳී සිටිසේක. ප්රමුඛ පෙළේ ගෝත්‍රය වන එප්‍රායිම්ගේ නාමයෙන් ඔවුන්ට යොමු දක්වමින්, යෙහෝවඃවහන්සේ මෙසේ ඇසූසේක: ‘එප්‍රායිම් මට ප්‍රිය පුත්‍රයෙක්ද, නැතහොත් සුරතල් කර හදාවඩා ගනු ලැබූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් ඔහු උදෙසා මාගේ අතුණු කකියයි. සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමි.’—යෙරෙමියා 31:20.
“මාගේ අතුණු කකියයි” යනුවෙන් පැවසීමෙන්, වහල්භාවයට පත් ස්වකීය ජනතාව කෙරෙහි සිය ස්නේහයේ ගැඹුරු හැඟීම් විස්තර කරන්නට යෙහෝවඃවහන්සේ මෙහිදී වාක්‍ය අලංකරණයක් පාවිච්චි කළසේක. මෙම වගන්ති යෙරෙ 31:20 පිළිබඳව සිය අර්ථ කථනයෙහි, 19වන සියවසේ බයිබල් විශාරදයෙක් වන ඊ. හෙන්ඩර්සන් ලිව්වේ මෙසේය: “මෙහිදී යෙහෝවඃවහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන, ආපසු හැරී එන අකීකරු කෙනෙක් කෙරෙහි, දයාන්විත මව්පිය හැඟීම්වල සිත්ගන්නා විදහා පෙන්වීම කිසිවකට අභිබවා යා නොහැකිය . . . උන්වහන්සේ මෙසේ [රූප නමස්කාරයේ යෙදුණ එප්‍රායිම්වරුන්ට] එරෙහිව කථා කර ඔවුන්ට දඬුවම් පමුණුවා තිබුණද . . . , උන්වහන්සේ ඔවුන්ව අමතක නොකළමුත්, ඊට පටහැනිව, ඔවුන් අවසාන ප්‍රකෘති ස්වභාවයට නැවත පැමිණීම කෙරෙහි වූ අපේක්ෂාවෙන් අතිශයින් සතුටු වූසේක.”
“බඩවැල්” හෝ “අතුණු” සඳහා වූ ග්‍රීක් වචනය, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිලිවලද පාවිච්චි කර ඇත්තේ සමානාකාරයකිනි. ක්‍රියා 1:18හි මෙන්, පදගතාර්ථයෙන් පාවිච්චි කරනු නොලබන විට, එය යොමු දක්වනුයේ ස්නේහයේ හෝ දයානුකම්පාවේ මුදු මොළොක් චිත්තවේගයන්ටය. (පිලෙමොන් 12, NW) මෙම වචනය ඇතැම් අවස්ථාවන්හි “හොඳ” හෝ “යහපත” අදහස් කරන ග්‍රීක් වචනයට ආදේශ කර ඇත. ප්‍රේරිතවරුන් වන පාවුල් හා පේතෘස්, “මුදු මොළොක් ලෙස දයානුකම්පිතව” සිටින්නට, පදගතාර්ථයෙන් නම් “අනුකම්පාව දැක්වීමට නැඹුරුවාවකින් යුක්තව” සිටීමට ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූ විට පාවිච්චි කරන්නේ සම්මිශ්රිත යෙදුමයි. (එපීස 4:32, NW; 1 පේතෘස් 3:8) “බඩවැල්” සඳහා වූ ග්‍රීක් වචනය, පොලිʹ යන ග්‍රීක් වචනයටද සම්බන්ධ කළ හැකිය. එහි සම්මිශ්‍රණය පදගතාර්ථයෙන් අදහස් කරන්නේ “බොහෝ බඩවැල් තිබීමය.” මෙම විරල ග්‍රීක් ප්‍රකාශය එක් වරක් පමණක් බයිබලයේ පාවිච්චි කර ඇති අතර එය යොමු දක්වනුයේ යෙහෝවඃ දෙවියන්වහන්සේටය. නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලය මෙය පරිවර්තනය කර ඇත්තේ මෙසේය: “යෙහෝවඃවහන්සේ සෙනෙහසින් ඉතා මුදු මොළොක්ව සිටිනසේක.”—යාකොබ් 5:11, NW.
විශ්වයේ ඉතාම බලවත් තැනැන්වහන්සේ වන, යෙහෝවඃ දෙවියන්වහන්සේ, දයානුකම්පා රහිත මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරන ලද කෲර දෙවිවරුන් හා සමාන නොවීම ගැන අප කොතරම් කෘතඥපූර්වක විය යුතුද! තමන්ගේ “මුදු මොළොක් ලෙස” දයානුකම්පිත වූ දෙවියන්වහන්සේව අනුකරණය කිරීමක් වශයෙන්, සැබෑ ක්‍රිස්තියානීන් පෙලඹීම් ලබනුයේ එකිනෙකා සමඟ තමන්ගේ ක්‍රියාකාරකම්වලදී සමානාකාරයෙන් කටයුතු කිරීමටය.—එපීස 5:1.
[10වන පිටුවේ පින්තූරය]
දිව්‍ය දයානුකම්පාව එහි සීමාන්තයට පැමිණි විට, ස්වකීය අකීකරු ජනයාව පරාජය කරන්නට යෙහෝවඃවහන්සේ බබිලෝනියයන්ට ඉඩ හැරියසේක
[11වන පිටුවේ පින්තූරය]
ස්වකීය ප්‍රේමනීය පුත්‍රයා මියයනු බලා සිටීම එනම් මෙතෙක් යමෙකුට විඳින්නට සිදුවූ ප්රබලතම වේදනාව යෙහෝවඃ දෙවියන්වහන්සේට ලබා දෙන්නට ඇත
[15වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ ස්වකීය පියාණන්ගේ දයානුකම්පිත පෞද්ගලිකත්වය පරිපූර්ණ ලෙස විදහා පෙන්වූසේක