අපොල්ලොස් ක්‍රිස්තියානි සත්‍යයේ ව්‍යක්ත ප්රකාශකයෙකි
වසර ගණනාවක් පුරා හෝ ටික කලක සිට ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ව සිටියද, ශුභාරංචියේ දේශනාකරුවන් හැටියට රාජ්‍ය ප්‍රකාශකයන් සියල්ලන්ම ප්‍රගතියක් ලබාගැනීම ගැන සැලකිලිමත් විය යුතුය. දේවවචනය පිළිබඳ අපගේ දැනුම හා එය අන්‍යයන්ට ඉගැන්වීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම එයින් අදහස් වේ. ඇතැම් අයට මින් අදහස් විය හැක්කේ අභියෝගයන්ට මුහුණ දීම, දුෂ්කරතාවන් ජයගැනීම හෝ වැඩිදියුණු කරන ලද ක්‍රියාකාරකම් සඳහා තමන්වම ඉදිරිපත් කිරීමය.
විශිෂ්ට ආත්මික ප්‍රගතියක් මෙන්ම තමන්ගේ ප්රයත්නයන්ට විපාක අත් කරගැනීමෙහිලා විවිධාකාරයෙන් සාර්ථක වූ පුරාණ කාලවල විසූ භක්තිමත් පුරුෂයන්ගේ හා ස්ත්රීන්ගේ ආදර්ශ ගණනාවක් බයිබලයෙහි අඩංගු වේ. අපොල්ලොස් ඔවුන්ගෙන් එක් අයෙකි. ශුද්ධ ලියවිලි ඔහුව අපට හඳුන්වා දෙන විට, ඔහු ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන මනා අවබෝධයක් නොතිබෙන පුද්ගලයෙකි; ඒ කෙසේවෙතත්, වසර කිහිපයකට පසු, ඔහු පළමු සියවසේ සභාවේ සංචාරක නියෝජිතයෙකු හැටියට කටයුතු කරමින් සිටියි. එවන් ප්‍රගතියක් අත් කරගැනීමට ඔහුට උපකාරවත් වූයේ කුමක්ද? අප සියලුදෙනාම හොඳින් අනුකරණය කළ යුතු ගුණාංග ඔහු සතු විය.
“බහුශ්‍රැත ධර්ම දේශකයෙකි”
බයිබල් ලේඛක ලූක් පවසන පරිදි, පො.යු. 52වන වසරේදී පමණ, “අලෙක්ෂන්ද්‍රියෙහි උපන්නාවූ, උගතෙක්වූ, අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය; ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය. [ඔහු ව්‍යක්ත කථිකයෙකි; බහුශ්‍රැත ධර්ම දේශකයෙකි. නව අනුවාදය] මේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මයෙන් ජ්වලිතව සිට, යේසුස්වහන්සේගේ කාරණා ගැන හරි ආකාර කථාකර ඉගැන්නුවේය. එහෙත් ඔහු යොහන්ගේ බව්තීස්මය පමණක් දැනගන සිටියේය. ඔහු සිනගෝගයේදී නිර්භීතව කථාකරන්ට පටන්ගත්තේය.”—ක්‍රියා 18:24-26.
මිසරයෙහි පිහිටි අලෙක්ෂන්ද්රියාව, රෝමයට පසුව පැවති ලෝකයේ දෙවන විශාලතම නගරය වූ අතර, යුදෙව්වන්ට මෙන්ම ග්‍රීකයන්ට එවකට තිබූ වඩා වැදගත් සංස්කෘතික මධ්‍යස්ථානවලින් එකක් විය. පෙනෙන විදිහට, එම නගරයේ විශාල යුදෙව් ජන සමාජයෙන් ලබාගත් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ගැන තම නිවැරදි දැනුමද යම් ප්‍රමාණයක ව්යක්තභාවයක්ද ලබාගත්තා විය හැක. අපොල්ලොස් යේසුස්වහන්සේ ගැන ඉගෙනගෙන තිබුණේ කොහෙන්ද කියා අනුමාන කිරීම ඉතා දුෂ්කරය. “පෙනෙන විදිහට ඔහු සංචාරකයෙකි—ඇතැම්විට සංචාරක වෙළෙන්දෙකු විය හැක” යනුවෙන් උගතෙකු වන එෆ්. එෆ්. බෲස් අදහස් දක්වන අතර, “ඔහු ගමන් කළ ප්‍රදේශ ගණනාවෙන් යම් ස්ථානයකදී ක්‍රිස්තියානි දේශනාකරුවන් හමු වූවා විය හැක.” කෙසේවෙතත්, ඔහු යේසුස්වහන්සේ ගැන හරි ලෙස කතා කර ඉගැන්වුවත්, ඔහු “යොහන්ගේ බව්තීස්මය පමණක් දැනගන සිටි” නිසා ඔහුට සාක්ෂිදරා තිබුණේ පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී බව පෙනෙයි.
යේසුස්වහන්සේගේ පෙර මඟ සලසන්නා හැටියට, යොහන් බව්තීස්ත මුළු ඉශ්රායෙල් ජාතියටම ප්‍රබල සාක්ෂියක් දුන් අතර, පසුතැවිලි වීමේ සංකේතයක් හැටියට ඔහු විසින් බොහෝදෙනෙකුව බව්තීස්ම කරන ලදි. (මාර්ක් 1:5; ලූක් 3:15, 16) ඉතිහාසඥයන් වැඩිදෙනෙකු පවසන පරිදි, යේසුස්වහන්සේ පිළිබඳ රෝම අධිරාජ්‍යයේ යුදෙව් ජනගහනය අතර විසූ බොහෝදෙනෙකුගේ දැනුම, යොහන් යොර්දාන් නදිය අසල දේශනා කළ දෙයට සීමා විය. “ඔවුන්ගේ කිතු දහම, අපගේ ස්වාමීන්වහන්සේගේ දේවසේවය ආරම්භයේදී පැවති තත්වයට සමාන වූ” බව ඩබ්. ජේ. කනීබාර් සහ ජේ. එස්. හව්සන් පවසති. “ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ පූර්ණ අර්ථය දැන නොසිටියහ; පෙනෙන විදිහට ඔවුහු උන්වහන්සේගේ නැවත නැඟිටීම පිළිබඳ සත්‍යය පවා නොදැන සිටියහ.” පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මය වැගිරවීම ගැන අපොල්ලොස්ද නොදැන සිටි බව පෙනෙයි. කෙසේවෙතත්, යේසුස්වහන්සේ ගැන නිවැරදි තොරතුරු සමහරක් ඔහු ලබාගෙන තිබූ අතර, ඔහු එය තමාටම සීමා කර නොගත්තේය. ඇත්තෙන්ම, ඔහු දැනගත් දෙය කතා කිරීමට නිර්භීතව ප්‍රස්තාවන් සෙව්වේය. කෙසේවෙතත්, ඔහුගේ ජ්වලිතය සහ දැඩි උනන්දුව මේ වන විටත් නිවැරදි දැනුම මත පදනම් වී නොතිබිණ.
ජ්වලිතය නමුත් නිහතමානිය
ලූක්ගේ වාර්තාවේ තවදුරටත් මෙසේ පැවසේ: “ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා, ඔහු තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්නෝය.” (ක්‍රියා 18:26) අපොල්ලොස්ගේ ඇදහිල්ලෙහි තමන්ගේ ඇදහිල්ලට පොදු වූ දේවල් බොහොමයක් තිබූ බව අකිලා සහ ප්‍රිස්කිලා තේරුම්ගත් නමුත්, ඔවුහු නැණවත් ලෙස, ඔහුගේ අවබෝධයේ අඩුපාඩුකම් ප්‍රසිද්ධියේ නිවැරදි කිරීමට තැත් නොකළහ. අපොල්ලොස්ට උපකාර කිරීමේ අරමුණ ඇතුව ඔවුන් ඔහු සමඟ පෞද්ගලික සාකච්ඡාවන් ගණනාවක් පැවැත්වූ බව අපට සිතාගත හැක. “ලියවිලි ගැන බලවත්ව” සිටි මිනිසෙකු වන අපොල්ලොස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ක්‍රියා 18:24) බොහෝදුරට, අකිලාව සහ ප්රිස්කිලාව හමුවීමට කලින් යම් කලක සිට අපොල්ලොස් තමාගේ අඩුපාඩු සහිත පණිවිඩය ප්‍රසිද්ධියේ දේශනා කරමින් සිටියේය. අහංකාර පුද්ගලයෙකු නිවැරදි කිරීම සඳහා දෙන ඕනෑම උපදෙසක් පහසුවෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි නමුත්, අපොල්ලොස් නිහතමානී වූ අතර, තමාගේ දැනුම සම්පූර්ණ කරගැනීමට හැකිවීම ගැන ස්තුතිවන්ත වූයේය.
එපීසයේ සහෝදරයන් විසින් කොරින්ති සභාවට එවන ලද නිර්දේශ කිරීම් ඇතුළත් ලිපිය පිළිගැනීමට ඔහු තුළ තිබූ කැමැත්තෙන්ද, අපොල්ලොස්ගේ එම නිහතමානි ආකල්පය දැකගත හැක. වාර්තාව තවදුරටත් මෙසේ පවසයි: “තවද ඔහු අකායට යන්ට සිතූ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යකොට, ඔහු පිළිගන්නා ලෙස ගෝලයන්ට ලියා ඇරියෝය.” (ක්‍රියා 18:27; 19:1) අපොල්ලොස් තම සුදුසුකම් පිළිගන්නා මෙන් ඉල්ලා නොසිටියේය, නමුත් නිහතමානී ලෙස ක්‍රිස්තියානි සභාවේ විධිවිධානය අනුගමනය කළේය.
කොරින්තියේදී
කොරින්තියේදී අපොල්ලොස්ගේ දේවසේවයේ මුල් ප්‍රතිඵල විශිෂ්ටය. ක්‍රියා පොත මෙසේ වාර්තා කරයි: “ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කළේ ය. මන්ද, ඔහු ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව ශුද්ධලියවිල්ලෙන් පෙන්වා දෙමින්, ජුදෙව්වරුන්ගේ තර්ක ප්‍රසිද්ධියේ ම එඩිතර ලෙස බිඳහරිමින් පරාජය කෙළේ ය.”—ක්‍රියා 18:27, 28; න.අ.
අපොල්ලොස් තම සූදානම් වීම සහ ජ්වලිතය මාර්ගයෙන් සහෝදරයන්ව දිරිගන්වමින්, සභාවේ සේවා කටයුතුවලදී තමන්වම ඉදිරිපත් කළේය. ඔහුගේ සාර්ථකත්වයට යතුර වූයේ කුමක්ද? ඇත්තෙන්ම අපොල්ලොස්ට සහජ හැකියාවක් තිබූ අතර, යුදෙව්වන් සමඟ ප්‍රසිද්ධියේ වාදයක් දිගටම කරගෙන යෑමට තරම් නිර්භීත වූයේය. නමුත්, වඩාත් වැදගත් දෙය වූයේ, ඔහු ශුද්ධ ලියවිලි භාවිත කරමින් හේතු දැක්වීමය.
කොරින්තිවරුන්ට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට අපොල්ලොස්ට හැකි වුවත්, අභාග්‍යයකට මෙන් ඔහුගේ දේශනා කිරීමෙන් අනපේක්ෂිත ලෙස අහිතකර ප්‍රතිඵල බිහි විය. කෙසේද? කොරින්තියේ රාජ්‍ය සත්‍යයේ බීජය පැළ කිරීමේදී සහ වතුර වත් කිරීමේදී, පාවුල් මෙන්ම අපොල්ලොස්ද විශාල වැඩ කොටසක් ඉටු කළහ. අපොල්ලොස්ගේ පැමිණීමට වසර දෙකකට පමණ කලින්, එනම් පො.යු. 50දී පමණ පාවුල් එහි දේශනා කර තිබිණ. පාවුල් කොරින්තිවරුන්ට තම පළමු ලිපිය ලියන කාලය වන විට, එනම් පො.යු. 55දී පමණ, බෙදීම් වර්ධනය වී තිබිණ. සමහරුන් අපොල්ලොස් තමන්ගේ නායකයා හැටියට සලකමින් සිටි අතර, අනිත් අය පාවුල්ට හෝ පේතෘස්ට හෝ ක්‍රිස්තුස්වහන්සේට හෝ පමණක් පක්ෂ වූහ. (1 කොරින්ති 1:10-12) සමහරු, “මම අපොල්ලොස්ගේය,” යනුවෙන් පවසමින් සිටියහ. ඒ මන්ද?
පාවුල් මෙන්ම අපොල්ලොස්ද දේශනා කළ පණිවිඩය සමාන වුවත්, ඔවුන්ට වෙනස් පෞද්ගලිකත්වයන් තිබිණ. තමා “කතාවෙහි අදක්ෂ” බව පාවුල්ම පිළිගත්තේය; අනික් අතට බලන කල, අපොල්ලොස් “ව්‍යක්ත කථිකයෙකි”. (2 කොරින්ති 10:10; 11:6, න.අ.) කොරින්තියේ විසූ යුදෙව් ජනසමූහයේ සමහරදෙනෙකුගේ සවන් යොමු කරවාගත හැකි කුසලතාවන් ඔහු සතුව තිබිණ. පාවුල් සිනගෝගය අත්හැර ගොස් වැඩි කලක් යන්ට මත්තෙන්, අපොල්ලොස් ‘යුදෙව්වන්ගේ තර්ක ප්‍රසිද්ධියේම එඩිතර ලෙස බිඳහෙළීමෙහි’ සාර්ථක වූයේය.—ක්‍රියා 18:1, 4-6.
අපොල්ලොස්ට වැඩි කැමැත්තක් දැක්වීමට ඇතමුන්ට මෙය හේතු වූවාද? ඇතැම්විට ග්‍රීකයන් අතර පැවති දාර්ශනික සාකච්ඡාවන් සඳහා තිබූ සහජ ආශාව, සමහරුන්ට අපොල්ලොස්ගේ පොලඹවනසුලු එළඹීමට වැඩි කැමැත්තක් දැක්වීමට මඟ පෑදූ බව විචාරකයෝ ගණනාවක් අනුමාන අදහස් ඉදිරිපත් කරති. ජූසෙප්පෙ රීචෝටී මෙසේ තම අදහස් දක්වයි: “[අපොල්ලොස්ගේ] සිත්ගන්නා භාෂාව මෙන්ම අලංකාරවත් උපහැරණ නිසා, ඔහු බොහෝදෙනෙකුගේ ප්‍රශංසාව දිනාගත් අතර, බොහෝදෙනෙක්, බාහිර ප්‍රදර්ශනයකින් තොර, එතරම් ව්‍යක්ත දේශකයෙකු නොවූ පාවුල්ට වඩා ඔහුට වැඩි කැමැත්තක් දැක්වූහ.” ඇත්තෙන්ම, සහෝදරයන් අතර බෙදීම් ඇති කිරීම සඳහා ඇතැම් අය එවන් පෞද්ගලික මනාපයන්ට වැරදි ලෙස ඉඩහැරියා නම්, “ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව” උසස් කොට සැලකීම පාවුල් දැඩි ලෙස විවේචනය කළේ මන්දැයි තේරුම්ගැනීම අපහසු නැත.—1 කොරින්ති 1:17-25.
කෙසේවෙතත්, පාවුල් සහ අපොල්ලොස් අතර කිසිදු බෙදීමක් තිබූ බව එවන් විවේචනයන්ගෙන් අඟවන්නේ නැත. කොරින්තිවරුන්ගේ සිත් දිනාගැනීම සඳහා, මේ දේශනාකරුවන් දෙදෙනා අතර දැඩි විරුද්ධවාදිකම් තිබුණායයි ඇතමුන් සාධාරණ හේතුවක් නොමැතිව අනුමාන කළත්, එවන් කිසිම දෙයක් තිබූ බව ශුද්ධ ලියවිලිවල නොපවසයි. එක් පක්ෂයක නායකයා මෙන් කටයුතු කිරීමට වෑයම් කරනවා වෙනුවට, අපොල්ලොස් කොරින්තියෙන් පිට වී එපීසයට ආපසු පැමිණි අතර, බෙදුණු කොරින්ති සභාවට පාවුල් තම පළමු ලිපිය ලියන කාලයේදී ඔහු සමඟ සිටියේය.
ඔවුන් අතර කිසිම අසමගියක් හෝ එදිරිවාදිකමක් නොතිබිණ; ඒ වෙනුවට අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව කොරින්තියේ පැවති ගැටලුව විසඳීමට ඔවුහු සහයෝගයෙන් කටයුතු කළහ. ඇතැම්විට අපොල්ලොස් ගැන නොව, නමුත් කොරින්තියේ සිටි ඇතැම් අය ගැන පාවුල්ට සැකයන් තිබුණා විය හැක. මෙම මිනිසුන් දෙදෙනාගේ වැඩයෙහි සම්පූර්ණ එකඟත්වයක් තිබිණ; ඔවුන්ගේ ඉගැන්වීම් එකිනෙකාගේ වැඩය සම්පූර්ණ කිරීමට ඉවහල් විය. පාවුල්ගේම වදන් මෙසේ උපුටා දැක්විය හැක: “මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය,” මක්නිසාද දෙදෙනාම “දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්[නන්]” වූ නිසාය.—1 කොරින්ති 3:6, 9, 21-23.
පාවුල් මෙන් කොරින්තිවරුද අපොල්ලොස්ව ඉතා උසස් කොට සැලකූහ, ඔහු නැවත පැමිණෙනවා දැකීමට ඔවුහු ආශාවෙන් සිටියහ. එහෙත් කොරින්තියට ආපසු යන මෙන් පාවුල් ඔහුට ඇරයුම් කළ විට, අපොල්ලොස් අකමැති විය. පාවුල් මෙසේ පවසයි: “සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ නුඹලා ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලීමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.” (1 කොරින්ති 16:12) අපොල්ලොස් ආපසු යෑමට අකමැති වූයේ, තවදුරටත් බෙදීම් ඇති වේවියයි තිබූ බිය නිසා හෝ ඔහු වෙනත් ස්ථානයක කාර්යබහුලව සිටි නිසා හෝ විය හැක.
ශුද්ධ ලියවිල්ලෙහි අවසන් වරට අපොල්ලොස් ගැන සඳහන් කරන අවස්ථාවේදී ඔහු ක්රීතයට මෙන්ම ඇතැම්විට ඊටත් ඈතින් පිහිටි ප්‍රදේශයකට ගමන් කරමින් සිටියේය. අපොල්ලොස් සහ ඔහු සමඟ ගමන් කරන ඔහුගේ මිත්‍රයා වන සේනස්ට ඔවුන්ගේ ගමනේදී අවශ්‍ය විය හැකි සියලුම දේවල් සපයන්න කියා තීතස්ගෙන් ඉල්ලමින්, නැවතත් පාවුල් තම මිතුරා මෙන්ම හවුල් සේවකයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි. (තීතස් 3:13) මේ කාලය වන විට, එනම් වසර දහයක පමණ ක්‍රිස්තියානි දේවසේවයේ පුහුණුවක් ලැබීමෙන් පසු, සභාවේ සංචාරක නියෝජිතයෙකු හැටියට කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රගතිය අපොල්ලොස් ලබා තිබුණේය.
ආත්මික වර්ධනය පහසු කරවන දේවගුණාංග
ශුභාරංචියේ නවීන දින ප්‍රචාරකයන් සියල්ලන්ටම මෙන්ම ආත්මික ප්‍රගතියක් ලැබීමට ආශාවක් දක්වන්නාවූ සැමට, අලෙක්ෂන්ද්රීය දේශනාකරු කදිම ආදර්ශයක් තැබුවේය. අප ඔහු මෙන් ව්‍යක්ත නොවූවත්, ඔහුගේ දැනුම සහ ශුද්ධ ලියවිලි භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු සතු වූ හැකියාව හා සමාන තත්වයකට ළඟාවීම සඳහා අපට වෑයම් කළ හැකි අතර, මෙසේ අවංකව සත්‍යය සොයන්නන්ට උපකාර කළ හැකිය. ජ්වලිතවත් ක්‍රියාකාරකම් පිළිබඳ තම ආදර්ශයෙන්, අපොල්ලොස් “අදහාගන සිටි අයට බොහෝ උපකාරකෙළේය.” (ක්‍රියා 18:27) අපොල්ලොස් නිහතමානී, ආත්ම-පරිත්‍යාගශීලී මෙන්ම අන්‍යයන්ට සේවය කිරීමට කැමැත්තෙන් සිටියේය. අප සියලුදෙනාම “දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්[නන්]” නිසා, ක්‍රිස්තියානි සභාව තුළ එදිරිවාදිකම් හෝ කීර්තිය ලැබීමේ අභිලාෂයන් සඳහා කිසිදු ඉඩක් නැති බව ඔහු හොඳින් තේරුම්ගත්තේය.—1 කොරින්ති 3:4-9; ලූක් 17:10.
අපටත් අපොල්ලොස්ට මෙන් ආත්මික ප්‍රගතියක් අත් කරගත හැක. යෙහෝවඃවහන්සේට සහ උන්වහන්සේගේ සංවිධානයට අපව වඩා පූර්ණ ලෙස යොදවාගත හැකි ස්ථාවරයක සිටිමින් දියුණු වීමට නැතහොත් අපගේ පරිශුද්ධ සේවය පුළුල් කරගැනීමට අපි කැමැත්තෙන් සිටින්නෙමුද? ඒ සඳහා අප ක්‍රිස්තියානි සත්‍යයේ ජ්වලිතවත් ශිෂ්‍යයන් මෙන්ම ප්‍රකාශකයන් විය යුතුය.