ඔබ යේසුස්වහන්සේට යාච්ඤා කළ යුතුද?
යේසුස්වහන්සේට යාච්ඤා කිරීම සුදුසු යයි ඇතැම්හු සලකති. ජර්මනියේ බොහෝදෙනෙකුට ළමා වියේදී උගන්වනු ලැබ ඇත්තේ, තමන් ආහාර ගැනීමට පෙර, තම දෑත් නමා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ස්තුති කළ යුතු බවය.
බයිබලයට අනුව, ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේ ස්වර්ගයේ ඉතා උසස් තත්ත්වයක් හොබවනසේක. කෙසේවෙතත්, මින් අදහස් කරන්නේ, අප උන්වහන්සේට යාච්ඤා කළ යුතු බවද? යේසුස්වහන්සේට ඇති ප්‍රේමය නිසා, තම යාච්ඤා උන්වහන්සේට යොමු කරන අය අතර ඔබත් සිටිනවා විය හැක, නමුත් එවන් යාච්ඤා සම්බන්ධව යේසුස්වහන්සේම සිතන්නේ කුමක්ද?
පළමුකොටම, මෙම ප්‍රශ්න පවා පැනනගින්නේ ඇයි? මන්දයත්, යෙහෝවඃ දෙවියන්වහන්සේ වනාහි “යාච්ඤා අසන තැනැන්වහන්සේ” බව බයිබලය පවසන බැවිනි. එසේනම්, ඉශ්‍රායෙලිතයන් වැනි, ඉපැරණි කාලවල විසූ දෙවියන්වහන්සේගේ සේවකයන්, සර්වබලධාරී යෙහෝවඃ දෙවියන්වහන්සේට පමණක් යාච්ඤා කිරීම පුදුමයට කරුණක් නොවේ.—ගීතාවලිය 5:1, 2; 65:2.
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ මිනිස්වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගළවාගැනීම සඳහා පොළොවට පැමිණි විට, දේවල් වෙනස් වූවාද? නැත, තවමත් යාච්ඤා යොමු කරනු ලැබුවේ යෙහෝවඃවහන්සේටය. යේසුස්වහන්සේ පොළොව මතදී තම ස්වර්ගීය පියාණන්ට නිතර නිතර යාච්ඤා ඔප්පු කළ සේක, තවද උන්වහන්සේ අන්‍යයන්ට ඉගැන්වූයේ එසේම කරන ලෙසටයි. ලෝකයේ යාච්ඤා අතරින් ඉතා හොඳින්ම ප්‍රසිද්ධ වී ඇති යාච්ඤාවක් වන, ඇතැම් විට ස්වාමීන්ගේ යාච්ඤාව හෙවත් පරමණ්ඩල යාච්ඤාව නමැති ආදර්ශ යාච්ඤාව ගැන මඳක් සිතා බලන්න. යේසුස්වහන්සේ තමන්ටම යාච්ඤා කරන මෙන් අපට උගන්වා නැත; උන්වහන්සේ අපට මෙම ආදර්ශය දුන්සේක: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.”—මතෙව් 6:6, 9; 26:39, 42.
ඇත්තටම යාච්ඤාව කියන්නේ කුමක්ද කියා හොඳින් පරීක්ෂා කර බැලීම මගින් අපි දැන් මෙම විෂය ගැන තවදුරටත් සොයා බලමු.
යාච්ඤාවක් යනු කුමක්ද?
සෑම යාච්ඤාවක්ම නමස්කාරයේ ආකාරයක්ය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ ප්‍රකාශ කරමින් මෙය සහතික කරයි: “යාච්ඤාව යනු, පුද්ගලයෙක් තම භක්තිය, ස්තුති කිරීම්, පව්කමාව දීම, පාපොච්චාරණය හෝ දෙවියන්වහන්සේට කරන කන්නලව් ඔප්පු කරන නමස්කාරයේ ආකාරයකි.”
එක් අවස්ථාවකදී, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේ.” නමස්කාරය—එනිසා යාච්ඤාද—තම පියවූ යෙහෝවඃ දෙවියන්වහන්සේට පමණක් ඔප්පු කරනු ලැබිය යුතු බවට වූ මූලික සත්‍යයට යේසුස්වහන්සේ අනුකූලවූසේක.—ලූක් 4:8; 6:12.
අපගේ යාච්ඤාවලදී යේසුස්වහන්සේව පිළිගැනීම
මිනිස්වර්ගයා වෙනුවෙන් මිදීමේ මිල පූජාවක් ලෙස මියගිය යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් නැවත නැගිටවනු ලැබ, උසස් තත්ත්වයකට උසස් කරනු ලැබූසේක. ඔබද කල්පනා කළ හැකි පරිදි, මේ සියල්ලම, පිළිගත හැකි යාච්ඤා සම්බන්ධව වෙනසක් ඇත්තටම සිදු කළේය. කුමන ආකාරයෙන්ද?
යේසුස්වහන්සේ යාච්ඤා මත හොබවන ඉමහත් බලපෑම ගැන පහත දැක්වෙන පරිදි ප්‍රේරිත පාවුල් විස්තර කරයි: “එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.”—පිලිප්පි 2:9-11.
“සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්” යන වචනවලින්, අප යේසුස්වහන්සේට යාච්ඤා කළ යුතුය කියා අදහස් කරනවාද? නැත. “මෙම නාමය, ඒ මත දණ නමන්නන්ව යම් සේ එක්සත් කරයිද, ඒ මත නමස්කාරයේ යෙදෙන්නන්ව යම් සේ එක්සත් (πᾶν γʹονυ) කරයිද, මිට සම්බන්ධ ග්‍රීක් යෙදුමෙන් අඟවන්නේ ඒ නාමයයි. යේසුස්වහන්සේට ලැබී තිබෙන නාමය එක්සත් භක්ත්‍යාදරය පිදීමට සියල්ලන්වම පොලඹවයි.” (ජී. බී. වයිනර් විසින් රචිත, ඒ ග්‍රැමර් ඔෆ් ද ඉඩියම් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්) ඇත්තෙන්ම, යාච්ඤාවක් පිළිගනු ලැබීමට නම්, එය “යේසුස්වහන්සේගේ නාමයෙන්” පුද කරනු ලැබිය යුතුය, එසේ නමුත්, එය යෙහෝවඃ දෙවියන්වහන්සේව ඇමතිය යුතු අතර, උන්වහන්සේගේ මහිමයට හේතු වේ. මේ හේතුව නිසා, පාවුල් මෙසේ කියයි: “සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා.”—පිලිප්පි 4:6.
යම් මාර්ගයක් යම් ඉලක්කයකට හෙවත් ගමනාන්තයකට මඟ පාදන්නාක් මෙන්, සර්වබලධාරී දෙවියන්වහන්සේ වෙතට මඟ පෙන්වන “මාර්ගය” යේසුස්වහන්සේය. “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත කියා යේසුස්වහන්සේ සිය ප්‍රේරිතවරුන්ට ඉගැන්වූසේක.” (යොහන් 14:6) මෙසේ, අප අපගේ යාච්ඤා යොමු කළ යුත්තේ යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට මිස, යේසුස්වහන්සේට නොවේ.a
‘එහෙත්, ශ්‍රාවක ස්තේපන් සහ ප්‍රේරිත යොහන් යන දෙදෙනාම ස්වර්ගයේ යේසුස්වහන්සේට කථා කළ බව බයිබලය වාර්තා කරන්නේ නැද්ද?’ යනුවෙන් ඇතැමෙකු අසනවා විය හැක. එය සැබෑවකි. කෙසේවෙතත්, ස්තේපන් සහ යොහන් වෙන වෙනම යේසුස්වහන්සේව දර්ශනයකදී දැක, කෙළින්ම කථා කළ බැවින්, මෙම සිද්ධීන්වලදී යාච්ඤා කිරීමක් සිදුවූයේ නැත. (ක්‍රියා 7:56, 59, NW; එළිදරව් 1:17-19; 22:20) දෙවියන්වහන්සේට පවා නිකම්ම කථා කිරීම යාච්ඤාවක් නොවන බව මතකයේ තබාගන්න. ආදම් සහ ඒව, ඒදන් උයනේදී පව් කළ පසු දෙවියන්වහන්සේ ඔවුන්ව විනිශ්චය කළ විට, ඔවුහු තම මහත් පාපයට නිදහසට කරුණු ඉදිරිපත් කරමින්, දෙවියන්වහන්සේට කථා කළෝය. ඔවුන් උන්වහන්සේට එම අන්දමින් කථා කිරීම, කිසිදු අන්දමක යාච්ඤාවක් වූයේ නැත. (උත්පත්ති 3:8-19) මෙබැවින්, ස්තේපන් හෝ යොහන් යේසුස්වහන්සේට කථා කිරීම, අප ඇත්තෙන්ම උන්වහන්සේට යාච්ඤා කළ යුතු බව ඔප්පු කිරීමට කරුණක් සේ යොදාගැනීම වැරදිය.
යේසුස්වහන්සේගේ නාමයෙන් ‘හඬගසනු ලබන්නේ’ කෙසේද?
යේසුස්වහන්සේට යාච්ඤා කිරීම සුදුසු යයි තවමත් සිතමින්, ඔබ මේ ගැන තවමත් සැක පහළ කරන්නෙහිද? එක් කාන්තාවක්, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයකට මෙසේ ලීවාය: “පළමු ක්‍රිස්තියානීන් යේසුස්වහන්සේට යාච්ඤා කළේ නැතැයි මට තවමත් ඒත්තු ගොස් නැතිවීම කනගාටුවට කරුණකි.” ප්‍රේරිත පාවුල් විසින්, “අපගෙත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ [හඬගසන්නාවූ, NW] සියල්ලන්” යනුවෙන් සඳහන් කළ 1 කොරින්ති 1:2හි ඔහුගේ වචන ඇගේ මනසේ තිබිණි. කෙසේවෙතත්, “හඬගසන්නාවූ” යන ප්‍රකාශයට, යාච්ඤා කරනවාට වඩා වෙනත් දේවල්, ප්රාරම්භක භාෂාව තුළ අදහස් කළ හැකි බව යමෙක් සැලකිල්ලට ගත යුතුය.
ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සියලු තැන්වල ‘හඬගසනු ලැබුවේ’ කෙසේද? එක් ආකාරයක් වූයේ, නසරීය යේසුස්වහන්සේගේ අනුගාමිකයන්, උන්වහන්සේගේ නාමයෙන් බොහෝ ආශ්චර්යවත් ක්‍රියා කරමින්, උන්වහන්සේ මෙසියස්වහන්සේ බවටත්, “ලෝකයාගේ ගැළවුම්කාරයා” බවටත් ප්‍රසිද්ධියේ පිළිගැනීමය. (1 යොහන් 4:14; ක්‍රියා 3:6; 19:5) එබැවින්, “අපගේ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් හඬගැසීම [යන යෙදුමෙන්] . . . අදහස් කරන්නේ, උන්වහන්සේට යාච්ඤා කරනවාට වඩා, උන්වහන්සේගේ ස්වාමීත්වය පිළිගැනීමයි” යනුවෙන් දි ඉන්ටර්ප්රිටර්ස් බයිබල් සඳහන් කරයි.
ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීම සහ පව්වලට සමාව දීමට හැකි කරවන, උන්වහන්සේගේ වැගිරෙවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල දැක්වීමද, ‘අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් හඬගැසීමට’ ඇතුළත් වේ. (ක්‍රියා 10:43 සමඟ ක්‍රියා 22:16 සසඳන්න.) තවද අපි යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට යාච්ඤා කරන ඕනෑම අවස්ථාවක යේසුස්වහන්සේගේ නාමය ඒ අයුරින්ම පවසන්නෙමු. එසේනම්, අප යේසුස්වහන්සේගේ නාමයෙන් හඬගසන බව පෙන්වන අතරේදී, අප උන්වහන්සේට යාච්ඤා කළ යුතු බවක් බයිබලය අඟවන්නේ නැත.—එපීස 5:20; කොලොස්සි 3:17.
අප උදෙසා යේසුස්වහන්සේට කළ හැකි දෙය
යේසුස්වහන්සේ පැහැදිලි ලෙස තම ගෝලයන්ට මෙසේ පොරොන්දු වූසේක: “නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, . . . මම ඒක ඉෂ්ටකරන්නෙමි.” උන්වහන්සේට යාච්ඤා කළ යුතු බවක් මින් අවශ්‍ය කරයිද? නැත. ඉල්ලා සිටීම යොමු කර තිබෙන්නේ, යෙහෝවඃ දෙවියන්වහන්සේටය—නමුත් යේසුස්වහන්සේගේ නාමයෙනි. (යොහන් 14:13, 14; 15:16) දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්සේ, සිය මහත් බලය සහ අධිකාරය අප වෙනුවෙන් අදාළ කරවන මෙන් අපි දෙවියන්වහන්සේට කන්නලව් කරන්නෙමු.
යේසුස්වහන්සේ අදදින සිය සැබෑ අනුගාමිකයන්ට තොරතුරු දැනුම් දෙන්නේ කෙසේද? අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව පිළිබඳ පාවුල්ගේ විස්තරය, උපහැරණයක් ලෙස ගත හැක. ඔහු එය ශරීරයකටද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එහි හිසටද සන්සන්දනය කළේය. මෙම “හිස,” ආත්මික ශරීරයේ සාමාජිකයන්ට ඒවායේ අවශ්‍යතා, “පුරුක් සහ නහර” මගින් සපයනු ලැබේ, නැතහොත් ආත්මික පෝෂණය හා මඟ පෙන්වීම ලබාදෙන ක්‍රම හා විධිවිධාන සිය සභාවට සපයනු ලැබේ. (කොලොස්සි 2:19) මේ හා සමානාකාරයෙන්, අදදින යේසුස්වහන්සේ, සභාවේ පෙරමුණ ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි කිරීම් කිරීමටත්, “මනුෂ්‍යයන් තුළ දීමනා” [NW] හෙවත් ආත්මිකව සුදුසුකම් ලත් පුරුෂයන්, යොදාගන්නාසේක. යේසුස්වහන්සේ සමඟ කෙළින්ම කථා කිරීමට හෝ උන්වහන්සේට යාච්ඤා කිරීමට සභාවේ සාමාජිකයන් සඳහා අවකාශයක් නැති, නමුත්, සහතිකවම ඔවුන් යේසුස්වහන්සේගේ පියාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේට යාච්ඤා කළ යුතුය.—එපීස 4:8-13.
ඔබ යේසුස්වහන්සේට ගෞරව කරන්නේ කෙසේද?
මිනිසුන්ගේ ගැළවීම සම්බන්ධව බැලූ කල, යේසුස්වහන්සේ ඉටු කරන කාර්යභාරය මොනතරම්ද! ප්‍රේරිත පේතෘස් හඬ නගා මෙසේ ප්‍රකාශ කළේය: “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය.” (ක්‍රියා 4:12) ඔබ යේසුස්වහන්සේගේ නාමයේ වැදගත්කම ගැන සාවධානව සිටින්නෙහිද?
අප විසින් යේසුස්වහන්සේට පෞද්ගලික යාච්ඤා යොමු නොකිරීමෙන්, අප යේසුස්වහන්සේගේ තත්ත්වයට අගෞරව කරනවා නොවේ. ඒ වෙනුවට, අප යේසුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන විට යේසුස්වහන්සේට ගෞරව කරනු ලැබේ. තවද දරුවන් කීකරු වීම මගින් තම දෙමාපියන්ට ගෞරව කරනවාක් මෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙන්, විශේෂයෙන්ම එකිනෙකාට ප්‍රේම කරන ලෙසට දුන් නව ආඥාවට කීකරු වීමෙන්, අපි උන්වහන්සේට ගෞරව කරන්නෙමු.—යොහන් 5:23; 13:34.
පිළිගත හැකි යාච්ඤා
පිළිගත හැකි යාච්ඤා ඔප්පු කිරීමට ඔබ කැමතිද? එසේනම්, ඒවා යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙතට යොමු කරන්න, තවද උන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්සේගේ නාමයෙන් එසේ කරන්න. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට පැමිණෙන්න, තවද ඔබගේ යාච්ඤා තුළ එම අවබෝධය පිළිබිඹු කරන්න. (1 යොහන් 3:21, 22; 5:14) ගීතාවලිය 66:20හි වචනවලින් ශක්තිය ඇදගන්න: “මාගේ යාච්ඤාවද, මා කෙරෙන් තමන් [ප්‍රේමනීය, NW] කරුණාවද පහ නොකළාවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.”
අප දැක ඇත්තාක් මෙන්, යාච්ඤා යනු මුළුමනින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේට පමණක් අයත් වූ නමස්කාරයේ ආකාරයක්ය. අපගේ සියලු යාච්ඤා දෙවියන්වහන්සේට ඔප්පු කිරීම මගින්, අප අඟවන්නේ, මෙසේ යාච්ඤා කරන ලෙසට යේසුස්වහන්සේ කියා දුන් දෙය අප හෘදයට ගෙන ඇති බවයි. එනම්: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි.”—මතෙව් 6:9.
[පාදසටහන්වල]
a ඇතැම් අය, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ යයි විශ්වාස කරන නිසා, යේසුස්වහන්සේට යාච්ඤා ඔප්පු කරනවා විය හැක. එහෙත්, යේසුස්වහන්සේ වනාහි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූසේක, තවද යේසුස්වහන්සේම සිය පියාණන් වන යෙහෝවඃවහන්සේට නමස්කාර කළසේක. (යොහන් 20:17) මෙම විෂය පිළිබඳව විස්තරාත්මක සාකච්ඡාවක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්. මගින් ප්‍රකාශිත ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? බලන්න.