රුධිරය—ජීවිතය සඳහා අත්‍යවශ්‍යයි
ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? රුධිරය ඔබගේ ජීවිතයට සම්බන්ධ වී ඇති බැවින්, මෙය ඔබගේ සැලකිල්ලට භාජන වනු නිසැකය. රුධිරය ඔබගේ ශරීරය පුරා ඔක්සිජන් ගෙන යයි, කාබන්ඩයොක්සයිඩ් ඉවත් කරයි, උෂ්ණත්වයේ වෙනස්කම්වලට උචිත ලෙස හැඩගැසීමට ඔබට උපකාර කරයි, එමෙන්ම රෝගවලට එරෙහිව සටන් කිරීමේදී ඔබට සහය දෙයි.
ජීවිතය රුධිරයත් සමඟ ඇති සම්බන්ධය පිහිටුවනු ලැබුවේ, 1628දී විලියම් හාර්වි විසින් සංසරණ පද්ධතිය සිතියම් කොට දක්වන්නට බොහෝ කලකට පෙරය. ප්‍රධාන ආගම්වල මූලික ආචාර ධර්ම ජීවිත-දායකයෙක් කෙරෙහි යොමු දක්වන අතර, එතුමන්ම ජීවිතය ගැනත් රුධිරය ගැනත් සිය අදහස් පළ කොට ඇත. එතුමන් පිළිබඳව යුදෙව්-ක්‍රිස්තියානි නීතිවේදියෙක් පැවසුවේ මෙසේය: “උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක. මක්නිසාද අපි උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව.”a
එවන් ජීවිත-දායකයෙක් කෙරෙහි විශ්වාසය තබන ජනයා උන්වහන්සේගේ තීරණ අපගේ කල්පවතින යහපත සඳහා යයි විශ්වාස කරත්. එක්තරා හෙබ්‍රෙව් දිවැස්වරයෙක් උන්වහන්සේව විස්තර කළේ ‘ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන, නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙන යන’ තැනැන්වහන්සේ හැටියටය.
යෙසායා 48:17හි ඇති එම සහතිකය, බයිබලයේ කොටසක් වන අතර එම පොත අප සියල්ලන්ට ප්‍රයෝජනවත් විය හැකි ආචාර ධර්මීය සාරධර්ම සඳහා ගෞරවය ලබා ඇත. මිනිසා රුධිරය භාවිතා කිරීම පිළිබඳව එම පොත පවසන්නේ කුමක්ද? රුධිරය සමඟින් ජීවිත ගලවා ගත හැකි ආකාරය එය පෙන්වන්නේද? සැබවින්ම, රුධිරය සංකීර්ණ ජෛව තරලයකට වඩා වැඩි යමක් බව බයිබලය පැහැදිලිව පෙන්වයි. එහි රුධිරය ගැන වාර 400කට වැඩි ගණනක් සඳහන්ව ඇති අතර මෙම සඳහන් කිරීම්වලින් සමහරක් ජීවිතය ගලවා ගැනීම හා සම්බන්ධ වේ.
මුලින් කරන ලද එක්තරා සඳහන් කිරීමක, මැවුම්කරුවාණන් මෙසේ ප්‍රකාශ කළ සේක: “ජීවත්වන්නාවූද එහා මෙහා යන්නාවූද සියල්ල නුඹලා සඳහා ආහාර වන්නේය; . . . නමුත් නුඹලා ජීව රුධිරය තවදුරටත් එහි තිබියදී මස් නොකෑ යුතුය.” උන්වහන්සේ වැඩිදුරටත් “නුඹලාගේ ජීව රුධිරය සඳහා මම ස්ථිරවම ගණන් දීමක් ඉල්ලා සිටින්නෙමි” යයිද පවසමින්, අනතුරුව මිනීමැරීම හෙලා දුටු සේක. (උත්පත්ති 9:3-6, නිව් ඉන්ටනැෂනල් වර්ෂන්) උන්වහන්සේ එසේ පැවසුවේ යුදෙව්වන්, මුස්ලිම් භක්තිකයන් හා ක්‍රිස්තියානින් විසින් උසස් ලෙස සලකනු ලබන පොදු මුතුන් මිත්තෙකු වන, නෝවාටය. මැවුම්කරුවාණන්ගේ දෘෂ්ටිය අනුව, රුධිරය ජීවිතය නියෝජනය කරන බව මුළු මනුෂ්‍ය ප්‍රජාවටම එසේ දැනුම් දෙනු ලැබීය. මෙය ආහාර හා සම්බන්ධ නියමයකට වඩා වැඩි යමක් විය. පැහැදිලිවම සදාචාර මූලධර්මයක් සම්බන්ධව තිබිණ. මනුෂ්‍ය රුධිරයට අතිශය වැදගත්කමක් ඇති අතර එය අනිසි ආකාරයකට පාවිච්චි නොකළ යුතුය. මැවුම්කරුවාණන් යථා කාලයේදී මෙයට තවත් විස්තර එක් කළ අතර එමගින් එතුමන් ජීව රුධිරයට සම්බන්ධ කරන්නා වූ සදාචාර ප්‍රශ්න අපට පහසුවෙන් දැක ගත හැකිය.
පුරාතන ඉශ්රායෙල්වරුන්ට උන්වහන්සේ නීති සංග්‍රහය දුන් විටද, උන්වහන්සේ යළිත් රුධිරය ගැන සඳහන් කළ සේක. බොහෝ දෙනෙක් එම සංග්‍රහයේ නැණවත් කමටත්, ආචාර ධර්මවලටත් ගරු කළද, එහි රුධිරය පිළිබඳව ඇති බැරෑරුම් නීති ගැන දන්නේ ස්වල්ප දෙනෙකු පමණි. උදාහරණයක් හැටියට: “ඉශ්රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි. මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය.” (ලෙවී කථාව 17:10, 11) දෙවියන්වහන්සේ අනතුරුව මළ සතෙක් සම්බන්ධයෙන් දඩයක්කාරයෙක් කළ යුතු දෙය පැහැදිලි කළ සේක: “ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය. . . . [නුඹ] කිසි මාංසයක ලේ නොකෑයුතුය . . . මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය.”—ලෙවී කථාව 17:13, 14.
යුදෙව් නීති සංග්‍රහය හොඳ ශරීර සෞඛ්‍යයට දිරිදුන් බව විද්‍යාඥයෝ දැන් දනිති. උදාහරණයක් හැටියට, මලමූත්‍රාදිය කඳවුරෙන් පිට ස්ථානයක පහකර වසා දැමීමත්, රෝග වැළදීමේ දැඩි අවදානමකින් යුත් මස් ජනයා අනුභව නොකිරීමත්, එය ඉල්ලා සිටියේය. (ලෙවී කථාව 11:4-8, 13; 17:15; ද්විතීය කථාව 23:12, 13) රුධිරය පිළිබඳ නීතිවල සෞඛ්‍යමය අංග ලක්ෂණ ඇතුළත්ව තිබුණත්, ඊට බෙහෙවින් වැඩි යමක් සම්බන්ධව තිබිණ. රුධිරයට සංකේතමය අර්ථයක් තිබුණි. ඉන් මැවුම්කරුවාණන් දුන් ජීවිතය නියෝජනය විය. රුධිරය සුවිශේෂී යමක් ලෙස සැලකීමෙන්, මනුෂ්‍යයෝ ජීවිතය සඳහා තමුන් උන්වහන්සේ කෙරෙහි රඳා සිටින බව පෙන්වූහ. එසේය, ඔවුන් රුධිරය තමන් තුළට නොගැනීමට ප්‍රධාන හේතුව, එය සෞඛ්‍යයට හානි දායක වීම නොව, නමුත් එය දෙවියන්වහන්සේහට සුවිශේෂී අර්ථයකින් යුක්ත වීමය.
ජීවිතය පවත්වා ගැනීමට රුධිරය තමන් තුළට ගැනීම සම්බන්ධයෙන් වූ මැවුම්කරුවාණන්ගේ තහනම ව්‍යවස්ථාවේ පුන පුනා සඳහන් කොට ඇත. “නුඹ රුධිරය නොකා වතුර මෙන් එය භූමිය පිට වත් කළ යුතුය. නුඹ හරි වූදේ කරනු ඇති බැවින්, නුඹටත්, නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස, එය නොකා සිටින්න.”—ද්විතීය කථාව 12:23-25, NIV; ද්වි 15:23; ලෙවී කථාව 7:26, 27; එසකියෙල් 33:25.b
අදදින ඇතැමෙක් තර්ක කරන ආකාරයට පටහැනිව, යම් හදිසි තත්ත්වයක් පැන නැගුණත්, රුධිරය කෙරෙහි වූ දෙවියන්වහන්සේගේ නීතිය නොසලකා නොහැරිය යුතු විය. යුද්ධ කාලයක පැවති උග්රාවස්ථාවකදී, ඇතැම් ඉශ්රායෙල් හමුදා භටයෝ සතුන් මරා “ලේ පිටින් කෑවෝය.” පැවති හදිසි තත්ත්වය හේතුවෙන්, ඔවුන්ට රුධිරයෙන් තමන්ගේ ජීවිත නොනැසී පවත්වා ගැනීමට අවසර දිය හැකිවීද? නැත. එසේ තිබියදීත් ඔවුන් ගත් ක්‍රියා මාර්ගය ඉතා වැරදිසහගත එකක් බව ඔවුන්ගේ සෙන්පතියා පෙන්වා දුන්නේය. (1 සාමුවෙල් 14:31-35) එබැවින්, ජීවිතය ඉතා අනගි යමක්ව තිබුණත්, හදිසිතාවකදී තමන්ගේ ප්‍රමිති නොසලකා හැරිය හැකි යයි අපගේ ජීවිත-දායකයාණන් කිසි විටෙක පැවසුවේ නැත.
රුධිරය හා සැබෑ ක්‍රිස්තියානිහු
මනුෂ්‍ය ජීවිතය රුධිරයෙන් ගලවා ගැනීමේ ප්රශ්නය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ධර්මයේ ස්ථාවරය කෙබඳු එකක්ද?
යේසුස්වහන්සේ අඛණ්ඩතාව පැවැත්වූ මනුෂ්‍යයෙක් වූ අතර, උන්වහන්සේව උසස් ලෙස සලකනු ලැබුවේ එනිසාය. රුධිරය ගැනීම වැරදිසහගත යයි මැවුම්කරුවාණන් පවසා ඇති බවත්, එම නීතිය ක්‍රියාත්මකව තිබූ බවත් උන්වහන්සේ දැන සිටි සේක. එබැවින්, යේසුස්වහන්සේව වෙනස් ආකාරයකට ක්‍රියා කරන්නට වූ යම් පීඩනයකට යටත් කරනු ලැබුවත්, රුධිරය පිළිබඳ නීතියට එකඟව උන්වහන්සේ ක්‍රියා කරනු ඇති බව විශ්වාස කිරීමට හොඳ හේතු ඇත. යේසුස්වහන්සේ “කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත.” (1 පේතෘස් 2:22) උන්වහන්සේ එසේ ජීවිතයට හා රුධිරයට ගෞරව කිරීම සම්බන්ධයෙන් ආදර්ශයක් තබමින්, සිය අනුගාමිකයන්ට ආදර්ශයක් තැබූ සේක. (ඔබගේ ජීවිතයට බලපාන මෙම වැදගත් විෂයේ යේසුස්වහන්සේගේම රුධිරය සම්බන්ධ වී ඇති ආකාරය අපි පසුව සලකා බලන්නෙමු.)
යේසුස්වහන්සේගේ මිය යාමෙන් වසර ගණනාවකට පසු, ක්‍රිස්තියානිකාරයෙකු බවට පත්වන තැනැත්තෙක් ඉශ්‍රායෙල්ගේ සියලු නීති පැවැත්විය යුතුද යන ප්රශ්නය මතු වූ විට සිදු වූ දෙය සැලකිල්ලට ගන්න. ප්‍රේරිතවරුන්ද ඇතුළත් වූ, ක්‍රිස්තියානි පාලක මණ්ඩලයේ රැස්වීමකදී මෙය සාකච්ඡා කරනු ලැබීය. යේසුස්වහන්සේගේ අර්ධ සහෝදර යාකොබ්, නෝවාටත් ඉශ්රායෙල් ජාතියටත් රුධිරය පිළිබඳව කියනු ලැබූ ආඥා අඩංගු ලියවිලි කෙරෙහි යොමු දැක්වීය. එවන් නීති ක්‍රිස්තියානින්ටත් බලපවත්වයිද?—ක්‍රියා 15:1-21.
එම මණ්ඩලය සිය තීරණය සියලුම සභාවන්ට යැවීය: මෝසෙස්ට දුන් සංග්‍රහය ක්‍රිස්තියානිහු පැවැත්වීම අවශ්‍ය නොවේ, එහෙත් “රූපවලට පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ [රුධිරය නොවැගිරෙවූ මස්වලින්] සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද” ඔවුහු “වලකින්ට ඕනෑව” තිබුණි. (ක්‍රියා 15:22-29) ප්‍රේරිතවරුන් නිකම් චාරිත්‍ර ක්‍රමයක් හෝ ආහාර ගැනීමේ නියෝගයක් ඉදිරිපත් කරමින් සිටියා නොවේ. මුල් ක්‍රිස්තියානින් අනුකූල වූ ආචාර ධර්මීය මිනුම් එම තීන්දු ප්‍රකාශයෙන් නියම කෙරුණි. ඉන් දශකයකට පමණ පසුවත්, ඔවුහු තවදුරටත් “රූපවලට පුදනලද දෙයින්ද ලෙයින්ද . . . වේශ්‍යාකමින්ද වැලකී” සිටිය යුතු බව පිළිගත්හ.—ක්‍රියා 21:25.
මිලියන සංඛ්‍යාත අය පල්ලිවලට යන බව ඔබ දන්නෙහිය. රූපවලට නමස්කාරය නොදීමත්, අශික්ෂිත දුරාචාරයේ හවුල් නොවීමත් ක්‍රිස්තියානි ආචාර ධර්මයන්ට අයත් වන බවට ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එකඟ වනවා විය හැකිය. කෙසේවෙතත්, ප්‍රේරිතවරුන් රුධිරයෙන් වැළකී සිටීමද, එම වැරදිවලින් වැළකී සිටීම තරම්ම උසස් වූ සදාචාර මට්ටමක තැබූ බව අප සැලකිල්ලට ගැනීම වටී. ඔවුන්ගේ තීන්දු ප්‍රකාශය මෙසේ අවසන් විය: “මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත වන්නේය. නුඹලාට ශුභ සිද්ධ වේවා.”—ක්‍රියා 15:29.
ප්‍රේරිතවරුන්ගේ මෙම තීන්දු ප්‍රකාශය බලපැවැත්වූ බව දීර්ඝ කාලයක් පුරා පිළිගනු ලැබීය. දෙවන ශතවර්ෂයේ අවසාන භාගයේ ජීවත් වුණාවූද, වධවේදනා යටතේ මිය යෑමට පෙර ක්‍රිස්තියානින්ට “පහත් සත්ත්වයන්ගේ රුධිරය පවා කෑමට අවසරයක් නැත” යන කරුණ සඳහන් කළාවූද යෞවන කාන්තාවක් ගැන යුසේබියස් පවසයි. මිය යෑමට ඇති ඇගේ අයිතිය ඇය ක්‍රියාවට නංවමින් සිටියා නොවේ. ඇය ජීවත් වන්නට කැමති වූ නමුත්, ඇය තමාගේ ප්‍රතිපත්ති පාවාදෙන්නට කැමති වූයේ නැත. පෞද්ගලික වාසියට ඉහළින් ප්‍රතිපත්ති තබන අයට ඔබ ගෞරව කරන්නේ නැද්ද?
විද්‍යාඥ ජෝසෆ් ප්‍රීස්ට්ලි මෙවන් නිගමනයකට එළඹුණේය: “රුධිරය අනුභව කිරීම සම්බන්ධයෙන් නෝවාට දෙන ලද තහංචිය, ඔහුගේ මතු පරම්පරාවන් සියල්ල විසින් පිළිපැදීමට අනිවාර්ය වූ බව පෙනෙන්ට තිබේ. . . . [එම] තහංචියේ ස්වභාවය හා තරම නිසිලෙස තේරුම් නොගෙන තිබුණේ යයි කියා සිතිය නොහැකි මුල් ක්‍රිස්තියානින්ගේ එම ව්‍යවහාරය මගින් ප්‍රේරිතවරුන්ගේ තහංචිය අප අර්ථකථනය කළහොත්, එය පරම හා නිරන්තර එකක් වීමට අදහස් කළ බවට නිගමනය කිරීමට අපට සිදුවේ. ඊට හේතුව ක්‍රිස්තියානින් විසින් ශතවර්ෂ ගණනාවකට රුධිරය අනුභව කරනු නොලැබීමය.”
රුධිරය බෙහෙතක් හැටියට පාවිච්චි කිරීම ගැන කුමක් කියමුද?
රුධිරය කෙරෙහි වූ බයිබල් තහංචිය, නෝවා, මෝසෙස් හෝ ප්‍රේරිතවරුන්ගේ කාලයේ ඇත්තෙන්ම නොදත්, ප්‍රවේශන වැනි වෛද්‍ය භාවිතයන් කෙරෙහිත් බලපායිද?
රුධිරය උපයෝගි කරගන්නා නවීන ප්‍රතිකාර ක්‍රම එවකට නොතිබුණද, රුධිරය ඖෂධීය ආකාරයට භාවිතා කිරීම නවීන දෙයක් නොවේ. වසර 2,000කට පමණ, ඊජිප්තුවේ හා වෙනත් තැන්වල, මනුෂ්‍ය “රුධිරය ලාදුරු සඳහා පරම පිළියම ලෙස සලකනු ලැබීය.” අෂූර් දේශය තාක්ෂණිකව පෙරමුණ ගෙන සිටි අවධියේ, ඒසර්-හද්දොන් රජගේ පුත්‍රයාට දෙන ලද ප්‍රතිකාර කාය වෛද්‍යවරයෙක් එළිදරව් කළේය: “[කුමාරයාට] දැන් තරමක් සනීපයි; මාගේ ස්වාමීන් වන, රජ්ජුරුවන්වහන්සේට සතුටු විය හැක. විසිදෙවන දිනයේ පටන් මම (ඔහුට) රුධිරය බොන්නට දෙන්නෙමි, ඔහු (එය) දින 3ක් බොනවා ඇත. අභ්‍යන්තර ආලේප කිරීම් සඳහා තවත් දින 3ක් මම (ඔහුට රුධිරය) දෙන්නෙමි.” ඒසර්-හද්දොන් ඉශ්රායෙල්වරුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීය. එහෙත්, ඉශ්රායෙල්වරුන්ට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව තිබූ බැවින්, ඔවුන් ඖෂධයක් හැටියට කිසිවිටෙක රුධිරය පානය කළේ නැත.
රෝම වකවානුවේදී රුධිරය ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබීද? ස්වාභාවික විද්‍යාඥ ප්ලිනි (ප්‍රේරිතවරුන්ගේ සමකාලීනයෙක්) හා දෙවන-ශතවර්ෂයේ කාය වෛද්‍යවරයෙක් වූ ඇරිටෙයස් මනුෂ්‍ය රුධිරය මීමැස්මොරය සඳහා ප්‍රතිකාරයක් වූ බව වාර්තා කරත්. ටර්ටූලියන් පසුව මෙසේ ලිව්වේය: “රංග භූමියක රඟ දැක්මකදී, දුෂ්ට අපරාධකරුවන්ගේ අලුත් රුධිරය . . . තම මීමැස්මොරය සුව කිරීමට ගෙන යන්නා වූ . . . ගිජු පිපාසාවක් ඇත්තවුන් සලකා බලන්න.” ඔහු ඔවුන් හා “[තමන්ගේ] ආහාර සඳහා සත්ත්ව රුධිරයවත්” නොගන්නා වූ ක්‍රිස්තියානින් අතර වෙනස සැසඳුවේය. “ක්‍රිස්තියානින්ගේ නඩු විභාග කිරීම්වලදී ඔබ ලෙයින් පිරි ලිංගුස් ඔවුන්ට දෙන්නහුය. [එය] ඔවුන්ට නීති විරෝධි බව ඔබ ඉතා පැහැදිලි ලෙස දන්නෙහිය.” එනිසා, මුල් ක්‍රිස්තියානිහු රුධිරය ගන්නවාට වඩා මැරෙන්නට පවා සූදානම්ව සිටියහ.
“රුධිරය එහි එදිනෙදා ක්රියාවන්හිදී . . . ඖෂධවලට හා අන විනවලට යොදන ද්‍රව්‍යයක් ලෙස පාවිච්චියට ගැනීම අඩු වූයේ නැත” යයි ෆ්ලෙෂ් ඇන්ඩ් බ්ලඩ් නම් පොත වාර්තා කරයි. “උදාහරණයක් හැටියට, 1483දී ප්‍රංශයේ XIවන ලුවී මිය යමින් සිටියේය. ‘දිනෙන් දින ඔහුගේ තත්ත්වය දරුණු අතට හැරුණු අතර එම බෙහෙත් අමුතු ලක්ෂණයන්ගෙන් යුක්ත වුවද, ඒවා ඔහුට කිසි ලෙසකින් උපකාරවත් වූයේ නැත; මන්දයත් ඔහු ඇතැම් දරුවන්ගෙන් ලබාගෙන ගිල දැමූ මනුෂ්‍ය රුධිරයෙන් සුව වීමට තදබල බලාපොරොත්තුවක් තැබූ බැවිනි.’”
රුධිරය ප්‍රවේශනය කිරීම ගැන කුමක් කිව හැකිද? මේ පිළිබඳව අත්හදා බැලීම් පටන් ගත්තේ 16වන ශතවර්ෂයේ ආරම්භයේදී පමණය. කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේදය පිළිබඳ මහාචාර්ය, ටොමස් බාර්තොලින් (1616-80) මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කළේය: “රෝග සඳහා අභ්‍යන්තර ප්‍රතිකාරයක් වශයෙන් මනුෂ්‍ය රුධිරයේ භාවිතය උපයෝගි කර ගන්නන්, එය වැරදි ලෙස භාවිතා කරමින් මහත්සේ පව් කරන බව පෙනේ. මිනීමස් කන්නන් හෙලා දකිනු ලැබේ. මනුෂ්‍ය රුධිරයෙන් තමන්ගේ උගුර කැළැල් කරගන්නා අයව අප පිළිකුල් නොකරන්නේ මන්ද? කපන ලද ලේ නහරයකින්, මුඛයෙන් හෝ ප්‍රවේශනය කරන්නා වූ උපකරණ මගින් වෙනත් අයෙකුගේ රුධිරය ලබා ගැනීමද ඊට සමානය. මෙම ක්‍රියාදාමයෙහි නිර්මාර්තෘවරුන් දිව්‍ය නීතියට ඇති භීතියෙන් ග්‍රහණය කරනු ලැබ ඇත, මෙම නීතියට අනුව රුධිරය අනුභව කිරීම තහනම් කරනු ලැබේ.”
එබැවින්, එම බයිබල් නීතිය, රුධිරය මුඛයෙන් ගැනීමට අදාළ වූ ආකාරයටම ලේ නහර මගින් ශරීරගත කර ගැනීමටද අදාළ වූ බව අතීතයේ ජීවත් වූ නැණවත් අය තේරුම් ගත්හ. බාර්තොලින් මෙසේ නිගමනය කළේය: “[රුධිරය] කුමනාකාරයකට ගත්තත් එසේ කරන්නේ එක සමාන අරමුණක් සඳහාය, එනම්, මෙම රුධිරය මගින් රෝගී ශරීරයක් පෝෂණය කරනු ලැබීම හෝ සුව කරනු ලැබීමය.”
මෙම කරුණු සමස්තයක් වශයෙන් සලකා බැලීම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගන්නා කොන්දේසි විරහිත ආගමික ස්ථාවරය තේරුම් ගැනීමට ඔබට උපකාරවත් විය හැක. ඔවුහු ජීවිතය අතිශයින් අගය කරන අතර, හොඳ වෛද්‍ය ප්රතිකාරද සොයති. එහෙත් ඔවුන් දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය උල්ලංගනය නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින අතර මෙය ස්ථිරසාර එකක් වී තිබේ. ජීවිතය, මැවුම්කරුවාණන්ගෙන් ලද තෑග්ගක් ලෙස ඊට ගරු කරන අය රුධිරය ගැනීමෙන් ජීවිතය පවත්වා ගැනීමට වෑයම් නොකරති.
එහෙත්, වසර ගණනාවක් පුරා තරයේම අදහස් දක්වා ඇත්තේ රුධිරය ජීවිත ගලවා ගන්නා බවය. ඉතා අධික ලෙස රුධිරය අහිමි වූ නමුත් කරන ලද ප්‍රවේශනයෙන් පසු වේගයෙන් සුවපත් වූ යමෙක් පිළිබඳ සිද්ධීන් වෛද්‍යවරුන්ට සඳහන් කළ හැකිය. එනිසා ‘මෙය වෛද්‍යමය වශයෙන් කොතරම් ඥානවන්තද නැතහොත් අඥානද?’ යන්න ගැන ඔබ කල්පනා කරනවා විය හැක. රුධිර සහිත ප්‍රතිකාරයට අනුබල දීමට වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කෙරේ. එබැවින් රුධිරය පිළිබඳ දැනුම් තේරුම් ඇති තෝරාගැන්මක් කරනු පිණිස සැබෑ කාරණා දැනගැනීමේ අයිතිය ඔබට ඇත.
[පාදසටහන්වල]
a බයිබලයේ, ක්‍රියා 17:25, 28හි පාවුල් විසින් කියන ලදි.
b සමානාකාර තහනම් කිරීම් පසු කාලයේදී කුරානයේද ලියනු ලැබීය.
[4වන පිටුවේ කොටුව]
“මෙහි [ක්‍රියා 15හි] ඉතාම නිවැරදි හා විධිමත් ආකාරයකට පනවා ඇති ප්‍රඥාප්ති, අත්‍යවශ්‍ය ඒවා බවට වර්ග කරනු ලැබේ. මෙමගින් මෙය තාවකාලික විධිවිධානයක් හෝ ක්‍රියාමාර්ගයක් නොවන බවට ප්‍රේරිතයන්ගේ මනස්වල දැඩි තහවුරුවක් ලබා දෙනු ලැබීය.”—ස්ට්රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩුවාර්ඩ් රියස්.
[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
මාටින් ලූතර් ප්‍රේරිතයන්ගේ නියමයට සම්බන්ධ කාරණා මෙසේ ගෙනහැර දැක්වීය: “පල්ලිය මෙම මන්ත්‍රණ සභා රැස්වීමට අනුකූලව කටයුතු කිරීම මෙහිදී අපට ඕනෑ කෙරේ නම්, . . . මින් අනතුරුව කිසිඳු කුමාරයෙක්, අධිපතියෙක්, නාගරිකයෙක් හෝ ගැමියෙක් රුධිරයෙහි පිසින ලද පාත්ත මස්, හා මස්, මුවමස් හෝ ඌරුමස් නොකන හැටියට අප උගන්වමින් තරයේ කියා සිටිය යුතුය . . . තවද නාගරිකයන් හා ගැමියන් විශේෂාකාරයෙන් රතු ලිංගුස් හා රුධිර සහිත ලිංගුස්වලින් වැළකී සිටිය යුතුය.”
[හිමිකම් විස්තර]
Woodcut by Lucas Cranach
[6වන පිටුවේ කොටුව]
“දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා කාරණා දකින්නේ වෙනස් ආකාරයන්ටය. අප වැදගත් ලෙස දකින දෙය බොහෝ විට අපරිමිත ප්‍රඥාවෙන් තක්සේරු කරන විට නොසලකා හැරිය හැකි තරම්ය; එමෙන්ම අපට නොවටිනා ලෙස පෙනෙන දෙය දෙවියන්වහන්සේට අතිශයින් වැදගත් යමක් බව බොහෝ විට පෙනේ. මූලාරම්භයේ පටන් මෙය මෙසේ වී ඇත.”—“ඇන් ඉන්ක්වයරි ඉන්ටු ද ලෝෆුල්නස් ඔෆ් ඊටිං බ්ලඩ්,” 1787, ඇලෙක්සැන්ඩර් පයිරී.
[3වන පිටුවේ පින්තූරය]
Medicine and the Artist by Carl Zigrosser/Dover Publications
[4වන පිටුවේ පින්තූරය]
ඓතිහාසික මන්ත්‍රණ සභා රැස්වීමකදී ක්‍රිස්තියානි පාලක මණ්ඩලය රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව තවදුරටත් ක්‍රියාත්මක වන බව ස්ථිර කළේය
[7වන පිටුවේ පින්තූරය]
ප්‍රතිඵලය කුමක් වුවත්, මුල් ක්‍රිස්තියානිහු රුධිරය පිළිබඳ දෙවියන්වහන්සේගේ නීතිය උල්ලංගනය කිරීමට ප්‍රතික්ෂේප කළහ
[හිමිකම් විස්තර]
Painting by Gérôme, 1883, courtesy of Walters Art Gallery, Baltimore