නිර්දෝෂීව ගමන් කිරීම නිසා ඔවුහු විපාක ලැබූහ
යෙහෝවඃවහන්සේ සිය විශ්වසනීය සේවකයන්හට ආශීර්වාද කර විපාක දෙන සේක. දෙවියන්වහන්සේගේ අරමුණු සම්පූර්ණවීම දැකීමට ඔවුන්ට යම් කලක් බලාසිටින්නට සිදුවිය හැකි වුවත්, උන්වහන්සේගේ ආශීර්වාද අද්දකින විට එය කොතරම් ප්‍රීතියක්ද!
දැනට වසර දෙදහසකට පමණ පෙර ජීවත්වූ යුදෙව් පූජකයෙක් වන සෙකරියස් හා ඔහුගේ භාර්යාව වන එලිසබෙත් යන දෙදෙනා සම්බන්ධ සිද්ධියෙන් මෙය මනාව පැහැදිලි වේ. මොවුන් දෙදෙනාම අයත් වූයේ ආරොන්ගේ පවුලටය. තමන් උන්වහන්සේට විශ්වසනීයව සේවය කළේ නම් දරුවන් ලබා දීමෙන් ආශීර්වාද කිරීමට දෙවියන්වහන්සේ ඉශ්‍රායෙලිතයන්ට පොරොන්දුවක් දී තිබිණි. දරුවන් උරුමයක් (ත්‍යාගයක්) යයි උන්වහන්සේ පැවසූ සේක. (ලෙවී කථාව 26:9; ගීතාවලිය 127:3) කෙසේවෙතත්, සෙකරියස්ට හා එලිසබෙත්ට දරුවන් නොසිටි අතර ඔවුහු වයසින්ද මහලුව සිටියහ.—ලූක් 1:1-7.
සෙකරියස් හා එලිසබෙත් යන “දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටි” බව ශුද්ධ ලියවිල්ල පවසයි. (ලූක් 1:6) ඔවුන් දෙවියන්වහන්සේට කොතරම් ප්‍රේම කළාද කියතොත් ධර්මිෂ්ඨකමේ ක්‍රියාමාර්ගයක් ලුහුබැඳ උන්වහන්සේගේ ආඥා පැවැත්වීම ඔවුන්හට බරක් නොවීය.—1 යොහන් 5:3.
අනපේක්ෂිත ආශීර්වාදයන්
අපි පො.යු.පෙ. 3වන වසරේ වසන්ත කාලයේ අවසානයට නැතහොත් ග්‍රීෂ්ම ඍතුවේ මුල් භාගයට යළිත් හැරී යමු. මහා හෙරොද් යුදයේ රජ හැටියට පාලනය කරමින් සිටී. දිනක්, සෙකරියස් යෙරුසලමේ දේවමාලිගාවේ ශුද්ධස්ථානයට ඇතුල් වෙයි. ජනතාව දේවමාලිගාවෙන් පිටත යාච්ඤාවෙහි එක්රැස්වී සිටි අතර, ඔහු රත්රන් පූජාසනය මත සුවඳ දුම් ඔප්පු කරයි. දෛනික සේවාවන්හි වඩාත්ම ගෞරවනීය කොටස හැටියට සලකනු ලබන හෙයින්, මෙය කරනු ලබන්නේ යාගය ඔප්පු කිරීමෙන් පසුවය. පූජකයෙකුට ඇතැම්විට සිය ජීවිත කාලය පුරා මෙම වරප්‍රසාදය ලැබෙන්නට ඇත්තේ එක් වරක් පමණකි.
සෙකරියස්ට තම නෙතිත් දකින දෑ අදහා ගත නොහැකිය. මන්දයත්, යෙහෝවඃවහන්සේගේ දූතයා දුම් පූජාසනයට දකුණු පැත්තේ සිටගෙන සිටී! වයෝවෘද්ධ පූජකයා කැළඹී භයපත් වෙයි. එහෙත් දේව දූතයා මෙසේ පවසයි: “සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු වදන්නීය, ඔහුට යොහන් යන නම තබාපන්න.” සැබවින්ම, යෙහෝවඃවහන්සේ එලිසබෙත් හා සෙකරියස්ගේ උත්සාහවන්ත යාච්ඤා අසා තිබිණි.—ලූක් 1:8-13.
දේව දූතයා තවදුරටත් මෙසේ පවසයි: “නුඹට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය; බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිවන්නෝය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.” යොහන් දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් පූර්ණව ජීවිත කාලය පුරා නසරීයයෙක් වන්නේය. එම දේව දූතයා තවදුරටත් මෙසේ පවසයි: “ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වෙතට හරවන්නේය. ඔහු පියවරුන්ගේ සිත් [හෘද, NW] දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] පිළියෙළකරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේය.”—ලූක් 1:14-17.
“මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය” කියා සෙකරියස් අසයි. ඊට දේව දූතයා පිළිතුරු දෙමින්: “මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; නුඹ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි. බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහියයි කීවේය.” සෙකරියස් දේවමාලිගාවෙන් පිටතට පැමිණි කල, ඔහුට කථා කරන්නට නොහැකිවූ අතර ඔහු අසාමාන්‍ය දර්ශනයක් දුටු බව ජනතාව දැනගනියි. ඔහුට කළ හැකිවන්නේ, තමාගේ අදහස් ප්‍රකාශ කිරීමට සංඥා කිරීම පමණකි. ඔහුගේ ප්‍රසිද්ධ මෙහෙකිරීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ආපසු ගෙදර යන්නේය.—ලූක් 1:18-23.
ප්‍රීතිය සඳහා හේතුවක්
පොරොන්දුව සැබෑ වෙමින්, ඉක්මනින්ම ප්‍රීති වීමට එලිසබෙත්ට හේතුවක් ඇත. වඳ භාවයේ නින්දාව ඉවත් කරමින්, ඈ ගර්භිණී වන්නීය. ඇයගේ ඥාතියෙක් වන මරියාද, ප්රීතිවන්නීය. මන්දයත් ගාබ්‍රියෙල් නම්, එම දේව දූතයාම ඇයට මෙසේ පවසන බැවිනි: “බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු වදන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න. උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] උන්වහන්සේට දෙනසේක.” මරියා “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] දාසී” හැටියට එම පැවරුම ඉටු කිරීමට කැමති වන්නීය.—ලූක් 1:24-38.
යුදා කඳු රටේ නගරයක පිහිටි සෙකරියස් හා එලිසබෙත්ගේ නිවසට මරියා වහා යන්නීය. මරියාගේ ආචාර බස් ඇසූ කල, එලිසබෙත්ගේ කුසේ ළදරුවා පැන නඟියි. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් පූර්ණව, එලිසබෙත් හඬ නගා මෙසේ පවසන්නීය: “නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය. නුඹේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය. මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම [පැමිණීමේ වරප්‍රසාදය, NW] කෙසේ සිද්ධවීද? මක්නිසාද නුඹේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය. විශ්වාස කළ තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේය.” මරියා මහත් ප්‍රීතියකින් ප්‍රතිචාරය දක්වන්නීය. ඈ එලිසබෙත් සමඟ මාස තුනක් පමණ රැඳී සිටින්නීය.—ලූක් 1:39-56.
යොහන් උපත ලබයි
නියමිත කාලයේ වයසක එලිසබෙත් හා සෙකරියස්ට පුතෙක් ඉපදෙයි. අටවෙනිදා, එම ළදරුවාව චර්මඡේදනය කෙරේ. ඥාතීහු එම දරුවාට සෙකරියස් යයි නම් තබන්නට හැදුවත්, එලිසබෙත් කථා කොට, “එසේ නොවේ; ඔහුට යොහන් යන නාමය තබන්ට ඕනෑයයි කීවාය.” තවමත් ගොළුවූ තත්ත්වයක සිටින ඇගේ පුරුෂයා ඊට එකඟ වන්නේද? ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන: “ඔහුගේ නම යොහන්” යයි ලියයි. එකෙණෙහිම සෙකරියස්ගේ දිව ලිහී, ඔහු කථා කරන්නටත්, යෙහෝවඃවහන්සේ ප්‍රශංසා කරන්නටත් පටන්ගනී.—ලූක් 1:57-66.
ශුද්ධාත්මයෙන් පූර්ණව, ප්‍රීතියට පත් පූජකයා අනාවැකි පළ කරයි. සියලු ජාතීන්ට ආශීර්වාද කිරීම පිණිස, ආබ්‍රහම්ගේ වංශය පිළිබඳ ගිවිසුම ප්‍රකාර පොරොන්දුවූ ගැළවුම්කරු—එනම්, ‘දාවිත්ගේ වංශයෙන්වූ ගැළවීමේ අඟ’—දැනටමත් නැගුටුවා තිබෙන්නාක්මෙන් ඔහු කථා කරයි. (උත්පත්ති 22:15-18) මෙසියස්වහන්සේගේ පෙරටුව යන්නා හැටියට, ප්රාතිහාර්යමය ආකාරයට උපන් සෙකරියස්ගේම පුත්‍රයා, ‘සෙනගට ගැළවීම දන්වන්ට, යෙහෝවඃවහන්සේට පෙරටුව යන්නේය.’ කාලය ගෙවීයත්ම, යොහන් වැඩී, ආත්මයෙන් ශක්තිමත් වුණේය.—ලූක් 1:67-80.
මහත් විපාක ලැබී
සෙකරියස් හා එලිසබෙත් ඇදහිල්ලේ හා ඉවසීමේ කදිම ආදර්ශයන් වූහ. ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි යම් කලක් බලා සිටින්නට සිදුවූ අතර ඔවුන්ගේ මහත්ම ආශීර්වාද ඔවුන්ට ලැබුණේ ඔවුන් ඉතා වයෝවෘද්ධව සිටියදී වුවත්, ඔවුහු යෙහෝවඃවහන්සේට විශ්වසනීයව දිගටම සේවය කළහ.
එහෙත්, එලිසබෙත් හා සෙකරියස් භුක්ති වින්ඳේ කොතරම් මහත් ආශීර්වාදයන්ද! දෙවියන්වහන්සේගේ ආත්මයේ බලපෑම යටතේ, ඔවුහු දෙදෙනාම අනාවැකි පළ කළහ. ඔවුහු මෙසියස්වහන්සේගේ පෙරටුව යන්නා වන, යොහන් බව්තීස්තගේ මව්පියන් හා උපදේශකයන් වන්නට වරප්‍රසාද ලැබූහ. එපමණක්ද නොව, දෙවියන්වහන්සේ ඔවුන් ධර්මිෂ්ඨ කොට ගණන් ගත් සේක. සමානාකාරයෙන්, අදදින දේව භක්තික ක්‍රියාමාර්ගයක් ලුහුබඳින අයට දෙවියන්වහන්සේ සමඟ ධර්මිෂ්ඨ ස්ථාවරයක් තබා ගත හැකි අතර, යෙහෝවඃවහන්සේගේ ආඥාවන් අනුව නිර්දෝෂීව ගමන් කිරීම වෙනුවෙන් බොහෝ ආශීර්වාදාත්මක දීමනා ලබනු ඇත.