දෙවියන්වහන්සේ ඔබේ පවුලේ පළමු තැනට පැමිණේද?
“නුඹේ මුළු හෘදයෙන් . . . නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ප්රේමකරපන්න.”—මාර්ක් 12:29, 30.
1. අප යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීම කොතරම් වැදගත්ද?
“සියලු ආඥාවලින් කොයි එක ප්‍රධාන දැයි” ලියන්නෙක් යේසුස්වහන්සේගෙන් අසා තිබිණ. තමාගේම මතය ඉදිරිපත් කරනවා වෙනුවට, දේවවචනයේ ද්විතීය කථාව 6:4, 5න් උපුටා දක්වමින් යේසුස්වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දුන්සේක. උන්වහන්සේගේ පිළිතුර වූයේ මෙයයි: “ප්‍රධාන එක නම්—අහෝ ඉශ්රායෙල්, අසාපන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ එකම (දෙවියන් වහන්සේ)ය. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්රේමකරපන්න යන එකය.”—මාර්ක් 12:28-30.
2. (අ) යේසුස්වහන්සේට මුහුණදීමට සිදුවූ විරුද්ධවාදීකම් කවරේද? (ආ) ඇතැම් අවස්ථාවලදී යෙහෝවඃවහන්සේව සතුටු කිරීම දුෂ්කර කිරීමට දායක විය හැක්කේ කුමක්ද?
2 පළමු ආඥාවයයි යේසුස්වහන්සේ හැඳින්වූ වඩාත් වැදගත්ම ආඥාවට කීකරුවීමට අවශ්‍ය කරන්නේ, යෙහෝවඃවහන්සේ සතුටු කරන දෙය අප සෑමවිටම කිරීමයි. එක් අවස්ථාවක ප්‍රේරිත පේතෘස් යේසුස්වහන්සේගේ ක්‍රියාමාර්ගයට විරුද්ධ වුවත්, තවත් අවස්ථාවක උන්වහන්සේගේම කිට්ටු ඥාතීන්ද එසේම කළත්, යෙහෝවඃවහන්සේ සතුටු කරන දෙය යේසුස්වහන්සේ සෑමවිටම කළසේක. (මතෙව් 16:21-23; මාර්ක් 3:21; යොහන් 8:29) ඔබත් ඒ හා සමාන තත්වයක සිටින බව පෙනීයන්නේ නම් කුමක්ද? ඔබගේ බයිබල් පාඩමද, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඔබ ආශ්‍රය කිරීමද නවතාලීමට, ඔබගේ පවුලේ සාමාජිකයන්ට වුවමනා වී ඇතැයි සිතන්න. දෙවියන්වහන්සේව සතුටු කිරීම මගින්, ඔබ උන්වහන්සේව පළමු තැනට දමන්නෙහිද? දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබ දරන උත්සාහයට ඔබේ පවුලේ සාමාජිකයන් විරුද්ධ වුවත්, උන්වහන්සේ පළමු තැනට පැමිණේද?
පවුලේ විරෝධය නමැති මලපත
3. (අ) යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වලින් පවුලට ඇතිවිය හැකි ඵලවිපාක කවරේද? (ආ) තමන් වැඩි ස්නේහයක් තිබෙන්නේ කාටදැයි පෙන්වීමට පවුලේ සාමාජිකයන්ට හැක්කේ කෙසේද?
3 තම ඉගැන්වීම් පිළිගන්නාවූ පවුල් සාමාජිකයෙකුට ඔහුගේ පවුලේ වෙනත් අයගෙන් විරුද්ධවාදීකම් පැමිණෙන විට, ඇතිවිය හැකි දුෂ්කරතා ගැන යේසුස්වහන්සේ අඩුවෙන් තක්සේරු කළේ නැත. “මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය” යයි යේසුස්වහන්සේ පැවසූසේක. එහෙත්, ඇතිවිය හැකි දුක්මුසු විපාක මොනවා වුවත්, පළමු තැනට පැමිණිය යුත්තේ කවුදැයි උන්වහන්සේ පෙන්නුම් කළේ මෙසේ පවසමිනි: “මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ.” (මතෙව් 10:34-37) අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේව, එනම්, “[දෙවියන්වහන්සේගේ] දේවත්වයේ ස්වරූපයද වන” උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීම මගින්, අපි යෙහෝවඃ දෙවියන්වහන්සේව පළමු තැනට තබමු.—හෙබ්‍රෙව් 1:3; යොහන් 14:9.
4. (අ) තම අනුගාමිකයෙකු වීමට ඇතුළත් වන දෙය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ පැවසුවේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානීන් පවුලේ සාමාජිකයන්ට ද්වේෂ කළ යුත්තේ කිනම් අර්ථයෙන්ද?
4 තවත් අවස්ථාවක, යේසුස්වහන්සේ සිය සැබෑ අනුගාමිකයෙකු වීම යන්නට සැබවින්ම ඇතුළත් වන්නේ කුමක්දැයි සාකච්ඡා කරමින් සිටි අවස්ථාවේදී, මෙසේ පැවසූසේක: “මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත්, සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.” (ලූක් 14:26) තම සතුරන්ට පවා ප්‍රේම කරන මෙන් යේසුස්වහන්සේ ජනයාට ආඥා කළ බැවින්, තම අනුගාමිකයන් තමන්ගේ පවුලේ සාමාජිකයන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛර කළ යුතුයයි යේසුස්වහන්සේ අදහස් නොකළ බව ප්රත්යක්ෂය. (මතෙව් 5:44) ඒ වෙනුවට, යේසුස්වහන්සේ මෙහිදී අදහස් කළේ, උන්වහන්සේගේ අනුගාමිකයන් දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාට වඩා අඩුවෙන් පවුලේ සාමාජිකයන්ට ප්‍රේම කළ යුතු බවයි. (මතෙව් 6:24 සසඳන්න.) එම අවබෝධයට අනුකූලව, යාකොබ් ලෙයාට “ද්වේෂ” කර, රාඛෙල්ට ආදරේ කළායයි බයිබලය පවසන විට, ඉන් අදහස් කරන්නේ, ඔහු ඇගේ සහෝදරිය වූ රාඛෙල්ට ප්‍රේම කළ තරම් ලෙයාට ප්‍රේම නොකළ බවය. (උත්පත්ති 29:30-32, NW) යෙහෝවඃවහන්සේට වඩා, අප අපගේම “ජීවිතයට” හෙවත් ආත්මයට පවා අඩුවෙන් ප්‍රේම කළ යුතු බව, එසේ නැතහොත්, වෛර කළ යුතු බව යේසුස්වහන්සේ පැවසූසේක!
5. සාතන් ඉතා කපටි ලෙස පවුල් විධිවිධානය අනිසි ලෙස යොදාගන්නේ කෙසේද?
5 මැවුම්කරුවාණන් සහ ජීවිත-දායකයාණන් වශයෙන්, යෙහෝවඃවහන්සේ ස්වකීය සියලු සේවකයන්ගේ සම්පූර්ණ භක්තිය ලැබීමට වටිනසේක. (එළිදරව් 4:11) “ස්වර්ගයෙහිද පොළොවෙහිද, ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණන[මමි],” යයි ප්‍රේරිත පාවුල් පැවසුවේය. (එපීස 3:14, 15) යෙහෝවඃවහන්සේ කෙතරම් පුදුමාකාර අන්දමකට පවුල් විධිවිධානය ඇති කළේද යත්, පවුලේ සාමාජිකයන්ට එකිනෙකා සඳහා ජන්ම ස්නේහය තිබේ. (1 රාජාවලිය 3:25, 26; 1 තෙසලෝනික 2:7) කෙසේවෙතත්, සාතන් වන යක්ෂයා, පවුලේ ජන්ම ස්නේහය ඉතා කපටි අන්දමින් වැරදි ලෙස යොදාගන්නා අතර, තමන් ප්‍රේම කරන අයව සතුටු කිරීමට තිබෙන ආශාව මීට ඇතුළත් වේ. පවුලේ විරෝධය නමැති ගින්නට ඔහු පිදුරු දමන අතර, එය හමුවේ බයිබල් සත්‍යය සඳහා ස්ථිරව සිටීම බොහෝදෙනෙකුට අභියෝගයකි.—එළිදරව් 12:9, 12.
අභියෝගයට මුහුණදීම
6, 7. (අ) බයිබල් පාඩමේ සහ ක්‍රිස්තියානි ආශ්‍රයේ ඇති වැදගත්කම අගය කිරීමට අපගේ පවුලේ සාමාජිකයන්ට උපකාර කරනු ලැබිය හැක්කේ කෙසේද? (ආ) පවුලේ සාමාජිකයන්ට අප සැබවින්ම ප්‍රේම කරන බව නිරූපණය කිරීමට අපට හැක්කේ කෙසේද?
6 දෙවියන්වහන්සේව සතුටු කිරීම නැතහොත් පවුලේ සාමාජිකයෙකු සතුටු කිරීම අතර තේරීමක් කරන්ට ඔබට බල කරනු ලැබුවහොත්, ඔබ කුමක් කරනු ඇද්ද? අප දෙවියන්වහන්සේගේ වචනය පාඩම් කර එහි ප්‍රතිපත්ති අදාළ කරන්ට යෑමෙන් පවුලේ බෙදීම් ඇතිවන නිසා, එසේ කිරීම දෙවියන්වහන්සේ අපේක්ෂා කරන්නේ නැතිය කියා ඔබ නිදහසට කරුණු ඉදිරිපත් කරනු ඇද්ද? එහෙත්, ඒ ගැන සිතා බලන්න. ඔබ එහි බලපෑමට හසුවී ඔබගේ බයිබල් පාඩම හෝ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය නවතා දැමුවහොත්, බයිබලය පිළිබඳ ඒකාන්ත දැනුම ජීවිතයත් මරණයත් අතර කාරණයක් බව, ඔබ විසින් ප්‍රේම කරනු ලබන එම අය කවදා හෝ වටහාගන්නේ කෙසේද?—යොහන් 17:3; 2 තෙසලෝනික 1:6-8.
7 අපට මෙම තත්වය මේ අන්දමින් නිදර්ශනය කළ හැකිය: පවුලේ එක් සාමාජිකයෙකුට මත්පැන් සඳහා අධික ආශාවක් තිබෙනවා විය හැක. ඔහුගේ බීමත්කමේ ගැටලුව නොසලකා හැරීමෙන් හෝ එයට ඔහේ ඉඩහැර නිකම් බලා සිටීමෙන්, ඔහුට සැබෑ ප්‍රයෝජනයක් ඇතිවේවිද? ඔහුට ඉඩ දී ඔහුගේ ගැටලුව ගැන කිසිවක් නොකර සිටීමෙන් සමාදානය තබාගැනීම වඩාත් හොඳ පියවරක් වනු ඇද්ද? නැත, ඊට එරෙහි වෙන්ට යෑමෙන් ඔහුගේ උදහස්වීම් සහ තර්ජනවලට මුහුණදීමට සිදුවුවත්, බීමත්කමේ ගැටලුවෙන් ගොඩ ඒම සඳහා ඔහුට උපකාර කිරීමට උත්සාහ කිරීම හොඳම දේ බව ඔබ එකඟ වනවා විය හැකිය. (හිතෝපදේශ 29:25) ඒ හා සමානව, ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ට සැබවින්ම ප්‍රේම කරන්නේ නම්, බයිබලය පාඩම් කිරීමෙන් ඔබව නවතාලීම පිණිස ඔවුන් දරන උත්සාහයට ඔබ නැමෙන්නේ නැත. (ක්‍රියා 5:29) ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ජීවත්වීම අපගේ ජීවිතයම අදහස් කරන බව තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැක්කේ ස්ථිර ස්ථාවරයක් ගැනීමෙන් පමණි.
8. යේසුස්වහන්සේ විශ්වාසවන්තව දෙවියන්වහන්සේගේ කැමැත්ත කළේය යන කාරණයෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
8 දෙවියන්වහන්සේව පළමු තැනට තැබීම ඇතැම් අවස්ථාවලදී ඉතා දුෂ්කර වන්ට පුළුවන. එහෙත්, සාතන්, දේවකැමැත්ත කිරීම යේසුස්වහන්සේටද අසීරු දෙයක් කළ බව මතක තබාගන්න. එහෙත්, යේසුස්වහන්සේ කිසිවිටකත් අත්හැරියේ නැත; අප වෙනුවෙන් උන්වහන්සේ වධ කණුවක් මත අතිමහත් දුක් වේදනාව පවා විඳදරාගත්සේක. ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි අපගේ ගැළවුම්කාරයාණෝය,’ බයිබලය අපට කියයි. “[උන්වහන්සේ] අප උදෙසා මළසේක.” (තීතස් 3:7; 1 තෙසලෝනික 5:10) යේසුස්වහන්සේ විරෝධතාවලට යටත් නොවීම ගැන අපි කෘතඥ නොවන්නෙමුද? උන්වහන්සේ යාගික මරණයක් විඳදරාගත් නිසා, උන්වහන්සේ විසින් වගුරුවනු ලැබූ රුධිරය කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැංවීම මගින් ධර්මිෂ්ඨකමේ සාමකාමී නව ලෝකයක සදාකාල ජීවනයේ අපේක්ෂාව අපට තිබේ.—යොහන් 3:16, 36; එළිදරව් 21:3, 4.
ලැබිය හැකි මහඟු විපාකයක්
9. (අ) අන්‍යයන්ව ගැළවීමෙහිලා හවුල්වීමට ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද? (ආ) තිමෝතිගේ පවුලේ තත්වය කුමක් වීද?
9 ඔබ ඉතා ආදරය කරන ඔබේ ලේ ඥාතීන් ඇතුළත්ව අන්‍යයන්ව ගළවාගැනීමට ඔබටත් හවුල්විය හැකි බව ඔබ වටහාගත්තෙහිද? ප්‍රේරිත පාවුල් තිමෝතිගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේය: “ඒවායේ [නුඹට උගන්වා ඇති දේවල] පැවතියන්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.” (1 තිමෝති 4:16) තිමෝති ජීවත්වූයේ ආගමික වශයෙන් බෙදුණු පවුලකය, ඔහුගේ ග්‍රීක් ජාතික පියා නොඇදහිලිකාරයෙක්ව සිටියේය. (ක්‍රියා 16:1; 2 තිමෝති 1:5; 3:14) තිමෝතිගේ පියා කවදා හෝ ඇදහිලිවන්තයෙකු බවට පත්වුණාද කියා අප දන්නේ නැතත්, එවන් දෙයක් සිදුවූවා නම්, තම භාර්යාව වූ එවුනීකිගේ සහ තිමෝතිගේ විශ්වාසවන්ත හැසිරීම මගින් එසේ වීමට ඉඩ කඩ බොහෝසෙයින් වැඩිවූවා විය හැකිය.
10. තම නොඇදහිලිකාර කලත්‍රයන් වෙනුවෙන් ක්‍රිස්තියානීන්ට කුමක් කළ හැකිද?
10 බයිබල් සත්‍යතාවට ස්ථිරව පක්ෂව සිටින ස්වාමිපුරුෂයන්ට සහ භාර්යාවන්ට, තමන්ගේ ක්‍රිස්තියානි නොවන කලත්‍රයන්ට ඇදහිලිවන්තයන් බවට පත්වීමට උපකාර කිරීම මගින් ඔවුන්ගේ ගැළවීම සඳහා දායක විය හැකි බව ශුද්ධ ලියවිලි හෙළි කරයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා. යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා. මක්නිසාද, භාර්යාව, නුඹ නුඹේ පුරුෂයා ගළවන්නීදෝ නුඹ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, නුඹ නුඹේ භාර්යාව ගළවන්නේදෝ නුඹ දන්නේ කොහොමද?” (1 කොරින්ති 7:12, 13, 16) ඇත්තවශයෙන්ම පුරුෂයන්ව ගැළවීමට භාර්යාවන්ට හැකි ආකාරය ප්‍රේරිත පාවුල් විස්තර කරන්නේ මෙසේ උදක්ම ඉල්ලා සිටිමිනි: “භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙයල්ලා.”—1 පේතෘස් 3:1.
11, 12. (අ) දහස් ගණනාවක් ක්‍රිස්තියානීන් ලබා ඇති විපාකය කුමක්ද, තවද එය ලබාගැනීමට ඔවුහු කුමක් කළෝද? (ආ) තම විශ්වාසවන්ත විඳදරාගැනීම නිසා විපාක ලැබූ පවුල් සාමාජිකයෙකුගේ අද්දැකීම සඳහන් කරන්න.
11 මෑත වර්ෂවලදී, දහස් ගණනාවක්, තමන්ගේ සාක්ෂිකාර ඥාතීන්ගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට විරුද්ධ වීමෙන් මාස ගණනාවකට පසුව, නොඑසේනම් අවුරුදු ගණනාවකට පසුව පවා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත්වී ඇත. ස්ථිරව සිට ඇති ක්‍රිස්තියානීන්ට එය මොනතරම් විපාකයක්ද, එමෙන්ම කලක් විරුද්ධව සිටි අයට එය මොනතරම් ආශීර්වාදයක්ද! චිත්තවේග දනවන කටහඬකින් යුතුව 74හැවිරිදි එක් වැඩිමහල්ලෙක් මෙසේ ප්‍රකාශ කළේය: “මා විරුද්ධ වූ අවුරුදු ගණනාව මුළුල්ලේ මගේ භාර්යාව සහ දරුවන් සත්‍යයට ස්ථිරව ඇලී සිටීම ගැන මම බොහෝවිට ස්තුතිවන්ත වෙනවා.” තමා වසර තුනක පමණ කාලයක් මුළුල්ලේ, තම භාර්යාවට බයිබලය ගැන කතා කිරීමටවත් ඉඩ දීමට තමා උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියේය. “එහෙත්, ඈ මා කෙරෙහි මනෝවිද්‍යාත්මක ක්‍රමයක් උපයෝගි කළා,” යයි හේ පැවසුවේය. “ඈ මගේ පාද පිරිමදින ගමන් මට සාක්ෂිදැරීමට පටන්ගත්තා. ඇය මගේ විරුද්ධවාදීකම්වලට යට නොවීම ගැන මම ඈට කොතරම් කෘතඥ වෙනවාද!”
12 තම පවුලේ අයට විරුද්ධ වූ තවත් ස්වාමිපුරුෂයෙක් මෙසේ ලීවේය: ‘මගේ භාර්යාවගේ පරම සතුරා වී සිටියේ මමයි, මන්ද, ඇයට සත්‍යය ලැබුණායින් පසු, මා ඇයට තර්ජනය කළා, අප සෑමදිනකම අඬදබර කළා; ඇත්තම කියනවා නම්, සෑමවිටම දබරය පටන්ගත්තේ මමයි. එහෙත් ඒ සියල්ලම නිෂ්ඵලයි; මගේ භාර්යාව බයිබලයට ඇලී සිටියා. මා සත්‍යයට එරෙහිව සහ මගේ භාර්යාවට හා දරුවාට එරෙහිව මේ විදිහට අවුරුදු දොළහක් තිස්සේ දරුණු විදිහට දබර කළා. ඔවුන් දෙදෙනාටම මා ක්‍රියා කළේ හරියට යක්ෂයෙකු වගේ.’ අන්තිමේදී මෙම මිනිසා තමාගේ ජීවිත හැසිරීම ගැන සෝදිසි කරන්ට පටන්ගත්තේය. ‘මා කොතරම් අශිෂ්ට ලෙස කටයුතු කළාද කියා මට පෙනී ගියා,’ යයි ඔහු පැහැදිලි කළේය. ‘මා බයිබලය කියෙව්වා, එහි උපදෙස්වලට ස්තුතිවන්ට, දැන් මා බව්තීස්ම වූ සාක්ෂිකරුවෙක්.’ මෙම භාර්යාවගේ උදාර විපාකය ගැන සිතා බලන්න, එසේය, වසර 12ක් තිස්සේ ඔහුගේ විරුද්ධවාදීකම් විශ්වාසවන්තව විඳදරාගැනීමෙන් ‘ඇගේ ස්වාමිපුරුෂයාගේ ගැළවීමට’ දායක වීමට හැකිවිණ!
යේසුස්වහන්සේගෙන් ඉගෙනගැනීම
13. (අ) යේසුස්වහන්සේගේ ජීවිත මාර්ගයෙන් ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් ඉගෙනගත යුතු ප්‍රධානතම පාඩම කුමක්ද? (ආ) දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත්වීම දුෂ්කර බව දැනෙන අයට යේසුස්වහන්සේගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ගැනීමට හැක්කේ කෙසේද?
13 ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට යේසුස්වහන්සේගේ ජීවිත ක්‍රියාමාර්ගයෙන් ඉගෙනගත හැකි ප්‍රධානතම පාඩම නම් දෙවියන්වහන්සේට කීකරු වීමයි. “උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමි,” යයි යේසුස්වහන්සේ කීසේක. “මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.” (යොහන් 5:30; 8:29) දෙවියන්වහන්සේගේ කැමැත්තේ එක්තරා අංගයක් අප්‍රසන්න බවට වරක් යේසුස්වහන්සේට පෙනී ගියද, උන්වහන්සේ ඊට කීකරු වූසේක. “ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව,” යයි උන්වහන්සේ යාච්ඤා කළසේක. එහෙත්, ඒ සමඟම උන්වහන්සේ මෙසේද එකතු කළසේක: “එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා.” (ලූක් 22:42) දේවකැමැත්ත වෙනස් කරන මෙන් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ නැත; තමා සඳහා වූ දෙවියන්වහන්සේගේ ඕනෑම කැමැත්තකට කීකරුව යටත්වීම මගින්, තමා දෙවියන්වහන්සේට සැබවින්ම ප්‍රේම කරන බව උන්වහන්සේ පෙන්වූසේක. (1 යොහන් 5:3) යේසුස්වහන්සේ කළාක් මෙන්, සෑමවිටම දෙවියන්වහන්සේගේ කැමැත්ත පළමු තැනට තැබීම, තනිකඩ ජීවිතයේදී පමණක් නොව, නමුත් විවාහක සහ පවුල් ජීවිතයේදීද සාර්ථකත්වය සඳහා අතිශයින් වැදගත්ය. මෙය මෙසේ වන්නේ මන්දැයි සලකා බලන්න.
14. ඇතැම් ක්‍රිස්තියානීන් වැරදි ලෙස තර්ක කරන්නේ කෙසේද?
14 කලින් සලකා බැලූ පරිදි, ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේව පළමු තැනට තබන විට, තම නොඇදහිලිකාර කලත්‍රයන් සමඟ රැඳී සිටීමට ඔවුන් උත්සාහ කරන අතර, ඔවුන්ට ගැළවීමේ මාර්ගයට අවතීර්ණ වීම සඳහා උපකාර කිරීමට බොහෝවිට ඔවුන්ට හැකිවෙයි. කලත්‍රයන් දෙදෙනාම ඇදහිලිවන්තයන් වන අවස්ථාවලදී පවා, ඔවුන්ගේ විවාහය සර්ව සම්පූර්ණ තත්වයෙන් බොහෝ දුරස්ව තිබෙනවා වන්ට පුළුවන. පව්කාර ප්රවණතාවන් නිසා, ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට සෑමවිටම එකිනෙකා කෙරෙහි ප්‍රේමනීය සිතිවිලි නැත. (රෝම 7:19, 20; 1 කොරින්ති 7:28) ඇතැම්හු, තමන්ට දික්කසාදය සඳහා කිසිදු ශුද්ධ ලියවිලිමය පදනමක් නැතිවුවද, වෙනස් කලත්‍රයෙකු පසුපස යෑමට තරම් දුරදිග යති. (මතෙව් 19:9; හෙබ්‍රෙව් 13:4) තමන්ට එය හොඳම දේ බවත්, ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් එකට සිටිය යුතු බවට වූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ඕනෑවට වඩා දුෂ්කරය කියාත් ඔවුහු තර්ක කරති. (මලාකී 2:16; මතෙව් 19:5, 6) මෙය වූ කලි දෙවියන්වහන්සේගේ සිතිවිලි වෙනුවට මිනිස් චින්තන මත කල්පනා කිරීමක් බවට කිසිදු සැකයක් නැත.
15. දෙවියන්වහන්සේව පළමු තැනට දැමීම ආරක්ෂාවක් වන්නේ මන්ද?
15 දෙවියන්වහන්සේව පළමු තැනට තැබීම මොනතරම් ආරක්ෂාවක්ද! එසේ කරන විවාහක යුවළයන් එකට ඇලී බැඳී සිටීමට උත්සාහ කරනු ඇති අතර, දෙවියන්වහන්සේගේ වචනයේ උපදෙස් අදාළ කිරීම මගින් ඔවුන්ගේ ගැටලු විසඳාගන්නවා ඇත. මෙසේ, උන්වහන්සේගේ කැමැත්ත නොසලකා හරිනු ලබන විට, ප්‍රතිඵල වන සෑම ආකාරයකම හෘද වේදනාවලින් ඔවුන් වැළකෙනු ඇත. (ගීතාවලිය 19:7-11) දික්කසාද වීමට ඉතා ආසන්නව සිටි එක් යෞවන යුවළක්, බයිබල් උපදෙස් අනුගමනය කිරීමට තීරණය කිරීම මගින් මෙය උපහැරණය කෙරේ. වසර ගණනාවකට පසුව, එම භාර්යාව තම විවාහය තුළ තිබූ ප්‍රීතිය ගැන මෙනෙහි කළ විට, ඈ මෙසේ පැවසුවාය: “මා ඒ අවුරුදු ගණනාව පුරා මගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව ජීවත්වීමට තිබූ හැකියාව ගැන සලකන විට, මා වාඩිවී ඒ ගැන හැඬිය යුතුයි. අනතුරුව මා යෙහෝවඃ දෙවියන්වහන්සේට යාච්ඤා කර, අපව එවන් ප්‍රීතිමත් සබඳතාවකට ගෙනා උන්වහන්සේගේ උපදෙස් හා මඟ පෙන්වීම ගැන මා උන්වහන්සේට ස්තුති කරනවා.”
ස්වාමිපුරුෂයෙනි, භාර්යාවෙනි—ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කරන්න!
16. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් යන දෙපාර්ශ්වයම සඳහා යේසුස්වහන්සේ තැබූ ආදර්ශය කුමක්ද?
16 සෑමවිටම දෙවියන්වහන්සේව පළමු තැනට තැබූ යේසුස්වහන්සේ, ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් යන දෙපාර්ශ්වයම සඳහා පුදුමාකාර ආදර්ශයක් තැබූ අතර, ඔවුන් එය වෙත පරෙස්සමින් අවධානය යොමු කිරීම යහපති. යේසුස්වහන්සේ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් කෙරෙහි මුදුමොළොක් ලෙස මූලිකත්වය දක්වන ආකාරය අනුකරණය කිරීමට ස්වාමිපුරුෂයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනු ලැබේ. (එපීස 5:23) තවද ක්‍රිස්තියානි භාර්යාවන්ටද දෙවියන්වහන්සේට යටත්වීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ නිර්දෝෂී ආදර්ශයෙන් ඉගෙනගත හැක.—1 කොරින්ති 11:3.
17, 18. යේසුස්වහන්සේ ස්වාමිපුරුෂයන් සඳහා කදිම ආදර්ශයක් තැබුවේ කිනම් ආකාරවලින්ද?
17 බයිබලය මෙසේ අණ කරයි: “පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරපල්ලා.” (එපීස 5:25) යේසුස්වහන්සේ සිය සාමාජිකයන්ගේ සභාවට තම ප්‍රේමය දැක්වූ වැදගත් මාර්ගයක් වූයේ ඔවුන්ගේ කිට්ටු මිත්‍රයෙකු බවට පත්වීමය. “මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි” යනුවෙන් යේසුස්වහන්සේ පැවසූසේක. (යොහන් 15:15) යේසුස්වහන්සේ සිය ගෝලයන් සමඟ කතා බහ කිරීමට ගත කළ මුළු කාලය ගැන—උන්වහන්සේ ඔවුන් සමඟ කළ බොහෝ බොහෝ සාකච්ඡා ගැන—මෙන්ම උන්වහන්සේ ඔවුන් කෙරෙහි තැබූ නිසැකභාවය ගැන සිතා බලන්න! මෙය ස්වාමිපුරුෂයන් සඳහා විශිෂ්ට ආදර්ශයක් නොවේද?
18 සිය ගෝලයන් කෙරෙහි සැබෑ උනන්දුවක් දැක්වූ යේසුස්වහන්සේට, ඔවුන් සඳහා අව්‍යාජ ලැදිකමක් තිබිණ. (යොහන් 13:1) උන්වහන්සේගේ ඉගැන්වීම් ඔවුන්හට අපැහැදිලි වූ විට, කාරණා පැහැදිලි කිරීමට උන්වහන්සේට පෞද්ගලිකව ගත කළ හැකි අවස්ථාවලදී පවා ඉවසිලිවන්තව කාලය ගත්සේක. (මතෙව් 13:36-43) ස්වාමිපුරුෂයෙනි, ඔබගේ ක්‍රිස්තියානි භාර්යාවගේ ආත්මික සුභසාධනය ඔබට එක හා සමාන වැදගත්කමකින් යුත් දෙයක්ද? ඔබ දෙදෙනාගේම මනස් හා හෘදයන් තුළ බයිබල් සත්‍යයන් පැහැදිලිව තිබෙන බවට සහතික කරමින් ඔබ ඇය සමඟ කාලය ගත කරන්නෙහිද? යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ව දේවසේවයේ කැටුව ගියසේක, සමහරවිට පෞද්ගලිකව ඔවුන් එක් එක්කෙනාව පුහුණු කළා විය හැක. ගෙයින් ගෙට බැහැදකිමින් සහ බයිබල් පාඩම් පවත්වමින්, ඔබ ඔබේ භාර්යාව කැටුව දේවසේවයේ යෙදෙන්නෙහිද?
19. යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන් අතින් නැවත නැවතත් සිදුවූ දුර්වලකම් සමඟ කටයුතු කළ ආකාරය ස්වාමිපුරුෂයන් සඳහාද ආදර්ශයක් වන්නේ කෙසේද?
19 විශේෂයෙන්ම සිය ප්‍රේරිතයන්ගේ අසම්පූර්ණකම් සමඟ කටයුතු කිරීමේදී යේසුස්වහන්සේ ස්වාමිපුරුෂයන් සඳහා අග්‍රගණ්‍ය ආදර්ශයක් තැබූසේක. තම ප්‍රේරිතයන් සමඟ අන්තිම භෝජනය ගන්නා අවස්ථාවේදී, නැවත නැවත මතුවන එදිරිවාදී ස්වභාවයක් දැකගැනීමට උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේ ඔවුන්ව රළු ලෙස විවේචනය කළසේක්ද? නැත, නමුත් උන්වහන්සේ නිහතමානීව මේ එක් එක්කෙනාගේ පාද සේදූසේක. (මාර්ක් 9:33-37; 10:35-45; යොහන් 13:2-17) ඔබ ඔබේ භාර්යාව සමඟ එවැනි ඉවසීමක් පෙන්වනවාද? ඇය තුළ නැවත නැවත මතුවන දුර්වලකම් ගැන මැසිවිලි නඟනවා වෙනුවට, ඔබේ ආදර්ශය මගින් ඇයට ඉවසිලිවන්තව උපකාර කිරීමටත්, ඇගේ හෘදයට ළඟාවීමටත් ඔබ උත්සාහ කරන්නෙහිද? අවසානයේදී ප්‍රේරිතයන් කළාක් මෙන්, භාර්යාවන්ද එවන් ප්‍රේමනීය දයානුකම්පාව අගය කිරීමට ඉඩ කඩ තිබේ.
20. ක්‍රිස්තියානි භාර්යාවන් කිසිවිටකත් අමතක නොකළ යුත්තේ කුමක්ද, තවද ඔවුන් සඳහා ආදර්ශයක් ලෙස සපයනු ලැබ ඇත්තේ කාවද?
20 “ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ” යයි කිසිවිටක අමතක නොකළ යේසුස්වහන්සේව සලකා බැලීමට භාර්යාවන්ටද අවශ්‍යය. උන්වහන්සේ සෑමවිටම සිය ස්වර්ගික පියාණන්ට යටත් වූසේක. ඒ හා සමානව, “ස්ත්‍රියගේ හිස පුරුෂයා” බව, භාර්යාවන් අමතක නොකළ යුතුය, එසේය, ඔවුන්ගේ ස්වාමිපුරුෂයා වනාහි ඔවුන්ගේ මූලිකයාය. (1 කොරින්ති 11:3; එපීස 5:23) පුරාණ කාලවල ‘ශුද්ධ ස්ත්රීවරුන්ගේ’ විශේෂයෙන්ම “ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණ” සාරාගේ ආදර්ශය ගැන සලකා බලන මෙන්, ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානි භාර්යාවන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය.—1 පේතෘස් 3:5, 6.
21. ආබ්‍රහම් සහ සාරාගේ විවාහය සාර්ථක එකක් වූයේ මන්ද, නමුත් ලොත් සහ ඔහුගේ භාර්යාවගේ විවාහය අසාර්ථක එකක් වූයේ මන්ද?
21 පෙනෙන විදිහට සාරා, විදේශීය රටක කූඩාරම්වල ජීවත්වීම සඳහා සමෘද්ධිමත් නගරයක සුව පහසු නිවසක් අත්හැර දැමුවාය. මන්ද? ඇය එම ජීවිත රටාවට වඩාත් ප්‍රිය කළ නිසාද? පෙනෙන විදිහට නැත. එහි යන ලෙස ඇගේ ස්වාමිපුරුෂයා ඇගෙන් ඉල්ලූ නිසාද? ආබ්‍රහම්ගේ දේවභක්තික ගුණාංග නිසා සාරා ඔහුට ප්‍රේම කොට ගෞරව කළ නිසා, මෙය ඒ සඳහා දායක වූ සාධකයක් බවට කිසිදු සැකයක් නැත. (උත්පත්ති 18:12) එහෙත් ඇය තම ස්වාමිපුරුෂයා කැටුව යෑමට ප්‍රධාන හේතුව වූයේ යෙහෝවඃවහන්සේ කෙරෙහි වූ ඇගේ ප්‍රේමයත්, දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමට ඇය තුළ වූ හෘදයාංගම ආශාවත්ය. (උත්පත්ති 12:1) දෙවියන්වහන්සේට කීකරුවීම තුළ ඈ මහත් සතුටක් ලැබුවාය. අනික් අතට, ලොත්ගේ භාර්යාව දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට පසුබට වූ අතර, මෙසේ සොදොම නමැති ඇගේ උපන් නගරයේ දමා ඇවිත් තිබූ දේවල් දෙස ආශාවෙන් ආපසු හැරී බැලුවාය. (උත්පත්ති 19:15, 25, 26; ලූක් 17:32) ඇය දෙවියන්වහන්සේට විරුද්ධව අකීකරු වීම නිසා එම විවාහය මොනතරම් ඛේදජනක ලෙස අවසන් වීද!
22. (අ) පවුලේ සාමාජිකයන් ඥානවන්ත ලෙස කිනම් ආත්ම සෝදිසියක් කරනු ඇද්ද? (ආ) අප ඊළඟ ලිපියේ කුමක් සලකා බලනු ඇද්ද?
22 එමනිසා, ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක වශයෙන්, ඔබ ඔබෙන්ම මෙසේ ඇසීම අතිශයින්ම වැදගත්ය, ‘දෙවියන්වහන්සේ අපේ පවුලේ පළමු තැනට පැමිණේද? දෙවියන්වහන්සේ මාහට පවරා ඇති පවුලේ කාර්යභාරය ඉටු කිරීමට මා සැබවින් බලවත් ප්රයත්නයක් දරන්නෙම්ද? මගේ කලත්‍රයාට ප්‍රේම කිරීමටත්, එම තැනැත්තාට හෝ තැනැත්තියට යෙහෝවඃවහන්සේ සමඟ යහපත් සබඳතාවක් පවත්වාගැනීමටත් උපකාර කිරීමට මා අව්‍යාජ ප්රයත්නයක් දරන්නෙම්ද?’ බොහෝ පවුල්වල දරුවෝද සිටිත්. දෙමාපියන්ගේ කාර්යභාරයත්, ඔවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ දරුවන්ටද දෙවියන්වහන්සේ පළමු තැනට තැබීමේ අවශ්‍යතාවත් ගැන අපි ඊළඟට සාකච්ඡා කරන්නෙමු.
ඔබට මතකද?
◻ පවුල් බොහොමයකට යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වල ප්‍රතිවිපාක කුමක් විය හැකිද?
◻ ස්ථිරව සිට ඇති ක්‍රිස්තියානීන් දහස් ගණනක් ලබා ඇති විපාකය කුමක් වී ඇද්ද?
◻ දුරාචාරයෙන් සහ දික්කසාදයෙන් වැළකී සිටීමට කලත්‍රයන්ට කුමක් උපකාරවත් වනු ඇද්ද?
◻ ස්වාමිපුරුෂයන්ට යේසුස්වහන්සේගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?
◻ සන්තෝෂවත් විවාහයකට දායක වීමට භාර්යාවන්ට හැක්කේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරය]
සාරා ඇගේ විවාහයේ සාර්ථකත්වයට දායක වූයේ කෙසේද?