ගැලවීම කියන්නේ මොකක්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
බයිබල් ලේඛකයන් සමහර අවස්ථාවලදී ‘ගලවාගන්නවා’ සහ ‘ගැලවීම’ කියන වචන යොදාගෙන තියෙන්නේ කෙනෙක්ව අනතුරකින් නැත්නම් යම් විනාශයකින් බේරගන්නවා කියන අදහස දෙන්නයි. (නික්මයාම 14:13, 14; ක්‍රියා 27:20) හැබැයි ඒ අය වැඩියෙන්ම ඒ වචනය යොදාගෙන තියෙන්නේ පාපයෙන් ගලවාගැනීම කියන අදහස දෙන්න. (මතෙව් 1:21) මිනිසුන්ට මරණය උරුම වෙලා තියෙන්නේ පාපය නිසයි. ඒ නිසා පාපයෙන් ගලවාගත්තාම ඔවුන්ට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—යොහන් 3:16, 17.a
ගැලවීම ලබාගන්න පුළුවන් මාර්ගය මොකක්ද?
ගැලවීම ලබාගන්න නම් ඔයා යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගෙන ඒ විශ්වාසය ඔයා ක්‍රියා කරන විදිහෙන් පෙන්වන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයා යේසුස්ගේ ආඥාවලට කීකරු වුණොත් විතරයි.—ක්‍රියා 4:10, 12; රෝම 10:9, 10; හෙබ්‍රෙව් 5:9.
බයිබලයේ කියන්නේ ඔයා තුළ තියෙන විශ්වාසය ඔයාගේ ක්‍රියාවලින් පෙන්වන්න ඕනෙ කියලයි. (යාකොබ් 2:24, 26) ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔයාට ඔයාගේ උත්සාහයෙන් විතරක් ගැලවීම ලබාගන්න පුළුවන් කියලා. මොකද, ඒක දෙවියන් තුළ තියෙන “මහත් කරුණාව” නිසා ඔයාට ‘දෙවියන් ලබා දෙන දීමනාවක්’.—එෆීස 2:8, 9.
ඔයාට ගැලවීම අහිමි වෙයිද?
හිතන්න ගිලෙන්න යන කෙනෙක්ව බේරගන්නවා කියලා. ඒත් එයා ආයෙත් වතුරට වැටුණොත් නැත්නම් වතුරට පැන්නොත් එයා ආයෙත් ගිලෙනවා. ඒ වගේ, කෙනෙක්ව පාපයෙන් ගලවාගත්තත් එයා දිගටම විශ්වාසවන්තව වැඩ කළේ නැත්නම් එයාට ගැලවීම අහිමි වෙයි. ඒ නිසයි ‘විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න’ කියලා බයිබලයේ ක්‍රිස්තියානීන්ට උනන්දු කරලා තියෙන්නේ. (යූද් 3) ඒ වගේම “ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න” කියලත් බයිබලයේ අනතුරු අඟවනවා.—ෆිලිප්පි 2:12.
ගැලවුම්කරු දෙවියන්ද? යේසුස්ද?
බයිබලයේ “ගැලවීම සලසා දෙන”තැනැත්තා විදිහට හඳුන්වන්නේ දෙවියන්ව. (1 සාමුවෙල් 10:19; යෙසායා 43:11; තීතස් 2:10; යූද් 25) අතීතයේ හිටිය ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගන්න දෙවියන් විවිධ පුද්ගලයන්ව යොදාගත්තා. බයිබලයේ ඒ අයව හඳුන්වන්නේ “ගැලවුම්කරුවන්” විදිහටයි. (නෙහෙමියා 9:27; විනිශ්චයකරුවෝ 3:9, 15; 2 රාජාවලිය 13:5)b මිනිසුන්ව පාපයෙන් ගලවාගන්න දෙවියන් යොදාගත්තේ යේසුස්ගේ ජීවිත පූජාව නිසා බයිබලයේ යේසුස් ක්‍රිස්තුස්ව “ගැලවුම්කරු” විදිහට හඳුන්වනවා.—ක්‍රියා 5:31; තීතස් 1:4.c
හැමෝම ගැලවෙයිද?
නැහැ. සමහරු ගැලවෙන්නේ නැහැ. (2 තෙසලෝනික 1:9) “ගැලවීම ලැබෙන්නේ සුළු පිරිසකට විතරද” කියලා යේසුස්ගෙන් ඇහුවාම ඔහු කිව්වේ මෙහෙමයි. “පටු දොරටුවෙන් ඇතුල් වීමට දැඩි උත්සාහයක් දරන්න. බොහෝදෙනෙකු ඇතුල් වෙන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් ඇතුල් විය නොහැකියි.”—ලූක් 13:23, 24.
ගැලවීම ගැන තියෙන වැරදි මත
වැරදි මතය: 1 කොරින්ති 15:22 සඳහන් වෙනවා “ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ” කියලා. ඒ නිසා හැමෝටම ගැලවීම ලැබෙනවා.
ඇත්ත මේකයි: ඒ පදයේ අවට පාඨවල සඳහන් වෙන්නේ නැවත නැඟිටීම ගැන. (1 කොරින්ති 15:12, 13, 20, 21, 35) “ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ” කියන එකෙන් අදහස් කළේ නැවත නැඟිටින හැමෝටම ඒ ආශීර්වාදය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් මඟින් කියන එකයි.—යොහන් 11:25.
වැරදි මතය: තීතස් 2:11 සඳහන් වෙනවා “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගැලවීම” ගෙන දෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ලෝකයේ ඉන්න හැමෝටම ගැලවීම ලැබෙනවා කියන එකයි.
ඇත්ත මේකයි: මේ පදයේ “සෑම” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට සෑම වර්ගයකින්ම නැත්නම් තරාතිරමකින්ම කියන අදහස ඇතුළත්. ඒ නිසා තීතස් 2:11න් ඇත්තටම අදහස් කරන්නේ දෙවියන් “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අය” ඇතුළු සෑම තරාතිරමකටම අයත් අයට ගැලවීම දෙනවා කියන එකයි.—එළිදරව් 7:9, 10.
වැරදි මතය: 2 පේතෘස් 3:9 තියෙන ‘කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නැහැ’ කියන එකෙන් අදහස් කරන්නේ දෙවියන් පොළොවේ ඉන්න හැමෝවම ගලවාගන්නවා කියලයි.
ඇත්ත මේකයි: දෙවියන්ට ඕනෙ මිනිසුන් ගැලවෙනවා දකින්න. ඒත් ගැලවීම ලබාගන්න දෙවියන් දීලා තියෙන සැපයුම පිළිගන්න කියලා ඔහු කාටවත් බල කරන්නේ නැහැ. දෙවියන් මිනිසුන්ව ‘විනිශ්චය කරන දවසේදී’ ‘ඔහුට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ව විනාශ’ කරන එකත් ඇතුළත්.—2 පේතෘස් 3:7.
a බයිබලයේ කෙනෙක් දැනටමත් ‘ගැලවීම ලබලා’ කියලා සඳහන් කරලා තිබුණත් ඇත්තටම ඒ කෙනාට පාපයෙන් සහ මරණයෙන් ගැලවීම ලැබෙන්නේ අනාගතයේදියි.—එෆීස 2:5; රෝම 13:11.
b සමහර පරිවර්තකයන් ඒ පදවල ගැලවුම්කරු වෙනුවට “විමුක්තිදායකයා,” “වීරයා,” “නායකයා” වගේම “යම් කෙනෙක්” වගේ වචන යොදලා තියෙනවා. ඒත් මුල්ම හෙබ්‍රෙව් ලියවිලිවල ගැලවුම්කරු විදිහට යෙහෝවා දෙවියන්ව හඳුන්වන්න යොදාගෙන තියෙන වචනයම ගැලවුම්කරුවන් විදිහට වැඩ කරපු මිනිසුන්ව හඳුන්වන්නත් යොදාගෙන තියෙනවා.—ගීතාවලිය 7:10.
c යේසුස් කියන නම එන්නේ “යෙහෝෂුවා” කියන හෙබ්‍රෙව් නමින්. ඒකේ තේරුම “ගැලවීම දෙන්නේ යෙහෝවා දෙවියන්” කියන එකයි.