13වෙනි පරිච්ඡේදය
ජීවිතය වටිනා තෑග්ගක්
1. අපිට ජීවිතය දුන්නේ කවුද?
යෙහෝවා දෙවියන් ‘ජීවිතයේ උල්පතයි.’ (ගීතාවලිය 36:9 කියවන්න.) අපිව නිර්මාණය කරලා අපිට ජීවිතය දුන්නේ ඔහුයි. ‘සෑම දෙයක්ම සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් දෙවියන්ගේ කැමැත්ත නිසාය’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (එළිදරව් 4:11) අපේ ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක්.
2. සතුටින් ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
2 යෙහෝවා දෙවියන් අපිට ජීවිතය විතරක් නෙවෙයි ඒක දිගටම පවත්වාගන්න ඕන කරන කෑම, වතුර වගේ හැම දේමත් දුන්නා. (ක්‍රියා 17:28) ඒත් අපි සතුටින් ජීවත් වෙනවා දකින්න ඔහු කැමතියි. (ක්‍රියා 14:15-17) සතුටින් ජීවත් වෙන්න නම් අපි දෙවියන්ගේ නීති පිළිපදින්න ඕනේ.—යෙසායා 48:17, 18.
යෙහෝවා දෙවියන් ජීවිතය සලකන්නේ කොහොමද?
3. කායින් ආබෙල්ව මැරුවාම දෙවියන් කළේ මොකක්ද?
3 අපේ ජීවිත යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා. අපි කොහොමද ඒක දන්නේ? ආදම්, ඒවගේ ලොකු පුතා තමයි කායින්. එයා එයාගේ මල්ලි ආබෙල් එක්ක හිටියේ පුදුම තරහකින්. හිතේ තියෙන තරහා නැති කරගන්න කියලා යෙහෝවා දෙවියන් කායින්ට කිව්වත් එයා ‘ආබෙල්ට පහර දීලා මැරුවා.’ (උත්පත්ති 4:3-8) ඒ වරදට දෙවියන් කායින්ට දඬුවම් කළා. (උත්පත්ති 4:9-11) කේන්තිය, වෛරය භයානකයි. මොකද එහෙම ඉන්න කෙනෙක් අතින් දරුණු දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට දෙවියන් සදාකාල ජීවිතය දෙන්නේ නැහැ. (1 යොහන් 3:15 කියවන්න.) යෙහෝවා දෙවියන් සතුටු වෙන්නේ හැමෝටම අපි ආදරෙන් සලකනවා නම් විතරයි.—1 යොහන් 3:11, 12.
4. දෙවියන් දීපු නීතියකින් ජීවිතය ගැන අපි ඉගෙනගන්නේ මොනවාද?
4 යෙහෝවා දෙවියන් ජීවිතය සලකන්නේ ගොඩක් වටින දෙයක් විදිහට කියලා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියකින් පැහැදිලි වුණා. ඒ තමයි “මිනී නොමරන්න” කියන නීතිය. (ද්විතීය කතාව 5:17) කෙනෙක් හිතාමතාම මිනී මැරුවොත් එයාට මරණ දණ්ඩනය නියම වුණා.
5. දෙවියන් ගබ්සාව අනුමත කරනවාද?
5 ගබ්සාව ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? නූපන් දරුවෙකුගේ ජීවිතයත් යෙහෝවා දෙවියන්ට වටිනවා කියලා ඊශ්‍රායෙල්වරුන්ට දීපු තවත් නීතියකින් පැහැදිලි වෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට කාගේ හරි අතින් අනතුරක් වෙලා දරුවා මැරුණොත් ඒක කරපු කෙනාට මරණ දණ්ඩනය නියම වුණා. (නික්මයාම 21:22, 23 කියවන්න; ගීතාවලිය 127:3.) දෙවියන් ගබ්සාව අනුමත කරන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.—27වෙනි අමතර සටහන බලන්න.
6, 7. අපිට ජීවිතය වටිනවා කියලා දෙවියන්ට පෙන්වන්නේ කොහොමද?
6 ජීවිතය අපිට වටිනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? අපෙත් අනිත් අයගෙත් ජීවිත අනතුරේ දාන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. දුම්බීම, බුලත්විට කෑම, මත්ද්‍රව්‍ය වගේ ජීවිතයට හානියක් වෙන දේවල් අපි පාවිච්චි කරන්නේ නැහැ.
7 ජීවිතය දුන්නේ දෙවියන් නිසා ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා අපිට කියන්න ඔහුට අයිතිය තියෙනවා. අපේ ශරීර ආදරෙන් රැකබලා ගත්තේ නැත්නම් ඔහු අපිව සලකන්නේ අපවිත්‍ර අය විදිහට. (රෝම 6:19; 12:1; 2 කොරින්ති 7:1) ජීවිතය වටින එකක් විදිහට සලකන්නේ නැත්නම් යෙහෝවා දෙවියන් අපේ නමස්කාරය පිළිගන්නේ නැහැ. අපි අමාරුවෙන් හරි නරක පුරුදු අත්හරින්න උත්සාහ කරද්දී දෙවියන් අපිට උදව් කරනවා.
8. අපෙත් අනිත් අයගෙත් ජීවිත ආරක්ෂා කරන්න අපි කරන්නේ මොනවාද?
8 ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක් නිසා අනිත් අයගේ ජීවිතත් අනතුරේ දාන කිසිම දෙයක් අපි කරන එකක් නැහැ කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි මෝටර්බයික් එකක්, වාහනයක් පදවද්දී ඒක මතක තියාගන්න ඕනේ. ජීවිතය අනතුරේ දාන ක්රීඩාවලිනුත් අපි වළකින්න ඕනේ. (ගීතාවලිය 11:5) යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මේ වගේ නීතියකුත් දුන්නා. “ඔබ අලුතෙන් නිවසක් ඉදි කරනවා නම් ඒ නිවසේ තිබෙන සඳලුතලය වටා කුඩා තාප්පයක් බැඳිය යුතුයි. එසේ නොකළොත් යම් කෙනෙක් එයින් වැටී මිය යා හැකියි. එවිට ඒ පුද්ගලයාගේ ජීවිතයට වග කිව යුත්තේ ඔබේ නිවසේ සිටින අයයි.” (ද්විතීය කතාව 22:8) අපේ ගෙදර ආරක්ෂා සහිත තැනක් කරගන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලියි.
9. අපි සතුන්ට සලකන්න ඕනෙ කොහොමද?
9 සතුන්ගේ ජීවිත ගැන මොනවාද කියන්න පුළුවන්? සත්ව හම්වලින් ඇඳුම් හදාගන්න, සතුන්ව කෑමට ගන්න, අපේ ජීවිතයට හානියක් කරන්න එන දරුණු සතුන්ව මරන්න යෙහෝවා දෙවියන් අවසර දීලා තියෙනවා. (උත්පත්ති 3:21; 9:3; නික්මයාම 21:28) ඒත් එහෙම කියලා සතුන්ට වධ හිංසා කරනවාටවත් විනෝදෙට උන්ව මරණවාටවත් දෙවියන් කැමති නැහැ. (හිතෝපදේශ 12:10) මොකද සතුන්ගේ ජීවිතත් දෙවියන්ට හුඟක් වටිනවා.
රුධිරය පරිශුද්ධ දෙයක් විදිහට සලකන්න
10. රුධිරයෙන් ජීවිතය නියෝජනය වෙනවා කියලා අපි දන්නේ කොහොමද?
10 යෙහෝවා දෙවියන් රුධිරය සලකන්නේ ජීවිතය තරම්ම වටින පරිශුද්ධ දෙයක් විදිහටයි. මොකද රුධිරයෙන් ජීවිතය නියෝජනය වෙනවා. කායින් ආබෙල්ව මැරුවාට පස්සේ දෙවියන් එයාට දඬුවම් කළා. ඒ ඇයි? “ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසනවා” කියලා දෙවියන් කායින්ට කිව්වා. (උත්පත්ති 4:10) ලේ හඬගසනවා කියද්දී දෙවියන් ඒකෙන් අදහස් කළේ ආබෙල් ඔහුට හඬගසනවා කියන එකයි. ආබෙල්ගේ ලේවලින් එයාගේ ජීවිතය නියෝජනය වුණා කියලා ඒකෙන් පැහැදිලියි. නෝවාගේ කාලේ වුණ ජලගැල්මෙන් පස්සේ යෙහෝවා දෙවියන් මිනිසුන්ට අවසර දුන්නා සතුන්ව ආහාරයට ගන්න. ඒත් “ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” කියලා දෙවියන් පැහැදිලිවම කිව්වා. (උත්පත්ති 1:29; 9:3, 4) “ජීවය වන ලේ” කියලා කියපු එකෙන් තවත් පැහැදිලි වෙනවා රුධිරයෙන් නියෝජනය වෙන්නේ ජීවිතය කියලා.
11. ලේ ගැන යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් ජාතියට දුන්න නීතිය මොකක්ද?
11 නෝවාට එහෙම කියලා අවුරුදු 800කට විතර පස්සේ දෙවියන් ඊශ්‍රායෙල් ජාතියටත් එයාලත් එක්ක හිටිය විදේශිකයන්ටත් මෙහෙම කිව්වා. “කෑමට ගත හැකි සතෙකුව හෝ කුරුල්ලෙකුව හෝ දඩයම් කරගත්තොත් උගේ ලේ බිමට වත් කර පස්වලින් වසා දැමිය යුතුයි.” ඒ වගේම “මොනම සතෙකුගේවත් ලේ නොකන්න” කියලා ඔහු ආයෙත් කිව්වා. (ලෙවී කතාව 17:13, 14) එච්චර කාලයක් ගත වෙලා තිබුණත් රුධිරය ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණ විදිහ වෙනස් වෙලා තිබුණේ නැහැ.
12. ක්‍රිස්තියානීන් රුධිරය සලකන්න ඕනෙ කොහොමද?
12 ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතිවලින් ක්‍රිස්තියානීන්ට අදාළ වෙන්නේ මොන නීතිද කියලා තේරුම්ගන්න යේසුස්ගේ නියෝජිතයොත් යෙරුසලමේ හිටපු වැඩිමහල්ලොත් උත්සාහ කළා. (ක්‍රියා 15:28, 29 කියවන්න; 21:25.) ඒ අවස්ථාවේදී ලේ පරිශුද්ධ දෙයක් විදිහට සලකන එක අත්‍යවශ්‍යයි කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවියන් එයාලට උදව් කළා. ඒ වෙනකොටත් දෙවියන් රුධිරය සැලකුවේ පරිශුද්ධ දෙයක් විදිහට. ඒ නිසා ලේ කන එකෙන්, ලේ බොන එකෙන්, ලේ අයින් කරපු නැති මස් කන එකෙන් වැළකිලා ඉන්න ඕනෙ කියලා මුල් ක්‍රිස්තියානීන් තේරුම්ගත්තා. මොකද ඒ වගේ දේවල් කරන එක හරියට රූප නමස්කාරය, අනාචාරය වගේම බරපතළ වරදක් වුණා. එදා ඉඳන් සැබෑ ක්‍රිස්තියානීන් ලේ කන්නෙවත් බොන්නෙවත් නැහැ. ඒ නීතිය අදටත් අදාළද? ඔව්. රුධිරය පරිශුද්ධ දෙයක් විදිහට අපිත් සලකනවාටයි දෙවියන් කැමති.
13. ක්‍රිස්තියානීන් ලේ ගන්නේ නැත්තේ ඇයි?
13 යෙහෝවා දෙවියන් අපිට කියලා තියෙන්නේ ලේ කන්නවත් බොන්නවත් එපා කියලානේ. ඒ කියන්නේ අපි රුධිරය ශරීරගත කරගන්න එකත් වැරදිද? ඔව්, ඒක වැරදියි. මෙහෙම හිතන්න. දොස්තර කෙනෙක් ඔයාට කියනවා මත්පැන් බොන්න එපා කියලා. ඒත් ඔයා කියනවාද ‘මම මත්පැන් බොන්නේ නැහැ. ඒත් මං මත්පැන් ශරීරගත කරගන්නවා’ කියලා? එහෙනම් ලේ කන්න, බොන්න එපා කියද්දී ඒකට ලේ ශරීරගත කරගන්න එපා කියන එකත් ඇතුළත්.—28වෙනි අමතර සටහන බලන්න.
14, 15. ක්‍රිස්තියානීන් ජීවිතය සලකන්නේ කොහොමද? අපේ ජීවිතය බේරාගන්න අපි දෙවියන්ගේ නීතිය කඩන්නේ නැත්තේ ඇයි?
14 ‘ලේ ගත්තේ නැත්නම් ඔයා මැරෙනවා’ කියලා දොස්තරලා කිව්වොත් ඔයා මොකද කරන්නේ? ලේ ගැන දෙවියන් දීලා තියෙන නීතියට කීකරු වෙනවාද නැද්ද කියන එක, එක එක පුද්ගලයා ගන්න ඕනෙ තීරණයක්. දෙවියන් දුන්න ජීවිතය කියන තෑග්ග ක්‍රිස්තියානීන් වන අපිට හුඟක් වටිනවා. ඒත් අපි ජීවිතය බේරාගන්න ලේ ගන්නේ නැහැ. ඒ වෙනුවට ලේ අඩංගු නැති වෙනත් ප්‍රතිකාර ලබාගන්න අපි උත්සාහ කරනවා.
15 අපිට ඕනෙ නිරෝගී ජීවිතයක් ගත කරන්න වුණත් දෙවියන් රුධිරය සලකන්නේ පරිශුද්ධ දෙයක් විදිහට නිසා අපි ලේ ගන්නේ නැහැ. ලේ ගත්තොත් අපේ ජීවිතය ටික දවසකින් වැඩි කරගන්න පුළුවන් වෙයි. ඒත් දෙවියන්ට අකීකරු වෙලා ජීවිතේ දික් කරගන්න අපිට ඕනෙ නැහැ. යේසුස් මෙහෙම කිව්වා. “යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමැත්තෙන් සිටියොත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසා තම ජීවිතය නැති කරගන්නාට එය ලැබෙයි.” (මතෙව් 16:25) අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නේ යෙහෝවා දෙවියන්. ඒ වගේම අපි ඔහුට ආදරෙයි. ඒ නිසා යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහු වගේම අපිත් ජීවිතය පරිශුද්ධ දෙයක් විදිහට සලකනවා.—හෙබ්‍රෙව් 11:6.
16. දෙවියන්ට නමස්කාර කරන අය ඔහුට කීකරු වෙන්නේ ඇයි?
16 දෙවියන්ට විශ්වාසවන්ත අය ජීවිතය රැකගන්න ඕන කරන හොඳම ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒත් ලේ ගැන දෙවියන් දීලා තියෙන නීතියට එයාලා කීකරු වෙනවා. ඒ නිසයි එයාලා ලේ කන්නෙවත් බොන්නෙවත් ප්‍රතිකාරයක් විදිහට ලේ ගන්නෙවත් නැත්තේ.a මිනිසුන්ට හොඳම දේ මොකක්ද කියලා දන්නේ ජීවිතයත් රුධිරයත් නිර්මාණය කරපු දෙවියන් කියලා එයාලා විශ්වාස කරනවා. ඔයාත් ඒක විශ්වාස කරනවාද?
රුධිරය පාවිච්චි කරන්න දුන්න එකම හේතුව
17. දෙවියන් ලේ පාවිච්චි කරන්න ඉඩ දුන්න එකම හේතුව මොකක්ද?
17 දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ලේ පාවිච්චි කරන්න ඉඩ දුන්නේ එයාලගේ පව්වලට සමාව ගන්න විතරමයි. ඒ ගැන නීතියේ මෙහෙම සඳහන් වුණා. “මා සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.” (ලෙවී කතාව 17:11) ඒ නීතියේ තිබුණු විදිහට ඊශ්‍රායෙල්වරුන්ට එයාලගේ වැරදිවලට සමාව ගන්න පුළුවන් වුණේ පූජා කරපු සතෙකුගේ ලේ පූජකයා ළඟට ගෙනියලා පූජාසනයට වත් කරන්න කියලා පූජකයාගෙන් ඉල්ලුවොත් විතරයි.
18. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබුණේ මොන අවස්ථාවද?
18 ඒත් යේසුස් පොළොවට ඇවිත් ඔහුගේ ජීවිතය නැත්නම් රුධිරය අපේ පව් වෙනුවෙන් ඔප්පු කරපු නිසා සතුන්ව පූජා කරන සැලැස්ම අවලංගු වුණා. (මතෙව් 20:28; හෙබ්‍රෙව් 10:1) යේසුස්ගේ ජීවිත පූජාව කොච්චර වටිනවාද කියනවා නම් යෙහෝවා දෙවියන්ට පුළුවන් වුණා ඒ පූජාවේ වටිනාකම යොදාගෙන හැමෝටම සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව දෙන්න. දෙවියන් ඒ අවස්ථාව මිනිසුන්ට දුන්නේ යේසුස් ස්වර්ගයට ගියාට පස්සෙයි.—යොහන් 3:16; හෙබ්‍රෙව් 9:11, 12; 1 පේතෘස් 1:18, 19.
19. “සියලුදෙනාගේ ලෙයින් නිදහස්” වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
19 ජීවිතය කියන තෑග්ග දීපු එක ගැන අපි යෙහෝවා දෙවියන්ට කොච්චර ස්තුති කරන්න ඕනෙද! යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරලා සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලබාගන්න කියලා අපි හැමෝටම කියන්නේ ඒ ගැන අපේ හිතේ තියෙන අගය නිසයි. අපි මිනිසුන්ට ආදරෙයි. සදහටම ජීවත් වෙන්න කරන්න ඕනෙ මොනවාද කියලා එයාලට කියලා දෙන්න අපි හැම උත්සාහයක්ම ගන්නවා. (එසකියෙල් 3:17-21) එහෙම කරද්දී අපිටත් පුළුවන් පාවුල් වගේ මෙහෙම කියන්න. ‘මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්. දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.’ (ක්‍රියා 20:26, 27) යෙහෝවා දෙවියන් ගැනත් ඔහු ජීවිතය කොච්චර වටිනා දෙයක් විදිහට සලකනවාද කියන එක ගැනත් අපි අනිත් අයට කියලා දෙනවා. අපි එහෙම කරන්නේ ජීවිතයත් රුධිරයත් පරිශුද්ධ දෙයක් විදිහට සලකන නිසයි.
a ලේ ගන්නේ නැත්තේ ඇයි කියන එක ගැන තවත් තොරතුරු දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” පොතේ 86-89 දක්වා පිටු බලන්න.