ජීවිත කතාව
දෙවි අපෙන් ඉල්ලන දේ කරද්දී ආශීර්වාදවලින් අඩුවක් නෑ
“අපි කැමතියි ඒක කරන්න.” අලුත් පැවරුමක් ගැන අහන්න ලැබුණාම මමයි, මගේ මහත්තයායි, අයියායි, නෑනායි දුන්න උත්තරේ තමයි ඒ. ඇයි අපි ඒක භාරගත්තේ? දෙවි අපිට කොහොමද ආශීර්වාද කළේ? ඒ ගැන කියන්න කලින් මම ඔයාලට මං ගැන විස්තර ටිකක් කියන්නම්.
මං ඉපදුණේ 1923 එංගලන්තයේ හැම්ස්වර්ත් කියන නගරේ. අපේ පවුලේ ඉන්නේ මායි, අයියායි. එයාගේ නම බොබ්. ආගම්වල වුණ වැරදි දේවල් අපේ තාත්තාට පේන්න බෑ. මට අවුරුදු 9දී විතර ආගම්වල වැරදි හෙළි කරපු පොත් වගයක් තාත්තා අරන් තිබුණා. ඒ පොත්වල කියපු දේවල් ඇත්ත කියලා තාත්තා පිළිගත්තා. ඊට ටික කාලෙකට පස්සේ බොබ් ඇට්කින්සන් ඇවිත් සහෝදර රදෆර්ඩ්ගේ දේශනයක් අපිට අහන්න දුන්නා. තාත්තා ළඟ තිබුණෙත් එයාලගේ පොත් කියලා ඒ වෙලාවේ අපිට තේරුණා. බයිබලේ ගැන තිබුණ ප්‍රශ්නවලට උත්තර දැනගන්නත් එක්ක සහෝදර ඇට්කින්සන්ට හැමදාම රෑ කෑමට අපේ ගෙදර එන්න කියලා අම්මලා කිව්වා. එයා අපිට රැස්වීම්වලටත් එන්න කිව්වා. අපි රැස්වීම් යන්න පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් හැම්ස්වර්ත්වල පුංචි සභාවක් බිහි වුණා. චාරිකා සේවකයන් ආවාම නතර වුණේ අපේ ගෙදර. ළඟපාත ප්‍රදේශවල සේවය කරපු පුරෝගාමීන් නිතරම වගේ අපේ ගෙදර කෑමට ආවා. එයාලගේ ආශ්‍රය මට ලොකු බලපෑමක් වුණා.
දවසක් තාත්තා අයියාට කිව්වා “ඔයාට පුරෝගාමි කරන්න ඕන නම් අපේ බිස්නස් එක විකුණමු” කියලා. අයියා ඒකට කැමති වුණා. අවුරුදු 21දී එයා පුරෝගාමි සේවය කරන්න වෙනත් පැත්තකට ගියා. අවුරුදු 16දී මමත් පුරෝගාමි සේවය පටන්ගත්තා. සති අන්තවල ඇර අනිත් දවස්වල මං සේවේ ගියේ තනියම. තැටි වාදන යන්ත්‍රයක්, සාක්ෂිපත් පාවිච්චි කරලා මං දේශනා කළා. මාත් එක්ක පාඩම් කරපු කෙනෙක් සත්‍යයේ දියුණු වුණා. ඒක මට ලැබුණ ආශීර්වාදයක්. පස්සේ කාලෙක එයාගේ පවුලේ හුඟදෙනෙක් සත්‍යයට ආවා. ඊළඟ අවුරුද්දේ මට විශේෂ පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා. මගේ සහයකයා වුණේ මේරි හෙන්ෂල්. අපිට සේවය කරන්න ලැබුණේ සාක්ෂිකරුවන් නැති පැත්තක.
ඒක 2වෙනි ලෝක යුද්දේ උණුසුම තදින්ම දැනුණ කාලයක්. කාන්තාවන්ටත් යුධ කටයුතුවලට හවුල් වෙන්න කියලා අණ කළා. අපි හිතුවා අනිත් ආගම්වල දේවගැතියන් වගේ අපිවත් ඒ වැඩවලින් නිදහස් කරයි කියලා. ඒත් උසාවිය ඒකට ඉඩ දුන්නේ නෑ. මාව දවස් 31කට හිරේ දැම්මා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ මට අවුරුදු 19දී මං හෘදය සාක්ෂියට එකඟව යුද්ධවලට හවුල් නොවන කෙනෙක් විදිහට ලියාපදිංචි වුණා. උසාවි 2කට ඉදිරිපත් කළාට පස්සේ මගේ නඩුව අයින් කළා. ඒ අමාරු කාලේ දෙවි ඔහුගේ බලය දීලා මට උදව් කළා. මගේ අතින් අල්ලගෙන මාව ශක්තිමත් කරනවා මට දැනුණා.—යෙසා. 41:10, 13.
අලුත් සහයකයෙක්
මට ආතර් මැතිව්ස්ව හම්බ වුණේ 1946දී. යුද්දේට ගියේ නැති නිසා මාස 3ක හිරදඬුවමකින් පස්සේ එයා එයාගේ මල්ලී එක්ක සේවය කරන්න හැම්ස්වර්ත්වලට ඇවිත් තිබුණා. ආතර් හැම්ස්වර්ත්වලට ඇවිත් ටික දවසකින් එයාගේ මල්ලිට අයර්ලන්තයට යන්න පැවරුමක් ලැබිලා. ඒ නිසා ආතර්ට පුරෝගාමි සේවය කරන්න වුණේ තනියම. එයා මහන්සි වෙලා සේවය කරනවා දැකලා අපේ අම්මලා එයාට අපේ ගෙදර නවතින්න එන්න කියලා. මම ගෙදර ගියාම අපි දෙන්නා තමයි එකට පිඟන් හොදන්නේ. පස්සේ අපි දෙන්නාට දෙන්නා ලියුම් ලිව්වා. 1948දී ආතර්ව ආයෙත් මාස 3කට හිරේ යැව්වා. ඊළඟ අවුරුද්දේ අපි දෙන්නා විවාහ වුණා. අපිට ඕනෙ වුණේ පුළුවන් තරම් කාලයක් එකට පුර්ණකාලීන සේවය කරන්න. අපි නිවාඩු දවස්වල පලතුරු කඩන්න ගියා. එහෙම වැඩ කරලා සල්ලි ටිකක් හොයාගත්ත නිසා පුරෝගාමි සේවය දිගටම කරගෙන යන්න අපිට පුළුවන් වුණා.
අවුරුද්දකට පස්සේ අපිට උතුරු අයර්ලන්තයට යන්න කිව්වා. අපි මුලින්ම අර්මාෆ්වලටත් ඊටපස්සේ නිව්රිවලටත් ගියා. ඒ නගරවල වැඩියෙන් හිටියේ කතෝලික අය. එයාලා සාක්ෂිකරුවන්ට කැමති නැහැ. අපි සේවය කළේ හරිම පරෙස්සමින්. අපේ රැස්වීම් තිබුණේ සහෝදරයෙකුගේ ගෙදර. එයාලා හිටියේ අපි හිටපු තැනට කි.මී. 16ක් දුරින්. රැස්වීම්වලට ආවේ 8දෙනායි. ඒත් දැන් ඒ පැත්තේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් ඉන්නවා. සමහර දවස්වලට රැස්වීමෙන් පස්සේ එයාලගේ ගෙදර නතර වෙන්න කියලා එයාලා අපිට කියනවා. එහෙම දවස්වලට අපි නිදාගත්තේ බිම.
“අපි කැමතියි ඒක කරන්න”
ඔය කාලේ මගේ අයියායි, නෑනායි උතුරු අයර්ලන්තයේ විශේෂ පුරෝගාමි සේවය කරකරයි හිටියේ. 1952දී අපි 4දෙනා බෙල්ෆාස්ට්වල තිබුණ සමුළුවකට ගියා. එහෙදී අපි නතර වුණ ගෙදරම තමයි සහෝදර ප්‍රයිස් හියුස් නතර වෙලා හිටියෙත්. එයා තමයි ඒ කාලේ බ්‍රිතාන්‍යය ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක. අයර්ලන්තයේ අය වෙනුවෙන්ම මුදාහැරපු ‘දෙවිගේ මාර්ගය ප්‍රේමයයි’ කියන පොත ගැන දවසක් රෑ අපි කතා කරකර හිටියා. ඒ වෙලාවේ සහෝදර හියුස් අයර්ලන්ත ජනරජයේ ඉන්න කතෝලික අයට දේශනා කරන්න තියෙන අභියෝග ගැන අපිත් එක්ක කිව්වා. පූජකයන් මැරයන්ව දම්මලා සහෝදරයන්ට පහර දුන්නා. එයාලව ගෙවල්වලින් එළෙව්වා. ඒ නිසා ‘මේ පොත රට පුරාම බෙදාහරින්න අපිට කාර් තියෙන යුවළයන් ඕනෙ’ කියලා සහෝදර හියුස් කිව්වා.a එතකොට අපි දුන්න උත්තරේ තමයි මං ඔයාලට මුලින්ම කිව්වේ.
කාලයක් තිස්සේ දෙවිට විශ්වාසවන්තව සේවය කරපු සහෝදරියක් ඩබ්ලින්වල හිටියා. එයා ඕන වෙලාවක පුරෝගාමීන්ට නවාතැන් දුන්නා. අපි එහේ ටික දවසක් නතර වෙලා අපි ළඟ තිබුණ සමහර දේවල් විකුණුවා. ඊටපස්සේ අපි 4දෙනාම එකතු වෙලා විකුණන්න තිබුණ කාර් බලන්න ගියා. කාර් එකක් අපිට හම්බ වුණා. ඒත් අපි කවුරුත් එළවන්න දැනං හිටියේ නැහැ. කාර් එක විකුණපු කෙනාට අපි කිව්වා ඒක අපිට ගෙනත් දෙන්න කියලා. ආතර් එදා හැන්දෑ වරුවම ඇඳේ ඉඳගෙන කාර් එකේ ගියර් දාන විදිහ පුරුදු වුණා. පහුවෙනිදා උදේ එයා කාර් එක ගරාජ් එකෙන් එළියට ගන්න හදද්දී සහෝදරි මිල්රඩ් විලට් ආවා. (පස්සේ කාලෙක එයා සහෝදර ජෝන් බාර්ගේ බිරිඳ වුණා.) එයා මිෂනාරි සහෝදරියක්. එයාට කාර් එළවන්න පුළුවන්. එයාගෙන් ලැබුණ පුහුණුවත් එක්ක අපිට වැඩේ පටන්ගන්න පුළුවන් වුණා.
ඊළඟට අපිට ඕන වුණේ ඉන්න තැනක්. කැරවෑන් එකක් ගන්න එක නුවණට හුරු නැහැ කියලා අපිට හිතුණා. මොකද අපේ සේවයට අකමැති අය ඒකට ගිනි තියන්න පුළුවන්. ඒ නිසා අපි ගෙයක් හෙව්වා. ඒත් වැඩක් වුණේ නෑ. එදා රෑ අපි 4දෙනා නිදාගත්තේ කාර් එකේ. අන්තිමේදී අපිට හොයාගන්න පුළුවන් වුණේ පුංචි තට්ටු ඇඳක් තිබුණ කැරවෑන් එකක් විතරයි. අපේ ගෙදර වුණේ ඒක. අපි හුඟක් වෙලාවට කැරවෑන් එක නතර කළේ ගොවිපොළවල්වල. අපි කැරවෑන් එක ගොවිපොළක දාලා සේවය කරන්න කි.මී. 16ත් 24ත් අතර දුරක් යනවා. ඒ පැතිවල සේවය කරලා ඉවර වුණාම කැරවෑන් එක නතර කරපු ප්‍රදේශයේ සේවය කරනවා.
අයර්ලන්ත ජනරජයේ ගිනිකොන දිග ප්‍රදේශයේ තිබුණ හැම ගෙදරකටම අපි ගියා. පොත් 20,000කට වඩා බෙදලා දෙන්න අපිට පුළුවන් වුණා. උනන්දුවක් පෙන්නපු අයගේ විස්තර අපි බ්‍රිතාන්‍යයේ ශාඛා කාර්යාලයට යැව්වා. දැන් එහේ සාක්ෂිකරුවන් සිය ගාණක් ඉන්නවා. දෙවි අපේ උත්සාහයට ආශීර්වාද කළා.
පැවරුමේ වෙනසක්
කාලයක් යද්දී අපිට දකුණු ලන්ඩන්වලට පැවරුමක් ලැබුණා. එහෙට ඇවිත් සති කීපයකට පස්සේ දවසක් ශාඛා කාර්යාලයෙන් ආතර්ට කිව්වා ඊළඟ දවසේ ඉඳලා චාරිකා සේවය කරන්න කියලා. සතියක පුහුණුවකින් පස්සේ අපි ඒ සේවය කරන්න ස්කොට්ලන්තයට ගියා. දේශනවලට සූදානම් වෙන්න ආතර්ට කාලයක් ලැබුණේ නැති තරම්. ඒත් දෙවිට සේවය කරද්දී එන ඕනම අභියෝගයක් භාරගන්න එයා හිටියේ ලෑස්ති පිට. ඒක මටත් ලොකු දිරිගැන්වීමක් වුණා. අවුරුදු ගාණක්ම අපි සේවය කළේ සාක්ෂිකරුවන් නැති හුදෙකලා පැතිවල. ඒත් චාරිකා සේවයේදී අපි නිතරම කාලේ ගත කළේ සහෝදර සහෝදරියන් එක්ක. ඒක ලොකු ආශීර්වාදයක්.
1962දී ආතර්ට ගිලියද් පාසලේ මාස 10ක පුහුණුවකට ආරාධනයක් ලැබුණාම ඒක භාරගන්නවාද නැද්ද කියන තීරණය ගන්න වුණා. මොකද එයා ගියාම මට ඉන්න වෙන්නේ තනියම. ඒත් හොඳම දේ පැවරුම භාරගන්න එකයි කියන තීරණයට අපි ආවා. මාව ආයෙත් විශේෂ පුරෝගාමියෙක් විදිහට හැම්ස්වර්ත්වලට යැව්වා. අවුරුද්දකට පස්සේ ආතර් ආවාම අපිට දිස්ත්‍රික් සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපි ඒ සේවය කරන්න ස්කොට්ලන්තය, උතුරු එංගලන්තය සහ උතුරු අයර්ලන්තය පුරාම ගියා.
අයර්ලන්තයේ අලුත් පැවරුමක්
1964දී ආතර්ට අයර්ලන්ත ජනරජයේ ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක විදිහට පැවරුමක් ලැබුණා. ඒ පැවරුම අපිට හොඳින් කරන්න පුළුවන් වෙයිද කියලා මට නම් ටිකක් බය හිතුණා. ඒත් බෙතෙල් සේවය කරන්න ලැබුණ එක අද මම දකින්නේ ලොකු ආශීර්වාදයක් විදිහට. අපි අකමැති පැවරුමක් වුණත් කැමැත්තෙන්ම භාර අරගෙන කරනවා නම් දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා මං අද්දැක්කා. බෙතෙල් එකේදී මං කාර්යාල වැඩ, පොත් පත් අසුරන වැඩ, උයනපිහන වැඩ, පිරිසිදු කරන වැඩ කළා. කාලෙන් කාලෙට අපි දිස්ත්‍රික් සේවයත් කළා. ඒ නිසා රට පුරාම හිටපු සහෝදරයන්ව අඳුරගන්න අපිට අවස්ථාව ලැබුණා. අපිත් එක්ක බයිබලේ පාඩම් කරපු අය සත්‍යයේ දියුණු වෙනවා අපි දැක්කා. ඔය විදිහට කාලේ ගෙවෙද්දී අයර්ලන්තයේ සහෝදර සහෝදරියන් අපිට අපේම පවුලේ අය වගේ වුණා.
නොමැකෙන සටහනක්
අයර්ලන්තයේ මුල්ම ජාත්‍යන්තර සමුළුව තිබුණේ 1965 ඩබ්ලින්වල.b දැඩි විරුද්ධවාදිකම් තිබුණත් සමුළුව සාර්ථකව තියන්න පුළුවන් වුණා. ඒ සමුළුවට 3,948දෙනෙක් ආවා. ඒ අයගෙන් 3,500දෙනෙක්ම වෙනත් රටවලින් ආපු අය. සමුළුවේදී 65දෙනෙක් බව්තීස්ම වුණා. වෙනත් රටවලින් ආපු අයට නවාතැන් දුන්න හැම කෙනෙක්ටම ස්තුති කරපු ලිපියක් ලැබුණා. ඒ සමුළුව අයර්ලන්ත ඉතිහාසයේ නොමැකෙන සටහනක්.
උතුරු අයර්ලන්තයයි, දකුණු අයර්ලන්තයයි අතරේ දේශපාලන, ආගමික භේද තිබුණා. ඒත් සාක්ෂිකරුවන්ට උතුර දකුණ කියලා වෙනසක් තිබුණේ නැහැ. 1966 ඉඳන් එයාලගේ වැඩකටයුතු බලාගත්තේ එකම ශාඛා කාර්යාලයකින්. ඒක තිබුණේ ඩබ්ලින්වල. ඉස්සර කතෝලික, රෙපරමාදු කියලා බෙදිලා හිටපු අය සත්‍යට ඇවිත් එකට දේවල් කරනවා දකින්න ලැබුණ එක කොච්චර සතුටක්ද!
වෙනස්ම පැවරුමක්
2011දී අයර්ලන්තයේ ශාඛා කාර්යාලයත් ලන්ඩන්වල තියෙන ශාඛා කාර්යාලය යටතට ගත්තාට පස්සේ අපිව එහෙට යැව්වා. අපිව එහෙට යවනවා කියලා දැනගන්න ලැබුණේ ආතර්ට පාකින්සන් රෝගය තියෙනවා කියලා හොයාගත්ත කාලෙදීම වගෙයි. මාත් එක්ක අවුරුදු 66ක් ජීවිතේ බෙදාගත්ත ආතර් 2015 මැයි 20වෙනිදා මගෙන් වෙන් වුණා.
ආතර් නැති දුක මට දරාගන්න අමාරු වුණා. මං මානසිකව වැටුණ අවස්ථාත් තිබුණා. ඉස්සර නම් හැම දේකදීම එයා මාත් එක්කම ඉන්නවා. එයා නැති පාළුව අදටත් මට තදින්ම දැනෙනවා. ජීවිතේ කටුක දේවල්වලට මුහුණ දෙද්දී අපි යෙහෝවා දෙවිට තවත් ළං වෙනවා. ආතර්ට හුඟදෙනෙක් ආදරේ කළා. බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ විතරක් නෙමෙයි ඇමරිකාවේ ඉන්න සහෝදර සහෝදරියනුත් මට ලියුම් එව්වා. ඒ ලියුම් මට ලොකු සහනයක් වුණා. ආතර්ගේ මල්ලියි, එයාගේ නෝනායි, මගේ අයියාගේ දුවලා දෙන්නායි මට හයියක් වුණ විදිහ වචනවලින් විස්තර කරන්න බැහැ.
මට ලොකු දිරිගැන්වීමක් වුණ බයිබල් පදයක් තමයි යෙසායා 30:18. එතන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි. මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි. ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය.” දෙවි ළඟදීම දුකක් ගේන දේවල් අපෙන් අයින් කරනවා. පාරාදීසයේදී තෘප්තිමත් වැඩ අපිට භාර දෙනවා. ඒ දවස එන කල් දෙවි ආශාවෙන් බලාගෙන ඉන්නවා කියලා දන්න එක මට ලොකු සහනයක්.
ගෙවුණ අතීතය දිහා බලද්දී අයර්ලන්තයේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට යෙහෝවා දෙවි මඟ පෙන්නලා තියෙනවා, ආශීර්වාද කරලා තියෙනවා කියලා හොඳටම පැහැදිලියි. ඒ වර්ධනයට පුංචි විදිහකින් හරි සහය වෙන්න ලැබුණ එක ලොකු ආශීර්වාදයක්. දෙවි අපෙන් ඉල්ලන දේ කරද්දී ඔහු අඩුවක් නැතුව අපිට ආශීර්වාද කරනවා කියලා මට කිසිම සැකයක් නෑ.
a ‘1988 වාර්ෂික පොතේ’ 101-102 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)
b ‘1988 වාර්ෂික පොතේ’ 109-112 පිටු බලන්න.