වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් අතර සමගිය පවත්වා ගැනීම
පොදුයුගයේ 33 පෙන්තකොස්ත දවසට ස්වල්ප කලකට පසු, අලුතෙන් පිහිටුවනු ලැබූ ක්‍රිස්තියානි සභාව තුළ හදිසිතාවක් උද්ගත විණි. අවශ්‍යතා ඇති වැන්දඹුවන්ව රැක බලා ගැනීම සඳහා යම් විධිවිධානයක් ස්ථාපිත කර තිබුණි. එහෙත්, ටික කලකට පසුව, “දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය.”—ක්‍රියා 6:1.
මෙම කෙඳිරිලි ප්‍රේරිතවරුන්ගේ කන්වලට වැටිණි. “එවිට දොළොස්දෙනා ගෝල සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවයකිරීම සුදුසු නැත. එහෙයින්, සහෝදරයෙනි, මේ අනිවාර්ය වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගනිල්ලා.”—ක්‍රියා 6:2, 3.
ක්‍රිස්තියානි සභාව තුළ සංවිධාන වී සිටීම සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිපත්තියක් මින් නිදර්ශනය කෙරේ. යම් යම් පොදු කාරණා සාමාන්‍ය පරිදි කර ගෙන යෑම සඳහා ඇතැම් වගකිවයුතු පුරුෂයන්ව යොදා ගන්නා අතරේදී, තවත් අය වඩාත් බැරෑරුම් ආත්මික කාරණා ගැන සැලකිල්ල යොමු කරති. මේ සඳහා යම් පූර්වාදර්ශ නැතුවා නොවේ. ඉපැරණි ඉශ්‍රායලයේ, ආරොන් සහ ඔහුගෙන් පැවතෙන්නෝ, දෙවියන්වහන්සේට පූජා ඔප්පු කිරීම පිණිස, පූජකයන් ලෙස පත්කරනු ලැබුවෝය. කෙසේවුවද, ලෙවීවරුන්, ‘සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂා කිරීමෙන්’ ඔවුන්ට උදව්විය යුතු යයි යෙහෝවඃවහන්සේ නියෝග කළසේක. (ගණන් කථාව 3:5-10) ඒ හා සමානව, අදදින අවේක්ෂකයන්ට උපස්ථායක සේවකයන් විසින් සහයෝගය දක්වනු ලැබේ.
වැඩිමහල්ලන්ගේ සහ උපස්ථායක සේවකයන්ගේ කාර්ය භාරය
වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් යන දෙකොට්ඨාසයම සඳහා ශුද්ධ ලියවිල්ලේ උසස් සුදුසුකම් ගෙනහැර පා තිබේ. (1 තිමෝති 3:1-10, 12, 13; තීතස් 1:6-9) ඔවුහු තරඟකරුවන් නොවේ, නමුත් එකම ඉලක්කය සඳහා වැඩ කරති—එනම්, සභාව ගොඩනැංවීමයි. (එපීස 4:11-13 සසඳන්න.) කෙසේවෙතත්, සභාව තුළ ඔවුන් කරන වැඩ සම්බන්ධයෙන් යම් වෙනස්කම් තිබේ. පළමුවෙනි පේතෘස් 5:2, 3හි අවේක්ෂකයන්ට මෙසේ පවසා තිබේ: “නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, . . . එය රැකබලාගනිල්ලා.” මෙම පරිශුද්ධ විශ්වාසය රැකගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුහු දෙවියන්වහන්සේට ගණන්දීමක් කරති.—හෙබ්‍රෙව් 13:17.
උපස්ථායක සේවකයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් තම ඉගැන්වීමේ හැකියාවෙන් ඒ තරමටම සුදුසුකම් ලැබ සිටිය යුතු යයි ශුද්ධ ලියවිල්ල ඉල්ලා නොසිටී. ඔවුන්ගේ යුතුකම් වැඩිමහල්ලන්ගේ යුතුකම්වලට වඩා තරමක් වෙනස්ය. පොදු යුගයේ පළමු සියවසේදී, අවධානය යොමුවිය යුතු ද්‍රව්‍යයන්, නිතිපතා සිදුවන, හෝ යාන්ත්‍රික ස්වභාවයකින් යුත් බොහෝ දේවල් තිබූ බවට කිසිම සැකයක් නැති අතර, සමහරවිට, ශුද්ධ ලියවිලි පිටපත් කිරීම සඳහා යම් ද්‍රව්‍ය මිලදී ගැනීම හෝ පිටපත් කිරීමේ කාර්යය පවා මීට ඇතුළත් වුණා විය හැක.
අදදින, උපස්ථායක සේවකයෝ, සභා ගිණුම් සහ බල ප්‍රදේශ ගැන සැලකිල්ල යොමු කිරීම, සඟරා සහ පොත් බෙදා දීම, එමෙන්ම රාජ්‍යය ශාලාව නඩත්තු කර ගැනීම වැනි සභාව තුළම සිදු කෙරෙන වැදගත් වැඩකටයුතු රාශියක් නොකඩවා ඉටු කරමින් සිටිති. හැකියාව ඇති ඇතැම් උපස්ථායක සේවකයන්ව, ඉගැන්වීමේ කටයුතු සඳහා, ඇතැම් විට සභා පොත් පාඩම් පැවැත්වීමට, සේවා රැස්වීමේ කොටස් මෙහෙයවීමට සහ ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කිරීමට යොදා ගත හැක.
වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් සමගියකින් යුතුව එකට වැඩ කරන විට, සභාවේ ආත්මික සහ සංවිධානාත්මක අවශ්‍යතා යන දෙකටම සමබර ආකාරයකින් සැලකිල්ල යොමු වේ. එවිට සභා සමාජිකයන්, ප්‍රීතිමත්ය, ශක්තිමත්ය, එමෙන්ම ආත්මිකව ඵලදායීය. පාවුල් එපීසයේ සිටි ආලේප ලත් අයට ලියූ දේ සිහි කරන්න: “මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයන්ගෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.”—එපීස 4:16, නව අනුවාදය.
වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් ඒ හා සමාන සමගියක්, එනම් එකඟතාවක්, සම්මුතියක්, සහයෝගයක් සහ එක්සත්කමක් ගොඩනංවා ගැනීමට පරිශ්‍රමයක් දැරිය යුතුය. කෙසේවෙතත්, එවැනි සමගියක් ඉබේ පැමිණෙන්නේ නැත. එය වගා කළ යුතුය, පරෙස්සමින් රැක ගත යුතුය.
වැඩිමහල්ලන්ට කළ හැකි දෙය
මෙහිලා හඳුනාගත යුතු වැදගත් පියවරක් නම්, වැඩිමහල්ලෙකු සහ උපස්ථායක සේවකයෙකු අතර ඇති සම්බන්ධය, ස්වාමියෙකු සහ දාසයෙකු අතර හෝ සේවා යෝජකයෙකු හා සේවා නියුක්තියෙකු අතර ඇති සම්බන්ධය මෙන් නොවන බවය. සැබෑ සමගියක් ඇති තැන, වැඩිමහල්ලන් උපස්ථායක සේවකයන් දෙස බලන්නේ ඔවුනුත් තමන් සමඟ දෙවියන්වහන්සේගේ සෙසු සේවකයන් වශයෙනි. (1 කොරින්ති 6:9-10 සසඳන්න.) “එකිනෙකාට ගෞරව පෙන්වීමේදී පෙරමුණ ගන්න” කියා රෝම 12:10, [NW] පවසයි. එමනිසා, වැඩිමහල්ලන්, උපස්ථායක සේවකයන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ට නිසි ගෞරවය නොදී හෝ පහත් ආකාරයෙන් සලකනවා යන ඇඟවීමක් ලබා දීමෙන් වැළකී සිටිය යුතුය. යහපත් දේවලට මුල පිරීම මර්දනය කරනවා වෙනුවට ඔවුහු ඒ සඳහා දිරිගන්වති. උපස්ථායක සේවකයන්ට ගෞරවයෙන් සැලකීම, ඔවුන්ගෙන් හොඳම දේ ලබා ගැනීමට හේතු වන අතර, සභාවේ ඔවුන් කරන වැඩ සතුටින් භුක්ති විඳීමට එය ඔවුන්ට පිටුවහලක් වෙනවා ඇත.
දෙවියන්වහන්සේගේ රැළ රැක බලාගැනීමට තමන්ට දී ඇති බලපැවරුම තුළ උපස්ථායක සේවකයන්ද ඊට ඇතුළත් බව වැඩිමහල්ලන් මතකයේ තබාගත යුතුය. එවැනි වගකිව යුතු පුරුෂයෝ මේරු ක්‍රිස්තියානීන් විය යුතු බව සැබෑවකි. කෙසේවෙතත්, රැළේ වෙනත් අයට මෙන්, ඔවුන්ටද කලින් කලට පෞද්ගලික අවධානය යොමු කිරීම අවශ්‍යය. ඔවුන්ගේ ආත්මික වර්ධනය පිළිබඳව වැඩිමහල්ලන් ඉතා තියුණු උනන්දුවක් දැක්විය යුතුය.
නිදසුනක් වශයෙන්, ප්‍රේරිත පාවුල්ට යෞවන තිමෝතිව මුණ ගැසුණු විට, ඔහු සැණෙකින් තිමෝතිගේ හැකියාව වටහා ගත් අතර, “මෙම මිනිසාව තමා සමඟ ගෙන යෑමට තම ආශාව පළ කළේය.” (ක්‍රියා 16:3, NW) තිමෝති පාවුල්ගේ සංචාරක සහයකයා වශයෙන් සේවය කළ අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අගනා පුහුණුවක් ලබා ගත්තේය. ඇයි, වසර ගණනාවකට පසුව, කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලිවීමට පාවුල්ට හැකි විය: “මේ පිණිස, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවාවූ තිමෝතියස් නුඹලා ළඟට එවමි. මා . . . ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ මාර්ගයන් ඔහු නුඹලාට සිහිකරවනවා ඇත.”—1 කොරින්ති 4:17.
වැඩිමහල්ලෙනි, ඔබගේ සභාවේ සිටින උපස්ථායක සේවකයන්ගෙන් මුළු හැකියාවන් උරාගැනීම ඔබ විසින් ආරම්භ කොට තිබේද? ප්‍රසිද්ධව කථාකිරීමෙහි සහ බයිබල් පර්යේෂණ කිරීමෙහි පෞද්ගලික පුහුණුව දෙමින් දියුණු වීමට ඔබ ඔවුන්ට උපකාර කරන්නෙහිද? එඬේර බැහැදැකීම් සඳහා ඔබ හා කැටුව යෑමට සුදුසුකම් ඇති අයට ඔබ ආරාධනා කර තිබේද? ඔබ ඔවුන් සමඟ ක්ෂේත්‍ර දේව සේවයේ වැඩ කරනවාද? තලෙන්ත පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාවේදී, ස්වාමියා තම විශ්වාසවන්ත සේවකයන්ට මෙසේ කීවේය: “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත.” (මතෙව් 25:23) තමන්ගේ පැවරුම් විනීත අන්දමින් මැනවින් කර ගෙන යන උපස්ථායක සේවකයන්ට ඒ හා සමානව ඔබත් ප්‍රශංසාව සහ ගුණවර්ණනාව නොමසුරුව විදහා පාන්නේද? (හිතෝපදේශ 3:27 සසඳන්න.) එසේ නොකෙරේ නම්, ඔවුන්ගේ වැඩ අගය කරනු නොලබන බවට ඔවුන්ට හැඟී යාවිද?
ඒ හා සමානව, අදහස් හුවමාරුවද එකට වැඩ කරන විට සමගියෙන් යුත් සම්බන්ධතාවකට අතිශයින් වැදගත්ය. (හිතෝපදේශ 15:22 සසඳන්න.) හිතුවක්කාර අන්දමින් හෝ ආවාට ගියාට වැඩ රාජකාරි පැවරීම හෝ ඉවතට ගැනීම කිසිවිටෙකත් නොකළ යුතුයි. යම් සහෝදරයෙකුගේ හැකියාවන් සභාව තුළ හොඳින්ම යොදා ගන්නා ආකාරය ගැන වැඩිමහල්ලන් යාච්ඤා පූර්වකව සාකච්ඡා කළ යුතුයි. (මතෙව් 25:15 සසඳන්න.) සහෝදරයෙකුට යම් පැවරුමක් දෙනු ලබන විට, ඔහුගෙන් හරියටම අපේක්ෂා කරන්නේ මොනවාද යන්න ගැන ඔහුට හොඳින් පහදා දිය යුතුය. “දක්ෂ මඟ පෙන්වීමක් නැති විට, ජනයෝ වැටෙති” යයි හිතෝපදේශ 11:14, [NW] අවවාද කරයි.
තවත් සේවකයෙකු වෙතින් ගිණුම් අංශය, සඟරා අංශය හෝ පොත්පත් අංශය නිකම්ම පවරා ගන්නා මෙන් නිකම්ම පැවසීම හොඳම දෙය නොවේ. ඇතැම් විට මෙම අලුත පැවරුම් ලැබූ සහෝදරයා, පවරා ගන්නේ වැරදි හෝ අසම්පූර්ණ වාර්තා ගොන්නක් විය හැකිය. එය කොතරම් අධෛර්ය කරවනසුලුද! “සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා” කියා 1 කොරින්ති 14:40හි මඟ පෙන්වා තිබේ. සභා ක්‍රියා පිළිවෙත ගැන සහෝදරයන්ව හුරුපුරුදු කරවමින්, තමන් විසින් එවන් ක්‍රියා පිළිවෙත අනුගමනය කරන බවට හොඳ ආදර්ශයක් තබමින් ඔවුන්ව පුහුණු කිරීමෙහිලා වැඩිමහල්ලන් මූලික පියවර ගත යුතුය. නිදසුනක් වශයෙන්, සෑම මාස තුනකට වතාවක් සභා ගිණුම් පරීක්ෂා කරනු වස්, වැඩිමහල්ලන් ඒ සඳහා කටයුතු යෙදිය යුතුය. එවැනි වැදගත් විධිවිධානයක් අතපසු කිරීම, ගැටලුවලට තුඩු දිය හැකි අතර, සංවිධානමය උපදෙස් කෙරෙහි උපස්ථායක සේවකයන් තුළ ඇති ගෞරවය හීන වී යා හැකිය.
එහෙත්, යම් සහෝදරයෙක්, තමන්ට පවරා ඇති නියමිත පැවරුම හැසිරවීමෙහිලා නොසැලකිලි බවක් දක්වනවා නම් කුමක් කළ යුතුද? ඔහුගේ පැවරුමෙන් වහාම ඔහුව ඉවත් කරනවා වෙනුවට, වැඩිමහල්ලන් ඔහු සමඟ කාරණය ගැන කථා කළ යුතුය. සමහරවිට ගැටලුව වන්නේ පුහුණුවේ මදිකම වෙන්නට පුළුවන. එම සහෝදරයාට තම පැවරුම හැසිරවීමට දිගටම දුෂ්කරතාවක් තිබේ නම්, සමහරවිට ඔහුට වෙනත් පැවරුමක් හොඳින් කරගෙන යන්නට හැකිවේවි.
නිහතමානිකම පිළිබිඹු කිරීමෙන්ද සමගිය වැඩි දියුණු කිරීමට වැඩිමහල්ලන්ට හැකිය. “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා” යයි පිලිප්පි 2:3හි ක්‍රිස්තියානීන්ව දිරිගන්වා තිබේ. මේ අනුව, පරිවාරකයෙක්, එක්තරා ආසනයක වාඩිවෙන ලෙසට වැඩිමහල්ලෙකුට මඟ පෙන්වයි නම්, තමා වැඩිමහල්ලෙක් නිසා තමා ඊට කීකරු වීමට අවශ්‍ය නැතැයි තර්ක කරන්නේ නැතිව, එම පරිවාරකයා සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට වැඩිමහල්ලා උත්සුක විය යුතුය. සමහරවිට පරිවාරකයා, ශාලාවේ විවිධ කොටස්වල වාඩි වීමට යන යෝජනාව හුදෙක් අනුගමනය කරමින් සිටිනවා විය හැකි නමුදු, සියල්ලන්ම එසේ කළ යුතුය කියා නීතියක් නොතිබෙන බව ඔහු මතක තබා ගත යුතුය.a උපස්ථායක සේවකයෙකුට පවරා ඇති කාරණා සම්බන්ධ තීරණවලට උඩින් අනවශ්‍ය ලෙස බලය පාමින් ඒවා වෙනස් කිරීමට යෑමෙන් වැඩිමහල්ලෙක් වැළකී සිටිනු ඇත.
උපස්ථායක සේවකයෝ සමගිය සඳහා වැඩ කරමින්
“එමෙන්ම උපස්ථායක සේවකයන් කාරණා බැරෑරුම් ලෙස සලකන අය විය යුතුය” යනුවෙන් ප්‍රේරිත පාවුල් සඳහන් කළේය. (1 තිමෝති 3:8, NW) ඔවුන් තම පැවරුම තම පරිශුද්ධ සේවයේ කොටසක් හැටියට බැරෑරුම් ලෙස සැලකීම, යම් නොඉවසුම් ගතියක් වර්ධනය වීම වැළකීමට මහෝපකාරී වේ. ඔබ උපස්ථායක සේවකයෙකු නම්, ඔබ ඔබගේ වැඩකටයුතු උද්යෝගයෙන් කරනවාද? (රෝම 12:7, 8) ඔබගේ වැඩකටයුතු හැසිරවීමේදී දක්ෂ වීම පිණිස ඔබ ඔබවම දේවලට සාවධානව යොදා ගෙන තිබෙනවාද? ඔබ විශ්වාසවන්ත, රඳා පැවතිය හැකි කෙනෙක්ද? පැවරුම් සම්බන්ධයෙන් ගත් කල, දේවල් කැමැත්තෙන්ම කරනසුලු ස්වභාවයක් ඔබ පෙන්වනවාද? එක් අප්‍රිකානු රටක සිටින උපස්ථායක සේවකයෙක් සභාවේ විවිධ පැවරුම් තුනක් හසුරුවයි. ඔහුගේ ආකල්පය? “ඇත්තෙන්ම, ඉන් අදහස් කරන්නේ තවත් වෙහෙස වී වැඩ කරන එක විතරයි, ඇරත් වෙහෙසකාරි වැඩෙන් කවුරුත් මැරෙන එකක් නෑ” යයි ඔහු පවසයි. ඇත්ත වශයෙන්ම, දේවල් කිරීමට පෞද්ගලිකව ඉදිරිපත් වන අය වැඩියෙන් සන්තෝෂය භක්ති විඳිති.—ක්‍රියා 20:35.
වැඩිමහල්ලන් සමඟ පූර්ණ සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් සමගිය වර්ධනය කරගැනීමට ඔබට බොහෝ දේ කළ හැකිය. “නුඹලාගේ ප්‍රධානියෝ [නුඹලා අතර පෙරමුණ ගන්නෝ, NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා” යයි හෙබ්‍රෙව් 13:17 පවසයි. වැඩිමහල්ලන් අසම්පූර්ණ මිනිසුන් බව සැබෑවකි, තවද ඔවුන්ගේ වැරදි සෙවීම පහසු දෙයක් වන්නට පුළුවන. එහෙත්, විවේචනාත්මක ආකල්පයක් අවිශ්වාසය පෝෂණය කරයි. එයට ඔබගේ ප්‍රීතිය වනසා දැමීමට හැකි අතර, සභාවේ සෙසු අයට අහිතකර ලෙස බලපෑම් කළ හැකිය. එබැවින් ප්‍රේරිත පේතෘස් මෙම අවවාදය දුණි: “එසේම තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙයල්ලා. එසේය, [තමුන්, NW] නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස [මනසින්, NW] යටත්කම පැළඳගනිල්ලා. . . . එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා.”—1 පේතෘස් 5:5, 6.
ඔබට යම් සේවා වරප්‍රසාදයක් නොදී තිබෙන බව ඔබට හැඟේ නම්, එවන් උපදෙසක් විශේෂයෙන්ම උචිතය. සමහරවිට, ඔබ ‘අවේක්ෂකයෙකුගේ නිලයක් සඳහා වීර්ය කරමින්’ සිටිනවා විය හැකි නමුත් ඔබට එවන් පත්වීමක් ලැබී නැතුවා වෙන්නට පුළුවන. (1 තිමෝති 3:1, NW) “බලාසිටීමේ ආකල්පයක්” පවත්වාගැනීමට මනසින් යටත්කම ඔබට පිටුවහලක් විය හැකිය. (විලාප ගී 3:24, NW) වැඩිමහල්ලන් කෙරෙහි අමනාපයක් ඇති කර ගන්නවා වෙනුවට,—එසේ වුවහොත්, ඔබ ඔවුන් සමඟ ඇති හොඳ සම්බන්ධකම හීන කරගන්නවා සහතිකය—ඔබට දියුණු වීමට යම් පැති තිබේ දැයි ඔවුන්ගෙන් අසන්න. උපදෙස් පිළිගෙන ඒවා අදාළ කරගැනීමට ඔබ දක්වන අව්‍යාජ කැමැත්ත ආත්මික වර්ධනයේ සාක්ෂියක් බව පෙනීයනවා නිසැකය.
යම් උපස්ථායක සේවකයෙකුට විශේෂ හැකියාවන් හෝ අධ්‍යාපනයේ සහ සමාජයේ යම් වාසිදායක තත්ත්වයක් තිබේ නම්, තම සමබරතාව පවත්වා ගැනීමට දේව භක්තික නිහතමානිකම හා විනීතකම ඔහුට රුකුලක් විය හැක. වැඩිමහල්ලන්ට වඩා තමාම කැපී පෙනීමට හෝ තමාගේම හැකියාවන්ට අවධානය යොමු කරවා ගැනීමට ඔහුට ඇති වන පරීක්ෂාව කොතරම්ද! “ප්‍රඥාව විනීත අය සමඟ” බව හිතෝපදේශ 11:2, [NW] අපට සිහිගන්වයි. විනීත සහෝදරයෙක් තමාගේ සීමා ගැන සාවධානව සිටී. පසුබිමේ සිට නිශ්ශබ්දව වැඩ කිරීමට කැමැති වන හේ, වැඩිමහල්ලන්ට රුකුල් දීම සඳහා තමාගේ හැකියාවන් යොදා ගනී. තමාට ලෞකික ආකාරයෙන් බොහෝ දැනුමක් තිබිය හැකි නමුත්, වැඩිමහල්ලන් ප්‍රගුණ කර ගෙන තිබෙනවා විය හැකි ගුණාංග වන ආත්මික ප්‍රඥාව සහ විචාර බුද්ධිය යන වැදගත් ක්ෂේත්රවල ඔහු තවමත් හීනව සිටින බව වටහා ගැනීමටද විනීතකම මහෝපකාරී වෙනවා ඇත.—1 කොරින්ති 1:26–2:13; පිලිප්පි 1:11.
වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් අතිවැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව පැහැදිලිය. සභාවේ සියල්ලන් ගොඩනැංවීම සඳහා ඔවුන්ට එකට එක්වී බොහෝ දේවල් කළ හැකිය. එහෙත් එසේ කිරීමට, “සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, [ආත්මයේ NW] එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා, සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ” කරමින් ඔවුන් සමගියෙන් එකට වැඩ කළ යුතුය.—එපීස 4:2, 3.
[පාදසටහන්වල]
a 1992 අගෝස්තු 15, ද වොච්ටවර් 12 පිටුව බලන්න.
[27වන පිටුවේ පින්තූර]
වැඩිමහල්ලන් උපස්ථායක සේවකයන්ව සලකන්නේ තමන්ට යටත් සේවකයන් ලෙස නොව නමුත් දෙවියන්වහන්සේගේ හවුල් දේව සේවකයන් ලෙසය