“ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු”
“අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු.”—1 යොහ. 3:18.
1. සැබෑ ආදරය කියන්නේ මොන වගේ ආදරේකටද? පැහැදිලි කරන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
ප්‍රේමයේ උල්පත යෙහෝවා දෙවි. (1 යොහ. 4:7) දෙවි හැම වෙලාවෙම ප්‍රේමය පෙන්නන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟවයි. ඒක තමයි සැබෑ ආදරේ (ග්‍රීක භාෂාවෙන් “ආගාපේ”). ඒ වගේ ආදරයක් පෙන්නන කෙනෙක්ට අනිත් අය ගැන ලොකු හැඟීමක්, සෙනෙහසක් තියෙනවා. ඒත් ඒක හැඟීම්වලට විතරක් සීමා වුණ ආදරයක් නෙමෙයි. එහෙම කෙනෙක් තමන්ගේ වාසිය නොබලා අනිත් අය වෙනුවෙන් ඇපකැප වෙනවා. ඒ වගේ ආදරයක් පෙන්නන කෙනෙක්ට සැබෑ සතුට අද්දකින්න පුළුවන්. ඒක එයාගේ ජීවිතේ අර්ථවත් කරනවා.
2, 3. යෙහෝවා දෙවි මුල ඉඳලාම තමන්ගේ වාසිය බලන්නේ නැතුව ආදරේ පෙන්නුවේ කොහොමද?
2 මිනිසුන් ගැන යෙහෝවා දෙවිට තියෙන ආදරේ ඔහු පෙන්නුවේ ආදම් සහ ඒවව නිර්මාණය කරන්නත් කලින්. මිනිසුන්ගේ පැවැත්මට අවශ්‍ය හැම දේම ඇතුව ඔහු පොළොව නිර්මාණය කළා. ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් සදාකාල නිවහනක් විදිහට දෙවි පොළොව සකස් කළා. දෙවි ඒ හැම දෙයක්ම කළේ අපිට තියෙන ආදරේ නිසයි. නැතුව ඔහුට වාසි ලබාගන්න නෙමෙයි. හැම දෙයක්ම හොඳින් සූදානම් කළාට පස්සේ දෙවි මිනිසුන්ව නිර්මාණය කරලා සදාකල් ජීවත් වීමේ අවස්ථාව එයාලට දුන්නා.
3 ආදම් සහ ඒව කැරලිගැහුවට පස්සෙත් යෙහෝවා දෙවිට මිනිසුන් ගැන තිබුණ ආදරේ වෙනස් වුණේ නැහැ. එයාලගෙන් පැවතෙන සමහරු දෙවිට ආදරේ කරයි කියන විශ්වාසය ඔහුට තිබුණා. තමන්ගේ පුතාගේ ජීවිතේ පූජාවක් හැටියට දීලා ඒ අයව පාපයෙන් බේරගන්න දෙවි සැලසුම් කළා. ආදරේ පෙන්නන්න ඊට වඩා උතුම් විදිහක් තියෙනවාද? (උත්. 3:15; 1 යොහ. 4:10) ජීවිත පූජාව ගැන පොරොන්දුව දුන්න අවස්ථාවේ ඉඳලා දෙවි ඒක සැලකුවේ ඒ වෙද්දීත් ඔප්පු කරපු පූජාවක් හැටියටයි. පොරොන්දුව දීලා අවුරුදු 4,000කට පස්සේ දෙවි තමන්ගේ එකම පුතාගේ ජීවිතේ මිනිසුන් වෙනුවෙන් දුන්නා. (යොහ. 3:16) දෙවි පෙන්නපු ඒ ආදරේ අපි කොයි තරම් අගය කරන්න ඕනෙද!
4. තමන්ව දෙවෙනි තැනට දාලා අනිත් අයට ආදරේ පෙන්නන්න අපිටත් පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?
4 පාපය උරුම වෙලා තිබුණත් අපිට අපිව දෙවෙනි තැනට දාලා අනිත් අයට ආදරේ පෙන්නන්න පුළුවන්ද? ඔව්. මොකද යෙහෝවා දෙවි අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව. ඒ කියන්නේ ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන්. ඒ වගේ ආදරයක් පෙන්නන එක හැම වෙලේම ලේසි නැහැ. ඒත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. දෙවිට තිබුණ ආදරේ නිසා ආබෙල් එයාට තිබුණ හොඳම දේ දෙවි වෙනුවෙන් දුන්නා. (උත්. 4:3, 4) කවුරුත් ඇහුම්කන් දුන්නේ නැතත් නෝවා අවුරුදු ගාණක් අත් නෑර දෙවිගේ පණිවිඩය දේශනා කළා. (2 පේතෘ. 2:5) ආබ්‍රහම් තමන්ගේ ආදරණීය පුතාව දෙවි වෙනුවෙන් දෙන්න සූදානම් වුණා. (යාකො. 2:21) අපිටත් ඕනෙ අමාරු අවස්ථාවලදී වුණත් ආදරේ පෙන්නන්නයි.
කුහකමින් තොර ආදරයක්
5. අවංකව ආදරේ පෙන්නන්න පුළුවන් කොයි විදිවලින්ද?
5 බයිබලේ කියන්නේ “අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු” කියලයි. (1 යොහ. 3:18) ඒ කියන්නේ වචනවලින් අපේ ආදරේ අනිත් අයට දැනෙන්න සලස්වන්න බැහැ කියලාද? එහෙම නෙමෙයි. (1 තෙස. 4:18) අපි කෙනෙක්ට නිකම්ම ආදරෙයි කියනවා වෙනුවට ඒ ආදරේ ක්‍රියාවෙන් පෙන්නන්න ඕනේ. උදාහරණෙකට සහෝදරයෙක්ට කන්න අඳින්න නැත්නම් එයාගේ හිත සැනසෙන විදිහට කතා කරලා මදි. (යාකො. 2:15, 16) ඒ වගේම අපි යෙහෝවා දෙවිටත් අනිත් අයටත් ඇත්තටම ආදරේ නම් සේවය කරන්න තවත් අයව එවන්න කියලා යාච්ඤා කරනවා විතරක් නෙමෙයි අපිට පුළුවන් උපරිමයෙන් සේවයේ හවුල් වෙනවා.—මතෙ. 9:38.
6, 7. (අ) “කුහකකමින් තොර” ආදරයක් කියන්නේ මොකක්ද? (ආ) ආදරේ කියලා බොරුවට මවාපාපු අය කවුද?
6 යොහන් කිව්වේ “ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු” කියලයි. ඒ කියන්නේ අපේ ආදරේ “කුහකකමින් තොර” එකක් වෙන්න ඕනේ. (රෝම 12:9; 2 කොරි. 6:6) සමහරවිට කෙනෙක් ආදරෙයි කියලා මවාපාන්න පුළුවන්. ඒත් එයා ඒ දේ කරන්නේ වැරදි චේතනාවකින් නම් ඒකේ කිසිම වටිනාකමක් නැහැ. මොකද සැබෑ ප්‍රේමය තියෙන කෙනෙක් ළඟ කුහකකමක් ගෑවිලාවත් නැහැ.
7 ආදරෙයි කියලා මවාපාපු කීපදෙනෙක් ගැන බලන්න. ඒවට කතා කරපු විදිහෙන් සාතන් පෙන්නුවේ එයාට ඕනෙ ඒවට යහපතක් කරන්න කියලයි. ඒත් ඒක මවාපෑමක් කියලා එයා කරපු දෙයින් පැහැදිලි වුණා. (උත්. 3:4, 5) දාවිත් රජුගේ යාළුවෙක් වුණ අහිතොෆෙල් වාසි ලබාගන්න අරමුණින් දාවිත්ට ද්‍රෝහි වුණා. එයා හොඳ යාළුවෙක් නෙමෙයි කියලා ඒකෙන් ඔප්පු වුණා. (2 සාමු. 15:31) අදත් සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය, සභාවේ භේද ඇති කරන්න හදන අය ‘කනට මිහිරි වචන හා චාටු බස් දොඩනවා.’ (රෝම 16:17, 18) එයාලා අනිත් අය ගැන සැලකිලිමත් කියලා පෙන්නුවත් ඇත්තටම එයාලා හිතන්නේ තමන් ගැන විතරයි.
8. අපි හිතන්න ඕනෙ මොන ප්‍රශ්නේ ගැනද?
8 ආදරෙයි කියලා බොරුවට මවාපාන එක හරිම පහත් දෙයක්. මොකද ඒකෙන් කරන්නේ මිනිසුන්ව රවට්ටන එකයි. ඒත් යෙහෝවා දෙවිව රවට්ටන්න කාටවත් බැහැ. කුහක විදිහට වැඩ කරන අයට “ඉතා තදින් දඬුවම් කරනවා” කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:51) දෙවිගේ සේවකයන් වන අපිට ඕනෙ නැහැ කුහක විදිහට වැඩ කරන අය වෙන්න. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ ගැන හිතමු. ‘මං අනිත් අයට ආදරේ පෙන්නන්නේ අවංකවමද? නැත්නම් මං හිතන්නේ මගේ වාසිය ගැන විතරද?’ “කුහකකමින් තොර” ආදරයක් පෙන්නන්න පුළුවන් පැති 9ක් ගැන දැන් බලමු.
“ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්නන්නේ” කොහොමද?
9. සැබෑ ආදරේ අපිව පොලඹවන්නේ මොකක් කරන්නද?
9 අනිත් අයගේ ප්‍රශංසාව බලාගෙන දේවල් කරන්න එපා. අපි අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන්න ඕනෙ හැමෝගෙම අවධානය අපිට ඇදගන්න අරමුණින් නෙමෙයි. (මතෙව් 6:1-4 කියවන්න.) එහෙම කරන්න බැරි වුණ දෙන්නෙක් තමයි අනනියස් සහ සෆීරා. කැපීපේන්න ඕනෙ වුණ නිසා එයාලා කරපු සම්මාදම ගැන බොරු කිව්වා. කුහක විදිහට වැඩ කරපු එයාලට දෙවි දඬුවම් කළා. (ක්‍රියා 5:1-10) අපි ඇත්තටම අපේ සහෝදරයන්ට ආදරෙයි නම් අපි එයාලට උදව් කරන්නේ අවංකවමයි. ඒ ගැන අඬබෙර ගහන්නේ නැහැ. ඉගැන්වීමේ කාර්යය කරන්න පාලක මණ්ඩලයට සහය වෙන සහෝදරයන් ඒ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්. එයාලා තමන් සහය දුන්නේ මොන වගේ පැතිවලින්ද කියලා හෙළි කරන්නේ නැහැ. මොකද එයාලට ඕනෙ නැහැ ප්‍රශංසාව තමන්ට ලබාගන්න.
10. අනිත් අයට ගෞරවයෙන් සලකන්න පුළුවන් කොහොමද?
10 අනිත් අයට ගෞරවයෙන් සලකන්න. (රෝම 12:10 කියවන්න.) යේසුස් නියෝජිතයන්ගේ පාද හෝදලා එයාලට ගෞරව කරනවා කියලා පෙන්නුවා. (යොහ. 13:3-5, 12-15) ඒත් හැම වෙලේම අනිත් අයට ගෞරවයෙන් සලකන එක අපිට ලේසි නැති වෙයි. සමහරවිට අපිට තව නිහතමානී වෙන්න වෙයි. පාද හෝදලා යේසුස් උගන්වන්න හදපු පාඩම නියෝජිතයන් තේරුම්ගත්තෙත් දෙවිගේ බලය ලැබුණාට පස්සෙයි. (යොහ. 13:7) අනිත් අයට ගෞරව කරන කෙනෙක් තමන් ලබලා තියෙන අධ්‍යාපනය නිසා, ධනය නිසා, කරන විශේෂ පැවරුමක් නිසා අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතන්නේ නැහැ. (රෝම 12:3) එහෙම කෙනෙක් අනිත් අයට ප්‍රශංසා ලැබෙද්දී ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගැන සතුටු වෙනවා. ‘එයාට විතරක් නෙමෙයි හරි නම් මටත් ප්‍රශංසාවක් ලැබෙන්න ඕනෙ’ කියලා කවදාවත් හිතන්නේ නැහැ.
11. අපි අනිත් අයට ප්‍රශංසා කරද්දී ඒක අවංකව කරන්න ඕනෙ ඇයි?
11 ප්‍රශංසා කරද්දී අවංක වෙන්න. අනිත් අයව අගය කරන්න අවස්ථාවන් හොයන්න. අපි එකිනෙකාව දිරිගන්වන්න නම් අගය කරන එක අත්‍යවශ්‍යයි. (එෆී. 4:29) ඒත් ‘මං කෙනෙක්ව අගය කරන්නේ අවංකවමද නැත්නම් මට ඕනෙ එයාව මුරුංගා අත්තේ තියන්නද’ කියලා අපි කල්පනා කරන්න ඕනේ. අනිත් අයව බොරුවට වර්ණනා කරන එකෙන් අපි වළකින්න ඕනෙ වගේම කෙනෙක්ව නිවැරදි කරන්න අවශ්‍ය වෙලාවලදී ලිස්සලා යන්නත් හොඳ නැහැ. (හිතෝ. 29:5) කෙනෙක්ගේ මූණට හොඳ කියලා නැති තැන දොස් කියනවා නම් ඒක කුහකකමක්. පාවුල්ට සහෝදරයන් ගැන තිබුණේ අවංක ආදරයක්. එයා කොරින්ති සභාවේ අය කරපු හොඳ දේවල් අගය කළා. (1 කොරි. 11:2) ඒත් යම් කාරණා ගැන එයාලව නිවැරදි කරන්නත් පාවුල් අදිමදි කළේ නැහැ. නිවැරදි කරන හේතුවත් කාරුණිකව පැහැදිලි කළා.—1 කොරි. 11:20-22.
12. අවංකවම ආදරේ පෙන්නන්න නම් ත්‍යාගශීලී වෙන්න ඕනෙ කොහොමද?
12 ත්‍යාගශීලී වෙන්න. ත්‍යාගශීලී වෙන්න කියලා යෙහෝවා දෙවි අපිට ආඥා කරලා තියෙනවා. (1 යොහන් 3:17 කියවන්න.) ඒත් ඒක කරන්න ඕනෙ හොඳ චේතනාවෙන්. මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං ගෙදරට ආරාධනා කරන්නේ මගේ කිට්ටු යාළුවන්ට, සභාවේ පිළිගැනීමක් තියෙන අයට, මං වෙනුවෙන් ආපහු දෙයක් කරන්න පුළුවන් අයට විතරද? නැත්නම් මං වැඩිය දන්නේ නැති අයටත් මං වෙනුවෙන් ආපහු දෙයක් කරන්න බැරි අයටත් මං ත්‍යාගශීලී වෙනවාද?’ (ලූක් 14:12-14) මේ ගැන හිතන්න. සහෝදරයෙක් වැඩිය හිතන්නේ බලන්නේ නැතුව ගත්ත තීරණයක් නිසා දුක් විඳිනවා. ඔයා එයාට උදව් කරයිද? ඔයා කෙනෙක්ට ආගන්තුක සත්කාරය පෙන්නුවත් එයා ස්තුති කළේ නැහැ. ඔයා අමනාප වෙනවාද? යෙහෝවා දෙවි අපිට කියන්නේ “කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න” කියලයි. (1 පේතෘ. 4:9) අපි ත්‍යාගශීලී වෙන්නේ හොඳ චේතනාවෙන් නම් ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.—ක්‍රියා 20:35.
13. (අ) දුර්වල අයට උදව් කරන එක අභියෝගයක් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? (ආ) දුර්වල අයට උදව් කරන්න පුළුවන් කොහොමද?
13 දුර්වල අයට උදව් කරන්න. දෙවි අපිට කියන්නේ “දුර්වල වී සිටින අයට උපකාර කරන්න, සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න” කියලයි. (1 තෙස. 5:14) ඒ උපදෙස අදාළ කරගන්න විදිහෙන් අපේ ආදරේ අවංකද නැද්ද කියලා දැනගන්න පුළුවන්. දුර්වල වෙලා හිටපු හුඟදෙනෙක්ට එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් තවත් අයට ඒකට කාලයක් යනවා. ඒ අයට අපි ආදරෙන්, ඉවසීමෙන් උදව් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? බයිබලේ පාවිච්චි කරලා එයාලව දිරිගන්වන්න. අපිත් එක්ක සේවයේ යන්න ආරාධනා කරන්න. එයාලට හොඳින් ඇහුම්කන් දෙන්න. ‘මෙයා හොඳට දේවල් කරන කෙනෙක්,’ ‘මෙයා දුර්වල කෙනෙක්’ කියලා සභාවේ අයව ලේබල් කරන්න එපා. අපි හැමෝටම හොඳ පැති වගේම දුර්වල පැතිත් තියෙනවා කියලා මතක තියාගමු. පාවුල්ටත් දුර්වල පැති තිබුණා. (2 කොරි. 12:9, 10) අපි හැමෝටම එකිනෙකාගේ උදව්, දිරිගැන්වීම් ඕනෙමයි.
14. සහෝදරයන් එක්ක සමාදානයෙන් ඉන්න අපි මොනවාද කරන්න ඕනේ?
14 සාමය ඇති කරන අය වෙන්න. අනිත් අය ඔයාව වරදවා වටහාගෙන කියලා හිතුණත් ඔයාට අසාධාරණයක් වෙනවා කියලා හිතුණත් එයාලා එක්ක සාමයෙන් ඉන්න පුළුවන් හැම දේම කරන්න. (රෝම 12:17, 18 කියවන්න.) අනිත් අතට අපි කියපු කරපු දෙයක් නිසා කෙනෙක්ගේ හිත රිදුණොත් එයාගෙන් සමාව ඉල්ලන්න. ඒත් ඒක කරන්න ඕනෙ අවංකව. ‘ඔයාට එහෙම හිතෙන එක ගැන මට දුකයි’ කියලා කියනවා වෙනුවට ‘මං ඔයාගේ හිත රිද්දුවාට මට සමාවෙන්න’ කියලා කියන එක වඩා හොඳයි. විවාහ ජීවිතෙත් සාමය අත්‍යවශ්‍යයි. යුවළක් අනිත් අය ඉස්සරහා හරිම ආදරෙන් ඉන්නවා වගේ පෙන්නලා කවුරුත් නැති තැන කතා නොකර ඉන්නවා නම්, බැණගන්නවා නම්, පහර දෙනවා නම් ඒක වැරදියි.
15. අවංකවම සමාව දෙන්න අපිට පුළුවන් කොහොමද?
15 කැමැත්තෙන්ම සමාව දෙන්න. කවුරු හරි අපේ හිත රිද්දුවා කියලා හිතන්න. අපේ හිත රිදුණා කියලා එයාට තේරුණේ නැතත් අපි එයාට සමාව දීලා ඒක අමතක කරලා දාන්න ඕනේ. ‘එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගන්නවා නම් දෙවිගේ බලය ක්‍රියාත්මක වීම මගින් අද්දකින එක්සත්කම රැකගන්නත් සමාදානයෙන් ජීවත් වෙන්නත් මහත් වෑයමක් දරනවා නම්’ කැමැත්තෙන්ම සමාව දෙන්න අපිට පුළුවන්. (එෆී. 4:2, 3) වෙච්ච දේ ගැන දිගින් දිගටම හිතන්න ගියොත් අවංකව සමාව දෙන්න බැරි වෙයි. ආදරෙන් වැඩ කරන කෙනෙක් “අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ.” (1 කොරි. 13:4, 5) අපේ හිතේ කහටක් තියෙනවා නම් ඒකෙන් වෙන්නේ අපේ හිත රිද්දපු සහෝදරයා එක්කත් යෙහෝවා දෙවි එක්කත් අපිට තියෙන බැඳීම පලුදු වෙන එකයි. (මතෙ. 6:14, 15) රිද්දපු කෙනා වෙනුවෙන් යාච්ඤා කරන ඒකෙන් පේන්නේ අපි එයාට අවංකව සමාව දීලා කියලයි.—ලූක් 6:27, 28.
16. අපිට ලැබෙන පැවරුම් ගැන තියෙන්න ඕනෙ මොන වගේ ආකල්පයක්ද?
16 වාසි ප්‍රයෝජන ගන්න එපා. අපිට යම් පැවරුමක් ලැබෙද්දී අපි අපේම ‘සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් වෙනවා නම්’ අපි ඇත්තටම අනිත් අයට ආදරෙයි කියලා ඔප්පු කරන්න පුළුවන්. (1 කොරි. 10:24) උදාහරණෙකට පරිවාරකයන්ට අවස්ථාව ලැබෙනවා අනිත් අයට කලින් අපේ සමුළු තියෙන තැන්වලට ඇතුල් වෙන්න. සමහරවිට තමන්ට, පවුලේ අයට හොඳ තැනකින් සීට් එකක් අල්ලන්න එයාලා පෙලඹෙන්න පුළුවන්. ඒත් ඒ වගේ හුඟදෙනෙක් හොඳම තැන තමන්ට අල්ලගන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. එයාලා කරන්නේ තමන්ගේ පහසුව ගැන හිතන්නේ නැතුව අනිත් අයට ආදරේ පෙන්නන එකයි. අපිටත් එයාලව ආදර්ශයට ගන්න පුළුවන්ද?
17. සැබෑ ආදරයක් තියෙනවා නම් බරපතළ වරදක් කරන කෙනෙක් පෙලඹෙන්නේ මොනවා කරන්නද?
17 රහසින් කරන වැරදි පිළි අරන් ඒක අත්හරින්න. සමහර අය බරපතළ වරදක් කරලා ඒක හංගගෙන ඉන්නවා. එහෙම කරන්නේ ඒක පිළිගත්තොත් තමන් අපහසුතාවට පත් වෙයි, හිතවත් අය දුක් වෙයි කියලා හිතන නිසා වෙන්න පුළුවන්. (හිතෝ. 28:13) ඒත් එහෙම කෙනෙක්ට සැබෑ ආදරයක් තියෙනවා කියන්න බැහැ. මොකද ඒකෙන් වෙන්නේ එයාටත් අනිත් අයටත් අයහපතක්. එහෙම කෙනෙක් සභාවක ඉද්දී දෙවි ඒ සභාවට තමන්ගේ බලය දෙන එක නතර කරනවා. ඒක සභාවේ සාමයට බලපානවා. (එෆී. 4:30) සැබෑ ආදරයක් තියෙනවා නම් රහසින් වැරදි කරන කෙනෙක් වැඩිමහල්ලන්ට වරද ගැන කියලා උදව් ගන්නවා.—යාකො. 5:14, 15.
18. සැබෑ ආදරය කොයි තරම් වැදගත්ද?
18 ප්‍රේමය උතුම්ම ගුණාංගයයි. (1 කොරි. 13:13) ඒ ගුණාංගය තියෙන අය යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නවා කියලත් එයාලා යේසුස්ගේ අනුගාමිකයන් කියලත් හඳුනගන්න පුළුවන්. (එෆී. 5:1, 2) පාවුල් කිව්වේ එයා ළඟ ප්‍රේමය නැත්නම් එයා කරන කිසිම දෙයක් වැඩක් නැහැ කියලයි. (1 කොරි. 13:2) ඒ නිසා අපි හැම කෙනෙක්ම වචනවලට සීමා නොකර ක්‍රියාවෙන් හා අවංකකමින් ආදරේ පෙන්නමු.