‘දෙවි අපට ප්‍රේම කළේ මෙලෙසයි’
“දෙවි අපට ප්‍රේම කළේ මෙලෙස නම්, අපිද එකිනෙකාට ප්‍රේම කිරීමට බැඳී සිටින්නෙමු.”—1 යොහන් 4:11, NW.
1. මාර්තු 23වනදා හිරු බැසයෑමෙන් පසු, ලොව පුරා රාජ්යශාලාවලත් වෙනත් රැස්වීම් ස්ථානවලත් මිනිසුන් දශලක්ෂ ගණනක් එක්රැස් වෙන්න යන්නේ ඇයි?
එක්දහස් නවසිය අනූහතේ මාර්තු 23වන ඉරිදා හිරු බැසයෑමෙන් පසුව, ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පාවිච්චි කරන රාජ්යශාලාවලත් වෙනත් රැස්වීම් ස්ථානවලත් මිනිසුන් 1,30,00,000කට වැඩි සංඛ්‍යාවක් එක්රැස්වී සිටියි කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. ඒ ඇයි? මිනිස් සංහතිය කෙරෙහි දෙවි දක්වා තිබෙන ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශය ඔවුන්ගේ හෘදවලට තදින් බලපා තියෙන නිසයි. දෙවිගේ ප්‍රේමයේ එම විශිෂ්ට සාක්ෂිය කෙරෙහි යේසුස් ක්‍රිස්තුස් අවධානය යොමු කළේ මෙසේ පවසමිනි: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.
2. දෙවිගේ ප්‍රේමයට අප ප්‍රතිචාරය දක්වන විදිහ සම්බන්ධයෙන්, අපෙන්ම මොන වගේ ප්‍රශ්න ඇසීම ප්‍රයෝජනදායක වෙන්න පුළුවන්ද?
2 දෙවි පෙන්නා තියෙන ප්‍රේමය සලකා බලද්දී, අපෙන්ම මෙසේ ඇසීම හොඳ දෙයක්: ‘දෙවි කර තිබෙන දේ මම ඇත්තටම අගය කරනවාද? මගේ ජීවිතය ගත කරන ආකාරයෙන් මට ඒ වගේ අගය කිරීමක් තියෙනවා කියලා පැහැදිලි වෙනවාද?’
‘දෙවි ප්‍රේමයය’
3. (අ) ප්‍රේමය විදහාපෙන්වීම දෙවිට අමුතු දෙයක් නොවන්නේ ඇයි? (ආ) ඔහුගේ මැවිල්ල තුළ බලය හා ප්‍රඥාව පැහැදිලි වෙන්නේ කොහොමද?
3 ‘දෙවි ප්‍රේමයයි.’ ඒ නිසා, ප්‍රේමය විදහාපෙන්වීම කියන්නේ දෙවිගේ පැත්තෙන් සිදු වන අතිවිශේෂ දෙයක් නෙවේ. (1 යොහන් 4:8) ප්‍රේමය කියන්නේ ඔහුගේ ප්රබලතම ගතිලක්ෂණයයි. මනුෂ්‍ය වාසය සඳහා ඔහු පොළොව සූදානම් කරද්දී, කඳු තැනීමට වගේම විල් හා සාගරවලට වතුර එක්රැස් කිරීමට ඔහු ඇදහිය නොහැකි තරම් බලයක් විදහාපෙන්වූවා. (උත්පත්ති 1:9, 10) දෙවි ජල චක්‍රය හා ඔක්සිජන් චක්‍රය ක්‍රියාත්මක වීමට සැලැස්සූ විටත්, මනුෂ්‍යයන්ට තම ජීවිතය පවත්වාගෙන යෑමට පුළුවන් වන ආකාරයෙන්, පොළොවේ රසායනික මූලද්‍රව්‍ය පරිවර්තනය කිරීමට ක්ෂුද්‍ර ජීවීන් හා විවිධ වර්ගයේ ගස් කොළං රාශියක් නිර්මාණය කළ විටත්, පෘථිවි ග්‍රහයාගේ දින හා මාසවලට එකඟව අප තුළ කාලය පිළිබඳ හැඟීමක් පැලපදියම් කළ විටත්, ඔහු ඉමහත් ප්‍රඥාවක් විදහාපෙන්වූවා. (ගීතාවලිය 104:24; යෙරෙමියා 10:12) ඒත්, භෞතික මැවිල්ලේ වඩාත්ම කැපීපෙනෙන දේ නම්, දෙවිගේ ප්‍රේමය පිළිබඳ සාක්ෂියි.
4. භෞතික මැවිල්ලේ, අප සියලුදෙනා දැක අගය කළ යුත්තේ දෙවිගේ ප්‍රේමය පිළිබඳ මොන සාක්ෂිද?
4 පෝෂණය ගෙන දීමට විතරක් නොව, නමුත් අපේ ආස්වාදය සඳහාත් නිර්මාණය කළ රසවත් පලතුරු අපි කන විට, අපේ තල්ල දෙවිගේ ප්‍රේමය ගැන අපට කියාපායි. මනස්කාන්ත හිරුබැස යෑම්, තරුවලින් පිරුණු පැහැපත් රාත්‍රි අහස් තලය, විවිධ වර්ගවලින් හා දීප්තිමත් වර්ණවලින් යුත් මල්, සත්ව පැටවුන්ගේ දඟකාර ක්‍රියා හා මිතුරන්ගේ උණුසුම් සිනාමුසු මුහුණවල් දකින විට, අපේ ඇස්වලින් ඒ පිළිබඳව මනා සාක්ෂි දැකගන්න ලැබෙනවා. වසන්ත සමයේ මල්වල මිහිරි සුවඳ දැනෙන විට, අපේ නාස් ඒ සම්බන්ධයෙන් අපව දැනුවත් කරයි. දිය ඇල්ලක ශබ්දයට, කුරුල්ලන්ගේ ගී නාදයට හා හිතවතුන්ගේ කටහඬවලට සවන් දෙන විට, අපේ කන්වලටත් එය දැනෙයි. ප්‍රේමනීය කෙනෙක් අපව උණුසුම් ලෙස වැලඳගන්නා විට අපට එය තේරෙයි. මිනිසුන්ට දකින්න, අහන්න හෝ ගඳ සුවඳ තේරුම්ගන්න බැරි දේවල් දකින්නත්, අහන්නත්, ගඳ සුවඳ තේරුම්ගන්නත් ඇතැම් සතුන්ට පුළුවන්. ඒත්, සතුන්ට බැරි ආකාරයකින් දෙවිගේ ප්‍රේමය දැනීමට හැකියාවක්, දෙවිගේ ස්වරූපයෙන් සාදා තියෙන මනුෂ්‍යයන්ට තියෙනවා.—උත්පත්ති 1:27.
5. යෙහෝවා ආදම් සහ ඒවට ඉමහත් ප්‍රේමයක් දැක්වූයේ කොහොමද?
5 යෙහෝවා දෙවි, මුල් මනුෂ්‍යයන් වූ ආදම් සහ ඒව මැවූ විට, ඔහු තම ප්‍රේමයේ සාක්ෂිවලින් ඔවුන්ව වට කළා. ඔහු උයනක්, ඒ කියන්නේ පාරාදීසයක් වවා, විවිධාකාර ගස් එහි හටගැන්වීමට සලස්වා තිබුණා. එයට අවශ්‍ය වතුර සැපයීම සඳහා ගඟක් ගලා බැසීමට සලස්වා තිබූ ඔහු, එම උයන සිත්ගන්නා කුරුල්ලන්ගෙන් හා සතුන්ගෙන් පිරෙව්වා. ඔහු ආදම් සහ ඒවට මේ සියල්ලම දුන්නේ නිවහනක් වශයෙනුයි. (උත්පත්ති 2:8-10, 19) යෙහෝවා ඔවුන්ව තම දරුවන් හැටියට සලකා ඔවුන් එක්ක කටයුතු කළා. ඒ කියන්නේ තම විශ්වනීය පවුලේ සාමාජිකයන් හැටියටයි. (ලූක් 3:38) මෙම පළමු මිනිස් යුවළගේ ස්වර්ගික පියා ආදර්ශයක් හැටියට ඒදන් උයන සපයා දෙමින්, ඔවුන් ඉදිරියෙහි සෑහීම ගෙන දෙන පැවරුමක් තැබුවා: එනම් පාරාදීසය පොළොව පුරා ව්‍යාප්ත කිරීමයි. මුළු පොළොවම ඔවුන්ගේ දරුදැරියන්ගෙන් ජනාකීර්ණ කිරීමටයි තිබුණේ.—උත්පත්ති 1:28.
6. (අ) ආදම් සහ ඒව ගත් කැරලිකාර මාර්ගය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? (ආ) ඒදන්හි සිදු වූ දෙයින් අප යමක් ඉගෙනගත් බවත්, එම දැනුමෙන් අප ප්‍රයෝජන ලබා තියෙන බවත් කුමකින් පැහැදිලි වෙන්න පුළුවන්ද?
6 හැබැයි, කෙටි කලකට පසුව ආදම් සහ ඒව කීකරුකම පිළිබඳ පරීක්ෂණයකට, පක්ෂපාතකම පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දුන්නා. මුලින්ම එක් කෙනෙක්ද ඉන්පසුව අනික් තැනැත්තාද, ඔවුන් කෙරෙහි දක්වා තිබුණු ප්‍රේමයට අගය පෙන්නන්න අසමත් වුණා. ඔවුන් කළේ කම්පිත කරවනසුලු දෙයක්. නිදහසට කිසිම කරුණක් තිබුණේ නැහැ! ඒ හේතුවෙන්, දෙවි සමඟ තිබුණු සම්බන්ධය ඔවුන් නැති කරගත්තා; ඔහුගේ පවුලෙන් ඔවුන්ව පිටමං කරනු ලැබුවා; එමෙන්ම ඒදන් උයනෙන්ද නෙරපා දමනු ලැබුවා. ඔවුන්ගේ පාපයේ ප්‍රතිඵල අදදින අපට තවමත් දැනෙනවා. (උත්පත්ති 2:16, 17; 3:1-6, 16-19, 24; රෝම 5:12) ඒත් සිදු වූ දෙයින් අපි යමක් ඉගෙනගෙන තියෙනවාද? දෙවිගේ ප්‍රේමයට අපි ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? දිනපතා ගන්නා තීරණවලින්, අපි ඔහුගේ ප්‍රේමය අගය කරන බව පැහැදිලි වෙනවාද?—1 යොහන් 5:3.
7. ආදම් සහ ඒව කළ දේ නොසලකා, යෙහෝවා ඔවුන්ගේ පැවතෙන්නන්ට ප්‍රේමය දැක්වූයේ කොහොමද?
7 දෙවි අපේ මුල් දෙමාපියන් වෙනුවෙන් කළ සියල්ලට ඔවුන් කිසි අගයක් දක්වා නොතිබුණත්, දෙවි තම ප්‍රේමය යටපත් කරන්න එය හේතුවක් කරගත්තේ නැහැ. ආදම් සහ ඒව මියයන්න කලින් පවුලක් බිහි කිරීමට දෙවි ඉඩ දුන්නේ අදදින ජීවත් වන අප ඇතුළු, ඒ අවස්ථාව වෙන කොටත් ඉපද නොසිටි මනුෂ්‍යයන්ට තිබූ දයානුකම්පාව නිසයි. (උත්පත්ති 5:1-5; මතෙව් 5:44, 45) ඔහු එහෙම කටයුතු කළේ නැත්නම්, අද අප කිසි කෙනෙකුට ඉපදෙන්නවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. තම කැමැත්ත ප්‍රගතිශීලීව එළිදරව් කිරීමෙන්, ආදම්ගෙන් පැවතෙන ඇදහිල්ල දක්වන සියලුදෙනාටම, යෙහෝවා බලාපොරොත්තුවක් සඳහා පදනමකුත් තැබුවා. (උත්පත්ති 3:15; 22:18; යෙසායා 9:6, 7) ඔහුගේ විධිවිධානයට ඇතුළත් වුණේ ආදම් අහිමි කරගත් දේ, ඒ කියන්නේ දෙවිගේ විශ්වනීය පවුලේ අනුමැතියක් තියෙන සාමාජිකයන් වශයෙන් සියලු ජාතීන්ට අයත් ජනයාට පරිපූර්ණ ජීවිතය නැවත ලබා දීමේ ක්‍රමය දියත් කිරීමයි. එහෙම කළේ මිදීමේ පූජාවක් සැපයීමෙනි.
මිදීමේ පූජාවක් මොකටද?
8. ආදම් සහ ඒව මිය යා යුතු වුවත්, ඔවුන්ගේ පැවතෙන්නන්ගෙන් කීකරු වන කිසිවෙකුට මියයන්න අවශ්‍ය නැහැයි කියා නිකම්ම නියම කරන්න දෙවිට බැරි ඇයි?
8 මිනිස් ජීවිතයක් පුද කිරීමෙන් මිදීමේ මිලයක් ගෙවීම ඇත්තෙන්ම අවශ්‍ය දෙයක් වුණාද? ආදම් සහ ඒව කැරලි ගැසූ නිසා ඔවුන් මිය යා යුතු වුවත්, ඔවුන්ගේ පැවතෙන්නන්ගෙන් දෙවිට කීකරු වන සියලුදෙනාට සදාකල් ජීවත් වෙන්න පුළුවන් කියා තීරණය කරන්ට දෙවිට හැකිකමක් තිබුණේ නැද්ද? පටු මිනිස් දෘෂ්ටිකෝණයකින් බලනවා නම්, එහෙම කිරීම සාධාරණයි කියලා පෙනෙනවා වෙන්න පුළුවන්. කොහොම වුණත්, යෙහෝවා “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවන” කෙනෙක්. (ගීතාවලිය 33:5) ආදම් සහ ඒවට දරුවන් බිහි වුණේ ඔවුන් පව්කාරයන් වූවාට පසුවයි; ඒ හින්දා එක දරුවෙක්වත් පරිපූර්ණව ඉපදුණේ නැහැ. (ගීතාවලිය 51:5) ඔවුන් සියලුදෙනාටම පාපය උරුම වුණා; පාපයේ කුලිය මරණයයි. යෙහෝවා මෙය නොසලකා හැර තිබුණා නම්, එය තම විශ්වනීය පවුලේ සාමාජිකයන්ට මොන වගේ ආදර්ශයක් වේවිද? ඔහුට තමාගේම ධර්මිෂ්ඨ ප්‍රමිති නොසලකා හරින්න බැහැ. යුක්තියෙන් ඉල්ලා සිටින දෙයට ඔහු ගරු කළා. අදාළ ප්‍රශ්න සමඟ දෙවි කටයුතු කළ ආකාරය ගැන කිසිම කෙනෙකුට වරදක් හොයන්න කොහොමටවත් බැහැ.—රෝම 3:21-23.
9. යුක්තිය පිළිබඳ දිව්‍ය ප්‍රමිතියට අනුව, අවශ්‍ය වුණේ මොන වගේ මිදීමේ පූජාවක්ද?
9 එසේනම්, ආදම්ගේ පැවතෙන්නන් අතුරින්, යෙහෝවාට ප්‍රේමනීය කීකරුකම පෙන්නුම් කරන්න යන අයව ගැළවීමට සුදුසු පදනමක් ලබා දෙන්න පුළුවන් වන්නේ කොහොමද? පරිපූර්ණ මිනිසෙක් පූජාවක් වශයෙන් මියගියා නම්, එම මිදීමේ පූජාව ඇදහිල්ලෙන් පිළිගන්නා අයගේ පාප වැසීමට එම පරිපූර්ණ ජීවිතයට යුක්තියෙන් අවසර ලැබෙනවා. එක් මනුෂ්‍යයෙකුගේ පාපය, එනම් ආදම්ගේ පාපය මුළු මිනිස් පවුලම පව්කාරයන් වීමට හේතුවක් වූ නිසා, තවත් පරිපූර්ණ මනුෂ්‍යයෙකුගේ වගුරුවන ලද රුධිරයට අනුරූප අගයක් තියෙන බැවින්, එය යුක්තියේ තුලාව සමබර කිරීමට සමත් වෙනවා. (1 තිමෝති 2:5, 6, NW) ඒත් එවැනි පුද්ගලයෙක් කොහෙන් හොයාගන්නද?
යන වියදම කොතරම්ද?
10. අවශ්‍ය මිදීමේ පූජාව සැපයීමට ආදම්ගේ පැවතෙන්නන්ට බැරි වුණේ ඇයි?
10 පව්කාර ආදම්ගේ පැවතෙන්නන් අතරේ, ආදම් නැති කරගත් ජීවිත අපේක්ෂා නැවත මිල දී ගැනීමට අවශ්‍ය දේ සපයන්න පුළුවන් කිසිවෙක් සිටියේ නැහැ. “තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ. ඔවුන්ගේ ආත්ම [ප්‍රාණ, NW] මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.” (ගීතාවලිය 49:7-9) මනුෂ්‍යවර්ගයාව බලාපොරොත්තු විරහිත තත්වයක තබනවා වෙනුවට, යෙහෝවාම එම සැපයුමට මඟ දයාන්විතව විවෘත කළා.
11. යෙහෝවා යෝග්‍ය මිදීමේ පූජාවක් සඳහා අවශ්‍ය වූ පරිපූර්ණ මිනිස් ජීවිතයක් සැපයූවේ මොන මාර්ගයෙන්ද?
11 මූර්තිමත් ශරීරයක් පුද කර, ආත්මයක් වශයෙන් දිගටම ජීවත් වුණත්, මැරුණා කියා බොරු මවාපෑමක් කිරීමට දේවදූතයෙක් පොළොවට එවන්න යෙහෝවා සැලැස්සුවේ නැහැ. ඒ වෙනුවට මැවුම්කාර දෙවිට පමණක් සිතාගත හැකි වූ ප්රාතිහාර්යයක් සිදු කරමින්, ඔහු ස්වර්ගික පුත්‍රයෙකුගේ ජීව බලය හා පෞද්ගලිකත්වය ස්ත්‍රියකගේ කුසට මාරු කළා. ඒ ස්ත්‍රිය යූදා ගෝත්‍රයේ හේලීගේ දුව වූ මරියායි. දරුවා මවගේ කුසයෙහි වර්ධනය වූ විට, දෙවිගේ ක්‍රියාකාරක බලය, එනම් ඔහුගේ ශුද්ධාත්මය ආරක්ෂාව සැපයූ අතර, එම දරුවා පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට ඉපදුණා. (ලූක් 1:35; 1 පේතෘස් 2:22) එවිට දිව්‍ය යුක්තියෙන් ඉල්ලා සිටින දේ මුළුමනින්ම සෑහීමට පත් කරන්න පුළුවන් මිදීමේ පූජාවක් සැපයීමට එම තැනැත්තාට අවශ්‍ය මිලය තිබුණා.—හෙබ්‍රෙව් 10:5.
12. (අ) යේසු දෙවිගේ “ඒකජාතක පුත්‍රයා” වන්නේ මොන අර්ථයෙන්ද? (ආ) මිදීමේ පූජාව සැපයීමට මේ තැනැත්තා එවීම, අප සඳහා දෙවිට තියෙන ප්‍රේමය අවධාරණය කළේ කොහොමද?
12 යෙහෝවා මෙම පැවරුම දුන්නේ තම ස්වර්ගික පුතුන් දසදහස්දෙනා අතුරින් කවර කෙනාටද? ශුද්ධ ලියවිලිවල “ඒකජාතක පුත්‍රයා” හැටියට විස්තර කර ඇති කෙනාටය. (1 යොහන් 4:9) මෙම යෙදුම යොදා තියෙන්නේ, ඔහු මනුෂ්‍යයෙකු හැටියට උපන් විට ඔහු කවුරුන් බවට පත් වූවාද යන එක විස්තර කරන්න නොව, නමුත් ඔහු ස්වර්ගයේ සිටි විට ඔහු කවුරු වූවාද යන්න විස්තර කරන්නයි. යෙහෝවා වෙන කිසි කෙනෙකුගේ සහයෝගය නැතුව කෙළින්ම මැව්වේ ඔහුව පමණයි. ඔහු මුළු මැවිල්ලේ කුලුඳුලායි. අන් සියලු මැවිලි ජීවත් කරවන්න දෙවි පාවිච්චි කළේ ඔහුවයි. ආදම් දෙවිගේ පුත්‍රයෙකු වූවාක් මෙන්ම, දේවදූතයන්ද දෙවිගේ පුත්‍රයෝයි. ඒත් යේසුව විස්තර කරලා තියෙන්නේ ‘පියා වෙතින් වූ ඒකජාතක පුත්‍රයාගේ මහිමය වැනි’ මහිමයක් ඇති කෙනෙකු හැටියටයි. ඔහු ‘පියාගේ ළයේ ඉන්න’ බවත් කියනවා. (යොහන් 1:14, 18) පියා සමඟ ඔහුගේ සම්බන්ධය, කිට්ටු, පෞද්ගලික හා මුදු මොළොක් එකක්. මනුෂ්‍යවර්ගයා සඳහා තම පියාට තිබෙන ප්‍රේමය ඔහුටත් තියෙනවා. තම පියාට මෙම පුත්‍රයා ගැන හැඟෙන ආකාරයත්, පුත්‍රයාට මනුෂ්‍යවර්ගයා ගැන හැඟෙන ආකාරයත් හිතෝපදේශ 8:30, 31හි මෙහෙම විස්තර කරලා තියෙනවා: “මම . . . සෑමකල්හිම උන්වහන්සේ [යෙහෝවා] ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්, දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීමි. . . . [යෙහෝවාගේ ප්‍රධාන කර්මාන්තකාරයා, එනම් ප්‍රඥාවේ පුද්ගලාරෝපණය වන යේසු] මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි.” මිදීමේ පූජාව සැපයීමට දෙවි පොළොවට එව්වේ මෙම ඉතා අනර්ඝ වූ පුත්‍රයාවයි. එසේනම්, යේසුගේ මෙම ප්‍රකාශයට තියෙන්නේ මොනතරම් ගැඹුරු අර්ථයක්ද: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක.”—යොහන් 3:16.
13, 14. ඊසාක්ව පූජා කිරීමට ආබ්‍රහම් ගත් උත්සාහය පිළිබඳ බයිබල් වාර්තාව, යෙහෝවා කළ දේ සම්බන්ධයෙන් කුමක් අගය කිරීමට අපට උපකාර කළ යුතුද? (1 යොහන් 4:10)
13 ඉන් අදහස් කරන්නේ මොකද්ද කියන එක අපට යම් දුරකට තේරුම්ගැනීමට උපකාරයක් වශයෙන්, යේසු පොළොවට එන්න බොහෝ කාලයකට කලින්, දෙවි ආබ්‍රහම්ට අවුරුදු 3,890කට පමණ පෙර අණ කළ දේ සලකා බලන්න: “නුඹේ පුත්‍රවූ නුඹ [බොහෝ සෙයින්, NW] ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරව.” (උත්පත්ති 22:1, 2) ආබ්‍රහම් ඇදහිල්ල පෙන්වා කීකරු වුණා. ඔබ ආබ්‍රහම්ගේ තත්වයේ හිටියායයි සිතන්න. ඔප්පු කරන්න සිදු වන්නේ ඔබේ පුත්‍රයා, ඔබ බොහෝ සෙයින් ප්‍රේම කරන ඔබේ එකම පුත්‍රයා නම් කුමක් කියන්න පුළුවන්ද? දවන පූජාව සඳහා දර පළන විටත්, මොරියා දේශය බලා දවස් කිහිපයක් ගත වන ගමනෙහි යෙදෙන විටත්, ඔබේ පුතාව පූජාසනය පිට තබන විටත් ඔබට මොන වාගේ හැඟීම් පහළ වේවිද?
14 දයානුකම්පිත දෙමාපියෙකුට ඒ වාගේ හැඟීම් පහළ වන්නේ ඇයි? දෙවි මනුෂ්‍යයාව මැව්වේ තමාගේ ස්වරූපයෙන් බව උත්පත්ති 1:27 කියයි. අපේ ප්‍රේමයේ හා දයානුකම්පාවේ හැඟීම්වලින්, යෙහෝවාගේම ප්‍රේමයත් දයානුකම්පාවත් ඉතා සීමිත ආකාරයකින් පිළිබිඹු වෙනවා. ආබ්‍රහම් වෙනුවෙන් නම් දෙවි මැදිහත් වුණා; එනිසා ඊසාක්ව ඇත්තටම පූජා කළේ නැහැ. (උත්පත්ති 22:12, 13; හෙබ්‍රෙව් 11:17-19) කොහොම වුණත්, යෙහෝවා ගැනම බලද්දී, මේ වගේ දෙයක් කරන්න සිදු වුණ විට, ඔහු හා ඔහුගේ පුත්‍රයා පෞද්ගලිකව මහත් පාඩුවක් වින්දත්, මිදීමේ පූජාවක් සැපයීමෙන් ඔහු වැළකී සිටියේ නැහැ. කළ දේ කළේ එය දෙවිගේ යුතුකමක් වූ නිසා නොවේ; ඇත්තෙන්ම එසේ කළේ පුදුමාකාර ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ ප්‍රකාශයක් වශයෙනි. අපි එය සම්පූර්ණයෙන්ම අගය කරනවාද?—හෙබ්‍රෙව් 2:9.
එමගින් සිදු විය හැකි දේ
15. මෙම වර්තමාන දේවල පිළිවෙළෙහි පවා මිදීමේ පූජාව ජීවිතවලට බලපා තියෙන්නේ කොහොමද?
15 දෙවිගේ ප්‍රේමනීය සැපයුම, ඇදහිල්ලෙන් පිළිගන්නා අයගේ ජීවිතවලට ගැඹුරින් බලපායි. පාපයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කලින් දෙවිගෙන් ඈත් වෙලයි හිටියේ. ඔහුගේ වචනය කියන්නාක් මෙන්, ‘ඔවුන්ගේ මනස් දුෂ්ට ක්‍රියාවලට යොමු වූ නිසා, ඔවුන් සතුරන්ව’ සිටියා. (කොලොස්සි 1:21-23, NW) ඒත් ‘දෙවිගේ පුත්‍රයාගේ මරණය කරණකොටගෙන ඔවුන්ව සමගි කරනු ලැබුවා.’ (රෝම 5:8-10) ඔවුන් තම ජීවිත මාර්ගය වෙනස් කර ඇති නිසාත්, ක්‍රිස්තුස්ගේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන අයට දෙවි ලබා දෙන සමාව පිළිගෙන ඇති නිසාත්, පිරිසිදු හෘදය සාක්ෂියක පිහිට ඔවුන්ට තියෙනවා.—හෙබ්‍රෙව් 9:14; 1 පේතෘස් 3:21.
16. කුඩා රැළ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන නිසා, ඔවුන්ට ලැබෙන්නේ මොන ආශීර්වාදයන්ද?
16 යෙහෝවා, ස්වර්ගික රාජ්‍යයේ තම පුත්‍රයා සමඟ හවුල් වීමේ ලබන්ට නොවටිනා තරම් වූ අනුග්‍රහය, මෙයින් සීමිත සංඛ්‍යාවකට, කුඩා රැළකට දානය කර තියෙනවා. මෙහෙම කරලා තියෙන්නේ පොළොව සඳහා දෙවිගේ මුල් අරමුණ ඉටු කිරීමේ පරමාර්ථය ඇතුවයි. (ලූක් 12:32) “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද . . . අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද” වීමට ඔවුන්ව ගෙන තිබෙන අතර, ‘ඔවුන් පොළොව කෙරෙහි රජකම් කරන්නයි’ ඉන්නේ. (එළිදරව් 5:9, 10) ප්‍රේරිත පාවුල් ඔවුන්ට මෙසේ ලිව්වා: “නුඹලා . . . පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මය[ම] . . . අපේ ආත්මය එක්ව සාක්ෂිදෙ[යි]. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය.” (රෝම 8:15-17) දෙවි තම පුත්‍රයන් වශයෙන් ඔවුන්ව පිළිගැනීමෙන්, ආදම් නැති කරගත් අනර්ඝ සම්බන්ධතාව ඔවුන්ට දානය කරනු ලබනවා; ඒත් මෙම පුත්‍රයන්ට ආදම්ට කිසිදාක නොතිබුණු දෙයක් දානය කරනවා: එනම් ස්වර්ගික සේවය යන අමතර වරප්‍රසාදයි. “අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න” කියා ප්‍රේරිත යොහන් කියන එක පුදුමයක්ද! (1 යොහන් 3:1) එවැනි අයට දෙවි ප්‍රතිපත්ති මත පදනම් ප්‍රේමය (අ·ගාʹපෙ) පමණක් නොව, නමුත් මුදු මොළොක් සෙනෙහසද (ෆි·ලිʹආ) පෙන්වයි; එම ගුණාංගය සැබෑ මිතුරන් අතර තිබෙන බැඳීම පෙන්නන ලක්ෂණයක්.—යොහන් 16:27.
17. (අ) මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන සියලුදෙනාටම ලබා දෙන්නේ මොන ප්‍රස්තාවද? (ආ) “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” ඔවුන් සඳහා අදහස් කරන්නේ මොකක්ද?
17 යෙහෝවා ආදම් නැති කරගත් අනර්ඝ සම්බන්ධතාව ලබාගැනීමේ ප්‍රස්තාව තවත් අයටත් විවෘත කර දෙනවා. ඒ කියන්නේ ජීවනය සඳහා දෙවි, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සලසා දෙන ත්‍යාගශීලී සැපයුම කෙරෙහි ඇදහිල්ල දක්වන සියලුදෙනාටයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැහැදිලි කළා: “මැවිල්ල [ආදම්ගෙන් පැවත ආ මිනිස් මැවිල්ල] දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි [ඒ කියන්නේ, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගික රාජ්‍යයේ උරුමක්කාරයන්ව සිටින දෙවිගේ දරුවන්, මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් ඒකාන්ත පියවර ගන්නා බවට හොඳින් පැහැදිලි වන තුරු ඔවුන් බලා සිටින බවයි]. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ [මරණය විඳීමේ අපේක්ෂාව ඇතුව ඔවුන් පව්කාරයන් වශයෙනුයි ඉපදුණේ; එමෙන්ම තමුන්ව ගළවාගැනීමට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ] ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිනෙන්නේය යන [දෙවි දුන්] බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය.” (රෝම 8:19-21) එම නිදහසෙන් කුමක් අදහස් වේවිද? එනම් ඔවුන්ව පාපයට හා මරණයට වහල් වීමෙන් නිදහස් කර තිබෙන බවයි. මනසින් හා ශරීරයෙන් ඔවුන් පරිපූර්ණව සිටින්න යනවා; ඔවුන්ගේ නිවස පාරාදීසයක් වේවි; එමෙන්ම තම පරිපූර්ණත්වය භුක්තිවිඳීමටත්, එකම සැබෑ දෙවි යෙහෝවාට තම අගය ප්‍රකාශ කිරීමටත් සදාකාල ජීවනය ඔවුන්ට හිමි වේවි. දැන්, මේ සියල්ල සැබෑවීමට හේතු වන්නේ මොකක්ද? දෙවිගේ ඒක-ජාතක පුත්‍රයාගේ මිදීමේ පූජාවයි.
18. මාර්තු 23වනදා හිරු බැසයෑමෙන් පසු, අපි මොනවද කරමින් ඉන්න යන්නේ? ඒ ඇයි?
18 යේසු පො.යු. 33 නීසාන් මස 14වනදා, යෙරුසලමේ උඩුමහල් කාමරයක තම මරණයෙහි සිහි කිරීම පිහිටෙව්වා. ඔහුගේ මරණය වාර්ෂිකව සැමරීම, සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාගේම ජීවිතයෙහි වැදගත් අංගයක් බවට පත් වී තියෙනවා. යේසුම මෙසේ අණ කළා: “මා සිහිකිරීම පිණිස මේක [දිගටම, NW] කරන්න.” (ලූක් 22:19) වර්ෂ 1997දී සිහි කිරීම පවත්වන්න යන්නේ මාර්තු 23වනදා හිරු බැසයෑමෙන් පසුවයි (නීසාන් 14වනදා පටන්ගන්නේ එවිටයි). එම දවසේදීම, මෙම සිහි කිරීමේ උත්සවයට පැමිණීම තරම් වැදගත් දෙයක් තවත් නැති තරම්ය.
ඔබ මොන විදිහටද පිළිතුරු දෙන්නේ?
◻ දෙවි මනුෂ්‍යවර්ගයා සඳහා ඉමහත් ප්‍රේමයක් පෙන්වා ඇත්තේ මොන මාර්ගවලින්ද?
◻ ආදම්ගේ පැවතෙන්නන්ව මුදන්න, පරිපූර්ණ මිනිස් ජීවිතයක් අවශ්‍ය වුණේ ඇයි?
◻ යෙහෝවා මිදීමේ පූජාව සැපයෙව්වේ මොන ඉමහත් පාඩුවක් දරාගෙනද?
◻ මිදීමේ පූජාව නිසා සිදු විය හැකි දේවල් මොනවාද?
[10වන පිටුවේ පින්තූරය]
දෙවි තම ඒකජාතක පුත්‍රයාවයි දුන්නේ