අධ්‍යාපනය—යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට එය යොදාගන්න
“තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය.”—යොහන් 7:18.
1. අධ්‍යාපන ක්‍රියාවලිය ඇරඹුණේ කවදාද, කෙසේද?
අධ්‍යාපනය ඇරඹුණේ බොහෝ කලකට පෙරය. අධ්‍යාපන ක්‍රියාවලිය ඇරඹුණේ, උතුම් ගුරුවරයාණන් හා උපදේශකයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය කුලුඳුල් පුත්‍රයාව මැවීමෙන් පසුවය. (යෙසායා 30:20; කොලොස්සි 1:15) උතුම් ගුරුවරයාණන්ගෙන් උගත හැකි වූ කෙනෙකි, මෙම තැනැන්වහන්සේ! යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙසින් හැඳින්වූ එම පුත්‍රයාණෝ, පියාණන් සමඟ සමීපව ඇසුරු කළ අසංඛ්‍යාත දහස් වර්ෂ තුළදී, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ගුණාංග, ක්‍රියා සහ අරමුණු ගැන මිල කළ නොහැකි අධ්‍යාපනයක් ලැබූසේක. පසු කලක, මිනිසෙකු ලෙසින් මිහිපිට සිටියදී, යේසුස්වහන්සේට මෙසේ කීමට හැකි විය: “මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකර මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කිය[මි].”—යොහන් 8:28.
2-4. (අ) යොහන් 7වන පරිච්ඡේදයට අනුව, පො.යු. 32දී යේසුස්වහන්සේ සහභාගි වූ කූඩාරම් මංගල්‍යය අවට වූ තත්වයන් කවරේද? (ආ) යේසුස්වහන්සේගේ ඉගැන්වීමේ හැකියාව සම්බන්ධයෙන් යුදෙව්වන් ව්‍යාකූල වූයේ මන්ද?
2 යේසුස්වහන්සේ තමා ලබා තිබූ අධ්‍යාපනය යෙදෙව්වේ කෙසේද? සිය වර්ෂ තුනහමාරක සේවය පුරා, උන්වහන්සේ වෙහෙස නොබලා අන්‍යයන් සමඟ තමා ඉගෙනගෙන තිබූ දේ බෙදාගත්සේක. කෙසේවුවද, මෙය කළේ මනසෙහි මූලික අරමුණක් තබාගෙනය. තවද එය කුමක් වීද? යේසුස්වහන්සේගේ ඉගැන්වීමේ මූලාරම්භය හා අරමුණ පැහැදිලි කර තිබෙන, යොහන් 7වන පරිච්ඡේදයෙහි ඇති උන්වහන්සේගේ වචන අපි පිරික්සා බලමු.
3 පසුබිම සලකා බලන්න. එය යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් පසු, වර්ෂ තුනකට ආසන්න වූ පො.යු. 32හි ශරත් ඍතුව විය. යුදෙව්වෝ කූඩාරම් මංගල්‍යය සඳහා යෙරුසලමෙහි එක්රැස්ව සිටියහ. මංගල්‍යය පැවති මුල් දවස් කිහිපයේදී යේසුස්වහන්සේ ගැන නොයෙක් දේ කතා කර තිබිණ. මංගල්‍යයේ අඩක් අවසන්ව තිබූ විට, යේසුස්වහන්සේ දේවමාළිගාවට ගොස්, උගන්වන්ට පටන්ගත්සේක. (යොහන් 7:2, 10-14) සැමවිටම කර තිබුණු පරිදි, උන්වහන්සේ උතුම් ගුරුවරයෙකු බව ඔප්පු කළසේක.—මතෙව් 13:54; ලූක් 4:22.
4 යොහන් 7වන පරිච්ඡේදයේ 15වන පදය මෙසේ පවසයි: “එබැවින් යුදෙව්වරු මවිතව: කිසිකලක ඉගෙන නොගත්තාවූ මොහු ලියවිලි දන්නේ කොහොමදැයි කීවෝය.” ඔවුන් ව්‍යාකූලව සිටියේ මන්දැයි ඔබ දන්නවාද? යේසුස්වහන්සේ රබ්බිවරුන්ගේ පාසැල්වල අධ්‍යාපනය ලබා නොතිබුණු හෙයින් උන්වහන්සේ නූගත් කෙනෙකු වූසේක—ඇත්තෙන්ම ඔවුන්ගේ මතය වූයේ එයයි! එහෙත්, යේසුස්වහන්සේට පහසුවෙන්ම ශුද්ධ ලියවිලි කොටස් සොයාගෙන, කියවීමට හැකි විය. (ලූක් 4:16-21) එපමණක්ද නොව, මෙම ගලීල වඩුවා ඔවුන්ට මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් පවා උපදෙස් දුන්නේය! (යොහන් 7:19-23) මෙසේ කිරීමට හැකි වූයේ කෙසේද?
5, 6. (අ) යේසුස්වහන්සේ සිය ඉගැන්වීමේ උල්පත පැහැදිලි කළේ කෙසේද? (ආ) යේසුස්වහන්සේ සිය අධ්‍යාපනය යෙදවූයේ කිනම් අයුරකින්ද?
5 අපට යොහන් 7:16 සහ 17වන පදවල කියවීමට ඇති පරිදි යේසුස්වහන්සේ මෙසේ පැහැදිලි කළසේක: “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනැන්වහන්සේගේය. යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.” යේසුස්වහන්සේ දැනුවත් වී තිබුණේ කවරෙකු මගින්දැයි දැනගැනීමට ඔවුන්ට වුවමනා වූ අතර, උන්වහන්සේගේ අධ්‍යාපනය ලැබුණේ දෙවියන්වහන්සේගෙන් බව උන්වහන්සේ ඔවුන්ට පැහැදිලිව පැවසූසේක!—යොහන් 12:49; 14:10.
6 යේසුස්වහන්සේ සිය අධ්‍යාපනය යෙදෙව්වේ කෙසේද? යොහන් 7:18හි වාර්තා කර ඇති පරිදි, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත.” යේසුස්වහන්සේ සිය අධ්‍යාපනය “දැනගැන්මෙන් සම්පූර්ණව සිටින” යෙහෝවඃවහන්සේට ගෞරවය ගෙන ඒමට යොදාගැනීම කෙතරම් උචිතද!—යෝබ් 37:16.
7, 8. (අ) අධ්‍යාපනය යෙදිය යුත්තේ කෙලෙසද? (ආ) සමතුලිත අධ්‍යාපනයක ප්‍රධාන පරමාර්ථ හතර මොනවාද?
7 අපි මෙලෙස යේසුස්වහන්සේගෙන් අගනා පාඩමක් උගනිමු—අධ්‍යාපනය යොදාගත යුත්තේ අපගේ ගෞරවය උදෙසා නොව, නමුත් යෙහෝවඃවහන්සේට ප්‍රශංසාව ගෙන ඒමටය. අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගැනීමට ඊට වඩා හොඳ ක්‍රමයක් නැත. එසේනම්, යෙහෝවඃවහන්සේට ප්‍රශංසාව ගෙන ඒමට ඔබට අධ්‍යාපනය යෙදිය හැක්කේ කෙසේද?
8 දැනුවත් කිරීම යනු “විශේෂයෙන්ම කුසලතාවක්, වෙළඳාමක් හෝ වෘත්තියක් සම්බන්ධයෙන් විධිමත් උපදෙස් මගින් හා අධීක්ෂණය යටතේ අභ්‍යාසය මගින් පුහුණුවීමය.” සමතුලිත අධ්‍යාපනයක ප්‍රධාන පරමාර්ථ හතරක්ද, මේවා එකිනෙක යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට යෙදිය හැකි අයුරුද අපි දැන් සලකා බලමු. සමතුලිත අධ්‍යාපනයක් (1) චතුර ලෙස කියවීමට, (2) පැහැදිලිව ලිවීමට, (3) මානසිකව හා සදාචාරමය ලෙස වර්ධනය වීමට, එමෙන්ම (4) දෛනික ජීවිතය සඳහා අවශ්‍යව ඇති ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට අපට උපකාර කළ යුතුය.
චතුර ලෙස කියවීමට ඉගෙනගැනීම
9. නිපුණ කියවන්නෙකු වීම වැදගත් වන්නේ මන්ද?
9 ලැයිස්තු ගත කර තිබෙන පළමු දෙය වනාහි චතුර ලෙස කියවීමය. නිපුණ කියවන්නෙකු වීම මෙතරම් වැදගත් වන්නේ මන්ද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පැහැදිලි කරයි: “කියවීම, . . . ඉගෙනීම සඳහා අවශ්‍ය ප්‍රධාන දෙයකි, තවද එය එදිනෙදා ජීවිතයේදී ඉතා වැදගත් දක්ෂතාවන්ගෙන් එකක් වේ. . . . දක්ෂ කියවන්නෝ සමෘද්ධිමත්, ඵලදායී සමාජයක් ගොඩනැඟීමට දායක වෙති. ඒ සමඟම, ඔවුහුද අද්දැකීම්වලින් පිරි, වඩාත් තෘප්තිකර ජීවිත භුක්තිවිඳිති.”
10. දේවවචනය කියවීම මගින් පූර්ණ, වැඩි තෘප්තියක් ගෙනෙන ජීවිත භුක්ති විඳීමට අපට උපකාර කරන්නේ කෙසේද?
10 “අද්දැකීම්වලින් පිරි, වඩාත් තෘප්තිකර ජීවිත” භුක්තිවිඳිනු වස්, අපට පොදුවේ උපකාර කරන්ට කියවීමට හැකි නම්, දේවවචනය කියවීම සම්බන්ධයෙන් මෙය මොනතරම් සැබෑ වේද! එවැනි කියවීම යෙහෝවඃවහන්සේගේ සිතුවිලි හා අරමුණුවලට අපගේ මනස් හා හෘද නිරාවරණය කරන අතර, මේවා පිළිබඳ පැහැදිලි අවබෝධය අපගේ ජීවිත අර්ථවත් කරවයි. ඊට අමතරව, “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය,” යි හෙබ්‍රෙව් 4:12 පවසයි. අප දේවවචනය කියවා, ඒ සම්බන්ධයෙන් මෙනෙහි කරන විට, එහි කර්තෘ වෙත සමීප වන අපි, උන්වහන්සේට වඩාත් ප්‍රසන්න වන අය බවට පත් වන පිණිස, අපේ ජීවිත වෙනස් කිරීමට පෙලඹෙන්නෙමු. (ගලාති 5:22, 23; එපීස 4:22-24) එමෙන්ම අප කියවන අනර්ඝ සත්‍යයන් වෙනත් අයට පැවසීමටද අපි නිතැතින්ම පෙලඹෙන්නෙමු. මේ සියල්ල උතුම් ගුරුවරයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේට ප්‍රශංසාව ගෙන දෙයි. අපගේ කියවීමේ හැකියාව යෙදවීමට මීට වඩා වෙනත් හොඳ ක්‍රමයක් නැති බව සහතිකය!
11. පෞද්ගලික අධ්‍යයනයේ සමතුලිත වැඩසටහනකට ඇතුළත් කළ යුත්තේ කුමක්ද?
11 කියවීම අපගේ ක්‍රිස්තියානි ජීවිතවල වැදගත් කොටසක් ලෙස ක්‍රියා කරන බැවින්, බාල මහලු කවරෙකු වුවත් අප සියල්ලන්ටම දිරිගන්වන්නේ, චතුර ලෙස කියවීමට ඉගෙනීමටය. නිතිපතා දේවවචනය කියවීමට අමතරව, සමබර පෞද්ගලික පාඩම් වැඩසටහනකට අනුව දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම, මුරටැඹ හා පිබිදෙව්! අධ්‍යයනය කිරීම හා ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම් වීම ඇතුළත් වනු ඇත. තවද ක්‍රිස්තියානි දේවසේවය ගැන කුමක් කිව හැකිද? මහජනයාට දේශනා කිරීම, උනන්දුමත් අයව නැවත හමුවීම සහ නිවාස බයිබල් පාඩම් පැවැත්වීම යන සියල්ලට නිපුණ කියවීමේ හැකියාව අවශ්‍ය බව පැහැදිලිය.
පැහැදිලිව ලිවීමට ඉගෙනීම
12. (අ) පැහැදිලිව ලිවීමට ඉගෙනීම වැදගත් මන්ද? (ආ)මේ තාක් ලියා ඇති උතුම්ම ලියවිල්ල කුමක්ද?
12 දෙවන පරමාර්ථය වනාහි සමතුලිත අධ්‍යාපනයක් අපට පැහැදිලිව ලිවීමට උපකාර කළ යුතු වීමය. ලිවීම අපගේ වචන හා අදහස් ගෙනහැර දක්වනවා පමණක් නොව, නමුත් එය ඒවා ආරක්ෂාද කරයි. බොහෝ සියවස් ගණනකට පෙර, යුදෙව් මිනිසුන් 40දෙනෙකු පමණ පැපිරස් හෝ සත්ව සම මත කෙටූ වචන, ආනුභාව ලත් ශුද්ධ ලියවිලි ලෙසින් සකස් විණ. (2 තිමෝති 3:16) මේ තාක් කර ඇති උතුම්ම ලියවිල්ල මෙය වූ බවට නිසැකයි! ඒවා අප වෙත විශ්වසනීය ආකාරයකින් ලැබීමට හැකි වන පරිද්දෙන්, සියවස් ගණන් පුරා එම ශුද්ධ ලියවිලි නැවත නැවතත් පිටපත් කිරීම සඳහා යෙහෝවඃවහන්සේ මඟ පෙන්වූ බවට සැකයක් නැත. වාචිකව අදහස් ප්‍රකාශ කිරීම මත රඳා සිටිනවා වෙනුවට, යෙහෝවඃවහන්සේ ස්වකීය වචන ලියා තැබීම ගැන අපි ස්තුතිවන්ත නොවන්නෙමුද?—නික්මයාම 34:27, 28, සසඳන්න.
13. ඉශ්රායෙල්වරුන් ලියන ආකාරය දැන සිටි බවට කුමක් අඟවයිද?
13 පුරාණ කාලවල, මෙසපොටේමියාවේ හා මිසරයේ ලියන්නන් වැනි එක්තරා වරප්රසාදිත පංතිවලට අයත් අය පමණක් උගත්තු වූහ. ජාතීන්ට වඩා පැහැදිලි වෙනසක් දක්වමින් ඉශ්රායෙලයේ සෑම කෙනෙකුටම අකුරු ඉගෙනීමට දිරිගන්වන ලදි. ඉශ්රායෙල්වරුන්ට තම නිවාස උළුවහුවල ලියන්ට කියූ, ද්විතීය කථාව 6:8, 9හි ඇති අණ, උපමාලංකාර එකක් මෙන් පෙනෙන්ට තිබුණත්, ඔවුන් ලියන්ට දැන සිටි බව එයින් ඇඟවේ. බාලවියේ පටන් දරුවන්ට ලියන ආකාරය උගන්වනු ලැබීය. ඇතැම් විශාරදයන්ගේ මතය පරිදි, පැරණිතම හෙබ්‍රෙව් ලියවිලිවලට උදාහරණයක් වන ගේසර් දිනදර්ශනය, කුඩා පාසැල් ළමයෙකුගේ මතකය මැනීමේ අභ්‍යාසයක් මෙන් වේ.
14, 15. ලිවීමේ හැකියාව යොදාගැනීම සඳහා තිබෙන සමහර ඒකාන්ත හා හිතකර ක්‍රම මොනවාද?
14 එහෙත් අපට ප්‍රයෝජනවත් හා ඵලදායී වන ආකාරයකින් ලිවීමේ හැකියාව යොදාගත හැක්කේ කෙසේද? ස්ථිර වශයෙන්ම ක්‍රිස්තියානි රැස්වීම්වලදී, එක්රැස්වීම්වලදී මෙන්ම සමුළුවලදී සටහන් ගැනීම මාර්ගයෙනි. ලිපියක් “ලුහුඬින්” ලියා තිබෙනවා වුවත්, එමගින් රෝගී කෙනෙකුට දිරිගැන්වීමක් සැපයීමටද, නැතහොත් අපට කරුණාව හෝ ආගන්තුක සත්කාරය දක්වා ඇති ආත්මික සහෝදරයෙකුට හෝ සහෝදරියකට ස්තුති කිරීමටද හැක. (1 පේතෘස් 5:12) සභාවේ කෙනෙකුගේ ප්‍රේමනීයයෙකු මියගොස් ඇත්නම්, අප වෙනුවෙන් එම තැනැත්තාට “සැනසිලිදායක ලෙස කතා කිරීමට” කෙටි ලිපියකට හෝ කාඩ්පතකට හැක. (1 තෙසලෝනික 5:14, NW) පිළිකාවක් හේතුවෙන් තම මව අහිමි වූ ක්‍රිස්තියානි සහෝදරියක් මෙසේ පැහැදිලි කළාය: “එක් මිතුරියක් මට කදිම ලිපියක් එව්වා. මට එය නැවත නැවතත් කියවන්න පුළුවන් වූ නිසා ඇත්තෙන්ම එය උපකාරවත් වුණා.”
15 ලිවීමේ හැකියාව යෙදවීමට හැකි සුවිශේෂ මඟක් නම්, යෙහෝවඃවහන්සේට ප්‍රශංසාව ගෙන ඒම සඳහා, රාජ්‍යය සාක්ෂියක් දීමට ලිපියක් ලිවීමය. දුරබැහැර ප්‍රදේශවල ජීවත් වන අලුතෙන් උනන්දුව දක්වන අය සමඟ ලිපි මගින් අදහස් හුවමාරු කිරීම අවශ්‍ය විය හැක. අසනීප නිසා ඔබට ගෙයින් ගෙට සේවයේ යෙදීම තාවකාලිකව අසීරු කාර්යයක් විය හැක. සමහරවිට ඔබ සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ඉදිරිපිට පවසනු ඇති දේ ලිපියක් ලිවීම මගින් පැවසිය හැක.
16, 17. (අ) රාජ්‍ය සාක්ෂියක් දැරීමට ලිපියක් ලිවීමේ ඇති වටිනාකම ආදර්ශයක් සේ දක්වන අද්දැකීම කුමක්ද? (ආ) ඔබට එවැනිම අද්දැකීමක් විස්තර කළ හැකිද?
16 එක් අද්දැකීමක් සලකා බලන්න. පුවත්පතක මරණ දැන්වීම පළ වූ මිනිසෙකුගේ කනවැන්දුමියට රාජ්‍ය සාක්ෂියක් දෙමින්, සාක්ෂිකාරියක් බොහෝ කලකට පෙර ලිපියක් ලීවාය. උත්තරයක් ලැබුණේ නැත. නමුත් ඉන් වර්ෂ 21කට පසුව, 1994 නොවැම්බර් මාසයේදී, සාක්ෂිකාරියට ස්ත්‍රියගේ දියණියගෙන් ලිපියක් ලැබිණ. දියණිය මෙසේ ලීවාය:
17 “මගේ පියා මියගියායින් පසු මගේ මව සැනසීමට ඔබ 1973 අප්‍රියෙල් මාසයේදී, ඇයට ලිපියක් එවා තිබුණා. මට එවිට වයස අවුරුදු නවයයි. මගේ මව බයිබලය පාඩම් කළ නමුත් ඇය තවමත් යෙහෝවඃවහන්සේගේ සේවිකාවක් නොවේ. කෙසේවුවත්, අවසානයේදී ඇගේ පාඩම මට සත්‍යය සමඟ සම්බන්ධ වීමට මඟ පෑදුවා. ඔබේ ලිපිය ලැබී වසර 15කට පසු 1988දී මා බයිබල් පාඩම පටන්ගත්තා. එක්දාස් නවසිය අනූවේ මාර්තු 9දා මා බව්තීස්ම වුණා. කලකට පෙර ඔබ එවූ ලිපියට මා ඉතා ස්තුතිවන්ත වන අතර, ඔබ පැළ කළ එම බීජ යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව වැඩුණු බව පැවසීමට මා බොහෝ සෙයින් සතුටු වෙනවා. මගේ මව ඔබේ ලිපිය මා ළඟ තබාගන්න දුන්නා, ඔබ කවුදැයි දැනගැනීමටත් මා කැමතියි. ඔබට මේ ලිපිය ලැබේවියි කියා මා බලාපොරොත්තු වෙනවා.” වසර ගණනකට පෙර ලියා තිබූ සාක්ෂිකාරිය වෙත, දියණියගේ ලිපිනය හා දූරකථන අංකය අඩංගු ලිපිය ඇත්තෙන්ම ලැබිණ. වෙනත් අය සමඟ රාජ්‍ය බලාපොරොත්තුව බෙදාගැනීමට තවමත් ලිපි ලියන සාක්ෂිකාරියගෙන් ස්ත්‍රියට දූරකථන ඇමතුමක් ලැබුණු විට, යෞවන ස්ත්‍රිය පුදුමයට පත් වූ අයුරු සිතා බලන්න!
මානසිකව, සදාචාරමය ලෙස හා ආත්මිකව වර්ධනය වීම
18. බයිබල් කාලවලදී, දෙමව්පියන් තම දරුවන්ගේ මානසික හා සදාචාර අධ්‍යාපනය සඳහා සැලකිල්ල දැක්වූයේ කෙසේද?
18 තෙවන පරමාර්ථය වූ කලි, සමතුලිත අධ්‍යාපනයක් අපට මානසිකව හා සදාචාරමය ලෙස වර්ධනය වීමට උපකාර කළ යුතු වීමය. බයිබල් කාලවලදී දරුවන්ට මානසික හා සදාචාර අධ්‍යාපනයක් දීම දෙමව්පියන්ගේ මූලික වගකීම්වලින් එකක්ව තිබිණ. දරුවන්ට උගන්වා තිබුණේ කියවීමට හා ලිවීමට පමණක් නොව නමුත් ඊටත් වඩා වැදගත්ව, ජීවිතය සම්බන්ධයෙන් ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් ඇතුළත්ව තිබෙන දේව නීති තුළ දැනුවත් වීමටය. මෙසේ, ආගමික වගකීම්, විවාහය, පවුලේ සබඳතා හා ලිංගික සදාචාරය මෙන්ම සෙසු ජනයා කෙරෙහි ඔවුන්ගේ වගකීම් පිළිබඳ උපදෙස් අධ්‍යාපනයට ඇතුළත් විය. එවැනි අධ්‍යාපනය මානසිකව හා සදාචාරමය ලෙස පමණක් නොව, නමුත් ආත්මිකවද වර්ධනය වීමට ඔවුන්ට උපකාරවත් විය.—ද්විතීය කථාව 6:4-9, 20, 21; 11:18-21.
19. ජීවත්වීමට හොඳම සදාචාර සාරධර්ම අපට පෙන්වන හා ආත්මිකව වර්ධනය වීමට අපට උපකාර කරන අධ්‍යාපනය අපට ලබාගත හැක්කේ කොතැනින්ද?
19 අදදින ගැන කුමක් කිව හැකිද? හොඳ බාහිර අධ්‍යාපනයක් වැදගත්ය. මානසිකව වර්ධනය වීමට එය අපට උපකාර කරයි. එහෙත් ජීවත්වීමට හොඳම සදාචාර සාරධර්ම අපට පෙන්වනු ඇති හා ආත්මිකව වර්ධනය වීමට අපට උපකාර කරනු ඇති අධ්‍යාපනය සඳහා අපට යා හැක්කේ කොතැනටද? මිහිපිට කොතැනකින්වත් ලබාගත නොහැකි දිව්‍යාණ්ඩු අධ්‍යාපන වැඩසටහනකට ප්‍රවිෂ්ට වීමට, ක්‍රිස්තියානි සභාව තුළ අපට හැක. අපගේ පෞද්ගලික බයිබල් අධ්‍යයනය හා බයිබලය මත පදනම් ප්‍රකාශන මෙන්ම සභා රැස්වීම්වලදී, එක්රැස්වීම්වලදී හා සමුළුවලදී සපයනු ලබන උපදෙස් මාර්ගයෙන් අපට මෙම මිල කළ නොහැකි, අඛණ්ඩ අධ්‍යාපනය—දිව්‍ය අධ්‍යාපනය—නොමිලේ ලබාගත හැක! එය අපට උගන්වන්නේ කුමක්ද?
20. දිව්‍ය අධ්‍යාපනය අපට උගන්වන්නේ කුමක්ද, තවද එයින් ඇති වන ප්‍රතිඵලය කුමක්ද?
20 අප බයිබලය පාඩම් කිරීමට පටන්ගන්නා විට, අපි “මුල් කාරණා” වන ප්‍රධාන ශුද්ධ ලියවිලි උගනිමු. (හෙබ්‍රෙව් 6:2) නොකඩවා උගනිද්දී, අපි ගැඹුරු සත්‍යයන් වන “දැඩි ආහාර” ගන්නෙමු. (හෙබ්‍රෙව් 5:14) එහෙත්, ඊටත් වඩා, දෙවියන්වහන්සේට වුවමනා පරිදි අප ජීවත් වන ආකාරය අපට උගන්වන දේවප්‍රතිපත්ති අපි උගනිමු. උදාහරණයක් ලෙස, ‘මාංසය කිලිටි කරන’ පුරුදු හා ක්‍රියාවලින් වැළකීමට මෙන්ම ආධිපත්‍යයට, අනුන්ට හා අන්‍යයන්ගේ දේපොළවලට ගෞරවය දැක්වීමට අපි උගනිමු. (2 කොරින්ති 7:1; තීතස් 3:1, 2; හෙබ්‍රෙව් 13:4) මීට අමතරව, අප වැඩ කරන විට අවංකව හා කඩිසරව ක්‍රියා කිරීමේ වැදගත්කම මෙන්ම ලිංගික සදාචාරය පිළිබඳ බයිබල් ආඥා අනුව ජීවත්වීමේ වටිනාකම අගය කරන්ට අපි පෙලඹෙන්නෙමු. (1 කොරින්ති 6:9, 10; එපීස 4:28) අප අපගේ ජීවිතවල මෙම ප්‍රතිපත්ති අදාළ කරගැනීමේ ප්‍රගතියක් පෙන්වන විට, අප ආත්මිකව වර්ධනය වන අතර දෙවියන්වහන්සේ සමඟ අපේ සබඳතාව ගැඹුරු වේ. එපමණක්ද නොව, අප කොතැනක ජීවත් වුවත්, අපගේ දේවභක්තික හැසිරීම අපව හොඳ පුරවැසියන් කරවයි. තවද දිව්‍ය අධ්‍යාපනයේ උල්පත වන යෙහෝවඃ දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමට මෙය අන්‍යයන්වද පෙලඹවිය හැක.—1 පේතෘස් 2:12.
දෛනික ජීවිතය සඳහා ප්‍රායෝගික පුහුණුව
21. බයිබල් කාලවලදී දරුවන් ලද ප්‍රායෝගික පුහුණුව කුමක්ද?
21 සමතුලිත අධ්‍යාපනයක හතරවන ඉලක්කය වන්නේ දෛනික ජීවිතය සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික පුහුණුව පුද්ගලයෙකුට සැපයීමය. බයිබල් කාලවලදී දෙමව්පිය අධ්‍යාපනයට ප්‍රායෝගික පුහුණුව අඩංගු විය. ගැහැනු දරුවන්ට ගෙදර දොරේ දක්ෂතා උගන්වනු ලැබීය. මේවා බොහෝ මෙන්ම විවිධ ඒවා වන්ට ඇති බව හිතෝපදේශයේ 31:10-31 අන්තිම පරිච්ඡේදය පෙන්නුම් කරයි. මෙබැවින්, ගැහැනු දරුවෝ මැහුම් ගෙතුම් හා ඉවුම් පිහුම් මෙන්ම ගෙදර දොර පාලනය, වෙළඳාමක් කිරීමට හා දේපොළ ගනු දෙනු කිරීමට හැකිකම ලබාගත්හ. පිරිමි දරුවන්ට සාමාන්‍යයෙන්ම කෘෂිකර්මය හෝ යම් වෙළඳාමක් හෝ ශිල්පයක් යන ඔවුන්ගේ පියවරුන්ගේ බාහිර වෘත්තිය උගන්වන ලදි. යේසුස්වහන්සේ තම සුරැකි පියා වූ යෝසෙප්ගෙන් වඩුවැඩ උගත්සේක; මෙසේ, උන්වහන්සේව “වඩුවාගේ පුත්‍රයා” ලෙස පමණක් නොව, නමුත් “වඩුවා” ලෙසද හඳුන්වන ලදි.—මතෙව් 13:55; මාර්ක් 6:3.
22, 23. (අ) අධ්‍යාපනය දරුවන්ව සූදානම් කළ යුත්තේ කුමකටද? (ආ) වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය බව පෙනෙන්ට තිබිය හැකි විට එය තෝරාගැනීමේදී අපගේ චේතනාව කුමක් විය යුතුද?
22 අදදිනද, යම් දිනක පවුලක අවශ්‍යතා රැකබලා ගැනීමට සූදානම් කිරීමක්, ඉතා-සමතුලිත අධ්‍යාපනයකට ඇතුළත් වේ. තමාගේ පවුලට අවශ්‍යතා සැපයීම පරිශුද්ධ වගකීමක් බව 1 තිමෝති 5:8හි ඇති ප්‍රේරිත පාවුල්ගේ වචන අඟවයි. ඔහු මෙසේ ලීවේය: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” එසේනම්, අධ්‍යාපනය, දරුවන්ව ජීවිතයේ වගකීම් ඉසිලීමට සූදානම් කළ යුතුවාක් මෙන්ම, සමාජයේ වෙහෙසී වැඩ කරන සාමාජිකයන් බවට පත්වීමට ඔවුන්ව සන්නද්ධ කළ යුතුය.
23 අප කෙතරම් දුරකට බාහිර අධ්‍යාපනය ලබාගත යුතුද? මෙය රටෙන් රටට වෙනස් විය හැක. එහෙත් නීතියෙන් අවශ්‍ය කරන අවම අධ්‍යාපනයට අමතරව රැකියා වෙළඳපොළේ රැකියා සඳහා පුහුණුව ඉල්ලා සිටී නම්, අමතර පාඨමාලාවලින් ඇති විය හැකි වාසි හා අවාසි සලකා බලා, අතිරේක අධ්‍යාපනය හෝ පුහුණුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම දරුවන්ට මඟ පෙන්වීම දෙමව්පියන් සතු වගකීමකි. එහෙත්, අවශ්‍යයයි පෙනෙන්ට තිබිය හැකි විට, වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තෝරාගැනීමේදී කෙනෙකුගේ චේතනාව කුමක් විය යුතුද? සැබවින්ම ධනය, ආත්ම-අභිමානය හෝ ප්‍රශංසාව ලැබීම නොවේ. (හිතෝපදේශ 15:25; 1 තිමෝති 6:17) යේසුස්වහන්සේගේ ආදර්ශයෙන් අප උගත් පාඩම මතක තබාගන්න—යෙහෝවඃවහන්සේට ප්‍රශංසාව ගෙන ඒමට අධ්‍යාපනය යෙදවිය යුතුය. අපි වැඩිදුර අධ්‍යාපනය තෝරාගන්නෙමු නම්, අපේ චේතනාව විය යුත්තේ ක්‍රිස්තියානි දේවසේවයෙහි යෙහෝවඃවහන්සේට හැකි තරම් පූර්ණව සේවය කිරීමට අපට හැකි වන පරිදි, අපවම ප්‍රමාණවත්ව නඩත්තු කරගැනීමට තිබෙන ආශාවය.—කොලොස්සි 3:23, 24.
24. අප කිසිදා අමතක නොකළ යුත්තේ යේසුස්වහන්සේගෙන් උගත් කිනම් පාඩමද?
24 එමනිසා, සමතුලිත බාහිර අධ්‍යාපනයක් ලබාගැනීමට දරන වෑයම්වලදී අපි අලස නොවෙමු. යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ සැපයෙන අඛණ්ඩ දිව්‍ය අධ්‍යාපන වැඩසටහනෙන් අපි පූර්ණ ප්‍රයෝජනය ගනිමු. තවද මිහිපිට ජීවත් වී ඇති උගත්ම මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් උගත් පාඩමේ වටිනාකම අපි කිසිදා අමතක නොකරමු—අධ්‍යාපනය යෙදවිය යුත්තේ, අපටම ගෞරවය ලබාගැනීමට නොව, නමුත් සියල්ලන්ටම වඩා උතුම්ම ගුරුවරයා වන යෙහෝවඃ දෙවියන්වහන්සේට ප්‍රශංසාව ගෙන ඒමටයි!
ඔබේ පිළිතුර කුමක්ද?
◻ යේසුස්වහන්සේ සිය අධ්‍යාපනය යෙදෙව්වේ කෙසේද?
◻ චතුර ලෙස කියවීමට ඉගෙනීම වැදගත් මන්ද?
◻ යෙහෝවඃවහන්සේට ප්‍රශංසාව ගෙන ඒමට ලිවීමේ හැකියාව යොදාගැනීමට අපට හැක්කේ කෙසේද?
◻ සදාචාරමය හා ආත්මිකව වර්ධනය වීමට දිව්‍ය අධ්‍යාපනය අපට උපකාරවත් වන්නේ කෙසේද?
◻ සමතුලිත අධ්‍යාපනයකට ඇතුළත් විය යුත්තේ කිනම් ප්‍රායෝගික පුහුණුවද?
[13වන පිටුවේ කොටුව]
ගුරුවරුන් සඳහා ප්‍රායෝගික උපකාරය
වොච් ටවර් සමිතිය මගින් 1995/96හි “ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” දිස්ත්‍රික් සමුළුවලදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය යන මැයෙන් නව විවරණිකාවක් මුදාහරින ලදි. පිටු 32කින් යුත් මෙම වර්ණවත් විවරණිකාව විශේෂයෙන්ම ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ගුරුවරුන් උදෙසාය. මේ වන තෙක් එය භාෂා 58කට පරිවර්තනය කර ඇත.
ගුරුවරුන් සඳහා විවරණිකාවක් මන්ද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් වන ශිෂ්‍යයන්ගේ විශ්වාසයන් වඩා හොඳින් ඔවුන්ට තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහාය. විවරණිකාවෙහි කුමක් අඩංගුද? අතිරේක අධ්‍යාපනය, උපන්දින හා නත්තල මෙන්ම කොඩියට ආචාර කිරීම යන කාරණා සම්බන්ධව අපගේ දෘෂ්ටීන් පිළිබඳව එය තේරුම්ගත හැකි හා ඒකාන්ත අයුරකින් පැහැදිලි කරයි. අපගේ දරුවන් තම පාසැල් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගත යුතු බවත්, අපගේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි ක්‍රියාශීලීව උනන්දුව දැක්වීමෙන්, ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප බැඳී සිටින බවත් පෙන්වීමෙන්, මෙම විවරණිකාව ගුරුවරුන්ගේ බිය සැක දුරු කිරීමට ඉවහල් වේ.
අධ්‍යාපනය විවරණිකාව යෙදවිය හැක්කේ කෙසේද? එය ගුරුවරුන් උදෙසා සූදානම් කර තිබෙන බැවින්, අපි එය ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා වෙනත් පාසැල් නිලධාරීන් සමඟ බෙදාගනිමු. අපගේ ආකල්ප හා විශ්වාසයන් තේරුම්ගැනීමටත්, ඇතැම් අවස්ථාවල අප වෙනස් ආකාරයකින් කටයුතු කිරීමට ඉල්ලා සිටින්නේ මන්ද කියා තේරුම්ගැනීමටත් මෙම නව විවරණිකාව එවැනි සියලු ගුරුවරුන්ට උපකාර කරත්වා! තම දරුවන්ගේ ගුරුවරුන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීම සඳහා පදනමක් වශයෙන් මෙම විවරණිකාව යොදාගැනීමට දෙමව්පියන්ට දිරිගන්වා තිබේ.
[10වන පිටුවේ පින්තූරය]
පුරාණ ඉශ්රායෙල්හි අධ්‍යාපනය අනර්ඝ එකක් සේ සලකන ලදි