3වෙනි පරිච්ඡේදය
‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙයි’
පෙන්තකොස්ත දවසේදී දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වුණ නිසා සිදු වුණ දේවල්
1. පෙන්තකොස්ත උත්සවය පවත්වන කාලයේ යෙරුසලමේ තිබුණේ මොන වගේ වාතාවරණයක්ද?
යෙරුසලමේ වීථී අතුරු සිදුරු නැතුව සෙනඟගෙන් පිරිලා.a වීථීවල එහා මෙහා කඩිමුඩියෙන් ඇවිදින සෙනඟ අතර බොහෝ දුර බැහැර සිට පැමිණි ඒලාම්වරුන්, මෙසපොතේමියාවේ හා කපදෝසියේ වැසියන්, පොන්තසයේ, ඊජිප්තුවේ හා රෝමයේ වැසියන් වගේ විවිධ ජන පිරිස් සිටිනවා.b දේවමාලිගාවේ පූජාසනයෙන් දුම් නැඟී යනවා. ලෙවීවරුන්ගේ ගායන කණ්ඩායම් මාරුවෙන් මාරුවට යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන හඬ අවටින් ඇසෙනවා. (ගීතාවලිය 113 සිට 118) මහත් සෙනඟක් යෙරුසලමේ මේ විදිහට එක් රැස් වී සිටින්නේ පෙන්තකොස්ත උත්සවය එහෙම නැත්නම් “අස්වැන්නේ මුල්ම පලදාව” නෙළන “සති උත්සවයට” සහභාගි වීමටයි. (ගණන්. 28:26) වාර්ෂිකව මේ උත්සවය පවත්වන්නේ බාර්ලි අස්වැන්න නෙළීම අවසන් කර තිරිඟු අස්වැන්න නෙළීම ආරම්භ කරන අවස්ථාවෙදියි. ඇත්තෙන්ම මේක හැමෝටම ඉතා ප්‍රීතිමත් අවස්ථාවක්!
2. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී සිද්ධ වෙන පුදුම දේවල් මොනවාද?
2 දැන් වෙලාව උදෑසන නවයට පමණ ඇති. මේ අවස්ථාවේ යේසුස්ගේ ගෝලයන් 120දෙනෙක් විතර නිවසක රැස්ව සිටිනවා. එකපාරටම මහ පුදුම දෙයක් වෙනවා. මේ සිදුවීම ක්‍රිස්තියානීන්ට කිසි දිනක අමතක නොවන සිදුවීමක්. “එකපාරටම අහසින් තද හුළඟක් හමනවා වගේ සද්දයක්” එහෙම නැත්නම් “දරුණු කුණාටුවක සද්දයක්” ඔවුන්ට ඇසෙනවා. (ක්‍රියා 2:2; International Standard Version) ඒ සද්දය ගෝලයන් සිටින නිවස පුරාම පැතිරෙනවා. එතකොට ගිනිදලු වගේ දෙයක් සෑම ගෝලයෙක්ගෙම හිසට උඩින් නවතිනවා.c ඒත් එක්කම ගෝලයන් තුළ ‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙලා’ ඔවුන් විවිධ භාෂාවලින් කතා කිරීමට පටන්ගන්නවා. ඔවුන් ඒ නිවසින් පිටතට ඇවිත් වීථිවල මුණගැසෙන සෙනඟ සමඟ ඔවුන්ට ‘තේරෙන භාෂාවලින් කතා කරනවා.’ ඒ සෙනඟ මහත් පුදුමයෙන් යේසුස්ගේ ගෝලයන් දිහා බලනවා.—ක්‍රියා 2:1-6.
3. (අ) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස ඉතිහාසගත වන දවසක් කියන්නේ ඇයි? (ආ) පේතෘස් සෙනඟව අමතපු අවස්ථාවේදී “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාවිත කළා කියන්නේ ඇයි?
3 ඒක සැබෑ ක්‍රිස්තියානීන්ට ඉතිහාසගත වන සිද්ධියක්. මොකද දෙවියන්ගේ ඊශ්‍රායෙල් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් හැදුණු සභාව පිහිටෙව්වේ එදිනයි. (ගලා. 6:16) තවත් බොහෝ දේවල් ඒ දවසේදී සිදු වුණා. පේතෘස් එදින රැස්ව සිටි සෙනඟව අමතපු අවස්ථාවේදී යේසුස් ඔහුට භාර දුන් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” තුනෙන් එකක් භාවිත කළා. (මතෙ. 16:18, 19) ඒ යතුරු තුන භාවිත කළේ ජන පිරිස් තුනකට දෙවියන්ගේ රාජ්‍යයට සම්බන්ධ විශේෂ වරප්‍රසාද විවෘත කර දීමටයි. ඔහු භාවිත කළ මුල් යතුරෙන් යුදෙව්වන්ටත් යුදෙව් ආගමට හැරුණු අයටත් ශුභාරංචිය පිළිගෙන දෙවියන්ගේ බලයෙන් අභිෂේක වීමේ අවස්ථාව හිමි වුණා.d ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙවියන්ගේ ඊශ්‍රායෙල් කියන අලුත් ජාතියේ කොටසක් වීමට ඔවුන්ට පුළුවන් වුණා. ඒ වගේම රජවරුන් හා පූජකයන් විදිහට දේවරාජ්‍යයේ පාලනයට හවුල් වීමේ බලාපොරොත්තුවත් ඔවුන් ඉදිරියේ තිබුණා. (එළි. 5:9, 10) ඉදිරියේදී අනිත් යතුරු දෙක භාවිත කරමින් සමරිතානුවන්ටත් ඊටපස්සේ වෙනත් ජාතීන්ටත් ඒ අවස්ථාව විවෘත කර දෙනවා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිදු වුණ ඒ සිදුවීම්වලින් අද දින ක්‍රිස්තියානීන් වන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
“හැමෝම එක තැනක රැස් වෙලා හිටියා” (ක්‍රියා 2:1-4)
4. අද දින ක්‍රිස්තියානි සභාව හා ක්‍රි.ව. 33 පිහිටවපු ක්‍රිස්තියානි සභාව අතර ඇති සම්බන්ධය මොකක්ද?
4 නිවසේ උඩුමහල් කාමරයේ රැස්ව සිටි, දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරපු ඒ ගෝලයන් 120දෙනාගෙන් ක්‍රිස්තියානි සභාව බිහි වුණා. (ක්‍රියා 2:1) නමුත් ඒ දවස අවසන් වෙද්දී ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් දහස් ගණනකින් වැඩි වී තිබුණා. මොකද එදා යෙරුසලමේ සිටි බොහෝදෙනෙක් යේසුස්ව පිළිගෙන බව්තීස්ම වුණා. ඒ විදිහට ආරම්භ වුණ ක්‍රිස්තියානි සභාව ඉදිරියේදී විශාල වර්ධනයක් අද්දකිනවා. ඇත්තෙන්ම දෙවියන්ට ගරුබිය දක්වන ස්ත්‍රීන්ගෙන් හා පුරුෂයන්ගෙන් හැදුණු ඒ සභාවේ ප්‍රධාන කාර්යය වුණේ අවසානයට කලින් ‘රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කිරීමයි.’—මතෙ. 24:14.
5. ක්‍රිස්තියානි සභාවට අයිති වෙන එකෙන් ලැබෙන ආශීර්වාදය මොකක්ද?
5 මුලින්ම ක්‍රිස්තියානි සභාව හැදුණේ අභිෂේක ලත් අයගෙන්. පසුව ඒකට ‘වෙනත් බැටළුවනුත්’ ඇතුළත් වුණා. (යොහ. 10:16) යේසුස්ගේ අනුගාමිකයන් වුණ ඒ සියලුදෙනාටම අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීම ක්‍රිස්තියානි සභාවේ තවත් කාර්යයක් වුණා. සභාව සතු ඒ කාර්යය මහත් සේ අගය කළ පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා. “ඔයාලව දැකගන්න මං ඉන්නේ හරිම ආසාවෙන්. මොකද දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් ඔයාලත් එක්ක බෙදාගෙන ඔයාලාගේ විශ්වාසය ශක්තිමත් කරන්න එතකොට මට පුළුවන් වෙයි. ඇත්තටම මට විතරක් නෙමෙයි ඔයාලටත් පුළුවන් මාව දිරිගන්වන්න. අපි හැමෝටම පුළුවන් එක් එක් කෙනාගේ විශ්වාසයෙන් දිරිගැන්වීමක් ලබන්න.”—රෝම 1:11, 12.
6, 7. අද දින ක්‍රිස්තියානි සභාව යේසුස් දුන් කාර්යය ඉටු කරන්නේ කොහොමද?
6 එදා සිට මේ දක්වා විශාල වර්ධනයක් අද්දැක තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වන නවීන දින ක්‍රිස්තියානි සභාවෙනුත් ඒ කාර්යයන් දෙක ඉටු කරනවා. උදාහරණයකට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ගැන සිතන්න. යේසුස් දුන් ඒ කාර්යය ඉටු කිරීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඔහු කිව්වේ “හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්න අයව බව්තීස්ම කරන්න” කියායි.—මතෙ. 28:19, 20.
7 ඒක ඒ තරම් අසීරු කාර්යයක් වීමට හේතුවක් වන්නේ සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න නම් විවිධ භාෂාවලින් ඔවුන්ට කතා කරන්න වන නිසයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් ප්‍රකාශන හා වීඩියෝ භාෂා 1,000කට වඩා වැඩි ප්‍රමාණයකින් ලොව පුරා බෙදාහරිමින් ඒ අසීරු කාර්යය අද ඉටු කරනවා. ඇත්තෙන්ම ඒ කාර්යය ඉටු කිරීමෙන් ඔවුන් අද්දකින්නේ මහත් සතුටක්. ඔබත් ඒ කාර්යයේ උද්යෝගයෙන් හවුල් වන කෙනෙක් නම් ඔබටත් සතුටු වෙන්න හොඳ හේතු තිබෙනවා. මොකද යෙහෝවා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ නාමය ගැන ලොව පුරා හරිම පැහැදිලි සාක්ෂියක් ලබා දෙන අතළොස්සෙන් ඔබත් කෙනෙක්.
8. සභාවේ හැම කෙනෙක්ම අද්දකින ආශීර්වාදය මොකක්ද?
8 මේ අවසාන කාලයේදී ප්‍රශ්න ගැටලු මැද වුණත් දිගටම ප්‍රීතියෙන් සිටීමට ලොව පුරා සිටින අපේ සහෝදරයන් අපට මොන තරම් හයියක්ද! ඇත්තෙන්ම අපේ සහෝදරයන් යෙහෝවාගෙන් අපට ලැබී තිබෙන අනගි තෑග්ගක්. පාවුල් ඔවුන්ගේ වටිනාකම අවධාරණය කරමින් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා. “එකිනෙකා ගැන අපි සැලකිලිමත් වෙමු. එතකොට ආදරේ පෙන්නන්නත් යහපත් දේවල් කරන්නත් එකිනෙකාව පොලඹවන්න අපිට පුළුවන් වෙයි. සමහරු පුරුද්දක් විදිහට එකට රැස් වෙන්න තියෙන අවස්ථා අතපසු කළත් අපි එහෙම නොකර ඉමු. අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ දවස ළඟ ළඟම එනවා කියලා පැහැදිලිව දකිද්දී තව තවත් වැඩියෙන් එහෙම කරමු.” (හෙබ්‍රෙ. 10:24, 25) ක්‍රිස්තියානි සභාව දෙවියන් අපට ලබා දී තිබෙන්නේ එකිනෙකාව දිරිගැන්වීමට හා අපටත් දිරිගැන්වීම් ලබාගැනීමටයි කියන දේ ඒකෙන් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම අපේ සහෝදර සහෝදරියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඒක දිගටම රැකගැනීම මොන තරම් වැදගත්ද! ඒ නිසා එකට රැස්වීම සඳහා තිබෙන අවස්ථාවන් අපි කවදාවත් අතපසු නොකර ඉමු.
“හැමෝටම තේරෙන භාෂාවලින් ගෝලයන් කතා කරනවා එයාලට ඇහුණා” (ක්‍රියා 2:5-13)
9, 10. වෙනත් භාෂාවක් කතා කරන අයට දේශනා කරන්න සමහරු කරන්නේ මොනවාද?
9 යේසුස්ගේ ගෝලයන් යෙරුසලමේ සිටි සෙනඟ සමඟ විවිධ භාෂාවලින් කතා කළ අවස්ථාව ගැන ආයෙත් සිතා බලන්න. ‘හැමෝටම තේරෙන භාෂාවලින් ගෝලයන් කතා කරනවා ඇහුණාම’ සෙනඟ හුඟක් පුදුම වුණා. (ක්‍රියා 2:6) යේසුස්ගේ ගෝලයන් සෙනඟ සමඟ ග්‍රීක භාෂාවෙන් හෝ හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කළා නම් ඔවුන්ට ඒක තේරුම්ගැනීමට හැකියාව තිබුණා. මොකද ඒ භාෂා පොදුවේ සියලුදෙනාම යම් දුරකට හෝ දැන සිටියා. නමුත් ඔවුන්ට තමන්ගෙම මව්භාෂාවෙන් ශුභාරංචියට සවන් දෙන්න පුළුවන් වුණ නිසා ඒක ඔවුන්ගේ හදවතට තදින්ම කාවදින්න ඇති. අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට එදා වගේ විවිධ භාෂාවලින් කතා කිරීමේ දීමනාව ලැබී නැහැ. නමුත් විවිධ ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන් වෙනත් භාෂා ඉගෙනගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් වෙනත් භාෂා කතා කරන සභාවලට ගිහින් සේවය කරනවා. තවත් අය වෙනත් රටවලට පවා ගිහින් සේවය කරනවා. ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන් දරන ඒ වෑයම ඔවුන්ට සවන් දෙන හුඟක් අය අගය කරනවා.
10 ක්‍රිස්ටීන් කියන සහෝදරියගේ අද්දැකීම බලන්න. ඇය තවත් සාක්ෂිකරුවන් හත්දෙනෙක් එක්ක ගුජරාටි භාෂාව උගන්වන පන්තියකට ගියා. දිනක් ඇගේ රැකියා ස්ථානයේ සිටි ගුජරාටි භාෂාව කතා කරන කාන්තාවකට ඇය ඒ භාෂාවෙන් ආචාර කළා. එතකොට ඒ කාන්තාව පුදුම වී ගුජරාටි භාෂාව ඉගෙනගැනීමට පෙලඹුණේ ඇයි කියා ක්‍රිස්ටීන්ගෙන් ඇහුවා. ඒකට හේතුව පැහැදිලි කර දෙමින් ක්‍රිස්ටීන් ඇයට හොඳ සාක්ෂියක් දැරුවා. ඒ කාන්තාව ක්‍රිස්ටීන්ට මෙහෙම කිව්වා. “ඔයාට අනිත් අයට කියන්න තියෙන පණිවිඩය හරිම වැදගත් එකක් නිසා වෙන්න ඇති ඔයා මෙච්චර අමාරු භාෂාවක් ඉගෙනගන්නේ.”
11. වෙනත් භාෂා කතා කරන අයට ශුභාරංචිය කියන්න සූදානම් වෙන්න පුළුවන් කොහොමද?
11 ඇත්තයි අප හැමෝටම වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට බැරි වෙන්න පුළුවන්. නමුත් වෙනත් භාෂා කතා කරන අයට ශුභාරංචිය දේශනා කරන්න අපට සූදානමින් සිටිය හැකියි. ඒ කොහොමද? එක විදිහක් නම් ‘JW ලැංවේජ්®’ ඇප් එකෙන් ඔබේ ප්‍රදේශයේ වැඩිදෙනෙක් කතා කරන භාෂාවකින් සුබ පතන විදිහ ඉගෙනගැනීමයි. කෙනෙක්ව මුලින්ම මුණගැසෙන අවස්ථාවේදී ඔහුගෙම භාෂාවෙන් උනන්දුවක් ඇති වෙන විදිහට කතා කරන්නත් ඉගෙනගත හැකියි. ඒ වගේම jw.org වෙබ් අඩවිය හඳුන්වලා දීලා ඒකේ ඔහුගේ භාෂාවෙන් තිබෙන ප්‍රකාශන සහ වීඩියෝ පෙන්වා දීමටත් අපට හැකියි. එතකොට තමන්ට “තේරෙන භාෂාවලින්” ශුභාරංචිය අහද්දී මිනිසුන්ට දැනුණ සතුට දැකලා මුල් සියවසේ ක්‍රිස්තියානීන් සතුටු වුණා වගේ සතුටු වන්න අපටත් හැකි වෙයි.
‘පේතෘස් නැඟිටලා’ කතා කළා (ක්‍රියා 2:14-37)
12. (අ) පෙන්තකොස්ත දවසේ සිදු වුණ දෙය යෝවෙල් කියපු අනාවැකියට සම්බන්ධ වුණේ කොහොමද? (ආ) යෝවෙල්ගේ අනාවැකිය මුල් සියවසේදී ඉටු වෙයි කියා ගෝලයන් දැනන් හිටියේ කොහොමද?
12 රැස්ව සිටින විශාල සෙනඟට කතා කරන්න ‘පේතෘස් නැඟිට්ටා.’ (ක්‍රියා 2:14) ආශ්චර්යවත් විදිහට ගෝලයන්ට විවිධ භාෂාවලින් කතා කිරීමට හැකි වුණේ යෝවෙල් මාර්ගයෙන් දීපු අනාවැකියක් ඉටු වුණ නිසයි කියා පේතෘස් පැහැදිලි කළා. ඒ අනාවැකියේ දෙවියන් කියලා තිබුණේ “හැම පසුබිමකටම අයිති මිනිසුන්ට මම මගේ බලය ලබා දෙනවා” කියායි. (යෝවෙ. 2:28) ස්වර්ගයට යෑමට පෙර යේසුස් පවා මේ වගේ දෙයක් පවසා තිබුණා. ‘මං තාත්තාගෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔහු තවත් උදව් කරන්නෙක්ව එවයි.’ ඔහු උදව්වට එවන්නේ “දෙවියන්ගේ බලය” කියාත් යේසුස් පැහැදිලි කළා.—යොහ. 14:16, 17.
13, 14. පේතෘස් තමන්ට සවන් දුන් අයගේ හදවතටම කතා කළේ කොහොමද? ඔහුව ආදර්ශයට ගන්න අපට පුළුවන් කොහොමද?
13 පේතෘස් ඔහුගේ කතාව අවසන් කළේ මේ ප්‍රබල වචනවලින්. “ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා ඔයාලා කණුවක ඇණ ගහලා මරලා දැම්ම ඒ යේසුස්ව, දෙවියන් දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කරලා තියෙනවා කියලා. ඒ ගැන ඔයාලා කිසිම සැකයක් තියාගන්න ඕනෙ නැහැ. මුළු ඊශ්‍රායෙල් ජාතියම ඒ ගැන දැනගන්න ඕනේ.” (ක්‍රියා 2:36) පේතෘස්ගේ කතාවට සවන් දුන් බොහෝදෙනෙක් යේසුස්ගේ මරණයට සම්බන්ධ නොවුණත් ඒකට වග කිව යුතු යුදෙව් ජාතියට ඔවුන් අයත්ව සිටියා. ඒ නිසා ඔවුන් යේසුස්ගේ මරණයට යම් දුරකට වග කිව යුතු වුණා. නමුත් පේතෘස් ඔවුන්ව ඇමතුවේ ඉතා ගෞරවනීය විදිහටයි. ඒ අවස්ථාවේ පේතෘස් උත්සාහ කළේ ඔවුන්ව හෙළාදකින්න නෙවෙයි ඔවුන්ගේ හදවතටම කතා කර පසුතැවිලි වන්න ඔවුන්ව පෙලඹවීමටයි. පේතෘස් පවසපු දේවලට සෙනඟ ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ඔවුන්ට කේන්තියක් ඇති වුණාද? නැහැ. ඔවුන්ට “හදවත පැලෙන තරම් වේදනාවක්” ඇති වුණා. ඊටපස්සේ ඔවුන් “අපි දැන් මොකක්ද කරන්න ඕනෙ” කියා ඇසුවා. පේතෘස්ගේ කතාව ඔවුන්ගේ හදවතට කොතරම් කාවැදුණාද කියනවා නම් පසුතැවිලි වෙන්න ඔවුන් තුළ පෙලඹීමක් ඇති වුණා.—ක්‍රියා 2:37.
14 දේශනා සේවයේදී අපටත් පේතෘස්ව ආදර්ශයට ගත හැකියි. අප ශුභාරංචිය ගැන සාක්ෂි දරන විට වැරදි මත තිබෙන අයව අපට හමු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔවුන්ට තිබෙන සෑම වැරදි මතයක්ම අප නිවැරදි කළ යුතු නැහැ. ඒ වෙනුවට ඔවුන් එකඟ වන යම් කාරණයක් ගැන කතා කිරීමෙන් බයිබලයේ ඒ සම්බන්ධයෙන් පවසා තිබෙන දේ ගැන පැහැදිලි කර දීමට අපට හැකි වෙනවා. ඒ විදිහට දේවල් පැහැදිලි කරද්දී හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට අපට හැකි වෙයි.
‘ඔයාලා හැමෝම බව්තීස්ම වෙන්න’ (ක්‍රියා 2:38-47)
15. (අ) තම කතාවට හොඳ ප්‍රතිචාරයක් දක්වපු අයට පේතෘස් කිව්වේ මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? (ආ) එදා දහස් ගාණක් බව්තීස්ම වෙන්න ගත්ත තීරණය හිතන්නේ බලන්නේ නැතුව ගත්ත එකක් නෙවෙයි කියලා කියන්නේ ඇයි?
15 ඒ සුවිශේෂී දවසේදී තමා පවසපු දේවලට හොඳ ප්‍රතිචාරයක් දක්වපු යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට පේතෘස් මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම පසුතැවිලි වෙන්න. . . . බව්තීස්ම වෙන්න.” (ක්‍රියා 2:38) ඒකේ ප්‍රතිඵලයක් විදිහට යෙරුසලමේ හෝ ඒ අවට තිබුණ පොකුණුවල 3,000ක් පමණ බව්තීස්ම වුණා.e ඔවුන් බව්තීස්ම වීමට ගත් තීරණය වැඩිදුර හිතන්නේ නැතුව ගත් තීරණයක්ද? බයිබලය ගැන ඉගෙනගන්න අයටත් ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ හැදී වැඩෙන දරුවන්ටත් කිසි සූදානමක් නැතුව හදිස්සියේ බව්තීස්ම විය හැකි බව ඒකෙන් අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ. එදා බව්තීස්ම වුණ යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට දේවවචනය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඔවුන් ඒ වන විට දෙවියන්ට කැප වුණ ඊශ්‍රායෙල් ජාතියේ සාමාජිකයන්ව සිටියා. දුර බැහැර සිට උත්සවයක් සඳහා යෙරුසලමට පැමිණ සිටීමෙන් දෙවියන්ට නමස්කාර කිරීම සඳහා ඔවුන්ට සැබෑ උද්යෝගයක් තිබුණ බවත් පැහැදිලි වුණා. නමුත් දෙවියන්ගේ අනුමැතිය ඇතුව දිගටම ඔහුට සේවය කරන්න නම් යේසුස් විසින් දෙවියන්ගේ අරමුණු ඉටු කරන විදිහ ගැන අවබෝධයක් ලබාගන්න ඔවුන්ට අවශ්‍ය වුණා. පේතෘස් ඉදිරිපත් කළ කතාවෙන් පසු ඒ ගැන අවබෝධය ලබාගත් ඔවුන්, යේසුස්ගේ අනුගාමිකයන් විදිහට බව්තීස්ම වුණා.
16. පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කළේ කොහොමද?
16 “යේසුස්ගේ අනුගාමිකයන් වුණ හැමෝම එකට එකතු වෙලා දේවල් කළා. එයාලා ළඟ තිබුණ දේවල් එකිනෙකා එක්ක බෙදාගත්තා. ඒ අය තමන්ට අයිති ඉඩම් සහ වෙනත් දේවල් විකුණලා එයාලා අතරේ අවශ්‍යතා තිබුණ අයට ඒ සල්ලි බෙදලා දුන්නා.”f (ක්‍රියා 2:44, 45) යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ඔවුන්ට ලැබුණ බව ඒකෙන් පැහැදිලි වෙනවා. එදා ඔවුන් එකිනෙකාට පෙන්වපු ප්‍රේමය හා අන් අය ගැන හිතලා කරපු කැප කිරීම් අද දින ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක්!
17. බව්තීස්ම වෙන්න කලින් ගන්න ඕනෙ පියවර මොනවාද?
17 දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වීමට නම් පියවර කිහිපයක් ගත යුතුයි. ඒවා මොනවාද කියා බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මුලින්ම දෙවියන්ගේ වචනය හොඳින් අධ්‍යයනය කර නිවැරදි දැනුමක් ලබාගත යුතුයි. (යොහ. 17:3) ඊටපස්සේ ඒ දැනුම පදනම් කරගෙන විශ්වාසය ගොඩනඟා ගත යුතු අතර කලින් තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවිලි විය යුතුයි. (ක්‍රියා 3:19) පසුතැවිලි වුණාට පස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන දෙවියන් බලාපොරොත්තු වෙන දේත් කළ යුතුයි. (රෝම 12:2; එෆී. 4:23, 24) යාච්ඤාවෙන් දෙවියන්ට කැප වෙලා බව්තීස්ම විය යුත්තේ ඊටපස්සෙයි.—මතෙ. 16:24; 1 පේතෘ. 3:21.
18. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ලැබුණ අවස්ථාව ගොඩක් වටිනවා කියලා කියන්නේ ඇයි?
18 ඔබ කැප වෙලා බව්තීස්ම වුණ යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක්ද? එහෙමනම් ඉතා පැහැදිලි සාක්ෂියක් දරමින් යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කිරීමට ඔබට ලැබී තිබෙන ඒ අවස්ථාව මොන තරම් වටින එකක්ද! එදා සිටි ගෝලයන් දෙවියන්ගේ බලයෙන් ශක්තිමත් වෙලා සාර්ථක සේවයක් කළා. ඔබටත් දෙවියන්ගේ උපකාරයෙන් ඒ සේවය සාර්ථකව කරන්න පුළුවන් කියා කවදාවත් අමතක කරන්න එපා.
a “යුදෙව් ආගමේ මධ්‍යස්ථානය වුණ යෙරුසලම” කියන කොටුව බලන්න.
b “මහා අධිරාජ්‍යයක අගනුවර වුණ රෝමය” කියන කොටුවත් “මෙසපොතේමියාවේ හා ඊජිප්තුවේ සිටි යුදෙව්වන්” කියන කොටුවත් “පොන්තසයේ සිටි ක්‍රිස්තියානීන්” කියන කොටුවත් බලන්න.
c ක්‍රියා පොතේ සඳහන් ‘ගිනිදලුවලින්’ අදහස් කළේ සැබෑ ගිනිදලු නෙවෙයි. ගෝලයන්ගේ හිසට උඩින් දැල්වුණේ ගිනිදලු හා සමාන පෙනුමක්, දීප්තියක් තිබුණ දෙයක්.
d “යුදෙව් ආගමට හැරුණු අය කවුද?” කියන කොටුව බලන්න.
e වර්ෂ 1993 අගෝස්තු 7වෙනිදා යුක්රේනයේ කීව්වල පවත්වපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී 7,402නෙක්ව තටාක හයක බව්තීස්ම කළා. ඒ සියලුදෙනාවම බව්තීස්ම කරන්න පැය දෙකයි විනාඩි පහළොවක් ගත වුණා.
f දුර බැහැර ප්‍රදේශවලින් ආපු අය ක්‍රිස්තුස් ගැන තව තවත් තොරතුරු ඉගෙනගැනීම සඳහා යෙරුසලමේ යම් කාලයක් නැවතිලා හිටපු නිසා කෙටි කලකට ඒ වගේ සැලැස්මක් තිබුණා. ඔවුන් එකිනෙකා අතරේ දේවල් බෙදාගත්තේ කැමැත්තෙන්මයි. එහෙම නැතුව සමහරු හිතන විදිහට ඔවුන් එහෙම කළේ කොමියුනිස්ට්වාදය අනුව වැඩ කරපු නිසා නෙවෙයි.—ක්‍රියා 5:1-4.