‘මරණය නැති කරනු ලබනවා’
“නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.”—1 කොරින්ති 15:26.
1, 2. (අ) ප්‍රේරිත පාවුල් මළවුන් සඳහා තැබුවේ මොන බලාපොරොත්තුවද? (ආ) පාවුල් නැවත-නැඟිටීම පිළිබඳ මොන ප්‍රශ්නයද සාකච්ඡා කළේ?
“මාංස උත්ථානයද අනන්ත ජීවිතයද විශ්වාස කරමි.” විශ්වාස ලක්ෂණයෙහි පවසා ඇත්තේ එයයි. කතෝලිකයන් සහ රෙපරමාදු භක්තිකයන් එය කීකරුව කටපාඩමින් කියන්නේ, තම විශ්වාසයන් ප්‍රේරිතයන් කවදත් විශ්වාස කළ කිසිම දෙයකට වඩා ග්‍රීක් දර්ශනයට සමීප බව නොදැනයි. කෙසේවෙතත්, ප්‍රේරිත පාවුල් ග්‍රීක් දර්ශනය ප්‍රතික්ෂේප කළ අතර, අමරණීය ප්‍රාණයක් විශ්වාස කළේ නැහැ. එනමුත්, අනාගත ජීවිතයක් කෙරෙහි ස්ථිර ලෙස විශ්වාස කරමින්, ඔහු දේවානුභාවය යටතේ මෙසේ ලිව්වා: “නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.” (1 කොරින්ති 15:26) මියයන මනුෂ්‍යවර්ගයා සඳහා එයින් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද?
2 පිළිතුරු වශයෙන්, 1 කොරින්ති 15වන පරිච්ඡේදයෙහි වාර්තා වී ඇති නැවත-නැඟිටීම පිළිබඳව පාවුල්ගේ සාකච්ඡාවට අපි නැවතත් අවතීර්ණ වෙමු. පාවුල් නැවත-නැඟිටීම ක්‍රිස්තියානි ඉගැන්වීම්වල අතිවැදගත් කොටසක් වශයෙන් පිහිටෙවූ බව මුල් පදවලින් ඔබට සිහි වෙනවා ඇති. දැන් ඔහු නිශ්චිත ප්‍රශ්නයක් වෙතට යොමු වෙනවා: “නුමුත්: මළවුන් නැගිටින්නේ කෙසේද? ඔව්හු කොයි ප්‍රකාර ශරීරයක් ඇතුව එද්දැයි යමෙක් අසනවා ඇත.”—1 කොරින්ති 15:35.
මොන වගේ ශරීරයක්ද?
3. ඇතමුන් නැවත-නැඟිටීම ප්‍රතික්ෂේප කළේ ඇයි?
3 මෙම ප්රශ්නය ඉස්මතු කිරීමෙන් ප්ලේටෝගේ දර්ශනයේ බලපෑම නිෂ්ප්‍රභ කරන්න පාවුල් අදහස් කරන්න ඇති. මිනිසාට ශරීරයේ මරණයෙන් බේරෙන අමරණීය ප්‍රාණයක් ඇති බව ප්ලේටෝ ඉගැන්නුවා. එවන් අදහසක් සමඟ ඇති දැඩි වූ අයට, නැවත-නැඟිටීම පිළිබඳ ක්‍රිස්තියානි ඉගැන්වීම අනවශ්‍යයයි පෙනී ගිය බවට කිසිම සැකයක් නැහැ. ඔවුන්ගේ මතයට අනුව, ප්‍රාණය මරණයෙන් පසු ජීවත් වේ නම්, නැවත-නැඟිටීමකින් ඇති ඵලය කුමක්ද? එපමණක්ද නොව, නැවත-නැඟිටීම තර්කානුකූල නැති බවයි ඔවුන්ට පෙනී යන්නේ. ශරීරය දූවිල්ලට හැරී ගියායින් පසු, නැවත-නැඟිටීමක් සිදු විය හැක්කේ කෙසේද? ඇතැම් කොරින්තිවරුන්ගේ විරුද්ධතාව “ශරීරයේ පදාර්ථයන් ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒම කළ නොහැක්කක් යන දාර්ශනික පදනම මත” ඇතැම්විට පදනම් වෙන්න ඇතැයි හයින්රික් මය’ නමැති බයිබල් ටීකාකරු පවසයි.
4, 5. (අ) නොඇදහිලිකාරයන්ගේ විරෝධතා අසාධාරණ වුණේ ඇයි? (ආ) “බීජය” පිළිබඳ පාවුල්ගේ උපහැරණය පැහැදිලි කරන්න. (ඇ) දෙවි නැවත-නැඟිටුවනු ලබන ආලේප ලත් අයට දෙන්නේ කුමනාකාරයේ ශරීරද?
4 ඔවුන්ගේ තර්කවල නිස්සාරකම පාවුල් හෙළි කරන්නේ මෙසේ පවසමිනුයි: “අඥානය, නුඹම වපුරන දේ මළොත් මිස නැත්නම් පැළවෙන්නේ නැත. නුඹ වපුරන කල වපුරන්නෙත් මතු අටගන්න කඳ නොව තිරිඟු හෝ වෙන වර්ගයක බීජයක් හෝ පමණය; නුමුත් [දෙවි] තමන් කැමතිවූ හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියමවූ කඳක්ද [දෙන්නේය].” (1 කොරින්ති 15:36-38) මිනිසුන් පොළොවේ සිටිද්දී තිබූ ශරීර නැඟිටුවන්න දෙවි අදහස් කළේ නැහැ. ඒ වෙනුවට, සම්පූර්ණ වෙනසක් සිදු වෙන්නයි තිබුණේ.
5 පාවුල් නැවත-නැඟිටීම පැළ වෙන බීජයකට සන්සන්දනය කරයි. කුඩා තිරිඟු බීජයක් එයින් හටගැනෙන පැළයට සමානකමක් නොදරන තරම්. ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “බීජයක් පැළ වෙන්න පටන්ගන්නා විට, එය විශාල ජල ප්‍රමාණයක් උරාගන්නවා. ජලය හේතුවෙන් බීජය තුළ රසායනික විපර්යාසයන් බොහොමයක් සිදු වෙනවා. බීජයේ අභ්‍යන්තර පටක පිම්බීමටත්, බීජයේ සිවිය පිපිරී එම පටක පිටතට මතු වෙන්නත් එය හේතුවක් වෙයි.” ඇත්තෙන්ම බීජය බීජයක් වශයෙන් මැරී, රෝපණය වන පැළයක් බවට පත් වෙයි. ‘දෙවි ඊට කඳක් දෙන්නේ’ එහි වර්ධනය පාලනය කරන විද්‍යාත්මක නීති පිහිටුවීමෙනුයි. තවද එහි වර්ගයට අනුව එක එක බීජයට කඳක් ලැබෙයි. (උත්පත්ති 1:11) ඒ හා සමානව, ආලේප ලත් ක්‍රිස්තියානීන් මුලින්ම මනුෂ්‍යයන් සේ මියයනවා. ඊළඟට දෙවිගේ නියමිත කාලයේදී, සම්පූර්ණයෙන්ම අලුත් වූ ශරීර ඇතුව ඔවුන්ව නැවත ජීවත් කරවනවා. පාවුල් පිලිප්පිවරුන්ට පැවසූ පරිද්දෙන්, “යේසුස් ක්‍රිස්තුස් . . . අපේ පහත්කමේ ශරීර [තම] තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.” (පිලිප්පි 3:20, 21; 2 කොරින්ති 5:1, 2) ඔවුන්ව ආත්ම ශරීර ඇතුව නැවත-නැඟිටුවනු ලබන අතර, ආත්ම විෂයෙහි ජීවත් වෙයි.—1 යොහන් 3:2.
6. නැවත-නැඟිටුවනු ලබන අයට යෝග්‍ය ආත්ම ශරීර දෙවිට සැපයිය හැකියයි විශ්වාස කිරීම සාධාරණ වන්නේ ඇයි?
6 මෙය විශ්වාස කිරීමට බැරි තරම් අමාරුද? නැහැ. සතුන්ට විවිධාකාර ශරීර ඇති බවට පාවුල් තර්ක කරයි. ඊට අමතරව, ස්වර්ගික දේවදූතයන් සහ මාංසයෙන් සහ රුධිරයෙන් සෑදී ඇති මනුෂ්‍යයන් අතර වෙනස දක්වමින් ඔහු මෙසේ පවසයි: “ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ.” අප්‍රාණික මැවිල්ල තුළත් ඉමහත් විවිධත්වයක් දැකිය හැකියි. නිල්වන් තරු, රතු යෝධයන් සහ සුදු කුරුමිට්ටන් වැනි ආකාශ වස්තූන් විද්‍යාව මගින් සොයාගන්න බොහෝ කලකට කලින්, “තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය” කියා පාවුල් පැවසුවා. මෙය සලකා බැලුවොත්, නැවත-නැඟිටුවනු ලැබූ ආලේප ලත් අයටත් යෝග්‍ය ආත්ම ශරීර දෙවිට සැපයිය හැකි බව කීම සාධාරණ නොවේද?—1 කොරින්ති 15:39-41.
7. නොදිරනසුලුභාවය සහ අමරණීයත්වය යන්නෙහි අර්ථය කුමක්ද?
7 ඊළඟට පාවුල් මෙසේ පවසයි: “මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගිටුවනු ලැබේ.” (1 කොරින්ති 15:42) පරිපූර්ණ වුණත්, මනුෂ්‍ය ශරීරයක් දිරාපත් විය හැකියි. එය නැසිය හැකියි. නිදසුනක් ලෙස, නැවත-නැඟිටෙවූ යේසු නැවතත් ‘කුණුවීමට නොහැරෙන්න’ නියමිත වූ බව පාවුල් පැවසුවා. (ක්‍රියා 13:34) පරිපූර්ණ වුණත්, දිරනසුලු මනුෂ්‍ය ශරීරයක් ඇතුව ඔහු කිසිදාක නැවත ජීවත් වෙන්න යන්නේ නැහැ. දෙවි නැවත-නැඟිටුවනු ලබන ආලේප ලත් අයට දෙන ශරීර නොදිරනසුලු ඒවායි. මරණය හෝ දිරාපත් වීම අබිබවා යන ඒවායි. පාවුල් තවදුරටත් මෙසේ පවසයි: “අගෞරවයෙන් යුක්තව වපුරනු ලැබේ; තේජසින් යුක්තව නැගුටුවනු ලැබේ. දුර්වලකමෙන් යුක්තව වපුරනු ලැබේ; බලයෙන් යුක්තව නැගුටුවනු ලැබේ. ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරීරයක්ව නැගුටුවනු ලැබේ.” (1 කොරින්ති 15:43, 44) තවදුරටත් පාවුල් මෙසේ පවසයි: “මරණීයවූ මේක අමරණීයභාවයට පැමිණෙන්ට ඕනෑය.” අමරණීයභාවයෙන් නිමක් නැති, විනාශ කළ නොහැකි ජීවිතයක් අදහස් කරයි. (1 කොරින්ති 15:53; හෙබ්‍රෙව් 7:16) මෙයාකාරයෙන්, නැවත-නැඟිටුවනු ලැබූ අයගේ නැවත-නැඟිටීමට මං උදා කළ යේසු නමැති “ස්වර්ගීක තැනැත්තාගේ රූපය” ඔවුන් දරනවා.—1 කොරින්ති 15:45-49.
8. (අ) නැවත-නැඟිටුවනු ලබන අය කලින් පොළොව මත ජීවත්ව සිටි පුද්ගලයන්මයි කියා අප දන්නේ කෙසේද? (ආ) නැවත-නැඟිටීම සිදු වෙද්දී ඉටු වන්නේ මොන අනාවැකිද?
8 මෙවන් සම්පූර්ණ වෙනසක් සිදු වුණත්, නැවත-නැඟිටුවනු ලැබූ අය තමන් මියයෑමට කලින් සිටි පුද්ගලයන්වම සිටියි. එම මතකයන්ම ඇතුවත්, එම අව්‍යාජ ක්‍රිස්තියානි ගුණාංගම ඇතුවත් ඔවුන්ව නැඟිටුවනු ලබනවා. (මලාකී 3:3; එළිදරව් 21:10, 18) මේ ආකාරයෙන් ඔවුන් යේසුස් ක්‍රිස්තුස්ට සමානයි. ඔහු ආත්ම ස්වරූපයක සිට ශාරීරික ස්වරූපයක් දක්වා වෙනස් වුණා. ඊළඟට මියගොස්, ආත්මයක් හැටියට නැවත-නැඟිටුවනු ලැබුවා. එනමුත් ‘යේසුස් ක්‍රිස්තුස් ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.’ (හෙබ්‍රෙව් 13:8) ආලේප ලත් අයට ඇත්තේ මොනතරම් තේජාන්විත වරප්‍රසාදයක්ද! පාවුල් මෙසේ පවසයි: “දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ. එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද?”—1 කොරින්ති 15:54, 55; යෙසායා 25:8; හොෂෙයා 13:14.
භූමික නැවත-නැඟිටීමක්?
9, 10. (අ) පළමු කොරින්ති 15:23හි පාඨ සම්බන්ධය ගත්තොත්, “කෙළවර” කුමක්ද? තවද ඒ හා සම්බන්ධව ඇත්තේ මොන සිදුවීම්ද? (ආ) මරණය නැති කරනු ලැබීමට නම් කුමක් සිදු විය යුතුද?
9 ස්වර්ගයේ අමරණීය ආත්ම ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව නැති දශලක්ෂ ගණන්දෙනාට යම් අනාගතයක් තිබෙනවාද? ඇත්තෙන්ම තිබෙනවා! ස්වර්ගික නැවත-නැඟිටීම ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම අතරතුරේදී සිදු වන බව පැහැදිලි කිරීමෙන් පසු, මෙසේ පවසමින් පාවුල් ඉන් අනතුරුව සිදු වන දේවල් දක්වයි: ‘එවිට කෙළවර පැමිණේ; ඔහු සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැති කළ කල්හි, ඔහු රාජ්‍යය පිය වූ දෙවිට භාර දෙන්නේය.’—1 කොරින්ති 15:23, 24.
10 “කෙළවර” ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයෙහි කෙළවරයි. එවිට යේසු තම දෙවි මෙන්ම පියාට රාජ්‍යය නිහතමානීව සහ පක්ෂපාතව භාර දේවි. (එළිදරව් 20:4) එවිට ‘සියල්ල ක්‍රිස්තුස් තුළ ඒකරාශි කරන්ට’ වූ දෙවිගේ අරමුණ ඉටු වී තිබේවි. (එපීස 1:9, 10) කෙසේවෙතත්, ඊට කලින්, දෙවිගේ පරම කැමැත්තට විරුද්ධ “සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද” ක්‍රිස්තුස් විනාශ කරාවි. අර්මගෙදොන්හි සිදු කරන විනාශයට වඩා වැඩි යමක් මීට ඇතුළත් වෙනවා. (එළිදරව් 16:16; 19:11-21) පාවුල් මෙසේ පවසයි: “[ක්‍රිස්තුස්] සියලු සතුරන් [තමන්ගේ] පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය. නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.” (1 කොරින්ති 15:25, 26) ඔව්, ආදම්ගෙන් උරුම වූ පාපය සහ මරණයේ සෑම අංශුමාත්‍රයක්ම එවිට ඉවත් කරනු ලැබේවි. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන්, මළවුන් නැවත ජීවත් කරවීමෙන්, “සොහොන්ගෙවල්” හිස් කිරීමේ කටයුත්තත් දෙවි අවසානයකට ගෙනැවිත් තිබේවි.—යොහන් 5:28.
11. (අ) දෙවිට මළ ප්‍රාණ නැවත මැවිය හැකි බව අප දන්නේ කෙසේද? (ආ) පොළොව මතට නැවත-නැඟිටුවනු ලබන අයට සපයනු ලබන්නේ කුමනාකාරයේ ශරීරද?
11 මනුෂ්‍ය ප්‍රාණ නැවත මැවීම මින් අදහස් කෙරේ. සිදු විය නොහැක්කක්ද? නැහැ. මන්ද දෙවිට එසේ කළ හැකි බව ගීතාවලිය 104:29, 30 අපට සහතික කරන නිසයි: “ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයෙති. ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති.” නැවත-නැඟිටුවනු ලබන අය තම මරණයට කලින් වූ පුද්ගලයන්ම වුවත්, එම ශරීරම ඔවුන්ට තිබීම අවශ්‍ය නැහැ. ස්වර්ගයට ඔසවනු ලබන අය සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, දෙවි තමාට රිසි පරිදි ඔවුන්ට ශරීරයක් දේවි. කිසිම සැකයක් නැතුව ඔවුන්ගේ අලුත් ශරීර භෞතික වශයෙන් සෞඛ්‍යසම්පන්නව තිබේවි. එමෙන්ම ඔවුන්ව හඳුනාගැනීමට තම ප්‍රේමනීයයන්ට හැකි වන පරිද්දෙන්, එම අලුත් ශරීරය සෑහෙන දුරට ඔවුන්ගේ මුල් එකට සමාන වේවි.
12. භූමික නැවත-නැඟිටීම සිදු වන්නේ කවදාද?
12 භූමික නැවත-නැඟිටීම කවදා සිදු වේවිද? මාර්තා තම මළ සහෝදරයා වූ ලාසරුස් ගැන මෙසේ පැවසුවා: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි.” (යොහන් 11:24) ඇය ඒ බව දැන සිටියේ කෙසේද? ඇය ජීවත් වූ කාලයෙහි ඵරිසිවරුන් නැවත-නැඟිටීම විශ්වාස කළත් සද්දුසිවරුන් එය විශ්වාස නොකළ බැවින්, ඒ සම්බන්ධයෙන් මතභේදයක් පැවතුණා. (ක්‍රියා 23:8) කෙසේවෙතත්, නැවත-නැඟිටීම ගැන බලාපොරොත්තු තැබූ ක්‍රිස්තියානි යුගයට කලින් සාක්ෂිකරුවන් ගැන මාර්තා දැනගෙන සිටින්න ඇති. (හෙබ්‍රෙව් 11:35) එමෙන්ම, නැවත-නැඟිටීම අන්තිම දවසේදී සිදු වන බව දානියෙල් 12:13නුත් ඇය අවබෝධ කරගෙන සිටින්න ඇති. යේසුගෙන් පවා ඇය මෙය ඉගෙනගත්තා විය හැකියි. (යොහන් 6:39) එම ‘අන්තිම දවස’ සහ ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය එකවිටයි සිදු වන්නේ. (එළිදරව් 20:6) මෙම උදාර සිද්ධිය ආරම්භ වෙද්දී, එම ‘දවසෙහි’ ඇති වන ප්‍රීති උද්දාමය කොයි වගේ එකක් වෙයිද කියා සිතා බලන්න!—ලූක් 24:41 සසඳන්න.
නැවත පැමිණෙන්නේ කවුද?
13. එළිදරව් 20:12-14හි වාර්තා වී ඇත්තේ නැවත-නැඟිටීම පිළිබඳ මොන දර්ශනයද?
13 භූමික නැවත-නැඟිටීම ගැන යොහන්ගේ දර්ශනය එළිදරව් 20:12-14හි මෙසේ වාර්තා කර තිබෙනවා: “මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන-පොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය. සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් [හේදීසයත්, NW] එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් [හේදීසයත්, NW] ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය.”
14. නැවත-නැඟිටුවනු ලබන අය අතර සිටින්නේ කවුද?
14 නැවත-නැඟිටීමට “ලොකු අයද කුඩා අයද” ඒ කියන්නේ ජීවත් වී මියගොස් ඇති ප්රමුඛ පෙළේ මෙන්ම අප්‍රකට මනුෂ්‍යයනුත් ඇතුළත් වෙනවා. ඇත්තටම, එම සංඛ්‍යාව අතර ළදරුවනුත් සිටීවි! (යෙරෙමියා 31:15, 16) ක්‍රියා 24:15හි තවත් වැදගත් තොරතුරක් හෙළි කෙරේ: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.” ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, සාරා සහ රාහබ් වැනි පුරාණයේ ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් “ධර්මිෂ්ඨයන්” අතර ප්රමුඛව සිටීවි. (හෙබ්‍රෙව් 11:1-40) එවන් අය සමඟ අදහස් හුවමාරු කරමින්, ඈත අතීතයේ බයිබල් සිදුවීම් ගැන ඇසින් දුටු සාක්ෂි ලබාගත හැකි ආකාරය ගැන සිතා බලන්න! වඩාත් මෑත කාලවල මියගොස් ඇතත් ස්වර්ගික බලාපොරොත්තුවක් නැති දේවභයැති පුද්ගලයන් දහස් සංඛ්‍යාතයත් “ධර්මිෂ්ඨයන්” ගණයට ඇතුළත් වෙනවා. ඇතැම්විට මොවුන් අතර සිටිය හැකි පවුලේ සාමාජිකයෙකු හෝ ප්‍රේමනීයයෙකු ඔබට ඉන්නවාද? ඔවුන්ව නැවතත් දැකගත හැකි බව දැනගැනීම මොනතරම් සැනසිල්ල ගෙන දෙන්නක්ද! කෙසේවෙතත්, නැවත පැමිණෙන්න යන “අධර්මිෂ්ඨ” පුද්ගලයන් කවුද? බයිබල් සත්‍යතාව ඉගෙන ඒවා අදාළ කරගැනීමට ප්‍රස්තාවක් නොලබා මියගිය දශලක්ෂ ගණන් අය, සමහරවිට සියකෝටි ගණන් අය මොවුන්ට ඇතුළත් වෙනවා.
15. නැවත පැමිණෙන අය “පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු” ලබන බව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
15 නැවත පැමිණෙන අය “තමුන්ගේ” ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු” ලබන්නේ කෙසේද? මෙම පොත් ඔවුන්ගේ අතීත ක්‍රියාවල වාර්තාවක් නොවෙයි; ඔවුන් මියගිය විට, තම ජීවිත කාලයේදී කළ පාපවලින් ඔවුන්ව නිදහස් කරනු ලැබුවා. (රෝම 6:7, 23) කෙසේවෙතත්, නැවත-නැඟිටුවනු ලබන මනුෂ්‍යයන් ඒ වෙද්දිත් ආදම්ගේ පාපය යටතේ සිටීවි. එසේනම්, යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාවෙන් පූර්ණ ලෙස ප්‍රයෝජන ගැනීම සඳහා සියලුදෙනාම අනුගමනය කළ යුතු දිව්‍යමය උපදෙස් මෙම පොත්වල දක්වා තිබෙනවා විය යුතුයි. ආදම්ගෙන් උරුම වූ පාපයේ අන්තිම අංශුමාත්‍රය තුරන් කරනු ලබද්දී, පූර්ණ අර්ථයකින් ‘මරණය නැති කරනු ලබනවා.’ අවුරුදු දහසෙන් පසු, දෙවි “සියල්ලන් තුළ සියල්ල” වේවි. (1 කොරින්ති 15:28) මිනිසාට උත්තම පූජකයෙකුගේ හෝ මිදුම්කාරයෙකුගේ හෝ මැදිහත් වීම තවදුරටත් අවශ්‍ය වෙන්න යන්නේ නැහැ. ආදම් මුලින්ම භුක්ති විඳි පරිපූර්ණ තත්වයට මුළු මනුෂ්‍යවර්ගයාවම නැවත පිහිටුවනු ලබනවා.
පිළිවෙළක් ඇති නැවත-නැඟිටීමක්
16. (අ) නැවත-නැඟිටීම පිළිවෙළකට සිදු වන ක්‍රියාවලියක් වේවි කියා විශ්වාස කිරීම සාධාරණ වන්නේ ඇයි? (ආ) මළවුන්ගෙන් ආපසු පැමිණෙන මුල් අය අතර ඇතැම්විට සිටිනු ඇත්තේ කවුද?
16 ස්වර්ගික නැවත-නැඟිටීම “එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්” ඒ කියන්නේ පිළිවෙළකට අනුව සිදු වන බැවින්, භූමික නැවත-නැඟිටීම හේතුවෙන් ජනගහනයේ ව්‍යාකූල වූ පිපිරීමක් සිදු නොවන බව පැහැදිලියි. (1 කොරින්ති 15:23) අලුතෙන් නැවත-නැඟිටෙවූ අයව රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් ඇති වෙයි යන්න තේරුම්ගත හැකියි. (ලූක් 8:55 සසඳන්න.) ශාරීරික පෝෂණයක් මෙන්ම, වඩාත් වැදගත් ලෙස යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ජීවනදායක දැනුම ලබාගැනීමට ආත්මික පෝෂණයකුත් ඔවුන්ට අවශ්‍ය වේවි. (යොහන් 17:3) සෑම කෙනෙකුම එකවිටම නැවත ජීවිතයට පැමිණියොත්, ඔවුන්ව සෑහීම ගෙන දෙන ආකාරයකින් බලාකියා ගැනීමට බැරි වෙනවා. නැවත-නැඟිටීම ක්‍රමානුකූලව සිදු වෙයි යන්න උපකල්පනය කිරීම සාධාරණයි. නැඟිටුවනු ලබන මුල් අය අතර සිටීමට ඉඩ කඩ ඇත්තේ සාතන්ගේ පිළිවෙළේ අවසානයට ටිකකට කලින් මියගිය අයයි. “කුමාරයන්” හැටියට සේවය කරන පුරාණ ඇදහිලිවන්ත පුරුෂයන්ටත් කලින්ම නැවත-නැඟිටීමක් ලැබෙයි කියා අපට අපේක්ෂා කළ හැකියි.—ගීතාවලිය 45:16, NW.
17. නැවත-නැඟිටීම පිළිබඳව බයිබලය නිශ්ශබ්දව සිටින ඇතැම් ප්‍රශ්න මොනවාද? තවද මෙවන් කාරණා සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් අනිසි ලෙස සැලකිලිමත් නොවිය යුත්තේ ඇයි?
17 කෙසේවෙතත්, එවන් කාරණා සම්බන්ධයෙන් අප එකම මතයක එල්බගෙන නොසිටිය යුතුයි. බොහෝ කාරණා සම්බන්ධයෙන් බයිබලය නිශ්ශබ්දයි. පුද්ගලයන්ගේ නැවත-නැඟිටීම සිදු වෙන්නේ කෙසේද, කවදාද හෝ කොතැනකද යන්න පිළිබඳ හැම තොරතුරක්ම එහි සඳහන් කර නැහැ. නැවත පැමිණෙන අයට ඉඳුම් හිටුම්, ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් ලැබෙන්න යන ආකාරය ගැන එහි සඳහන් කර නැහැ. එමෙන්ම නැවත-නැඟිටුවනු ලබන දරුවන්ව ඇති දැඩි කරන්නෙත් රැකබලා ගන්නෙත් කෙසේද යන්න සහ අපේ හිත මිතුරන් සහ ප්‍රේමනීයයන් හා සම්බන්ධව තිබිය හැකි ඇතැම් තත්වයන් බලාකියා ගන්නේ කෙසේද යන්න වැනි ප්‍රශ්න යෙහෝවා විසඳන්න යන්නේ කෙසේද යන්න අපට නිසැකව පැවසිය නොහැකියි. මෙවැනි දේවල් ගැන කල්පනා කිරීම ස්වාභාවික දෙයක් වුණත්, දැනට උත්තර දිය නොහැකි ප්‍රශ්නවලට උත්තර දීම සඳහා කාලය වැය කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවෙයි. අපේ අවධානය යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කිරීම මතත්, සදාකාල ජීවනය අත් කරගැනීම මතත් යොමු කර තිබිය යුතුයි. ආලේප ලත් ක්‍රිස්තියානීන් තේජාන්විත ස්වර්ගික නැවත-නැඟිටීමක් කෙරෙහි තම බලාපොරොත්තු තබනවා. (2 පේතෘස් 1:10, 11) “වෙනත් බැටළුවෝ” දෙවිගේ රාජ්‍යයෙහි භූමික විෂයෙහි සදාකාලික උරුමයක් ලැබීමට බලාපොරොත්තු වෙනවා. (යොහන් 10:16; මතෙව් 25:33, 34) නැවත-නැඟිටීම ගැන තවමත් නොදන්නා තොරතුරු රාශිය ගත්තොත්, අප කළ යුත්තේ යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම පමණයි. අපේ අනාගත සන්තෝෂය ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කළ’ හැකි තැනැත්තාගේ හස්තයේ සුරැකිව පවතී.—ගීතාවලිය 145:16; යෙරෙමියා 17:7.
18. (අ) පාවුල් කැපීපෙනෙන්න සලස්වන්නේ මොන ජයග්රහණයද? (ආ) අප නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහි නිසැක විශ්වාසයක් තබන්නේ ඇයි?
18 ‘අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවිට ස්තුති වේවා!’ යයි ප්‍රකාශ කිරීමෙන් පාවුල් තම තර්කය නිම කරයි. (1 කොරින්ති 15:57) ඔව්, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව තුළින් ආදම්ගෙන් උරුම වූ පාපයට එරෙහිව ජයග්‍රහණයක් ලැබෙන අතරම, එම ජයග්‍රහණයට ආලේප ලත් අය සහ “වෙනත් බැටළුවෝ” යන දෙපාර්ශ්වයම හවුල් වෙනවා. ඇත්තෙන්ම, මෙම පරම්පරාවට අද්විතීය වූ බලාපොරොත්තුවක් අදදින ජීවත්ව සිටින “වෙනත් බැටළුවෝ” සතුයි. නිතැතින්ම වැඩි වන ‘මහත් සමූහයක’ කොටසක් වශයෙන්, ‘මහත් පීඩාවෙන්’ බේරී කිසිදාක භෞතික මරණයක් නොවිඳීමේ ප්‍රස්තාව ඔවුන් ඉදිරියෙහි තිබෙනවා! (එළිදරව් 7:9, 14) කෙසේවෙතත්, “කාලයත් හදිසි කාරණාත්” හේතුවෙන් නැතහොත් සාතන්ගේ සගයන්ගේ අතින් මැරුම් කන අයට පවා නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහි ස්ථිර විශ්වාසයක් තැබිය හැකියි.—දේශනාකාරයා 9:11.
19. අදදින හැම ක්‍රිස්තියානියෙකුම කීකරු විය යුත්තේ කුමන අවවාදයටද?
19 එමනිසා, මරණය නැති කරනු ලබන එම තේජාන්විත දවස දෙස අප ඉමහත් අපේක්ෂාවකින් බලා සිටිනවා. නැවත-නැඟිටීම පිළිබඳව අපේ නොසැලෙන විශ්වාසය, කාරණා සම්බන්ධයෙන් යථාර්ථවාදී දෘෂ්ටියක් දැරීමට ඉවහල් වෙනවා. මෙම ජීවිතයෙහි මොනව වුණත්—අප මැරුණත් කමක් නැහැ—යෙහෝවා පොරොන්දු වී ඇති තිළිණය අපෙන් සොරාගන්න කිසිවකට පුළුවන්කමක් නැහැ. එබැවින්, පාවුල් කොරින්තිවරුන්ට දුන් අවසන් අවවාදය අවුරුදු දෙදහසකට පෙර එදා මෙන්ම අදටත් යෝග්‍ය වෙනවා: “එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, [ස්වාමීන්] කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින්, ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම [ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා පවතිව්.”—1 කොරින්ති 15:58.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ නැවත-නැඟිටුවනු ලබන විට ආලේප ලත් අයට තිබෙන්න යන්නේ කුමන ශරීරද යන ප්‍රශ්නයට පාවුල් උත්තර දුන්නේ කෙසේද?
◻ මරණය අවසානයේදී නැති කරනු ලබන්නේ කෙසේද? කවදාද?
◻ භූමික නැවත-නැඟිටීමට ඇතුළත් වනු ඇත්තේ කවුද?
◻ බයිබලය නිශ්ශබ්දව සිටින කාරණා සම්බන්ධයෙන් අපට තිබිය යුත්තේ මොන වගේ ආකල්පයක්ද?
[20වන පිටුවේ පින්තූරය]
බීජයක් චමත්කාරජනක වෙනසක් අද්දැකීමෙන් ‘මැරෙයි’
[23වන පිටුවේ පින්තූර]
නෝවා, ආබ්‍රහම්, සාරා සහ රාහබ් වැනි පුරාණයේ ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් නැවත-නැඟිටුවනු ලබන අය අතර සිටීවි
[24වන පිටුවේ පින්තූරය]
නැවත-නැඟිටීම ඉමහත් ප්‍රීතියේ කාලයක් වේවි!