බයිබලයේ දෘෂ්ටිකෝණය
සැණකෙළි උත්සව හරිද වැරදිද?
“ඔබට එහි පෙලඹීමට විරුද්ධ වෙන්නම බැහැ,” යයි මයිකල් පවසයි. “සංගීතය නිසා ඔබට ඉඳගෙන ඉන්නම බැහැ; ඒ නිසා නටන්න පෙලඹෙනවා, එවගේම හැඟීම් ඇවිස්සෙනවා—ඔබට සැණකෙළි උමතුව සෑදී තියෙනවා!” ඇත්තෙන්ම, සෑම වසරකම පවත්වනු ලබන සැණකෙළි මගින් ලොව පුරා සිටින මිලියන ගණන් ජනයාගේ හැඟීම් ඇවිස්සෙයි, නමුත් මයිකල් ජීවත් වන බ්‍රසීලයේ තරම් සැණකෙළි උමතුව ප්‍රබල වෙනත් තැනක් නැත. අළු බදාදාට කලින් සතියේදී, බ්‍රසීලියානු වැසියෝ තමන් සතු අලංකාර වස්ත්‍ර පැළඳගෙන, කාලය හා වෙනත් වගකීම් අමතක කර දමා, ඇමසන් වනාන්තරයේ සිට රියෝ ද ජනේරෝ මුහුදු වෙරළ දක්වා විහිදී යන අපූරු දර්ශනයක් නැරඹීම සඳහා උමතුවෙන් සහභාගි වෙති. එය වනාහි ගී ගැයීමට, නැටීමට හා සියල්ල අමතක කර දැමීමට කාලයයි.
“සැණකෙළි මෙතරම් ජනප්‍රිය වීමට එය එක හේතුවක්” යයි වසර ගණනාවක් සැණකෙළි උත්සවයන්ට මහත් ලැදියාවක් දැක්වූ මයිකල් පැහැදිලි කරයි. “සැණකෙළි මගින් ජනයාට තමන්ගේ සිත්තැවුල් අමතක කර දමන්ට අවස්ථාවක් සලසා දෙනවා.” ප්‍රමාණවත් ජලය, විදුලිය, රැකියා සහ බලාපොරොත්තුවක් නොමැතිව ජීවත් වන මිලියන ගණන් දිළිඳු ජනයා සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සැබෑවක් වේ. සැණකෙළි ඔවුන්ට ඇස්ප්‍රින් වැනිය: එය ගැටලුවලට පිළියමක් නොවුවත්, අඩුම තරමින් වේදනාවන් නොදැනීමට සලස්වයි. සැණකෙළි පිළිබඳව රෝමානු කතෝලික පූජක පක්ෂයේ සමහරදෙනෙකුගේ අදහසත් මෙයට එකතු කළ හැකිය—එක් බිෂොප්වරයෙකු කියා සිටියේ සැණකෙළි “ජනයාගේ මානසික සමබරතාවට ඉතා ප්‍රයෝජනවත්” බවයි. එනිසා සැණකෙළි ප්‍රයෝජනදායක මෙන්ම සිත වෙනතකට හරවාගැනීම සඳහා අනුමත කරන ක්‍රමයක් හැටියට එය බොහෝදෙනෙකු විසින් පිළිගනු ලැබීමට හේතුව තේරුම්ගැනීම පහසුය. කෙසේවෙතත්, සැණකෙළි උත්සව පිළිබඳව බයිබලයේ දෘෂ්ටිය කුමක්ද?
මංගල්‍ය ඝෝෂාද නැතහොත් ප්‍රීති සන්තෝෂ වීමද?
“සිනාසෙන්ට කාලයක් . . . සහ නටන්ට කාලයක්” තිබෙන බව දේවවචනය පවසයි. (දේශනාකාරයා 3:4) “සිනාසෙන්ට” යන්නට යොදාගෙන ඇති හෙබ්‍රෙව් වචනය “උත්සව පැවැත්වීම” යනුවෙන්ද පරිවර්තනය කළ හැකි නිසා, අපගේ මැවුම්කරුවාණන්ගේ පැත්තෙන් බලන කල, හිතකර හා ප්‍රීතිමත් කාලයක් භුක්තිවිඳීමෙහි වරදක් නැති බව පැහැදිලිය. (1 සාමුවෙල් 18:6, 7, බලන්න.) ඇත්තෙන්ම, දේවවචනය අපට පවසන්නේ, ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් සිටීමටය. (දේශනාකාරයා 3:22; 9:7) එමනිසා යෝග්‍ය ආකාරයකින් ප්‍රීති සන්තෝෂ වීම බයිබලය අනුමත කරයි.
කෙසේවෙතත්, සියලු ආකාර ප්‍රීති සන්තෝෂවීම් බයිබලය අනුමත නොකරයි. මංගල්‍ය ඝෝෂා නැතහොත් හික්මවීමකින් තොරව ප්‍රීති සන්තෝෂ වීම ‘මාංසයේ ක්‍රියාවලට’ අයත් බවත්, මංගල්‍ය ඝෝෂා පවත්වන්නන්ට “දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන” බවත් ප්‍රේරිත පාවුල් සඳහන් කරයි. (ගලාති 5:19-21) එබැවින් ‘ක්‍රීඩා ඝෝෂාවෙහි නොහැසිර ඔබින ලෙස හැසිරෙන්න’ කියා පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළේය. (රෝම 13:13) එමනිසා පැනනඟින ප්රශ්නය වන්නේ, සැණකෙළි අයත් වන්නේ කිනම් වර්ගයටද යන්නය—වරදක් නොමැති ප්‍රීති සන්තෝෂ වීම්වලටද, නැතහොත් සල්ලාලකම්වලින් පිරි මංගල්‍ය ඝෝෂාවලටද? එයට උත්තර දීම සඳහා පළමුවෙන් මංගල්‍ය ඝෝෂා වශයෙන් බයිබලය සලකන දේ කුමක්ද කියා අපි තවදුරටත් පැහැදිලි කරගනිමු.
“මංගල්‍ය ඝෝෂා” නැතහොත් කෝʹමොස් නමැති ග්‍රීක් වචනය, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල තුන් වතාවක් සඳහන් වී ඇති අතර, හැමවිටම ඊට ආරූඪ වී තිබෙන්නේ අහිතකර අර්ථයකි. (රෝම 13:13; ගලාති 5:21; 1 පේතෘස් 4:3) කෝʹමොස් නමැති වචනය, ග්‍රීක් භාෂාව කතා කළ මුල් ක්‍රිස්තියානීන් හොඳින් දැනසිටි අතිශයින් නින්දාසහගත උත්සවයන් ඇඟවීමට යොදාගත් නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. කිනම් උත්සවද?
ඉතිහාසඥ විල් ඩුරන්ට් මෙසේ පැහැදිලි කරයි: “ග්‍රීක් භාෂාවේ කෝමොස් නොහොත් මංගල්‍ය ඝෝෂාවකින් අදහස් කළේ, . . . මිනිසුන් කණ්ඩායමක් ශුද්ධ ලිංගරූපයක් [පුරුෂ ලිංගේන්ද්‍රියේ සංකේතයක්] උසුලාගෙන, ඩියෝනිසස්ට ගීතිකා ගැයීමයි.” ග්‍රීක පුරාවෘත්තවල මුද්‍රිකපානයට අධිපති දෙවි වූ ඩියෝනිසස් පසුකාලයේදී රෝමවරුන් විසින් දෙවියෙකු ලෙස පිළිගෙන, ඔහුව බැකස් යනුවෙන් නැවත නම් කරන ලදි. එහෙත් නම වෙනස් වුවත් කෝʹමොස් නමැති උත්සවයට එය බලපෑවේ නැත. බයිබල් විශාරදයෙකු වන ආචාර්ය ජේම්ස් මැක්නයිට් මෙසේ ලියයි: ‘කෝʹමොයිස් [කෝʹමොස් නමැති වචනයේ බහුවචන රූපය] නමැති වචනය, මංගල්‍යයන්ට සහ ක්‍රීඩා උත්සවයන්ට අධිපති දෙවියා වූ කෝමුස් හා සම්බන්ධයක් තිබේ. මේ හේතුව නිසා කොමැස්ටස් යනුවෙන් නම් කරනු ලැබූ බැකස් දෙවියාට ගෞරවයක් හැටියට මෙම උත්සව පවත්වනු ලැබීය’. එසේය, ඩියෝනිසස් සහ බැකස් වෙනුවෙන් පවත්වන ලද උත්සව, මංගල්‍ය ඝෝෂාවල නියම ස්වරූපය පිළිබිඹු කළේය. මේ මංගල්‍යවල අංගලක්ෂණ වූයේ මොනවාද?
මංගල්‍ය ඝෝෂා ගැන විස්තරයක්
ඩුරන්ට් පවසන පරිදි, ඩියෝනිසස්ට ගෞරව කිරීම සඳහා ග්‍රීක උත්සව පවත්වන කාලවලදී, උත්සවයට සහභාගි වන සෙනඟ “සීමාවක් නැතුව මත්පැන් පානය කළහ, . . . තමාව හික්මවාගනිමින් ඒවාට හවුල් නොවන අයව මෝඩයන් හැටියට සලකන ලදි. ඔවුහු අසංවර පෙරහැරවල නිරත වූ අතර, . . . මත්පැන් පානය කරමින් නටද්දී, සෑම හික්මවීමක්ම නැති කිරීමට සැලැස්වූ උමතුවකට ඇදවැටුණාහ.” ඒ හා සමානව, බැකස්ට ගෞරවය දැක්වීම සඳහා පැවැත්වූ රෝම උත්සවවල බීමත්කම, කාමුක ගීත සහ සංගීතය කැපීපෙනෙන්ට සැලැස්වූ අතර, “ඉතාමත් අගෞරවනීය ක්‍රියාවන්” ඇතුළත් දර්ශනද ප්‍රදර්ශනය කළේයයි මැක්නයිට් සඳහන් කරයි. මෙසේ වියරු වැටුණු සෙනඟ අධික මත්පැන් පානය, කාමුක නැටුම් සහ සංගීතය මෙන්ම දුරාචාර ලිංගික ක්‍රියාවන්, ග්‍රීක හා රෝම මංගල්‍යවලට අයත් මූලික ලක්ෂණයන් විය.
අදදින පවත්වනු ලබන සැණකෙළිවල මෙවැනි දෑ ඇතුළත් වේද? සැණකෙළි උත්සව පිළිබඳව පුවත්පත් වාර්තාවලින් ලබාගත් උපුටාගැනීම් කිහිපයක් සලකා බලන්න: “මහා ඝෝෂාකාරි සෙනගකි.” “දින හතරක් පුරා මත්පැන් පානය කරමින් සාද පවත්වන අවස්ථාවකි.” “මත්පැන් පානය කරන්නන්ට, සැණකෙළියෙන් පසු දින කිහිපයක් පුරා අසනීප ගතිය පැවතිය හැක.” “සැණකෙළිය අසලින් නැඟෙන කන් බිහිරි කරවන තරම් ඝෝෂාවන්, ‘හෙවි මෙට්ල්’ සංගීත කණ්ඩායමක සංදර්ශනයක ඝෝෂාව එතරම් රෞද්‍ර නොවූ එකක් සේ පෙනෙන්ට සලස්වයි.” “අදදින, සමලිංගිකයන් නැති සැණකෙළි උත්සවයක්, ගම්මිරිස් නැති බිස්ටේක් එකක් අනුභව කරනවා වැනිය.” “සැණකෙළිය යන වචනය නිරුවත්කම වෙනුවට යොදාගත හැකි වචනයක් බවට පත්ව ඇත.” සැණකෙළි නැටුම් මගින් “ස්වයංවින්දනයේ . . . සහ ලිංගික සබඳතාවල විවිධ අංග විදහාපෙන්වන දර්ශන” හුවා දක්වයි.
ඇත්තෙන්ම අදදින පවත්වනු ලබන සැණකෙළි උත්සව සහ පුරාණයේ පැවැත්වූ මංගල්‍යයන් අතර සමානකම් මොනතරම්ද කිවහොත්, මධුපාන උත්සවවලදී ප්‍රීතිමත් වන බැකස් වෙනුවෙන් මංගල්‍ය ඝෝෂා පැවැත්වූ කෙනෙකු මේ කාලයේ පවත්වන සැණකෙළි සාදයක් මැදට පැමිණියා නම්, ඔහුට වෙනස නොතේරන තරම්ය. අප ඒ ගැන මවිත විය යුතු නැත කියා රූපවාහිනී නිෂ්පාදකයෙක් වන බ්‍රසීලියානු ජාතික ක්ලෞදියූ පේට්රාල්යා පවසයි, මන්දයත් අදදින පවත්වන සැණකෙළිවල “මූලාරම්භ වන්නේ ඩියෝනිසස් සහ බැකස්ගේ මංගල්‍ය වන අතර ඇත්තෙන්ම එය, සැණකෙළිවල ස්වභාවය වේ” යයි ඔහු පවසන බැවිනි. සැණකෙළි පුරාණ රෝමයේ මිථ්‍යාදෘෂ්ටික සැටර්නේලියා උත්සවය හා සම්බන්ධ විය හැකි බව ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා සඳහන් කරයි. එමනිසා සැණකෙළි විවිධ යුගවලට අයත් වුණත්, පුරාණයේදී සිදු වූවාක් මෙන් ඒවා එකම වර්ගයකට අයත් වේ. එම වර්ගයේ නම කුමක්ද? මංගල්‍ය ඝෝෂා වේ.
මෙම දැනුම, අදදින ක්‍රිස්තියානීන් කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද? ග්‍රීක බලපෑම් තිබූ කුඩා ආසියාවට අයත් පළාත්වල ජීවත් වූ මුල් ක්‍රිස්තියානීන් කෙරෙහි ඇති වූ බලපෑමට සමාන විය යුතුය. ක්‍රිස්තියානීන් වීමට කලින් ඔවුහු “සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද [කෝʹමොයිස්] මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද” නියැලුණාහ. (1 පේතෘස් 1:1; 4:3, 4) කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ දෘෂ්ටියට අනුව මංගල්‍ය ඝෝෂා ‘අන්ධකාරයේ ක්‍රියාවන්ට’ අයත් බව ඉගෙනගැනීමෙන් පසු, ඔවුහු සැණකෙළි හා සමාන උත්සවයන්ට සහභාගි වීම නතර කළහ.—රෝම 13:12-14.
කලින් සඳහන් කළ මයිකල් නමැත්තාද එම දෙයම කළේය. ඔහු ඊට හේතුව මෙසේ පැහැදිලි කරයි: “මගේ බයිබල් දැනුම වර්ධනය වෙද්දී සැණකෙළි උත්සව සහ බයිබල් ප්‍රතිපත්ති, එකට මිශ්‍ර නොවන තෙල් සහ ජලය වගේ බව මම තේරුම්ගත්තා”. මයිකල් 1979දී තම මනස සකස් කරගත්තේය. ඔහු සම්පූර්ණයෙන්ම සැණකෙළි උත්සවයන්ට සහභාගි නොවීමට තීරණය කළේය. ඔබගේ තේරීම කුමක් වනු ඇද්ද?
[14වන පිටුවේ පින්තූරය]
ඩියෝනිසස්ව (වම්පස ඇති රූපය) චිත්‍රයකට නඟා තිබෙන ක්‍රිස්තියානි යුගයට කලින් තිබූ ග්‍රීක් බඳුනක්
[හිමිකම් විස්තර]
The British Museum, අනුග්රහයෙනි.