දහවන පරිච්ඡේදය
සලකන මැවුම්කරුවෙක් සිටී නම්, ඇයි මෙතරම් දුක් ගාවිනා?
ඔබේ ඔරලෝසුවේ ගෙවී යන සෑම විනාඩියක් පාසාම, බෝවන රෝග හේතුවෙන් මිනිසුන් 30දෙනෙකුට වැඩිය මියයන අතර, 11දෙනෙකු පිළිකාවට හසු වෙනවා. තවත් 9දෙනෙකු හෘදයාබාධවලටද ගොදුරු වෙයි. ඇරත් මේවා මිනිසුන් පීඩා විඳින රෝගවලින් අතළොස්සක් පමණක් බව ඔබ හොඳින්ම දන්නවා. තවත් බොහෝදෙනෙක් වෙනත් හේතූන් මත දුක් විඳ මියයනවා.
වර්ෂ 1996දී විනාඩියක් තුළ දරුවන් 47දෙනෙකු දුප්පත් පවුල්වල උපත ලබන බව ගණනය කරනු ලැබුවා. එය දැක්වීමට නියූ යෝක් නගරයෙහි එක්සත් ජාතීන්ගේ ගොඩනැඟිල්ලක පිළිගැනීමේ ශාලාවේ තිබුණු ඔරලෝසුවක තත්පර කටුව විනාඩියකදී 47 වරක් ගමන් කළා. වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලූ කල, පෘථිවිය භ්‍රමණය වන සෑම අවස්ථාවකම, එහි ජනගහනයෙන් සියයට 20ක්ම නින්දට යන්නේ කුසගින්නෙනි. එමෙන්ම ඔබ ජීවත් වන ප්‍රදේශයෙහි කොපමණ අපරාධ සිදු වෙනවාදැයි ගණනය කරන්න ඔබ වෑයම් කළොත් ඔබට මොන වගේ සංඛ්‍යාවක් ලැබෙයිද?
අප අවට ලෝකය දුක් ගාවිනාවලින් ගහනයි කියන කාරණයට අප මුහුණ දිය යුතුයි.
“හැබැයි අප වටා හැම තැනම හැම මොහොතේම සිදු වන අසාධාරණකම් දෙස අප වැඩිදෙනෙක් බලන්නේ උදාසීනවයි.” එසේ පවසන්නේ හිටපු පොලිස් නිලධාරියෙක්. කෙසේවෙතත්, එම උදාසීන ආකල්පය බොහෝදුරට පවතින්නේ අපේ ජීවිතයට හෝ අප ප්‍රේම කරන කෙනෙකුට යමක් සිදු වන තෙක් පමණයි. නිදසුනක් ලෙස, හැකි නම් මාසාකෝගේ තත්වයට බහින්න. ඇය පිළිකාවෙන් පහර ලැබූ ඇගේ පියා සහ මවට සාත්තු කරමිනුයි සිටියේ. ඔවුන්ගේ බර කෙමෙන් කෙමෙන් අඩු වෙද්දී, වේදනාවෙන් කෙඳිරි ගාද්දී, මාසාකෝට මොනතරම් කලකිරුණු හැඟීමක් දැනෙන්න ඇද්ද! එසේ නැතහොත් අවුරුදු නවයක් වයසැති ආසියානු කෙල්ලක් වන ෂාරාධාට අත් වූ අවාසනාවන්ත ඉරණම සලකා බලන්න. ඇගේ පියා ඇයව රුපියල් 900කට වික්කා. ගමෙන් විදේශීය නගරයකට ගෙන ගිය ඇයට බල කළේ දිනපතාම පුරුෂයන් හයදෙනෙකුගේ කාමුක ආශාවන් සන්සිඳුවන්නයි.
මෙතරම් දුක් ගාවිනා පවතින්නේ මන්ද? මැවුම්කරු එවැනි දේවල් නවතා නොදමන්නේ ඇයි? මෙවැනි දුක් වේදනාවන් පවතින නිසා, බොහෝදෙනෙක් දෙවිව ප්‍රතික්ෂේප කරනවා. ඉහත සඳහන් පොලිස් නිලධාරියාගේ මව උන්මත්තකයෙකුගේ ග්‍රහණයට හසු වුණා. ඒ නිලධාරියා තමා ප්‍රතික්‍රියා කළ ආකාරය මෙසේ පැහැදිලි කරනවා: “සියල්ලටම අධිපති, ප්‍රේමනීය දෙවිකෙනෙකු මේ විශ්වය පාලනය කරනවා කියන අදහස මට කොහෙත්ම පිළිගන්න බැහැ.” ‘ඇයි මේ?’ කියා ඔබත් අසනවා වෙන්න පුළුවන්. ඔව්, මෙවැනි දුක් ගාවිනා පවතින්නේ ඇයි? ඒවාට හේතුව කුමක්ද? තවද මැවුම්කරු ඒ ගැන සැලකිල්ලක් දක්වනවාද?
දුක් ගාවිනාවලට හේතුව පෙර ආත්මයක්ද?
ලොව වටා දශලක්ෂ ගණනාවක් විශ්වාස කරන්නේ දුක් ගාවිනාවලට හේතුව පුද්ගලයෙකුගේ අතීතය කියායි. වර්තමානයේ ඔහු විඳින දුක, පෙර ආත්මයක කළ දේට ලබන දඬුවමක් බවට විශ්වාස කෙරේ. “මනුෂ්‍ය දුක් ගාවිනා කර්මයට ඇති අපේ බැඳීම හේතුවෙන් සිදු වන්නකි. මන්දයත් මෙලොවට බිහිවීමත් සමඟ අප සියලුදෙනාටම අතීත කර්මයක ඉමහත් බරක් ඉසිලීමට සිදු වන බැවිනි.”a එම මතය සෙන් බුදු දහම බටහිර සමාජයෙහි ජනප්‍රිය කිරීමට මුල් වූ දාර්ශනික ඩයිසෙට්ස් ටී. සුසූකි විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මිනිසුන් දුක් ගාවිනා විඳීමට හේතු පැහැදිලි කිරීමට මහත් ආයාසයක් දැරූ හින්දු ඍෂිවරුන් “කර්ම නීතිය” ප්‍රබන්ධ කළා. එනමුත් දුක් ගාවිනා සම්බන්ධයෙන් ඔවුන්ගේ පැහැදිලි කිරීම සාධාරණද එසේ නැතහොත් අපව සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් කරයිද?
එක් බෞද්ධ කාන්තාවක් මෙසේ පැවසුවා: “මගේ පෙර ආත්මයක කරපු දෙයක් වුණත්, මම කොහෙත්ම දන්නේ නැති දෙයකට දුක් විඳින්න සිද්ධ වෙන එක තේරුමක් නැහැයි කියලා මට හිතුණා. නමුත් ඒක මගේ දෛවය කියලා පිළිගන්න මට සිද්ධ වුණා.” දුක් ගාවිනාවලට දී ඇති මෙම පැහැදිලි කිරීමෙන් ඇය සෑහීමට පත් වුණේ නැහැ. ඔබත් සෑහීමට පත් වන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ ජීවත් වන ප්‍රදේශයෙහි පුනරුත්පත්තිය ජනප්‍රිය වුවත් නැතත්, ක්‍රිස්තියානි ලෝකයේ මෙන්ම හැම තැනකම පාහේ දකින්න ලැබෙන ඉගැන්වීමක් ඊට මූලිකව පවතී. එනම් ශරීරයෙන් බැහැරව නොනැසී පවතින අමරණීය ආත්මයක් මනුෂ්‍යයන් තුළ ඇති බවට වූ ඉගැන්වීමයි. මෙම “ආත්මය” එක්කෝ දැන් පවතින ජීවිතයෙහි හෝ මතු ජීවිතයකදී හෝ දුක් ගාවිනාවලට ගොදුරු වෙනවා.
මෙවැනි මතයන් පුළුල්ව පැතිරුණද, ඒවායේ වලංගුතාව ඔප්පු කිරීමට සාක්ෂි ඇද්ද? මේ හා සමාන වැදගත් කාරණාවලදී, අපේ මැවුම්කරු කියන දෙයින් මඟ පෙන්වීමක් ලැබීම වඩාත්ම ප්‍රඥාවන්ත දේ නොවේද? බොහෝ මිනිස් අදහස් උදහස් සහ දැඩි විශ්වාසයන් සාවද්‍ය විය හැකි වුණත්, දෙවි ප්‍රකාශ කරන දේ විශ්වාසවන්ත බව අපට පෙනී ගොස් තිබෙනවා.
කලින් පරිච්ඡේදයේ අප සඳහන් කළ පරිදි, මරණය නමැති ඛේදවාචකයට මිනිසා ඇද වැටුණේ අපේ මුල් දෙමාපියන්ගේ පාපය හේතුවෙනි. මැවුම්කරු ආදම්ට අවවාද කළේ මෙසේයි: ‘පව් කළ හෝ අකීකරු වූ දවසෙහි ඒකාන්තයෙන්ම නුඹ නසින්නෙහිය.’ (උත්පත්ති 2:17; 3:19) ආදම්ට අමරණීය ආත්මයක් තිබෙනවා කියා දෙවි කිසි විටක පැවසුවේ නැහැ. ආදම් මනුෂ්‍යයෙක්ව සිටියා. බයිබලයේ දෘෂ්ටිකෝණයට අනුව ඉන් අදහස් කරන්නේ ඔහු ප්‍රාණයක් වූ බවයි. මේ අනුව, ඔහු මියගිය විට, ආදම් නමැති ප්‍රාණය මියගියා. ඉන්පසුව, ඔහු සචේතනිකව හෝ දුක් විඳිමින් හෝ සිටියේ නැහැ.
කර්මය, නිමක් නැති පුනරුත්පත්තියක් හෝ පසු ආත්මයක දුක් විඳිය හැකි අමරණීය ආත්මයක් පිළිබඳ ඉගැන්වීම් සමඟ අපේ මැවුම්කරු එකඟ වන්නේවත් ඒවාට දිරි දෙන්නේවත් නැහැ. එනමුත් අප, ආදම්ගේ පාපවල බලපෑම් මොනවාදැයි තේරුම්ගත්තොත්, වර්තමානයේ දුක් ගාවිනා පැවතීමට හේතු වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට අපට හැකි වෙයි.
දුක් ගාවිනාවල ප්රභවය කුමක්ද?
මිනිස් දුක් ගාවිනාවල මුළු පරාසයම ග්‍රහණය කරගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවුවද, නිවැරදි මෙවලම උපයෝගි කරගැනීම උපකාරයක් වෙයි. දුරින් පිහිටි වස්තූන් වඩාත් පැහැදිලිව දැකබලා ගැනීමට දූරදර්ශකයක් මහෝපකාරි වන්නා සේම, දුක් ගාවිනාවල හේතුව තේරුම්ගැනීමට බයිබලය උපකාරවත් වෙනවා.
ඇත්තෙන්ම, “කාලයත් හදිසි කාරණාත්” හැම මනුෂ්‍යයෙකු හමුවටම පැමිණෙනවා කියා බයිබලය අපව දැනුවත් කරනවා. (දේශනාකාරයා 9:11) නිදසුනක් හැටියට, එවකට ප්‍රචලිත වූ සිද්ධියක්, එනම් බලකොටුවක් කඩා වැටීම හේතුවෙන් මිනිසුන් 18දෙනෙකුගේ මියයෑම ගැන යේසුස් සඳහන් කළා. ඊට ගොදුරු වූ අය, අනිත් අයට වඩා පාපිෂ්ඨ අය නොවේ කියා ඔහු පැහැදිලි කළා. (ලූක් 13:1-5) ඔවුන්ට එම ඉරණම අත් වුණේ නුසුදුසු අවස්ථාවක නුසුදුසු ස්ථානයක සිටි නිසයි. එනමුත් බයිබලයෙහි පැහැදිලි කිරීම එයින් නතර වන්නේ නැහැ. එය දුක් ගාවිනාවලට ප්‍රධාන හේතුව කුමක්ද යන පැනයට සෑහීම ගෙන දෙන පිළිතුරු සපයයි. කුමන තොරතුරුද?
මුල් මනුෂ්‍ය යුවළ පව් කළ විට, දිගටම ජීවත් වීමේ අයිතිය ඔවුන් අහිමි කරගත් බව දිව්‍ය විනිසුරු වන යෙහෝවා තීන්දු කළා. ආදම් සහ ඒව මැරෙන තුරු සෑහෙන දුක් ගාවිනාවලට ඔවුන් මුහුණ දුන්නා. මහලු වීමේ සහ අසනීප වීමේ ප්‍රතිවිපාක, ජීවිතය ගැටගහ ගැනීමට දැරූ වෙහෙස, තම පවුල ඊර්ෂ්‍යාවෙන් සහ සාහසිකකමින් භේදභින්නව පවතිනවා දැකීමේ ශෝකය යන හැම දුක් ගාවිනාවකටම වගකිව යුතු වූයේ ඔවුන්මයි. (උත්පත්ති 3:16-19; 4:1-12) ඒ දුක් ගාවිනා සියල්ලටම වගකිව යුත්තේ කවුද යන්න සිහියේ තබාගැනීම වැදගත්. ඊට වගකිව යුත්තේ ඔවුන්මයි. කෙසේවෙතත්, අපේ කාලය දක්වා දුක් ගාවිනා පවතින්නේ මන්දැයි තේරුම්ගැනීමට අපට හැක්කේ කෙසේද?
තමන්ව පව්කාරයන්ගේ ගණයට දැමීම සම්බන්ධයෙන් බොහෝදෙනෙක් විරෝධය පළ කළත්, බයිබලය මෙසේ පවසමින් නියම තත්වය හෙළි කරයි: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) මුල් මනුෂ්‍ය යුවළට තම විනාශකාරි ගමන් මාර්ගයෙහි ප්‍රතිවිපාක අත් විඳීමට සිදු වුණා. එනමුත් මෙය ඔවුන්ගේ පැවතෙන්නන්ටද බලපෑවා. (ගලාති 6:7) ඔවුන්ගේ දරු දැරියන්ට අසම්පූර්ණත්වය උරුම වූ අතර, මෙය මරණයට මඟ පෑදුවා. දැන් පවා දරුවන් තම දෙමාපියන්ගෙන් රෝග හෝ වෙනත් දෝෂ උරුම කරගන්නා බවට වූ විද්‍යාත්මක සත්‍යතාව සලකා බලද්දී, ඇතමුන්ට මෙය තේරුම්ගැනීම වඩාත් පහසු වෙනවා. රක්තකාමතාව, තැලසීමියාව (මධ්‍යධරණී රක්ත හීනතාව), කිරීටක ධමනි රෝගය, දියවැඩියා ප්‍රභේදයක් සහ පියයුරු පිළිකාව සම්බන්ධයෙන් පවා මෙය සැබෑවක් විය හැකියි. මීට දරුවන් පෞද්ගලිකව වගකිව යුතු නැති වුණත්, ඔවුන් උරුම කරගෙන ඇති දේ හේතුවෙන් දුක් විඳීමට සිදු වෙනවා.
අපේ පරම්පරාගත මුතුන්මිත්තන් වූ ආදම් සහ ඒව, යෙහෝවා මනුෂ්‍යවර්ගයාව පාලනය කරන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමට තෝරාගත්තා.b පොළොව පාලනය කිරීමට මනුෂ්‍යයා නානාප්‍රකාර ආණ්ඩු ක්‍රම අත්හදා බලා ඇති බව ඉතිහාස වාර්තාව පරීක්ෂා කර බලද්දී ඔබට පෙනී යනවා. ප්රයත්න දරා ඇති ඇතැම් ස්ත්‍රී පුරුෂයන්ට හොඳ චේතනා තිබුණා. එහෙත්, මිනිසාගේ ස්වයං-පාලනයෙහි ප්‍රතිඵල ඔබ තක්සේරු කරන්නේ කෙසේද? මිනිස් දුක් ගාවිනාවලින් වැඩි හරියක් ඉවත් කර තිබෙනවාද? නැහැ, කොහෙත්ම නැහැ. ඊට පටහැනිව, බොහෝ ප්‍රතිපත්ති මෙන්ම ජාතික යුද්ධ දුක් ගාවිනා දෙගුණ තෙගුණ කර තිබෙනවා. අවුරුදු 3,000කට පමණ පෙර, ප්‍රඥාවන්ත පාලකයෙකුගේ නිරීක්ෂණය සලකා බලන්න: “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” ඇත.—දේශනාකාරයා 8:9.
වර්තමාන තත්වය හුඟක් වෙනස් කියා හෝ එසේ නැත්නම් හොඳ අතට හැරී තිබෙනවා කියා ඔබට පෙනෙනවාද? වැඩිදෙනෙක් ඊට නැහැ කියා පිළිතුරු දේවි. පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරු දැරියන් දුක් විඳින්නේ උරුම වූ පාපය සහ අසම්පූර්ණත්වය කරණකොටගෙන පමණක් නොව, නමුත් ඔවුන් විසින්ම හෝ වෙනත් අය විසින් කර ඇති දේවල් නිසයි. උදාහරණයකට, බොහෝදුරට ගිජුකම හේතුවෙන් පෘථිවිය නාස්ති කර ඇති ආකාරය සිතන්න. මිනිසා පරිසරය දූෂණය කිරීමේ සහ දුගීකම ඇති කිරීමේ වරදට මෙන්ම කුසගින්න හෝ වසංගත ඇති කිරීමේ වරදටද වගකිව යුතුයි. බොහෝදෙනා දෙවියන්ගේ වැඩක් කියා හඳුන්වන ඇතැම් ස්වාභාවික ආපදා පවා මිනිසා විසින් සිදු කරන ඒවායි. කෙසේවෙතත්, දුක් ගාවිනා පිටුපස තවත් හේතුවක් තිබෙනවා. ඒ හේතුව සාමාන්‍යයෙන් නොසලකා හරිනවා.
දුක් ගාවිනාවලට වගකිව යුතු පුද්ගලයා
දුක් ගාවිනාවලට ප්‍රධාන හේතුවද, සැලකිලිමත් මැවුම්කරු එයට ඉඩ දී ඇති හේතුවද හෙළි කිරීම සම්බන්ධයෙන් එක් බයිබල් පොතක් විශේෂයෙන්ම කැපීපෙනෙනවා. දුක් ගාවිනා සම්බන්ධ කාරණය ගැන තිබෙන ඕනෑම අපැහැදිලි තැනක් අපහට පැහැදිලි කර දීමට යෝබ් නමැති එම පොතට හැකියි. අදෘශ්‍යමාන විෂයෙහි සිදු වූ අතිවැදගත් ඇතැම් සිද්ධීන් පිළිබඳව පැහැදිලි දෘෂ්ටියක් ලබා දීමෙන් ඒ පොත එහි කාර්යය ඉටු කරයි.
මෝසෙස් බයිබලයෙහි මුල් පොත් කිහිපය ලියන්න කෙටි කාලයකට ඉහතදී, එනම් අවුරුදු 3,500කට පමණ පෙර, දැන් අරාබියයයි හඳුන්වන ප්‍රදේශයෙහි යෝබ් නම් මනුෂ්‍යයෙක් ජීවත් වූවා. යෝබ් නිර්දෝෂ, ගුණවත්, ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙක් බව එම වාර්තාවෙහි පැහැදිලි කරනවා. ඔහු සත්ව පාලනයෙහි නිරත වූ, මහත් ධන සම්භාරයක් හිමි තැනැත්තෙක්. ඒ හේතුවෙන් ඔහු “නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටි” බව සඳහන් වේ. පෞද්ගලික මට්ටමින් බැලූ කල, යෝබ්ගේ ප්‍රීතිමත් පවුලට, ඔහුගේ භාර්යාව, පුත්‍රයන් සත්දෙනෙක් සහ දූවරුන් තිදෙනෙක් අයත් වුණා. (යෝබ් 1:1-3; 29:7-9, 12-16) එක් දිනක්, යෝබ්ගේ වටිනා සත්ව රැළවල් කිහිපයක්ම කොල්ලකන්නන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බව දැනුම් දීමට පණිවිඩකාරයෙක් වේගයෙන් දුවගෙන ආවා. ඒ වෙලාවේම තවත් කෙනෙක් පැමිණ යෝබ්ගේ බැටළු රැළවල් නැති වූ ආකාරය දැනුම් දුන්නා. ඊළඟට, කල්දිවරු කණ්ඩායමක්, මෙහෙකරුවන්ගෙන් එක් කෙනෙක් හැර අනිත් සියල්ලන්වම ඝාතනය කරමින්, ඔහුගේ ඔටුවන් 3,000 පැහැරගෙන ගියා. අන්තිමේදී, දරාගන්න අමාරුම ආරංචිය ඔහුට ලැබුණා. එය නම්, අසාමාන්‍ය වූ තද සුළඟක් ඔහුගේ වැඩිමල් පුත්‍රයාගේ ගෙය විනාශ කර, එහි රැස්ව සිටි ඔහුගේ සෑම දරුවෙකුවම මරුමුවට පත් කිරීමේ පුවතයි. මෙවැනි විපත්තිවලට යෝබ් දෙවි පිට වරද තැබුවාද? ඔබ ඔහුගේ තත්වයෙහි සිටියා නම්, ඔබට කොහොම හැඟෙයිද?—යෝබ් 1:13-19.
කෙසේවෙතත්, සිදු වූ විපත්ති එයින් නතර වුණේ නැහැ. යෝබ්ට භයානක රෝගයක් වැළඳුණා. ඒ හේතුවෙන් ඔහුගේ මුළු ශරීරය පුරාම දරුණු ලෙස ගඩු හටගත්තා.c ඔහු මොනතරම් රෝගාතුර මෙන්ම පිළිකුල්සහගත තත්වයකට ඇද වැටුණාද කිවහොත්, ඔහුගේ භාර්යාව දෙවිට දොස් තැබුවා. ‘දෙවිව අත්හැර දමා මැරෙන්න’ කියා ඈ කිව්වා. තමා මෙම විපත්තිවලට මුහුණ දෙමින් සිටියේ ඇයි කියා යෝබ් නොදැන සිටියද, එයට හේතුව දෙවියි කියා චෝදනා කරන්න ඔහු පෙලඹුණේ නැහැ. “මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත” කියා වාර්තාවෙහි පැවසේ.—යෝබ් 2:6-10.
යෝබ් විඳි පීඩාවන් ආරංචි වූ සගයන් තිදෙනෙක් ඔහුව හමු වන්න පැමිණියා. යෝබ් දුෂ්ට ලෙස ක්‍රියා කරන්න ඇති කියා සිතුව එලීපස් “අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද” කියා ඇසුවා. (යෝබ් 4, 5 පරිච්ඡේද) යෝබ් රහසින් පව් කර ඇති බවටත්, අග හිඟකම්වලින් පෙළෙන අයට කෑම නොදී, වැන්දඹුවන්ට සහ පියා නැත්තන්ට හිරිහැර කර ඇති බවටත් ඔහු චෝදනා කළා. (යෝබ් 15, 22 පරිච්ඡේද) අනිත් ව්‍යාජ සැනසිලිකාරයන් දෙදෙනාද යෝබ්ට දොස් නැඟුවේ ඔහුගේ දුක් කම්කටොලුවලට ඔහුම වගකිව යුතු බව අඟවමිනුයි. ඔවුන් පළ කළ අදහස් නිවැරදිද? කිසිසේත් නැහැ.
යෝබ් විඳි දුක්වලට මුල් වූ හේතුව සහ දෙවි ඊට අවසර දුන් හේතුව කුමක්ද කියා දැකගැනීමට යෝබ් නමැති පොත අපට උපකාර කරයි. අදෘශ්‍යමාන විෂයෙහි එනම් ස්වර්ගයෙහි ඊට ටික කලකට පෙර සිදු වූ දේවල් 1 සහ 2වන පරිච්ඡේදවල හෙළි කරයි. වෙනත් අදෘශ්‍යමාන ජීවීන් සමඟ සාතන්d නමැති අදෘශ්‍යමාන කැරලිකාර ජීවියා දෙවි ඉදිරියෙහි පෙනී සිටියා. යෝබ්ගේ නිර්දෝෂ ගමන් මාර්ගය සඳහන් කළ පමණින්, සාතන් මෙසේ අභියෝග කළා: ‘යෝබ් දෙවි කෙරෙහි භය වන්නේ නිකමටද? ඔබේ අත දිගු කර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇත.’—යෝබ් 1:9-12.
වෙනත් වචනවලින් කිවහොත්, දෙවි යෝබ්ට අල්ලස් දෙමින් සිටි බවට සාතන් චෝදනා කළා. යෝබ්ගෙන් ඔහුගේ ධනය සහ ශාරීරික සුවය පැහැරගත්තොත්, ඔහු දෙවිව අත්හරියි කියා මෙම මුරණ්ඩු අදෘශ්‍යමාන ජීවියා කියා සිටියා. මෙය වඩාත් පුළුල්ව අදාළ කළොත්, දුක් ගාවිනා හමුවේ කිසි මනුෂ්‍යයෙකු දෙවිට ප්‍රේම කොට ඔහුට පක්ෂව නොසිටින බවයි සාතන් අඟවමින් සිටියේ. එම අභියෝගයට කල්පවතින මෙන්ම සමස්ත ලෝක බලපෑමක් තිබුණා. සාතන් ඉස්මතු කළ ප්‍රශ්න නිරවුල් කිරීම අවශ්‍ය වුණා. මේ අනුව, යෝබ්ට විරුද්ධව කටයුතු කරන්න දෙවි සාතන්ට නිදහස දුන් අතර, සාතන් එම මනුෂ්‍යයා පිටට නොයෙකුත් ආකාරයේ පීඩාවන් පැමිණෙව්වා.
ස්වර්ගයෙහි ඉස්මතු කළ විශ්වනීය ප්රශ්නය යෝබ් නොදැන සිටියා පමණක් නොව, දැනගැනීමට හැකියාවවත් ඔහුට නොතිබුණා යන්න තේරුම්ගත යුතු කාරණයක් වෙනවා. තවද සාතන් සිදු වූ දේවල් කොතරම් දුරට මෙහෙයෙව්වාද කිවහොත්, යෝබ්ට අත් විඳි සියලු විපත්ති පිටුපස දෙවි සිටින බවයි පෙනී ගියේ. නිදසුනකට, යෝබ්ගේ බැටළු රැළවල් අකුණක් වැදී විනාශ වී ගිය විට, ගැළවුණු මෙහෙකරුවාගේ නිගමනය වූයේ එය ‘දෙවි වෙතින් ආ ගින්නක්’ වූ බවයි. මේ දේවල් සිදුවීමට හේතුව නොදැන සිටියද, යෝබ් යෙහෝවා දෙවිව අත්හැරීමටවත්, ප්‍රතික්ෂේප කිරීමටවත් සිතුවේ නැහැ.—යෝබ් 1:16, NW, 19, 21.
දුක් ගැහැට මධ්‍යයෙහි වුවත් මනුෂ්‍යයන් ප්‍රේමයෙන් පෙලඹී යෙහෝවාට සේවය කරාවිද? යෝබ්ගේ අද්දැකීමට සම්බන්ධ තත්වයන් ඔබ හොඳින් විග්රහ කර බැලුවොත්, මෙය ප්‍රධාන ප්රශ්නයව පවතින බව ඔබට පෙනී යාවි. ඊට උත්තරයක් සැපයීමට යෝබ් දායක වුණා. යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට පුද්ගලයෙකුව පෙලඹවිය හැක්කේ දෙවි සඳහා ඇති සැබෑ ප්‍රේමයට පමණයි. යෝබ් එසේ විශ්වාසවන්තව සිටියා. සාතන්ගේ බොරු චෝදනාවලට එරෙහිව මොනතරම් ප්‍රබල සාක්ෂියක්ද! කෙසේවෙතත්, මෙම කාරණය එදා සිටි යෝබ්ගේ අද්දැකීමෙන් ආරම්භ වී එයින්ම අවසන් වූයේ නැහැ. මෙය සියවස් ගණනාවක් පුරා පැවත ඇති කාරණයක්. අපිත් ඊට සම්බන්ධයි.
හේතුව කුමක් වෙතත්, දුක් ගාවිනා දකින හෝ ඊට මුහුණ දෙන බොහෝදෙනෙක් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? යෝබ්ගේ දවසේ ඉස්මතු කළ ප්‍රශ්න ඔවුන් නොදන්නවා විය හැකියි. එසේ නැතහොත්, සාතන් පවතිනවා කියාවත් විශ්වාස නොකරනවා විය හැකියි. එබැවින්, මැවුම්කරුවෙක් සිටින බවට ඔවුන් බොහෝදුරට සැක පළ කරනවා, නැත්නම් දුක් ගාවිනාවලට ඔහු පිට දොස් තබනවා. මේ ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? මැවුම්කරු ගැන ඔබ දන්නා දේට අනුව, බයිබල් ලේඛක යාකොබ් සමඟ ඔබ එකඟ වන්න පෙලඹෙන්නේ නැද්ද? දුක් වේදනාවලට මුහුණ දුන්නද, ඔහුට තිබුණේ මෙම ස්ථිර විශ්වාසයයි: ‘යමෙක් පරීක්ෂා කරනු ලබන කල: මම දෙවිගෙන් පරීක්ෂා කරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවිට නපුරෙන් පරීක්ෂා කරනු ලබන්ට නුපුළුවන, ඔහුම කිසිවෙකු පරීක්ෂා නොකරන්නේය.’—යාකොබ් 1:13.
ප්‍රඥාවන්ත ආකල්පයක් දැරීමට අපහට වටිනා ආධාරකයක් තිබෙනවා. ඒ තමයි අප විසින් යේසුස්ගේ ආදර්ශය සලකා බැලීම. යේසුස් තමා සතු තීක්ෂ්ණ බුද්ධිය, දැනුම සහ ගුරුවරයෙකු ලෙස තම හැකියාව සම්බන්ධයෙන් ගෞරවයක් අත් කරගත් බව අප දන්නා දෙයකි. සාතන් සහ දුක් ගාවිනා නමැති විෂය සම්බන්ධයෙන් ඔහු දැරූ ස්ථාවරය කුමක්ද? සාතන් නමැති යක්ෂයා ජීවත්ව සිටින බවටත්, ඔහුට දුක් ගාවිනා ඇති කළ හැකි බවටත් යේසුස්ට ස්ථිර විශ්වාසයක් තිබුණා. යෝබ්ගේ අඛණ්ඩතාව බිඳදැමීමට මාන බැලූ සාතන්, යේසුස්ටත් ඒ දේම කරන්න, කොයි කාටත් පැහැදිලි උත්සාහයක් දැරුවා. සාතන් ඇත්තෙන්ම පවතින බව ඔප්පු කරනවාට අමතරව, යෝබ්ගේ දවසෙහි ඉස්මතු කළ අභියෝගය දිගින් දිගටම පවතින බවත් මින් පැහැදිලි වුණා. යෝබ් මෙන්, ධනය සහ බලය පරිත්‍යාග කරන්න සිදු වුණත්, ශාරීරික වධ හිංසා සහ වධකණුවක මියයන්න පවා සිදු වුණත්, යේසුස් මැවුම්කරුට විශ්වාසවන්තව සිටියා. ගැටලු මධ්‍යයෙහි වුණත් දෙවිට පක්ෂපාත බව පෙන්නුම් කිරීමට දෙවි ඒ වෙද්දිත් මනුෂ්‍යයන්ට ප්‍රස්තාව උදා කරමින් සිටි බව යේසුස්ගේ අද්දැකීමෙන් පෙනී යයි.—ලූක් 4:1-13; 8:27-34; 11:14-22; යොහන් 19:1-30.
කාලය ගෙවී යයි—හොඳ හේතු ඇතුව
දුක් ගාවිනාවලට හේතු තේරුම්ගැනීමට නම්, හදිසි අනතුරු, පව්කාර මිනිස් ප්රවණතා, මනුෂ්‍යයා පෘථිවිය නාස්ති කර ඇති ආකාරය සහ සාතන් නමැති යක්ෂයා ඊට හේතු වන බව අප පිළිගත යුතුයි. කෙසේවෙතත් දුක් ගාවිනාවලට හේතුව කුමක්ද කියා දැනගැනීම පමණක්ම මදි. පීඩාවලට ලක්ව සිටින විට, පුරාණ ප්‍රොපේත හබක්කුක්ට ඇති වූ හැඟීම් කාටත් පහසුවෙන්ම පහළ විය හැකියි. ඔහු පැවසුවේ, ‘යෙහෝවා, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසන්නෙහිය; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවන්නෙහිය. ඔබ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්ති කිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ [ඇත්තේ මන්ද? NW]. භේද තිබේ [ඇත්තේ මන්ද? NW], තරඟයද හටගනියි [හටගන්නේ මන්ද? NW].’ (හබක්කුක් 1:2, 3) ඔව්, කිසි පියවරක් නොගන්නාක් මෙන්, යෙහෝවා ‘හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මන්ද?’ සර්වබලධාරි තැනැත්තා වශයෙන්, දුක් ගාවිනා තුරන් කිරීමට අවශ්‍ය බලයද යුක්තිය සඳහා ප්‍රේමයද ඔහු සතුය. එසේ නම්, එය කරන්න යන්නේ කවදාද?
කලින් සඳහන් කළ පරිදි, මුල් මිනිස් යුවළ සහමුලින්ම ස්වාධීන මාර්ගයක් තෝරාගත් විට, ඔවුන්ගේ පැවතෙන්නන්ගෙන් සමහරෙකු ඊට වෙනස් මාර්ගයක් තෝරාගනී කියා මැවුම්කරු ස්ථිරවම දැනගෙන සිටියා. ප්‍රඥාවන්තව යෙහෝවා කාලය ගෙවී යෑමට ඉඩ දුන්නා. කුමකටද? මැවුම්කරුගෙන් බැහැර පාලනයක් අසන්තෝෂයට පමණක් මඟ පාදන බවත්, අනික් අතට මැවුම්කරුට එකඟ ජීවිතයක් ගත කිරීම හරි දේ වන අතර, එය සන්තෝෂය ගෙන දෙන බවත් ඔප්පු කිරීමටයි.
ඒ අතරවාරයේදී, දෙවි සෑහීමකට පත් විය හැකි පරිසරයක් පොළොවෙහි පවත්වාගෙන තිබෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ තර්ක කළා: ‘ඔහු පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩහැරියේය. එහෙත් ඔහු අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන් ගැන සාක්ෂි නොදී නොසිටියේය.’ (ක්‍රියා 14:16, 17) එසේ නම්, මැවුම්කරු දුක් ගාවිනා නොගෙනෙන බව පැහැදිලියි. ඒ වෙනුවට සෑහෙන වැදගත්කමක් උසුලන ප්‍රශ්න නිරාකරණය කිරීමට එයට ඉඩ දී තිබෙනවා පමණයි.
සහනය කවදාද?
ඇත්තෙන්ම මිනිස් දුක් ගාවිනාවල වැඩිවීමෙන් පෙනී යන්නේ එහි නිමාවට කාලය ආසන්න බවයි. අප එසේ කියන්නේ ඇයි? යෝබ්ගේ කාලයෙහි අදෘශ්‍යමාන විෂය තුළ සිදු වූ දේවල් බයිබලය හෙළි කරන්නා සේම, අපේ කාලය සම්බන්ධයෙනුත් හෙළි කරයි. බයිබලයෙහි අන්තිම පොත වන එළිදරව්, ස්වර්ගයෙහි සිදු වූ ඝට්ටනයක් ගැන කතා කරයි. එහි ප්‍රතිඵලය? සාතන්ද ඔහුගේ භූත සේනාවෝද, ‘පොළොවට හෙළනු ලැබුවා.’ එම බයිබල් පොතෙහි තවදුරටත් මෙසේ පැවසේ: “එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.”—එළිදරව් 12:7-12.
එම සිද්ධිය එළි දැක්කේ මෙම සියවසෙහි බව බයිබල් අනාවැකි ගැඹුරින් පරීක්ෂා කර බැලීම තුළින් හෙළි වෙනවා. පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ 1914, ඉතිහාසයෙහි සැලකිය යුතු සන්ධිස්ථානයක් බව, ගෞරවයට පාත්‍ර වූ ඉතිහාසඥයන් පිළිගන්නා බව ඔබ දන්නවා ඇති.e එතැන් පටන්, දුක් ගාවිනා වැඩිවර්ධනය වී ඇත. යේසුස් සමඟ ඉතා කිට්ටු ඇසුරක් පැවැත්වූ ඔහුගේ ගෝලයන් ‘ඔහුගේ පැමිණ සිටීමටත් දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ’ [NW] ගැන ඔහුගෙන් විමසූ විට, ඔහු අවධානය යොමු කළේ ඒ කාලපරිච්ඡේදයටමයි. යේසුස් පැවසුවේ, “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය” කියායි. (මතෙව් 24:3-14; ලූක් 21:5-19) ඉමහත් දුක් ගාවිනාවලට මුහුණ දෙන්න සිදු වන බව අඟවන මෙම වදන්, ඉතිහාසයෙහි මුල්ම වතාවට අදදින මහා පරිමාණයෙන් ඉටු වෙමින් පවතිනවා.
“ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාව” පැමිණෙන්න කලින් සිදු වන්නක් ලෙස බයිබලය මෙම සිද්ධීන් විස්තර කරයි. (මතෙව් 24:21) මනුෂ්‍යයන්ගේ කටයුතුවලට දෙවි තීරණාත්මක ලෙස මැදිහත් වන්න යන්නේ මේ අවස්ථාවේදියි. මෙතරම් දිගු කාලයක් පුරා දුක් ගාවිනාවලට හේතු වී තිබෙන දුෂ්ට දේවල පිළිවෙළ අවසන් කිරීමට ඔහු එදාට පියවර ගනියි. එනමුත් මනුෂ්‍යවර්ගයාව විනාශ කරන න්‍යෂ්ටික සමූලඝාතනයකින් ‘ලෝකය අවසන්’ වන බව මින් අදහස් කරන්නේ නැහැ. ඉන් බේරී ජීවත් වන අය සිටිනවා යන කරුණ ගැන දෙවිගේ වචනය අල්ප මාත්‍රයක සැකයක්වත් තබන්නේ නැහැ. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් [පැමිණෙන] . . . මහත් සමූහයක්” එම පීඩාවෙන් පණපිටින් ගැළවෙනවා ඇත.—එළිදරව් 7:9-15.
හොඳ පැහැදිලි පින්තූරයක් ලබාගැනීමට, ඉන් අනතුරුව සිදු වන දේ ගැන බයිබලයෙහි සඳහන් කරන්නේ කුමක්ද කියා සලකා බලන්න. මනුෂ්‍යවර්ගයාගේ වාසය සඳහා මුලින් අරමුණු කළ උයනක් බඳු නිවහන නැවතත් එළි දකී. (ලූක් 23:43) ඉඳුම් හිටුම් නොමැති කවුරුත් සිටින්න යන්නේ නැහැ. යෙසායා මෙසේ පැවසුවා: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. . . . මක්නිසාද මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු [යෙහෝවාගෙන්] ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමග වන්නෝය. . . . වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. . . . මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි [යෙහෝවා කියන්නේය].”—යෙසායා 65:21-25.
පෞද්ගලික මට්ටමින් අප වෙත එල්ල වන දුක් ගැහැට ගැන කුමක් පැවසිය හැකිද? යුද්ධ, සාහසිකකම හෝ අපරාධ නැවත මතු නොවෙයි. (ගීතාවලිය 46:8, 9; හිතෝපදේශ 2:22; යෙසායා 2:4) මිනිසාගේ සැදුම්කරු මෙන්ම ජීවනදායකයා, කීකරු මනුෂ්‍යයන්ට පූර්ණ සෞඛ්‍යයක් ඇතුව සිටීමට හා එය භුක්ති විඳීමට උපකාර කරයි. (යෙසායා 25:8; 33:24) පෘථිවි පරිසරයේ සමබරතාව යථා තත්වයට පත් වී, සඵල වන නිසා, සාගින්න පහවී යයි. (ගීතාවලිය 72:16) ඇත්තවශයෙන්ම, දැන් දුක් ගැහැටවලට මුල් වන සෑම දෙයක්ම සහමුලින්ම නැති වී යනවා ඇත.—යෙසායා 14:7.
මෙය අසන්න ලැබෙන හොඳම ආරංචිය බවට කිසිම සැකයක් නැහැ. කෙසේවෙතත්, තවමත් ගැටලු දෙකක් ඇති බව සමහරුන්ට හැඟී යා හැකියි. අවුරුදු 70කට හෝ 80කට පසු පුද්ගලයෙකු මරණයට ලක් වූවොත්, මෙම ආශීර්වාදවලින් ඔහු ලබන ආස්වාදය නිතැතින්ම සීමිත වෙන්න යනවා. තවද මැවුම්කරු මනුෂ්‍ය දුක් ගාවිනා තුරන් කරන්න කලින් මියගිය ප්‍රේමනීයයන් ගැන ඔහුට ශෝකයක් නොදැනෙයිද? පිළිතුර කුමක්ද?
දුකට ප්රබලතම හේතුව ඉවත් කිරීම
මැවුම්කරුට පිළියමක් ඇත. විශ්වයේද, මිහිපිට මිනිස් ජීවිතයෙහිද සැදුම්කරු ඔහුයි. ඔහුගේ හැකියාව සහ මනුෂ්‍යයන්ගේ හැකියාව අතර ඇත්තේ යා කළ නොහැකි පරතරයකි. ඇත්තෙන්ම මැවුම්කරුට කරන්න පුළුවන් දේවල්, සිදු විය හැකි දේවල් බව මනුෂ්‍යයන් තේරුම්ගෙන ඇත්තේ මෑතකදීය. මීට උදාහරණ දෙකක් සලකා බලන්න.
නිමක් නැතුව ජීවත් වීමේ හැකියාව අපට ඇත.
දෙවිගෙන් සදාකාල ජීවනය ලබාගැනීමේ අපේක්ෂාව බයිබලයෙහි පැහැදිලිව සඳහන් කර ඇත. (යොහන් 3:16; 17:3) මිනිස් සෛලවල ජාන පරීක්ෂණවලට භාජන කළ වෛද්‍ය මයිකල් ෆොසල් කිව්වේ, පිරිමි ප්‍රජනන සෛලවල තත්වය වයසට යෑමත් සමඟ පහළ බසින්නේ නැති බවයි. “දැනට අප සතු ජානවලට වයසට නොගොස් අපේ සෛල නඩත්තු කරගැනීමට අවශ්‍ය තොරතුරු නිසි ලෙස සැපයීමට හැකියාවක් ඇත.” අපේ වත්මන් ආයු කාලය තුළ අපේ මොළයේ අල්පමාත්රයක තරම්වත් පාවිච්චියට නොගැනෙන ප්‍රමාණයක් ඇති බව සඳහන් කළ 4වන පරිච්ඡේදයට මෙය එකඟ වෙනවා. නිමක් නොමැතිව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇතුව ඒවා නිර්මාණය වී ඇති බව පෙනේ. කෙසේවෙතත්, මේවා අමතර කරුණුය. ඒවා දෙවැනි වන්නේ බයිබලයෙහි කෙළින්ම පවසා ඇති දෙයටයි. දුක් ගාවිනා නොමැතිව සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව යෙහෝවා අපට අත් කර දෙනවාමයි. බයිබලයෙහි අවසන් පොතෙහි ඔහු පොරොන්දු වී ඇති දේ සැලකිල්ලට ගන්න: “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිස දමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.
දුක් විඳ මියගිය යමෙකුව නැවත ජීවත් කරවීමෙන්, එනම් නැවත-නැඟිටුවීමෙන් ඔහුට උපකාර කිරීමේ හැකියාව මැවුම්කරුට ඇත.
නැවත-නැඟිටුවනු ලැබූ එක් කෙනෙකි ලාසරුස්. (යොහන් 11:17-45; 158-60 දක්වා පිටු බලන්න.) මහාචාර්ය ඩොනල්ඩ් ම’කෙයි පරිගණක ලිපිගොනුවක් උදාහරණයකට භාවිත කළා. පරිගණකයක් විනාශ වූ පමණින්, එහි ගබඩා කර තිබූ සමීකරණයක් සදහටම නැති වන බව අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ නැති බව ඔහු ලියා දැක්වූවා. “ගණිතඥයාට කැමැත්තක් ඇත්නම්,” එම සමීකරණයම හෝ ක්‍රියාවලියම අලුත් පරිගණකයකට කවා ක්‍රියාත්මක කළ හැකියි. මහාචාර්ය ම’කෙයි තවදුරටත් පැවසුවේ මෙසේයි: “මොළය පිළිබඳ කර ඇති විධිමත් හැදෑරීම්, [බයිබලයෙහි] සඳහන් සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සහ ඊට අනිවාර්යයෙන්ම සම්බන්ධ ‘නැවත-නැඟිටීමට’ එතරම් විරුද්ධත්වයක් එල්ල කරයි කියා පැවසිය නොහැකියි.” මනුෂ්‍යයෙකු මියගියා නම්, මැවුම්කරු යේසුස්ට කළාක් මෙන් සහ යේසුස් ලාසරුස්ට කළාක් මෙන්, එම මනුෂ්‍යයාව පසුව නැවත ජීවත් කරවීමට මැවුම්කරුට හැකියාවක් තිබෙනවා. පුද්ගලයෙකු මැරුණත් “අපේ මැවුම්කරුට කැමැත්තක් ඇත්නම්,” අලුත් සිරුරක් ඇතුව නැවත ජීවත් කරවීමට කිසිම බාධාවක් නැති බව ම’කෙයි නිගමනය කළා.
ඔව්, එකම පිළියම ඇත්තේ අපේ මැවුම්කරු අතෙහිය. දුක් ගැහැට සහමුලින්ම ඉවත් කරලීමටත්, පාපයේ බලපෑම අයින් කොට, මරණය ඉවත් කිරීමටත් හැක්කේ ඔහුට පමණි. ඉදිරියෙහි අපට අපේක්ෂා කළ හැකි විශිෂ්ට යමක් ගැන යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට පැවසුවා. “[අනුස්මරණ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . [ඔවුහු] පිටත්ව එන්නෝය.”—යොහන් 5:28, 29.
ටිකක් නැවතී කල්පනා කර බලන්න! විශ්වයේ පරමාධිපති පාලකයා තම මතකයෙහි රැඳී සිටින අයව නැවත ජීවත් කරවන්න සූදානමින් සිටිනවා පමණක් නොව, එසේ කිරීමට හැකියාවද ඔහු සතුව තිබෙනවා. “සැබෑ ජීවනය” ලබාගැනීමට සුදුසුකම් ඇද්දැයි ඔප්පු කිරීමේ ප්‍රස්තාව මොවුන් සැමටම විවෘත වෙයි.—1 තිමෝති 6:19, න.අ.; ක්‍රියා 24:15.
කෙසේවෙතත්, මිනිස් දුක් ගාවිනාවලින් පූර්ණ සහනයක් අපේක්ෂා කරන අතරවාරයේදී, අපේ පැත්තෙන් යමක් කළ යුතුව තිබෙනවාද? එසේ නම්, එයට දැන් වුවත් අපේ ජීවිතයට වැඩි අරුතක් මුසු කළ හැකි වෙයිද? අපි බලමු.
[පාදසටහන්වල]
a “පුද්ගලයාගේ අතීත ක්‍රියා ඔහුගේ මතු ආත්මවලට හෙවත් භවයන්වලට කරන බලපෑම” කර්මය බවට කියැවේ.
b යහපත සහ නපුර දැනගැනීමේ ගසෙන් ගෙඩි කෑමට විරුද්ධව දෙවි ආදම්ට දුන් ආඥාව උත්පත්ති 2:17හි සඳහන් වෙනවා. මීට අදාළ පාදසටහනක, නව යෙරුසලම් බයිබලය (1985, ඉංග්‍රීසියෙන්) මෙම දැනගැනීමෙන් අදහස් කළ දේ ගැන මෙසේ අදහස් පළ කළා: “යහපත කුමක්ද නපුර කුමක්ද යන්න පෞද්ගලිකව තීරණය කර ඊට එකඟව ක්‍රියා කිරීමේ බලය ඒ හා බැඳී පවතී. එය සම්පූර්ණ සදාචාර ස්වාධීනත්වයක් ලබාගැනීමට කරන ඉල්ලීමකි. එමගින් මිනිසා, මවන ලද ජීවියෙක් බවට වූ තම තත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. යෙ[සායා] 5:20 බලන්න. මුල්ම පාපය දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහිව කළ පහර දීමකි.”
c යෝබ් වින්ද දුක ගැන වඩාත් පුළුල් අදහසක් ලබාගැනීමට වෙනත් පද උපකාරවත් වෙනවා. ඔහුගේ මාංසය පණුවන්ගෙන් වැසී තිබුණා. හම හැකිළී තිබුණා. ඔහුගේ මුඛයෙන් දුගඳක් වහනය වුණා. යෝබ් සිටියේ දැඩි වේදනාවෙන්. තවද ඔහුගේ හම කළු වී වැටී ගියා.—යෝබ් 7:5; 19:17; 30:17, 30.
d “මැවුම්කරු ගැන පොතකින් ඔබට උගත හැක්කේ කුමක්ද?” යන කලින් පරිච්ඡේදයකදී, ආදම් සහ ඒවගේ පාපයට සාතන් නමැති යක්ෂයා සම්බන්ධ වූ ආකාරය අපි සලකා බැලුවා.
e මෙම අනාවැකිය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 9වන පරිච්ඡේදය බලන්න.
[168වන පිටුවේ කොටුව]
අමරණීය ආත්මයක් නැත
සෑම පුද්ගලයෙකුම මනුෂ්‍ය ප්‍රාණයක් බව බයිබලය උගන්වයි. පුද්ගලයා මියයද්දී, ප්‍රාණය මියයයි. එසකියෙල් 18:4හි මෙසේ පැවසේ: “පව්කරන ප්‍රාණයම නසින්නේය.” මළවුන් කොතැනකවත් සචේතනිකව හෝ ජීවත්ව නොසිටී. සාලමොන් මෙසේ ලිව්වා: “මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5, 10) අමරණීය ආත්මයක් ඇති බව යුදෙව්වන්වත් මුල්ම ක්‍රිස්තියානීන්වත් ඉගැන්වූයේ නැහැ.
“ප[රණ] ගි[විසුමේ] ප්‍රාණය යනුවෙන් පවසද්දී, ඉන් මිනිසා තුළ තිබෙන දෙයක් අඟවන්නේ නැහැ. එයින් සම්පූර්ණ මිනිසාම, එනම් මිනිස් ජීවියෙක් යන්න අදහස් කරයි. ඒ හා සමානව න[ව] ගි[විසුමෙහි] ඉන් මිනිස් ජීවිතය සංකේතවත් කරයි . . . ශරීරයෙන් බැහැර වූ ආත්මයක අඛණ්ඩ පැවැත්ම ගැන බයිබලය කතා කරන්නේවත් නැහැ.”—නව කතෝලික විශ්වකෝෂය, ඉංග්‍රීසියෙන්.
“අමරණීය ආත්ම සංකල්පය සහ මළවුන්ගේ නැවත-නැඟීටීම කෙරෙහි විශ්වාසය . . . එකිනෙකට හාත්පසින්ම වෙනස් තළ දෙකක් මත පිහිටි සංකල්ප දෙකකි.”—ඩෝපෝ ලා මෝර්ටෙ: ඉම්මෝර්ටාලිටා ඕ රෙසුර්රෙට්සියෝනෙ? දේවධර්මාචාර්ය ෆිලීප් එච්. මනූ විසිනි.
“සම්පූර්ණ මනුෂ්‍යයා පව්කාරයෙක් වන බැවින්, මරණයේදී ඔහු සම්පූර්ණයෙන්ම මියයයි . . . මරණයත් නැවත-නැඟිටීමත් අතර පරතරයක් ඇත.”—ඒෆාන්ජේලිෂ එර්වාක්සනන්කාටිහිස්මුස් නමැති ලුතරන් සංග්‍රහය.
[175වන පිටුවේ කොටුව]
එතරම් කාලයක් ගත වී ඇද්ද?
යෝබ්ගේ කාලයේ සිට යේසුස්ගේ දවස දක්වා වසර 1,600ක කාලය ගත් කල, දුක් ගාවිනා පැවතීම සඳහා එය සෑහෙන දිගු කාලයක් මෙන් පෙනී යා හැකියි. දුක් ගාවිනා අවසන් වන තෙක් අවුරුදු 100ක් බලාසිටීම, මනුෂ්‍යයෙකුට නම්, සෑහෙන දිග කාලයක් මෙන් දිස් විය හැකියි. එනමුත් සාතන් ඉස්මතු කළ වැදගත් ප්‍රශ්න මැවුම්කරු ගැන වැරදි අදහසක් පිළිබිඹු කළ බව අප තේරුම්ගත යුතුයි. දෙවිගේ දෘෂ්ටියට අනුව බැලුවොත්, දුක් ගාවිනා සහ දුෂ්ටකමට මෙතෙක් ඉඩ දී ඇත්තේ කෙටි කාලයක් පමණයි. ඔහු “අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසට” සමාන කරන ‘සදාකාල රජය.’ (ගීතාවලිය 90:4; 1 තිමෝති 1:17) තවද නිමක් නැති ජීවිතයක් ලැබුණායින් පසු, මනුෂ්‍යයාට දුක් ගාවිනා පැවති ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදය සෑහෙන කෙටි එකක් මෙන් දිස් වෙනවා නොඅනුමානයි.
[178වන පිටුවේ කොටුව]
ඓතිහාසික සන්ධිස්ථානයක්
“අතීතය දෙස ආපසු හැරී බලද්දී, පළමුවන ලෝක සංග්‍රාමයේ ආරම්භය විසිවන සියවසට, ආනල්ඩ් ටොයින්බිගේ වචනවලින් කියනවා නම්, ‘කරදරකාරි සමයක්’ උදා කර දුන් බව අපට පැහැදිලිව පෙනේ. වර්තමාන ශිෂ්ටාචාරය තවමත් ඉන් ගොඩ ඇවිත් නැහැ.”—අධිරාජ්යයන්වල වැටීම, ඉංග්‍රීසියෙන්, එඩ්මන්ඩ් ටේලර්.
“අපේ කාලයේ සන්ධිස්ථානයක් කියා පැවසිය හැක්කේ හිරෝෂිමා බෝම්බය නොව, 1914 වසරයි. මන්ද අප අසරණ වී දඟලන මෙම වකවානුවට පාර කැපුවේ පළමුවන ලෝක සංග්‍රාමය බව . . . අපට දැන් පැහැදිලිව පෙනෙන බැවිනි.”—ආචාර්ය රනේ ආල්බ්රෙහ්ට් කර්යා, බානාඩ් විද්‍යාලය.
1914දී ලෝකයා මහා ලොකු වියවුලකට ඇද වැටී ඇති අතර, එතැන් පටන් ඉන් ගොඩ ඒමට බැරි වී තිබෙනවා. . . . දේශ සීමා අතර සහ එතුළ වියවුල සහ ප්‍රචණ්ඩකාරිත්වය පුදුම දනවන මට්ටමකින් පැවත ඇති කාලපරිච්ඡේදයකි මෙය.”—ආර්ථික සංග්‍රහය, ඉංග්‍රීසියෙන්.
[181වන පිටුවේ කොටුව]
පුද්ගලයෙකුව නැවත-නැඟිටුවිය හැකිද?
ස්නායු විද්‍යාඥ රිචඩ් එම්. රෙස්ටැක් මිනිස් මොළය සහ එහි නියුරෝන ගැන මෙසේ අදහස් දැක්වූවා. “අපේ ස්නායු සෛල පන්දහස් කෝටිය තුළ ස්ථාපිත වී ඇති ස්නායු සන්ධි සහ පරිපථ තේරුම්ගත හැකි නිරීක්ෂකයෙකුට, අපේ සම්පූර්ණ පෞද්ගලිකත්වය මෙන්ම මෙතෙක් කර ඇති සෑම දෙයක්ම දැනගත හැකියි.” එය සැබෑවක් නම්, පුද්ගලයන් ගැන පූර්ණ දැනුමක් ඇති අපේ ප්‍රේමනීය මැවුම්කරුවාට හැකියාවක් නැද්ද පුද්ගලයෙකුව නැවත නිර්මාණය කරන්න?
[182වන පිටුවේ කොටුව]
ඔබේ ස්නායු සන්ධි ගණන් කර තිබේ
“නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ” යයි යේසුස් පැවසුවා. (මතෙව් 10:29-31) ඔබේ හිස් කබල තුළ තිබෙන මොළය ගැන කුමක් කිව හැකිද? (නියුරෝන ලෙස හැඳින්වෙන) මොළයේ සෛල කොතරම් කුඩාද කිවහොත්, ඒවා දැකීමට ප්‍රබල අණ්වීක්ෂයක් අවශ්‍යයි. නියුරෝන පමණක් නොව, නමුත් ඇතැම් නියුරෝනවලට ඇති 2,50,000ක් පමණ වන වඩාත් කුඩා සම්බන්ධක (උපාගම) ගණන් කිරීම කොතරම් අසීරු කාර්යයක් වේවිද කියා ඔබට සිතාගත හැකියි.
ප්‍රබල ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය උපයෝගි කරගනිමින්, ආචාර්ය පීට’ හූටන්ලෝහර්, පශ්චාත් මරණ පරීක්ෂණවලදී භෲණ, මියගිය ළදරුවන් සහ වයෝවෘද්ධ අයගේ නියුරෝන සම්බන්ධක ගණනය කිරීමට මුල පිරුවා. අල්පෙනෙති හිසක් තරම් කුඩා වූ සෑම නියැදියකම දළ වශයෙන් එකම නියුරෝන සංඛ්‍යාව, එනම් 70,000ක් පමණ තිබීම පුදුමයට හේතුවක්.
ඊළඟට, මෙම කුඩා වූ නියැදිවල නියුරෝන සම්බන්ධක නොහොත් ස්නායු සන්ධි සම්බන්ධක සංඛ්‍යාව ගණන් කිරීමට ආචාර්ය හූටන්ලෝහර් යොමු වුණා. භෲණයේ නියුරෝනවල සම්බන්ධක කෝටි 12.4ක් තිබුණා. අලුත උපන් දරුවෙකුගේ කෝටි 25.3ක්ද, මාස අටක ළදරුවෙකුගේ කෝටි 57.2ක්ද තිබුණා. දරුවෙක් තවත් වැඩෙද්දී එම සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වූ බව ආචාර්ය හූටන්ලෝහර්ගේ සොයාගැනීම්වලින් පැහැදිලි වුණා.
බයිබලය නැවත-නැඟිටීම ගැන කියන දේ සලකද්දී, මෙම සොයාගැනීම් උනන්දුවට හේතුවක් වෙනවා. (යොහන් 5:28, 29) වැඩිහිටියෙකුගේ සම්පූර්ණ මොළයේම නියුරෝන සම්බන්ධක දහස් ප්‍රකෝටියක්, එනම් 1යි බින්දු 15ක් ඇත. මෙම සම්බන්ධක ගණන් කිරීමට පමණක් නොව, ඒවා නැවත සෑදීමටත් මැවුම්කරුට හැකියාව තිබෙනවාද?
විශ්වයේ තිබෙන තරු සංඛ්‍යාව සියකෝටි සියකෝටි 200ක්, එනම් 2යි බින්දු 20ක් බව ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය (ඉංග්‍රීසියෙන්) තක්සේරු කරයි. මැවුම්කරු ඒ හැම තරුවකටම නම් කියා හඬ ගසනවා. (යෙසායා 40:26) එසේ නම්, නැවත-නැඟිටුවිය යුතුයයි තීරණය කරන මනුෂ්‍යයන්ගේ මතක සටහන් සහ හැඟීම් ගබඩා කළ නියුරෝන සම්බන්ධකවල සැකැස්ම මතකයට නඟාගෙන ඒවා යළි තැනීම ඔහුට සුළු දෙයකි.
[166වන පිටුවේ පින්තූරය]
බොහෝදෙනෙක් උපතේ සිට මරණය දක්වා දිවෙන කර්ම චක්‍රය විශ්වාස කරයි
[171වන පිටුවේ පින්තූරය]
දෙවන නිකලස් රජ සහ අලික්සන්ඩ්රාගේ පුත් අලික්සියේට, රක්තකාමතාව පරම්පරාවෙන් උරුම වුණා. අපේ මුතුන්මිත්තා වූ ආදම්ගෙන් අපට අසම්පූර්ණකම උරුම වී ඇත
[179වන පිටුවේ පින්තූර]
දුක් ගාවිනාවලට ඉඩහැරියද, මැවුම්කරු මනුෂ්‍යයන්ගේ ආස්වාදය පිණිස බොහෝ දෑ සපයා ඇත