ලෝකයේ පාලකයාගේ වෙස් මුහුණ ගැලවෙයි
“මේ ලෝකයේ පාලකයාව නෙරපා දමනු ලබනවා” කියා පැවසූ යේසුස් මෙසේද පැවසුවා. ‘මාව යටත් කරගන්න ඔහුට කිසිම බලයක් නැහැ.’ ‘මේ ලෝකයේ පාලකයාව විනිශ්චය කර තිබෙනවා.’ (යොහන් 12:31; 14:30; 16:11) යේසුස් එලෙස පැවසුවේ කවුරුන් ගැනද?
ඔහු එලෙස පැවසුවේ තම පියා වන යෙහෝවා දෙවි ගැන නම් නොවෙයි. එසේනම් “නෙරපා දමනු” ලබන “මේ ලෝකයේ පාලකයා” කවුද? ඔහුව “විනිශ්චය කර” තිබෙන්නේ කෙසේද?
“මේ ලෝකයේ පාලකයා” කවුද කියා හෙළි වෙයි
සාමාන්‍යයෙන් දුෂ්ට පුද්ගලයෙක් තමන් ගැන පුරාජේරුවෙන් කතා කරනවා. ඒ හා සමානව යක්ෂයාද යේසුස්ව වරදට පෙලඹවීමට උත්සාහ කළ අවස්ථාවේදී ලොව පුරා තිබෙන “සියලු රාජ්‍යයන්” ඔහුට පෙන්වා මෙසේ පැවසුවා. “මේ සෑම දෙයක්ම තිබෙන්නේ මගේ බලය යටතේයි. එහි ගෞරවයත් තේජසත් හිමි වී තිබෙන්නේ මටයි. මා කැමති කෙනෙකුට ඒවා දෙන්න මට පුළුවන්. දැන් ඒ දේවල් ඔබට ලබා දෙන්න මම කැමතියි. එමනිසා ඔබ එක වරක් මට නමස්කාර කළොත් මේ සියල්ල ඔබට අයිති වෙයි.”—ලූක් 4:5-7.
යක්ෂයා කියන්නේ කෙනෙක් තුළ තිබෙන නපුරුකමට නම් ඒ අවස්ථාවේදී යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළේ කවුද? ඒ, යේසුස් තුළ තිබුණු නපුරු සිතුවිලි කියා සිතිය හැකිද? එසේ වුණා නම් බයිබලයේ සඳහන් ආකාරයට යේසුස් තුළ “කිසි පාපයක්” නැහැ කියා පැවසිය හැකිද? (1 යොහන් 3:5) ඇත්තෙන්ම “මේ ලෝකයේ පාලකයා” යක්ෂයා බව හෙළි කරනවාට අමතරව ඔහු “මිනී මරුවෙක්” මෙන්ම “බොරුකාරයෙක්” කියාත් යේසුස් පැවසුවා.—යොහන් 14:30; 8:44.
ඊට අවුරුදු 60කට පමණ පසු සිටි යේසුස්ගේ නියෝජිතයෙක් වූ යොහන් එවකට සිටි ක්‍රිස්තියානීන්ට යක්ෂයාගේ බලපෑම ගැන මතක් කරමින්, ‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා’ කියාත් ඔහු ‘මුළු පොළොවම නොමඟ යවනවා’ කියාත් පැවසුවා. (1 යොහන් 5:19; එළිදරව් 12:9) ඒ අනුව “මේ ලෝකයේ පාලකයා” යක්ෂයා බව බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. ඔහුගේ බලපෑම කොතරම් දුරට ව්‍යාප්ත වී තිබෙනවාද කියා දැන් අපි බලමු.
ඔහු සමඟ තවත් පිරිසක් සිටිනවා
දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් ක්‍රිස්තියානීන්ට කිරීමට සිදු වන පොරබැදීමක් ගැන සඳහන් කළ යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. “අපට තිබෙන පොරබැදීම ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්‍රම, බලධාරීන් සහ ලෝක පාලකයන්ට විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.”—එෆීස 6:12.
ඔහු පැවසූ ආකාරයට අපට පොරබැදීම සිදු වී තිබෙන්නේ “භූත සේනාවන්ට” විරුද්ධවයි. භූත සේනාව යන්නෙන් අදහස් කරන්නේ මිනිසුන් තුළ තිබෙන නරක පෙලඹීම් නොවෙයි. ඒ වෙනුවට අපට වඩා බලවත් පිරිසක් ඉන් අදහස් වෙනවා. “තමන්ට නියමිත වාසස්ථානය අත්හැර” පැමිණි ඒ අයව යොදාගෙන යක්ෂයා තම අරමුණ ඉටු කරගන්නවා.—යූද් 6.
යක්ෂයාගේ පැත්තේ සිටින භූතයන් අතීතයේ සිට ක්‍රියා කර තිබෙන ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට, ක්‍රිස්තු පූර්ව 537දී බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී ආ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් දානියෙල් නම් අනාගතවක්තෘවරයා සති තුනක් පුරා දෙවිට යාච්ඤා කළා. ඔහුව දිරිගැන්වීමට දෙවි ඔහු වෙතට දේවදූතයෙකුව එව්වත් එම දේවදූතයා දානියෙල්ව මුණගැසීමට ප්‍රමාද වුණා. එසේ වුණේ, “පර්සියානු රාජධානියේ අධිපතියා දවස් විසිඑකක් මුළුල්ලේම මට විරුද්ධව නැඟී සිටි” නිසයි කියා එම දේවදූතයා පැහැදිලි කළා.—දානියෙල් 10:2, 13.
ඔහු සඳහන් කළ “පර්සියානු රාජධානියේ අධිපතියා” කවුද? එවකට පර්සියාවේ සිටි රජ වන සයිරස් දානියෙල්ටත් ඊශ්‍රායෙල් සෙනඟටත් අනුකම්පාවෙන් සැලකූ නිසා දේවදූතයා පැවසුවේ ඔහු ගැන කියා සිතන්න බැහැ. අනික් අතට දේවදූතයන් මිනිසුන්ට වඩා ඉතා බලවත්. එක අවස්ථාවකදී දේවදූතයෙක් යුද භටයන් 1,85,000දෙනෙකුව මරා දැමුවා. (යෙසායා 37:36) එතරම් බලයක් තිබෙන දේවදූතයෙකු සමඟ මිනිසෙකුට සති තුනක් තිස්සේ පොරබැදිය හැකිද? ඒ අනුව ‘පර්සියානු රාජධානියේ අධිපතියා’ ලෙස හඳුන්වන්නේ යක්ෂයා යටතේ සිටි භූතයෙකු කියා සිතිය හැකියි. දානියෙල්ව හමු වීමට පැමිණි දේවදූතයා තමන්ට නැවත වතාවක් “පර්සියාවේ අධිපතියා” සමඟත් “ග්‍රීසියේ අධිපතියා” සමඟත් සටන් කිරීමට සිදු වෙනවා කියා පැවසුවා.—දානියෙල් 10:20.
එයින් පැහැදිලි වන්නේ කුමක්ද? භූතයන් යක්ෂයාගේ බලය යටතේ සිටිමින් ලෝකය පාලනය කරන බවයි. ඔවුන් මේ දක්වා කිරීමට මාන බලමින් සිටින්නේ කුමක්ද?
ලෝක පාලකයාගේ සැබෑ තත්වය හෙළි වෙයි
අග්‍රදේවදූත මිකායෙල් එනම් යේසුස්, ස්වර්ගයේ සිටි යක්ෂයාවත් ඔහුගේ භූතයන්වත් පොළොවට හෙළීමේ ප්‍රතිඵල ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘පොළොවට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.’—එළිදරව් 12:9, 12.
යක්ෂයා මහත් කෝපයෙන් ක්‍රියා කරන්නේ කෙසේද? ඉතාමත් කෙටි කාලයකින් තමන් විනාශ වෙන බව දන්නා යක්ෂයා උත්සාහ කරන්නේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් මෙන් මේ පොළොවත් එහි වැසියන්වත් විනාශ කිරීමටයි. ඒ සඳහා ඔහු මහා පරිමාණ ව්‍යාපාර යොදාගන්නවා. දිනෙන් දින දියුණු වන ව්‍යාපාර ලෝකය මිනිසුන්ව පොලඹවන්නේ දකින දකින දේ ලබාගන්නයි. ඔවුන්ගේ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔවුන් ස්වාභාවික සම්පත් අනිසි ලෙස භාවිත කරනවා. ප්‍රතිඵලයක් ලෙස මිනිස් වර්ගයාගේ අනාගතය අනතුරේ වැටී තිබෙනවා.—එළිදරව් 11:18; 18:11-17.
යක්ෂයා මිනිසුන්ව තම අණසක යටතේ තබාගැනීමට දේශපාලනය සහ ආගම් යොදාගෙන තිබෙනවා. යක්ෂයා මෘග ගති ඇති දේශපාලනයට ‘මහත් අධිකාරියක්’ ලබා දී තිබෙන බව බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (එළිදරව් 13:2) ආගම් සහ දේශපාලනය අතර විශාල බැඳීමක් තිබෙන නමුත් එවැනි බැඳීම් බයිබලයේ හෙළාදැක තිබෙනවා. (එළිදරව් 17:1, 2) සියවස් ගණනාවක් පුරා සිදු වී තිබෙන යුද්ධ, ජාතිවාදී අරගල, කුරිරුකම් සහ වෙනත් අමානුෂික ක්‍රියා නිසා කොපමණ අහිංසක ජීවිත ගණනක් නැති වී තිබෙනවාද? ඒ දේවල්වලට වග කිව යුත්තේ මිනිසුන්මද? නැත්නම් ඒවා පිටුපස අපට වඩා බලවත් දුෂ්ට සේනාවක් සිටිනවාද?
ලෝකයේ පාලකයන් පිටුපස සිටිමින් ඒ දේවල් කරන්නේ කවුද කියා බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඇත්තෙන්ම මිනිසුන් යක්ෂයාගේ බලපෑමට නතු වී සිටින නිසා ඔවුන් දැනුවත්වම හෝ නොදැනුවත්වම යක්ෂයාගේ ගතිගුණ විදහා පෑමට පෙලඹී තිබෙනවා. යක්ෂයා නිසා තව කොපමණ කාලයක් මිනිසුන්ට දුක් විඳීමට සිදු වෙයිද?
යක්ෂයාගේ විනාශය අත ළඟයි!
ඉතා ඉක්මනින් යක්ෂයාවත් ඔහුගේ භූතයන්වත් විනාශ කර දමන බව යේසුස් පැවසුවා. උදාහරණයකට තම අනුගාමිකයන් භූතයන් ආවේශ වී සිටි අයව සුව කරමින් භූතයන්ව පලවාහැරිය බව යේසුස්ට කී විට ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා. එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි.” (ලූක් 10:18) යේසුස් එසේ පැවසුවේ ඔහු ස්වර්ගයට ගිය පසු යක්ෂයාවත් ඔහුගේ භූතයන්වත් ඉන් පන්නා දැමීමට නියමිත බව ඔහු හොඳින්ම දැන සිටි නිසයි. (එළිදරව් 12:7-9) වර්ෂ 1914දී යේසුස් ස්වර්ගයේ රජ වීමත් සමඟම එය ඉටු වූ ආකාරය බයිබලයේ සඳහන් තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීමෙන් දැනගත හැකියි.a
එදා සිට තමන්ට තිබෙන කාලය ඉතා සීමිත බව යක්ෂයා හොඳින්ම දන්නවා. ‘මුළු ලෝකයම ඔහුගේ බලය යටතේ’ තිබුණත් මිලියන ගණනක් සෙනඟ ඔහු කැමති ආකාරයට ජීවත් වීමෙන් වැළකී සිටිනවා. එසේ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ යක්ෂයාගේ උපායන් ගැන බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙන නිසයි. (2 කොරින්ති 2:11) යේසුස් සමඟ රජකම් කිරීමට නියමිත අයට මෙම පොරොන්දුව දී තිබෙනවා. ‘දෙවි සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.’b එම පොරොන්දුව ඉටු වන තුරු ඔවුන් ඉතා ආශාවෙන් බලා සිටිනවා.—රෝම 16:20.
යක්ෂයාගේ විනාශය අත ළඟයි! ඉන්පසු යේසුස් පොළොව පාලනය කිරීමට පටන්ගත් විට ධර්මිෂ්ඨ මිනිසුන් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනවා. ඒ කාලයේදී අද අද්දකින දුක් දායක දේවල් කිසිවක් සිදු වන්නේ නැහැ. “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියා බයිබලයේ සඳහන්වෙනවා. (යෙසායා 65:17) හැංගි හොරා අද ලෝකය පාලනය කරන යක්ෂයාගේ බලපෑමෙන් නිදහස් වීමට ලැබෙන ඒ කාලය කොතරම් ප්‍රීතිමත් කාලයක් වේවිද!
[පාදසටහන්වල]
a වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 215 සිට 218 දක්වා පිටු බලන්න.
b එම පොරොන්දුව ගැන කියවන විට උත්පත්ති 3:15හි සඳහන් බයිබලයේ මුල් අනාවැකිය අපට මතක් වෙනවා. සාතන්ට අත් වන සම්පූර්ණ විනාශය ගැනත් එහි සඳහන් වෙනවා. එය විස්තර කිරීමට රෝම පොතේ ලේඛකයා භාවිත කර තිබෙන්නේ සුනුවිසුනු කරනවා යන අදහස ඇති ග්‍රීක වචනයක්.—Vine’s Complete Expository Dictionary of Old and New Testament Words.
[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යේසුස් පොළොව පාලනය කිරීමට පටන්ගත් විට ධර්මිෂ්ඨ මිනිසුන් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනවා