බයිබලයේ දෘෂ්ටිකෝණය
‘ලෝකයෙන් කොටසක් නොවී සිටීම’ එයින් අදහස් කරන්නේ මොකක්ද?
පොදු යුගයේ හතරවන සියවසේදී, ක්‍රිස්තියානීන්යයි කියාගත් දහස් ගණනක් තමන්ගේ වස්තුව, නෑදෑයන් සහ ජීවන රටාව අත්හැර ඊජිප්තුවේ කාන්තාරවල හුදකලා වෙන්න ගියා. ඔවුන්ව ඇංකරයිට්වරු ලෙස හැඳින්වූවා. “මම අයින් වෙනවා” යන අරුත ඇති අ·න·ඛො·රෙʹඔ කියන ග්‍රීක් වචනයෙන් එය පැමිණ තියෙනවා. එක් ඉතිහාසඥයෙක් පැහැදිලි කරන්නේ, ඔවුන් තම සමකාලීනයන්ගෙන් ඔවුන්වම දුරස් කර තබාගත් බවයි. මිනිස් සමාජයෙන් වෙන්වීමෙන් තමන් ‘ලෝකයෙන් කොටසක් නොවී සිටීම’ යන ක්‍රිස්තියානි අවශ්‍යතාවට කීකරු වන බව ඇංකරයිට්වරු සිතුවා.—යොහන් 15:19.
බයිබලය ක්‍රිස්තියානීන්ට දැනමුතුකම් දෙන්නේ, “ලෝකයෙන් කිලුටු නොවන” ලෙසයි. (යාකොබ් 1:27) ශුද්ධ ලියවිලි පැහැදිලිවම අවවාද කරන්නේ මෙහෙමයි: “කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම [දෙවිට] සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු [දෙවිට] සතුරෙක් වන්නේය.” (යාකොබ් 4:4) නමුත් මෙයින් අදහස් කරන්නේ, ක්‍රිස්තියානියෙක් පදගතාර්ථයෙන්ම අන් අයගෙන් වෙන් වී ඇංකරයිට්වරයෙක් බවට පත්වීම අපේක්ෂා කරන බවද? ඔවුන් තමන්ගේ විශ්වාසයන් බෙදා නොගන්නාවූ අයගෙන් ඈත් වී සිටිය යුතුද?
ක්‍රිස්තියානීන් සමාජ විරෝධීන් නොවේ
ලෝකයේ කොටසක් නොවීමේ සංකල්පය බොහෝ බයිබල් වාර්තාවල සාකච්ඡා කරනවා; එය දෙවිගෙන් විදේශී වූ අතිවිශාල මනුෂ්‍ය සමාජයෙන් තමන්ව වෙන් කරගැනීමේ අවශ්‍යතාව උලුප්පා දක්වනවා. (සසඳන්න 2 කොරින්ති 6:14-17; එපීස 4:18; 2 පේතෘස් 2:20.) එමනිසා, යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවලට පටහැනි ආකල්ප, කතාව සහ හැසිරීම මෙන්ම ලෝකයේ ද්‍රව්‍යමය තෘෂ්ණාව, ප්‍රසිද්ධිය සහ සැපසෙල්ලමෙහි ඕනෑවට වඩා යෙදීම, සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රඥාවන්ත ලෙස හෙළා දකිනවා. (1 යොහන් 2:15-17) යුද්ධ සහ දේශපාලන කටයුතුවලදී මධ්‍යස්ථව සිටීමෙන් ඔවුන් ලෝකයෙන් වෙන්ව සිටිනවා.
තම ගෝලයන් ‘ලෝකයෙන් කොටසක් නොවන’ බව යේසුස් ක්‍රිස්තුස් කියා සිටියා. නමුත් ඔහු දෙවිට මෙහෙම යාච්ඤා කළා: “ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි.” (යොහන් 17:14-16) පැහැදිලිවම, සියලුම ක්‍රිස්තියානි නොවන්නන් සමඟ සියලුම සබඳතාවලින් ඔහුගේ ගෝලයෝ වැළකී සිටීම මගින් ඔවුන් සමාජ විරෝධීන් වීම යේසුස්ගේ අභිප්‍රාය වුණේ නැහැ. ඇත්තවශයෙන්ම, හුදකලාභාවය, “ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද” ඉගැන්වීමේ සහ දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීමෙන් ක්‍රිස්තියානියෙක්ව වළක්වන්න යනවා.—ක්‍රියා 20:20; මතෙව් 5:16; 1 කොරින්ති 5:9, 10.
ලෝකයෙන් කිලුටු නොවී සිටීමට වූ උපදේශය තමන්ව අනිත් අයට වඩා උසස් කරගන්න කිසිම පදනමක් සපයන්නේ නැහැ. යෙහෝවාට භයැති සියලුදෙනා “උඩඟුකම” ද්වේෂ කරනවා. (හිතෝපදේශ 8:13) ගලාති 6:3 මෙහෙම කියනවා: “කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි.” “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව” සිටින නිසා තමා උසස්යයි සිතන අය තමන්වම රවටාගන්නවා.—රෝම 3:23.
‘කිසිවෙකු ගැන අගුණ නොකියන්න’
තමන්ගේ ආගමික කණ්ඩායමට අයිති නැති හැම කෙනෙක්වම හෙළා දකින සෙනඟක් යේසුස්ගේ දවසේදී සිටියා. ඔවුන් අතර ඵරිසිවරු සිටියා. ඔවුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව හොඳින් දැනගෙන සිටි අතර, යුදෙව් සම්ප්රදායේ ඉතා සුළු කරුණු පවා දැනගෙන හිටියා. (මතෙව් 15:1, 2; 23:2) බොහෝ ආගමික චාරිත්‍ර අකුරටම පිළිපැදීම ගැන ඔවුන් ආඩම්බර වුණා. ඵරිසිවරුන් තමුන් උතුම් වගේ හැසුරුණේ, සරලවම ඔවුන්ගේ පාණ්ඩිත්‍ය හැකියාවන් සහ ආගමික තාන්නමාන්න නිසයි. ඔවුන් ඔවුන්ගේ ශ්‍රද්ධාව සහ අවමන්සහගත ආකල්පය ප්‍රකාශ කළේ, “ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමුහයා ශාපලද්දෝය” කීමෙනුයි.—යොහන් 7:49.
ඵරිසිවරුන්ට ඵරිසිවරුන් නොවන්නාවූ අයව පහත් කර සැලකීමට පවා යෙදුමක් තිබුණා. සමාජයේ සාමාන්‍ය සාමාජිකයන්ව ඒකාන්ත අන්දමින් හඳුන්වන්න ‘අම් හා·’ අʹරෙට්ස් යන හෙබ්‍රෙව් වචනය මුලදී යොදාගත්තා. නමුත් කල්යත්ම යූදාහි අහංකාර ආගමික නායකයන් ‘අම් හා·’ අʹරෙට්ස්හි අර්ථය හෙළා දකින ආකාරයේ එකක් බවට වෙනස් කළා. ක්‍රිස්තියානියයි කියාගන්නා ඒවා ඇතුළුව අනිකුත් කණ්ඩායම් තමන්ට වෙනස් ආගමික විශ්වාසයන් ඇති මිනිසුන්ව හඳුන්වන්න “මිථ්‍යාදෘෂ්ටික” සහ “අශිෂ්ට” වැනි නීච වදන් පාවිච්චි කර තියෙනවා.
කෙසේනමුත්, ක්‍රිස්තියානි ධර්මය වැලඳ නොගත් අයව මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් සැලකුවේ කොහොමද? නොඅදහන්නන්ට “මෘදුකමින්” සහ “ගැඹුරු ගෞරවයෙන්” යුතුව සලකන්න යේසුගේ ගෝලයන්ට දැනමුතුකම් දුන්නා. (2 තිමෝති 2:26; 1 පේතෘස් 3:15, NW) මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් හොඳ ආදර්ශයක් තබා තියෙනවා. ඔහු එළඹෙනසුලු වුණා; ඔහු අහංකාර වුණේ නැහැ. අන් අයට වඩා තමන්වම උසස් කරගන්නවා වෙනුවට, ඔහු නිහතමානී සහ ගොඩනංවනසුලු වුණා. (1 කොරින්ති 9:22, 23) දේවානුභාවයෙන් තීතස්ට ලියූ ඔහුගේ ලිපියේ පාවුල් මෙහෙම අනුශාසනා කරනවා: ‘කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් වෙත සියලු ආකාර මොළොක්ගුණයද පෙන්වන්න.’—තීතස් 3:2.
බයිබලයෙහි “නොඅදහන්නා” යන යෙදුම ක්‍රිස්තියානි නොවන අයව නම් කරන්න සමහර අවස්ථාවල පාවිච්චි කර තියෙනවා. ඒ කෙසේවෙතත්, මේ “නොඅදහන්නා” යන වචනය නිලයක් හැටියට හෝ ලේබලයක් හැටියට පාවිච්චි කළ බවට සාක්ෂි නැහැ. නිසැකවම, එසේ කිරීම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නිසා එය ක්‍රිස්තියානි නොවන අයව පහත් කරන්න හෝ අවමන් කරන්න පාවිච්චි කළ එකක් නෙවෙයි. (හිතෝපදේශ 24:9) අදදින යෙහෝවාගේ සාක්ෂිකාරයන් නොඅදහන්නන් සම්බන්ධයෙන් රළුවීමෙන් හෝ උඩඟු වීමෙන් වැළකී සිටිය යුතුයි. ක්‍රිස්තියානි නොවන නෑදෑයන් හෝ අසල්වාසීන්ව අවනම්බු වන වචනවලින් ලේබල් ගැසීම, පරුෂ දෙයක් ලෙස ඔවුන් සලකන්න යනවා. ‘ස්වාමීන්ගේ දාසයා සියල්ලන් කෙරෙහි මෘදු වූ කෙනෙක්ව සිටිය යුතුය’ යන බයිබල් උපදේශය ඔවුන් අනුගමනය කරනවා.—2 තිමෝති 2:24, NW.
‘සියල්ලන්ටම යහපත්කම් කරන්න’
ලෝකය සමඟ, විශේෂයෙන්ම දිව්‍ය ප්රමිතීන් කෙරෙහි බරපතළ ලෙස අගෞරවය පෙන්වන අය සමඟ ඇති සමීප සබඳතාවේ භයානකකම හඳුනාගත යුතුයි. (1 කොරින්ති 15:33 සසඳන්න.) එහෙත්, ‘සියල්ලන්ටම යහපත්කම් කරන්න’ කියා බයිබලය උපදෙස් දෙද්දී, “සියල්ලන්ටම” කියන වචනයට ක්‍රිස්තියානි විශ්වාසය බෙදා නොගන්නාවූ අයත් ඇතුළත් වෙනවා. (ගලාති 6:10) පෙනෙන විදිහට, සමහර තත්වයන් යටතේ මුල් සියවසේ ක්‍රිස්තියානීන් නොඅදහන්නන් සමඟ එකට ආහාර පවා ගත්තා. (1 කොරින්ති 10:27) මේ නිසා අදදින ක්‍රිස්තියානීන් නොඅදහන්නන්ව සමබර අන්දමින් ඔවුන්ගේ අසල්වැසියන් ලෙස සැලකිය යුතුයි.—මතෙව් 22:39.
පුද්ගලයෙකුට බයිබල් සත්‍යය පිළිබඳ දැනීමක් නැති නිසා ඔහු දුරාචාර හෝ අශිෂ්ට කෙනෙක් කියා නිකම්ම සිතීම වැරදි වෙන්න යනවා. පුද්ගලයන් සහ තත්වයන් වෙනස් වෙනවා. මේ නිසා, නොඅදහන්නන් සමඟ ඇති තම සබඳතා පාලනය කරන්නේ කොයිතරම් දුරකටද කියා එක් එක් ක්‍රිස්තියානිවරයා තීරණය කළ යුතුයි. කොහොම වුණත්, ඇංකරයිට්වරුන් ශාරීරික ආකාරයකින් කළ විදිහට හුදකලා වෙන්න හෝ තමන් උතුම් කියා ඵරිසිවරුන් සිතුවා සේ සිතන්න හෝ කිසිම ක්‍රිස්තියානියෙකුට අවශ්‍යත් නැහැ, ඒ වගේම එය ශුද්ධ ලියවිල්ලට එකඟත් නැහැ.