යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව
“මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටි[යි].”—හෙබ්‍රෙව් 8:2.
1. දෙවියන්වහන්සේ පව්කාර මිනිස්වර්ගයා උදෙසා කළ ප්‍රේමනීය සැපයුම කුමක්ද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ, මිනිස්වර්ගයා වෙනුවෙන් දැක්වූ ඉමහත් ප්‍රේමය කරණකොටගෙන, ලෝකයෙන් පව් දුරු කිරීමට පූජාවක් සැපයූසේක. (යොහන් 1:29; 3:16) ඒ සඳහා, ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්ගේ ජීවිතය ස්වර්ගයේ සිට මරියා නමැති යුදෙව් කන්‍යාවකගේ ගර්භාශයට මාරු කිරීම අවශ්‍ය විය. ඇය පිළිසිඳ ගන්නාවූ දරුවා “ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබන” බව යෙහෝවඃවහන්සේගේ දූතයා මරියාට හොඳින් පැහැදිලි කළේය. (ලූක් 1:34, 35) යේසුස්වහන්සේව පිළිසිඳ ගනු ලැබූ ආශ්චර්යවත් අන්දම, මරියා හා විවාහ ගිවිසගෙන සිටි යෝසෙප්ට පවසනු ලැබූ අතර, මේ තැනැත්තා “තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළව[න]” බව හේ ඉගෙනගත්තේය.—මතෙව් 1:20, 21.
2. යේසුස්වහන්සේට අවුරුදු 30ක් පමණ වූ විට, උන්වහන්සේ කළේ කුමක්ද, තවද ඒ මන්ද?
2 යේසුස්වහන්සේ වැඩෙද්දී, සිය ආශ්චර්යවත් උපත පිළිබඳ මේ කාරණා තේරුම්ගත්තා විය යුතුය. තමන්ට පොළොව මත ජීවිත ගළවන කාර්යයක් කිරීමට සිය ස්වර්ගික පියාණන් අදහස් කළ බව උන්වහන්සේ දැන සිටිසේක. එබැවින් අවුරුදු 30ක් වයසැති පරිණත මිනිසෙකු ලෙස, යොර්දාන් ගඟෙහි බව්තීස්ම වීම සඳහා යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ වූ යොහන් වෙතට පැමිණිසේක.—මාර්ක් 1:9; ලූක් 3:23.
3. (අ) “ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී,” යන වදන්වලින් යේසුස්වහන්සේ අදහස් කළේ කුමක්ද? (ආ) සිය ගෝලයන් වීමට කැමති සියලුදෙනා සඳහාම යේසුස්වහන්සේ තැබුවේ කවර විශිෂ්ට ආදර්ශයද?
3 තමන් බව්තීස්ම වූ අවස්ථාවේදී යේසුස්වහන්සේ යාච්ඤා කරමින් සිටිසේක. (ලූක් 3:21) පසුව ප්‍රේරිත පාවුල් විසින් අඟවනු ලැබූ පරිදි, තම ජීවිතයෙහි මෙම අවස්ථාවේ පටන්, උන්වහන්සේ ගීතාවලිය 40:6-8හි වදන් ඉටු කළ බව පැහැදිලිය: “ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක.” (හෙබ්‍රෙව් 10:5) දෙවියන්වහන්සේ යෙරුසලමේ දේවමාළිගාවේ සත්ව පූජා දිගටම ඔප්පු කිරීමට ‘කැමති නොවූ’ බවට කාරණය තමන් තේරුම්ගත් බව යේසුස්වහන්සේ මෙනයින් පෙන්නුම් කළසේක. ඒ වෙනුවට, පූජාවක් වශයෙන් ඔප්පු කිරීමට, තමන්වහන්සේ එනම් යේසුස්වහන්සේ සඳහා දෙවියන්වහන්සේ පරිපූර්ණ මිනිස් සිරුරක් සූදානම් කර තිබූ බව උන්වහන්සේ වටහාගත්සේක. තවදුරටත් සත්ව පූජා සඳහා ඇති අවශ්‍යතාව මින් තුරන් කරනු ලබනවා ඇත. දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත්වීම සඳහා තිබෙන සිය හෘද පූර්ණ ආශාව පෙන්වමින්, යේසුස්වහන්සේ දිගටම මෙසේ යාච්ඤා කළසේක: “දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමි.” (හෙබ්‍රෙව් 10:7) පසුව සිය ගෝලයන් වනු ඇති සියල්ලන් සඳහා, ධෛර්යය හා පරාර්ථකාමී භක්තිය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ එදා තැබුවේ කෙතරම් විශිෂ්ට ආදර්ශයක්ද!—මාර්ක් 8:34.
4. යේසුස්වහන්සේ තමන්ව ඔප්පු කිරීම සම්බන්ධව දෙවියන්වහන්සේ ස්වකීය අනුමැතිය පෙන්නුම් කළේ කෙසේද?
4 යේසුස්වහන්සේ බව්තීස්මයේදී ඉදිරිපත් කළ යාච්ඤාවට දෙවියන්වහන්සේ අනුමැතිය දැක්වූසේක්ද? අපට පිළිතුර දීමට යේසුස්වහන්සේගේ තෝරාගත් ප්රේරිතයෙකුට ඉඩ දෙමු: “යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.”—මතෙව් 3:16, 17; ලූක් 3:21, 22.
5. සැබෑ දේවමාළිගා පූජාසනය පිළිබිඹු කළේ කුමක්ද?
5 පූජාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද යේසුස්වහන්සේගේ ශරීරය දෙවියන්වහන්සේ පිළිගැනීමෙන් අදහස් කළේ, ආත්මික අර්ථයකින්, යෙරුසලමේ දේවමාළිගාවෙහි තිබුණු එකට වඩා ශ්‍රේෂ්ඨ පූජාසනයක් පෙරටුවට පැමිණි බවය. පූජා කිරීම සඳහා සතුන් ඉදිරිපත් කරනු ලැබූ සැබෑ පූජාසනය, පූජාවක් වශයෙන් යේසුස්වහන්සේගේ මිනිස් ජීවිතය පිළිගැනීමට වූ දෙවියන්වහන්සේගේ “කැමැත්ත” නොහොත් විධිවිධානය වූ එම ආත්මික පූජාසනය පූර්වාදර්ශනය කළේය. (හෙබ්‍රෙව් 10:10) සෙසු කිතු බැතිමතුන්ට මෙසේ ලිවීමට ප්‍රේරිත පාවුල්ට හැකි වූයේ එනිසාය: “අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට [නොහොත්, දේවමාළිගාවට] සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.” (හෙබ්‍රෙව් 13:10) වෙනත් වචනවලින් කිවහොත්, යුදෙව් පූජකයන් බහුතරයක් ප්‍රතික්ෂේප කළ, වඩාත් උතුම් පව් සමා කරන පූජාවකින් සැබෑ ක්‍රිස්තියානීහු ප්‍රයෝජන ලබති.
6. (අ) යේසුස්වහන්සේ බව්තීස්ම වූ අවස්ථාවේදී පෙරටුවට පැමිණියේ කුමක්ද? (ආ) මෙසියස් නොහොත් ක්‍රිස්තුස් යන පදවි නාමයේ අර්ථය කුමක්ද?
6 යේසුස්වහන්සේව ශුද්ධාත්මයෙන් අභිෂේක කිරීමෙන් අදහස් වූයේ, දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සම්පූර්ණ ආත්මික දේවමාළිගා විධිවිධානය දියත් කර තිබූ බවය, එහිදී යේසුස්වහන්සේ උත්තම පූජකයා ලෙස සේවය කරනසේක. (ක්‍රියා 10:38; හෙබ්‍රෙව් 5:5) එම අතිවැදගත් සිද්ධිය වූ වර්ෂය, “තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්[ද]” බව පැහැදිලිව දැක්වීමට ශ්‍රාවක ලූක් දේවානුභාවය ලැබීය. (ලූක් 3:1-3) මෙය පො.යු. 29ට අනුරූප වන්නේය—යෙරුසලමේ පවුරු යළි ගොඩනැංවීමට අර්තක්ෂස්තා රජු ආඥාව දුන් කාලයේ පටන්, හරියටම වර්ෂ සති 69ක් නොහොත් වර්ෂ 483ක් ගත වී තිබිණ. (නෙහෙමියා 2:1, 5-8) අනාගතවාක්යයට අනුව, “අධිපතියාවූ ආලේපලත් තැනැත්තා” එම නිශ්චිත වර්ෂයේදී පැමිණෙනු ඇත. (දානියෙල් 9:25) බොහෝ යුදෙව්වන් මේ ගැන අවබෝධයෙන් සිටි බව පැහැදිලිය. “අභිෂේක ලත් තැනැත්තා” යන එකම අර්ථය තිබෙන හෙබ්‍රෙව් හා ග්‍රීක වචනවලින් පැමිණෙන පදවි නාම වන මෙසියස් නොහොත් ක්‍රිස්තුස්ගේ පැමිණීම සම්බන්ධයෙන් “සෙනග බලාපොරොත්තුවෙන් සිටි” බව ලූක් වාර්තා කරයි.—ලූක් 3:15.
7. (අ) දෙවියන්වහන්සේ “අති ශුද්ධස්ථානය” ආලේප කළේ කවදාද, තවද මින් අදහස් කළේ කුමක්ද? (ආ) යේසුස්වහන්සේ බව්තීස්ම වූ අවස්ථාවේ තවදුරටත් කුමක් සිදුවීද?
7 යේසුස්වහන්සේව බව්තීස්ම කරනු ලැබූ අවස්ථාවේ, දෙවියන්වහන්සේගේ ස්වර්ගික වාසස්ථානය, මහත් ආත්මික දේවමාළිගා විධිවිධානයෙහි “අති ශුද්ධස්ථානය” වශයෙන් ආලේප කරන ලදි, නොහොත් වෙන් කරන ලදි. (දානියෙල් 9:24) “මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද . . . සැබෑවූ මණ්ඩප[ය]” ක්‍රියාත්මක වීමට පටන්ගැනිණ. (හෙබ්‍රෙව් 8:2) එමෙන්ම, මනුෂ්‍යයෙකු වූ යේසුස්වහන්සේ, ජලයෙන් හා ශුද්ධාත්මයෙන් වූ සිය බව්තීස්මය කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයෙකු වශයෙන් නැවත උත්පාදනය කරනු ලැබූසේක. (යොහන් 3:3, සසඳන්න.) යථා කාලයේදී දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ව ස්වර්ගික ජීවිතයකට කැඳවන බව මින් අදහස් කළ අතර, එහිදී උන්වහන්සේ “මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම” රජු හා උත්තම පූජකයා ලෙස සිය පියාණන්ගේ දකුණු පැත්තෙහි සේවය කරනු ඇත.—හෙබ්‍රෙව් 6:20; ගීතාවලිය 110:1, 4.
ස්වර්ගික අතිශුද්ධස්ථානය
8. ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ සිංහාසනයට එවිට සම්බන්ධ කර තිබූ අලුත් අංග කවරේද?
8 යේසුස්වහන්සේ බව්තීස්ම වූ දිනයේදී, දෙවියන්වහන්සේගේ ස්වර්ගික සිංහාසනයට අලුත් අංග බැඳී තිබිණ. ලෝකයේ පාපවලට සමඟිකමක් කිරීම සඳහා පරිපූර්ණ මිනිස් පූජාවක් නියම කිරීමෙන් අවධාරණය කළේ, දෙවියන්වහන්සේගේ ශුද්ධකම හා මිනිසාගේ පව්කාරකම අතර වෙනසය. දෙවියන්වහන්සේ මේ වන විට අනුග්‍රහය නැවත ලබා දීමට නොහොත් විරෝධය මඟහැරීමට කැමැත්තක් දැක්වූ නිසා, ස්වකීය දයාවද කැපීපෙනෙන්ට සලස්වන ලදි. මෙසේ සත්ව රුධිරය සමඟින් උපමේය අන්දමකින් පාපය සඳහා සමඟිකමක් කිරීමට උත්තම පූජකයා අවුරුද්දකට වතාවක් ඇතුල් වූ දේවමාළිගාවේ ඇතුළෙන්ම පිහිටි මැදිරියට, ස්වර්ගයේ පිහිටි දෙවියන්වහන්සේගේ සිංහාසනය සමාන වී තිබිණ.
9. (අ) ශුද්ධස්ථානය හා අතිශුද්ධස්ථානය අතර පිහිටි තිරයෙන් පිළිබිඹු කරනු ලැබුවේ කුමක්ද? (ආ) යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගාවේ තිරය පසු කර ගියේ කෙසේද?
9 ශුද්ධස්ථානය අතිශුද්ධස්ථානයෙන් වෙන් කළ තිරය, යේසුස්වහන්සේගේ මාංසික ශරීරය නියෝජනය කළේය. (හෙබ්‍රෙව් 10:19, 20) යේසුස්වහන්සේ පොළොව මත මිනිසෙකු ලෙස සිටියදී, සිය පියාණන්ගේ අභිමුඛයට පැමිණීමට බාධකය වූයේ එයයි. (1 කොරින්ති 15:50) යේසුස්වහන්සේ මියගිය අවස්ථාවේදී, “දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය.” (මතෙව් 27:51) ස්වර්ගයට ඇතුල්වීමට යේසුස්වහන්සේට බාධකයක් වූ දෙය ඒ අවස්ථාවේදී ඉවත් කර තිබූ බව මින් පුදුමාකාර අන්දමකින් අඟවන ලදි. දින තුනකට පසු, යෙහෝවඃ දෙවියන්වහන්සේ විශිෂ්ට ප්රාතිහාර්යයක් සිදු කළසේක. මාංසයෙන් හා රුධිරයෙන් යුත් මැරෙනසුලු මිනිසෙකු ලෙස නොව, “සදාකාලේටම පවතින” තේජාන්විත ආත්ම ජීවියෙකු ලෙස උන්වහන්සේ යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැඟිටෙවූසේක. (හෙබ්‍රෙව් 7:24) සතළිස් දවසකට පසු, “අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස” යේසුස්වහන්සේ ස්වර්ගයට ඇතුල් වී, සැබෑ ‘අතිශුද්ධස්ථානයට’ ඇතුල් වූසේක.—හෙබ්‍රෙව් 9:24.
10. (අ) යේසුස්වහන්සේ සිය ස්වර්ගික පියාණන්ට තම පූජාවේ අගය ඉදිරිපත් කළ විට සිදු වූයේ කුමක්ද? (ආ) ශුද්ධාත්මයෙන් අභිෂේක කිරීම ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සඳහා අදහස් කළේ කුමක්ද?
10 ලෝකයේ පාප සමඟි කිරීම සඳහා යේසුස්වහන්සේ වැගිරෙවූ රුධිරයේ අගය දෙවියන්වහන්සේ පිළිගත්සේක්ද? ඇත්තෙන්ම උන්වහන්සේ එසේ කළසේක. යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමෙන් හරියටම දින 50කට පසු පෙන්තකොස්ත උත්සව දවසේදී මෙය ඔප්පු විය. යෙරුසලමේ එක්රැස් වී සිටි යේසුස්වහන්සේගේ ගෝලයන් 120දෙනෙකු පිට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය වගුරුවන ලදි. (ක්‍රියා 2:1, 4, 33) ඔවුන්ගේ උත්තම පූජකයා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමානව, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගා විධිවිධානය යටතේ “ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක්” හැටියට සේවය කිරීම සඳහා ඔවුන්ව එවිට අභිෂේක කරන ලදි. (1 පේතෘස් 2:5) තවදුරටත්, නව ජාතියක්, එනම් ආත්මික ඉශ්රායෙල් වන දෙවියන්වහන්සේගේ “ශුද්ධවූ ජාතිය” මෙම අභිෂේක ලත් අයගෙන් සාදන ලදි. මින් මත්තට, යෙරෙමියා 31:31හි වාර්තා වී තිබෙන “අලුත් ගිවිසුම” වැනි ඉශ්රායෙල් පිළිබඳ යහපත් දේවල් හා බැඳි සෑම අනාවැකියක්ම අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවට, “දෙවියන්වහන්සේගේ” සැබෑ “ඉශ්රායෙල්ට” අදාළ වනු ඇත.—1 පේතෘස් 2:9; ගලාති 6:16.
දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගාවේ වෙනත් අංග
11, 12. (අ) යේසුස්වහන්සේ හා සම්බන්ධව පූජක මළුවෙන් පිළිබිඹු කරන ලද්දේ කුමක්ද, තවද සිය අභිෂේක ලත් අනුගාමිකයන් සම්බන්ධයෙන් එය කුමක් වේද? (ආ) ජල භාජනයෙන් පිළිබිඹු වන්නේ කුමක්ද, තවද එය භාවිත කරනු ලබන්නේ කෙසේද?
11 අතිශුද්ධස්ථානය දෙවියන්වහන්සේ සිංහාසනාරූඪ වී සිටින “ස්වර්ගයටම” යොමු දැක්වුවත්, දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගාවේ අන් සියලු අංග පොළොව මත තිබෙන දේවලට සම්බන්ධව පවතී. (හෙබ්‍රෙව් 9:24) යෙරුසලමේ දේවමාළිගාවෙහි, පූජාවන් සඳහා පූජාසනයක් හා පරිශුද්ධ සේවය පිරිනැමීමට පෙර තම ශරීර පිරිසිදු කිරීමට පූජකයන් පාවිච්චි කළ විශාල ජල භාජනයක් සහිත අභ්‍යන්තර පූජක මළුවක් තිබිණ. දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගා විධිවිධානයේදී මේ දේවල් පිළිබිඹු කරන්නේ කුමක්ද?
12 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් ගත් කල, අභ්‍යන්තර පූජක මළුවෙන්, දෙවියන්වහන්සේගේ පරිපූර්ණ මනුෂ්‍ය පුත්‍රයාණන් වශයෙන් උන්වහන්සේගේ පව් රහිත තත්වය පිළිබිඹු කළේය. යේසුස්වහන්සේගේ පූජාව කෙරෙහි ඇදහිල්ල දැක්වීම මගින්, ක්‍රිස්තුස්වහන්සේගේ අභිෂේක ලත් අනුගාමිකයෝ ධර්මිෂ්ඨ අය වශයෙන් අනුග්‍රහ ලබති. මෙසේ, ඔවුන් පව් රහිත තත්වයක සිටින්නාක් මෙන්, දෙවියන්වහන්සේට ඔවුන් සමඟ යුක්තිසහගත ලෙස කටයුතු කළ හැක. (රෝම 5:1; 8:1, 33) මෙබැවින්, ශුද්ධ පූජක තන්ත්රයේ එක් එක් සාමාජිකයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භුක්තිවිඳින, ඔහුට ලබා දී තිබෙන ධර්මිෂ්ඨ මිනිස් තත්වයද මෙම මළුවෙන් පිළිබිඹු කෙරේ. ඒ අතරම, අභිෂේක ලත් ක්‍රිස්තියානීහු තවමත් අසම්පූර්ණ මෙන්ම පව් කිරීමට නැඹුරු තත්වයක සිටිත්. මළුවේ තිබෙන ජල භාජනය, ශුද්ධ පූජක තන්ත්රය ප්‍රගතිශීලීව පවිත්‍ර කිරීමට උත්තම පූජකයා යොදාගන්නා දේවවචනය පිළිබිඹු කරයි. මෙම පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියට යටත්වීමෙන්, දෙවියන්වහන්සේව ගෞරවයට පත් කරන්නාවූද, ස්වකීය නිර්මල නමස්කාරය වෙත පිටත සිටින්නන් ආකර්ෂණය කරන්නාවූද ගෞරවාන්විත ස්ථාවරයක් ඔවුන් ලබා ඇත.—එපීස 5:25, 26; සසඳන්න මලාකී 3:1-3.
ශුද්ධස්ථානය
13, 14. (අ) යේසුස්වහන්සේ හා සිය අභිෂේක ලත් අනුගාමිකයන් සම්බන්ධව, දේවමාළිගාවේ ශුද්ධස්ථානය පිළිබිඹු කරන්නේ කුමක්ද? (ආ) රන් පහන් රුක පිළිබිඹු කරන්නේ කුමක්ද?
13 දේවමාළිගාවේ පළමු මැදිරිය මළුවේ තත්වයට වඩා උසස් තත්වයක් පිළිබිඹු කරයි. පරිපූර්ණ මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් ගත් කල, නැවත ස්වර්ගික ජීවිතයකට පා තැබීමට නියමිත දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයෙකු ලෙස වූ උන්වහන්සේගේ නැවත උත්පාදනය ඉන් පිළිබිඹු කෙරේ. ක්‍රිස්තුස්වහන්සේගේ වගුරුවන ලද රුධිරය කෙරෙහි ඇදහිල්ල නමැති පදනම මත ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබීමෙන් පසු, මෙම අභිෂේක ලත් අනුගාමිකයෝ, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ මෙම විශේෂ ක්‍රියාකාරිත්වයද අද්දකිති. (රෝම 8:14-17) “වතුරෙන්ද [එනම්, ඔවුන්ගේ බව්තීස්මයෙන්ද] ආත්මයාණන්ගෙන්ද” දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් වශයෙන් ඔවුහු “අලුතෙන් උපදි[ති].” එවැන්නන් ලෙස මරණය දක්වා ඔවුන් විශ්වාසවන්තව සිටියොත්, දෙවියන්වහන්සේගේ ආත්ම පුත්‍රයන් වශයෙන් ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටීමක් ලැබීමේ බලාපොරොත්තුව ඔවුන් සතුය.—යොහන් 3:5, 7; එළිදරව් 2:10.
14 භූමික දේවමාළිගාවේ ශුද්ධස්ථානයෙහි සේවය කළ පූජකයන්ව, පිටත සිටි නමස්කාරකයන් විසින් නොදකින ලදි. ඒ හා සමානව, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමේ බලාපොරොත්තුව තිබෙන දෙවියන්වහන්සේට නමස්කාර කරන බහුතරයක් භුක්ති නොවිඳින නැතහොත් මුළුමනින්ම තේරුම් නොගන්නා ආත්මික තත්වයක් අභිෂේක ලත් ක්‍රිස්තියානීහු අද්දකිති. මණ්ඩපයේ රන් පහන් රුක අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඥානාලෝකනය වූ තත්වය පිළිබිඹු කරයි. පහන්වල තිබෙන තෙල් හා සමානව, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය බයිබලය මත ආලෝකය හෙළයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානීහු තමුන් අත් කරගන්නා අවබෝධය තමුන් ළඟ පමණක් තබා නොගනිති. ඒ වෙනුවට, මෙසේ පැවසූ යේසුස්වහන්සේට ඔවුහු කීකරු වෙති: “නුඹලා ලෝකයේ ආලෝකයය. . . . මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.”—මතෙව් 5:14, 16.
15. පිදීමේ රොටි තබන මේසයේ රොටිවලින් පිළිබිඹු කරන්නේ කුමක්ද?
15 මෙම ඥානාලෝකනය වූ තත්වයේ රැඳී සිටීමට නම්, පිදීමේ රොටි තබන මේසයේ රොටිවලින් පිළිබිඹු කරනු ලබන දෙයින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නිතිපතා පෝෂණය ලැබිය යුතුය. ආත්මික ආහාර සඳහා ඔවුන්ගේ ප්‍රධාන මූලාශ්‍රය දෙවියන්වහන්සේගේ වචනය වන අතර, දිනපතා එය කියවීමට හා එමත මෙනෙහි කිරීමට ඔවුහු වෑයම් කරති. සිය “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කරණකොටගෙන ඔවුන්ට “නියම වේලාවට කෑම” සැපයීමටද යේසුස්වහන්සේ පොරොන්දු වූසේක. (මතෙව් 24:45) මෙම “දාසයා” වනාහි, ඕනෑම විශේෂිත කාලයක් තුළ පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් සමස්ත කණ්ඩායම වේ. බයිබල් අනාවැකි ඉටුවීම පිළිබඳ තොරතුරු පළ කිරීමටත්, නවීන දින දෛනික ජීවිතයේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීම සම්බන්ධයෙන් කාලීන මඟ පෙන්වීම සැපයීමටත්, ක්‍රිස්තුස්වහන්සේ මෙම අභිෂේක ලත් සමූහය යොදවා ඇත. මේ නිසා, මෙවන් සියලු ආත්මික සැපයුම් තුළින් අභිෂේක ලත් ක්‍රිස්තියානීහු අගයෙන් යුතුව පෝෂණය ලබති. එහෙත් සිය ආත්මික ජීවිත පවත්වාගෙන යෑම රඳාපවතින්නේ, දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම සිය මනස් හා හෘදයන්වලට ගැනීමට වඩා වැඩි යමක් මතය. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්තකොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.” (යොහන් 4:34) ඒ හා සමානව, දෙවියන්වහන්සේගේ හෙළි කරන ලද කැමැත්ත කිරීමට දෛනිකව යොමුවීමෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීහු තෘප්තිය අද්දකිති.
16. සුවඳ දුම් පූජාසනය ඉදිරියේ සේවය කිරීම පිළිබිඹු කරන්නේ කුමක්ද?
16 උදෑසන මෙන්ම සන්ධ්‍යාවේදී, පූජකයෙක් ශුද්ධස්ථානයේ සුවඳ දුම් පූජාසනයේ දෙවියන්වහන්සේට සුවඳ දුම් ඔප්පු කළේය. ඒ අවස්ථාවේදීම, දෙවියන්වහන්සේගේ දේවමාළිගාවේ පිටත මළුවල සිටගෙන සිටින අතරතුර පූජකයන් නොවූ නමස්කාරකයන් උන්වහන්සේට යාච්ඤා කරනු ඇත. (ලූක් 1:8-10) ‘සුගන්ධ ද්‍රව්‍ය,’ “ශුද්ධවන්තයන්ගේ යාච්ඤා” අදහස් කරන බව බයිබලය පැහැදිලි කරයි. (එළිදරව් 5:8) ගීතිකාකාර දාවිත් මෙසේ ලීවේය: “මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන් . . . පිහිටා ගනීවා.” (ගීතාවලිය 141:2) අභිෂේක ලත් ක්‍රිස්තියානීහුද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් යෙහෝවඃවහන්සේ වෙත යාච්ඤාවෙන් එළඹීමේ සිය වරප්‍රසාදය නිධානයක් සේ සලකති. හෘදයෙන් නික්මෙන උනන්දුමත් යාච්ඤා මිහිරි සුවඳ දුම් හා සමානය. තම තොල් අනුන්ට ඉගැන්වීම සඳහා උපයෝගි කරගනිමින්, අභිෂේක ලත් ක්‍රිස්තියානීහු දෙවියන්වහන්සේට වෙනත් ආකාරවලින්ද ප්‍රශංසා කරති. දුෂ්කරතා හමුවේ ඔවුන්ගේ විඳදරාගැනීම මෙන්ම, පරීක්ෂා යටතේ ඔවුන්ගේ අඛණ්ඩතාව දෙවියන්වහන්සේට විශේෂ සතුටක් ගෙන දෙයි.—1 පේතෘස් 2:20, 21.
17. සමඟි කිරීමේ දවසේ අතිශුද්ධස්ථානයට උත්තම පූජකයා පළමු වතාවේදී ඇතුල්වීමෙන් සපයනු ලබන අනාවැකිමය ආදර්ශයේ ඉටුවීමට සම්බන්ධ වූයේ කුමක්ද?
17 සමඟි කිරීමේ දවසේදී, ඉශ්රායෙල්හි උත්තම පූජකයා, අතිශුද්ධස්ථානයට ඇතුල් වී, ගිනි අඟුරු සහිත රන් ධූප භාජනයක සුගන්ධ ද්‍රව්‍ය දැවිය යුතු විය. ඔහු පාප පූජාවල රුධිරය ගෙන ඒමට පෙර මෙය කළ යුතුව තිබිණ. මෙම අනාවැකිමය ආදර්ශයේ ඉටුවීමක් වශයෙන්, අපේ පාප උදෙසා එකම කල්පවතින පූජාව ලෙස සිය ජීවිතය ඔප්පු කිරීමට පෙර, මනුෂ්‍යයා වූ යේසුස්වහන්සේ යෙහෝවඃ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළුමනින්ම අඛණ්ඩතාව පැවැත්වූසේක. පරිපූර්ණ මිනිසෙකුට සාතන් කවර අන්දමක පීඩනයක් එල්ල කළත්, ඔහුට දෙවියන්වහන්සේ ඉදිරියෙහි අඛණ්ඩතාව පැවැත්විය හැකි බව උන්වහන්සේ මෙනයින් නිරූපණය කළසේක. (හිතෝපදේශ 27:11) පරීක්ෂාවට ලක් කරනු ලැබූ විට, යේසුස්වහන්සේ “බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත[ව]” යාච්ඤාව උපයෝගි කරගත් අතර, “තමන්ගේ දේවභය නිසා උත්තර ලැ[බූසේක.]” (හෙබ්‍රෙව් 5:7) මෙසේ විශ්වයේ ධර්මිෂ්ඨ හා සුදුසු පරමාධිපති වශයෙන් යෙහෝවඃවහන්සේට උන්වහන්සේ ගෞරවය ගෙන දුන්සේක. අමරණීය ස්වර්ගික ජීවිතයක් භුක්තිවිඳීමට යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැඟිටුවීමෙන් දෙවියන්වහන්සේ උන්වහන්සේට විපාක දුන්සේක. මෙම උත්කෘෂ්ට තත්වයේදී, මේ පොළොවට උන්වහන්සේ පැමිණි ද්විතීයික හේතුව වෙත යේසුස්වහන්සේ අවධානය යොමු කරනසේක, එනම්, පසුතැවිලි වූ පව්කාර මිනිසුන් හා දෙවියන්වහන්සේ අතර සමඟිකමක් ඇති කිරීමටය.—හෙබ්‍රෙව් 4:14-16.
දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගාවෙහි වඩාත් ශ්‍රේෂ්ඨ තේජස
18. යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මික දේවමාළිගාව පිටට කැපීපෙනෙන තේජස ගෙනැවිත් තිබෙන්නේ කෙසේද?
18 “මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේයයි” යෙහෝවඃවහන්සේ පුරෝකථනය කළසේක. (හග්ගයි 2:9) අමරණීය රජෙකු හා උත්තම පූජකයෙකු ලෙස යේසුස්වහන්සේව නැවත නැඟිටුවීම මගින්, යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මික දේවමාළිගාව පිටට කැපීපෙනෙන තේජසක් ගෙන දුන්සේක. “තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවී[ම]” ලබා දීමේ තත්වයක යේසුස්වහන්සේ දැන් සිටිනසේක. (හෙබ්‍රෙව් 5:10) එවන් කීකරුකමක් පෙන්වූ පළමු අය වූයේ, පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී, ශුද්ධාත්මය ලැබූ ගෝලයන් 120දෙනාය. ඉශ්රායෙල්හි මෙම ආත්මික පුත්‍රයන්ගේ සංඛ්‍යාව අවසානයේදී 1,44,000ක් වනු ඇති බව එළිදරව් පොතෙහි පුරෝකථනය කෙරිණ. (එළිදරව් 7:4) මියගිය විට, රාජ්‍ය බලයෙන් යුක්තව යේසුස්වහන්සේගේ පැමිණ සිටීම සිදු වන කාලය තෙක් බලා සිටිමින්, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට මිනිස්වර්ගයාගේ පොදු මිනී වළෙහි සිහි නැති තත්වයක සැතපී සිටින්ට සිදු විය. යේසුස්වහන්සේ සිය සතුරන් මැද ආණ්ඩු කිරීම ඇරඹීමට කාලය 1914 බව දානියෙල් 4:10-17, 20-27හි අන්තර්ගත අනාවැකිමය කාලනිර්ණය පැහැදිලි කරයි. (ගීතාවලිය 110:2) දශක ගණනාවක් කල්තියාම, අභිෂේක ලත් ක්‍රිස්තියානීහු එම වර්ෂය පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් බලා සිටියහ. පළමු ලෝක සංග්‍රාමය මෙන්ම මිනිස්වර්ගයා පිට පැමිණි ඒ හා බැඳි දුක් මගින්, යේසුස්වහන්සේ සැබවින්ම රජු වශයෙන් 1914දී සිංහාසනාරූඪ වූ බවට සාක්ෂි සපයන ලදි. (මතෙව් 24:3, 7, 8) ඉන් වැඩි කල් යන්ට මත්තෙන්, “දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ” තිබූ බැවින්, මරණ නින්දේ සැතපී සිටි සිය අභිෂේක ලත් ගෝලයන්ට දුන් මෙම පොරොන්දුව යේසුස්වහන්සේ විසින් ඉටු කරනු ලබනවා ඇත: “මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.”—1 පේතෘස් 4:17; යොහන් 14:3.
19. එක්ලක්ෂ සතළිස් සාරදහස්දෙනාගෙන් යුත් ඉතිරි කොටස ස්වර්ගික අතිශුද්ධස්ථානයට ඇතුල් වන්නේ කෙසේද?
19 ශුද්ධ පූජක තන්ත්රයේ සාමාජිකයන් 1,44,000දෙනාගෙන් සෑමදෙනෙකුවම, අවසන් වරට මුද්‍රා කොට තම ස්වර්ගික නිවසට එක්රැස් කොට නැත. දෙවියන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ සිටීමට ඔවුන්ට බාධකයක් වන ඔවුන්ගේ මාංසික ශරීර වන “තිරය” මගින් ශුද්ධස්ථානයෙන් පිළිබිඹු කරනු ලබන ආත්මික තත්වයෙහි ඔවුන්ගෙන් ඉතිරි කොටසක් තවමත් පොළොව මත ජීවත් වෙති. විශ්වාසවන්තව මෙවන් අය මියයන කල, දැනටමත් ස්වර්ගයේ සිටින 1,44,000ට අයත් සමූහය හා එක්වීමට ඔවුන්ව ක්ෂණිකව අමරණීය ආත්ම ජීවීන් ලෙස නැවත නැඟිටුවනු ලැබේ.—1 කොරින්ති 15:51-53.
20. මේ කාලයේදී, ශුද්ධ පූජක තන්ත්රයේ ඉතිරි අය සිදු කරන අතිවැදගත් කාර්යය කුමක්ද, තවද එහි ප්‍රතිඵල කවරේද?
20 ස්වර්ගයේ සිටින ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා සමඟ සේවය කරන පූජකයන් රැස සමඟින්, දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගාවට අමතර තේජසක් ලැබී තිබේ. මේ අතරතුර, ශුද්ධ පූජක තන්ත්රයේ ඉතිරි කොටස පොළොව මත අතිවැදගත් කාර්යයක් සිදු කරමින් සිටිති. ඔවුන්ගේ දේශනා කිරීම කරණකොටගෙන, හග්ගයි 2:7හි පුරෝකථනය කර තිබෙන පරිදි, දෙවියන්වහන්සේ ස්වකීය විනිශ්චයේ ප්‍රකාශයන් සමඟින්, ‘සියලු ජාතීන් සොලවනසේක.’ ඒ සමඟම, “සියලු ජාතීන් ආශාවෙන දේ” වශයෙන් විස්තර කර තිබෙන නමස්කාරකයන් මිලියන ගණනක්, යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවේ භූමික මළුවලට එක්රොක් වෙමින් සිටිති. නමස්කාරය සඳහා දෙවියන්වහන්සේගේ විධිවිධානයට මෙවන් අය ගැළපෙන්නේ කෙසේද, තවද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව සඳහා අපට අපේක්ෂා කළ හැක්කේ කවර අනාගත තේජසක්ද? මෙම ප්‍රශ්න මීළඟ ලිපියෙහි පරීක්ෂා කරනු ලබනවා ඇත.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ පො.යු. 29දී යේසුස්වහන්සේ තැබූ කැපීපෙනෙන ආදර්ශය කුමක්ද?
◻ පොදු යුගයේ 29දී ක්‍රියාත්මක වීමට පටන්ගත් විධිවිධානය කුමක්ද?
◻ ශුද්ධස්ථානය හා අතිශුද්ධස්ථානය මගින් පිළිබිඹු කරනු ලබන්නේ කුමක්ද?
◻ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව තේජවත් වී ඇත්තේ කෙසේද?
[17වන පිටුවේ පින්තූරය]
පොදු යුගයේ 29දී යේසුස්වහන්සේව ශුද්ධාත්මයෙන් අභිෂේක කරනු ලැබූ විට, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව ක්‍රියාත්මක වීමට පටන්ගති