ලිංගික හිරිහැර—ඔබව ආරක්ෂා කරගන්නා අයුරු
“සෑම දිනකම ලිංගික හිරිහැර සිදු වේය යන බියෙන් ස්ත්‍රියක පසු නොවිය යුතු නමුත්, රැකියා ස්ථානයේ පිළිකුල් හැසිරීමෙන් තොර පිරිසිදු වාතාවරණයක් අපේක්ෂා කිරීමද ස්ත්‍රියකට සාධාරණ නැතැ” යි සඟරා සංස්කාරවරියක වන ග්රේච්අන් මෝර්ගන්සන් පවසයි. රැකියා ස්ථානය ආරක්ෂිතව තබාගැනීමට ස්වාමිවරුන් මෙන්ම අධිකරණය දරන වෑයම හේතුවෙන් යම් හොඳ ප්‍රතිඵල ලබා තිබීම ප්‍රශංසනීය දෙයකි. උදාහරණයක් වශයෙන්, නඩු කීමේ අවදානම, ලොව වටා සේව්‍යයන්ට හා සේවක සේවිකාවන්ට රැකියා වාතාවරණය යහපත් අතට හැරවීමට වෑයම් කිරීමට පොලඹවා ඇත. රැකියා ස්ථානයේ ලිංගික අඩන්තේට්ටම් සමඟ කටයුතු කිරීම සඳහා බොහෝ සමාගම් වැඩ පිළිවෙළවල් යොදා ඇත. රැකියා ස්ථානයේ සුදුසු හැසිරීම සම්බන්ධයෙන් සේවකයන්ට උපදෙස් දීම සඳහා රැස්වීම් හා සම්මන්ත්රණ පැවැත්වේ.
සමාගමේ ප්‍රතිපත්ති හා ප්‍රාදේශීය නීති දැනගෙන, ඒවා අනුගමනය කිරීම නුවණට හුරු බව අමුතුවෙන් කිව යුතු නොවේ. (රෝම 13:1; තීතස් 2:9) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමද උපකාරවත් බව ක්‍රිස්තියානීන්ට පෙනී ගොස් ඇත. ඔබේ සෙසු සේවකයන් සමඟ කටයුතු කිරීමේදී, ආනුභාව ලත් මෙම මාර්ගදර්ශක අනුගමනය කිරීම, ලිංගික හිරිහැරවලට ගොදුරක් වීමෙන්—එසේ නැතහොත් එවැනි වරදකරුවෙකු වීමෙන් වැළකීමට ඔබට මහෝපකාරි විය හැක.
පුරුෂයන් සඳහා සුදුසු හැසිරීම
පුරුෂයන් ස්ත්රීන්ට සැලකිය යුතු අන්දම ගැන කාරණා සලකා බලන්න. විරුද්ධ ලිංගයේ අය ස්පර්ශ කිරීමට එරෙහිව බොහෝ ප්‍රවීණයෝ අවවාද කරති. මිත්‍රශීලී ලෙස පිටට තට්ටු කිරීමක් පහසුවෙන්ම වරදවා වටහාගත හැකි බවට ඔවුහු අවවාද කරති. “ස්පර්ශ කිරීම ඉතා බරපතළ දෙයක් හැටියට ජූරි සභා සලකන බව” කම්කරු නීතිඥ ෆ්රෑන්ක් හාර්ටි සඳහන් කරයි. ඔහුගේ යෝජනාව? “අතට අත දීමට වඩා වැඩි දෙයක් ඊට ඇතුළත් වේ නම්, එසේ නොකරන්න.” මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ සැම දෙයකටම අදාළ වන නීතියක් පනවා නැති බව සැබෑවකි.a එහෙත් පවතින නීතික හා සදාචාර වාතාවරණය සලකා බලන කල, පරෙස්සම් වීම යෝග්‍යය—විශේෂයෙන් අදහස් හුවමාරු කරන විට නොදැනුවත්ව අනුන්ව ස්පර්ශ කිරීමට නැඹුරුවාවක් දක්වන අයගෙන් පරෙස්සම් විය යුතුය.
එවැනි උපදෙසක් අනුගමනය කිරීම සැමවිටම පහසු නොවන බව පිළිගත යුතුය. නිදසුනක් වශයෙන්, ග්ලෙන් පැමිණෙන්නේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සංස්කෘතියකින්ය. “එක්සත් ජනපදයට වඩා, වැලඳගැනීමට වැඩි නැඹුරුවාවක් දක්වන ජනයා සිටින ප්‍රදේශයකිනුයි මා පැමිණෙන්නේ,” යයි ඔහු කියයි. “මගේ පවුලේ අපි බොහෝවිට මිතුරන්ට ආචාර කරන්නේ සිපගැනීමකිනි. නමුත් මෙහිදී අපට අවවාද කර තිබෙන්නේ එසේ කිරීමට ඉක්මන් නොවන ලෙසයි.” එහෙත්, මේ සම්බන්ධයෙන් බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් බව ඔප්පු වේ. ප්‍රේරිත පාවුල් යෞවන තිමෝතිට මෙසේ පැවසුවේය: “යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද, වැඩිමහල් ස්ත්රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද [සලකන්න].” (1 තිමෝති 5:1, 2.) එමගින් අශෝභන, හැඟීම් අවුස්සන හෝ අප්‍රිය ස්පර්ශ කිරීම් තහනම් වන්නේ නැද්ද?
කතා බහටද එම ප්රතිපත්තියම අදාළ කළ හැක. යෝග්‍ය ලෙස, බයිබලය මෙසේ පවසයි: “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය.” (එපීස 5:3, 4) කතා කිරීමට පෙර “ඔබේ මව, සහෝදරිය හෝ දියණිය එවැන්නකට නිරාවරණය වනවාට ඔබ කැමති වනු ඇද්ද?” යන ප්රශ්නය සලකා බලන්නැයි ලිංගික හිරිහැර පිළිබඳ නීතිඥ කැති චිනෝයි යෝජනා කරයි. අශික්ෂිත, ලිංගිකත්වය හුවා දක්වන කතාව, කතාකරන්නා හා සවන්දෙන්නා යන දෙදෙනාවම පහත් තත්වයකට හෙළයි.
හිරිහැර වැළැක්වීම
හිරිහැරවල ගොදුරක් බවට පත්වීමෙන් වැළකීමට කෙනෙකුට උත්සාහ කළ හැක්කේ කෙසේද? යේසුස්වහන්සේ සිය ගෝලයන්ව දේශනා කිරීමට යැවූ මුල් වතාවේදී දුන් අවවාදය, සමහරවිට මෙම කාරණයට අදාළ කළ හැක: “වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටපල්ලා.” (මතෙව් 10:16) කෙසේනමුත්, ක්‍රිස්තියානියෙකු අසරණ වී නැත. බයිබලය මෙසේ අපේ බිය සැක දුරු කරයි: “ප්‍රඥාව ඔබේ මනසට [හෘදයට, NW ] පිවිසෙයි; . . . සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.” (හිතෝපදේශ 2:10, 11, නව අනුවාදය) එමනිසා, ඔබව ආරක්ෂා කරගැනීමට ඔබට උපකාරවත් විය හැකි බයිබල් ප්‍රතිපත්ති සමහරක් බලමු.
1. සෙසු සේවකයන් සමඟ ඔබ හැසිරෙන ආකාරය සෝදිසි කර බලන්න. “සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ට” බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටින බැවින්, උදාසීනව හෝ එදිරිවාදීව සිටීම මින් අදහස් නොකරයි. (හෙබ්‍රෙව් 12:14; රෝම 12:18) එහෙත් “පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්රියාකරපල්ලා,” යනුවෙන් බයිබලය අවවාද කරන බැවින්, විශේෂයෙන්ම විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කරන විට නිසියාකාරයේ හැසිරීමක් පවත්වාගැනීම නුවණට හුරුය. (කොලොස්සි 4:5) එළිසබෙත් පවෙල්ගේ ටෝකිං බැක් ටු සෙක්ෂුවල් ප්‍රෙෂර් නම් පොත, සේවකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “තමුන්ගේ වැඩ කොටසට ඔබින ප්‍රියමනාප ආකල්පයක් දැරීම හා කාමුක හැසිරීමට කැමති බව ඇඟවිය හැකි මිත්‍රශීලී වීම අතර වෙනස තේරුම්ගැනීමටයි.”
2. විනීතව ඇඳ පැළඳ සිටින්න. ඔබ අඳින දෙයින් අන්‍යයන්ට පණිවිඩයක් ඉදිරිපත් වෙයි. බයිබල් කාලවලදී, එක්තරා විලාසයකට ඇඳුම් ඇඳීමෙන් පුද්ගලයෙකු දුරාචාර හෝ අසංවර කෙනෙකු වශයෙන් හංවඩු ගසනු ලැබීය. (හිතෝපදේශ 7:10) අදදිනත් බොහෝවිට එම දෙයම සැබෑය; හිර වූ, සිත්වසඟ කරවනසුලු හෝ විනිවිද පෙනෙන ඇඳුම් වැරදි ආකාරයේ අවධානයක් ඇදගත හැක. තමන් කැමති දෙයක් ඇඳීමට තමන්ට අයිතියක් තිබේයයි ඇතමෙකුට හැඟිය හැකි බව සැබෑය. එහෙත් එළිසබෙත් පවෙල් පවසන පරිදි, “ඔබ වැඩ කරන්නේ මුදල් සොරාගැනීම වැරදි නැතැයි විශ්වාස කරන ජනයා අතරේ නම්, ඔබේ මුදල් පසුම්බිය ඔවුන්ට ගැනීමට පහසු තැනක නොදමන්න කියා මම ඔබට කියනවා. . . . සමාජයේ ආකල්පවල පිරිහීම වටහාගැනීමට ඔබට සිදු වන අතර, ඔවුන්ට ගොදුරු නොවීම සඳහා ඔබව ආරක්ෂා කරගැනීමට වෑයම් කළ යුතුයි.” මෙබැවින් බයිබලයේ අවවාදය කාලෝචිතය. එය “ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇ[ඳීමට],” ස්ත්රීන්ට අවවාද කරයි. (1 තිමෝති 2:9) විනීතව ඇඳ පැළඳ සිටින්න. එවිට ඔබව නුසුදුසු කතාවේ හෝ ක්‍රියාවල ඉලක්කයක් වීමට ඇති ඉඩ කඩ අඩු විය හැක.
3. ඔබේ ආශ්‍රිතයන් ගැන සැලකිලිමත් වන්න! ලිංගික අතවරයට ලක් වූ දීනා නමැති යෞවනියක් ගැන බයිබලය අපට පවසයි. ඇය නිතිපතා කානාන් “දේශයෙහි දූවරුන්”—එනම් අසංවර ස්ත්‍රීන් “දකින්ට” ගිය හෙයින්, පැහැදිලිවම ඇයව අතවරයට ලක් කළ තැනැත්තාගේ අවධානයට ඇය ලක් විය! (උත්පත්ති 34:1, 2) එලෙසම අදදිනත්, කාමුක දේ කතා කිරීමට ප්‍රසිද්ධ සෙසු සේවකයන් සමඟ ඔබ නිතිපතා සතුටු සාමීචියෙහි යෙදෙනවා නම්—හෝ ඔවුන්ට සවන් දෙනවා නම්—ඔබ කාමුක ක්‍රියාවලට පහසුවෙන් නැඹුරුවාවක් දක්වනු ඇතැයි සමහරෙකු නිගමනය කළ හැක.
ඔබ ඔබේ සේවා කලත්‍රයන්ව නොසලකා හැරිය යුතු බවක් මින් අදහස් නොකරයි. එහෙත් සංවාදය අසභ්‍ය මඟකට හැරේ නම්, එතැනින් ඉවත්ව නොයන්නේ මන්ද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වැඩිදෙනෙකු සොයාගෙන තිබෙන සිත්ගන්නා දෙයක් නම්, උසස් සදාචාර ප්‍රමිති රැකගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධත්වයක් ඉසිලීම, හිරිහැරවලින් ආරක්ෂාව ලැබීමට ඉවහල් වන බවයි.—1 පේතෘස් 2:12.
4. අවදානම් සහිත තත්වයන් මඟහරින්න. අම්නොන් නම් යෞවනයෙකු තාමර් නම් යෞවනියක සමඟ තනිව සිටීමටත්, එමගින් ඇගෙන් ලිංගිකව ප්‍රයෝජන ලබාගත හැකිවීමටත් ඔහු යෙදූ කූටෝපාය සම්බන්ධයෙන් බයිබලය පවසයි. (2 සාමුවෙල් 13:1-14) සමහරවිට යටත් සේවකයෙකුට මත්පැන් පානයකට හෝ පැහැදිලි හේතුවක් නොමැතිව අතිකාල සේවයේ රැඳීමට ආරාධනා කරමින් අදදිනද හිරිහැරකරන්නන් එවැනිම හැසිරීමක යෙදිය හැක. එවැනි ආරාධනයන්ගෙන් පරෙස්සම් වන්න! බයිබලය මෙසේ පවසයි: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි.”—හිතෝපදේශ 22:3.
ඔබ හිරිහැරවලට ලක් වුවහොත්
ස්ත්‍රියක නිදොස් හැසිරීමක් පවත්වා ගන්නා විට පවා, ඇතැම් පිරිමින් නුසුදුසු අන්දමින් හැසිරෙනු ඇත. ඔබව ඉලක්ක කරගතහොත් ඔබ එවැනි හැසිරීමකට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? ඇතමුන් නිර්දේශ කර තිබෙන්නේ කලබලයට පත් නොවී ක්‍රියා කිරීමටයි! ‘කාර්යාලයේ සිදු වන කාමුක දේවල් ජීවිතය රසවත් කරයි!’ කියා එක් ස්ත්‍රියක් පවසයි. කෙසේවුවද, එවැනි නුසුදුසු අවධානයක් හාස්‍ය ලෙස හෝ සිත්ගැනීමට කරන දෙයක් ලෙස සලකනවාට වඩා, සැබෑ ක්‍රිස්තියානීහු එවැන්නක් ප්‍රතික්ෂේප කරති. ඔවුහු ‘නපුරට පිළිකුල් කරන’ අතර, එවැනි හැසිරීමක අභිප්‍රාය බොහෝවිට කෙනෙකුව ලිංගික දුරාචාරයට ඇදගැනීම බව වටහාගනිති. (රෝම 12:9; සසඳන්න 2 තිමෝති 3:6.) අඩුම තරමින්, අශිෂ්ට හැසිරීම ඔවුන්ගේ ක්‍රිස්තියානි ගරුත්වයට නින්දාවකි. (1 තෙසලෝනික 4:7, 8, සසඳන්න.) එවැනි තත්වයන් හැසිරවීමට ඔබට හැක්කේ කෙසේද?
1. නොසැලී සිටින්න! දේවබියැති මනුෂ්‍යයෙකු වූ යෝසෙප් දුරාචාර යෝජනාවන්ට ප්‍රතිචාරය දැක්වූ අන්දම බයිබලය අපට පවසයි: “මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමග සයනය කරපන්නැයි කීවාය.” ගැටලුව ඉබේම විසඳෙයි යන බලාපොරොත්තුවෙන් යෝසෙප් හුදෙක් ඇගේ යෝජනා නොසලකා හැර සිටියාද? නැත! ඔහු එඩිතරව මෙසේ පවසමින් ඇගේ යෝජනා ප්‍රතික්ෂේප කළ බව බයිබලය පවසයි: ‘මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද?’—උත්පත්ති 39:7-9.
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම යෝසෙප්ගේ ක්‍රියා හොඳ ආදර්ශයක් සැපයීය. වරදට පෙලඹවීමේ අදහසින් කරන කතාව හෝ කලහකාරි හැසිරීම නොසලකා හැරීමෙන්, එසේ නැතහොත් වඩා නරක දෙයක් වන ඊට භයවීමෙන් ප්රශ්නය විසඳෙන්නේ කලාතුරකිනි; ඇත්තෙන්ම භය හෝ බයාදු ගතියක් දැක්වීම ප්රශ්නය තව තවත් උග්‍ර කළ හැක! දූෂකයන් බොහෝවිට ලිංගික හිරිහැර යොදාගන්නේ “ස්ත්‍රියක බලහත්කාර ක්‍රියාවකට හසු වුවහොත් ඇය භය නැතුව ප්‍රතික්‍රියා කරයිද යන්න නිශ්චය කිරීමටයි; හිරිහැරවලට ලක් වන විට ඇය විරෝධයක් නොදක්වා, බියසුලුබවක් දක්වන්නේ නම්, අතවරයට ලක් කළ විට ඇය විරෝධය නොපානු ඇති අතර, ඉමහත් බියක් දක්වනු ඇතැයි ස්ත්‍රී දූෂකයෝ උපකල්පනය කරති,” යයි දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් උපදේශිකාවක වන මාර්තා ලැන්ගෙලැන් අවවාද කරයි. එබැවින් හිරිහැරයක් සිදු වන්ට යන බවට හැඟෙන පළමු අවස්ථාවේදීම, ඔබ ස්ථිර පියවරක් ගැනීම වැදගත්ය. එක් ලේඛකයෙකුට අනුව, “වහාම, කැමති නැතැයි පැහැදිලිව කීම බොහෝවිට හිරිහැරකරන්නාගේ පිළිකුල් හැසිරීම නතර කිරීම සඳහා ප්රමාණවත්ය.”
2. නැත, නැත කියාද වේවා! යේසුස්වහන්සේ සිය කන්ද උඩ දේශනාවේදී එසේ පැවසූසේක. (මතෙව් 5:37) හිරිහැරකරන්නන් බොහෝවිට අඛණ්ඩ උත්සාහයක යෙදෙන නිසා, මෙවැනි අවස්ථාවලදී උන්වහන්සේගේ ප්‍රකාශය යෝග්‍යය. ඔබ කෙතරම් ස්ථිරව සිටිය යුතුද? එය රඳා පවතින්නේ තත්වයන් හා හිරිහැරකරන්නාගේ ප්‍රතිචාරය අනුවය. ඔබ අදහස් කරන දේ කාවැද්දීමට අවශ්‍ය තරම් ස්ථිරකමකින් යුක්තව කතා කරන්න. ඇතැම් අවස්ථාවලදී, සන්සුන් ස්වරයකින් සරල, ඍජු ප්‍රකාශයක් කිරීම ප්‍රමාණවත් වනු ඇත. කෙළින්ම නෙත් දෙස බලන්න. ප්‍රවීණයෝ මතු යෝජනා ඉදිරිපත් කරති: (අ) ඔබේ හැඟීම් සඳහන් කරන්න. (“ඔබ එසේ . . . කරනවාට මම කොහෙත්ම කැමති නෑ.”) (ආ) නුසුදුසු හැසිරීම කුමක්දැයි විශේෂයෙන්ම නම් කරන්න. (“. . . ඔබ අශික්ෂිත, අසභ්‍ය භාෂාව පාවිච්චි කරන විට . . . ”) (ඇ) එම පුද්ගලයාගෙන් ඔබ බලාපොරොත්තු වන දේ පැහැදිලි කරන්න. (“ඔබ මට ඒ විදිහට කතා කරන එක නවත්වන්න!”)
“කොහොමනමුත් කොයිම අවස්ථාවකදීවත්, ඔහුට මුහුණ දෙන විට තත්වය ප්‍රචණ්ඩකාරි තත්වයකට වෙනස් නොවිය යුතුයි. එදිරිවාදී ප්රචණ්ඩත්වය දැක්වීම, (එනම් අපහාස කිරීම, තර්ජනය කිරීම හා වාචික හිංසා කිරීම, මිට මොළවා පහර දීම, හිරිහැරකරන්නාගේ ඇඟට කෙළගැසීම) මගින් තත්වය දරුණු කරගන්නවා පමණි. වචනවලින් පහර දීම අනතුරුදායක වන අතර, ආත්මාරක්ෂාව අවශ්‍ය කරන නියම ශාරීරික ප්‍රහාරයක් සිදු නොකරනවා නම්, ශාරීරික ප්රචණ්ඩත්වය යොදාගැනීමටද අවශ්‍ය නැත.” එවැනි ප්‍රායෝගික අවවාදයක් රෝම 12:17හි බයිබලයේ වචන හා එකඟය: “කාටවත් නපුරට නපුර නොකරල්ලා.”
ඔබ එය නතර කිරීමට උපරිම වෑයමක් දැරුවත් හිරිහැරය දිගටම පවතිනවා නම් කුමක් කිව හැකිද? ලිංගික හිරිහැර සමඟ කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් ගත යුතු ක්‍රියාමාර්ග සකස් කර තිබේ. බොහෝවිට සමාගමේ පැමිණිලි කිරීමේ ක්‍රියාමාර්ගය ගන්ට යන බවට තර්ජනය කිරීමෙන් පමණක්ම, ඔබට හිරිහැර කරන තැනැත්තා ඔබට ඔබේ පාඩුවේ සිටීමට සලස්වනු ඇත. කෙසේවුවද, එසේ නොවීමටත් හැක. අනුකම්පාව දක්වන අධීක්ෂකයෙකු සොයාගැනීම ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සැමවිටම පහසු කාර්යයක් නොවීම කනගාටුවට කරුණකි. තමා සේවිකාවකගෙන් හිරිහැර ලැබූ බව පවසන ග්ලෙන්, පැමිණිලි කිරීමට වෑයම් කළේය. ඔහු මෙසේ සිහියට නඟයි: “මගේ ලොක්කාට මං ඒ ගැන කී විට, මට කොහෙත්ම උපකාරයක් ලැබුණේ නෑ. ඇත්තෙන්ම ඔහු හිතුවේ ඒක හොඳ විහිළුවක් කියායි. මට කරන්න සිද්ධ වුණේ, ඒ තැනැත්තියව මඟහැර යෑම පමණයි.”
ඇතමුන් නීතිමය පියවර ගැනීමට වෑයම් කර ඇත. එහෙත් ඔබට ජනමාධ්‍ය තුළින් කියවීමට ලැබෙන විශාල නඩු විභාගවල විනිශ්චයන් ඇත්තෙන්ම ආදර්ශයක් සේ දැක්විය හැකි ඒවා නොවේ. මේ හැර, ටෝකිං බැක් ටු සෙක්ෂුවල් ප්‍රෙෂර් නම් පොත මෙසේ අවවාද කරයි: “හිරිහැරයට එරෙහිව නීතිමය පිළියම් යෙදීමට පුදුමාකාර ලෙස චිත්තවේගීය ශක්තිය හා කාලය අවශ්‍යයි; එමගින් ශාරීරික මෙන්ම මානසික විඩාව ඇති වේ.” බයිබලය මෙසේ අවවාද කරන්නේ හොඳ හේතු ඇතුවයි: “නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න.” (හිතෝපදේශ 25:8) නීතිමය පියවර ගැනීමෙන් සිදු වන චිත්තවේගීය හා ආත්මික පාඩුව ගණන් බැලීමෙන් පසු, ඇතමෙකුට වෙනත් රැකියාවක් සොයාගැනීම සුදුසු බව පෙනීගොස් ඇත.
හිරිහැරවල අවසානය
ලිංගික හිරිහැර අලුත් දෙයක් නොවේ. අසම්පූර්ණ, ප්රයෝගකාරි, ගිජු මිනිස් හෘදය මෙන් එයද ලොව පුරා පැතිර පවතී. නියෝග හා නඩු විභාග කෙදිනකවත් ලිංගික හිරිහැර සමාජයෙන් ඉවත් කරන්නේ නැත. ලිංගික හිරිහැර ඉවත් කිරීම සඳහා ජනයාගේ හෘදවල මූලික වෙනස් වීමක් සිදු කිරීම අවශ්‍ය කරවයි.
අදදින, ලොව පුරා සිටින ජනයා තුළ එවැනි වෙනසක් ඇති කිරීමට දෙවියන්වහන්සේගේ වචනය හා ස්වකීය ආත්මය බලපෑමක් කරයි. අනාගතවක්තෘ යෙසායා විසින් පුරෝකථනය කළාක් මෙන්ම එය හරියට වෘකයන් හා සිංහයන්, බැටළුවන් හා වසු පැටවුන් මෙන් හැසිරීමට ඉගෙනගන්නාක් මෙනි. (යෙසායා 11:6-9) ජනයා සමඟ බයිබලය අධ්‍යයනය කිරීම මගින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සෑම වසරකම, කලින් ‘වෘකයන්ව’ සිටි දහස් සංඛ්‍යාතයකට, මුල්බැසගත්, බොහෝ කලක් පුරා පැවති පෞද්ගලිකත්වයන් වෙනස් කිරීමට උපකාර කරති. “නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස . . . පරණ මනුෂ්‍යයා පහකරදමා,” ඒ වෙනුවට “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්[න]” යන ශුද්ධ ලියවිලිමය ආඥාවට මෙම ජනයා අවනත වෙති.—එපීස 4:22-24.
යම් දිනක බයිබල් ප්‍රමිති පිළිපදින පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් පොළොව පිරී යනු ඇත. සියලු ආකාරයේ වැරදි සැලකීම්වලට අවසානයක් තිබෙනු ඇති එම දිනය පැමිණෙන තෙක් දේවබියැති ජනයා උනන්දුවෙන් බලා සිටිති. එතෙක්, ඔවුහු, තමන්ට හැකි උපරිමයෙන් අදදින සිදු වන නීච යථාර්ථයන් සමඟ සාර්ථකව කටයුතු කරති.
[පාදසටහන]
a ‘ස්ත්‍රියක ස්පර්ශ නොකරන්න’ යනුවෙන් 1 කොරින්ති 7:1හි පාවුල්ගේ අනතුරු ඇඟවීම පැහැදිලිවම යොමු කර තිබෙන්නේ ලිංගික සබඳතාවලට මිස සාමාන්‍ය ස්පර්ශයට නොවන බව පැහැදිලිය. (හිතෝපදේශ 6:29, සසඳන්න.) මෙම පාඨය සම්බන්ධ කරද්දී, පාවුල් තනිකඩභාවයට දිරිගන්වන අතර, ලිංගික දුරාචාරයේ යෙදීමෙන් වැළකීමට අවවාද කරයි.—ද වොච්ටවර් 1973 ජනවාරි 1 “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඔබේ මව, සහෝදරිය හෝ දියණිය එවැන්නකට නිරාවරණය වනවාට ඔබ කැමති වනු ඇද්ද?”
[8වන පිටුවේ පින්තූරය]
කෙනෙකුහට හිරිහැරයෙන් ආරක්ෂා වීම සඳහා, නිසියාකාරයේ හැසිරීම හා විනීතව ඇඳ පැළඳ සිටීම මහෝපකාරි විය හැක
[10වන පිටුවේ පින්තූරය]
එකිනෙකාට ගෞරවනීය අන්දමින් සැලකීමට අදදින සැබෑ ක්‍රිස්තියානීහු උගනිති