ඔබ සුචරිතය ලුහුබඳිනවාද?
“යම් ගුණයක් [සුචරිතයක්, NW], යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.”—පිලිප්පි 4:8.
1. දුෂ්චරිතය කියන්නේ මොකක්ද? එමෙන්ම එය යෙහෝවාගේ නමස්කාරය දූෂණය කර නැත්තේ ඇයි?
දුෂ්චරිතය කියන්නේ සදාචාර දූෂිතභාවය හෝ දූෂණයයි. එය අප ජීවත් වන ලොවේ හාත්පස පැතිර පවතිනවා. (එපීස 2:1-3) කොහොම වුණත්, යෙහෝවා දෙවි තම පවිත්‍ර නමස්කාරය දූෂිත වීමට ඉඩ දෙන්නේ නැහැ. අධර්මිෂ්ඨ හැසිරීමට එරෙහිව ක්‍රිස්තියානි ප්‍රකාශන, රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු අපිට කාලෝචිත අවවාද දෙනවා. දෙවිගේ ඇස් ඉදිරියෙහි “යහපතට ඇලුම්වෙන්න” අපිට හොඳ ශුද්ධ ලියවිලිමය උපකාර ලැබෙනවා. (රෝම 12:9) එමනිසා, සංවිධානයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවිත්‍රව, සුචරිතවත්ව සිටීමට වෑයම් කරනවා. ඒත් පුද්ගලයන් හැටියට අපි ගැන කියන්න පුළුවන් මොනවද? ඇත්තෙන්ම, ඔබ සුචරිතය ලුහුබඳිනවාද?
2. සුචරිතය කියන්නේ මොකක්ද? එමෙන්ම සුචරිතවත්ව සිටින්න වෑයමක් අවශ්‍ය වන්නේ ඇයි?
2 සුචරිතය කියන්නේ, සදාචාර අනර්ඝත්වය, යහපත්කම, නිවැරදි ක්‍රියා සහ කල්පනාව කියන දෙයයි. එය අක්‍රිය ගුණාංගයක් නෙමෙයි, නමුත් ක්‍රියාශීලී, ඒකාන්ත එකක්. පාපයෙන් වැළකී සිටීමට වඩා වැඩි දෙයක් සුචරිතයට ඇතුළත් වෙනවා; යහපත් කියන දේ ලුහුබැඳීම එයින් අදහස් වෙනවා. (1 තිමෝති 6:11) ප්‍රේරිත පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ අනුශාසනා කළා: “ඔබේ ඇදහිල්ලට සුචරිතය සපයාගන්න.” ඒ කොහොමද? “[දෙවිගේ අනර්ඝ පොරොන්දුවලට] ප්‍රතිචාරයක් වශයෙන් මුළු අවංක උත්සාහයකින් දායක වීම” තුළින්. (2 පේතෘස් 1:5, NW) අපේ පව්කාර ස්වභාවය නිසා, සුචරිතවත්බව පවත්වාගැනීමට සැබෑ වෑයමක් අවශ්‍යයි. ඒත්, ඉමහත් බාධක හමුවේ පවා, අතීතයේ දේවභයැති පුද්ගලයන් එසේ කර තිබෙනවා.
ඔහු සුචරිතය ලුහුබැන්දා
3. ආහාස් රජු වරදකරුව සිටියේ මොන දුෂ්ට ක්‍රියා සම්බන්ධයෙන්ද?
3 සුචරිතය ලුහුබැන්ද අය පිළිබඳ වාර්තා බොහොමයක් ශුද්ධ ලියවිල්ලෙහි අන්තර්ගතයි. නිදසුනකට, සුචරිතවත් හෙසකියාව සලකා බලන්න. ඔහුගේ පියා වූ යූදාහි ආහාස් රජු මොලෙක්ට නමස්කාර කළ බව පැහැදිලියි. “ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් තමාගේ දෙවිවූ [යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු දේ නොකර, ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිර, [යෙහෝවා] ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ ජාතීන්ගේ පිළිකුල් භාවිතා ලෙස තමාගේ පුත්‍රයා ගිනිමැඳින් යවා පූජාකෙළේය. ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය.” (2 රාජාවලිය 16:2-4) ‘ගිනිමැදින් යැවීම’ මිනිස් පූජාවක් නොව, නමුත් යම් ආකාරයක පවිත්‍ර කිරීමේ පිළිවෙතක් අදහස් කළ බව සමහරු කියා සිටිනවා. කොහොම වුණත්, ජොන් ඩේ රචනා කළ, මොලෙක්—ඒ ගොඩ් ඔෆ් හියූමන් සැක්රිෆයිස් ඉන් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් (මොලෙක්—පරණ ගිවිසුමෙහි මිනිස් පූජා දෙවිකෙනෙක්) යන පොත මෙසේ නිරීක්ෂණය කරනවා: “කානාන් ලෝකයේ . . . මිනිස් පූජා පැවති බවට, සම්භාව්‍ය සහ පියූනික් [කාතජිනියානු] මූලාශ්රවල සාක්ෂි මෙන්ම පුරාවිද්‍යා සාක්ෂි තිබෙනවා; එමනිසා [මිනිස් පූජාවලට] පරණ ගිවිසුමෙහි කරන ඇඟවීම් සැක කරන්න කිසිම හේතුවක් නැහැ.” තවදුරටත්, 2 ලේකම් 28:3 පැහැදිලිව කියන්නේ, ආහාස් “තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැ[වූ]” බවයි. (සසඳන්න ද්විතීය කථාව 12:31; ගීතාවලිය 106:37, 38.) මොනතරම් දුෂ්ට ක්‍රියාද!
4. දුෂ්චරිතයෙන් පිරුණු වාතාවරණයක හෙසකියා හැසිරුණේ කොහොමද?
4 දුෂ්චරිතයෙන් පිරුණු මෙම වාතාවරණය තුළ හෙසකියා පසු වුණේ කොහොමද? එකසිය දහනවවන ගීතිකාව සිත්ගන්නක්; මන්ද සමහරුන්ගේ විශ්වාසයට අනුව හෙසකියා කුමාරයෙක්ව සිටියදී එය රචනය කළා. (ගීතාවලිය 119:46, 99, 100) එනිසා ඔහුගේ තත්වය මතු දැක්වෙන වචනවලින් ඇඟවෙනවා විය හැකියි: “අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය. නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය. ශෝකය නිසා මාගේ ආත්මය දියවේ [ප්‍රාණය ශෝකය නිසා නොනිදයි, NW].” (ගීතාවලිය 119:23, 28) බොරු ආගම පිළිපැද්ද අයගෙන් වට වූ හෙසකියා, රජ වාසලේ සාමාජිකයන්ගේ සමච්චලයට කොතරම් ලක් වෙන්න ඇතිද කිව්වොත්, ඔහුට නිදාගන්න පවා අමාරු වුණා. ඒත්, ඔහු සුචරිතය ලුහුබැඳගිය අතර, කල්යත්ම රජ වී, “[යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කෙළේය. . . .ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා] කෙරෙහි විශ්වාස කෙළේය.”—2 රාජාවලිය 18:1-5.
ඔවුන් සුචරිතවත්ව සිටියා
5. දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තිදෙනා මුහුණ දුන්නේ මොන මොන පරීක්ෂාවලටද?
5 දානියෙල් සහ ඔහුගේ හෙබ්‍රෙව් ආශ්‍රිතයන් තිදෙනා වන හනනියා, මීෂායෙල් සහ අසරියාත් සුචරිතයෙහි ආදර්ශවත් වුණා. ඔවුන්ව බලහත්කාරයෙන් ඔවුන්ගේ මව්බිමෙන් ගෙනගොස් බබිලෝනියෙහි වහල් කරනු ලැබුවා. එම යෞවනයන් හතරදෙනාට බබිලෝනීය නම් දෙනු ලැබුවා: බේල්ටෙෂශර්, ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ. ඔවුන්ට දෙවිගේ ව්‍යවස්ථාවෙන් තහනම් කරනු ලැබූ ආහාර ඇතුළුව ‘රජුගේ භෝජනය’ ඉදිරිපත් කරනු ලැබුවා. එපමණක්ද නොව, “කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත්” සම්බන්ධ අවුරුදු තුනක පුහුණු පාඨමාලාවකට යටත් වෙන්නත් ඔවුන්ට සිදු වුණා. නිකම්ම තවත් භාෂාවක් ඉගෙනගැනීමට වඩා වැඩි දෙයක් මෙයට ඇතුළත් වුණා; මන්ද සමහරවිට මෙහිදී “කල්දිවරුන්” යන යෙදුම උගත් පංතිය හැඳින්වීමට යොදන නිසයි. මේ අනුව, මෙම හෙබ්‍රෙව් යෞවනයන් විකෘති වූ බබිලෝනීය ඉගැන්වීම්වලට නිරාවරණය වුණා.—දානියෙල් 1:1-7.
6. දානියෙල් සුචරිතය ලුහුබැන්දා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ ඇයි?
6 අනුකූලතාව දැක්වීමට ඉමහත් පීඩන තිබුණත්, දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තිදෙනා දුෂ්චරිතයට වඩා සුචරිතය තෝරාගත්තා. දානියෙල් 1:21 මෙසේ කියනවා: “දානියෙල් වනාහි කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්ද දක්වා සිටියේය.” ඔව්, යෙහෝවාගේ සුචරිතවත් සේවකයෙකු වශයෙන්, දානියෙල් බලසම්පන්න රජවරුන් කිහිපදෙනෙකුගේ නැඟීම සහ වැටීම මුළුල්ලේ අවුරුදු 80කට වැඩි කාලයක් පුරා දිගටම “සිටියේය.” දූෂිත ආණ්ඩු නිලධාරීන්ගේ කූටෝපක්‍රම සහ කුමන්ත්‍රණ මෙන්ම බබිලෝනීය ආගම හාත්පස පැතිරී පැවතුණු ලිංගික දුෂ්චරිතය හමුවේ ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. දානියෙල් නොනැවතී සුචරිතය ලුහුබැන්දා.
7. දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තිදෙනා අනුගමනය කළ මාර්ගය ගැන මොනවද ඉගෙනගන්න පුළුවන්?
7 දේවභයැති දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන්ගෙන් අපිට දේවල් බොහොමයක් ඉගෙනගන්න පුළුවන්. ඔවුන් සුචරිතය ලුහුබැඳගිය අතර, බබිලෝනීය සංස්කෘතිය මගින් උරාගනු ලැබීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට බබිලෝනීය නම් දුන්නත්, යෙහෝවාගේ සේවකයන් වශයෙන් ඔවුන් කිසිදාක තමුන්ගේ අනන්‍යතාව නැති කරගත්තේ නැහැ. ඇයි, අවුරුදු 70කට පමණ පස්සේ, බබිලෝනීය රජ දානියෙල්ව ඇමතුවේ ඔහුගේ හෙබ්‍රෙව් නමින්! (දානියෙල් 5:13) ඔහුගේ දීර්ඝ ජීවිත කාලය පුරා, කුඩා දේවලදී පවා ප්‍රතිපත්ති පාවා දීම දානියෙල් ප්‍රතික්ෂේප කළා. තරුණයෙක් වශයෙන්, ඔහු “රජුගේ භෝජනයෙන් . . . අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් [හෘදයෙන්, NW] නියමකරගෙන” තිබුණා. (දානියෙල් 1:8) දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තිදෙනා ගත් මෙම නොසැලෙන ස්ථාවරය, ඔවුන් පසු කාලයේදී මුහුණ දුන් ජීවිතය සහ මරණය සම්බන්ධ පරීක්ෂාවලින් බේරීමට ඔවුන්ව ශක්තිමත් කළ බවට සැකයක් නැහැ.—දානියෙල් 3වන සහ 6වන පරිච්ඡේද.
අදදින සුචරිතය ලුහුබැඳීම
8. සාතන්ගේ ලෝකය මගින් උරාගනු ලැබීමට විරුද්ධ වෙන්න ක්‍රිස්තියානි යෞවනයන්ට පුළුවන් වෙන්නේ කොහොමද?
8 දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තිදෙනා වගේ, දෙවිගේ සෙනඟ සාතන්ගේ දුෂ්ට ලෝකය මගින් උරාගනු ලැබීමට එරෙහිව සිටිනවා. (1 යොහන් 5:19) ඔබ ක්‍රිස්තියානි යෞවනයෙක් නම්, ඇඳුම් පැළඳුම්, හිසකෙස් ආදිය සැකසීම සහ සංගීතය සම්බන්ධයෙන් ඔබේ සම වයසේ මිතුරන් දරන අන්තවාදී මනාපයන් අනුකරණය කිරීමට ඔබ දැඩි පීඩනයක් අද්දකිනවා විය හැකියි. ඒ වුණත්, මතු වෙන හැම විලාසිතාවක්ම හෝ මෝස්තරයක්ම අනුගමනය කරනවා වෙනුවට, ස්ථිරව සිටින්න; “මේ දේවල පිළිවෙළට අනුව හැඩගැසී සිටී[මේ]” පෙලඹීමට යටත් නොවන්න. (රෝම 12:2, NW) “අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, . . . සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද . . . ජීවත්වෙ[න්න].” (තීතස් 2:12, 13) වැදගත් දේ නම්, ඔබේ සමවයසේ මිතුරන්ගේ අනුමැතිය නෙමෙයි, නමුත් යෙහෝවාගේ අනුමැතියයි.—හිතෝපදේශ 12:2.
9. ව්‍යාපාර ලෝකයේදී, ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ මොන වගේ පීඩනවලටද? ඒ සම්බන්ධව ඔවුන් හැසිරිය යුත්තේ කොහොමද?
9 වැඩිහිටි ක්‍රිස්තියානීනුත් පීඩනවලට මුහුණ දෙන අතර, සුචරිතවත්ව සිටිය යුතුයි. ක්‍රිස්තියානි ව්‍යාපාරිකයෝ, සැක සහිත ක්‍රම යොදාගැනීමේ හෝ ආණ්ඩුවේ රෙගුලාසි සහ බදු නීති නොසලකා හැරීමේ පරීක්ෂාවට හසු වෙන්න පුළුවන්. කොහොම වුණත්, ව්‍යාපාරික තරඟකරුවන් හෝ සෙසු වැඩකරුවන් කොහොම හැසිරුණත්, “අපි සියල්ලේදී යහපත්ලෙස [අවංකව, NW] හැසිරෙන්ට ආශා[වන්නෙමු].” (හෙබ්‍රෙව් 13:18) ස්වාමිවරුන්, සේවකයන්, ගනුදෙනුකාරයන් සහ ලෞකික ආණ්ඩු සමඟ අවංකව සහ සාධාරණව කටයුතු කිරීම ශුද්ධ ලියවිලිවලට අනුව අපෙන් අවශ්‍ය කරනවා. (ද්විතීය කථාව 25:13-16; මතෙව් 5:37; රෝම 13:1; 1 තිමෝති 5:18; තීතස් 2:9, 10) අපේ ව්‍යාපාරික කටයුතුවලදී පිළිවෙළකට කටයුතු කරන්නත් අපි වෑයම් කරමු. නිවැරදි වාර්තා තැබීමෙන්, ගිවිසුම් ලිඛිතව කිරීමෙන්, බොහෝවිට වරදවා වටහාගැනීම් වළක්වන්න අපිට පුළුවන්.
පරෙස්සම් වන්න!
10. අපි තෝරාගන්නා සංගීතය සම්බන්ධයෙන් බලද්දී, ‘පරෙස්සමින් සිටීමට’ අවශ්‍යතාවක් තිබෙන්නේ ඇයි?
10 දෙවි ඉදිරියෙහි සුචරිතවත්ව සිටීමේ තවත් අංගයක් ගීතාවලිය 119:9හි කැපීපෙනෙන්න සලස්වා තිබෙනවා. ගීතිකාකාරයා මෙසේ ගායනා කළා: “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි [පරෙස්සමින් සිටීමෙනි, NW].” හැඟීම් අවුස්සන්න බලයක් තිබෙන සංගීතය, සාතන්ගේ ඉතා බලපෑමෙන් යුක්ත ආයුදවලින් එකක් වෙනවා. සංගීතය සම්බන්ධයෙන් බලද්දී, ‘පරෙස්සමින් සිටීමට’ ඇතැම් ක්‍රිස්තියානීන් අපොහොසත් වී තිබීම කනගාටුවට හේතුවක් වන අතර, රැප් සහ හෙවි මෙට්ල් වැනි ඒවායෙහි අන්තවාදී ස්වරූපයන්වලට ඇදී යන බවක් ඔවුන්ට පෙනී යනවා. එවැනි සංගීතයක් ඔවුන්ට හානිකර නැති බව හෝ ඔවුන් පද මාලාවලට අවධානයක් යොමු කරන්නේ නැති බව හෝ කියමින් සමහරු තර්ක කරනවා වෙන්න පුළුවන්. තද රිද්මයකින් හෝ ගිටාරවල ප්‍රබල හඬින් විතරක් ඔවුන් ආස්වාදයක් ලබන බව වෙනත් අය කියනවා. ඒත්, ක්‍රිස්තියානීන්ට නම්, ප්රශ්නය වන්නේ යම්කිසි දෙයකින් ආස්වාදයක් ලැබෙනවාද නැද්ද කියන එක නෙමෙයි. එය ‘ස්වාමීන්ට ප්‍රසන්නව’ තිබෙනවාද නැද්ද කියන එක තමයි ඔවුන්ගේ සැලකිල්ලට බඳුන් වෙන්නේ. (එපීස 5:10, ඇල අකුරු අපේය.) බොහෝදුරට, අසභ්‍ය භාෂාව, වේශ්‍යාකම වැනි දුෂ්චරිතයන්ට සහ සාතන් නමස්කාරයට පවා හෙවි මෙට්ල් සහ රැප් සංගීතය අනුග්‍රහය දක්වනවා—සහතිකවම මේවා දෙවිගේ සෙනඟ අතර කිසිම තැනක් හිමි වෙන්නේ නැති දේවල්.a (එපීස 5:3) බාල හෝ මහලු හෝ වේවා, අපි එක් එක්කෙනා මෙම ප්රශ්නය සලකා බැලුවොත් හොඳයි: මම තෝරාගන්න සංගීතය ගත්තොත්, මම ලුහුබඳින්නේ සුචරිතයද, දුෂ්චරිතයද?
11. ක්‍රිස්තියානියෙකුට රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ දර්ශන සහ චිත්‍රපට සම්බන්ධයෙන් පරෙස්සමින් සිටිය හැක්කේ කොහොමද?
11 රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ දර්ශන සහ චිත්‍රපට බොහොමයක් දුෂ්චරිතයට අනුග්‍රහය දක්වනවා. එක ප්රමුඛ පෙළේ මානසික-සෞඛ්‍ය ප්‍රවීණයෙකුට අනුව, අදදින නිෂ්පාදනය කරන චිත්‍රපට වැඩිහරියකම බලපවත්වන තේමා වන්නේ ‘සුඛපරමවාදය, ලිංගිකත්වය, සාහසිකකම, ගිජුකම සහ ආත්මාර්ථයයි’. එමනිසා, අපි නරඹන්න තෝරගන්න දේවල් ගැන තෝරා බේරා කටයුතු කිරීම, පරෙස්සමින් සිටීමට ඇතුළත් වෙනවා. ගීතිකාකාරයා මෙසේ යාච්ඤා කළා: “නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරව[න්න].” (ගීතාවලිය 119:37) ජෝසෆ් නමැති ක්‍රිස්තියානි යෞවනයෙක් මෙම ප්‍රතිපත්තිය අදාළ කළා. එක්තරා චිත්‍රපටයක, අශික්ෂිත ලිංගික ක්‍රියා සහ සාහසිකකම තිරගත වෙන්න පටන්ගත් විට, ඔහු සිනමා ශාලාවෙන් ඉවත් වුණා. මේ දෙය කිරීම ගැන ඔහු ලජ්ජා වුණාද? “නෑ, කොහොමටවත් නෑ” කියලා ජෝසෆ් කියනවා. “මම ඉස්සෙල්ලාම හිතුවේ යෙහෝවා ගැනයි, එයාව සතුටු කිරීම ගැනයි.”
අධ්‍යයනයෙන් සහ මෙනෙහි කිරීමෙන් ඉටු වන කාර්යය
12. සුචරිතය ලුහුබඳින්න පෞද්ගලික පාඩම සහ මෙනෙහි කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
12 නරක දේවලින් වැළකී සිටීම විතරක් මදි. දේවවචනයෙහි ධර්මිෂ්ඨ ප්‍රමිති ජීවිතයට අදාළ කරගැනීමට පුළුවන් වන පරිද්දෙන්, එහි වාර්තා වී තිබෙන යහපත් දේවල් අධ්‍යයනය කිරීම සහ එමත මෙනෙහි කිරීමත් සුචරිතය ලුහුබැඳීමට ඇතුළත් වෙනවා. ගීතිකාකාරයා මෙසේ හඬ නැඟුවා: “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.” (ගීතාවලිය 119:97) බයිබලය සහ ක්‍රිස්තියානි ප්‍රකාශන පෞද්ගලිකව අධ්‍යයනය කිරීම ඔබේ සතිපතා කාලසටහනට ඇතුළත් වී තිබෙනවාද? දේවවචනය උත්සාහවන්තව පාඩම් කිරීම සහ එමත යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීම සඳහා කාලය මිඩංගු කිරීම අභියෝගයක් විය හැකි බව ඇත්තක්. ඒත් වෙනත් ක්‍රියාකාරකම්වලින් කාලය මිල දී ගැනීම බොහෝවිට කරන්න පුළුවන් දෙයක්. (එපීස 5:15, 16) සමහරවිට, යාච්ඤාව, අධ්‍යයනය සහ මෙනෙහි කිරීමට කාලයක් වශයෙන් අලුයම පැය කිහිපයක් යොදාගන්න එක වාසිදායක වෙන්න පුළුවන්.—ගීතාවලිය 119:147, සසඳන්න.
13, 14. (අ) මෙනෙහි කිරීම වටින්නේ ඇයි? (ආ) ලිංගික දුරාචාරය පිළිකුල් කරන්න අපිට උපකාරයක් විය හැක්කේ මොන ශුද්ධ ලියවිලි පාඨ මත මෙනෙහි කිරීමද?
13 අපි ඉගෙනගන්නා දේ ධාරණය කරගැනීමට මෙනෙහි කිරීම අපිට උපකාරයක් වන නිසා, එය වටිනා දෙයක්. වඩා වැදගත් දේ නම්, දේවභක්තික අදහස් වඩවන්න උපකාර කිරීමට එයට පුළුවන් වීමයි. එය මෙසේ නිදර්ශනය කරමු: දෙවි වේශ්‍යාකම තහනම් කරන බව දැනසිටීම එක දෙයක්, නමුත් ‘නපුර පිළිකුල්කොට යහපතට ඇලුම්ව සිටීම’ හාත්පසින්ම වෙනස් දෙයක්. (රෝම 12:9) කොලොස්සි 3:5 වැනි වැදගත් බයිබල් පද මත මෙනෙහි කිරීමෙන් ලිංගික දුරාචාරය ගැන යෙහෝවාට හැඟෙන ආකාරය ඇත්තෙන්ම අපිට දැනෙන්න පුළුවන්; එහි මෙසේ උනන්දු කරනවා: “එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.” ඔබෙන්ම මෙසේ විමසන්න: ‘මම මොන වගේ කාමරාගයක්ද නැසිය යුත්තේ? අපවිත්‍ර තෘෂ්ණා ඇවිස්සිය හැකි මොන දේවලින්ද මම වැළකී සිටිය යුත්තේ? විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කරන විදිහ සම්බන්ධයෙන් මම කළ යුතු යම්කිසි වෙනස්කම් තිබෙනවාද?’—1 තිමෝති 5:1, 2, සසඳන්න.
14 වේශ්‍යාකමින් ඉවත්ව සිටීමටත්, “කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීම[ට]” ආත්ම-දමනය ක්‍රියාවට නැංවීමටත් පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කරනවා. (1 තෙසලෝනික 4:3-7) ඔබෙන්ම මෙසේ විමසන්න: ‘වේශ්‍යාකමෙහි යෙදීම හානිකර වෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් මම පව් කළොත්, මටත් තව කෙනෙකුටත් මොන වගේ හානියක්ද මම කරන්නේ? මේක මට ආත්මිකව, චිත්තවේගීයව සහ කායිකව බලපාන්න යන්නේ කොහොමද? දෙවිගේ නීති උල්ලංගනය කරලා, පසුතැවිලි නොවුණ සභාවේ පුද්ගලයන් ගැන මොනවාද කියන්න පුළුවන්? ඔවුන්ට මොන වගේ ප්‍රතිඵල විඳින්න සිදු වෙලා තිබෙනවාද?’ එවැනි හැසිරීමක් ගැන ශුද්ධ ලියවිලි කියන දේ හෘදයට ගැනීමෙන්, දෙවිගේ ඇස් ඉදිරියෙහි නපුරුව තිබෙන දේ සඳහා අපේ වෛරය තවත් වැඩි කරගන්න පුළුවන්. (නික්මයාම 20:14; 1 කොරින්ති 5:11-13; 6:9, 10; ගලාති 5:19-21; එළිදරව් 21:8) වේශ්යාකම්කරන්නෙක්, ‘මනුෂ්‍යයාව නොව දෙවිව එපා කරන්නේය’ කියා පාවුල් කියයි. (1 තෙසලෝනික 4:8) තම ස්වර්ගික පියාව නොසලකා හරින්න යන්නේ මොන සැබෑ ක්රිස්තියානිවරයාද?
සුචරිතය සහ ඇසුර
15. සුචරිතය ලුහුබැඳීමේදී ඇසුරෙන් ඉටු වෙන්නේ මොන කාර්යයක්ද?
15 සුචරිතවත්ව සිටීමට තවත් උපකාරකයක් වන්නේ හොඳ ඇසුරක් ලැබීමයි. ගීතිකාකාරයා මෙසේ ගායනා කළා: “මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.” (ගීතාවලිය 119:63) ක්‍රිස්තියානි රැස්වීම්වලදී සපයන හිතකර ඇසුර අපිට අවශ්‍යයි. (හෙබ්‍රෙව් 10:24, 25) අපි හුදෙකලාවේ හිටියොත්, අපේම වුවමනා එපාකම් කේන්ද්‍රගත කරගෙන කල්පනා කරන්න අපිව පෙලඹෙන්න පුළුවන් වන අතර, දුෂ්චරිතයෙහි ග්‍රහණයට අපි පහසුවෙන් ලක් වෙන්න පුළුවන්. (හිතෝපදේශ 18:1) කොහොම වුණත්, සුචරිතවත්ව සිටීමට අපිට තිබෙන අධිෂ්ඨානය ශක්තිමත් කරන්න උණුසුම් ක්‍රිස්තියානි මිත්‍රත්වයට පුළුවන්. ඇත්තෙන්ම, අපි නපුරු ඇසුරෙනුත් පරෙස්සම් විය යුතුයි. අසල්වාසීන්, සෙසු වැඩකරුවන් සහ සෙසු ශිෂ්‍යයන් එක්ක අපිට සුහද වෙන්න පුළුවන්. ඒත් අපි ඇත්තටම ප්‍රඥාවෙන් ගමන් කරනවා නම්, ක්‍රිස්තියානි සුචරිතය ලුහුබඳින්නේ නැති අයට ඕනෑවට වඩා සමීප වීමෙන් අපි වැළකෙන්න යනවා.—කොලොස්සි 4:5, සසඳන්න.
16. පළමුවන කොරින්ති 15:33 අදාළ කිරීම, අදදින සුචරිතය ලුහුබැඳීමට අපිට උපකාරයක් විය හැක්කේ කොහොමද?
16 පාවුල් මෙසේ ලිව්වා: “නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” මෙලෙස ප්‍රකාශ කිරීමෙන්, නැවත නැඟිටීම පිළිබඳ ශුද්ධ ලියවිල්ලට එකඟ ඉගැන්වීම ප්‍රතික්ෂේප කළ නාමික ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් තම ඇදහිල්ල නැති කරගන්න පුළුවන් බවට ඔහු ඇදහිලිවන්තයන්ට අනතුරු අඟවමින් සිටියා. පාවුල්ගේ අනතුරු ඇඟවීම පිටිපස්සේ තිබෙන ප්‍රතිපත්තිය, සභාවෙන් පිටත්, ඒ තුළත් කරන අපේ ඇසුරට අදාළ වෙනවා. (1 කොරින්ති 15:12, 33) අපිට පෞද්ගලිකව විතරක් තිබෙන යම් මතයකට එකඟ නොවුණ පළියට, අපේ ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් වැළකී සිටීමට අපිට වුවමනාවක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. (මතෙව් 7:4, 5; රෝම 14:1-12) කොහොම වුණත්, සභාවෙහි යමෙක් සැකකටයුතු හැසිරීමක නියැලෙනවා නම්, නැතහොත් තික්ත හෝ මැසිවිලි කියන ස්වභාවයක් දක්වනවා නම්, පරෙස්සමින් සිටීම අවශ්‍යයි. (2 තිමෝති 2:20-22) අපිට “දිරිගැන්වීමේ හුවමාරුවක්” භුක්ති විඳින්න පුළුවන් අයට කිට්ටුවෙන් සිටීම ප්‍රඥාවන්ත දෙයක්. (රෝම 1:11, 12, NW) සුචරිතවත් මාර්ගයක් ලුහුබඳින්නත්, “ජීවන මාර්ග[යෙහි]” සිටින්නත් මෙය අපිට උපකාරවත් වෙයි.—ගීතාවලිය 16:11.
සුචරිතය ලුහුබඳිමින් සිටින්න
17. ගණන් කථාව 25වන පරිච්ඡේදයට අනුව, ඉශ්රායෙල්වරුන් අසු වුණේ මොන විපත්තියටද? එමෙන්ම මෙය අපිට සපයන්නේ මොන වගේ පාඩමක්ද?
17 පොරොන්දු දේශය අයිති කරගැනීමෙන් කෙටි කාලයකට පස්සේ, ඉශ්රායෙල්වරුන්ගෙන් දහස් ගණනක් දුෂ්චරිතය ලුහුබැඳීම තෝරාගත් අතර, විපත්ති අද්දැක්කා. (ගණන් කථාව 25වන පරිච්ඡේදය) අදදින, යෙහෝවාගේ සෙනඟ ධර්මිෂ්ඨ නව ලොවක අද්දරෙහි සිටිනවා. මෙම ලෝකයෙහි දුෂ්චරිත දිගටම ප්‍රතික්ෂේප කරන අයට ලැබෙන ආශීර්වාද ලත් වරප්‍රසාදය තමයි එයට ඇතුල් වීම. අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, අපිට වැරදි නැඹුරුවාවන් තිබෙනවා වෙන්න පුළුවන්; ඒත් තම ශුද්ධාත්මයේ ධර්මිෂ්ඨ පෙලඹවීම් අනුගමනය කරන්න අපිට උපකාර කිරීමට දෙවිට පුළුවන්. (ගලාති 5:16; 1 තෙසලෝනික 4:3, 4) එමනිසා යෝෂුවා ඉශ්රායෙල්ට දුන් අනුශාසනාවට අපි අවනත වෙමු: “[යෙහෝවාට] භයව අවංකකමිනුත් සැබෑකමිනුත් [ඔහුට] සේවයකරන්න.” (යෝෂුවා 24:14) යෙහෝවාව අමනාප කිරීමට තිබෙන ගෞරවාන්විත භය, සුචරිතවත් මාර්ගයක් ලුහුබඳින්න අපිට උපකාර කරයි.
18. දුෂ්චරිතය සහ සුචරිතය සම්බන්ධව, හැම ක්රිස්තියානියෙකුගේම අධිෂ්ඨානය කුමක් විය යුතුද?
18 දෙවිව සතුටු කිරීම ඔබේ හෘදයාංගම ආශාව නම්, පාවුල්ගේ මෙම අනුශාසනාවට අවනත වන්න අධිෂ්ඨාන කරගන්න: “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක් [සුචරිතයක්, NW], යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.” ඔබ මෙය කළොත්, ප්‍රතිඵලය මොකක් වෙයිද? ඒ දේවල් “කරන්න. එවිට සමාදානයේ [දෙවි] නුඹලා සමඟ සිටිනවා ඇත.” (පිලිප්පි 4:8, 9) ඔව්, යෙහෝවාගේ උපකාරය ඇතුව, දුෂ්චරිතය ප්‍රතික්ෂේප කරන්නත්, සුචරිතය ලුහුබඳින්නත් ඔබට පුළුවන්.
[පාදසටහන]
a මුරටැඹ 1993 අප්‍රියෙල් 15, 19-24 පිටු සහ පිබිදෙව්! “යෞවන අය අසති . . . ” ලිපි මාලාවේ, 1993 අප්‍රියෙල් 8, මැයි 8 සහ ජූනි 8 මෙන්ම 1996 නොවැම්බර් 22 (ඉංග්‍රීසියෙන්) බලන්න.
පුනරීක්ෂණයට කරුණු
◻ සුචරිතය ලුහුබඳින්න නම් අවශ්‍ය වන්නේ මොකක්ද?
◻ හෙසකියා, දානියෙල් සහ හෙබ්‍රෙව්වරුන් තිදෙනා සුචරිතවත්ව සිටියේ මොන වගේ තත්වයන් යටතේද?
◻ සාතන්ගේ උපක්රමවලට එරෙහිව සිටීමේදී, අපිට දානියෙල්ට සමාන වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද?
◻ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් පරෙස්සමින් සිටිය යුත්තේ ඇයි?
◻ සුචරිතය ලුහුබැඳීමේදී, අධ්‍යයනය, මෙනෙහි කිරීම සහ ඇසුර ඉටු කරන කාර්යය කුමක්ද?
[15වන පිටුවේ පින්තූරය]
මොලෙක්ට නමස්කාර කරන්නන්ගෙන් වට වී සිටියත්, තරුණ හෙසකියා සුචරිතය ලුහුබැන්දා
[17වන පිටුවේ පින්තූර]
විනෝදාස්වාදය සම්බන්ධයෙන් ගත් කල, ක්‍රිස්තියානීන් පරෙස්සමින් සිටිය යුතුයි