පස්වන පරිච්ඡේදය
යෙහෝවාගේ නමස්කාරකයන් භුක්ති විඳින නිදහස
1, 2. (අ) දෙවි මුල් මිනිස් යුවළට දුන්නේ කුමනාකාරයේ නිදහසක්ද? (ආ) ආදම් සහ ඒවගේ ක්‍රියාකාරකම් පාලනය කළ නීති සමහරක් සඳහන් කරන්න.
යෙහෝවා මැවූ මුල් පුරුෂයා සහ ස්ත්‍රිය මුලින්ම භුක්ති විඳි නිදහස අද අප භුක්ති විඳින කිසිම ආකාරයක නිදහසකට සම කිරීමට නොහැකිය. ඔවුන්ගේ නිවස වූයේ චිත්තාකර්ෂණීය වූ ඒදන් උයන නමැති පාරාදීසයයි. ඔවුන්ගේ ජීවිතයේ ප්‍රීතිය සොරාගැනීමට අසනීපවලට හැකි නොවූයේ ඔවුනට පරිපූර්ණ මනසක් හා සිරුරක් තිබූ නිසාය. ඔවුන්ගෙන් පසුව පැවතෙන්නන්ට මෙන් මරණය ඔවුන් එන තුරු මඟ බලා සිටියේ නැත. එමෙන්ම, ඔවුන් රොබෝවරුන්ද නොවූ අතර, තමන්ට කැමති පරිදි තීරණයක් ගැනීම සඳහා ඔවුහු පුදුමාකාර නිදහස් කැමැත්තකටද උරුමකම් කීහ. කෙසේවෙතත්, එවන් නිදහස් කැමැත්තක් නිබඳවම භුක්ති විඳීමට නම්, දෙවිගේ නීතිවලට ගරු කිරීමට ඔවුන්ට සිදු විය.
2 උදාහරණයක් හැටියට, දෙවි පිහිටෙවූ භෞතික නීති ගැන සලකා බලන්න. මේ නීති අකුරෙන් ලියා නොතිබුණත්, ආදම් සහ ඒවව මවා තිබුණේ සහජයෙන්ම ඒ නීතිවලට කීකරු වීමේ නැඹුරුවාව ඇතුවය. ඔවුන්ට බඩගිනි දැනුණු විට එය කෑම ගැනීමට සංඥාවකි. පිපාසය බීම සඳහා ඇති අවශ්‍යතාවටත්, හිරු බැසයෑම නිදාගැනීමටත් සංඥාවක් විය. යෙහෝවා ඔවුන්ට වැඩ කිරීමටත් පැවරුමක් දුන්නේය. එම පැවරුම ඇත්තෙන්ම නීතියක් ලෙස හඳුන්වන්ට පුළුවන. මන්ද ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ගය ඉන් පාලනය වූ හෙයිනි. ඔවුන් දරුවන් බිහි කළ යුතු විය. පොළොවේ වෙසෙන සියලු ආකාර සතුන් කෙරෙහි අධිපතිකම් කළ යුතු විය. මුළු පොළොවම වැසී යන තුරු පාරාදීසයේ මායිම් දිග් කළ යුතු විය. (උත්පත්ති 1:28; 2:15) එය මොනතරම් කාරුණික සහ ප්‍රයෝජනදායක නීතියක් වීද! එමගින් ඔවුන්ට සම්පූර්ණයෙන්ම තෘප්තිමත් විය හැකි වැඩ කටයුතු ලබා දුන් අතර, ඔවුන්ගේ හැකියාවන් යහපත් ආකාරයකින් උපරිම ලෙස උරගා බැලීමට ඔවුන්ට හැකි විය. තම පැවරුම ඉටු කරන්නේ කෙසේද කියා තීරණය කිරීමට ඔවුන්ට ඕනෑ තරම් ඉඩ කඩ තිබුණි. ඊට වඩා තව මොනවාද ඕනෑ කරන්නේ?
3. තීරණ ගැනීමට තිබූ නිදහස ආදම් සහ ඒවට ඥානවන්තව පාවිච්චි කිරීමට ඉගෙනගත හැකි වන්නේ කෙසේද?
3 තීරණ ගැනීමට ආදම් සහ ඒවට වරම් දුන් පමණින් ඔවුන් ගන්නා ඕනෑම තීරණයක් යහපත් ප්‍රතිඵල ලබා දෙන බව අදහස් කළේ නැත. ඔවුන්ගේ තීරණ ගැනීමේ නිදහස දෙවිගේ නීති සහ ප්‍රතිපත්ති නමැති මායිම තුළට සීමා කිරීමට සිදු විය. ඔවුන් මේ නීති සහ ප්‍රතිපත්ති ඉගෙනගන්නේ කෙසේද? ඔවුන්ගේ මැවුම්කරුවාට ඇහුම්කන් දීමෙන් සහ ඔහුගේ හස්ත කර්මාන්තය නැතහොත් මැවිල්ල නිරීක්ෂණය කිරීමෙනි. ඔවුන් ඉගෙනගත් දේ අදාළ කරගැනීමට අවශ්‍ය බුද්ධිය දෙවි ආදම් සහ ඒවට දුන්නේය. ඔවුන්ව පරිපූර්ණව මවා තිබූ නිසා, ඔවුන්ගේ ස්වාභාවික නැඹුරුවාව විය යුතු වූයේ තීරණ ගැනීමේදී දෙවිගේ ගුණාංග විදහාපෑමය. දෙවි ඔවුන් වෙනුවෙන් කර ඇති දේ ඇත්තටම අගය කළා නම්, දෙවිව සතුටු කිරීමට ඔවුන්ට උවමනා වුණා නම්, ඇත්තෙන්ම ඔවුන් තමන් ගන්නා තීරණ ගැන පරෙස්සම් වනු ඇත.—උත්පත්ති 1:26, 27; යොහන් 8:29.
4. (අ) එක ගසකින් නොකෑමට වූ ආඥාව ආදම් සහ ඒවගේ නිදහසට හානියක් වීද? (ආ) එය උචිත අවශ්‍යතාවක් වූයේ මන්ද?
4 එසේ නම්, ඔවුන්ගේ ජීවිත දායකයා හැටියට තමන් කෙරෙහි ඔවුන්ට ඇති භක්තියත්, තමන් විසින් ප්‍රකාශ කළ මායිම් තුළ සිටීමට ඔවුන්ගේ කැමැත්තත් පරීක්ෂා කිරීමට දෙවි තීරණය කිරීම සාධාරණ විය. යෙහෝවා ආදම්ට මෙම ආඥාව දුන්නේය. “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) ඒවව මැවීමෙන් පසුව ඇයවද එම නීතිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදි. (උත්පත්ති 3:2, 3) මෙම තහංචිය ඔවුන්ගේ නිදහස සොරාගත්තාද? කොහෙත්ම නැත. එක ගසකින් නොකෑවාට කෑමට ප්‍රණීත ආහාර ඕනෑතරම් උයනේ තිබුණි. (උත්පත්ති 2:8, 9) පොළොව මැව්වේ දෙවි නිසා එය අයිති ඔහුට බව ඔවුන් තේරුම්ගත යුතුව තිබුණි. එමනිසා, මිනිසාගේ ප්‍රයෝජනය සඳහා තම අරමුණට ගැළපෙන නීති දැමීමට යෙහෝවාට පූර්ණ අයිතිය ඇත.—ගීතාවලිය 24:1, 10.
5. (අ) ආදම් සහ ඒව තමන්ට තිබූ මහිමාන්විත නිදහස නැති කරගත්තේ කෙසේද? (ආ) ආදම් සහ ඒව භුක්ති විඳි නිදහසට හිමි තැන ගත්තේ කුමක්ද? එය අපට බලපා ඇත්තේ කෙසේද?
5 එහෙත් සිදු වූයේ කුමක්ද? ආත්මාර්ථකාමී අභිලාෂයන්ගෙන් පෙලඹුණු දේවදූතයෙකු තම නිදහස් කැමැත්ත වැරදි ලෙස යොදාගනිමින් “එදිරිවාදියා” යන අරුත ඇති සාතන් බවට පත් වීමයි. ඔහු දෙවිගේ කැමැත්තට පටහැනි දෙයක් පොරොන්දු වෙමින් ඒවව රැවටුවේය. (උත්පත්ති 3:4, 5) ආදම්ද දෙවිගේ නීතිය උල්ලංගනය කිරීමට ඒව හා එක් විය. ඔවුන්ට අයිති නැති දෙයක් අත් කරගැනීමට යෑමෙන් ඔවුහු තමන්ට තිබූ මහිමාන්විත නිදහස නැති කරගත්හ. පාපය ඔවුන්ගේ ස්වාමියා විය. දෙවි අනතුරු ඇඟවූ ලෙස අවසානයේදී මරණය ඔවුන් පසුපස හඹා ආවේය. ඔවුහු තමන්ගෙන් පැවතෙන්නන්ට පාපය උරුම කළෝය. උපතේ සිට වැරදි කිරීමට මිනිසාට ඇති නැඹුරුවාවෙන් එය පිළිබිඹු වේ. පාපය හේතුවෙන් දුර්වලකමත් එහි ප්‍රතිඵලයක් ලෙස ලෙඩ රෝග, වයසට යෑම සහ මරණයත් මිනිසාව වෙළාගත්තේය. සාතන්ගේ බලපෑම නිසා වැරදි කිරීමට වූ නැඹුරුවාව උග්‍ර වී වෛරය, අපරාධ, ඒකාධිපති පාලන ක්‍රම සහ මිනිස් ජීවිත දශලක්ෂ ගණනක් බිලිගෙන ඇති යුද්ධ මිනිස් ඉතිහාසය පුරාම දක්නට ලැබුණි. මූලාරම්භයේදී දෙවි මිනිසාට දුන් නිදහසට වඩා මෙය කොතරම් වෙනස්ද!—ද්විතීය කථාව 32:4, 5; යෝබ් 14:1, 2; රෝම 5:12; එළිදරව් 12:9.
නිදහස සොයාගත හැක්කේ කොහෙන්ද?
6. (අ) සැබෑ නිදහස සොයාගත හැක්කේ කොහෙන්ද? (ආ) යේසුස් කතා කළේ කිනම් ආකාරයේ නිදහසක් ගැනද?
6 වර්තමානයේ සෑම තැනම පැතිර පවතින නපුරු තත්වය නිසා, මිනිසුන් වඩා වැඩි නිදහසක් අපේක්ෂා කිරීම පුදුමයක් නොවේ. එහෙත්, සැබෑ නිදහස සොයාගත හැක්කේ කොහෙන්ද? යේසුස් මෙසේ කීවේය. “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය.” (යොහන් 8:31, 32) මෙයින් අදහස් කරන්නේ එක පාලකයෙකු හෝ ආණ්ඩුවක් වෙනුවට තව පාලකයෙකු හෝ ආණ්ඩුවක් පිළිගැනීමේදී මිනිසුන් අපේක්ෂා කරන ආකාරයේ නිදහසක් නෙවෙයි. ඒ වෙනුවට, මෙම නිදහස මිනිස් ගැටලුවල මුලටම විසඳුමක් දෙන ආකාරයේ නිදහසකි. යේසුස් කතා කරමින් සිටියේ පාපයේ වහල්භාවයෙන් ලබන නිදහස ගැනය. (යොහන් 8:24, 34-36) කෙනෙකු යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයෙකු බවට පත් වන විට, ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු තරම් වෙනස්කම් සිදු වෙයි. එනම්, නිදහසක් ලබයි!
7. (අ) දැනුදු අපට පාපයෙන් නිදහස් විය හැක්කේ කෙසේද? (ආ) එම නිදහස අත් කරගැනීමට අප කුමක් කළ යුතුද?
7 සැබෑ ක්‍රිස්තියානීන් වර්තමානයේදී පව්කාර හැසිරීමට ආවඩන ජම්මික නැඹුරුවාවන්වල බලපෑමට හසු වන්නේ නැති බව මින් අදහස් කරන්නේ නැත. ඔවුන් පාපය උරුම කරගෙන සිටින නිසා, ඔවුන්ට දිගටම විශාල පොරබැදීමක් කිරීමට සිදු වේ. (රෝම 7:21-25) කෙනෙකු යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟවම ජීවත් වෙනවා නම්, ඔහු තවදුරටත් පාපයේ වහලෙක් බවට පත් වන්නේ නැත. අණ කළ පමණකින් කීකරු විය යුතු ඒකාධිපතියෙකු ලෙස පාපය තවදුරටත් ඔහු තුළ ක්‍රියාත්මක නොවනු ඇත. අරමුණක් නැති ජීවිතයක් ගත කර පසුව වරදසහගත හෘදය සාක්ෂියක් ඇතිව සිටීමේ උගුලට ඔහු හසු වන්නේද නැත. ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමේ පදනම මත ඔහුගේ අතීත පාපවලට සමාව ලැබී ඇති නිසා දෙවි ඉදිරියේ ඔහු පිරිසිදු හෘදය සාක්ෂියක් පවත්වාගැනීමේ වරප්‍රසාදය භුක්ති විඳිනු ඇත. පව්කාර නැඹුරුවාවන් ඔහුව පාලනය කිරීමට තැත් කළත්, ක්‍රිස්තුස්ගේ පවිත්‍ර ඉගැන්වීම් ඔහු මතකයට නඟන නිසා, තමන් තවදුරටත් පාපයේ දාසයෙකු නොවන බව ඔහු පෙන්වයි.—රෝම 6:12-17.
8. (අ) සැබෑ ක්‍රිස්තියානි ධර්මය අපට ලබා දෙන්නේ කිනම් ආකාර නිදහසක්ද? (ආ) ලෞකික පාලකයන් සම්බන්ධයෙන් අපේ ආකල්පය කුමක් විය යුතුද?
8 අප ක්‍රිස්තියානීන් හැටියට භුක්ති විඳින නිදහස සලකා බලන්න. පාපයේ වහලෙකු වීමෙන්, මිථ්‍යා විශ්වාසයන්වල විලංගු ලා සිටීමෙන් හා බොරු ඉගැන්වීම්වල බලපෑමෙන් අපි නිදහස් වී සිටින්නෙමු. මළවුන්ගේ තත්වය සහ නැවත නැඟිටීම සම්බන්ධයෙන් කිසිදා දැන නොසිටි සත්‍යතාවන් හෙළි කිරීම නිසා මරණය පිළිබඳව තිබූ අනවශ්‍ය භයෙන් අපි නිදහස්ව සිටිමු. දෙවිගේ ධර්මිෂ්ඨ රාජ්‍යය ඉතාම නුදුරු අනාගතයේදී අසම්පූර්ණ මිනිස් ආණ්ඩු ඉවත් කර පොළොව කෙරෙහි පාලනය භාරගන්නවා යන දැනුම, බලාපොරොත්තු සුන්වීමෙන් අපව මුදාගෙන ඇත. (දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10) කෙසේවෙතත්, ආණ්ඩුවල අධිකාරයට සහ එහි නීති රීතිවලට අගෞරව කිරීමට මේ නිදහස යොදා ගැනෙන්නේ නැත.—තීතස් 3:1, 2; 1 පේතෘස් 2:16, 17.
9. (අ) මිනිසාට දැනුදු ලබාගත හැකි උපරිම නිදහස භුක්ති විඳීමට යෙහෝවා ප්‍රේමනීය ලෙස අපට උදව් කරන්නේ කෙසේද? (ආ) අපට ඥානවන්ත තීරණ ගත හැක්කේ කෙසේද?
9 ජීවත් වීමට හොඳම ක්‍රමය කුමක්ද කියා සොයාගැනීමට වරද්ද වරද්දා ඉගෙනගන්ට යෙහෝවා අපට ඉඩහැර නැත. අපව මවා ඇති ආකාරයත් අපට සැබෑ තෘප්තිය ගෙනෙන්නේ කුමක්ද යන්නත් අප සදාකාල ප්‍රයෝජන ලබන්නේ කුමක් කිරීමෙන්ද යන්නත් යෙහෝවා දන්නේය. තමා සමඟත් සෙසු මිනිසුන් සමඟත් ඇති සම්බන්ධය කෙනෙකුට බිඳ දමාගැනීමට හේතු වන, සමහරවිට කෙනෙකුට සදාකාල ජීවනය පවා නැති විය හැකි සිතුවිලි සහ හැසිරීම ගැන යෙහෝවා දනියි. ඒ නිසා, යෙහෝවා මේ සෑම දෙයක්ම බයිබලයෙන් සහ ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය මාර්ගයෙන් ප්‍රේමනීය ලෙස අපට කියා දෙයි. (මාර්ක් 13:10; ගලාති 5:19-23; 1 තිමෝති 1:12, 13) එවිට, අප ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියා තීරණය කිරීමට දෙවි දුන් අපේ නිදහස් කැමැත්ත පාවිච්චි කිරීම අප සතු කාර්යයකි. බයිබලය අපට කියන දේට කීකරු වූවොත්, ආදම් මෙන් නොවී අප ඥානවන්ත තීරණ ගනු ඇත. එමගින්, ජීවිතයේ වඩා වැදගත්ම දෙය යෙහෝවා සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීම බව අපි පෙන්වන්නෙමු.
වෙනත් ආකාරයක නිදහසක් සොයමින්
10. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන සමහරුන් අත් කරගැනීමට බලන්නේ කිනම් ආරෙක නිදහසක්ද?
10 ඇතැම්විට යෙහෝවාගේ සාක්ෂිකාර යෞවනයන් මෙන්ම යෞවන නොවන සමහරුන්ටද වෙනත් ආරෙක නිදහසක් ඕනෑ බව හැඟෙයි. ලෝකය ආකර්ෂණීය ලෙස පෙනිය හැකිය. ඔවුන් ඒ ගැන වැඩියෙන් සිතන්ට සිතන්ට ලෝකයේ ජනප්‍රිය වූ ක්‍රිස්තියානි නොවන දේවල නියැලීමට තිබෙන ඔවුන්ගේ ආශාවන් වඩ වඩා ප්‍රබල වේ. එවැනි අය මත්ද්‍රව්‍ය භාවිත කිරීමට, පමණ ඉක්මවා මත්පැන් ගැනීමට හෝ ලිංගික දුරාචාරයේ යෙදීමට නොසිතනවා විය හැකිය. එහෙත්, ඔවුහු සැබෑ ක්‍රිස්තියානීන් නොවන සමහරුන්ගේ පිළිගැනීම ලබාගැනීම සඳහා ඔවුන්ව ආශ්‍රය කිරීමට පටන්ගනිති. ඔවුන්ගේ කතා විලාශය හා හැසිරීම අනුකරණය කිරීමටද පටන්ගනිති.—3 යොහන් 11.
11. වැරදි කිරීමට පෙලඹීම ඇතැම්විට පැමිණෙන්නේ කොහෙන්ද?
11 ක්‍රිස්තියානි විරෝධී හැසිරීමේ නියැලීමට වූ පෙලඹවීම ඇතැම්විට පැමිණෙන්නේ යෙහෝවාට සේවය කරනවායැයි කියාගන්නාවූ කෙනෙකුගෙන්ම විය හැකිය. මුල් ක්‍රිස්තියානීන්ට සිදු වූයේද එයමය. එම දෙයම අපේ කාලයේදීද සිදු විය හැකිය. එවැනි අය බොහෝවිට තමන්ට විනෝදය ගෙනෙන දේවල් කළත්, ඒවා දෙවිගේ නීති උල්ලංගනය කරයි. ටිකක් “විනෝද වීමට” අනිත් අයවත් ඔවුහු පොලඹවති. ‘තමන්ම දූෂ්‍යකමේ දාසයන්ව සිටිද්දී, [අන්‍යයන්ට] නිදහස දෙන්ට [ඔවුහු] පොරොන්දු වෙති.’—2 පේතෘස් 2:19.
12. දෙවිගේ නීති රීතිවලට සහ ප්‍රතිපත්තිවලට පටහැනි හැසිරීමේ දුක්ඛිත ඵල මොනවාද?
12 මෙය දෙවිගේ නීති රීතිවලට අකීකරු වීමක් නිසා නිදහසයැයි කියාගන්නාවූ එයින් හටගන්නා ඵල සැමවිටම නපුරුය. උදාහරණයක් හැටියට, චිත්තවේගීය ස්ථාවරය බිඳී යෑම, ලෙඩ රෝග, මරණය, අනිසි ගැබ්ගැනීම්, බොහෝවිට විවාහ කඩාකප්පල් වීම් වැනි දේ අයථා ලිංගික සබඳතාවල ප්රතිඵලයි. (1 කොරින්ති 6:18; 1 තෙසලෝනික 4:3-8) ඉක්මනින් කුපිත වීම, වචන පැටලීම, දෘෂ්ටිය බොඳවීම, කැරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතා, භ්‍රාන්තිය (මනස්ගාත සිතුවිලි) සහ මරණය මත්ද්‍රව්‍ය අනිසි පාවිච්චියේ ආදීනවයි. එය ඇබ්බැහි කරවනසුලු වන අතර, පුරුද්ද දිගටම පවත්වාගැනීම සඳහා අපරාධ කිරීමට පවා මඟ පෑදිය හැක. පමණ ඉක්මවා මත්පැන් ගැනීමද ඒ හා සමාන ඵලවිපාක ගෙනෙයි. (හිතෝපදේශ 23:29-35) තමන් නිදහස් අයයැයි එවන් හැසිරීමේ නියැලෙන අය සිතිය හැකිය. එහෙත්, තමන් පාපයේ වහලුන් වී ඇති බව ඔවුන් තේරුම්ගන්නේ හොඳටම ප්‍රමාද වූ පසුවය. මෙසේ බලන කල, පාපය මොනතරම් කෲර වහල් ස්වාමියෙක්ද! මේ කාරණා ගැන දැන් තියාම කල්පනා කිරීම, එවන් අද්දැකීම්වලින් ආරක්ෂා වී සිටීමට අපට උදව් වෙයි.—ගලාති 6:7, 8.
ගැටලුව පටන්ගන්නේ කොතැනින්ද?
13. (අ) ගැටලුවලට මඟ පාදන තෘෂ්ණා බොහෝවිට ඇවිස්සෙන්නේ කෙසේද? (ආ) ‘නපුරු ඇසුර’ කුමක්දැයි තේරුම්ගැනීමට අපට අවශ්‍ය කරන්නේ කාගේ දෘෂ්ටියද? (ඇ) දහතුන්වන ඡේදයේ ලැයිස්තුගත කර ඇති ප්‍රශ්නවලට උත්තර දෙද්දී, යෙහෝවාගේ දෘෂ්ටිකෝණය කාවද්දන්න.
13 ගැටලුව බොහෝවිට පටන්ගන්නේ කොතැනින්දැයි සිතා බලන්න. බයිබලය මෙසේ පැහැදිලි කරයි. “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නීය. පාපයද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි.” (යාකොබ් 1:14, 15) තෘෂ්ණාව ඇවිස්සෙන්නේ කෙසේද? මනසට ඇතුල් වන දේවලින්ය. බොහෝවිට මෙය සිදු වන්නේ බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට බද්ධ කර නොගන්නාවූ අයව ඇසුරු කිරීමෙනි. ඇත්තවශයෙන්ම, “නපුරු සමාගමෙන්” වැළකී සිටිය යුතු බව අපි සැවොම දනිමු. (1 කොරින්ති 15:33) එහෙත්, නපුරු වන්නේ කිනම් ඇසුරද? යෙහෝවා මේ කාරණය දකින්නේ කෙසේද? පහත සඳහන් ප්‍රශ්න සහ උපුටා දක්වා නැති බයිබල් පද විමර්ශනය කිරීමෙන් හොඳ නිගමනයකට පැමිණීමට අපට හැකිය.
සමහරුන් ගරුතර අය මෙන් සිටි පළියට ඔවුන් ඇසුරට හොඳ අයයැයි අදහස් කරනවාද? (උත්පත්ති 34:1, 2, 18, 19)
අප ඔවුන්ගේ සමීප ඇසුරේ සිටිය යුතුද නැද්ද යන්න ගැන ඔවුන්ගේ කතා බහ, ඇතැම්විට ඔවුන්ගේ විහිළු තහළු අපට අනතුරු ඇඟවීමක් සපයනවාද? (එපීස 5:3, 4)
අප දෙවිට ප්‍රේම නොකරන අයව ඇසුරු කිරීමට පටන්ගත්තොත් යෙහෝවාට කෙසේ හැඟේවිද? (2 ලේකම් 19:1, 2)
අපේ ආගමික විශ්වාසයන් බෙදා නොගන්නා අය සමඟ අප වැඩ කළත්, පාසැල් ගියත්, අප පරෙස්සම් වීමේ අවශ්‍යතාවක් තිබෙන්නේ මන්ද? (1 පේතෘස් 4:3, 4)
රූපවාහිනිය හා චිත්‍රපට නැරඹීම, අන්තර්ජාලය පාවිච්චි කිරීම හා පොත්පත්, සඟරා හා පුවත්පත් කියවීම අන් අය සමඟ ඇසුරු කිරීමේ ක්‍රම වේ. එවන් මූලාශ්රවල කිනම් දේවලින් අප ආරක්ෂා විය යුතුද? (හිතෝපදේශ 3:31; යෙසායා 8:19; එපීස 4:17-19)
අප ඇසුරු කිරීමට තෝරාගන්නා අය, යෙහෝවාට අප කෙබඳු පුද්ගලයන්ද යන්න ගැන කියා පාන්නේ මොනවාද? (ගීතාවලිය 26:1, 4, 5; 97:10)
14. දෙවිගේ වචනයේ ඇති උපදෙස් දැන් අදාළ කරගන්නාවූ ඇදහිලිවන්තයන්ට ඉදිරියේදී ලබා දෙන මහත් නිදහස කුමක්ද?
14 දෙවිගේ නව ලෝකය අපේ ඇස්වලට පෙනෙන, අත්වලට හසු වන මානයේය. දෙවිගේ ස්වර්ගීය රාජ්‍ය ආණ්ඩුව මගින් සාතන්ගේ බලපෑමෙන් සහ ඔහුගේ මුළු දුෂ්ට ක්‍රමයෙන්ද මිනිස්වර්ගයා නිදහස් වනු ඇත. ක්‍රමානුකූලව, කීකරු මිනිස්වර්ගයාගෙන් පාපයේ සෑම බලපෑමක්ම ඉවත් කෙරෙනු ඇත. ප්‍රතිඵලයක් හැටියට, පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් විය හැකි පරිපූර්ණ මනසක් සහ සිරුරක් මිනිසාට ලැබෙනු ඇත. අවසානයේදී, ‘යෙහෝවාගේ ආත්මය’ හා එකඟ නිදහස මුළු මැවිල්ලම ප්‍රීතියෙන් භුක්ති විඳිනු ඇත. (2 කොරින්ති 3:17) මේ සියල්ලක්ම දෙවිගේ වචනයෙන් දැන් සැපයෙන උපදෙස් නොසැලකීම හේතුවෙන් අහිමි කරගැනීම ඥානවන්තද? දැන් අපේ ක්‍රිස්තියානි නිදහස ඥානවන්ත ලෙස යොදාගැනීමෙන් අපට ඕනෑ කරන්නේ “දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” බව අපි පැහැදිලිව පෙන්වමු.—රෝම 8:21.
පුනරීක්ෂණ සාකච්ඡාව
• මුල් මිනිස් යුවළ භුක්ති වින්දේ කිනම් ආකාරයක නිදහසක්ද? එයත් අද මිනිස්වර්ගයා අද්දකින දේවලුත් සැසඳෙන්නේ කෙසේද?
• සැබෑ ක්‍රිස්තියානීන්ට ඇත්තේ කිනම් නිදහසක්ද? මෙය ලෝකය සලකන ආකාරයේ නිදහසට වඩා වෙනස් වන්නේ කෙසේද?
• නපුරු සමාගමෙන් වැළකී සිටීම එතරම්ම වැදගත් වන්නේ මන්ද? ආදම් මෙන් නොවී, අප පිළිගත යුත්තේ හරි වැරදි පිළිබඳ කාගේ තීරණද?
[46වන පිටුවේ පින්තූර]
දෙවිගේ වචනය මෙසේ අනතුරු අඟවයි. “නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වන්නේය”