දෙවෙනි පේතෘස්
3 ආදරණීය සහෝදරයෙනි, මේක මම ඔයාලට ලියන දෙවෙනි ලියුම. පළවෙනි ලියුමෙන් කළා වගේ මේ ලියුමෙනුත් ඔයාලා දැනටමත් දන්න දේවල් ගැන මතක් කරන්න මං කැමතියි. එහෙම කරන්නේ පැහැදිලිව හිතලා වැඩ කරන්න ඔයාලට තියෙන හැකියාව හොඳින් පාවිච්චි කරන්න ඔයාලව උනන්දු කරන්නයි.+ 2 එතකොට ඔයාලට පුළුවන් වෙයි විශ්වාසවන්ත* අනාගතවක්තෘවරු කලින්ම කියලා තිබුණ දේවලුත්* අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු දුන්න ආඥාත් මතක් කරගන්න. ඒ ආඥා ගැන ඔයාලා දැනගත්තේ ඔයාලා ළඟට එවපු නියෝජිතයන් මාර්ගයෙන්. 3 ඔයාලා මේ දේ දැනගන්න ඕනේ. අන්තිම කාලේදී තමන්ගේ ආශාවන්වලට අනුව වැඩ කරන, දේවල් සමච්චලේට ගන්න අය ඉඳියි.+ 4 එයාලා මෙහෙම කියයි. “ඔහු ආයෙත් එනවා කිව්වා නේද? කෝ තාම ආවේ නැද්ද?*+ අපේ මුතුන්මිත්තන් මැරුණ කාලේ ඉඳලා මේ වෙන කල් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ලෝකේ හදපු කාලේ ඉඳලා හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා. කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ.”+
5 මොකද එයාලා හිතාමතාම මේ දේ අමතක කරලා දානවා. හුඟ කාලෙකට කලින් ඉඳන්ම අහස තිබුණා කියලත් දෙවියන්ගේ අණට එකඟව වතුරෙන් ගොඩබිම මතු වුණා කියලත් පොළොව වතුරෙන් වට වෙලා තිබුණා කියලත්+ 6 ඒ දේවල් මාර්ගයෙන් ඒ කාලේ තිබුණ ලෝකය විනාශ වුණා කියලත් එයාලා අමතක කරනවා. ඒ විනාශය වුණේ වතුරෙන් මුළු පොළොවම වැහිලා ගිහිල්ලයි.+ 7 දැන් තියෙන අහසයි, පොළොවයි ගින්නෙන් විනාශ කරන්න වෙන් කරලා තියෙන්නෙත් ඒ අණට එකඟවමයි. ඒවා වෙන් කරලා තියෙන්නේ විනිශ්චය කරන දවසත් දෙවියන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති මිනිස්සුන්ව විනාශ කරන දවසත් වෙන කල්.+
8 ආදරණීය සහෝදරයෙනි, මේ වැදගත් දේ අමතක කරන්න එපා. යෙහෝවාට* එක දවසක් කියන්නේ අවුරුදු දාහක් වගේ. අවුරුදු දාහක් එක දවසක් වගේ.+ 9 සමහර අය හිතන්නේ යෙහෝවා* තමන් දීපු පොරොන්දු ඉටු කරන්න පරක්කු වෙනවා කියලයි. ඒත් ඔහු පරක්කු වෙන්නේ නැහැ.+ ඒ වෙනුවට ඔහු ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.+ 10 ඒත් යෙහෝවාගේ* දවස+ හොරෙක් වගේ එනවා.+ එදාට අහස ගිගුරුම් හඬක් එක්ක නැති වෙලා යනවා.+ අහසෙයි, පොළොවෙයි තියෙන දේවල් අධිකව රත් වෙන නිසා උණු වෙලා යනවා. පොළොවත් ඒකේ කරලා තියෙන හැම දෙයක්මත් ගින්නට අහු වෙනවා.*+
11 ඒ හැම දෙයක්ම ඒ විදිහට උණු වෙලා යන්න නියමිත නිසා ඔයාලාගේ හැසිරීම ගැනත් ඔයාලා කරන්න ඕනෙ මොන වගේ දේවල්ද කියලත් හොඳට හිතලා බලන්න. ඔයාලාගේ හැසිරීම ශුද්ධව තියෙන්න ඕනේ. ඔයාලා කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය පේන්න ඕනේ. 12 ඒ දේවල් කරන ගමන් ඉස්සරහට එන යෙහෝවාගේ* දවස දිහා බලාගෙන ඉන්න. ඒ දවස මනසේ නිතරම තියාගන්න.*+ ඒ දවසේදී අහස ගින්නෙන් විනාශ වෙලා යනවා.+ අහසෙයි, පොළොවෙයි තියෙන දේවල් අධික උෂ්ණත්වයෙන් උණු වෙලා යනවා. 13 ඒත් අපි බලාගෙන ඉන්නේ ඔහු පොරොන්දු වෙලා තියෙන විදිහට ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක් සහ අලුත් පොළොවක් එන කල්.+
14 ඉතින් ආදරණීය සහෝදරයෙනි, ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා, ඔයාලට කරන්න පුළුවන් උපරිමය කරන්න. එහෙම කරනවා නම් ඔයාලා කිසිම කැළලක් නැති, කිසිම දෝෂයක් නැති, සමාදානයෙන් ඉන්න අය කියලා අන්තිමේදී දෙවියන් දකියි.+ 15 ඒ වගේම අපේ ස්වාමීන් ඉවසන එකෙන් ගැලවීමට අවස්ථාව ලැබෙනවා කියලා මතක තියාගන්න. අපේ ආදරණීය සහෝදර පාවුල් දෙවියන්ගෙන් එයාට ලැබුණ ප්රඥාවෙන් ඒ දේම ඔයාලට ලියලා එව්වා.+ 16 ඇත්තටම එයාගේ හැම ලියුමකම එයා ඒ දේවල් ගැන ලියලා තියෙනවා. ඒවාවල තියෙන සමහර කරුණු තේරුම්ගන්න අමාරුයි. ස්ථිර හදවතක් නැති, ඒ දේවල් හරියට තේරුම්ගන්න බැරි අය ඒවා විකෘති කරනවා. එයාලා ශුද්ධ ලියවිල්ලේ තියෙන අනිත් දේවල්වලට කරන්නෙත් ඒ දේමයි. ඒ විදිහට එයාලා එයාලාගෙම විනාශයට පාර කපාගන්නවා.
17 ආදරණීය සහෝදරයෙනි, මේ දේවල් ගැන ඔයාලට කලින්ම දැනුම් දීලයි තියෙන්නේ. ඉතින් නිතරම සෝදිසියෙන් ඉන්න. එහෙම ඉන්නවා නම් ඒ දුෂ්ට මිනිස්සුන්ගේ බොරුවලට අහු වෙලා එයාලත් එක්කම ඔයාලත් මුළා වෙලා යන්නේ නැහැ. ඒ වගේම හරි මාර්ගයේ ඉන්න ඔයාලා අරන් තියෙන අධිෂ්ඨානය දිගටම රැකගන්න.+ 18 මහත් කරුණාවත් අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්රිස්තුස් ගැන දැනුමත් තව වැඩියෙන් ලබාගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. දැනුත් සදහටමත් ඔහුට ගෞරවය ලැබේවා! ආමෙන්.*