5වන පරිච්ඡේදය
දෙවි පිළිගන්නේ කාගේ නමස්කාරයද?
1. නමස්කාරය ගැන සමාරිය ස්ත්‍රියකට දැනගැනීමට වුවමනා වුණේ කුමක්ද?
‘දෙවි පිළිගන්නේ කාගේ නමස්කාරයද’ කියා ඔබ කෙදිනක හෝ කල්පනා කර තිබෙනවාද? සමාරියේ ගෙරිසීම් කන්ද අසලදී යේසුස් ක්‍රිස්තුස් සමඟ කතා කළ එක්තරා ස්ත්‍රියකට එවන් ප්‍රශ්නයක් පැනනැඟෙන්න ඇති. සමාරියයන්ගේ නමස්කාරය හා යුදෙව්වන්ගේ නමස්කාරය අතර තිබෙන වෙනසකට අවධානය යොමු කරමින් ඇය මෙසේ පැවසීය: “අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි [නුඹලා] කියන්නහුය.” (යොහන් 4:20) යේසුස් ඇයට දුන් පිළිතුර වූයේ දෙවි ඕනෑම ආකාරයක නමස්කාරයක් පිළිගන්නා බවද? නැත්නම් දෙවිව සතුටු කිරීමට යම් නිශ්චිත දේවල් කළ යුතු බව ඔහු පැවසුවාද?
2. සමාරිය ස්ත්‍රියට උත්තර දීමේදී යේසුස් පැවසුවේ කුමක්ද?
2 යේසුස්ගේ පුදුම දනවන පිළිතුර වූයේ, “මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා [පියාට] නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය” යන්නයි. (යොහන් 4:21) සමාරියයන් බොහෝ කලක් පුරා යෙහෝවා කෙරෙහි භයක් විදහාපෙන්වූ අතර ගෙරිසීම් කන්ද මත වෙනත් දෙවිවරුන්ටද නමස්කාර කර තිබුණි. (2 රාජාවලිය 17:33) නමුත් යේසුස් ක්‍රිස්තුස් දැන් කියා සිටින්නේ, එම ස්ථානයවත් යෙරුසලමවත් සැබෑ නමස්කාරය සඳහා වැදගත් නොවන බවයි.
ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කරන්න
3. (අ) සමාරිවරුන් ඇත්තෙන්ම දෙවිව දැනහඳුනා ගෙන නොසිටියේ ඇයි? (ආ) දෙවිව දැනහඳුනා ගැනීමට විශ්වාසවන්ත යුදෙව්වන්ට හා වෙනත් අයට හැකි වනු ඇත්තේ කොහොමද?
3 යේසුස් සමාරිය ස්ත්‍රියට මෙසේද පැවසුවේය: “නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය.” (යොහන් 4:22) සමාරියයන්ට බොරු ආගමික අදහස් තිබූ අතර, දේවානුභාවයෙන් ලද්දක් හැටියට ඔවුන් පිළිගත්තේ බයිබලයේ මුල් පොත් පහ පමණි. ඇරත් එය පිළිගත්තේ සමාරීය පංචපුස්තකය නමැති ඔවුන්ගේම සංශෝධනය ලෙස පමණයි. එනිසා, ඔවුන් ඇත්තෙන්ම දෙවිව හඳුනාගෙන සිටියේ නැත. කෙසේවෙතත්, ශුද්ධ ලියවිලිමය දැනුම විශ්වාසයෙන් භාර දී තිබුණේ යුදෙව්වන්ටය. (රෝම 3:1, 2) විශ්වාසවන්ත යුදෙව්වන්ට හා සවන් දෙන වෙනත් ඕනෑම කෙනෙකුට දෙවිව දැනහඳුනා ගැනීමට අවශ්‍ය කරන සියලුම තොරතුරු ශුද්ධ වූ ලියවිල්ලෙන් සපයා තිබුණි.
4. යේසුස් පැවසූ පරිදි, යුදෙව්වන්ගේ හා සමාරියයන්ගේ නමස්කාරය දෙවි ඉදිරියේ පිළිගත හැකි එකක් වීම සඳහා ඔවුන් කිරීමට අවශ්‍යව තිබුණේ කුමක්ද?
4 ඇත්තෙන්ම, යේසුස් පෙන්නුම් කළ ආකාරයට, දෙවිව සතුටු කිරීම සඳහා යුදෙව්වන් හා සමාරියයන් යන දෙපිරිසම තම නමස්කාර ක්‍රමය වෙනස් කරගැනීම අවශ්‍ය විය. ඒ ගැන ඔහු මෙසේ පැවසුවේය: ‘සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියා තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයන්නේය. දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.’ (යොහන් 4:23, 24) දෙවිට “ආත්මයෙන්” නමස්කාර කිරීමට නම්, අපට දෙවිගේ ආත්මය තිබිය යුතු අතර, එම ආත්මය මගින් මඟ පෙන්වනු ලැබිය යුතුයි. දේවවචනය වන බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා අනාවරණය කර ඇති සත්‍යයට එකඟව නමස්කාර කිරීමෙන්, ඔහුට “සැබෑකමෙන්” යුතුව නමස්කාර කිරීමට අපට හැකියි. ඔබ එසේ කිරීමට ආශාවක් දක්වනවාද?
5. (අ) “නමස්කාරය” යනු කුමක්ද? (ආ) දෙවි අපේ නමස්කාරය පිළිගන්නවාට අප කැමති නම්, අප කළ යුත්තේ කුමක්ද?
5 යේසුස් අවධාරණය කළ ආකාරයට දෙවි අපේක්ෂා කරන්නේ සැබෑ නමස්කාරයකි. මෙයින් පැහැදිලි වන්නේ යෙහෝවා පිළි නොගන්නා තවත් නමස්කාර ක්‍රමත් තිබෙන බවයි. දෙවිට නමස්කාර කිරීම යන්නෙන් අදහස් වන්නේ ඔහුට භක්තිමත් ලෙස ගෞරවය කිරීමත්, පරිශුද්ධ සේවය පිරිනැමීමත්ය. බලවත් පාලකයෙකුට ගෞරවය දැක්වීමට ඔබට වුවමනා නම්, ඔහුට සේවය කිරීමටත්, ඔහුට සතුටු ගෙන දෙන දේවල් කිරීමටත් ඔබ බොහෝදුරට උත්සුක වනු ඇත. එසේනම් නියත වශයෙන්ම, දෙවිව සතුටු කිරීමටත් අපට වුවමනා වේ. එනිසා, ‘මගේ ආගම මට හොඳයි’ කියා නිකම්ම නොපවසා, අපේ නමස්කාරය දෙවිගේ අවශ්‍යතාවන්ට ගැළපෙනවාද කියා අප සොයා බැලිය යුතුයි.
පියාගේ කැමැත්ත කිරීම
6, 7. යේසුස්ගේ ගෝලයන්යයි කියාගන්නා සමහරුන්ව යේසුස් පිළි නොගන්නේ ඇයි?
6 අපි මුලින්ම මතෙව් 7:21-23 කියවා, ඕනෑම ආකාරයක නමස්කාර ක්‍රමයක් දෙවි පිළිගන්නවාද කියා නිශ්චය කරගැනීමට දායක වන තීරණාත්මක සාධකයක් වෙන් කර හඳුනාගැනීමට අපට හැකිදැයි බලමු. යේසුස් එහි මෙසේ පැවසුවේය: “ස්වර්ගයෙහි සිටින මාගේ [පියාගේ] කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් [දුෂ්ට ආත්ම ජීවීන්] දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.”
7 සැබෑ නමස්කාරයේදී යේසුස් ක්‍රිස්තුස්ව ස්වාමීන් වශයෙන් අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. නමුත්, යේසුස්ගේ ගෝලයන්යයි කියාගන්නාවූ බොහෝදෙනෙකුගේ නමස්කාරයෙහි යම් අඩුවක් දක්නට ඇත. ආශ්චර්යයන්යයි කියන සුව කිරීම් වැනි වූ “බලවත් ක්‍රියා” සමහරුන් සිදු කරනු ඇතැයි ඔහු පැවසුවේය. එහෙත්, යේසුස් වැදගත්යයි පැවසූ දෙය එනම් ‘ඔහුගේ පියාගේ කැමැත්ත’ කිරීමට ඔවුන් සමත් වන්නේ නැත. දෙවිව සතුටු කිරීමට අපට වුවමනා නම්, පියාගේ කැමැත්ත කුමක්ද කියා ඉගෙනගෙන, එය අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුයි.
නිවැරදි දැනුම ආරක්ෂාවකි
8. දෙවිගේ කැමැත්ත කිරීමට අපට අවශ්‍ය වන්නේ කුමක්ද? අප මඟහැරිය යුත්තේ කිනම් වැරදිසහගත දෘෂ්ටීන්ද?
8 දේවකැමැත්ත කිරීම සඳහා යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් නිවැරදි දැනුමක් අවශ්‍යය. එවන් දැනුමක් සදාකාල ජීවනයට මඟපාදයි. එනිසා, දේවවචනය වන බයිබලයෙන් නිවැරදි දැනුම අත් කරගැනීම සම්බන්ධයෙන් අප සියලුදෙනාම බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුයි. අප අවංකව හා ජ්වලිතව නමස්කාරයේ යෙදෙන තාක් කල්, ඒ ගැන කරදර වීමට අවශ්‍ය නැතැයි සමහරු පවසති. ‘දන්නේ ටික නම්, බලාපොරොත්තු වෙන්නෙත් ටිකයි’ කියා තවත් අය කියයි. නමුත්, බයිබලයේ අපට දිරිගන්වන්නේ, දෙවි හා ඔහුගේ අරමුණු පිළිබඳ දැනුමෙන් වර්ධනය වන හැටියටයි.—එපීස 4:12; පිලිප්පි 1:11; කොලොස්සි 1:9.
9. ඒකාන්ත දැනුම අපව ආරක්ෂා කරන්නේ කොහොමද? එවැනි ආරක්ෂාවක් අපට අවශ්‍ය වන්නේ ඇයි?
9 අපේ නමස්කාරය දූෂ්‍ය වීමෙන් ආරක්ෂා කරගැනීමට එවන් දැනුමක් දායක වේ. “ආලෝකයේ දූතයෙකු” මෙන් වෙස්ගන්නා එක්තරා ආත්ම ජීවියෙක් ගැන ප්‍රේරිත පාවුල් කතා කළේය. (2 කොරින්ති 11:14) මෙලෙස වෙස්ගත් සාතන් නමැති මෙම ආත්ම ජීවියා දේවකැමැත්තට පටහැනි දේවල් කිරීම සඳහා අපව නොමඟ යැවීමට තැත් කරයි. සාතන්ගේ පැත්තේ සිටින වෙනත් ආත්ම ජීවීන්ද ජනයාගේ නමස්කාරය දිගටම දූෂ්‍ය කරමින් සිටී. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවේය: ‘මිථ්‍යා දෘෂ්ටීන් පූජා කරන දේ ඔවුන් පූජා කරන්නේ දෙවිට නොව යක්ෂයන්ටය.’ (1 කොරින්ති 10:20) මෙලෙස, බොහෝදෙනෙක් දෙවිට වුවමනා දේ කරමින් නොසිටියද, ඔවුන් සිතුවේ තමන් නිවැරදි ආකාරයට නමස්කාර කරමින් සිටි බවයි. ඔවුන්ව නොමඟ යවා තිබුණේ අපවිත්‍ර වූ බොරු නමස්කාරයකටයි. සාතන් හා ඔහුගේ භූතයන් ගැන අපි පසුව තවත් ඉගෙනගන්නෙමු. නමුත් දෙවිගේ මෙම සතුරන් මනුෂ්‍යවර්ගයාගේ නමස්කාරය දිගටම දූෂ්‍ය කර ඇති බව ස්ථිර වශයෙන්ම කිව හැකියි.
10. යමෙක් ඔබේ ජල සැපයුමට හිතාමතාම වස එකතු කළොත් ඔබ කරන්නේ කුමක්ද? දේවවචනය පිළිබඳ නිවැරදි දැනුම අපට කුමක් කිරීමට හැකි කරවයිද?
10 යමෙක් ඔබේ ජල සැපයුමට හිතාමතා වස එකතු කර ඇති බව ඔබට දැනගන්ට ලැබුණොත්, ඔබ එයින් දිගටම බොන්න යනවාද? ඔබ නිසැකවම ආරක්ෂා සහිත, පිරිසිදු ජල උල්පතක් සොයාගැනීමට වහාම පියවර ගනීවි. එයාකාරයෙන්ම, සැබෑ ආගම හඳුනාගෙන, නමස්කාරය දෙවිට පිළිගත නොහැකි තත්වයකට පත් කරවන අපවිත්‍රතා ප්‍රතික්ෂේප කිරීමට අපට ඇත්තෙන්ම හැකි කරවන්නේ, දෙවිගේ වචනය පිළිබඳ නිවැරදි දැනුමය.
මනුෂ්‍ය ආඥාවන් මූලධර්මයන් ලෙස
11. යුදෙව්වන් බොහෝදෙනෙකුගේ නමස්කාරයේ තිබුණ වරද කුමක්ද?
11 යේසුස් මිහිපිට සිටියදී, යුදෙව්වන් බොහෝදෙනෙක් දෙවි පිළිබඳ නිවැරදි දැනුමට එකඟව ක්‍රියා කළේ නැත. එනිසා යෙහෝවා ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක සිටීමේ ප්‍රස්තාව ඔවුන්ට අහිමි විය. ඔවුන් ගැන පාවුල් මෙසේ ලියන්නට විය: “ඔවුන්ට [දෙවි] උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය [නිවැරදි, NW] දැනගැම්ම ඇතුව නොවේ.” (රෝම 10:2) දෙවි පැවසූ දේවලට සවන් දෙනවා වෙනුවට ඔහුට නමස්කාර කළ යුත්තේ කෙසේද කියා ඔවුන්ම තීරණය කළේය.
12. ඉශ්රායෙල්වරුන්ගේ නමස්කාරය දූෂ්‍ය වුණේ කුමකින්ද? කුමන ප්‍රතිඵල ඇතුවද?
12 මුලදී ඉශ්රායෙල්වරුන් දෙවිගෙන් ලද නිර්මල ආගම පිළිපැද්දද, පසු කාලයකදී එය මිනිසුන්ගේ ඉගැන්වීම්වලින් හා දර්ශනවලින් දූෂ්‍ය විය. (යෙරෙමියා 8:8, 9; මලාකී 2:8, 9; ලූක් 11:52) ඵරිසිවරුන් හැටියට හැඳින්වූ යුදෙව් ආගමික නායකයන්, තම නමස්කාරය දෙවිට පිළිගත හැකි එකක්ය කියා සිතුවත්, යේසුස් ඔවුන්ට පැවසුවේ: “මේ සෙනග ඔවුන්ගේ තොල්වලින් මට ගෞරවකරති, එහෙත් ඔවුන්ගේ සිත මාගෙන් දුරය. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට [මනුෂ්‍ය ආඥාවන් මූලධර්මයන් ලෙස, NW] උගන්වමින්, නිරර්ථකයේ මට නමස්කාරකරතියි ලියා තිබෙන ලෙස වංචාකාරවූ නුඹලා ගැන යෙසායා මනාලෙස අනාගතවාක්‍යයෙන් කීයේය,” කියායි.—මාර්ක් 7:6, 7.
13. ඵරිසිවරුන් මෙන් අපත් කෙසේ ක්‍රියා කිරීමට ඉඩ තිබෙනවාද?
13 අපත් ඵරිසිවරුන් මෙන් ක්‍රියා කිරීමට ඉඩ ඇද්ද? නමස්කාරය සම්බන්ධයෙන් දෙවි පවසා ඇත්තේ කුමක්ද යන්න පරීක්ෂා නොකර, අපට උරුමයෙන් ලැබී තිබෙන ආගමික සම්ප්‍රදායන් අප පිළිපැද්දොත්, මෙවැන්නක් සිදු විය හැකියි. මෙම සැබෑ අන්තරාව ගැන අනතුරු අඟවමින්, පාවුල් මෙසේ ලීවේය: ‘පසු කාලවලදී සමහරු මුළා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මය පැහැදිලි ලෙස කියයි.’ (1 තිමෝති 4:1) එනිසා අපේ නමස්කාරයෙන් දෙවි සතුටු වෙනවාය කියා නිකම්ම උපකල්පනය කිරීම ප්‍රමාණවත් නොවේ. යේසුස්ට මුණගැසුණු සමාරිය ස්ත්‍රිය මෙන්, අපත් අපේ නමස්කාර පිළිවෙත අපගේ දෙමව්පියන්ගෙන් උරුම කරගෙන තිබෙනවා විය හැකියි. නමුත්, අප දෙවි අනුමත කරන දේවල් කරමින් සිටින බවට සහතික විය යුතුය.
දෙවිව අමනාප නොකිරීමට වගබලා ගන්න
14, 15. අපට දෙවිගේ කැමැත්ත ගැන යම් දැනුමක් තිබෙනවා වූවත්, අප පරෙස්සම් විය යුත්තේ ඇයි?
14 පරෙස්සම් නූණොත්, දෙවි නොපිළිගන්නා යමක් අප කිරීමට ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන්, ප්‍රේරිත යොහන් දේවදූතයෙකුට “නමස්කාරකරන පිණිස” ඔහුගේ පාමුල වැඳ වැටුණේය. එහෙත් දේවදූතයා ඔහුට අවවාද කළේ මෙසේය: “එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද [යේසුස්ගේ] සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. [දෙවිට] නමස්කාරකරන්න.” (එළිදරව් 19:10) එනිසා ඔබේ නමස්කාරය කිසිම ආකාරයක රූප වන්දනාවකින් දූෂ්‍යව නොතිබෙන බවට වගබලා ගැනීම කොයිතරම් වැදගත්ද කියා ඔබට වැටහෙනවාද?—1 කොරින්ති 10:14.
15 ඇතැම් ක්‍රිස්තියානීන් දෙවිව අසතුටු කළ ආගමික චාරිත්‍රයන් පිළිපැදීමට පටන්ගත් විට, පාවුල් ඔවුන්ගෙන් මෙසේ ඇසීය: “නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද? නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය. සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා නුඹලා ගැන භයවෙමි.” (ගලාති 4:8-11) එම පුද්ගලයන් දෙවි පිළිබඳ දැනුමක් අත් කරගෙන තිබුණත්, යෙහෝවා පිළි නොගන්නා ආගමික චාරිත්‍ර හා ශුද්ධ දවස් පැවැත්වීමෙන් පසු කලකදී වැරදි කරන්නට විය. පාවුල් පැවසූ පරිදි, අප විසින් ‘ස්වාමීන්ට ප්‍රසන්නව තිබෙන්නේ කුමක්ද කියා විභාග කර’ බැලීම අවශ්‍යයි.—එපීස 5:10.
16. නිවාඩු දින හා චාරිත්‍ර දෙවිව සතුටු කරනවාද නැද්ද කියා තීරණය කරන්න අපට යොහන් 17:16 සහ 1 පේතෘස් 4:3 උපකාර කරන්නේ කොහොමද?
16 දෙවිගේ ප්‍රතිපත්ති උල්ලංගනය කරන ආගමික නිවාඩු දිනවලින් හා වෙනත් චාරිත්‍රවලින් වැළකී සිටීමට අප වගබලාගත යුතුයි. (1 තෙසලෝනික 5:21) උදාහරණයක් වශයෙන්, යේසුස් තම අනුගාමිකයන් පිළිබඳව පැවසුවේ මෙසේය: “මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.” (යොහන් 17:16) මේ ලෝකයේ කටයුතු සම්බන්ධයෙන් දරන මධ්‍යස්ථභාවයේ ප්‍රතිපත්තිය උල්ලංගනය කරන වත්පිළිවෙත් හා නිවාඩු දිනවලට ඔබේ ආගම අනුබල දෙනවාද? එසේත් නැත්නම් ප්‍රේරිත පේතෘස් විස්තර කළ හැසිරීමට සමාන හැසිරීමකට මුලපුරන චාරිත්‍ර හා මංගල්‍යවලට ඔබේ ආගමේ සාමාජිකයන් සහභාගි වෙනවාද? ඔහු ඒ ගැන මෙසේ පැවසුවේය: “සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.”—1 පේතෘස් 4:3.
17. ලෝකයේ ස්වභාවය පිළිබිඹු කරන ඕනෑම දෙයකින් අප වැළකී සිටිය යුත්තේ ඇයි?
17 අප අවට තිබෙන අභක්තික ලෝකයේ ස්වභාවය පිළිබිඹු කරන ඕනෑම ක්‍රියාවකින් වැළකී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, [පියා] කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [පියාගෙන්] නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:15-17) ‘දෙවිගේ කැමැත්ත කරන්නන්’ සදාකාලයටම ජීවත් වන බව ඔබ සැලකිල්ලට ගත්තාද? ඔව්, අපි දෙවිගේ කැමැත්ත කරමින් මේ ලෝකයේ ස්වභාවය පිළිබිඹු කරන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිමු නම්, අපට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව අත් කරගත හැකියි!
දෙවිගේ උසස් ප්‍රමිති පිළිපදින්න
18. කොරින්තිවරුන් සමහරදෙනෙකුට හැසිරීම ගැන තිබුණේ කුමන වැරදි අදහසක්ද? අප මෙයින් කුමක් ඉගෙනගන්න අවශ්‍යද?
18 තමන්ට නමස්කාර කරන අය හැටියට දෙවිට වුවමනා කරන්නේ තම උසස් සදාචාර ප්‍රමිතිවලට අවනත වන අයවයි. දෙවි දුරාචාරමය හැසිරීම ගණන් නොගනු ඇතැයි පුරාණ කොරින්තියේ විසූ සමහරදෙනෙක් වැරදි ආකාරයෙන් සිතන්නට විය. පළමු කොරින්ති 6:9, 10 කියවීමෙන් අපට පැහැදිලි වන්නේ ඔවුන් කොතරම් වැරදිසහගත වූවාද යන්නයි. දෙවිට පිළිගත හැකි ආකාරයකින් නමස්කාර කිරීමට අපට වුවමනා නම්, අප අපේ කතාවෙන් හා ක්‍රියාවෙන් ඔහුව සතුටු කළ යුතුයි. එසේ කිරීමට ඔබේ නමස්කාර පිළිවෙත ඔබට උපකාරවත් වනවාද?—මතෙව් 15:8; 23:1-3.
19. අප අන්‍යයන්ට සලකන ආකාරය ගත් කල, සැබෑ නමස්කාරය එයට බලපාන්නේ කොහොමද?
19 වෙනත් මිනිසුන් සමඟ අප කටයුතු කරන විටත් අපගෙන් දෙවිගේ ප්‍රමිති පිළිබිඹු විය යුතුයි. යේසුස් ක්‍රිස්තුස් අපට දිරිගැන්වූයේ, යමෙක් අපට යම් ආකාරයකින් සලකනවාට අප කැමතිද, එයාකාරයෙන්ම ඔවුන්ටත් සලකන හැටියටය. මෙය සැබෑ නමස්කාරයේ කොටසකි. (මතෙව් 7:12) සහෝදර ප්‍රේමය විදහාපෙන්වීම ගැන ඔහු පැවසූ දෙයද සැලකිල්ලට ගන්න: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) යේසුස්ගේ ගෝලයන් එකිනෙකාට ප්‍රේම කරමින් සෙසු නමස්කාරකයන්ට හා වෙනත් අයට යහපත්කම් කළ යුතුයි.—ගලාති 6:10.
මුළු ආත්මයෙන්ම නමස්කාරය
20, 21. (අ) දෙවිට වුවමනා කරන්නේ කෙබඳු නමස්කාරයක්ද? (ආ) මලාකීගේ දවස්වල ඉශ්රායෙල්වරුන් පිරිනැමූ නමස්කාරය දෙවි ප්‍රතික්ෂේප කළේ ඇයි?
20 දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමට ඔබ හද පත්ලෙන්ම ආශා වනවා විය හැකියි. එසේනම්, නමස්කාරය සම්බන්ධයෙන් යෙහෝවාගේ දෘෂ්ටිය ඔබට තිබිය යුතුයි. ශ්‍රාවක යාකොබ් අවධාරණය කළ ආකාරයට, වැදගත් වන්නේ අපේ දෘෂ්ටි කෝණය නොව දෙවිගේ දෘෂ්ටි කෝණයයි. ඒ ගැන යාකොබ් පැවසුවේ මෙසේය: “අපගේ පියවූ [දෙවි] ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය [නමස්කාරය, NW] නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.” (යාකොබ් 1:27) අපේ නමස්කාරය අභක්තික ක්රියාපිළිවෙත්වලින් දූෂ්‍ය නොවී තිබෙන බවටත් දෙවි වැදගත්යයි සලකන යමක් පැහැර නොහරින බවටත් අප වගබලා ගත යුතුයි. එසේ කිරීම සඳහා, දෙවිව සතුටු කිරීමේ ආශාවෙන් යුතුව, අප සෑම කෙනෙකුම අපේ නමස්කාර පිළිවෙත පරීක්ෂා කර බැලිය යුතුයි.—යාකොබ් 1:26.
21 යෙහෝවාට සතුටු ගෙන දෙන්නේ පිරිසිදු මෙන්ම මුළු ආත්මයෙන්ම කරන නමස්කාරය පමණි. (මතෙව් 22:37; කොලොස්සි 3:24අ) ඉශ්රායෙල් ජාතිය ඊට වඩා අඩු යමක් දෙවිට පිරිනැමූ විට, ඔහු මෙසේ පැවසීය: “පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති . . . මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිද?” දෙවිට අන්ධ, කොර හා ලෙඩ සතුන් පූජා කිරීමෙන් ඔවුන් ඔහුව අමනාප කළ අතර, ඔහු එවන් නමස්කාර පිළිවෙත් ප්‍රතික්ෂේප කළේය. (මලාකී 1:6-8) යෙහෝවා පරිශුද්ධම නමස්කාරය ලැබීමට වටින අතර, තනි භක්තියට වඩා අඩු යමක් පිළිගන්නේද නැත.—නික්මයාම 20:5; හිතෝපදේශ 3:9; එළිදරව් 4:11.
22. දෙවි අපේ නමස්කාරය පිළිගන්නවාට අප කැමති නම්, (අ) අප වළකින්න යන්නේ කුමකින්ද? (ආ) අප කරන්න යන්නේ කුමක්ද?
22 පෙනෙන ප්‍රකාරයට, යේසුස් සමඟ කතා කළ සමාරිය ස්ත්‍රිය උනන්දු වූයේ දෙවි අනුමත කරන ආකාරයට අනුව ඔහුට නමස්කාර කිරීමටය. අපටත් එවන් ආශාවක් ඇත්නම්, සියලුම දූෂ්‍ය කරවන ඉගැන්වීම්වලින් හා ක්‍රියාමාර්ගවලින් අප වැළකී සිටිනු ඇත. (2 කොරින්ති 6:14-18) ඒ වෙනුවට, දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමටත්, ඔහුගේ කැමැත්ත කිරීමටත් අප වීර්යය කරනු ඇත. පිළිගත හැකි නමස්කාරය සඳහා ඔහු දී ඇති නීති රීතිවලට අප කිට්ටුවෙන් ඇලී සිටිනු ඇත. (1 තිමෝති 2:3, 4) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෑයමද එයයි. තවද, දෙවිට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමට ඔවුන් හා එකතු වීමටත් ඔවුන් ඔබට උණුසුම් ලෙස ආරාධනා කරයි. (යොහන් 4:24) යේසුස් මෙසේ පැවසුවේය: ‘පියා තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන්නේය.’ (යොහන් 4:23) ඔබත් එවැන්නෙකුය කියා අපි සිතමු. එම සමාරිය ස්ත්‍රියට මෙන්, සදාකාල ජීවනය ලබාගැනීමට ඔබටත් වුවමනා බව නිසැකයි. (යොහන් 4:13-15) නමුත්, මිනිසුන් මහලු වී මියයනවා ඔබට පෙනෙනවා ඇති. එසේ වන්නේ මන්දැයි ඊළඟ පරිච්ඡේදයෙන් පැහැදිලි කෙරේ.
ඔබේ දැනුම මැන බලන්න
යොහන් 4:23, 24හි පෙන්වා තිබෙන පරිදි, දෙවි පිළිගන්නේ කෙබඳු ආකාරයේ නමස්කාරයක්ද?
දෙවි යම් චාරිත්‍ර වාරිත්‍ර හා උත්සව සම්බන්ධයෙන් සතුටු වනවාද නැද්ද කියා අපට නිශ්චය කළ හැක්කේ කොහොමද?
පිළිගත හැකි නමස්කාරය සඳහා අවශ්‍ය කරන සමහරක් දේවල් මොනවාද?
[44වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]